ලෙනින් 150 වන ජන්ම සමරුව – “උප්පත්තිය”

සේයා - අන්තර්ජාලයෙන්

පසුගිය 22 වන දින සමරණු ලැබූ ලෙනින් සහෝදරයාගේ 150 වන ජන්ම දිනය නිමිත්තෙන් ලිපි පෙලක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට ‘හරය’ තීරණය කළ අතර මේ එහි පළමු ලිපියයි.

ව්ලැඩිමීර් ඉලීච් උල්යානොව් නමට උරුම කම් කියමින් 1870 අප්‍රේල් 22 දා සිම්බ්‍රිස්ක් නම් ප්‍රාදේශිය නගරයේ දරුවකු උපන්නේ ය. ඒ උල්යානොව් පවුලේ තුන්වැනි දරුවා ලෙසයි. තව වසර කිහිපයක් ගත වෙද්දී ව්ලැඩිමීර් ඉලීච් දරුවන් පස් දෙනෙකුගෙන් යුත් උල්යානොව් පවුලේ තුන්වැන්නා වූයේ ය.

අපේ කතාවට අදාල 19 වන ශත වර්ෂය රුසියානු සමාජයේ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් වෙනුවෙන් ඉතිහාසය ඉල්ලුම් කර තිබූ ශත වර්ශයක් විය. ඒ ඉල්ලීම් ලෝකයේ ඇතිවෙමින් ආ ප්‍රබල පරිවර්තනයන් පසුබිම් කරගෙන තිබුනි.

කාර්මික විප්ලවය සමග එක් වූ නව නිෂ්පාදන සබදතා කුනාටුවක් ලෙසින් යුරෝපය සිසාරා යමින් තුබුනේ ය. නව නිෂ්පාදනයේ තිරක බලය ලෙස නැගී සිටි ”ප්‍රාග්ධනය” ඇරඹු එම ගමනට බාධා කළ සියලු ආචීර්ණකල්පික නිශ්පාදන සබදතා මේ කුණාටුවේ ගැටී පුපුරා යමින් පැවතිනි.

කාල් මාක්ස් විටෙක පෙන්වූ පරිදි 1648 බ්‍රිතාන්‍ය විප්ලවය මෙන්ම 1789 ප්‍රංශ විප්ලවය ද හුදෙක් ඒ රට වලට සීමා නොවී ය. ඔහුට අනුව ඒවා යුරෝපියානු වර්ගයකට අයත් විප්ලවයන් ය. ඒවා නියෝජනය කළේ පැරණි දේශපාලන ක්‍රමයක් මත යම් කිසි පංතියක් ලබන ජයග්‍රහනයක් නොවේ. ඒවා යුරෝපීය සමාජයක දේශපාලන ක්‍රමය ප්‍රකාශයට පත් කළේය.

විප්ලවවාදී ධනේශ්වර පංතිය ජයග්‍රාහී විය. එහෙත් ධනේශ්වර පංතියේ ජයග්‍රහණය එම අවදියේ දී නව සමාජ ක්‍රමයක් ලත් ජයග්‍රහනයයි. ඒ වූ කලී, වැඩවසම් අයිතිය අභිබවා ධනේශ්වර අයිතියත්, ශිල්ප ශ්‍රේණිය අභිබවා තරගයත්, ප්‍රවේණි අයිතිය අභිබවා ඉඩම් බෙදා ලීමත්, මිත්‍යාව අභිබවා ප්‍රබුද්ධත්වයත්, පවුලේ නම අභිබවා පවුලත්, අලසකම අභිබවා උද්යෝගිමත්භාවයත්, මධ්‍යකාලීන වරප්‍රසාද අභිබවා ධනේශ්වර නීතියත් ලද ජයග්‍රහණයයි. 1648 විප්ලවය වූ කලී දහසය වැනි සියවස අභිබවා, දහහත් වැනි සියවස ලැබූ ජයග්‍රහණයයි. 1789 විප්ලවය වූ කලී දහහත් වැනි සියවස අභිබවා දහඅට වැනි සියවස ලැබූ ජයග්‍රහණයයි. මෙම විප්ලවයන් පිළිබිඹු කළේ, එවා සිදුවූ ලෝකයේ එම ප්‍රදේශයෙහි, එනම් එංගලන්තයේ සහ ප්‍රංශයේ අවශ්‍යතාවයන් නොව, එකල ලොව පැවැති අවශ්‍යතාවයන් ය.

