අර්ථසාධක අරමුදලේ මූර්ත අගය ශුන්‍ය වීම!

සේයා - "ඉලංගරත්න" උපහාර කමිටුව විසින් සම්පාදිත ග්‍රන්තයෙන්.

රාජ්‍ය අංශයේ නොවන සේවකයෙක්-සේවිකාවක් විශ්‍රාම ගන්නා වයසට එළඹි කල්හි ඔහු හෝ ඇයට සේවක අර්ථසාධක අරමුදලෙන් (EPF) ලබා ගත හැක්කේ මූර්ත අගය පිරිහී ගිය මුදල් නෝට්ටු තොගයක් බැවින් එයින් 20% ක් කැමති දෙයක් කරගන්නට හැකි වන පරිදි කලින් ලබා දීම හොද බව සිනමා ශිල්පී අශෝක හදගම කියන්නේ යයි ශෂී පීරිස් දන්වා එවා තිබුණි.  කබ්රාල්-බන්දුල යොජනාවට උර දෙමින් හදගම දක්වා ඇති මේ අදහසට ශෂී කෝපාවිශ්ඨ ස්වරයෙන් ප්‍රතික්‍රියා කර ඇති අයුරු ද දක්නට ලැබුණි. ඒ විවේචනය දකින කල මට සිතුනේ මහ බැංකුව භාරයේ තිබෙන මේ මුදල් වල වටිනාකම ක්ෂය වී යන්නේ නම් ඒ ගැන මහ බැංකු සේවකයෙකු ලෙස හදගම ද වගකිය යුත්තෙකු ලෙස ශෂී විසින් සලකා ඇති බවයි. 

වක්කඩේ කාර්යභාරය, මහ බැංකුවට!

කෙසේ වෙතත් හදගමගේ යෝජනාවේ අසම්පූර්ණ කම නිසා ප්‍රශ්න තුනක් අප ඉදිරියේ මතුවෙයි. මෙතැනදී අපට විමතියක් ඇතිවන්නේ, යමකු විශ්‍රාම ගන්නා අවස්ථාව වන විට මේ EPF අරමුදල වැඩක් ගැනීමට බැරි තරමට මූර්ත වශයෙන් ක්ෂය වී යන්නට එහි භාරකරු වන මහ බැංකුව කටයුතු කර තිබෙනු ඇතැයි (වක්කඩේ හකුරු හංගපු ගෙවිලියට වුන දේ මේ සේවකයන්ට ත් සිදුවෙතැයි) හදගම අවංකවම විශ්වාස කරන්නේ ද? ලෙසිනි. හොදයි එසේ අවංකවම විශ්වාස කරන්නේ යයි සිතමු. එසේ සිතන කල්හි හදගමගේ යෝජනාවේ අසම්පූර්ණකම නිසා ප්‍රශ්න තුනක් අප ඉදිරියේ මතුවෙයි. එනම් පළමුව, මේ 20% ක කතාව වෙනුවට සේවකයන්ට කැමති දෙයක් කර ගන්නට හැකි වන පරිදි එහි මුළු මුදලම බෙදා දෙන්නට යෝජනා නොකරන්නේ ඇයි? දෙවනුව, මෙවැනි ඉතුරුම් ක්‍රමයකින් සිදුවන්නේ සේවකයන්ගේ ශ්‍රම වටිනාකම් අහෝසි කිරීමක් නිසා මේ ඉතුරුම් ක්‍රමයම අහෝසි කිරීමට යෝජනා නොකරන්නේ ඇයි? එමෙන් ම තුන්වනුව, එසේ EPF ක්‍රමය අහෝසි කිරීමෙන් ඉතිරිවන සේවකයන් ගේ වැටුපෙන් වෙන් කරන 8% ක මුදල් ප්‍රමාණය හා සේව්‍ය පක්ෂයෙන් යොදන 12% ක මුදල් ප්‍රමාණය මාසිකව වැටුපට එකතු කිරීම මගින් සේවකයන්ගේ මාසික ආදායම 20% කින් ඉහල දැමීමට යෝජනා නොකරන්නේ ඇයි? එසේ 20% කින් වැටුප වැඩි උවහොත් සේවකයන්ට කැමති දෙයක් කර ගන්නට මාසිකව ම වැඩි මුදලක් අතට එන බව හදගමට නොපෙනීම කණගාටුදායකය. ඔහුගේ දැක්මේ මේ අඩුපාඩු කම් අපි පෙන්වා දෙන්නේ ඒ ආශ්‍රිතව සිනමාවක් නිර්මානය කිරීමට ඔහුට අදහසක් පහල වේ ය යන අවංක චේතනාවෙන් යුතුව ය.  

