රෝහන විජේවීර ගන්දබ්බයකු කළ සිනමාව
ඉතිහාස කෘතියක් හැදෑරීමට පෙර එහි රචකයා හදාරන්නැයි E.H කාර් ප්‍රකාශ කර තිබේ. ඒ මන්ද යත් ඉතිහාස රචකයන් මේ පංති සටන් ඉතිහාසය සම්බන්ධව විග්‍රහ කරන්නේ වර්තමානයේ තමන්ගේ පංති සබඳතා තුළ පිහිටා බැවිනි. එනම් තමාගේ යුගයේත් එහි වුවමනා වලත් සිතුම් පැතුම් වලත් සංකල්ප වලත් ඇලී ගැලී සිටිමින් නිසාය.
13 වන ශතවර්ෂයේ දී එංගලන්තයේ කෘර ආධිපත්‍යයෙන් මිදීම සදහා ස්කොට්ලන්ත ජනතාව ගෙන ගිය අරගලයේ තීරණාත්මක නායකත්වයක් ඉසිලූ විලියම් වොලස් සම්බන්ධයෙන් ඉතිහාසඥයන් දුටු අයුරු වැදගත් උදාහරණයක් වෙයි. එකල ස්කොට්ලන්ත රදළ ප්‍රභූහු එංගලන්තයේ එඩ්වඩ් රජු සමග විවිධ සම්මුති ගසමින් ජනතා අපේක්ෂා බාල්දුකරමින් සිටි යුගයකි. සාමාන්‍ය ගොවි පවුලක සාමාජිකයකු වූ විලියම් වොලස් මේ ජනතාවගේ නිදහසේ අපේක්ෂා මූර්තිමත් කළ නායකයා ලෙස හැඩ ගැසී ඉදිරියට විත් ජනතාව සන්නද්ධ කරමින් එංගලන්තයේ එඩ්වඩ් රජුගේ පාලනයට එරෙහිව ස්කොට්ලන්ත නිදහසේ සටන මෙහෙයවීය.
මේ නායකයා සම්බන්ධයෙන් එංගලන්ත ඉතිහාසය පිළිබද තම කෘතියේ දී (1926) කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය G.M. ට්‍රෙවිලියන්, වොලස්ව හුදු කොල්ලකරුවකුගේ සීමාවේ තබා අත සෝදා ගනී. එදා ස්කොට්ලන්ත රදල ප්‍රභූන්ගේ ආත්මය බේරාදීමය ඔහු ඒ මගින් කරන්නේ. නමුත් මහාචාර්ය රැම්සේ මුවර් එංගලන්ත ඉතිහාසය පිළිබද තම කෘතියේ දී (1920) වොලස් ගැන කියන්නේ මෙසේය.
“..ඒ අනුව එඩ්වඩ් රජු තවදුරටත් ජාතික ස්වාධීනත්වය උදෙසා සටන කරගෙන යාමට උනන්දුවක් දැක්වූ විලියම් වොලස්ට හැර සෙසු සියල්ලන්ටම ක්ෂමාව දුන්නේ ය. සර් ජෝන් මොන්ටීන් (ස්කොට්ලන්ත රදළ ප්‍රධානියෙක්) විසින් අල්ලා ත්‍යාගයක් ලෙස සතුරන් අතට පාවා දෙනු ලැබූ වොලස් තෙමේ ලන්ඩන් නුවර මං සන්දියක් ගානේ ඇදගෙන යනු ලැබ අන්තිමේ දී එල්ලා මරන ලදී. වොලස්ගේ වීර ක්‍රියා අසාර්ථක වූ බව පෙනෙන්නට තිබුනේ ය. එහෙත් ඔහුගේ ක්‍රියා වලින් ජාතියක් පිඹිදුනේය. එපමණක් නොව ඔහුගේ අනුගාමිකයෝ ආක්‍රමනිකයන්ට යටත් වීමට කැමැත්තක් නොදැක්වූහ. වොලස්ගේ ඇටකටු ගිජු ලිහිනියන්ට ගොදුරුවීමටත් පෙර ස්කොට්වරු නැවතත් නිදහස උදෙසා නැගී සිටියහ..”
