ඇමරිකානු කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය

American Flag Usa United States  - Free-Photos / Pixabay
Free-Photos / Pixabay

පසුගිය වසර වල විශාල වෙනසක් ලෝකය තුළට ගෙනාවා ලිබරල්වාදී ආර්ථිකය විසින්.

විශාල ජාලයක් හැටියට බහුජාතික සමාගම් ඇත්තෙන්ම මේ ලෝකයම එකම දැලකට ඇතුල් කළා. සූරාකෑම, දියුණුව හැටියට වැඩි වීම තුළින් විශාල සම්පත්, හැම පැත්තෙන්ම එලියට ඇදල ගත්තා.

මුහුදු පතුලේ ඉදල අජටාකාශය දක්වා මිනිසා ගමන් කළා.

ධනවාදයේ සංවර්ධන නමින් ධනපතියන් බොහෝ බලවතුන් වෙන අතරම, නිර්ධනීන් විශාල ලෙස එලියට ඇවිත් දියුණු මිනිසුන් ලෙස හැම අතින්ම බලවතුන් බවට පත් වීමත් සිදුවෙනවා.

ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළින්ම විශාල වෙනසක් හැම තැනම ඇති වුනා. එකම විදියේ සංස්කෘතික ජීවිතයක්, ඉංග්‍රීසි සමඟ බිහිවී ලෝකය පුරාම ගලා ගියා.

නිර්ධනයා ඉල්ලන නිදහස, සමානාත්මතාවය, යුක්තියට පිළිතුරු තම ක්‍රමය තුළම ඇති බව පෙන්නන්නට ධනපති මහ මොළකාරයින්ට සිදු වුනා.

ඇමරිකාවේ විවිධ ජාතීන්ගේ එකමුතු ජාතියක් ගොඩනගන්න පටන් ගත්තා. ඒක ලොකු මුසුවිමක්. කළු, සුදු, කහ ආදී සෑම ජන කොටසක්ම එකතු වුනා.

මේ ගොඩනැගෙන සංවර්ධනය තුළින් පුළුල් වන මිනිස් සමාජය අලුත්ම අදහස් එලි කරන බව ලෝකය පුරාම පෙන්නල තිබෙනවා.

එදා ජර්මනිය අධිරාජ්‍ය මධ්‍යස්ථානයක් ලෙස තිබුනෙ නැති වුනත්, අධිරාජ්‍යවාදයේ දර්ශනයන්, කලාවන්, විවිධ කෑම බීම ක්‍රම මේ සියල්ලේ මධ්‍යස්ථානයක් හැටියට ලෝකයේ ලොකු තැනක් තිබුණ.

මිනිසා වඩා පහසු ජීවිත වලට වෙලා, තමා දෙසටම යොමු වී, තමා උදාහරණයට ගනිමින් මිනිස් කමේ දියුණු උදාවක් ඇති කළා.

බුදුන් බිහිවුනේ එදා තිබුණු ආර්ය බලවේගයේ ඉහල කථිකාවක් තිබුණ තැනකට. කෑම බීම ඉදුම් හිටුම් ආදිය ඉහලට යන තැන තමයි දාර්ශණික කථාවන්ට ඉඩ ලැබෙන්නේ.

යුරෝපයේ මැද රටවල් වූ  එංගලන්තය, ප්‍රංශය හා ජර්මනිය යුරෝපා සදාචාරයේ ආදර්ශයන් ලෙසින් අපට සළකන්න වෙනවා. ධනේශ්වරයේ නැගිටීම සමඟම ධනපති, නිර්ධන පන්ති ගැටුමක් මිනිස්කම ගැන අලුත් කථා බහක් ඇති කළා.

එදා ඒ විදියට යුරෝපා සමාජයේ නිදහස පිළිබද කථාබහ ඉඩ ලැබුනේ නැතිනම්, එවැන්නක් අද දවසේ ඉදි වේවිද?

දැන් අපට පෙනෙනවා ඇමරිකාව මේ නූතනවාදී පෙරලියක මුල කදවුර වෙමින් යනවා කියල. යැංකි අසීලාචාර සමාජයක් ලෙසට අවලාද වලට යට වුනත්, එය දැන් ඒ විවේචනය ඉක්මවා වඩා ඉහලට ගෙන ඒමට ඇත්තෙන්ම නූතනවාදයට හැකි වුනා.

ඔවුන් නව ලිබරල් ලෝකය තුළ මිනිස්කම අලුත් විවරණයකට ඇතුල් කළා. යුරෝපා නිර්ධනයන්ට වඩා ඇමරිකානු නිර්ධනයන්ට බලගතු වැඩ කොටසක් ඉදිරිපත් වෙලා තිබුණ කටයුතු කිරීම සඳහා.