කබ්රාල්-බන්දුල යෝජනාව ගැන හදගම වේවා, වෙනත් ආර්ථික විශේෂඥයෙකු වේවා මෙවන් අදහසක් පළ කිරීම ලේ රත්කර ගැනීමට තරම් දෙයක් නොවන බව මගේ හැගීමයි. මන් ද යත් තමන් ලබන ලාබ ප්‍රයෝජනයට එහා යමින් අනෙකාගේ වස්තු භංගත්වය වලක්වන්නේ කෙසේ දැයි කල්පනා කිරීමට සමතකු මේ ”විද්වතුන්” අතර මෙකල්හි නැති නිසා ය. නොඑසේ නම් නැති තරමටම දුර්ලභ නිසා ය. නොඑසේ ම පසුගිය දශක දෙක පුරාම වාගේ, මේ අරමුදල පාඩු ලබන කොම්පැනි වල කොටස් මිල ඉහල යවා ගැනීම සදහාත්, භාණ්ඩාගාර බිල්පත්වල පොලිය ඉහල නංවා අයථා ලාබ ලබා ගැනීම සදහාත්, බිද වැටෙන විදෙස් කොටස් වෙළදපලවල් වල ආයෝජනයෙන් විශාල කොමිස් ලබා ගැනීම සදහාත් හා තවත් මෙකී නොකී ජාවාරම් වලට යොදා ගසා කෑම සදහාත් යෙදවූ අයුරු කුප්‍රකට ව තිබිය දී එහි මූර්ත අගය ඛාදනය වීම ගැන කල් ඇතිවම ”විද්වතුන්ගේ” පැත්තෙන් ගෝසාවක් පැන නැගිය යුතු ව තිබුනි.  සුප්‍රසිද්ධ ‘වෝහාරික වාර්ථාව’ මෙලොව එලිය නොදිටීමේ එක් වැදගත් හේතුවක් මේ ය.

මේ කියන්නේ කුමක් ද? 2018 පෙබරවාරි 26 වැනිදා මහ බැංකුව නිකුත් කළ සේවක අර්ථ සාධක අරමුදලේ ආදායම් හා වියදම් ප්‍රකාශණය පරිදි අරමුදලේ මුළු ශුද්ධ වටිනාකම රුපියල් ට්‍රිලියන 02 යි බිලියන 66 ක් ලෙස දැක් විනි. එනම් රුපියල් බිලියන 2066 කි. එ් අනුව බලන කල මේ යෝජනා කර ඇත්තේ ඉන් 20% ක් හෙවත් රු. බිලියන 413 ක් සමාජයට මුදා හැරීමට ය. එනම් මේ සා දැවැන්ත මුදලක් වෙළදපලේ භාණ්ඩ හා සේවා ඉල්ලුම සදහා නිකුත් කිරීමට  ය. සේවක පිරිස් වල ඉතුරුම් මගින් තමන්ගේ කඩා වැටෙන වෙළදපල බේරා ගැනීම ය ඉලක්කය. කුමන නම් බංකොලොත් කමක් ද?

 EPF ය වසංගතයක් වීම

මේ සේවක අර්ථසාධක අරමුදල රුපියල් ට්‍රිලියනයක්  බවට පත් වූ දා සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විමසුමට ලක් කළේ මෙතරම් විශාල අරමුදලක් අත තබා ගෙන ලොවට ණය වන්නේ ඇයි ද? කියායි. එය නිසි පරිදි ආයෝජනය කිරීමෙන් රටටත්, අරමුදලේ සාමාජිකයන්ටත් විශාල වාසියක් ඇති කර ගත හැකි බව එම ආයතනය පෙන්වා දුන්නේ ය. නමුත් මේ යෝජනාවට වෘත්තීය සමිති බහුතරයක් එදා මෙදා තුර බලවත් විරෝධය පල කරයි. මන්දයත් ලංකාවේ පාලකයන්ගේ සමාජ ආර්ථික පිලිවෙත දන්නා නිසාය ඒ. කෙසේ වෙතත් නොතේරෙන බාසාවන් මගින් හා තම පාලනයට සමහර වෘත්තීය සමිති නායකයන්ගේ ඇති දේශපාලන අනුග්‍රහය හා තවත් සමිති නායකන්ගේ ප්‍රාණ බිය යොදා ගනිමින් පෙර කී පරිදි මේ මුදලේ කොටස් අයථා ලෙස යොදා ගත් අවස්ථා විරල නැත. ඉන් අරමුදල ලද පාඩු ගැන දන්නෝ නොදන්නා සේ සිටීමට කැමැත්තෝ ය.

මේ හානිකර සමාජ ආර්ථික පරිසරයේ ගොදුරු බවට පත් කර තිබෙන සේවකයන් ද මේ මොහොතේ පවතින පුද්ගලික ආර්ථික අමාරුකම් වලට උත්තරයක් ලෙස අරමුදලෙන් කොටසක් ලබා ගැනීමට එක හෙලා කැමැත්තෙන් සිටින බව ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් U.C. පෙරේරා පවසා තිබුණි. ඔහු කියන්නේ අනාගතය දකිනවාට වඩා මේ මොහොතේ තිබෙන ප්‍රශ්න වලින් එනම්, ණය බර, දරු පවුල්වල දහසකුත් එකක් එදිනෙදා අවශ්‍යතා වලට උත්තරයක් සොයා ගන්නේ කොහොමද? කිය පැත්තෙන් තමයි සේවකයන්ට බලන්න වෙලා තිබෙන්නේ කියායි. පාලකයන් බලන්නේත් අනාගතය ගැන නොවේ නේ. මේ මොහොතේ රටේ මුදල් සැපයුම ඉහල දාගන්න නේ EPF සල්ලි බෙදන්න බලන්නේ. ඉතිං මේ  පාලකයන්ට නොපෙනෙන හෙටක් මේ කම්කරුවන්ට පෙනෙන්නේ කොහොමද? ඔහු විමසයි. මේකට න්‍යාය සපයන, වාසියට හෝයියා කියන ආචාර්ය මහාචාර්ය වරු ඕන තරම් පදුරක් පදුරක් ගානේ කෙකර ගගා ඉන්න බවයි ඔහු කියන්නේ.

