ඊලමට බොදු පිළිතුරක්

බෞද්ධයෝ කුඩා කල සිටම ඉගෙන ගන්නා ධර්මයකි හේතුඵල සම්බන්ධය. පටිච්චසමුප්පාදයේ පදනම වන්නේ මෙයයි. පටිච්චසමුප්පාදය, එසේත් නැතිනම් සංසාර චක්‍රය වටහා ගත හැකි වනුයේ හේතුඵල සම්බන්ධය වටහා ගැනීමෙනි. ඒ මගින් අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය පිළිබදව වන අනවබෝධය අවසාන වශයෙන් දුකට හේතු වන ආකාරය විග්‍රහ වේ. ඒ අනුව චතුරාර්ය සත්‍ය උකහාගෙන නිවන අවභෝධ කර ගැනීම සිදුවන්නේ, මූලික වශයෙන්ම හේතුඵල සම්බන්ධය අවබෝධ කරගැනීමට පුද්ගලයෙකු තුළ පවත්නා හැකියාව තුළයි. යමෙකු තම ජීවිතයට හේතුඵල සම්බන්ධය පිලිබද අවබෝධය (විමසිලිමත් වීම) ලං කර නොගන්නේ නම් නිවනින් තව තවත් දුරස් වී, අවිද්‍යාවේ ගැලී, දුකෙහි ම ගැලෙයි.

මෙම තියරිය ප්‍රායෝගිකව ඇප්ලයි කරල බලද්දි පෙනෙන දේ තමා, එක හේතුවක් නිසා බොහෝ ඵල හට ගන්නා අතර, එක ඵලයකට බොහෝ හේතු කාරක වේ. උදාහරණයක් ලෙසට, ඔබ පුද්ගලයෙකුගේ කම්මුලට ගැහුවොත්, එයට ලැබෙන ප්‍රථිඵලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනු ඇත. එකම පුද්ගලයා වුවද අවස්ථාව අනුව වෙනස් වනු ඇත. ඵලය පෙරලා ඔහු විසින් ඔබගේ කම්මුලට ගැසීම නම්, එයින් ජනිත වන පීඩනය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වනු ඇත. එම පුද්ගලයා හැඩ ගැසුනු පරිසරය, ඒ මොහොතේ මානසික තත්වය, ඔහුගේ ශාරීරික ශක්තිය හා පහරදීමේ ක්‍රමවේදය, ඔබ ඔහුට පහර දුන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් ඔහු තුළ වන අවබෝධය ආදී කාරණා රාශියක් ඵලයට බලපානු ඇත. එසේම ඔබගේ පහර ඔහුගේ කම්මුලට වේදනා දුන්නා පමණක් නොව එය සිත්හි රැදී තිබීම නිසා ඔහු කරන අනෙකුත් ක්‍රියා වලට ඉන් වන බලපෑම හා ඒවායේ ප්‍රතිඵල ආදී වශයෙන් ඉදිරියට දිවෙයි.

කොටින්ම කියනවා නම් හේතු ඵල සම්බන්ධය යනු හුදෙක් ඔබ නරකක් කළොත් කොහේ හරි තියෙන මායා බලයකින් ඔබට නරකක් වෙනවා කියන එකවත්, ඍජු රේඛාවක් දිගේ මේ ඵලයට මේ හේතුවයි කියා සොයාගෙන යා හැක්කක්වත් නොවේ. එය හේතුඵල ජාලයකි. මෙය වටහා ගැනීම තුළින් ඇති වාසිය තමන්ට දුක් සහගත අත්දැකීමකට මුහුන දුන් විට එම දුක දෙස වියුක්තව බැලීමට හැකියාවක් ලැබීමයි. ඒ දුක ඇති වුනේ හුදෙක් ඊට සෘජු සම්බන්ධය ඇති පුද්ගලයා හෝ එකී ක්‍රියාව පමණක් නොව, ඒ වටා ඇති තවත් හේතූන් සමූහයක් බව පෙනී යයි. ඒ නිසා දුක කියන ධර්මතාවයෙහි බාහිර සාධක පසෙකින් තිබියදී අභ්‍යන්තර සාධකයක් තුළින් තැවීම ලැබෙන බව පෙනී යයි. මමත්වයත්, ඒ මතින් ඇති වන බැදීමත්, මේ හේතුඵල ජාලයේම එක් මොහොතක් බවත්, එය නැති කිරීමට අවශ්‍ය දාන, සීල, භාවනා ප්‍රගුණ කිරීම විදවීමෙන් මිදීමට හැකියාව ලබාදෙන බවත් පෙනී යයි.