දැන් මේ කාල් මාක්ස් ගේ වදන් අනුව රුසියාව අතුල්වී තිබුනේ මේ විප්ලවයන් මගින් ප්‍රකාශිත ඓයිතිහාසික අවශ්‍යතාවයන්ගේ තෙරපීමටය.

වැඩවසම් රුසියාවේ දෙසැම්බර්වාදින් ගේ (Decembrist) 1825 දෙසැම්බර් 26 වැනි දින පෙට්‍රෝග්‍රෑඩ් කැරැල්ල නැතිනම් නැගී සිටීම මෙම විප්ලවයන් මගින් කුළු ගැන්වූ නිදහස – යුක්තිය- සාධාරණත්වය පිළිබද හඩ ප්‍රතිරාවය වීමක් විය. රුසියානු රාජ්‍යයේ නිලධාරින් කොටසක් පවා සහාය දුන් මේ නැගිටීමට මෝස්කව්හි හමුදා භටයන් පවා සහාගී වූහ. මේ භටයන් අලුත් අධිරාජ්‍යයාට පක්ෂපාතීත්වය දක්වා දිව්රුම් දීම ප්‍රතික්ෂේප කරන ලදී. වහලුන්ට නිදහස ලබාදීම, නීතිය ඉදිරියෙහි සමානාත්මය, ව්‍යවස්ථානුකූල රජයක් යනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ සමාජිය ප්‍රතිසංස්කරණ විප්ලවකාරී වූයේ ය. විවිධ අංශයන්හි බුද්ධමතුන්, කලා හා දේශපාලන දාර්ශණික තලයේ ජනයාගේ මැදහත්වීමද පැවතුනි. නමුත් ව්‍යාපාරය රාජ්‍ය මර්ධනයට මුහුණ දීමට තරම් බලගතු නොවී ය. ඒ අනුව පළමුවැනි නිකොලස් සාර් විසින් ශාන්ත පීටර්ස්බර්ග් චතුරශ්‍රයේ දී මේ කැරලිකරුවන් මර්ධනයට ලක් කරන ලදී. සමහරෙක් නින්දිත අයුරින් මරණයට පත් කරන ලද අතර, බුද්ධිමතුන් සම්මාන ලත් ශාස්ත්‍රඥයන් ඇතුළත් වු රැසියානු සමාජයේ සම්භාවනීය පිරිසක් සයිබීරියාවට පිටුවහල් කරන ලදහ.

මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෙකු වූ පාවෙල් පේස්ල් පෝරකය මස්ථකයේ දී කියා සිටියේ ”….මගේ වරද වූයේ බීජ වැපිරීමට පෙර එහි අස්වනු නෙලීමට තැත් කිරීම….” බවයි. තවත් ප්‍රධානියෙකු කියා ඇත්තේ ”….අපගේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඉඩක් නොමැති බව මම කලින්ම දැන සිටියෙමි. මා මගේ ජිවිතය පූජා කළ යුතු බවද, අස්වනු නෙලීමේ කාලය පසුව පැමිණෙනු ඇති බව ද මම වැඩි දුරටත් දැන සිටියෙමි….” යනුවෙනි.

එසේ දෙසැම්බර් දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අකාල නිමාවකට පත් විය. එහෙත් ඔවුන් කළ පරිත්‍යාග සම්පූර්ණයෙන්ම නිශ්ඵල නොවී ය. නිදහස යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පරිත්‍යාග කරන්නා වූ අයගේ ලේ දහදිය නිදහසේ බිජුවට සදහා ජලපෝෂිත සරු බිමක් වෙයි. එසේ වතුදු ප්‍රගතිශීලි ව්‍යාපාරයක පරාජය සමග ජනතාවට ප්‍රතිගාමී මර්ධණීය කාල පරිච්‍ඡේදයක් හරහා ගමන් කිරීමට සිදුවීම ස්වාභාවිකය.

