අපේක්ෂකයන් ප්‍රවර්ධනය බැරි නම්, සහනාධාරත් නෑලු…
කොරෝනා වසංගතයෙන් අසරණ වූවන්ට සහන සැළසීමේ ව්‍යාපෘතිය යටතේ ලබාදෙන රු. 5000/- දීමනාව ජූනි මාසය සඳහා ලබා නොදීමට රජය තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් සාවද්‍යය ලෙස අර්ථ නිරූපණය කරමින් රජය මෙම පියවර ගෙන ඇති බව පෙනේ.
රජය පෙන්වන්නට උත්සාහ කරනුයේ, ‘කොරෝනා අවදානම දුරුවී රට තුළ මහමැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් උදාවී ඇති නිසා, මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සහනාධාර ලබා නොදිය යුතු යැයි කියා සිටින්නේය’ යන අදහසයි. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහනාධාර ලබා දීම ගැන සළකාබැලිය යුතු යැයි කියා සිටින්නේ කොරෝනා අවදානම දුරු වී රට තුළ මහා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් උදාවී ඇතැයි ආණ්ඩුවේ පිරිස් ඉදිරිපත් කරන කරුණු මත පදනම්ව ය. තමා සහනාධාර ලබා දීම ගැන සළකාබැලිය යුතු යැයි කියා ඇත්තේ ‘කොරෝනා අවදානම පහව ගොස් ඇත’ යන්න අර්ථවත් කිරීමේ අදහසකින් නොවන බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඔහු තම ලිපියෙන් අවධාරණය කරනුයේ සහනාධාර ලබාදීමේදී, සහනාධාර ලබාදීමට අත්‍යවශ්‍ය පුද්ගලයින් හඳුනාගැනීම හා එම ක්‍රියාන්විතය මැතිවරණ ප්‍රචාරණ කාර්යයෙන් තොර විය යුතුය යන්නය. කිසිම පක්ෂයක අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ දිසාවෙන් සිදු නොවිය යුතු බවය.
මෙම අදහස ප්‍රකාශ වීමත් සමගම එය ‘මහා මැතිවරණය වහාම පැවැත්විය යුතුය’ යන අර්ථය මතු කිරීමක් ලෙස ඉදිරියට ගෙන ඒමට රජය කටයුතු කිරීම කණගාටුදායකය. සහනාධාර ලබාදීමේ කාර්ය තුළ නොයෙකුත් අඩුලුහුඩුකම් පවතින බව ප්‍රචලිතය. මානුෂික මෙහෙවරකට දේශපාලන ප්‍රචාරණය මුසු වීම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල විවේචනයට ලක්ව තිබේ. රාජ්‍ය සේවක වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කරන ලෙස ඉල්ලීමද රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් වලට කළ බලපෑමකි. එමෙන්ම ප්රමුඛ රාජ්‍ය අරමුදලක් මහජන නියෝජිතයින්ගේ අනුමැතියකින් තොරව පරිශීලනය කිරීමට උත්සාහ කිරීම අයථා භාවිතයකි.
රාජ්‍ය සේවක දෛනික වැටුප ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වසංගත රෝග නිවාරණ හා සහන සේවා කටයුතු සඳහා යෙදවීම පිළිබදව වෘත්තීය සමිති ක්ෂේත්රයේ නොසන්සුන්කාරිත්වයක් හටගෙන ඇත. සහනාධාර වශයෙන් රජය වෙත ලැබී ඇති ප්‍රදානයන් නිසි කළමනාකරණයකට යොමු කළ බවක්ද ප්‍රකාශයට පත්වී නොමැත. මේ අතර කෝවිඩ් 19 ව්‍යාප්තිය නිසා අවදානමට ලක්ව ඇති ක්ෂෙත්රයන් නගාසිටුවීම සඳහා අප රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කර ඇති ප්‍රමාණය 0.21%ක් බව කියැවේ. එය අනිකුත් දකුණු ආසියාතික රටවල් වලට සාපේක්ෂව ඉතාම අඩු අගයකි. ඒකාබද්ධ අරමුදල දිගින් දිගටම පරිශීලනය කිරීමේ ජනාධිපතිවරයාට ඇති හැකියාව සම්බන්ධයෙන්ද ගැටළු මතුවී ඇත.
ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුවක සංකල්පය සංවර්ධනය වූ බ්‍රිතාන්‍යයේ, එම ආරම්භක වකවානුවේදීම රාජ්‍ය මුදල් පරිහරණය පිළිබදව විශය පාර්ලිමේන්තුව වෙතම අන්තර්ග්‍රහණය කළේය. හේතුව රාජ්‍යයක මුදල් යනු යම් රටක පුද්ගලයින් කීපදෙනෙකු සතු සම්පත් නොවන නිසාය. එය ප්රජාතන්ත්රවාදී අයිතියේ මුහුකුරා යාමකි.
සහනාධාර කපාහැරීමේ තීන්දුව මත ජනතාව මහා මැතිවරණය ලබා ගැනීමේ මෙහෙයුමක් වෙත යොමු කිරීමේ අරමුණ ගැබ්ව ඇත. සහනාධාර ලබා නොදෙන වාතාවරණයක රටේ කොරෝනා අවදානමේ පසුබෑමක් ඇතිවී තිබෙන බව ගම්‍ය වේ (සහනාධාර ලබාදෙන්නේ ජනතාවට කිසියම් ආදායමක් ලබාගත නොහැකි පසුබිමකය). ඒ නිසා මහා මැතිවරණය පැවැත්වීම සුදුසුය යන මතය ඉස්මතු වේ. එය අතිශය දීප්තියෙන් බැඹලේ. තත්ත්වය එසේනම් මැතිවරණය කල්දැමීම ප්රජාතන්ත්ර විරෝධීය. එය ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීමකි. එසේනම් මැතිවරණය පැවැත්විය යුතුය. රජය කියා සිටින්නේ එයයි.
නමුත් මැතිවරණයක් යනු දැවැන්ත මතවාදී අරගලයක් ඔස්සේ පක්ෂ විපක්ෂ මැතිවරණ ව්‍යාපාරයන් ගොඩ නැගීම ඔස්සේ දියත් වන්නකි. එයට ඉඩක් නැති පරිසරයක් තුළ, ජනතා පෙලගැස්වීමකින් තොරව පවත්වන මැතිවරණයකින් ප්රජාතන්ත්රවාදය රැකේ ද යන්න සැක සහිත ය.
ප්‍රියන්ත සිල්වා
සබැදි ලිපි
- වැටුප් කප්පාදුව නැවැත්තුවේ නැත්නම් අධිකරණ හා ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යනවා
- හිතුවක්කාර මූල්‍ය කලමනාකරණය ප්රජාතන්ත්රවාදය නොවේ
- අර්ථසාධක අරමුදලේ මූර්ත අගය ශුන්‍ය වීම!
- රජයේ සේවකයන්ගෙන් පරිත්‍යාග ඉල්ලන්න ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරට කිසිම අයිතියක් නෑ
- ජනාධිපති ලේකම්ගේ ඉල්ලීම, වැටුප් අරගල මතුවීම වැලැක්වීමේ උපක්‍රමයක් ද?