එසේම ‘සිංහල වෙදකම’ සම්බන්ධයෙන් වන උදම් ඇනීමක් මෙලෙස වෙයි. ‘බටහිර වෙදකම’ රෝග ලක්ෂණ වලට බෙහෙත් කරන විට ‘සිංහල වෙදකම’ බෙහෙත් කරන්නේ රෝග මූලයට කියලයි කියන්නේ. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත්, මින් පෙනී යන දෙය නම්, බෞද්ධ පරිසරයක් තුළ ගොඩ නැගුනු ‘සිංහල වෙදකමට’ උක්ත හේතුඵල සම්බන්ධය බලපා ඇති ආකාරයයි. අදත් බටහිර වෙදකමට බැරි දේවල් ‘සිංහල වෙදකමට’ පුළුවන් කියල කරන උදම් ඇනීමේ ගැබ්වන අර්ථය නම් බෞද්ධ වූ සිංහලයා හුදු කටපාඩමට පමණක් නොව, තම එදිනෙදා ජීවිතයේ අත්දැකීම් මගින් පවත්නා දැනුම් විකසිත කර ගැනීම සදහා හේතුඵල සම්බන්ධය ලං කර ගෙන ඇති ආකාරයයි.

තිස් අවුරුද්දයි තවත් එකොළහක්

දැං අපි අදට එමු. මේ වන විට දෙමළාගේ අවුරුදු 30 ක සන්නද්ධ නැගිටීම පරාජය කර දැං දශකයකටත් වැඩිය. දැං ඕක උංට තියෙන කැසිල්ලට කරපු සටනක් නම්, අද වෙනකොට ඉතුරු වෙන්න ඕනෙ තමන්ගේ දරුවන් නැතිවූ, අතුරුදහන් වූ දුකට අඩන අම්මලා ටිකක් පමණයි නේද? ඒත් එතන ඊට වඩා පිරිසක් ඉන්නවනෙ. උං මොන කෙහෙල්මලකටද ඔතන රිංගං ඉන්නේ? ඕකට තියෙන ප්‍රසිද්ධ සිංහලවාදී හේතුව නම් උං නැති ප්‍රශ්නයක් මවල ඩයස්පෝරා සල්ලි කඩාගන්න දගලනවා, නැතිනම් දේශපාලන වාසි ලබා ගන්න දගලනවා කියන එකයි. ඒක හොද තර්කයක්. එහෙම අය ඇත්තෙම නෑ කියල කාටවත් කියන්නත් බෑ නේ.

හැබැයි හේතුඵල දහම ප්‍රගුණ කිරීම මෝක්ෂ මාර්ගය කරගත් අපි දෙමළා පරාජය කිරීමේ දරුණු ක්‍රියාමාර්ගය ගැන ‘හිත හදාගන්න’ හේතුවක් දාගෙන, තවත් හේතු තිබිය හැකිද යන්න විමසා බැලීම මග හරිමු ද?

සමේ ඇතිවන කැසිල්ල කියන්නේ සාමාන්‍යයෙන් අහිතකර සාධකයක් ඉවත් කිරීමට සොබාදහමින් ලබා දී ඇති ආරක්ෂණ උපක්‍රමයක්. ඉදින් පෙර කී පරිදි ඔවුන් සටන් කළේ කැසිල්ලට නම්, ඒ කියන්නේ ජාතියක් හැටියට ඔවුන්ට වූ අහිතකර සාධකයක් ඉවත් කිරීම සදහා ඔවුන්ව මෙහෙයවූයේ සොබා දහම ද?