මෙම ස්කොට් ජාතික විමුක්ති සටනේ එක් යුගයක් නිරූපිත වොලස්ගේ නායකත්වයෙන් දියත් වූ සන්නද්ධ ජනතා අරගලය පිළිබද සිනමා පටයක් මෙල් ගිබ්සන් සිනමාකරුවා විසින් “BRAVE HEART” නමින් නිමැයුවේය. කලාකරුවකු තම කලා කෘතියකට ඉතිහාසයෙන් වස්තුබීජයක් ලබා ගත් පලියට ඔහු ඉතිහාසඥ කාර්යභාරයක් ඉටු කළ යුතු යයි කිව නොහැකිය. නමුත් එකී වස්තු බීජය උකහා ගත් ඓයිතිහාසික පරිච්ඡේදය සමස්ථයක් ලෙස නොගෙන තමන් ජීවත්වන කාලයේ සීමාවන්ට හා තම සංකල්පයන්ට ගැලපෙන පමනට ඉන් එක් පාර්ශවයක් තම කෘතියෙන් ඉදිරිපත් කිරීම මගින් ඓයිතිහාසික යුගයකට සාධාරණය ඉෂ්ඨ නොවනවාක් මෙන්ම, නව තරුණ පරපුර වැරදි වැටහීම් කරා තල්ලූවී යෑමේ අනතුර පවතින බවද වටහා ගත යුතු වෙයි. තම කෘතිය මගින් විලියම් වොලස්ගේ සටන්කාමී චරිතය එය බිහි කිරීමට මග පෑදු සමාජ අරගලය මධ්‍යයේ තබා නිර්මාණය කිරීම මෙල් ගිබ්සන්ගේ සිනමාවේ විශිෂ්ඨත්වයයි. ඒ මගින් තමන්ද වොලස්ගේ විමුක්ති අරගලයේ බලය වූ ජනතා මිලීෂියාවේ කොටස්කරුවන් බවට හැගෙන තැනට ප්‍රෙක්ෂකයන් පත්කෙරෙයි. තමන් මරා දැමීමට පෙර පෝරකය මතදී වොලස් “FREEDOM” යි නගන කාහල නාදය ප්‍රේක්ෂකයාගේ හදවත් තුළින්ද නැගෙන්නා සේය. එසේ ප්‍රෙක්ෂක අපවත් එම ඓතිහාසික යුගයේ කොටස්කරුවන් බවට පත්කරමින් අපගේ සමාජ විඥානය ඉහලට ගෙනෙයි.
දැන් ලාංකීය තත්කාලීන සමාජ අරගලයේ ප්‍රධාන පෙලේ නායකයකු වන රෝහණ විජේවීරගේ චරිතය මුල්කර නිමවා ඇති සිනමාව කරා පැමිනෙමු. සිනමා කරුවා එය ‘ගින්නෙන් උපන් සීතල’ යි නම් කර තිබේ. එහි දී සිනමා කරුවාගේ සිතේ පැවැති අරුත කුමක්ද? සමාජ අරගලය ‘ගින්න’ නම් ඉන් උපන් ‘සීතල’ විජේවීරගේ චරිතයද? කෙසේ වෙතත් මේ සිනමාව මෑතකාලීන සමාජ අරගල ඉතිහාසයේ එක් යුගයක් හා බැඳී තිබීම මගහැර යාමට කිසිවකුට නොහැකිය. සැබැවින්ම රෝහණ විජේවීර යනු සමාජ අරගලයේ මෑත ඓයිතිහාසික යුගයක් විසින් නිර්මිත නායකයෙකි. කොපමණ බැරෑරුම් දේශපාලන වෙනස්කම් අප අතර පැවැතුනත් එම සත්‍යය අහෝසි නොවන්නේය.
