ෆෙඩ්රික් එංගල්ස් – 200 වන ජන්ම දින සැමරුම

සෙයා - අන්තර්ජාලයෙන්

ලොවේ ඇත්ත තත්වය ගෙන හැර පෙන්වූ මහ ඇදුරන් අතර ඒංගල්ස් ඉහලම තැනකට වැටෙනවා.

විශ්වයම ස්ව ශක්තියෙන් ඇති වෙමින් පැවතීමෙන් හා නැතිවීමෙන් සියල්ල සිදුවෙන බව නූතන ලෝකයට හෙළි කළ මහ ඇදුරන් අතරත් ප්‍රමුඛයා ඔහුය කියුවත් නිවැරදියි.

ලෝකය විස්මය ජනක වුනත් ස්ව බලය තුළින් ගමන් කරන බව යුරෝපයේ සාකච්ඡාවට බඳුන් කළේ හෙගල් ඇදුරාගේ ලොකුම ගෝලයෙක් තමා ඒංගල්ස්. ලෝකය ගැන ඇත්තක් එලියට ගත්ත හෙගල් දේව මෙහෙයුම අසමාන, පරම බලයක් ලෙස ඉදිරිපත් කළා. එසේ මුත් මහා බලයක් ක්‍රියාත්මක වුනත් එය ස්ව බලයන් තුළින් ක්‍රියාත්මක වන බව පැහැදිළි කරන්නට ලොකුම අඩිතාලම දැම්මේ ඒංගල්ස් කිව්වත් නිවැරදියි.

මාර්ක්ස් ආර්ථික විද්‍යාව තුළින් සමාජ ආර්ථික පැවැත්ම වෙනස් වෙමින් වර්ධනය වන අයුරු එලියට ගත් අතර, ඔහුට විද්‍යාත්මක සමාජ ගමන් මඟ එකතු කළේ ඒංගල්ස්. ඒංගල්ස් “දාස් කැපිටාල්” නියම විද්‍යානුකූල තලයට එලියට ගැනීමට මාර්ක්ස් ට උදව් වුනා.

එසේම ලෝක දුව්‍ය ක්‍රියාත්මක වන අයුරු ගැන ඇත්ත ඇති සැටියෙන් ඉංදියාවේ උපන් බුදුන් හෙලි කළ බව ඒංගල්ස්ගේ සොයා බැලීම් තුළ හෙළි වුනා.

ලෝක ස්වාභාවය පිලිබද මේ පුදුම සහගත සිදුවීම, හෙළිදරව් කිරීම යට වී ගොස් පැවතී, නැවත තමන් හෙලි කළ බව ඒංගල්ස් කියා සිටියා. හෙගල් මෙය උඩුකුරුව ඉදිරිපත් කළත්, මේ සැබැවින්ම ස්වබලයෙන් යන විශ්වයන් බව එලි කිරීමට ඒංගල්ස් විශාල වැඩ කොටසක් කළා.

පංති සටනට ඇතුළතින් මිනිසාගේ වර්ධනය, කාන්තාවන්ගේ ඇතුල් වීම, විද්‍යාවේ වර්ධනය, මේ ආදී ලෙසටම නැවත දේව බලය ගැන මිත්‍යාවන් නසා දමා දැනුම එලියට ගන්නට ඒංගල්ස් පිහිට වුනා.

මිනිසාගේ ගමන් මඟ ආර්ථික සමාජ ගමන් මඟ බවත්, දේව මෙහෙයුම ඇත්ත ඇති සැටියෙන් නොබලා කරන කථාවක් බවත් මාක්ස් පෙන්වන විට එයට විද්‍යාත්මකව මිනිසාගේ වැඩි දියුණු වීම පහදුන්නේ ඒංගල්ස් කිව්වත් නිවැරදියි.

ඔහු දෙවන තැන ගෙන මාර්ක්ස්ට එකහෙලාම මුල් තැන දුන්නා. මොකද මිනිසාගේ ආර්ථික ගමන තුළින් ඉතිහාසය ගමන දත යුතු බව තර්කානුකූලව එලියට දැම්මේ මාර්ක්ස් නිසා.

ඒ වගේම ලෝක ස්වාභාවය දර්ශනවාදයන් තුළ ඇති වෙමින්, නැති වෙමින් හා නැවත ඇති වෙමින් මේ යන ගමන හා එය සොබා දහමේ රීතිවලට අනුකූල වන බව පෙන්වීමට, ඔහු කළ මෙහෙවර කියා නිම කළ නොහැකියි.