දෙසැම්බර්වාදීන් පීටර්ස් චතුරස්‍රයේදී (සේයා – විකිපීඩියා)

රුසියාවේ පාලක පළමුවැනි නිකලස් රජු හා ස්පාඤ්ඤයේ දෙවැනි පිලිප් රජු යන දෙපල මෙකල්හි විසූ, යුගයට නොසරිලන අවිචාරවත් පාලකයින් විය. ස්පාඤ්ඤයේ දෙවැනි පිලිප් රජු ”ඉන්ක්විසිෂන්” (Inquisition)  නමැති දේවධර්මාධිකරණය* උපයෝගී කරගත් අතර, රුසියාවේ නිකුලස් රජු ”තෙ වැනි අංශය” (Third Section of the Tsar’s Private Chancellery) නම් වූ රහස් පොලිසිය  ඒ සදහා යෙදවී ය. (මේ රහස් පොලිසියේ අති ඝෝර, නින්දිත වාර්තා රුසියානු ඉතිහාසයේ ඉතාමත් අදුරු සිද්ධීන් අතුරෙන් එකකි. මිනිසුන් හිරබාරයට ගැනීම, සිරගත කිරීම, පිටුවහල් කිරීම හා කිසිම ක්‍රමයක බාධාවක් නැතිව තමා කැමති ඕනැම කෙනෙකු මැරීම සදහා මේ අංශයේ ප්‍රධානියාට අසීමිත බලයක් තිබුණි.)

ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ රුසියාවේ මෙන්ම ස්පාඤ්ඤයේ ද රාජාණ්ඩු ක්‍රමයේ නියම ශක්තිය රදා පැවතියේ ස්වකීය රට වැසියන් දැක්වූ මන්දොත්සාහී උපේක්ෂාවත්, අවිචාරශීලී පක්ෂපාතීත්වයත් මත බවය. එහි දුර්වලත්වය වූ යේ ද මේ කරුණමය. මන්දයත් අධිරාජයාගේ මේ අනභිබවනීත්වය දෙදරන පළමු මොහොතේම මහජන කළකිරීම මගින් මේ පාලක තන්ත්‍රය සුනුවිසුනු වී යෑමට නියමිත හෙයිනි.

1855 ක්‍රිමියානු යුද්ධයේ පසුබැස්ම සමග රජය පිළිබද විශ්වාසය පමණක් නොව අපරාජිත ජාතියක් යැයි ඇතිකරගෙන සිටි අභිමානය ද කඩ වී ගියේ ය. (නැපෝලියන් මෝස්කව් නගරයේ දී දරුණු ශීත ඍතුවෙන් බැට කා දුර්භාග්‍ය අන්දමින් පසු බැසීම සිහි කරමින් සාර් පාලනය ශතවර්ශ බාගයක් පමණම උදන් ඇනුවා ය.) සතුරාට කිසිම අලාභයක් හානියක් නොකරම දේශප්‍රේමී වැඩ මගින් කපටින් පොහොසත්වන බව පෙනී යෑම කලකිරීම තවත් වැඩි කළේ ය.

නිසලතාවය අවසන් විය. බුද්ධිමතුන් හා ජනතාව නැගී සිටියහ. ඔවුන් පතුරුවා හැරි පත්‍රිකා මගින් නිකුලස් සාර් ට අවමං කළෝය. ”….එම්බා රුසියානුවනි! මගේ වහලුන් වීම ගැන ආඩම්බර වව්! මගේ වචනය නුබලාගේ නීතිය වශයෙන් සලකව්!….” යි ‘ඔටුනු පලන් යුධ සරඹ වාදියෙක්’ වන සාර් රජු අපට කියයි. ආදී ලෙස පත්‍රිකා වල ලියැවුනි. පාලක පක්ෂයේ ඉහල සිට පහලටම පැතිරී ඇති දූෂණ වංචා, ගැන බොහෝ විස්තර මේවා යේ පලවිය.  

