වීරාභිවාදනය
සමහරු හිතනව අපි වීරයො වෙන්න ප්‍රශ්න වලට පැනල දගලනව කියල. මේක තරම් බොරුවක් තවත් නෑ. සමහර විට යම් පුද්ගලයො ඇති පාරට බැහැල පෙනෙන්න කෑ ගහන අය. මට ආපසු හැරිල බැලුවම නම් පෙන්නේ සෙල්ලම් ගමනක් නෙවෙයි. හිර ගෙවල්, වෙඩි පහරවල්, බෝම්බ පහරවල් වලට බිලි වෙන්න ගිය ඉතිහාසයක්. මටත් දැන් පුදුමයි මේ තරම් දේවල් කරල නොමැරි ඉන්න එක ගැන. මේ තරම් බය නැතුව මැද්දට පැනල කථා කළේ කොහොමද කියල විශාල ප්‍රශ්නයක් මටම තියෙනවා. මෙයින් බේරුනේ යම් දේව බලයකින් කියලයි සමහරු කියන්නේ. අපි බෙල්ල දෙනකම් බලා ඉදල අපිට පිහිට වෙන්න එන දෙවිවරු ගැන කොහොමවත් පිළිගන්න බෑ. එහෙම නම් අයුක්තිය වෙන්න ඉඩ ඇරල බලා හිටපු දෙවියන් කොහොම කෙනෙක්ද කියල විහිළුවකටත් බර වෙනවා. මගේ බඩට එදා වැදුන AK47 පහර බඩ කැවුතු කඩාගෙන පිටෙන් එලියට ගියා. එලියට ආ තැන අගල් තුනක පමණ සිදුරක්. ඇතුල් වුන තැන පුංචි සිදුරක්. එවන් උන්ඩ තදින් කරකැවෙමින් විදගෙන යන බව කියනවා. බඩ කැවුතු තද කරල අල්ලගෙන වේදිකාව උඩින් බඩගාන විට තව වෙඩිල්ලක් ඔලුව උඩින් පිටුපස පුච්චාගෙන ගියා. පිට කොන්ද ඉරක් වගේ පිච්චිල තිබුණ. තව අගලක් පහත් වුනා නම් ඔලුව ඉවරයි. මගේ වාහනේ භාරව සිටි නන්දන විතානගේ සහෝදරයා වෙඩිල්ල වගේ වේගයෙන් වෑන් එක කොළඹ මහ ඉස්පිරිතාලය දෙසට අරගෙන ගියා. එතැනට යන කොට මහ පාර පුරා තෙල් දමල තිබුණ. මේ මගේ උදව්වට තිබ්බ වාහනය ලිස්සා යන ලෙසට. අපොයි කියන්න බෑ ජවිපෙ සටන් සැලසුම ඉතා ඉහලයි. අපේ අයත් යම් තරමකට සැලසුම් දමාගෙන සිටිය නිසා තමයි මගේ ජීවිතේ බේරුනේ.
කොළඹ මහ ඉස්පිරිතාලයට ඇතුල් වුනත් ජේ.වී.පී සංවිධාන සැරසිලා සිටියේ එතනදී හෝ මරා දමන්න. මාගේ වාසනාවට රාජිතගේ බිරිද ඒ වෙලාවේ ඉතා කල්පනාකාරීව වැඩ කරල මාව ඉක්මණටම සැත්කමට අරගන්ත. නැත්නම් මං එතැන දී ඉවරයි.
මේ විදියට බලනකොට කෙතරම් දුලබ වාසනාවකට ද අපි මුහුන දුන්නේ කියල හිතෙනවා. ජෙප්පන්ට වඩා අපිට වාසනාව තිබුණ කියල කවුරු හරි කියන්න පුළුවන්. ඒක හිත හදාගන්න කියන කතාවක්. ඒ කොහොම වුනත්, ඇත්ත නම් ඒ වගේ සටනකින් විප්ලවයට ඉදිරියට එන්න බැරි බව නම් එදා ඔප්පු වුන බවයි. සැලසුම් හොද වුනත් එය දේශපාලන වශයෙන් ලාබාල සටනක්. ඒ පහර නිසා මාස ගණනාවක් මට දස දුක් විදින්න වුනා. ඇග ඇතුලේ සියළු දේ හරිගස්සන්න විවිධ කැපිලි කෙටිලි දොස්තරවරු කළා. අපායේ පිවිසුම් මගට ගිහින් නැවත ආවා කියන්න පුළුවන්. ඇත්තටම මං මේ වාගේ වද හින්සාවකට පත් වේවි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ සටන් ක්‍රමය ගැන මං දැනගෙන හිටිය. ඒ වගේම එය මුහුණ දෙන්න ලේසි සටනක් කියල අපි හිතුවෙ නෑ. ඒ වුනත් ඇත්තටම වෙඩි බෝම්බ, කැපිලි කෙටිලි, වස විස ආදී හැම දෙයක්ම උහුලාගෙන ජීවිතය රැකුණ එක මටම පුදුමයක්. මේක ඇත්තටම දේශපාලන සටනක්. මේ පොල්පොට් සමාජවාදය සමග ප්‍රජාතන්ත්‍රවාදී ජාතික එක්සත් කමේ සටනින්, අන්තිමට පොල්පොට් සමාජවාදීන් පැරදුනා. එය ඇත්තටම වෙන්න තිබුන සටනක්. ලබන්න තිබුන ජයක් හා පරාජයක්.