එසේ රෝහණ විජේවීර සමාජ අරගලයේ ප්‍රකාශනයක් විනා හුදු පුද්ගලයෙක් නොවේ. එම අරගලයේ ප්‍රකාශකයා ලෙස ඔහු කළ වැඩ කොටස ඔහුගේ චරිතයේ පදනමයි. නමුත් මේ සිනමාව ඔහුගේ චරිතය එකී වෛශයික පදනමෙන් එලියට ගෙන තිබේ. ඔහු නියෝජනය කළ මේ ධනපති සමාජ ක්‍රමය විසින් පිටස්තරයන් බවට පත් කළ සිංහල තරුණ තරුණියන්ගේ වෛරය මෙහි කිසිම අයුරකින් මූර්තිමත් නොවේ. කිසියම් පිරිසක් ‘රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගසා’ එම ආණ්ඩුව පෙරලීමට වැර දැරූ නිසා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව එහි නායකයන් සිරගත කරයි. ජේ.ආර් බලයට පැමිණ 1977 නොවැම්බර් 02 දා මේ පිරිස නිදහස් කරයි. දැන් මේ තීරණයට බලපෑ සමාජ සම්බන්ධතා මොනවාදැයි නොපෙනේ.
සිනමාකරුවා මග හරින්නේ කම්කරු පංතියේ 1976-1977 වර්ජන රැල්ල නිසා පැවැති පාලනය ඇර්බූදයට යමින් හදිසි නීතිය ඉවත්වී යෑමත්, ඒ නිසා ජවිපෙට පනවා තිබූ තහනම අහෝසිවී එය යලිත් විවෘත දේශපාලනයට එළැඹීය යන ඓතිහාසික කරුණයි. අනතුරුව ජේ.ආර්.ගේ මහා පරිමාණ මැතිවරණ ජයග්‍රහණය නොතකා, ඔහුගේ සමාජ ආර්ථික ප්‍රතිපත්තීන්ට එරෙහිව කම්කරු පංතිය ගෙන ගිය දැවැන්ත අරගලය කොතැනකවත් දක්නට නැත. දඬුවම් දෙනු ලදුව සිරගෙදර සිටි ජවිපෙ නායකයන් නිදහස් කිරීමේ සැබෑ අරුත එනිසා එලි නොවේ. නැගෙන කම්කරු අරගලයට විරුද්ධව මේ ගැමි තරුණ බලවේගය යෙදවීම ඔහුගේ ප්‍රධාන අරමුණ විය. 1980 මහා වැඩ වර්ජනයේ දී ඔහුගේ මේ උපාය යස රගට වේදිකා ගතවීය. විජේවීරගේ එම ද්‍රෝහී වැඩ කොටස සිනමා පටය තුළ මගහැර තිබේ. විජේවීර නායකත්වය මේ මහා වැඩවර්ජනය තම පක්ෂයට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස අරුත් ගන්වා පාවා දීම නිසා ඔහුගේ භාර්යාවගේ ලොකු අයියා වූ එච්.එන්. ප්‍රනාන්දු පක්ෂය හැර යමින් තමන් සභාපති පදවිය දැරූ ලංකා ගුරු සංගමය වැඩවර්ජනයට එක් කිරීමට තීන්දු ගත්තේය. විජේවීරගේ මෙම පාවාදීම ද ජේ.ආර්.ට වැඩවර්ජනය තලා දැමීමට පහසුකම් සැපයීය.
සිනවාම පෙන්වන විජේවීර ඇමතූ ප්‍රථම රැලියට පැමිණි විශාල ජනකාය නිරූපනය කළේ කුමක් ද? 1971 ගැමි තරුණ කැරැල්ල එහි දේශපාලනයේ හා සටන් උපායයන්හි පැවැති අති මහත් දෝෂයන් එසේ තිබියදී මුත්, සභාගවාදයෙන් හෙම්බත්ව සිටි නව තරුණ පරම්පරාවක් දේශපාලන භූමියට ඇද ගැනීමට සමත් වූ අතර සමාජවාදය-විප්ලවය ආදිය හුදු මතිභ්‍රමයක්ම නොව යථාර්තයක් විය හැක්කක්ය යන හැගීම ඉන් යලි ශක්තිමත් වී ය. සභාග ආණ්ඩුව තුළ පරස්පරයන් මේරවීමට ද මේ කැරැල්ල සාධකයක් විය. විජේවීරගේ පළමු රැලියට ගලා ආවේ එම බලාපොරොත්තුවයි. නමුත් ඒ ගැන කිසිම හැගවීමක් සිනමාව තුළ ඇත්තේ නැත.