ක්‍රිමියන් යුද්ධය පරාජය මධ්‍යයේ 02 වන ඇලෙක්සැන්ඩර් රාජ්‍ය පාලනය ඇරඹිනි. එය රුසියානු ඉතිහාසයේ ප්‍රතිසංස්කරණ යුගයේ මුලාරම්භය සටහන් කළේය. ”ඔටුනු පලන් යුධ සරඹවාදියාගේ” පාලනය ට එහෙිව ජනතාවගේ පිඹිදීම මතුවෙද්දී 1855 දී බලයට පැමිණි හෙතෙමේ පිටුවාහල් කළ දෙසැම්බර්වාදීන් හා අනෙක් දේශපාලන සිරකරුවන්ට සමාව දෙන ලදී. විශ්ව විද්‍යාල අධ්‍යයනය, සාහිතය, විදෙස් සාහිත්‍ය ගෙන ඒම ආදිය  රජයේ පාලනයෙන් නිදහස් කළේ ය.

ඔහු කළ වැදගත්ම ක්‍රියාව වූයේ රුසියානු ප්‍රවේණි දාසයන්ට නිදහස ලබා දීමය. රටේ පුර්ජීවනය සදහා අත්‍යාවශ්‍ය මුල් පියවර විය යුත්තේ ජාතියේ අඩක් වන ප්‍රවේණි දාසයන් නිදහස් කර ප්‍රවේණිදාස භාවය අවලංගු කිරීම ය යන්න සියලුම ප්‍රතිසංස්කරණවාදීන්ගේ මතය වූයේ ය.

රුසියානු වැඩවසම් සමාජ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ මේ පියවර රාජාණ්ඩුව එසේ තිබිය දී මුත් ධනේශ්වර ප්‍රාග්ධනයට ක්‍රියාකාරී වීමට පහසුකම් සැපයීමක් වී ය.

මේ ප්‍රතිසංස්කරණ, එනම් වැටුප් ශ්‍රමය මගින් ප්‍රවේණිදාස ක්‍රමය විස්තාපනය කිරීමට ලිබරල් ඉඩම් හිමියන් මත රදා පැවැති වංශාධිපති නිලධාරී පැලැන්තිය, එසේ 1861 දී සිය කෘෂි ප්‍රතිසස්කරණ ක්‍රියාවට නැගූ හ. ට්‍රොට්ස්කි කියන්නේ මෙහි දී බෙලහීන ධනේශ්වර ලිබරල්වාදය මෙම ක්‍රියාව තුළදී යටහත් පහත් අත්වැල් ගායක කණ්ඩායමක භූමිකාව රග පෑ බවයි. ඔවුන්ගේ එම දුබලතාවය ප්‍රංශ විප්ලවයටත් පෙර සිට රුසියානු ප්‍රවේණිදායන්ගේ ව්‍යාපාරයන් (පුගචොව් කැරැල්ල වැනි) විප්ලවයන් කරා වර්ධනය වීමෙහි ලා බාධකයක් වූ බව බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව මෙම ජනතා නැගිටීම් වලට අඩුපාඩුවක් ව පැවැතියේ තුන්වන ප්‍රජාවක් (Third Estate) නොවීම බවයි. නගරයෙහි කාර්මික ප්‍රජාවේ මැදහත් වීමකින් තොරවූ හුදකලා ගැමි ජන යුද්ධයක් විප්ලවයක් බවට පත් කළ නොහැක.