සුද්දන් නොවන ජනතාව තුළම මිනිස්කම ගැන ඇත්ත යුත්ත වෙත ලොකු යොමු වීමක් ඇතුල් වුනා ඉදිරි ගමන ගැන. නිර්ධනයා කවුද, මොන තැනක්ද සමාජය තුළ ඇත්තේ, කළු සුදු භේදය නිර්ධන පංතියට දෙන පණිවිඩය කුමක්ද?

මෙතැනදී ඇමරිකන් කළු මිනිසාගේ ගමන තුලට මේ නිර්ධන, පීඩිත සටන ගැන අලුත් අදහසක් ඇති වුනා.

ජාති භේදය, ධනපති නිර්ධන බෙදුමට වඩා බලවත්ද? මිනිස් හැකියාවන් පෙනුම තුළින් බෙදා වෙන්කර පෙන්වන්නට හැකිද? මිනිස් හැකියාවන් එලෙසට බෙදුනා වූ ලෝකයක ඉදිරියට ගෙන යාමට කිසිදා හැකියාවක් නැති බව, බලවත් ඝෝෂාවක් බවට පත් වුනා.

පාට, නැතිනම් උපත අනුව නිර්ධනීන් බෙදා වැඩ ගැනීමට දැමූ උපාය මාර්ග සියල්ලම බිඳදමමින්, මිනිස්කම එකම බලවේගයක්ය කියන මතය නැවත ඉහලට ආවා. එයට මුල්තැන ගත්තේත් ඇමරිකන් බුද්ධිමතුන් පිරිසක්මයි. පොහොසත් වූ පලියටම ඒ හෝ මේ පවුලක හැකියාවන් ඉහලට දමා න්‍යායන් හැදින්වීමට හැදූ හැම උත්සාහයක්ම බොරු වුනා.

මේ අතර මාක්ස්වාදී ධර්මයට බලවත් අරගලයකට මුහුන දෙන්නට සිදු වුනා. ඒ සම්බන්ධරයෙන් මතයන් ඉදිරිපත් කළ අය අතරින් ඇමරිකාවේ කිහිප දෙනෙක් ඉදිරිපත් වුනා. මාර්ක්වාදයට අලුත් දොරටුවක් ඇතුල් කිරීම මේ අය අතින් සිදු වුනා.

අනෙක් අතට ඇමරිකානු සමාජය තුළ මාර්ක්ස්වාදය තුළින් විමසුම් කළ අය වඩා වැඩියෙන්  ශක්තිමත් මත ඉදිරිපත් කළා. එතැනදී ප්‍රජාතන්ත්‍රවාදය හා පංති සටන ගැන විමසුම යලි එලියට ආවා. එය ආවේම ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළින්මයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු පංති නිදහස, වෙනත් වෙනස් පැත්තකින් ඉදිරිපත් කිරීමක් කියන අදහස ඇමරිකානු ජනතාවට ඇතුල් වුනා. මෙහි ප්‍රථිඵලය හැටියට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජයග්‍රහණය පෙන්නුම් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය තුළින් සමානාත්මතාවය මතුවීමත්, සමාජ පරතරය දුරුවීම සටහන් වෙන බවත් සමාජගත වුනා.

හැමෝම වැඩකරුවෝ, හැමෝම අයිතිකරුවෝ කියන බොරුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් වෙනස් කළ හැකිය යන තේමාව හැමටම බෙදීමට සිවිල් සමාජ දැක්ම ඇති අය වැඩ කළා. ධනය හැමටම ලබා ගත හැකිය කියන අදහස බැංකු, මුදල් ආයතන, කොටස් වෙළඳපල තුළින් බෙදා හැරීම නිසා මේ අදහස ඇත්ත ලෙස තබා ගන්න හැරිය.

මේ පදනම තුළ රාජ්‍ය බලය තුළින් හා රජසතුව තුළින් සමාජවාදය ගත හැකිය යන මතය දැඩි ලෙස හෙලා දකිනවා. උදාහරණ ලෙස පොල්පොට් රජය තුළ ඇති වූ තත්ත්වයන්, සෝවියට් දේශය ධනවාදී වෙළඳපල දෙසට ගමන් කිරීමෙන් තහවුරු වුනා.

මෙලෙසට ප්‍රජාතන්ත්‍රවාදයත් පොල්පොට්වාදයත් ආර්ථික දෙපැත්ත ලෙස ලෝකය පුරා පැතිරුණ තත්වයකට අපට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

ඇමරිකාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන ඉදිරිපත් වෙනවා. එරට කම්කරු පංතියේ බලාපොරොත්තුව හැටියටත් එය පැලපදියම් වී තිබෙනවා. මේ තමා ලෝකයට මැදිහත් වීමට නව ජනාධිපතිට ඇති හැකියාව.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

17.11.2020

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.