ගතමනා ආර්ථිකය

හොදයි අපි දැන් යලි බලමු හදගමගේ තර්කය දෙස. ඔහුගේ යෝජනාවේ මහා ලොකු ප්‍රඥාවක් දකින්නට නැත. එය අපේ කාලේ නම් O-Level පංතියේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක් දන්න දෙයක්. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනකොට ඉතුරුම් වල මූර්ත වටිනාකම, නැත්නම් ක්‍රය ශක්තිය (ඉන් ලබා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය) පහල යන බව. ඉතුරුම් වල විතරද? මාසේ වැටුපට සිදුවන්නේ ද එයම ය. මාසේ පඩියට වෙන දේ නම් සේවකයන්ට එදිනෙදා ඇගට දැනෙන නිසා ඔවුන් වැටුප් හා වෙනත් දීමනා වැඩි කර ගන්න සටන් කරනවා. ඒ අතරේ නිල නොවන මාර්ග වලින් ගතමනාවක් හොයාගෙන මේ වැඩේට මුහුන දෙන සෑහෙන පිරිසක් රජයේ සේවකයන් අතර, එනම් ජනාධිපති ලේකම්ලා, අමාත්‍යාංශ ලේකම්ලා ගේ සිට කා.කා.ස ලා දක්වා සිටින බව නොදන්නේ කව්ද?

සැබැවින්ම මේ ගතමනා සංස්කෘතිය අද සේවකයන් අතර පමණක් නොවේ සේවා ලාභීන් අතරත් ජනප්‍රිය වී තිබෙන්නකි. තමන්ගේ වැඩේ ඉක්මණින් කරගන්න එක නැවත නැවත මේ තැන්වලට බඩගානවට වඩා මුදල් අතිනුත්, කාලය හා මහන්සිය අතිනුත් බොහෝ ලාබදායක බව දන්නා නිසා, රජයේ ආයතනයකින් යම් සේවාවක් ලබා ගන්න එන අයත් අදාල අයථා මිල අත මිට මොලවන්නේ අසතුටින් නම් නොවේ.

බොහෝ වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය සේවකයෝ හා ගුරුවරු සියල්ලට වඩා පවතින තත්ත්වයට මුහුණ දීමට පින් කර ඇත්තේ ය. ඉස්පිරිතාල වල පෝලිම් හා අධ්‍යාපන තරගය ඔවුන්ගේ මූර්ත වැටුප් ප්‍රශ්නය නිල වශයෙන් ම විසදා ඇත්තේය. මන්ද යත් වැටුපට අමතර ඩිස්පෙන්සරි, චැනල් මධ්‍යස්ථාන, පුද්ගලික ආරෝග්‍ය ශාලා, ටියුෂන් හා පුද්ගලික අධ්‍යාපන ආයතන නිල වශයෙන් පිලිගෙන ඇති නිසා ය. ගතමනාව සදහා වත් ”බ්‍රයිබරියේ” අන්තරාවක් මොවුනට නැත.

මේ අයුරු වැටුප් – දීමනා වැඩි කරගැනීමෙන් හා අමතර ආදායම් මගින් තමන්ගේ ක්‍රය ශක්තිය රැකගෙන යනවා. ඒත් තනිව යමක් කරකියා ගත නොහැකි වන අනාගතයට අදාල ඉතුරුම් ගැන හොයන්නේ ටික දෙනයි. නමුත් මේ චාන්ස් පුද්ගලික අංශයේ තිබෙන්නේ කොහේ ද? ඔවුන් අමතර ආදායමක් ලබන්න නම් අමතර ශ්‍රම කාලයක් ස්වාමියාට ලබා දිය යුතුයි. ඒ කාලය තමන්ගේ ජීවිතයෙන් කපා හැරිය යුතුයි.  සමිති නායකයෝ වත් ඒ ප්‍රශ්නය ගැන දුරදිග හොයන බවක් පේන්නේ නෑ. ඔවුන් උනන්දු ඉතුරුමට ”අත තබන එක” ගැන විතරයි. එකේ මූර්ථ වටිනාකම ක්ෂය නොවී පවත්වා ගැනීම ගැන බැරෑරුම් ලෙස සාකච්ඡාවට ගන්නේ නෑ.

මේ අනුව මේ ගතමනා ක්‍රම මෙරට ආනයන මත පදනම් වූ පාරිභෝජන ආර්ථිකය ගෙන යෑමට අවශ්‍ය ජනගහනයෙන් 15% කට අධික මධ්‍යම පංතිකයන් රැලක් ම නිමවා තිබීම විශේෂයෙන් සැලකිය යුතුය. ගතමනා ආර්ථිකය නැතිනම් මෙරට බොහෝ සුපර් මාකට් වැසී යනු ඇත්තේ ය.