ඒ නමින් නොවුනත් බුදුන් දෙසූ උත්පාත – තිථි – භංග / උත්පාත යන මුළුමහත් දැනුම් සම්භාරයම ඉදිරියට ගෙන යමින් පිහිටුවීම සිදු වුනේ ඒංගල්ස් මගින්. ඔහු තමා සමාජ ගමන තුළ වානරයන්ගෙන් මිනිසා බිහි වීම හා කාන්තාවන්ගේ කැපවීමෙන් මොළය වැඩි සතකු බිහි වීම අදී වශයෙන් සමාජ ගමන ආර්ථික සංවර්ධනය තුළ ඉහලට යාමේ පසුබිම් හෙළි කළේ. ඒ තමා ඒංගල්ස් මහා සහෝදරයා. මාර්ක්ස් සමඟ එක්ව සටන් කළ ලෝක විද්වතා.

ඒංගල්ස් දේව විශ්වාසය නසා දැමීම ඉතා බලසම්පන්න ව තිබුණ විද්‍යා දැනුම තුළින් කළා.

අද වන විට විද්‍යා දියුණුව තුළම මැවීම විහිළුවක් බවට පත්වෙලා. අද ස්ටීවන් හෝකින්ස් වැනි විද්වතුන් දෙවියන් කන් කෙට්ටෙන් ඇදල කසල ගොඩට දමා තිබෙනවා.

එහෙත් ඒ දුර්මත තුළ විද්‍යාවන් වර්ධනය වෙමින් ආ කලක එලෙස එංගල්ස් විශාල වැඩ කොටසක් කළා. එහිදී එදා බුදුන් ගේ මතය ගැනත් ඒංගල්ස් දැන සිටි බවට සටහන් වෙනවා. ඈත මිනිස් ඉතිහාසයේ මහා දැනුමක් ඇති මිනිසෙක් දේවත්වයන්ගේ බලය හෑල්ලු කළා කීම මහා කටයුත්තක්. එම ජයග්‍රහණය දිරාපත් වුන තැන දෙවියන් පලවා හැරියේ ඒංගල්ස් හා මාර්ක්ස්.

මිනිසා සැබවින්ම වහල් බවෙන් මිදෙන්නේ දෙවියන් ගේ බලය ගැන නන් දෙඩීමෙන් නොව තමන්ගේ වගකීම අතට ගත් විටයි. කළ දෙයට පළ විපාක එය තුළම මිසක වෙන තැනක නැහැ. ඒංගල්ගස්ගේ සැම ලිපියක් තුළම මේ මිනිසාගේ වගකීම ඇතුල් වෙලා තිබෙනවා.

අවුරුදු 200 තුළ ලෝකය පුරාම ඒංගල්ස්ගේ දායාදය ගලාගෙන ගිහින් තිබෙනවා. ඔහු එදා මිය යන දිනයේදීට වඩා විශාල බලයක් ඔහු හෙලිකල දැනුමෙන් මිනිසාට ලැබිල තියෙනවා. ලෝකයේ සෑම බසකටම මාර්ක්-ඒංගල්ස් ඇතුල් වෙලා ඉවරයි.

ධනවාදය ගැන විස්තරයට වඩා මිනිසාගේ ගමන් මඟ පිළිබඳ කථාව ඉහල තලයකට යන බව අලුතෙන් කියන්න උවමනා නැහැ. එය පුළුල් ලෙස බෙදා දීම අද අප කළ යුතු කාර්යයි.

බුදුන් ගැන නිසරු බස් දොඩවමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරමින් නන් දොඩවන ලොක්කන් ඉක්මවමින් ඒංගල්ස්ගේ සමාජ කථිකාව තේරුම්ගැනීමෙන් අදටත් විශාල හැකියාවක් සමාජ කටයුතු වලට ලැබෙන බව ඇත්තක්.

බුදුන් අවුරුදු 3000 කට පෙර දුටු සැබෑ ලෝකය එංගල්ස් අවුරුදු 200කට පෙර නැවත අදුරු ගැඹින් එලියට ගෙන එලි කළත්, අද ලෝකය තුළ මිනිසුන්සතුන් ලෙස හැසිරෙන හැටි බැළුවාම සත්වයාගේ වර්ධනය වීම දැන් කෙලවර වෙලා විනාසය ලං වෙලාද කියල හිතෙනවා.

මිනිස් දැක්ම සොබාදහමේම කොටසක් නිසා අපට නැවතීමක් ගැන කියන්න බැහැ. එක්කෝ ඒංගල්ස් කී පරිදි මිනිසා මහා පිම්මක් පැනිය යුතුයි. නැතිනම් මහා විනාශයකට වැටිය යුතුයි.

මට හිතෙනවා ඒංගල්ස් අප දිහා බලාගෙන දුක්මුසුව ඉන්නව කියල. ඒංගල්ස් ලඟ ඉන්නව නම් විශාල විහිළුවක් කර මට ටොක්කක් දෙනව ෂුවර්!

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

2020.11.28

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.