දැන් මේ නව අපෙක්ෂාවන් ඉදිරියට ගෙන යෑමට විජේවීර කළ කී දේ කුමක් ද? තමන් තුන්වන බලවේගය විය යුතු බව සිනමාව තුළ ඔහු කියයි. ඒ මැතිවරණ මට්ටමේ දී බව පෙනෙන්නේ ගාල්ල අතුරු මැතිවරණයේ දී හා ජනාධිපතිවරණයේ දී ඔහුගේ ක්‍රියාකලාපය මගිනි. ඒ අනුව කැරලිකාර චරිතයක් මැතිවරණවාදී පුද්ගලවාදී චරිතයක් විනි ද? 1971 කැරැල්ලෙන් පසු සිරගෙදර ගත කළ කාලයේ දී ලංකාවේ ජාතික ප්‍රශ්නය අරබයා ඇති කරගත් ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය පිලිගනිමින් ගත් මාක්ස්වාදි ස්ථාවරයන් ලයනල් බෝපගේ හා පොඩි රත්නේ වැනි අයගේ විරුද්ධත්වය මැද අත්හැර දැමීම සිංහල ඡන්ද ලබා ගැනීිම සදහා ගත් පියවරක්ද? නව යොවුන් යුවතියක් ඇගේ අකමැත්ත නොතකා පක්ෂ සාමාජිකයන් වූ ඇගේ වැඩිමල් සහෝදරයන් යොදා ගෙන විවාහ කරගැනීම කාන්තාවාදය වෙනුවට පුද්ගලවාදය හිසට නැගීමේ අංගයක් ද?
අනතුරුව උතුරේ ජනතාවගේ විමුක්ති අරගලයේ තීව්ර වීම. 1983 ජූලියේ සිංහල ජාතිවාදින් දෙමළ ජනතාවට එල්ල කළ දරුණු ප්‍රහාරය, පක්ෂ තහනම, වනාන්තරවල සැගවී ගැන්ම, උතුරේ “බෙදුම්වාදී ත්‍රස්තවාදයට” එරෙහි අරගලය ලෙසින් අර්ථ ගන්වමින් සිනමාව කට්ටියෙන් කට්ටියට පනිමින් යයි. සිංහල තරුණ කැරළිකාරීත්වය හා දෙමළ තරුණ කැරළිකාරීත්වය එකම සමාජ අරගලයක කොටස් ලෙස මේ චරිතය නොතකන්නේ ඇයි? මේ සිදුවීම් තුළදී කම්කරු පංති ව්‍යාපාරයේ ශක්තිය කොතැනකවත් නොපෙනේ. මේ චරිතය එම අරගලයන් ගැන කිසිවක් කියන්නේ නැත. විශේෂයෙන් 1986 දී එකල පැවැති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් කැදවූ මහා ජාතික කම්කරු සමුලුවත්, ඒ මගින් උතුරේ හමුදා පාලනය නිමාකර එම ප්‍රදේශවල ස්ථානගත කර ඇති සන්නද්ධ හමුදාවන් ආපසු කැඳවීමට බලකරමින් සම්මත කළ යෝජනාවත්, එම යෝජනාවට විරුද්ධ වූ (වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයන්ව සිටි) ජවිපෙ වෘත්තීය සමිති මෙම සමුලුව වර්ජනය කිරීමත්, සිනමා කරුවාට මෙම චරිතය තුළින් මුන නොගැසීම විශ්මයජනකය. කම්කරු පංතියේ මේ දේශපාලන පිඹිදීම හා ක්‍රියාකාරීත්වය ඔස්සේ විජය කුමාරණතුංග නායකත්වයෙන් මහජන පක්ෂය ගොඩනැගී ඒ මැදිකරගත් වමේ පක්ෂ වල එකතුවක් බිහිවීම හා ඒ මගින් දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් දීම මුල් කර ගෙන ගිය දැවැන්ත උද්ඝෝෂණයන් හා පලාත් සභා ක්‍රමය යම් මට්ටමක හෝ සහනයක් දෙමළ ජනතාවට ලබා දෙනු ඇතැයි සලකා සිංහල බෞද්ධ ජාතිවාදීන්ගෙන් එය ආරක්ෂා කිරීමට පියවර ගැනීමත් සිනමා කරුවාගේ ඉතිහාසයේ නැත.