හේතුඵල සම්බන්ධය වටහාගත් පමණින් අපට සෑම දෙයකම හේතුව දැනගැනීමට පුළුවන් වන්නේ නැත. උදාහරණයක් වශයෙන් උණ කියන රෝග ලක්ෂණය හැදුනම, ඒ හා සම්බන්ධ අනෙකුත් රෝග ලක්ෂණ (ඵල) අපෙන් විමසා ඒවා ඇති වීමට හේතු තම අධ්‍යාපනය (පූර්ව ඥානය) හා කලක් ප්‍රතිකාරවල යෙදීමෙන් ලත් අත්දැකීම් තුළින් රෝග මූලයන් (හේතු) හදුනාගෙන, ඒවාට අදාල කාලයේ හෝ ප්‍රදේශයේ පැතිරී ඇති සුලභ වෛරසයන් සම්බන්ධ තොරතුරු දැනුම ද යොදාගෙන බෙහෙත් කිරීම වෛද්‍යවරයාට භාරය. බුදුන්වහන්සේ ජීවක ගාවට ගියේ ඒ නිසයි.

ඒ නිසා යම් කිසි දෙයක හේතුඵල සම්බන්ධයක් වටහාගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් වන කරුණු කාරනා, තර්ක විතර්ක පිළිබදව (වියුක්ත දැනුම) පුළුල් අවභෝධයක් ලබා තිබීම අත්‍යවශ්‍ය වෙයි.

අමාරු ක්‍රමය – පරම සත්‍ය සොයන්නන්ට

දෙමළ විමුක්ති ‘කොටි’ ප්‍රශ්නය ගත්තම, ඔය කියන විදියට ප්‍රභාකරන් දෙමළ මිනිස්සුන්ව රවට්ටා, නැති ප්‍රශ්නයක් උඩ අවුරුදු තිහක් යුද්ධ කළාද කියන එක විසදා ගැනීමට කරුණු රාශියක් අවශ්‍ය වෙයි. කොටින්ගේ නැගිටීමට කලින් ස්වපාලනය පිළිබද ප්‍රශ්නයක් දෙමළ ජනතාව අතරින් මතු වී තිබේද? එවැනි ඉල්ලීමක් ඔවුන් තුලින් මතු වූයේ කෙසේද? ඔවුන් මතු කළ ගැටළු වලට රාජ්‍ය ප්‍රතිචාර මොනවාද? ‘කොටි’ නොවන වෙනත් අය හිටිය නම් ඒ අයට මොකද උනේ? ඔවුනුත් කොටින්ට බැදුනද? නැත්නම් කොටි උංව මැරුවද? නැත්නම් හමුදාවෙන් මැරුවද? පොඩියට පටන් ගත්ත කොටි සංවිධානය කාලයාගේ ඇවෑමෙන් හුදු ගරිල්ලා සංවිධානයක ස්වභාවයෙන් මිදී බැංකු, පොලීසී, උසාවි හා පරිපාලන යන්ත්‍රයක් සහිත රාජ්‍යයක් ගොඩ නැගීම සදහා ගමන් කළේ කොහොමද?

මේ වගේ තවත් ප්‍රශ්න රාශියකට උත්තර සොයමින් තමා අපිට මේ දෙමළ ජනතාවගේ අරගලයේ හෝ එහි නියෝජිතයන්ගේ ගමනට හේතුඵල සම්බන්ධය ආදේශ කර හැකි වන්නේ.

එය ලේසි නැත. සිංහල නිව්ස් බලල, මුහුනු පොතේ පෝස්ට් බලල පමණක් මේ කරුණු කාරණා හා ඒ හා බැදුනු තර්කණයන් අවබෝධ කර ගැනීමට හැකි වන්නේ නැත.

කාර්යබහුල ජීවිත ගත කරන අපිට, අවුරුදු දෙදහස් පන්සියයක් ගතවීත් නිවන ගැනවත් අවබෝධයක් ලැබීමට හිතන්න කාලයක් නොතිබුණු කොට, මේ සදහා විශාල කාලයක් යෙදවීම ටිකක් දුෂ්කරයි කියන එකත් ඇත්ත. පරම සත්‍ය සොයන දැනුම් පිපාසිතයන්ට එය කළ හැකිය.

සරළ – ශාන්තිදායක ක්‍රමය

එහෙම නම් පෙර කීවාක් මෙන්, මේ බාහිර සාධක එසේ තිබියදී යුද්ධය සම්බන්ධයෙන් කථා කිරීමේ දී අප තුළ පවතින එයට බැදුනු සාධක ගැන අපට සළකා බැලිය හැකිය. මෙය බයි වන් ගෙට් වන් චාන්ස් එකක් වන්නේ, එයින් යුධ ජය සම්බන්ධයෙන් අපගේ චින්තනය වඩා යථාවාදී ලෙස හා ප්‍රශස්ත ලෙසත් ගොඩ නංවා ගන්නවාත් සමගම නිවන දෙසට ටිකක් ලං වීමට මග පාදාගන්න පුලුවන් වීමයි. ඒ තමා අර කලින් කිව්ව මමත්වය මත ගොඩ නැගුන පක්ෂපාතීත්වයන්, බැදීම් වටහා ගැනීම.