අර්ථසාධකය – ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ අංගයක් ලෙස

අපි දැන් බලමු මේ 1956 නොවැම්බර් 28 වැනිදා සේවක අර්ථසාධක අරමුදල (EPF) ය ක්‍රියාත්මක කරන විට ලංකාවේ පැවැති ජීවන වියදම් තත්ත්වය ගැන. මේ ජිවන වියදම වෙනස් වන ආකාරය ගැන සේවකයන්ට අවබෝධයක් ලබා ගත හැක්කේ මිල දර්ශක ප්‍රයෝජනයට ගෙනයි. එය දැන ගැනීමට පමණක් නොවේ. රටේ උද්ධමනයක් පවතී ද? ඒ මගින් තම ශ්‍රමයට ලැබෙන මුදලේ මූර්ත අගය පහල යමින් තිබේ ද? යන්න වටහා ගැනීමට හැක්කේ මේ දර්ශක මගිනි. සිදුවන මූර්ත වැටුප් කප්පාදුවට අනුව මුදල් වැටුප් වැඩිකර ගැනීම සදහා සේවකයන් ගේ සමිති සංවිධාන වැටුප් ඉල්ලීම් සකස් කිරීමේ දී ත් මේ දර්ශක අවශ්‍ය වෙයි. සේව්‍ය පක්ෂයටත් තමන්ගේ ආයෝජන මගින් ලබන මූර්ත ඉපැයීම් පිළිබද අවබෝධයක් ලබා ගැනීම සදහා මේ දර්ශක ප්‍රයෝජනවත් ය. ජනතාවගේ ජිවන මට්ටම් වල ඇතිවන වෙනස්වීම් පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට සදහා ආණ්ඩු වලට ද මේ මිල දර්ශක ප්‍රයෝජනවත් වෙයි.

හොදයි අපි අපේ කටයුත්තට ප්‍රයෝජනයට ගැනීම සදහා මේ මිල දර්ශක වලට අවධානය යොමු කරමු.  අපි මෙහි දී  සුපුරුදු පරිදි සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි (Colombo Consumer Price Index – CCPI). ලංකාවේ පිළියෙල කරන තවත් මිල දර්ශක ඇතත් ඒ සියල්ල අනාවරණය කරන සංඛ්‍යා අතර බැරෑරුම් වෙනසක් නැති බැවින් හා සියල්ල සංසන්දනය කිරිමට මෙහි ඉඩ නැති බැවින් CCPI ය පමණක් විමසා බලමු. මේ මිල දර්ශකය ජීවන අංකය ලෙස ප්‍රචලිතව ඇති බැවින් එසේ සදහන් කරමු. (සැබැවින්ම උද්ධමන කාරීත්වයේ දරුණු කම සලකා දෝ එය වසන් කිරීමට පසුකාලීනව ආණ්ඩු මගින් පදනම් වර්ෂය වෙනස් කළ බවද මතකයට ගැනීම හොදය.) මේ මොහොතේ මට සොයා ගත හැක්කේ 2005 මහ බැංකු වාර්තාව බැවින් හා එහි ඉදිරිපත්ව ඇති සංඛ්‍යාවන් මුදලේ සත්‍ය තත්ත්වය වටහා ගැනීමට ප්‍රමාණවත් බැවිනුත් එම සංඛ්‍යා වලින් සෑහීමකට පත් වීමට හැකි යයි සැලකීමට හැකිය.

මෙහි දී පදනම් වර්ෂය 1952 = 100 ලෙස ගෙන ඇත.  

වර්ෂය         කොළඹ පාරිභෝගික
                   මිල දර්ෂකය 1952 =100
1952                  100
1955                  105.0
1960                  103.5
1965                  112.5
1970                  138.2
1975                  198.3
1980                  318.2
1985                  561.2
1990                1008.6
1995                1664.6
2000                2539.8
2002                3176.4
2005                4055.5

දැන් 1955 වර්ෂය සලකා බලන කල, 1960 වන විට ජීවන අංකය පහල වැටී ඇති බැවින් වැටුපේ මූර්ත වටිනාකම ඉහල ගියා සේ සැලකිය හැකි වකවානුවකි. 1955 සිට 1970 දක්වා ජිවන අංකය ඉහල ගොස් තිබුණ ද එය මහා පරිමාන උද්ධමන ප්‍රවනතාවයක් පෙන්වන්නේ නැත. එපමණට ඉතුරුම්වල මූර්ත වටිනාකම පහල වැටීම, EPF යට ලැබෙන 10% ක පමණ සාමාන්‍යයකට යටත් කළ හැකි වාර්ෂික පොලිය හා සසදන කල EPF ය පවත්වාගෙන යනවාට වඩා එහි මුදල් ආපසු ගෙන ලමයින්ට කඩල තම්බා දීම වටින්නේ යයි සිතීමට කිසිවකුට ඉඩක් නොවී ය. ඒ නිසා මේ කාලය උද්ධමනකාරී පීඩනයකට අසුවූ කාලයක් ලෙස සැලකීමට තරම් වේගයෙන් පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහල ගිය යුගයක් ලෙස සැලකිය හැකි නොවේ. එපමණට 1958 නොවැම්බර් 28 දින දී අගමැති SWRD බණ්ඩාරනායක EPF ය ක්‍රියාත්මක කළ දින පැවැත් වූ කථාවේ එන ඉලක්කය අතාත්වික නොවේ යයි කව හැකි ය.