විජේවීරගේ චරිතයේ ප්‍රමුඛතම අංගයක් වන විජය ප්‍රමුඛ වම ගත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් පරාජය කිරීම සඳහා වාමාංශිකයන්ට එරෙහිව ගෙන ගිය “දේශප්‍රේමී” ඝාතන ව්‍යාපාරය සිනමාකරුවා මගහරින්නේ ඇයි? සමාජ අරගලයේ විවිධ සමාජ පංතීන් හා පංති තීරු වෙනස් සටන් පාඨ මුල්කර ගනිමින් වෙන වෙනම සටන් කරන්නා සේ පෙනිය හැකි මුත් ඒවායේ අන්තර් සම්බන්ධතාවය තුළින් ඉතිහාසය දැකීමට සිනමා කරුවා දක්වන අසමත් කම මෙහි දී කැපී පෙනේ. එම අසමත් කම විජෙවීර චරිතය එක්තරා ගන්ධබ්බ තත්ත්වයකට ගෙන ඒම දෙවන කැරැල්ල දියත් වන මොහොතේ සිටම කැපී පෙනෙයි.
සමාජවාදය එදිරිව දේශප්‍රේමය
“අප මරා දැමුවද අප නැගූ හඬ නොමියෙන බවත්, අපේ සිහිනය සැබැ වන්නට ඉඩ දෙන ලෙසත්” කියමින් සිනමාව නිමාවට පත් වෙයි. මෙහි දී මතුවන ප‍්‍රශ්න වන්නේ මේ හඬ කාගේ ද? කියනු ලබන සිහිනය කුමක් ද? කාගේද? 1971 කැරැල්ලේ තරුණයන්ගේ දේශපාලනයේ මුල සිට අගට තිබෙන ලාමක වලිප්පු ගතිය එසේ තිබියදී මුත්, ඔවුන්ගේ සිහිනය ගැන නම් කාටවත් අවුලක් නොවී ය. එනම් සමාජවාදී සිහිනයයි. එකල්හි විප්ලවවාදී දේශපාලනය ගැන කිසිවක් කියවා නොසිටි, ඒ ගැන අබැටක් හෝ නොදැන සිටි ගැටවරයන් වූ මා මෙන්ම, සමානාත්මතාවය ගැන සරළ හැගීමෙන් යුතු මගේ මිතුරන් අතර මේ කැරැල්ල සමාජවාදය ඉලක්ක කරගත්තක් ලෙස සැලකිල්ලට ගැනිනි. අපි නිමේශයකින් මනසින් විප්ලවවාදීන් වීමු. නිවෙස් වලදී කැරැල්ල වෙනුවෙන් බොළඳ ලෙසින් හෝ තර්ක කළෙමු. එපමණට 71 කැරැල්ල තුළ තරුණයන්ගේ පොදු සිහිනයක් වී ය. එපමණට නොමියෙන හඬක් ද අත්පත් කර ගත්තේ ය. නමුත් මේ සිනමාවේ දෙවැනි භාගයට පාදක වූ කැරැල්ලේ හඬ සමාජවාදය නම් නොවේ. එය ඊනියා දේශප්‍රේමී සීතාම්බර පටයකින් ආවරණය කළ සිංහල බෞද්ධ අන්ත ජාතිවාදය වූයේ ය.
71 කැරැල්ලට පාදක වූ දේශන 05 ගත් කල, එහි ද දෙමළ වතු කම්කරුවන්ට එරෙහිව ඔවුන් ඉන්දියානු ව්‍යාප්තවාදයේ අතකොලු ලෙස පෙන්වා දී තිබුණි. ඒ වන විට ලාංකීය දෙමළ උරුමය වෙනුවෙන් ඍජු සන්නද්ධ අරගලයක් පිළිබඳ ප‍්‍රශ්නය බීජ අවස්ථාවේ පැවැති තතු යටතේ ජවිපෙ ඒ ගැන පැහැදිලි අවධානයකට ගෙන නොතිබුණි. නමුත් සිනමාව කථා කරන යුගය දෙමළ දේශපාලනය වැඩිහිටි පරම්පරාවන්ගෙන් තම අතට ගැනීමට දෙමළ තරුණයන් ස්ථීර පියවර ගෙන තිබූ කාලයයි. එපමණක් නොවේ තම උරුමය, ලිබරල්වාදී වන්නේ මුත් චපල වූ සිංහල නායකයන් සමග සම්මුතියෙන් නොව සන්නද්ධ විමුක්ති අරගලයකින් පමණක් දිනා ගත හැකි දෙයක් බවට ද ඉතිහාසයේ අත්දැකීම් තුළින් මුරණ්ඩු වූ මුත් ස්ථීර අදහසකට පැමිණ සටන් වැදී සිටි කාලයයි.