‘මම’ කියන සංකල්පය කොහොමද ඇති වුනේ? මගේ කියල දෙයක් තියෙන්න පුලුවන්ද? එහෙම අයිති කරගන්න පුලුවන් නිශ්චිත දේවල් පවතිනවද? එවා අයිති කරගන්න හැකියාව ලත් ‘මම’ කියල නිශ්චිත කෙනෙක් ඉන්නවද? මේ ගැන හොයාගෙන යද්දි පේනව ‘මම’, ‘ද්‍රව්‍ය’, ‘සංකල්ප’ කියන මේ හැම දෙයක්ම පවතින්නේ ඒ ඒ (මිනුමකට ගත නොහැකි) ‘මොහොත’ ක පමණක් බව. හැම දෙයක්ම වෙනස් වෙමින් ගලාගෙන යන බව. එකම දේකට ඇලිල ඉන්න එක, ඒ කියන්නේ ඒ දේ ඒ දේටම සමානයි කියල හිතන එක, එදිනෙදා පැවැත්මට මොහොතක දී අවශ්‍ය වුවත්, එම දෙයත්, තමනුත්, අවශ්‍යතාවයත් ඊලග මොහොතක් පාසා වෙනස් වන බව අපට එතකොට පේන්න ගන්නවා.

‘මම’ කියන එක ‘අනෙකා’ සමග පවතින අන්තර් සම්බන්ධය තුොළ ඊලග මොහොතේ වෙනස් වෙනව නම්, ‘මගේ’ කියන එකත් ඊලග මොහොතේ වෙනස් වෙනව. ‘ජාතිය’ කියන එකත් වෙනස් වෙන නිසා ස්ථිරව පවත්නා මගේ සිංහල ජාතියක් නෑ කියන එක තේරෙන්න පටන් ගන්නවා. අපි තාම මූලික සේපියන් වානරයා නොවී සිංහල ජාතිය වෙලා තියෙන්නෙත් මේ වෙනස් වීම අනුව පෙනී යනවා. වෙනස් නොවී, අමිශ්‍රව තිබ්බ නම් සිංහල ජාතියක් ඇති නොවන බවත් පේනවා. ඒ වගේම මීට අවුරුදු 50කට කලින් තිබ්බ සිංහල ජාතිය නෙමේ අද තියෙන්නෙ කියලත් පෙනී යනවා. කොටින්ම කියනව නම් මේ සේරම හේතුඵල සම්බන්ධය ඔස්සේ ගලා යන සංකල්ප කියල පෙනී යනවා.

ඒ නිසා මෙතන මරාගන්න දෙයක් නෑ කියල පෙනී යනවා.

මගේ ඊලම, නැතිනම් මගේ නිජබිම කියන්නේ මායාවක් කියල පෙනී යනවා. වැදගත් වන්නේ මේ මොහොත තුළ සැනසීමෙන් ජීවත් වීම කියල පෙනී යනවා. එතකොට තමා දාන, ශීල, භාවනා එන්නේ. එතෙන්දි, යමෙකුට සැනසීම නොලැබේ නම් එය ලබා දීමට උපකාර කිරීම යහපත් බව පෙනී යනවා. තමන් සන්තකයෙහි ඇති දේ අතහැර අනෙකාගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීමද, කිසිවෙකුට කරදරයක් නොවී සිල්වත් විදියට ජීවත් වීමද, සිත චංචල නොවී යථාවබෝධයෙන් තබා ගැනීමද ප්‍රගුණ කිරීම තුළින් නිවිච්ච ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා.