කෙසේ වෙතත් ගොවි කැරලි වල නැවත පිපිරී යැමක් පිළිබදව බිය වූ රාජාණ්ඩුව , රුසියාවේ මූලික ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්ණය විසදීමට ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළෝ ය. ප්‍රංශ විප්ලවයේ දී මේ ප්‍රශ්නය විසදූ තුන්වන ප්‍රජාවේ නැගීමක් නොමැති තතු යටතේ රුසියාවේ දී රාජාංඩුව ඒ වෙනුවට ක්‍රියා කරන ලදී. ඒ මගින් එක් පංතියකගේ ගැටලු වෙනත් පංතියක් විසින් විසදනු ලැබිනි. එය පසුගාමී රටවලට ස්වාභාවික වන්නාවූ සම්මිශ්‍රිත විධික්‍රමයන් අතරින් එකකි.

තුන්වන ප්‍රජාව – ප්‍රංශ විප්ලවයේ දී නැගී සිටි තුන්වන ප්‍රජාව, පැරණි තන්ත්‍රයේ පහලම තත්ත්වයේ සිටි සමාජ කණ්ඩායම් තුනකින් සැදුම් ලද්දේ ය. එනම් ධනපතියන්, කම්කරුවන්/ශිල්පීන්, හා ගොවියන් ය.  (මෙහි සිටි පළමු ප්‍රජාවට අයත් වූයේ රජු හා රැජින සහිත රාජාණ්ඩුව හා පූජ්‍ය පක්ෂයයි. දෙවන ප්‍රජාව වූයේ වංශාධිපතීන් ය.) ගොවියන්ට 40% ක් ඉඩම් අයිති වූ මුත් ඔවුන්ගේ ආදායමෙන් 50% ක් රජය සතු විය. ඔවුන් ජනතාවගේ අතිමහත් බහුතරයක් නියෝජනය කළ අතර ඔවුන්ගේ නියෝජිතයෝ රැස්වී තමන්ව ජාතික සභාවක් (National Assembly) බවට පරිවර්තනය කර ගන්නාලදී. එය 1879 ජුනි මස කැදවනු ලැබූ අතර ඒ මගින් රාජාණ්ඩුවට විකල්ප බලයක් සහිත තීන්දු ගන්නා අයතනයක් ලෙස ක්‍රියාත්මක වීම ඇරඹිනි. එය ප්‍රංශ විප්ලවයේ සමාරම්භය සටහන් කළේ ය.

ප්‍රංශයේ මෙන් රුසියාවේ විසූ ”තුන්වන ප්‍රජාව” ඒ අයුරු ක්‍රියා කිරීමට අසමත් වූ බැවින් රාජාණ්ඩුවේ පිලිවෙත් මගින් ”රුසියානු විප්ලවය” සිදු කෙරිණි. සම්මිශ්‍ර වර්ධනය තුළ රුසියානු කර්මාන්තය දියුණු රටවල සිදුවූ ක්‍රමික වර්ධනය යලි එලෙසින් අනුකරණය කළේ නැත. ධනපති ලෝකයේ නවතම ජයග්‍රහණයන් ස්වකීය පසුගාමීත්වයනට ගලප්පා ගනිමින් රුසියාවේ ආර්ථික පරිණාමය යුරෝපයේ පැවැති නිෂ්පාදන අවධි උඩින් පැන ගියේ ය. කර්මාන්තයෙන්හි සැම අංශයකම පිමි ගණනාවක් ම පනිමින් වසර තිහක කාලයක් තුළ රුසියාවේ කාර්මික නිෂ්පාදනය දෙගුණයකින් වැඩි විය.

මේ කර්මාන්තකරණයේ යථාර්තය වඩාත් පෙනී ගියේ රුසියාවේ කොටස් ප්‍රාග්ධනයෙන් 40% ක් විදේශ ප්‍රාග්ධනය වීමෙනි. කර්මාන්ත වල ප්‍රධාන ශාඛාවන් තුළ එහි ප්‍රතිශතය ඊටද වැඩි විය. රුසියානු බැංකු වල, යන්ත්‍රෝපකරණ වල සහ කර්මාන්තශාලා වල කොටස් වලින් තීරක බලය හිමි කොටස් තිබුනේ විදේශයන් අතය. ප්‍රංශය, බෙල්ජියම හා ජර්මනිය ප්‍රධාන වශයෙන් රුසියාව තුළ ආයෝජනය කර තිබුනි.