දැන් මේ සිනමාව තුළ දෙවන භාගයේ සිට ප‍්‍රකාශයට පත් වන්නේ එකී දෙමළ විමුක්ති අරගලයේ සිද්ධි දාමය ගලා යමින් සමාජ අරගලයේ ඉදිරිමග තීන්දු කරන තැනට පත්වෙද්දී, ලංකාවේ ශිෂ්‍ය-තරුණ ව්‍යාපාරයක දේශපාලන උපාය මාර්ග තීන්දු කළ නායකයා ලෙස විජේවීරගේ චරිතයයි. දෙමළ තරුණයෝ උතුරේ හමුදා පාලනය බිඳහෙලීම ඉලක්ක කර එල්ල කළ ප‍්‍රහාරය ට පිලිතුරු ලෙස දකුණේ දියත් වූ දෙමළ ජන සංහාරය හෙවත් 1983 ජූලි ජාතිවාදී ප‍්‍රහාරය යන සිදුවීම් මෙරට දේශපාලනයේ නව යුගයක් ආරම්භ කළා සේ විය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ඇතුල් වූ බව පෙන්වීමේ විජේවීරගේ මැතිවරණවාදී පිළිවෙත හමාරයට ගෙන ආවේ ය. දෙමළ ජනතාවගේ ස්වයංතීරණය පිළිබඳ සිරගෙදර දී ඇති කරගෙන තිබු ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල සමග විජේවීර තීරණය කිරීම සිනමාව පෙන්වයි. ජනාධිපතිවරණයේ දී තමන් ලද 4.39% ක් වු ඡන්දය ජයග‍්‍රහණයක් ලෙස පෙන්නුම් කරමින් ම මුත් විජේවීර කියන්නේ ස්වයංතීරණ අයිතිය පිලිබඳ ලෙනින්ගේ ස්ථාවරය අපේ රටේ ජාතික ප‍්‍රශ්නයට ගැලැප්පීමට නොහැකි බවයි. උතුරේ තිබෙන්නේ විමුක්ති ව්‍යාපාරයක් නොව සන්නද්ධ බෙදුම් ව්‍යාපාරයක් බවත්, දෙමළ ඊලමක් ඉල්ලන දෙමළ ව්‍යාපාරයක් කවදාවත් විමුක්ති ව්‍යාපාරයක් නොව ප‍්‍රතිගාමී ව්‍යාපාරයක් බවත් ය ඔහු කියන්නේ. පාර්ලිමේන්තුවාදයට අනුගත වීම මගින් එලිදකින විජේවීර ගේ මේ නව ස්ථාවරයට ලයනල් බෝපගේ හා පොඩි රත්නේ එරෙහි වනු දැක්වෙයි. කෙසේ වෙතත් ජූලි සිදුවීම් වලට පෙරාතුව ගත් මේ ස්ථාවරය සිංහල බෞද්ධ ජාතිවාදය, අවශ්‍යයෙන්ම පාර්ලිමේන්තුවාදයට යටපත් වන බව පෙන්වන්නකි. එයම ජූලියට පසුව එන විජේවීරගේ ස්ථාවරයන්ට ද පාදක වන අයුරු සිනමාව තුලින් පෙනේ.
