නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු

Image by Brian Merrill from Pixabay

පිරිමි විතරක් නොවෙයි ගැහැනු පවා දැන් ඉදිරියට ඇවිත් අලුත් සම්ප්‍රදායයන් පිහිටුවනව. ලෝකය තුළත් ලංකාවෙත් කාන්තාවන් මේ ගමනට සහභාගීවෙලා ඉන්නව.

ජනමාධ්‍ය තුළින් හැම දෙයක්ම පතල කරල බෝ කරල දානව. මේ විදියට හැම දෙයක්ම, හැම මිනිස් ක්‍රියාවක්ම පතල කිරීමට මාධ්‍ය සැරසිලා ඉන්නේ. එදා මාධ්‍යයට තහනම් දේවල් කියල හංගපු දේවල් තිබුන. නමුත් ඉලෙක්ට්‍රොනික් විප්ලවයෙන්, ඒ හැංගිමුත්තම කඩා බිඳ දමා, හැම දෙයම එලි කරන තත්ත්වය උදා කරලයි තියෙන්නේ. ලන්ඩන්, නිව්යෝක්, ටෝකියෝ, දිල්ලි දැන් ඈත දේවල් නොවෙයි. අපිට ඒවායේ සිදුවන දේ, මේ ලඟ වෙනව වගේ පෙන්වන්න හයිය මාධ්‍යයට දැන් තියෙනව.

බාසාව ඉංගිරිසි කිව්වට දැන් එය ලෝක බාසාව වෙලා ඉවරයි. ඇමෙරිකාවේ පමණක් නොවෙයි, ඉංදියාව තුළත් පොදු බාසාව ඉංගිරිසි වෙලා ඉවරයි. සිංහල තිබුනට ඉංගිරිසි වචන වැඩි වෙමින් එය තුළින් එළියට එනව. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලවත් කම තුලින් ලොව පුරා ගලා ගිය ඉංගිරිසය අද වෙද්දී ලෝකය දෙවනත් කරගෙන නැගිටිනව. සමහරු හිතන්නේ ඉංගිරිසි ඇති වුනේ ඇමරිකාවේ කියල. ඉංගිරිසි නැතිව ටැක්සි එකක් එලවන්නවත් බැරි තැනට පත් වෙලා. ඉංගිරිසිය සමඟ ඇදුම් පැලදුම්, කෑම බීම්, ආචාර ධර්ම මේ සියල්ල වෙනස් වෙනවා. දැන් පිරිමි ගැහැණු හැමෝම එදිනෙදා වඩට කලිසම් කාරිය අදින්න පුරුදු වෙලා. සමහරු ජීන්ස් ඇදගෙන තමා හැම වැඩටම එන්නේ. මේ විදියට ජීන්ස් ඇදුම් ප්‍රචලිතවීමක් ඇමරිකාව තුළවත් තියෙනවද කියල හිතන්න අමාරුයි.

මේ හැම දෙයක් තුළම වෙලාව පිරිමහ ගැනීම ගැබ් වෙලා තියෙනව. ඉක්මණට වැඩ කිරීම හා ඇදුම් පැලදුම්, කෑම බීම පටන් වැසිකිලි යෑම දක්වා සෑම දෙයක්ම සැහැල්ලු කර ගැන්මට කරන වෑයම මෙයින් පෙන්වා දෙනව. බත් පාර්සලයත් හදල තියෙනව දැන් පහසුවෙන් ඕනැම තැනක වාඩි වෙලා, නැත්නම් හිටගෙන උනත් ඉක්මනට අනුභව කරන්න පුළුවන් විදිහයට. හැබැයි ඒවයේ ගුණයත් බලනව එදාට වඩා. ගුණයෙන් යහපත් කෑම වේලක් පහසුවෙන් ලබා ගන්න මෙන්ම කා දමන්න වැඩ සැලසුම් කෑම විකුණන තැන් වලින්ම ලබා ගන්න පුළුවන්. ලොකු වේලාවක් අරන් දිගට රස වින්ද දේවල්, ඒ රසවත්කම නැති නොකර, වඩා පොඩි වේලාවකින් ලබා දීම නූතන අරමුණ වෙලා තියෙනව.

ඒ අනුව එදාට වඩා විශාල ලෙස ගුණයෙන් වැඩි ජිවිතයක්, ලොකු පංගුවක් ලබා ගැන්මට හැම කෙනෙකුටම ලැබෙන ලෙසට ඉබේම හැදීගෙන එනව. එය භුක්ති විදීමට ඔලුව වෙනස් කර ගැනීමට සිද්ද වෙලා. ජනමාධ්‍ය මඟින් මේ රජකාරියත් දැන් කරගෙන යනව. ජනමාධ්‍යයන් හිමිකරුවන් කියන්නේ “අපි ජනතාවට උවමනා ඉල්ලන දේ තමයි දෙන්නේ” කියලයි. ඒත් වැඩිපුර වෙන්නේ ජනමාධ්‍ය විසින් අප කළ යුතු දේ අපටම කීමයි. අනෙක් අතට ජනමාධ්‍ය හිමිකරුවන්, ඒවායේ ජන මාධ්‍ය කරුවන්ට දෙන උපදෙස් උඩ මාධ්‍ය හසුරුවනව කියනව. ඒත් ඇත්තටම ලෝකය පුරා පැතුරුණ මහා බහුජාතික සමාගම් වලල්ල විසින් සම්පාදිත මාධ්‍ය මෙහෙයුමක් තමයි අපට දැනුම ලබා දෙන්නේ.