ඒ පසුබිම යටතේ රුසියානු නිර්ධන පංතිය වර්ධනය වූයේ එංගලන්තයේ දී මෙන් අතීතයේ බර උරින් දරා ගෙන යුග ගණන් තුළින් සෙමින් සෙමින් ගාටමින් නොවේ. අතීතය සමගින් තියුණු ලෙස කැඩී බිදී වෙන්වීම් ද සහිතව පිමි පැනීම් වල යෙදෙමිනි.

විප්ලවවාදී චින්තනයේ වඩාත් ම එඩිතර නිගමනයන් රුසියානු නිර්ධනීන්ට පිළිගත හැකි දේ බවට පත් කරනු ලැබුනේ, රාජණ්ඩුවේ තියුණු පීඩනයත් සමග එක් වූ මේ සංකේන්ද්‍රිත කර්මාන්තකරණය මගිනි. රුසියාව වැනි රටවල කම්කරු පංතිය පීඩාවට පත් කරන්නේ සැබැවින්ම ධනපති ක්‍රමයට වඩා, ධනපති ක්‍රමයේ ඌන සංවර්ධනය නිසා ය. මේ ඌන සංවර්ධනය මේ රටවල ධනපති පංතියේ සංස්කෘතික ඌනතාවයටද හේතු වෙයි.  දියුණු ධනපති ක්‍රමයේ ඉතාමත් පුළුල්, ඉතාමත් නිදහස් හා ඉතාමත් සීග්‍ර සංවර්ධනය කම්කරුවන්ගේ  ජීවන මට්ටම් හා සමාජීය සමානාත්මතාවය ඉහල නංවන බව දකින කම්කරුවෝ පැරණි පාලන ක්‍රමයේ නටඹුන් ඉවත් කිරීම සදහා සටනට එළබෙති. එපමණට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පුළුල් කිරීම ද පංති අරගලයේ ම කොටසක් බවට පත් කර ගනිති.

ඒ අනුව ප්‍රංශයේ ”තුන්වන ප්‍රජාවේ” ඓයිතිහාසික වගකීම රුසියාවේ දී කම්කරු පංතියට පැවරුණා සේ විය. රාජාණ්ඩුවට විකල්පව ගොඩ නැගුණු ප්‍රංශ ”ජාතික ඇසෙම්බ්ලිය” වෙනුවට රුසියාවේ රාජාණ්ඩුවට විකල්පව බිහි වූයේ කම්කරු පංතියේ ඒකාබද්ධ කමිටු ය. ”සෝවියට්” ය.

නමුත් එම වර්ධනයට පෙර රුසියාව තුළ  රාජාණ්ඩු විරෝධී අරගලය පැවැතියේ පැරණි නරෝඩ්නික් වාදයේ මායා මත පදනම් කරගෙන ය. නරෝඩ්නික් වාදය රාජාණ්ඩුවේ අත්තනෝමතිකත්වය අහෝසි කර දැමීමටත්, ප්‍රතිසංස්කරණ ඔස්සේ බිහි වූ වතුකාර දේපල ගොවි ජනතාවට පවරා දීමටත් සටන් කළහ. තමන් සමාජවාදීන් යැයි ඔවුන් තරයේ විශ්වාස කරගෙන සිටි මුත්, ඒ ”සමාජවාදය” සුළු නිශ්පාදකයා පදනම් කරගත් පෘදොන්ගේ මනෝ රාජ්‍යයට සම වූ සේ විය.