මෙතනදී වීරයො කවුද කියන එක බොරු ප්‍රශ්නයක්. මම කිසිම වීර අදහසකින් මේ සටනට ඇතුල් වුනේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජාතික ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගන්නා නිසා එයට මුහුණ දිය යුතුයි. ජවිපෙ කිව්වේ රටේ ප්‍රධාන ප්‍රශ්නය බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ ගැමිගොවි ජනතාවගේ ගොඩ නැගීමය කියලයි. පසුගිය සටන් වලින් ඉංදීය කලාපය තුළම බටහිර බලය පසු බැහැලයි තිබුනේ. ඒ වෙනුවට භාෂා ප්‍රශ්නය මගින් දෙමළ ජනතාව සිහලුන් සමග එක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ප්‍රශ්නය වෙලා තිබුණා. බණ්ඩාරනායක එය එතැනට ගෙනවිත් තිබුණා. නමුත් ඒ වන කොට ඉංග්‍රීසි බස දුගියන් අතරට යන එක වැලැක්වෙන ලෙස බණ්ඩාරනායකල ප්‍රතිගාමී පියවරක් අරන් තිබුණේ. සිංහල පමණයි කියන එක පෑගෙන පංතිය තවත් පාගා දැමීමේ තව පියවරක් පමණයි. මේ විදියට පංති සටන සංකීර්ණ ලෙසට වෙනත්ම මාවතකට එදා සිට පත්වුනා. සිංහල පමණයි කියන ජාති හිතවාදී කල්ලිය ඉංග්‍රීසි එපාමයි කියන සටන් පාඨය මගින් නිර්ධනයන්ට ඉංග්‍රීසි තහනම් කළා. සිංහල විප්ලවවාදීන්ගේ ප්‍රතිගාමීත්වය තිබුණේ මේ සෙල්ලම උඩයි.
ඉංග්‍රීසියට එදා නිසි තැන දුන්න නම් දෙමළ සිංහල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. එසේම ඉංග්‍රීසි දන්න ලොකු පැලැන්තීත් වෙනම ඉහලින් ඉන්න එකක් ඇති වෙන්නෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණ සිංහල පමණයි යන්නට වහල් වී ඉංග්‍රීසිය යට කිරීමෙන් ඔවුන්ගේ පොල්පොට්වාදය තව තවත් තහවුරු වුනා. ඉංග්‍රීසිය තැලීම මාර්ක්ස්වාදය තලා දැමීමක් බවට පත් වුනා. මේ විදියට ගෙතුන මහා වියවුලේ ප්‍රශ්නයන් තුළයි විප්ලවය ගලා ගියේ. ආපසු බලන විට අපට පෙනෙන්නේ නිර්ධනයන්ගේ සටනට වඩා සිංහල දෙමළ මුස්ලිම් ගැමි තරුණයන්ගේ සටන් වලින් පිරුණ, තරුණයන්ගේ සටන් තුලින් ලේ ගංගාවල් ගලා ගිය හැටියි. දුගියා පරාජය කරල බටහිරට යොමු වුන මැද පංතිය රට පුරා යම් අංශවල වෘද්ධියක් ඇති කරගෙන තියෙනවා. නමුත් අද ඉංග්‍රීසි දැනුම වඩා ප්‍රචලිත අතර ඉංගිරිසිය තුළින් වෙනම බලයක් යොදා ගන්න බැරි වෙලා. ඇත්තටම නිර්ධනයන් මෙන්ම දුප්පතුනුත් ඉංග්‍රීසි හා බටහිර පෙනුම ඉහලටම අරන්. ඉංග්‍රීසි උගන්වන පංති වැඩි වෙලා. එය අතේ තිබෙන සෙල් ෆෝන් එක සමගම පැතිරිලා ගොහින්. ඒ අනුව බටහිර පැවැත්මට විරුද්ධව ලංකා ගැමි සමාජයේ සම්ප්‍රදායික පැවතුම් උඩට ගැනීමට කථා කිරීමම විහිළුවක් වෙලා. ඉංග්‍රීසිත් සමග බටහිර සිරිත් විරිත් තුළින් පොදු සටන් ව්‍යාපාරයන් ගොඩ නැගෙමින් තිබෙන බව පෙනෙනවා. එය පස්ස බලනවට වඩා ඉස්සරහ බලන බලවේගයක් ලෙසට දියත් වෙනවා. අද බුදු දහම බැලුවහම එහි යථාවාදී ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඉතා ලොකු තැනක් ලැබිල තියෙනවා. එය ගමට යාමක් නොව, ගමෙන් එලියට යෑමක්, දියුණුවන ලෝකයට යෑමක් බවට පත් වෙලා. දැන්නම් වීරයන් උවමනා නෑ. මං වීරයෙක් නොවෙයි.
බාහු
1 Response
[…] වීරාභිවාදනය […]