”අවුරුදු ගණනකට ප්‍රථමයෙන් කරන්නට තිබූ වැඩක් අපිට කරන්නට පුළුවන් වූ බව සන්තෝෂයෙන් කියන්නට පුළුවන්ව තිබෙනවා. සමාජසේවා කොමිෂන් සභාවක් තිබුණ. අවුරුදු 11 කට ප්‍රථමයෙන්. එයින් සෑහෙන ප්‍රයෝජනවත් අදහස් ඉදිරිපත් කරල තිබුණ. ඒ වාර්තාව හුගක් දුරට හමස් පෙට්ටියකයි හීන් සීරුවේ තබා තිබුනේ, මීට පෙර මේ රටේ ඇති වෙච්ච ආණ්ඩු. දැන් ඒ කොමිෂන් සභාවේ වැදගත් එක්තරා රෙකමදාරුවක් තමයි මෙය. ආණ්ඩුවෙන් පිටස්තරව සිටින සේවක පිරිසට ඒ රාජකාරිවලින්, රක්ෂා වලින් සේවය කරල අස්වන අවස්ථාවලදී ඒ අවසාන කාලයේ දී සෑහෙන ප්‍රමාණයකට වත් පහසුවෙන් ජිවත් වෙන්න පිළිවෙලක්. මෙය අවුරුදු ගණනකට ප්‍රථම කෙරෙන්න තිබුණ වැඩක්. නමුත් අද පුළුවන් වුණා ඒ කටයුත්ත සාර්ථක කරන්න.”

සේයා – ඉලංගරත්න උපහාර කමිටුව විසින් සම්පාදිත ග්‍රන්තයෙන් “ටී බී ඉලංගරත්න – විසි පස් වසරක දේශපාලන පුරාණය”.
ප්‍රථම මුද්‍රණය 1972.05.29

දැන් එදා බණ්ඩාරනායක කළ ඒ කථාව අදට වැදගැම්මකට නැති සේ අහක දැමිය යුත්තක් ද? ඔහු එදා සිටි පුද්ගලික අංශයේ සේවකයන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ගැන කියා ඇත්තේ මෙසේ ය. ”ඉස්සර සේවක පිරිස ගැන කල්පනා කළේ නිකන් හරක් පිරිසක් හැටියටයි. පුළුවන් කාලවලදී පුළුවන් තරම් වැඩ ගන්න – ඔත්පොල වෙලා වැඩ ගන්න බැරි වෙලාවෙදී, නිකන් අයින් කරන්න මොනව වුනත් කමක් නැහැ කියල. අර හරක වගේ වැඩ කරපු කාලයෙට පසුව මස් කඩ වලට විකුණනවා වාගේ – වාසනාවකට වගේ අපේ කම්කරුවා මස් කඩ වලට විකුණන්න වෙන්නේ නැහැ. ඒ තරම් දුරට ගියේ නැහැ. නමුත් ඒ තත්වයට ලංවෙන තත්ත්වයකුයි තිබුණෙ. මනුෂ්‍ය පිරිසක් හැටියටවත් ගණන් ගත්තේ නැහැ. දැන් එම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙනව. ඒ කියන්නේ කම්කරු පිරිස වටිනා පිරිසක් හැටියට මහ ජනතාවගේ වැදගත් කොටසක් හැටියට ගැනෙනවා”

සියළුම පුරවැසියන් සමානයන් ලෙස වෙළදපලට ඇතුලත් කර ගැනීමේ උවමනාවත්, අද මෙන්ම හෙට දවස ගැනත් තෘප්තිමත්, වැඩිහිටියන්ගේ බරෙන් නිදහස් ශ්‍රම බලකායක් වර්ධනය කර ගැනීමේ උවමනාවත් මේ කථාවන්ගේ හැගුම්බර බව ඉවත් කිරීමෙන් දැකිය හැකිය. වෙළද පල ඉදිරයේ සමානවන්නෝ නීතිය හා සමාජය ඉදිරියේ ත් සමානයෝ වෙති. ලංකාවේ ධනපති ක්‍රමය වැඩි දියුණු කර ගැනීමේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ශ්‍රමයේ වටිනාකම තහවුරු කිරීමේ කේන්සියානු  දෘෂ්ඨිය ඒ සමග පැවැතිනි. අපර යුධ උත්පාතයේ දී, එනම් ලෝක ධනපති ක්‍රමයේ සංවර්ධනය වන කාලයක දී පෙරට ආ මේ අදහස් මේ ආර්ථික පසුබැස්මේ දී කාලකන්නි වී යත් නම් තක්සේරුවකින් තොරව ඉවත දැමිය යුතු කුණුකන්දල් ද?

EPF සාමාජිකයෙකුගේ හිමිකම් වල තත්කාලීන මූර්ත අගය කුමක් ද?

දැන් EPF යේ මූර්ත වටිනාකම විහිළු සහගත තත්ත්වයකට පිරිහී ඇතැයි කියන අය තව දුරටත් කියන්නේ මෙහි යම් කිසි වටිනාකමක් ඇත්නම් ඒ අන්තිම අවුරුදු කිහිපය, එනම් අන්තිම අවුරුදු 05 වැඩිම උනොත් 10 පමණ කාලය තුළ එකතු වූ මුදල පමණක් බවයි. එයට කලින් එකතු වූ සොච්චම වැඩක් නැති ප්‍රමාණයක් බවයි.