අරාජිකවාදීන් කියා සිටියේ රුසියානු ධනපතික්‍රමය ආගන්තුක, අහම්බයක් බවයි. ඒ අනුව එය ඉක්මනින්ම අර්බූදයට යන්නක් බවත්, එනිසා මේ නව නිෂ්පාදන ක්‍රමයෙන් ජනිත වූ කම්කරු පංතිය අස්ථීර වූ පිරිසක් බැවින් එයට විප්ලවයේ ගාමක බලවේගය වීමට නොහැකි බවත් ය. ඒ අනුව එකී කර්තව්‍යය ගොවි ජනතාව මත පැවරී ඇතැයි දෙසූ හ. නව ගොවි ග්‍රාම පොකුරු (මීර්) සමාජවාදයේ මූලාරම්භය ලෙස සැලකූ හ. ඒ පංති පදනමෙන් ඔවුන් මතු කළ බල ව්‍යාපෘතිය ස්වාභාවිකවම, බහුජන අරගලයට වෙනස්ව විශිෂ්ඨ පුද්ගලයන් විසින්, එනම් ”විරුවන්” විසින් ඉතිහාසය නිර්මාණය කරන බව කියා සිටියහ. එම වීර ක්‍රියා (දුෂ්ඨ පාලකයන්, රජුන්, රදළයන් ඝාතනය කිරීම) මගින් රාජ්‍ය බිද හෙලීම ඔවුන්ගේ විධි ක්‍රමය වූයේ ය.

එසේ පංති අරගලය මඟහැර යමින්, එයට උඩින් පැන සමාජවාදයට යා හැකි යයි කියූ මේ නරෝඩ්නික් හා අරාජිකවාදී මතයන්, පල්හෑලි බවත්, රාජාණ්ඩුවේම කසල සංකල්ප බවත් විප්ලවවාදීන් අතර පැහැදිලි වීමට තව කලක් අවශ්‍යව තිබුණි.

මේ නරෝඩ්නික් වාදයේ ක්‍රියාමාර්ග නව යොවුන් වියේ සිසුවකු වූ ව්ලැඩිමීර් ඉලීච් වෙත පළමු බැරෑරුම් දේශපාලන අත්දැකීම ගෙන ආවේ ය. ඒ තම වැඩිමහල් සහෝදරයා සාර් පාලනයේ පෝරකයට ගොදුරු වූ බවට ලැබුණු ආරචිය කෙරෙන් ය.

ඇලෙක්සැන්ඩර් උල්යානොව්
(සේයා – විකිපීඩියා)

‘නරෝද්න්‍යා වොල්යා’ (Peoples Will) සංවිධානයේ, ත්‍රස්ත අංශයේ සාමාජිකයෙකු වූ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ශාත්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ස්වාභාවික විද්‍යාව පිළිබද උපාධියට අවශ්‍ය අධ්‍යයන කටයුතු වල නිරතව සිටියේ ය. හෙතෙමේ, නමින් ඇලෙක්සැන්ඩර් උල්යානොව් වූ අතර සත්ත්ව විද්‍යාව සම්බන්ධයෙන් කළ පර්යේෂන වෙනුවෙන් රන් පදක්කම් ලබා සිටියේ ය. ඒ 1883 දී ය. රාජාණ්ඩුව පෙරලීමේ උද්‍යෝගයෙන් ක්‍රියා කළ හේ ශිෂ්‍යයන් අතරත්, කම්කරුවන් අතරත් දේශනා පැවැත්වීම හා ඔවුන් සඳහා පත්‍රිකා හා පොත් පිංචයන් ලියා බෙදා හැරීම කරගෙන ගියේ ය. මාක්ස්වාදී අදහස් වල බලපෑමක් ද ඔහුට නොවුනා නොවේ. නමුත් ඔහු ‘නරෝද්න්‍යා වොල්යා’ හි වැඩ පිලිවෙල අනුව කටයුතු කළා පමණක් නොව එහි උපාය මාර්ග සැකසීමේ කතුවරයෙකු ද විය.

”සමාජවාදී පක්ෂයක න්‍යෂ්ඨිය ලෙස” එහි නායකත්වය මෙහෙයවීමේ දී, කම්කරු පංතියේ හැකියාව නොපිලිගත් හෙතෙමේ, අසීමිත අත්තනෝමතික බලයක් සහිත රාජ්‍ය බලය සමග සටනේ දී මුල් පුරන්නේ විප්ලවවාදී බුද්ධිමතුන් බවත්, එම අරගලයේ විධික්‍රමය වන්නේ ත්‍රස්තය බවත් ඇදහීය. තමන්ගේ ඒ ඇදහීම ම ඔහු දේශනා ද කළේ ය.