අනාගත වක්තෘ
ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විජේවීරගේ අලුත් නැම්ම කලු ජූලියෙන් පසු කාලයට අපව රැගෙන යයි. පක්ෂ තහනම එයි. ජනතා විමුක්ති පෙරමුණ – නව සම සමාජ පක්ෂය – ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තහනම් කෙරේ. නායකයන් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරයි. ජවිපෙ හා නසසප නායකයන් සැගවී ගනී. ආණ්ඩුවට එරෙහි කැරලිකාරීත්වයක් පුපුරා යෑමේ ඉඩකඩත්, ඒ අනුව තම පක්ෂයට දැඩි රාජ්‍ය මර්ධනයක් එල්ල වීමට ඇති විභවයත් කල් තබා තේරුම් ගත් නසසප ය 1983 මාර්තුවේ දී විශේෂ පක්ෂ සම්මේලනයක් කැඳවා එයට මුහුණ දීම සඳහා අවශ්‍ය දේශපාලන සූදානම ඇති කර ගත්තේය. මර්ධණීය යුගයකට සුදුසු සංවිධාන පියවරයන් ගැන පක්ෂය දැනුවත් කෙරිණි. ඒ කෙසේ වෙතත් සිනමාකරුවා කියන්නේ පක්ෂ තහනමක් එන බව විජේවීර ද පක්ෂයට කල් තබා කියා තිබූ බවයි. ඔහු එසේ දැන සිටියා නම් කඩිමුඩියේ කිසිම සූදානමකින් තොරව ආතක් පාතක් නැති ලෙසින්, පක්ෂයේ සබදතාවන්ගෙන් ද වෙන්වී, වැස්සට තෙමෙමින් අවුවට වේලෙමින්, ආහාර හිගයන්ගෙන් ද පෙළෙමින්, සෙල්ලකතරගම වනාන්තරයේ ගස් යට මාස ගණනක් ගත කිරීමට ජවිපෙ නායකයන්ට සිදුවූයේ මන්ද යන්න ගැන සිනමාකරුවාට පිලිතුරක් නැත. විජේවීරගේ චරිතයේ ඇතැයි තමන් අදහන අනන්ත කැපවීමත් දුක් කම්කටොලූ දරාගැනීමට හැකි ලක්ෂණත් පෙන්වීමට යෑමෙන් මේ අත්වැරැද්ද සිනමාකරුවාට සිදු විනිදැයි විමතියකි.
සිහිනය සැබෑ වීම
ඒ අතර මේ වනගත නායකයන් ගේ සාකච්ඡාවට බදුන් වන ”…..ඇයි අර වාසුගෙයි බාහුගෙයි පක්ෂයේ තහනම ඉවත් කළේ – අපි එලියට ආවොත් පක්ෂ තහනම ඉවත් කරනවා කියන එක බොරු – ඒක අපිව මර්ධනයට කරන කයිරාටික යෝජනාවක් – ගාමිණී ෆොන්සේකා පණිවිඩයක් එවල තියෙන්නේ එලියට එන්න එපා ආවොත් අපිව මරාවි කියලයි – රොනී ද මැල් හරහා ප‍්‍රින්ස් ගුණසේකර වෑයම් කරනවා පක්ෂ තහනම ඉවත් කර ගන්න – ලයනල් බෝපගේවයි, සෝමරත්න කලූආරච්චිවයි අත් අඩංගුවට අරන්…” ආදී වශයෙන් වූ දෙබස් සිනමා කරුවා විසින් ප්‍රේක්ෂකයාට ඇසෙන්නට සලස්වයි.
