මෝහය, මර්දනය හා ප්රජාතන්ත්රවාදී ඇමරිකන් කම්කරු බලය
ලියන්න ලියන්න කියල කිව්වට පත්තර වල දාගන්න අමාරුයි.
පත්තර කතුවරයාට ඕන වුනත් අයිතිකාරයන් බලන්නේ ආණ්ඩුවට කිට්ටු වෙලා ඉන්නේ කොහොමද කියලයි. ඒ අනුව ලියන දේ, එයට එකඟ විය යුතුයි.
අපේ නම ඇහුනත් එපා කියල ඉවත් කරන තැන් වැඩි වෙලා. අමාරුවෙන් තමයි යමක් ලෝකෙට කියන්න ඉඩ ලබාගන්නේ.
ඒ ඉඩෙන් වුනත් කියවන්නට යමක් දිය යුතු නිසා වැඩකට ඇති දෙයක් ලියන්නට පරිස්සම් වෙනවා.
මේ අවස්ථා වල ලෝකය තුළ දිග හැරෙන නව ඇමරිකන් බලපෑම ගැන කථා කරන්නම වටිනවා. ඉස්සර ඇමරිකන් හමුදා ගොඩබහින්නේ, ජනතාව සමාජවාදී නිදහස් මත වලට බහින්න පෙරලියක් ආවහම කියල අපට දැනිල තිබුණ. එක පාරටම අද බයිඩන්ගේ බලය වෙන විදියකට ගමන් කළා.
මියන්මාරයේ නීත්‍යානුකූල ප්රජාතන්ත්රවාදී ආණ්ඩුව හමුදාව විසින් පෙරලලා, හමුදාව අතට බලය ගත්තා කිව්වහම, ඇමරිකාව අද එකතු වුනේ ප්රජාතන්ත්රවාදී නායිකාවගේ පැත්තට.
දැන්, එදා කැස්ට්රෝලාගේ කාලෙ වගේ නෙමෙයි. ජනතා ආණ්ඩුවල උදව්වට ඇමරිකාව හමුදා එවනවා. එ් නිසා තුන්වන ලෝකයට ඇත්තටම යහපත් තත්වයක් ඇති වෙලා කියල කියන්න පුළුවන්.
මෙතෙක් ඒබ්‍රහම් ලින්කන්ගේ පර්වත රූපකායක් ලෝකෙට පෙන්නගෙන හිටියත්, නිදහස ගැන ඇමරිකාවේ තිබුනේ වෙන අදහසක්. දැන් මේ අලුත් පෙරලිය තුළ, ඒබ්‍රහම් ලින්කන් ට මල්මාලා දාල එන්න පුළුවන් වෙයි කියල හිතන්න පුළුවන්.
හැබැයි හුඟ දෙනෙක් තාමත් කියන්නේ ලොකුවට කට ඇරන් බලා හිටියට සිදුවෙන වෙනස ලොකු නෑ කියලයි.
මට එහෙම තර්ක කර ගැන්ම හොඳ බවක් පේන්නේ නෑ. ඇමරිකාවේ වැඩ කරන ජනතාව හොඳ ප්රජාතන්ත්රවාදී බලයක් වීදිය තුළම පෙන්වනවා.
වහල් භාවයෙන් මිනිසා මුදා ගැන්මට කථා කරපු ක්රිස්තූන්ව ප්රතිගාමීන්ට අයිති කරගන්න දෙන්න පුලුවන්ද?
ජනවාරි 6 වැනි දා බල්ලො වගේ දුවන්න ට්‍රම්ප් ගේ චන්ඩින්ට කම්කරුවෝ බැටේ දුන්න බව හැමෝටම කියන්න සිද්ධ වුනා. එහෙම ප්රජාතන්ත්රවාදී බල ගැටුමක් වීදිය තුළට ගෙන ආපු එකම පුදුමයක්. කම්කරුවො එදා සැලසුම් සහගත ධනපති බලයට, ප්‍රති සැලසුම් වෙලා අවදියෙන් දුන්න බැටේ හොඳ වැඩක් කියල ප්රවීනයො අප්පුඩි ගහල පිළිගත්ත.
ධනපති නායකයන් හිතුවේ දේව බලයෙන් රටේ වැඩ කෙරේවි කියලයි. සමහරු තිව්වේ ක්‍රිස්තු දේවයන් පන පිටින් වැඩම කරල ඇමරිකාව “වාමාංශික මුර්ග බලයෙන්” මුදා ගන්නව කියල යි. ක්‍රිස්තු වලාවන් තුළින් වැඩම කරනව කියල මඟ බලා හිටිය අයත් එමටයි.
ඇත්තටම ඉතිහාසයේ දී දුප්පත්කමින්, වහල් භාවයෙන් මිනිසා මුදා ගැන්මට කථා කරපු ක්‍රිස්තූන් මේ විදියට ප්රතිගාමී බලවේග වලට ගාවා ගැනීම ම වැරදි වැඩක්. ඒ ගැන තද විරෝධයක් කම්කරු ජනතාව තුළින් හෝ නැගිය යුතුව තිබෙනවා කියල මට හිතෙනවා. බුදුන්, ක්‍රිස්තු, මහමත් වැනි ආගමික නායකයන් ධනපති පාලකයන්ගේ වැරදි වහ ගැන්ම සඳහා යොදවා ගැනීමට සෑම ප්රතිගාමී පාලකයම උත්සාහ කරල තියෙනවා. මෙදා මේ දියුණු කම්කරු පංතියක් ඇති රටක මේ ලෙසට බහුබූත ඇතිවීම ප්රතිගාමී තත්වයක්.