මේ කියන්නේ කුමක් ද, අනාගතයට වෙනුවෙන් මේ මාසිකව එකතු කරගත් මුදල ඒ ඒ මාස වල අතට ලැබුණා නම් කොයි තරම් වැඩක් කරගත හැකිව නොතිබුනා ද? යන්නයි. 1980 දී රුපියල් 300 ක් වැටුප් ලැබූ අයකු මසකට රුපියල් 60/- ක් ඉතිරි කළේ ය. මේ රුපියල් 60/- වසර 30 කදී 10% සාමාන්‍ය වාර්ශික පොලියක් ලද්දේ යැයි සලකා ගණන් බැලුවොත් රුපියල් කීයක් බවට පත් වේ ද? එදා රු. 60/- න් ලබා ගත හැකිව තිබූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය අද එම මුදලින් ගත හැකි ද? නැත් ද? ලෙසින් සංයුක්තව තර්ක ඉදිරිපත් කළ යුතුය. EPF යට 1960 සිට අද දක්වා ගෙවූ වාර්ෂික පොලී ප්‍රමාණයන් මේ මොහොතේ සොයා ගැනීමට අපහසුය. නමුත් පසුගිය වසර 10 සලකන කල වාර්ශික පොලිය 13% – 7% අතර දෝලනය වීම සලකා 10% සාමාන්‍ය පොලී අනුපාතයක් ලෙස යොදා ගත හැකිය. අඩුපාඩු විය හැකිය. මේ මොහොතේ අපට ලබා ගත හැකි දත්ත හිගකම නිසා සාමාන්‍ය වාර්ෂික පොලිය 10% ලෙස ගැනීම වැරදි විය හැක. එසේ නම් කළ යුත්තේ නිවැරදි පොලී අනුපාතය අනුව ගණනය කර පෙන්වී ම ය. නමුත් ඉදිරිපත්ව ඇති තර්කයේ සත්‍ය-අසත්‍ය තාවය සොයා බැලීමේ ක්‍රමය නම් මෙයයි.

එසේ ගණන් බැලූ කල ලැබෙන පිලිතුර අනුව EPF අරමුදල් වල මූර්ත වටිනාකම එදා මෙදා තුර සමානව පවතිද? අඩුවී තිබේ ද? නැත්නම් වැඩි වී තිබේද? යි හරියට ම දැන ගත හැකි ය. මේ තර්කකරුවන්ට තමන්ගේ විචිකිච්ඡාව නිසා යථාවාදී ලෙස තර්ක ඉදිරිපත් කිරීමට ඉඩ දිය නොහැකි ය. එසේම කුලියට කහින පලියට කොරෝනා ආසාදනය වී ඇතැයි බිය විය යුතු ද නැත.

අද ජොලි කරලා හෙට ගෙල වැලලෑම

හොදයි දැන් අපි සිතමු මේ අයගේ තර්කය හරිය කියා. එසේ නම් ඔවුන් කියා සිටිය යුත්තේ මහින්ද රාජපක්ෂ විසින් වැටුප් වැඩි කිරීම වෙනුවට EPF එකෙන් බෙදා දුන් 30% ට පසු අද ඉතිරිවී ඇති 70% න් 20% ක් නොව 70% ව ම කළ හැකි යමක් කර ගන්නැයි බෙදා දෙන ලෙස ය. කුමට ද කෑල්ලක් ඉතිරි කන්නේ. ඒ අතර ඔවුන් බණ්ඩාරනායකට උත්තරයක් දිය යුතුය. ”නුබගේ උද්ධමනයට ගසාගෙන ගිය අමන EPF ය වෙනුවට මෙන්න ක්‍රමේ” යි යථාවාදී විකල්පයක් ඉදිරිපත් කළ යුතුය. එය බණ්ඩාරනායක කියූ අයුරින් මස්කඩයට දැක්කීම වැනි දෙයක් වුව කමක් නැත. වියපත් වූවන්ට මහමගට නොවැටී අවසන් කාලය ගත කිරීමේ ක්‍රමයක් – හොද හෝ නරක ක්‍රමයක් තිබිය යුතුය.

එපමණද? ප්‍රශ්නය විශ්‍රාමිකයන් පුද්ගලිකව, තනි තනිව  මුහුණ දෙන්නක් ද? විශ්‍රාමය සමග දික්කසාදය ද අනිවාර්ය යයි සලකන්නේ ද? නොඑසේ නම් විශ්‍රාම යන කල්හි තම දරුවන් සියල්ලෝම රැකියා කරන්නෝ වේ ද? වයස 45 දී, 50 දී දරුවන් ලැබීම පුද්ගලික අංශයේ සේවකයන්ට අකැප ද? එසේ ලබන දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට විශ්‍රාමලත් පසුද වගකීමක් ලෙස ඉතිරිව නොපවතින්නේ ද? උසස් අධ්‍යාපනය ලබන දරුවන් 35-40 වියේ දී ලැබුනු දරුවන් විය හැකි ය. තවද, පවුලක් ලෙස ඉටු කළ යුතු සමාජ යුතුකම් වැඩිහිටියන් වීම නිසා තවත් වැඩිවන බව මේ ප්‍රාඥයන් නොදන්නේ ද? ඒවා ඉටු නොකර ගෙල වැල දා ගැනීම ද කළ යුත්තේ? වියපත් වන්නේ තනි පුද්ගලයා නොවේ. භාර්යාව නැතිනම් සැමියා සමගය. තරුණ කල මෙන් නොව රෝගාබාධ ඇතිවන වියටය ඒ එළඹෙන්නේ. එවිට සෞඛ්‍ය අවශ්‍යතා සදහා වියදම! මේ ලැයිස්තුව තව බොහෝ දිගු වෙයි.

ප්‍රාඥයිනි! EPF නොවේ නම් විකල්පය කුමක් ද?

දැන් මේ උදවිය තවත් පිළිතුරක් දිය යුතුය. මේ EPF ය විශ්‍රාම යන වයසට එළඹෙන කල වැඩක් නැති වන්නේ යයි දැනුනේ කබ්රාල්-බන්දුල යුවල ඉන් 20% ක් කොරෝනා යුගයේ වියදම සදහා යයි බෙදා දෙන්නට යෝජනා කළ කල්හි ද? එය විශ්‍රාමය එළඹෙත්දී ශුන්‍ය වන තරමට මූර්ත අගයෙන් පිරිහෙන්නේ යයි කලින් දැන සිටියේ නැද්ද?

