මෙම අයවැය යථාර්ථවාදී ද?

New Year  Clouds D  - Syaibatulhamdi / Pixabay
Syaibatulhamdi / Pixabay

2021 අයවැය සහන දෙන අයවැයක් ලෙස අර්ථගන්වන්නට උත්සාහ කළද, සහන ලබා දීමේ කිසිඳු විධිමත් ආකාරයක් එයින් පිළිඹිබු නොකරන බව ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ පෙන්වා දෙයි. ඒ අනුව ඔහු මෙම තත්වය පැහැදිලි කරමින් යොමු කර ඇති කරුණු දැක්වීම පහතින් ඉදිරිපත් කරමු.

⁣මෙම අයවැය යථාර්ථවාදී එකක්ද?

ආණ්ඩුව 2021 වසර සඳහා සිය අයවැය ඉදිරිපත් කර ඇති අතර පහත සඳහන් බදු සහන යෝජනා ඉදිරිපත් කර ඇත.

– රඳවාගැනීමේ බද්ද (W/h Tax) නිදහස් වන අංශ
– පොලිය, විශේෂිත ගෙවීම්, ලාභාංශ, දඩ, ස්වභාවික සම්පත් සඳහා කරන ගෙවීම් , කුලී, වාරික, සේවක ආදායම් හා හවුල්කරුවන්ගේ ලාභ කොටස්
– තවදුරටත් කරන ලද නිදහස් කිරීම්
– රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති සමෘද්ධි ජීවිත ඉතුරුම්  ගිණුම් සඳහා ගෙවිය යුතු පොලී ආදායම්
– සුබසාධන සමිති හා ආයතනවල පොලී ආදායම්
– රජයේ සුරැකුම්පත් හා විනිමය කොමිසම යට‌තේ පාලනය වන නිවාස වෙළෙඳපොළේ ආයෝජනවල ලාභාංශ බද්ද හා CGT
– ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හෝ කොටස් වෙළෙඳපොළේ ව්‍යාපාර පුළුල් කිරීමේ අරමුණින් නැවත ආයෝජනය කර ඇති ලාභාංශ වේ නම් එම ලාභාංශයෙන් බදු මුදල් වසර තුනකට ඉවත් කෙරේ.
– වෘත්තීය නිපුණතා අධ්‍යාපනය සාර්ථකව අවසන් කර අලුතින් ආරම්භ කර ඇති ව්‍යාපාර සඳහා වසර පහකට බදු ඉවත් කෙරේ.
– සියලු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර සඳහා වසර හතකට බදු සහන
– තෝරාගත් ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථාන කිහිපයක් සඳහා සිදුකරන ආයෝජන සඳහා  වසර දහයකට බදු ඉවත් කෙරේ.
– දේශීය බෝට්ටු සහ නැව් ගොඩනැගීම සඳහා වසර හතක බදු සහනයක්

ආණ්ඩුව සිය ආදායම ප්‍රධාන වශයෙන්ම උපයාගනු ලබන්නේ සෘජු බදු හා වක්‍ර බදු මගිනි. රජයට හිමි විය යුතු සෘජු ආදායම වනුයේ ආදායම් බද්දයි. එහෙත් මෙම ආදායම් බදු සහනයෙන් ප්‍රතිලාභ හිමිවනුයේ විශාල ආදායම් ලබන පුද්ගලයන්ට  පමණක් බැවින් පාරිභෝගිකයන්ට, මහජනතාවට, මධ්‍යම පාන්තික හා අඩු ආදායම්ලාභීන්ට කිසිදු  ප්‍රතිලාභයක් හිමි නොවේ. එහෙත් මෙම අයවැයෙන් ආදායම් බදු සහන ලබාදීම මගින් රජයට අහිමි වන ආදායම උපයාගැනීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැති  අතර එබැවින් ඉහත කී පරිදි අයවැයෙන් ඉදිරිපත් කර ඇති සහන ලබාදීම ද කළ නොහැකි ය. වැඩිදුටරත් ඉහත සඳහන් කළ ක්ෂේත්‍ර උදෙස් අඩු පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාදීම මෙවැනි බදු සහන ලබාදීමට වඩා ඵලදායී වන අතර  එය මෙම වසංගත තත්ත්වය හමු වේ වුවද ප්‍රයෝජනවත්  ක්‍රියාවකි.

වගා බෝග සඳහා සහතික මිලක් ලබාදෙන බවට ආණ්ඩුව අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති නමුත් සියලුම බෝග රඳවාගැනීමට හෝ ගබඩා කරගැනීමට ධාරිතා පහසුකම් රජයට නොමැති අතර ඒ සඳහා  පෞද්ගලික අංශය මත යැපීමට රජයට සිදු වේ. එමනිසා සහතික මිලක් ලබාදීම පිළිබඳ පෞද්ගලික අංශය ඔවුන්ගේ විරෝධය පළ හැකි අතර එවිට ගැටුම් ඇති වීමේ අවදානමක් ද ඇත. එමෙන්ම වගාවලදී බරපතළ ප්‍රශ්නයක් වනුයේ ඒවාට බලපාන ස්වභාවික විපත්, කෘමීන්ගෙන් එල්ල වන බලපෑම් හා වගා හානිය .