බුදුන් පැවසූ අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම ධර්මය
ලංකාව තුළත් ආගමික වතාවත් වලට විවිධ බලපෑම් ඇතිවීම කණගාටුවට කරුණක්.
මෙරට තුළ බුදුන් අදහන අයත් ආත්මය ගැන විශ්වාස කරනවා. බුදුන් පැහැදිළිවම කිව්වේ අනිච්ඡ, දුක්ඛ, අනාත්ම වූ මිනිස් ජීවිතයක් ගැන. මේ ජීවිතයේ තිබෙන නිසරු බව පෙන්වා දුන්නේ අනාත්ම බවත් පෙන්වා දෙමින්.
ඒ වුනත් අනිත් ආගම් වලින් කියන කතන්දර අනුගමනය කරමින්, ආත්මය බදාගෙන ඉන්නවා. මැරුණු පසු ඒ තැනැත්තාගේ ආත්මය මිනිය බලාගෙන, පින් දෙනතෙක් මල මිනියට ලංවී, නොපෙනෙන ලෙස බලන් ඉන්නවා කියලත් හිතන බොදු අය සිටිනවා.
මෙය හින්දු ආගමේ ආත්ම දැක්ම බොදු බණ අතරට ඇදගත් අයගේ වැරදි දැක්මක්. ජීවිතය තුළ එවැනි නොනැසෙන දෙයක් ඇත කියන මතය බුදුන් පිළිකුලෙන් ඉවත් කළා. එවන් සරු දෙයක් මිනිසා තුළ නැත. අනිත්‍ය වූ, පංචමහා භූතයන් ලෙසට යලි කැඩී යන, ආත්මයක් නැති නිසරු මිනිස් ජීවිතය ගැනයි බුදුන් දේශනා කළේ.
ඒ වුනත් මෙයට විරුද්ධව මියගිය තැනැත්තා මලමිනිය තුළ සිටිනවාය, ආත්මය බලාපොරොත්තුවෙන් බලා සිටිනවා යන අදහස හුඟ දෙනෙක් තුළ තිබෙනවා. ඒ නිසා එය දිරාපත් වී පසට යනතෙක් ඒ තැනැත්තා යම් විදියකට සැරිසරණවාය කියන මතය හැගීම් බරව තිබෙන කතාවක්.
මිත්‍යාව හා මර්දනය
සීලාචාර සමාජයක එම හැගීම් අමු අමුවේ පාගා දැමීම වැරදියි කියල අපට පිළිගන්න වෙනවා.
පුදුමය කියන්නේ මේ විදියට බුදුන්ගේ මතය දරන්නේ නැති අයත්, මේ මතය උඩ, මුස්ලිම් හෝ වෙන අයගේ මිනී විනාශ කිරීමට උඩගෙඩි දෙන එකයි. ඒ අනුව බුද දහම අදහන්නේ නැති වුනත්, අන් ආගමිකයන්ට පහර ගැසීමට මිනී පුච්චන්න කථා කරනවා.
මේ අනුව බලන විට ජාතිවාදී, ආගම්වාදී මත තුළ වැඩ කරන මිනිසුන් ජීවත් වන්නේ ඉතාම පහත් මානසිකත්වයකයි.
බුදු බණ පිළිගන්නවා කියමින්, අනෙකාට හිරිහැර කිරීම උදෙසා මිනී පුච්චන්න කථා කරන උදවිය පව් කාරයින් පිරිසක් ලෙසට අපට නම් කරන්න වෙනවා. සමහරු මේවා ගැන කථා කරන එක ගැනත් දොස් කියනවා. ඒ විදියට මෝඩකම් වසා දැමීමට උත්සාහ කිරීම වැරදියි.
මිනිසා තුළ ඇති පුරුදු, මෝඩ අදහස් ලෙසට සුළුවෙන් තකන්නේ නැතිව, ඒවායේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම, බුදුන් දේශනා කළ ගමන් මඟයි. ඉතා සියුම් ලෙස මිනිස් හිත නිවන් මඟට ගැනීමට බුදුන් උත්සාහ කළා. එහි දී මෝඩකම විශාල සතුරෙකු ලෙසට බුදුන් දේශනා කළා.
ලෝබ, වෛර, මෝහ කියන තුන් වැරදි අතර එකක් වන්නේ මෝඩ කමයි. මෝඩකම, ලෝභය වෛරය වැනිම මහා පාපතර දෙයක් ලෙසට හදුන්වා දෙනවා.
ඉතා නුවනක්කාර ලෙස සිටින උදවිය, මෙවැනි ප්‍රශ්න වලදී දරුණු මෝඩයන් ලෙස හැසිරීම පහත් බව බුදුන් දේශනා කළා.
ඇත්ත මැරීම, මිනී මැරීමටත් වඩා බියකරු විය හැකියි. මොකද, මෝඩකම නිසා විශාල සංහාරයන් ඇති වීමට ඉඩ තිබෙන නිසා.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
- ගෝලීයකරණය – ප්රජාතන්ත්රවාදය හා පොල්පොට් සමාජවාදය
- ලංකාවේ දේශපාලනය සහ ජනතාව
- චීනය, ඉන්දියාව සහ නැගෙනහිර ජැටියේ මිථ්‍යාව හා යථාව
- යැංකි ප්රජාතන්ත්රවාදය හා පොල්පොට් කොමියුනිස්ට්වාදය
- ඇමරිකානු කම්කරු පංතියේ ප්රජාතන්ත්රවාදී අරගලය
- ට්‍රම්ප් පැරදූ ගීතය
- කථිකාව වැඩි වෙන තරමට අවුල් නැතිවෙනවා – බාහු
- බෙදා වෙන් කළ නොහැකි; එකම මිනිස්කම
- චීන ආඥාදායකත්වය සහ සම සමාජය
1 Response
[…] […]