එසේ දැන සිටියා නම් මේ ප්‍රශ්නය මතු කර එහි මූර්ත අගය ආරක්ෂා වන අයුරින් වාර්ෂික පොලිය නියම කිරීම වැනි සරල ක්‍රමයක් යෝජනා කිරීම, නැතිනම් විශ්‍රාම යන මොහොතේ ශ්‍රමයේ මුදල් වටිනාකම අනුව සේවා කාලය ගණනය කර ඒ එන ප්‍රමාණය ගෙවීමට යෝජනා කිරීම, නැතිනම් ශ්‍රමයේ වටිනාකම රන්  වලට සමාන කර එහි වටිනාකමේ වෙනස් වීම අනුව වැටුපෙන් 20% කට සමාන ඉතුරුම් වල වටිනාකම නීර්ණය කිරීම යෝජනා කිරීම හෝ EPF යේ මූර්ත වටිනාකම විශ්‍රාම යන මොහොතේ දී ගණනය කළ හැකි වෙනත් ක්‍රමවේදයක් සකසා එ් අනුව ගෙවීම් කිරීමට යෝජනා කළ යුතුය. එසේ නැතිනම් මේ කථා මහදැනමුත්තාගේ දැනුම මෙන් නිෂ්ඵල ද හානිකර ද වනු ඇත.

වියුක්ත ශ්‍රමය විසින් සංයුක්ත ශ්‍රමය කොල්ලකෑම

අවසාන වශයෙන් කව්රුත් තේරුම් ගත යුත්තේ මේ ඉතුරුම් යනු සේවකයන්ගේ ශ්‍රම ශක්තියම බවයි. ප්‍රාග්ධනය ලෙස එකතුවන්නේ සේවකයන්ගේ ශ්‍රම ශක්තියේ නියම වටිනාකම නොගෙවා (වංචනිකව) ඉතිරි කරගන්නා (වියුක්ත කරගන්නා) නොගෙවූ ශ්‍රම වටිනාකමයි. වියුක්ත ශ්‍රමය (Abstract Labour) = ප්‍රාග්ධනය. සාමාන්‍යයෙන් සිදු වන්නේ වියුක්ත ශ්‍රමය, සංයුක්ත ශ්‍රමයට (කම්කරුවාගේ ශ්‍රම ශක්තිය) එරෙහිව වැඩපල තුළදී ආධිපත්‍ය දැරීමයි. එ් පවතින ධනපති ක්‍රමයේ නිෂ්පාදන සම්බන්ධතාවයේ ආකාරය යි. ඉතුරුම් යනු තමන් මුදලින් ලබාගත් මුත් වියදම් නොකළා වූ ශ්‍රම ශක්තියයි. දැන් වියුක්ත ශ්‍රමයේ අංගයක් වන මේ ඉතිරි කිරීම් යොදාගෙන සංයුක්ත ශ්‍රමයට අවමන් කරයි. වෙනත් වචන වලින් කිවහොත් ගොනාට අන්දයි.

ඉතුරුම් යනු ප්‍රාග්ධනයේ තවත් ආකාරයක් වන්නේ ය. තමන් වෙත යොමු කරන ඉතුරුම්, වාණිජ බැංකු මගින් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කර ව්‍යවසායකයන්ට බැංකු ණය ලෙස ලබා දී පොලී ආදායම් ලබා ගනී. නැවත ඉතුරුම් යොමු කර ගැනීම සදහා තම පොලී ආදායමෙන් කොටසක් ඉතුරුම්කරුවාට ලබා දෙයි. වාණිජ බැංකුවල බැංකුකරුවා යයි විරුදාවලි ලබා සිටින මහ බැංකුව බාරයේ තිබෙන EPF ඉතුරුම් නිසි ලෙස ප්‍රාග්ධනය බවට හැරවීමට අසමත්ව සිටී. එය සේවකයන්ගේ වරදක් නොවේ. එහි මූර්ත වටිනාකම ක්ෂයවන්නේ නම් එහි වගකීම මහ බැංකුව බාර ගත යුතුය.  ඒ වගකීම අනුව තමන් වෙත ගබඩා කර ඇති ශ්‍රම වටිනාකම් එලෙසින්ම නිසි මූර්ත අගය ලැබෙන පරිදි  ගණනය  කර නිසි කාලයේ දී ආපසු ලබා දිය යුතුය. රන් කාසි බුජම් වලට රට ඉදි බුජම් හිලව් කිරීමේ අරාබි නිසොල්ලාසයේ පිලිවෙත සේවක ඉතුරුම් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට මහ බැංකුව සුදානම් නොවිය යුතුය.

මහ බැංකුව වනාහී ආණ්ඩුවේ මුල්‍ය පාලනයේ මර්මස්ථානයයි. එහි අධිපතිවරු පත් කරන්නේ පාලකයන්ගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කිරීමේ පූර්ව දැනුවත්කම යටතේ ය. එය තමන් යටතේ ඇති ඉතුරුම්වල වටිනාකම රැක දීමට කටයුතු නොකළේ නම් කර ඇත්තේ එයට ලැබිය යුතු වාර්ශික පොලිය නොගෙවා තිබීමයි. ඒ වෙනුවට අඩු පොලියක් ගෙවා අයථා පරිහරණයක් කර තිබීමයි. පුද්ගලික අංශයේ පාලකයන් මෙන්ම ආණ්ඩුවද මේ සේවකයන්ගෙන් සොරාගෙන තම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගෙන ඇති බවයි. සේවකයන්ගේ පමණක් නොව සේව්‍යයන්ගේ ද මුදල් අයථා ලෙස යොදා ගෙන ඇති බවයි.