ඒවා වැළැක්වීම සඳහා හෝ ගොවීන් ආරක්ෂා කරගැනීම සඳහා හෝ කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව සතුව නැත. එමෙන්ම පොහොර හා කෘෂිකාර්මික උපකරණ අඩු මුදලකට ලබාදීම ද අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් අතරමැදිකරුවන්ගේ  මැදිහත්වීම හා  ඉහත කී ප්‍රශ්න හේතුවෙන් පාරිභෝගිකයන්ට එම බෝග වැඩි මිලක් ගෙවා ලබාගැනීමට සිදුවේ.

දෙවැනි කරුණ  සැලකීමේදී පොහොර නොමිලේ ලබාදීම සඳහා අවශ්‍ය වන පොහොර තොග රජය සතුව නැත. එම නිසා පොහොර නොමිලේ බෙදාහැරීමේදී පෞද්ගලික අංශය සමඟ ප්‍රශ්නයකට පැටළීමට සිදුවන අතර පොහොර නොමිලේ ලබාදීම සඳහා දරන වියදම ආවරණය කරගන්නේ කෙසේද යන්න අයවැයේ සඳහන්ව නැත.

මෙම අයවැය යෝජනාවට අනුව සෑම ගමකට 4G අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවට ප්‍රකාශ කරන අතර තාක්ෂණය සම්බන්ධයෙන් ගත් විට එය සාධනීය කරුණක්  වුවද එම අන්තර්ජාල පහසුකම් භාවිත කිරීමට උපාංග හා දත්ත ලබාදීමේ කිසිදු වැඩපිළිවෙළක් නොමැති හෙයින් මෙය ප්‍රයෝගික නැත.

අඩු ආදායම්ලාභීන් සඳහා සියයට 6.5ක පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීමට අපේක්ෂා කරන බවට රජය ප්‍රකාශ කරන අතර එම අඩු ආදායම්ලාභී දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගෙන යන ණය පහසුකමක් ලබාගැනීමටවත් හැකි තත්ත්වයක නොමැති තත්ත්වයක පසුවන අය වෙති. එමෙන්ම මෙම ‘කොවිඩ්-19’ තත්ත්වය හේතුවෙන් බැංකු ආර්ථික අවපාත තත්ත්වයකට ලක්ව ඇති බැවින් මෙවැනි අඩු පොලියට ණය පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් නැත.

වැටුප් වර්ධක නම් බලාපොරොත්තු නොවන්න

රජයේ සේවකයන්ට සිය කාර්යාල වේලාවෙන් පසු වෙනත් රැකියාවක නිරත වීමට අයවැයෙන් කර ඇති යෝජනාව සහනයක් නොව ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමක් වන අතර රජයේ සේවකයන්ට අමතර මුදලක් උපයාගැනීමට නම් ඔවුන් තම රැකියාවෙන් පසුව ද තවත්  රැකියාවක නිරත වී වෙහෙස වීමට සිදු වේ. එමෙන්ම එයින් අදහස් වෙන්නේ ඔවුන්ට ඉදිරි වර්ෂවලදී දිරිදීමනා හෝ වැටුප් වැඩි වීමක් සිදු නොවන බව ය.

විශ්‍රාම යන වයස අවුරුදු 60  දක්වා දීර්ඝ කිරීම සාධනීය කරුණක් ලෙස සැලකිය නොහැකි අතර මේ දක්වා රජයේ සේවකයන්ට තම අභිමතය පරිදි වයස අවුරුදු 55න් පසු සිය ශාරීරික සහ වැඩ කිරීමේ හැකියාව අනුව වසර 60 දක්වා තම සේවා කාලය දීර්ඝ කරගැනීමේ හැකියාවක් තිබිණි. එහෙත් මෙම තත්ත්වය යටතේ සිදුව තිබෙන්නේ වසර 60 දක්වා සේවය කිරීම අනිවාර්ය කරුණක්  වීමත් එම නිසා විශ්‍රාම වැටුප එතෙක් ලබාගැනීමට නොහැකි වීම යි.

විදේශ ශ්‍රමිකයන් උපයන මුදල් ලංකාවට එවීමේදී සෑම ඩොලරයකටම අමතර රුපියල් දෙකක් ලබාදෙන බවට අයවැයෙන් ප්‍රකාශ කර ඇති නමුත්, මෙම ‘කොවිඩ්-19’ වසංගතය හමුවේ එලෙස විදේශ රටවල රැකියාව කිරීමට හැකියාවක් ලැබේ ද යන්න ප්‍රශ්න ගත කරුණකි.  එමෙන්ම මෙය අදාළ වන්නේ එම රටවල සාමාන්‍ය රැකියාවල නිරත වන සේවකයන්ට පමණක් වීම ද අවධාරණය කළ යුතු ය. වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයන්, කුසලතා ඇති පුද්ගලයන් මෙන්ම බුද්ධිමත්හු එම රටවල පදිංචි වී එම රටවලට සේවය කරති.

ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් මෙම අයවැයේ කිසිවක් සඳහන්ව නැත.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීම් කටයුතු හා ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් නියාමනය කරන බැවින් එමගින් පාරිසරික නීති උල්ලංඝණය විය හැකි අතර දේශපාලන මැදිහත්වීම් නිසා වංචා දූෂණ සිදුවිය හැක.

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්  වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාණවත් නොවන අතර වන්දි ලබාදීම ද සිදු කළ යුතු ය.

අලි මිනිස් ගැටුමට විසඳුම් වශයෙන් අයවැයෙන් ඉදිරිපත් කර ඇති අලි වැට හා අගල් ඉදි කිරීම ප්‍රයෝගික නොවන අතර ඒ සඳහා කළ යුත්තේ මිනිස් වාසස්ථාන හා අලින් ට ඉඩකඩ සහිත භූමි ප්‍රමාණ ලබා දීම ය.

එමෙන්ම අලුතින් වැව් ඉදි කිරීම සමඟම තිබෙන වැව් ප්‍රතිසංස්කරණය කිරීම ද අත්‍යවශයෙන් කළ යුතු ය.

මෙම කාලවකවනුවේදී අත්‍යවශ්‍ය සේවාව වන සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි මිලියන 18,000ක මුදල ප්‍රමාණවත් නොවන අතර එම මුදල් ප්‍රමාණය ඉහළ නැංවිය යුතු වැදගත්ම කාලසීමාව මෙය වේ.

කහ සම්බන්ධයෙන් ආනයනික බද්ද ඉවත්  කිරීම වෙනුවට ඊට අඩු ආනයනික බද්දක් නිකුත් කිරීම වඩා  ප්‍රයෝගික වන්නේ රටේම සම්පූර්ණ අවශ්‍යතාවයට සරිලන ලෙස දේශීයව කහ නිෂ්පාදනය කිරීමට නොහැකි වීමයි.

එමෙන්ම කහ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන අතර දැනට කහ කිලෝවක වෙළෙඳපොළ මිල රුපියල් 4,000ක් වන අතර එය පාරිභෝගියකට දැඩි සේ බලපායි.

වාහන අමතර කොටස් සඳහා ලබාදී ඇති බදු සහනය පොදු සේවා වාහන මෝටර් බයිසිකල් ත්‍රී රෝද රථ එන්ජින් ධාරිතාව 800ට අඩු වාහන සඳහා පමණක් ලබාදිය යුතු අතර එය සුඛෝපභෝගී වාහන සඳහා ලබා නොදිය යුතු ය.

අයවැයෙන් ධීවර කර්මාන්තය, සත්ව ගොවිපොළ, අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් ලබා දී නොමැත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව කොවිඩ්-19 තත්ත්වය පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා දරුණු ලෙස බලපා ඇත.

මහා පරිමාණ ව්‍යාපාර
කර්මාන්ත සියයට 23ක්
ඉදිකිරීම් සියයට 23ක්
තොග හා සිල්ලර සියයට 29ක්
ආහාර හා නවාතැන් සේවා සියයට 78ක්
කුඩා පරිමාණ
කර්මාන්ත සියයට 51ක්
ඉදිකිරීම් සියයට 73ක්
වෙළෙඳ සියයට 51ක්
සමස්ත සේවා සියයට 78ක්

එහෙත් මෙම කිසිම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන නැත.

පරස්පර දත්ත

ආර්ථික විශ්ලේෂකයන් තවදුරටත් පවසන්නේ මෙම අයවැයෙන් ඉදිරිපත් කර ඇති දත්ත අනෙක් සංඛ්‍යාලේඛන හා දත්ත හා පරස්පර වන බව ය.

2019 මහ බැංකු වාර්තාවට අනුව වියදම රුපියල් බිලියන 2915යි (ණය වාරික රහිතව)

2020 අයවැය මගින් එය රුපියල්  බිලියන 3,428ක් ලෙස දක්වා ඇත.

2020 ඔක්තෝබර් නිකුත් කර ඇති විසර්ජන පනතට අනුව වියදම රුපියල්  බිලියන 3,556ක් වන අතර මෙම අයවැය මඟින් එය රුපියල්  බිලියන 2,854ක් ලෙස දක්වා ඇත. ඒ අනුව රු පියල් බිලියන 702ක පරතරයක් තිබේ.

ප්‍රියන්ත වික්‍රමසිංහ

සබැදි ලිපි

You may also like...

1 Response

  1. December 5, 2020

    […] මෙම අයවැය යථාර්ථවාදී ද? […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.