ඇලෙක්සැන්ඩර් උල්යානොව් හා ඔහුගේ සගයන් එක්ව තුන්වන ඇලෙක්සැන්ඩර් රජු ඝාතනය සදහා සැළසුම් කරමින් සිටියහ. ඒ සදහා දෙවන ඇලෙක්සැන්ඩර් රජුගේ ඝාතනයෙන් හය වන සංවත්සරය නියමිතව පැවැති 1987 මාර්තු 01 වැනිදා ඔවුන් නියම කරගෙන සිටියෝ ය. එදින මේ කටයුත්ත සදහා පිටත් වූ සංවිධානයේ සාමාජිකතයන් තිදෙනෙක් නොව්ස්කි මාවතේ ගමන් කරමින් සිටිය දී සැක පහල කළ පොලිසිය ඔවුන්ව පරීක්ෂා කර බෝම්බ බෑග සමග අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධාන මතධාරියා වූ ඇලෙක්සැන්ඩර් උල්යානොව් ඇතුළු තවත් තරුණ පිරිසක් අත්අඩංගුවට ගැනිනි. උසාවියේ දී ඒකාධිපති සාර් රාජ්‍ය පාලනය විවේචනය කරමින් කථා කළ උල්යානොව් හා තවත් හතර දෙනෙකු හැර අන් සැක කරුවන් ට සාර් රජු ජීවිත දානය දී පිටුවාහල් කළේ ය. උල්යානොව් ඇතුළු පස් දෙනෙක් එල්ලා මරණ ලදී.

තම වැඩිමහල් සහෝදරයා වූ ඇලෙක්සැන්ඩර් උල්යානොව් මරණයට පත් කිරීම ව්ලැඩිමීර් ඉලීච් යෞවනයාව දේශපාලනයට යොමු කළා විය හැකිය. කෙසේ මුත් එතැන් සිට ලෙනින් ශිෂ්‍ය අරගලයන්හි නියැලීම හා විප්ලවවාදී ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වීම ඉහල නැංවූ බව කියැවේ. ඒ අතර තම සහෝදරයා ගත් දේශපාලන උපායික මාවත් වලට වෙනස් ව කල්පනා කිරිමට හෙතෙමේ තම තීක්ෂණ බුද්ධිය යොමු කළා ද විය හැකි ය.

එසේ ව්ලැඩිමීර් ඉලීච් උල්යානොව්ගේ දේශපාලන ජිවිතය උප්පත්තිය ලැබී ය.

තම සහෝදරයා මරණයට පත් කළ බව ඇසූ ලෙනින් ගේ සංසුන් ප්‍රතිරාවය වූයේ ”…එයට වෙනත් මාවතක් තිබෙනවා…..” යන වචන වූ බව සටහන් වී තිබේ.

රණත් කුමාරසිංහ                                                                                                       

2020 අප්‍රේල් 27

ලෙනින් සහෝදරයාගේ 150 වන ජන්ම සමරුව – 02 කොටස  –  ”පැවැත්ම” මැයි දෙවන සතියේ දී

* The Inquisition was a powerful office set up within the Catholic Church to root out and punish heresy throughout Europe and the Americas. Beginning in the 12th century and continuing for hundreds of years, the Inquisition is infamous for the severity of its tortures and its persecution of Jews and Muslims. Its worst manifestation was in Spain, where the Spanish Inquisition was a dominant force for more than 200 years, resulting in some 32,000 executions.

You may also like...

3 Responses

  1. 2020-04-27

    […] ලෙනින් 150 වන ජන්ම සමරුව – “උප්පත්තිය” (20… […]

  2. 2020-04-27

    […] ලෙනින් 150 වන ජන්ම සමරුව – “උප්පත්තිය” (20… […]

  3. 2020-11-07

    […] ලෙනින් 150 වන ජන්ම සමරුව – “උප්පත්තිය” […]

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.