නැති නම් සේවක නියෝජිතයන්ගේ පාලනයට හා ඍජු අධීක්ෂණයට යටත්ව මේ අරමුදල් ආයෝජනයන්ට යෙදවීමට සැලසුම් කර ලාබ ලැබීමට කටයුතු කිරීමයි. එයට අදාල නීති සැකසීම යි. දුප්පත් මිනිසුන්ගේ ඉතුරුම් මගින් සැදෙන ප්‍රාග්ධනය යොදාගෙන වාණිජ බැංකු වාර්ෂිකව බිලියන සිය ගණන් වලින් ලාබ ලබයි. ඒවායේ ඇති ප්‍රාග්ධන ශක්තියටත් වඩා වැඩි ප්‍රාග්ධනයක් වන EPF අරමුදල ලාබ දායක ලෙස යෙදවිය නොහැක්කේ වංචාව හා දූෂණ නිසාය. කම්කරු නියෝජිතයන්ගේ අධික්ෂණය මේ අසාර බව ඉක්මවීමට මාවත වෙයි. 

මෙහි දී පලමු පියවර වන්නේ තමන්ගේ ආයතනයේ සේවකයෙකු වන අශෝක හදගමගේ විග්‍රහයේ සැබෑ තතු හෙලි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම යි. එමගින් EPF සාමාජිකයන් තම අරමුදලේ තත්ත්වය ගැන ඇති කරන විචිකිච්ඡාවන් පහ කිරීමට කටයුතු කිරීමයි. මේ සදහා අදාල පියවර ගැනීම වෙනුවෙන් බල කිරීමට වෘත්තීය සමිති වෙතද විශාල වගකීමක් ඇත්තේ ය.

ජාවාරම මුල්කරගත් ආර්ථිකයක ඵලය

එසේ නම් දැන් අවසාන වශයෙන් සැලකිය යුතු වැදගත් කාරණාව වන්නේ EPFය ශුන්‍ය වන තරමට මේ මිල උද්ධමනයක් මගින් ජීවන වියදම ඉහල ගියේ කෙසේ ද? රුපියලේ මූර්ත අගය කඩා වැටුනේ කෙසේ ද? යන්න ගැනයි. ඒ ගැන හදගම මොකුත් නොකියා EPF යට අවමන් කරන්නේ  EPF ‍යේ මේ ඉරණම තිඹිරිගෙයි සිටම ගෙන එන්නක්, නැත්නම් ජානගත පිලිකාවක් ලෙස සැලකිය යුත්තක් සේ සලකා මෙනි. අපි පෙන්වීමු මේ ප්‍රශ්ණය හුදු EPF යේ ප්‍රශ්නයක් නොව ආයෝජනයේ ප්‍රශ්නයක් බව. ආයෝජනය කරන්නේ කුමකට ද? වටිනාකම් එකතුකිරීමේ ටේලර් කම්හල් වලට? සංචාරක හෝටල් වලට? පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට? ආනයන අපනයන වෙළදාමට නැතිනම් කොටස් වෙළද පලට? මේවන් වූ ජාවාරම්වාදී පිලිවෙත් මගින් කිසිම තැනක මුදලේ මූර්ත අගය සුරැකෙන සංවර්ධනයක් ඇති නොවේ. ඒවා ඉක්මවා මෙරට නිෂ්පාදන ආශ්‍රිත වටිනාකම් එකතු කරන කර්මාන්තකරණයකට ගමන් කළ යුතුය.

මෙය වෙනම කළ යුතු සාකච්ඡාවකි. එය දැන් කොරෝනා සමග ඉදිරියට ගනිමින් යයි. ඒ ”කොරෝනාවලින් පසු ආර්ථික සංවර්ධන මාවත” ලෙසය. මේ සදහා දැවැන්ත සැලැස්මක් රාජපක්ෂවරුන් සකසන බවට රූපවාහිනී චැනල් වල පත්තර කියවන්නෝ හා ප්‍රවෘත්ති නිවේදකයෝ මේ දින වල ඇස් උඩ තියාගෙන කියා පානු දැකිය හැකිය. ‘කොරෝනා’ යොදා ගෙන කොරන්නට ගිය දෙය නිසා EPF එකේ තත්ත්වය ගැන සොයා බලන්නට අප අවස්ථාව ලද සේම ‘කොරෝනා’ යොදා ගෙන කොරන්නට යන ආර්ථික සංවර්ධනය පිලිබද තොරතුරු එලියට ඒ නම් එය ද අපිට කථා කළ හැකි මාතෘකා බිහි කරනු ඇත. ඒ නිසා අපිට සතුටු ය.

ඒ නැතත් EPF සාකච්ඡාව ඇරඹු රුපියලේ මූර්ථ අගය ශුණ්‍ය වීම ආර්ථික සංවර්ධනයේ ප්‍රශ්නයක් ලෙස සාකච්ඡාවට ගැනීම ද අපගේ කර්තව්‍යයකි.

රණත් කුමාරසිංහ

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.