එය මිනිසා විසින්ම ගොඩ නැගූ දෙයක් වුනත් මේ පද්දතියට වෙනම ක්‍රියාකාරිත්වයක් යන්ත්‍ර විසින් ගොඩ නගන ඥානය විසින් ලබා දෙනව. ඒ යන්ත්‍ර වැඩ කරන්නේ තර්ක ඥානය තුළින්. මිනිස් මොලය තර්ක ඥානයට අමතරව උත්තර දැනුමක් ඇතුව වැඩ කරනව. ඒක තමා අපෝහක දැනුම. වෙනස් වීම හදුනා ගනිමින් සාමාන්‍ය තර්කනයට වඩා දැනුමක් එයින් ලැබෙනව. එය බුදුන් කළ ලෙසටම ඇත්ත ඇති සැටියෙන් බලා ගැන්ම සඳහා ඇතිවීම, බිද වැටීම හා යලි නැවත උපත ලෙසට, කාලය හරහා ගමන වටහා ගනිමින් මොලය මෙහෙයවීම යි. එවිට ඇත්ත ඇති සැටියෙන් ලබා ගැන්මට පුළුවන් වෙනව.

යුරෝපය ඇතුළු නුතන ලෝකය තුළම මේ විදියට දැනුම ලබා ගැන්මේ ක්‍රමය විවරණය කරන්නට පටන් අරන්. පුදුමයකට වගේ ඒ විදියට සමස්ථ විශ්ලේෂණය ඈත අතීතයෙත් පිළිගත් දෙයක්. බුදුන් එම දැක්ම ලබා ගත්තේ විශේෂ අරගලයක් තමන් තුළම ඇති කරගන්මෙන් පසුව. මේ ලෙසට තමන්ගේ ඇතුලටම විවරණය දිග හැරීමෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂය, සාමාන්‍ය තර්කය ඉක්මවා ලබන උසස් දැනුමක්. නැත්නම් දැනුම් ක්‍රමයක්. එය අප තුළ තිබෙන විටින් විට එළියට ගන්න උපකරණයක්. දුකට මුල ආසාව ලෙස බුදුන් හදුන්වා ගත්තේ එලෙසට බැලීමට හැකි වීමෙන්. එය සාමාන්‍ය තර්කය ගිය දෙවිදිය තමා උපමාවට ගෙන වටහා ගැනීම තුළින්. එය සෑම මිනිසෙක් තුළම තිබෙන හැකියාවක්. එයට යොමු වීම තමයි නිවන කියල කියන්නේ. සිත තුළ තිබෙන දැක්ම එලියට ගැනීමෙන් ඇතිවන අලුත් වටහා ගැන්ම අලුත් විදියකට ලෝකය දෙස බැලීමක්.

බුදුන් දවස මේ දුර යෑමට විශාල අරගලයක් සිත තුළ ඇති කරගන්න වුනා. එයට අලුත් පරිසරයක් හදාගන්න සිද්ද වුනා. බුදුන් එය එලියට ගත්තා විතරක් නොවේ, එය අසා දැන ගැන්ම තුළින් අවදි වීමට අනෙකාට හැකි වෙන ලෙස ඉතා හොදින් පෙන්වා දුන්නා. බුදුන් පළමු දේශනාව කරන විට එය පාර අද්දර සිට නිකමට වගේ අසා සිටි අය පවා ඊලගට දැනුමට යොමු වුනා. ගේ දොර සුද්ද කර හෝදා දමීමට පැමිණි දුප්පත් ගැහැණු ළමයෙකුටත් මේ ලෙසට දැක්ම හසුරුවා ගැන්මට හැකි වුනා. නමුත් මහා විද්‍යා ඥානයෙන් පිරුණ බටහිරට, මෙම ඥාන ප්‍රබෝධය ලබා ගැන්මට මෑතදී කේම්බ්‍රිජ් සරසවියේ විද්‍යාඥයෙක් ලෙස වැඩ කළ ස්ටීවන් හෝව්කින්ස් එය පෙන්වා දෙන තෙක් බැරි වුනා. විද්‍යා ලෝකය එක්කම නිවන් ඥානය බුදුන් ඉංදියාවේ උතුරුකරයේ භාවනා ස්ථානයකදී ලබාගත් එක පුදුමාකාර දෙයක්.

දැනුම ඉතා සංකිර්ණ දෙයක්. විද්‍යාවේ දැනුම වටිනව වගේම අපෝහක බිදීම නිවීම පිළිබද නිවන් අවබෝධයත් වටිනා දෙයක්.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න – 05 ඔක්තෝම්බර් 2020  

සබැදි ලිපි

You may also like...

6 Responses

  1. peter says:

    ✌️✌️✌️

  1. October 18, 2020

    […] නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු […]

  2. October 18, 2020

    […] නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු […]

  3. October 18, 2020

    […] නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු […]

  4. October 23, 2020

    […] නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු […]

  5. October 24, 2020

    […] නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.