එසේම, බෞද්ධයින්ට මේ සදහා අවශ්‍ය පසුබිම තිබ්බත් අනෙක් ආගමිකයන්ට හෝ අනාගමිකයන්ට මේ සම්බන්ධ පසුබිමක් නොතිබෙන්න පුළුවන්. එසේ නම් බුදුන් අපටව වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්නපු මාර්ගය නම් පුළුවන් තරම් තමන් අවබෝධ කරගත් නිවීම පිළිබද දහම අනෙක් අයට කියා දීමයි. ඒ මග යමින් ලෝ වාසී සියලු දෙනාට මේ අවබෝධය ලබා දීමට කටයුතු කිරීමයි.

ඒක එදාට වඩා අද ලෙහෙසියි.

ලෝකෙන් උතුම් රට ගොඩනැගීම

ලංකාව කියන දූපතේ, ‘සිංහල බෞද්ධ’ කියන මිනිස්සු ටිකක් ලෝකෙ හැමෝටම වඩා සතුටින්, යහපත් විදියට, විචක්ෂණ ලෙස ලෝක ධර්මයන් දෙස බලමින්, ඒවායින් කම්පා නොවී ජීවත් වෙනවා කියන මතය ට්‍රෙන්ඩිං වෙන්න අද යන්නේ පැය ගානයි.

ඉස්සර දෙමළ බෞද්ධයොත් සුලභ බව කියවෙනවා. උතුරේ ඇති පෞරාණික බෞද්ධාගමික නටඹුන් ඊට සාක්ෂි දරනවා. ඉදින් ඔවුන්ටත් මේ සත්‍ය වටහා ගැනීම වඩා පහසු කාර්යයක් වෙයි. හැබැයි ඒක උතුරෙ පාරක් පාරක් ගානෙ බුදු පිළිම හිටෙව්ව කියල වෙන්නෙ නෑ. ඒ වෙනුවට දකුණේ ධාර්මික බව ප්‍රත්‍යක්ෂයෙන් පෙන්වමින්, අප ඒ යහපත් දිවියට ගමන් කළ මාර්ගය ඔවුන්ටත් පෙන්වා දී අප ලත් ප්‍රඥාව පතුරුවා හැරීම නෙවෙයිද අපි බෞද්ධයින් වශයෙන් කළ යුත්තේ?

ආර්තර් සී ක්ලාක් මහත්මය කිව්වලු ලෝකයේ ඉතිරි වන එකම දර්ශනය බෞද්ධ දර්ශනයයි කියල. එතුමා එහෙම කිව්ව නම් කියන්න ඇත්තේ, අපි ලෝකෙ පුරා මංසන්ධියක් ගානේ කොන්ක්‍රීට් පිළිම සවි කරයි කියන අදහසින් නම් නොවේ, බුදු දහමේ තියෙන නිවීම ලෝකය පුරා පැතිරෙයි කියල හිතල වෙන්න ඕනෙ. ඇත්තටම ඒක කරන්න බැරි නෑ.

ඉතිං මට පේන විදියට, ඔහොම තමා ඊලමට (දෙමළ ඊලම හා  සිංහල ඊලම යන දෙකටම) උත්තර හොයන්න වෙන්නේ බෞද්ධ විදියට. යුද්ධ කරල ජීවිත විනාශ කරන එක තරම් මේක අමාරු නෑ. ආයුධ ගෙන්නන්න සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ. මරන්න – මැරෙන්න ඕනෙ නෑ. නිදහස් වෙලාවක් හොයාගෙන පටිච්චසමුප්පාදය අධ්‍යයනය කරල, චතුරාර්ය සත්‍ය වටහාගන්න උත්සාහ කරල, නිවීම ඇති කරගෙන තමං ගිය මාර්ගය ප්‍රායෝගිකවම අනුගමනය කරමින් අනික් අයගේ සුභ සිද්ධිය උදෙසා කිය කියා යන්න තියෙන්නේ. නැත්නම් මුහුනු පොතේ පෝස්ට් දාන්න තියෙන්නේ.

හැබැයි ඕක නොකරනව නම්, අපි මතක තියාගන්න ඕනෙ යුද්ධෙන් විනාශ කළේ ඵලය මිස හේතුව නොවන බව.

මේක ලිව්වේ මං දන්න තරමට. මෙය කියවන අයවලුන් ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වේවා යැයි පතමි.

– කුෂාන්

You may also like...

3 Responses

  1. H Sriyananda says:

    Very sensible

  2. Isuru Chathuranga says:

    බෞද්ධ විදියට ලස්සනට යුද්ධ කරන හැටි…❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.