නමුත් ඝන වන අරනේ පිහිට මිස ජනතාව අතරින් ආරක්ෂාව සලසා ගැනීමට අදහසක් විජේවීර චරිතයේ නැති වීම ගැන සිනමා කරුවාට සැලකිල්ලක් නැත. ඒ මානසිකත්වය එන්නේ ම පංති අරගලය ගැන ඇති නොවැටහීමත්, ජනතා නැගිටීමක් වෙනුවට ආදේශකයක් ලෙස පිරිසක් සංවිධානය කර කුමන්ත‍්‍රනකාරී පියවරයන් මගින් බලය ගැනීමට හැකියයි මේ චරිතය විශ්වාස කිරීමයි. මේ යුගයේ එවැනි පිරිසක් සංවිධානය කිරීම දෙමළ විරෝධී සිංහල බෞද්ධ කැරළිකාරීත්වය ඉදිරියට ගෙන යෑමෙන් …දේශප්‍රේමය…. මගින් කළ හැකියයි විජේවීර විශ්වාස කළ බව සිනමාව පෙන්නුම් කරයි. අන්තිම වශයෙන් ගත් කල එය ‘කලූ ජූලිය’ට සංවිධානාත්මක දේශපාලන නායකත්වයක් සැපයීම හා සමපාත වීමක් වූ බව පෙනෙයි. විජේවීර නැගූ මේ හඬ හා මතු කළ සිහිනය 71 කට වඩා කොයි තරම් නම් දුරස්තර ද? මේ හඬ හා සිහිනය අන්තිම වශයෙන් සැබෑ වූයේ ය. ඒ රාජ්‍ය යන්ත‍්‍රය එලි බැස දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවගේ නිරුද්ධ කළ සිරුරු මතට සුදු කොඩි ගත් දෙමළ සන්නද්ධ නායකයන්ව පොලු පහර මගින් ඇද දැමීමෙන් බව දැකීමට මේ සිනමාකරුවාගේ ඇස් විවරවේවා.
කම්කරු පංතියේ පුනරුත්ථානය
මෙහි දී නසසපයේ පක්ෂ තහනම ඉවත් කිරීම පිළිබද උක්ත සාකච්ඡාව අගවන්නේ එය ධනපති පාලකයන්ගෙන් ලත් අනුග‍්‍රහයක් ලෙසය. නමුත් ඒ වෙනුවට එහි සැබෑ තතු විජේවීර චරිතයේ කුමන්ත‍්‍රණ පිලිවෙත හෙලි කරන්නක් වෙයි. එපමණක් නොවේ එම සාකච්ඡාව තුළම ධනපති පාලකයන්ගේ සරණින් පක්ෂ තහනම ඉවත් කර ගැනීමට විජේවීර තුළ පැවැති අපේක්ෂාව ද පෙන්නුම් කරයි.
පක්ෂ තහනම මධ්‍යයේ ජවිපෙ නායකයන් පමණක් නොව නව සම සමාජ නායකයන් ද සැගවී ගත් බව අපි දුටුවෙමු. නමුත් ඔවුන් එක් දිනක්වත් පක්ෂයේ සබඳතාවන්ගෙන් මුලු මනින්ම ඉවත් වී අඳුරු වනාන්තරවල ලැග්ගේ නැත. ඒ වෙනුවට කම්කරු පංතියේ නිවාස ප‍්‍රදේශ නව සම සමාජ නායකන්ගේ ‘වනාන්තර’ විය. නායකයන් මුනගැසී සාකච්ඡා කර තීන්දු ගන්නා මධ්‍යස්ථාන විය. සති කිහිපයක් ගතවෙද්දී 1980 පරාජයෙන් හා 1983 කැරැල්ලෙන් පසු බැස ගිය කම්කරු පංති ව්‍යාපාරය යලිත් ඒකාබද්ධ කමිටු ගොඩනගා ගනිමින් පක්ෂ තහනමට විරුද්ධවත්, දෙමළ ජන ඝාතන යුද්ධයට විරුද්ධවත් උද්ඝෝෂණ ආරම්භ කරන ලදී. විජය කුමාරණතුංග ප‍්‍රමුඛ ශ‍්‍රී ලනිපයේ රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රීය මතධාරීන් කම්කරු පංතියේ නව පිඹිදීමේ ශක්තියද උකහා ගනිමින් ශ‍්‍රී ලංකා මහජන පක්ෂය බිහි කළහ. ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සැගවී නොගිය අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව එහි පක්ෂ තහනම ඉවත් කෙරිනි. එසේ වමේ පක්ෂ අතර එක්සත් ක‍්‍රියාමාර්ගයන් සදහා පරිසරය සූදානම් වෙමින් තිබුණි.
වමේත් කම්කරු පංතියේත් බලවේග මෙසේ යලි ප‍්‍රකෘතිමත් වෙමින් නව ප‍්‍රභෝධයකින් ස්වාධීනව ක‍්‍රියාත්මක වීම ඇරඹීම ප‍්‍රකාශ කළ කම්කරු පංති ශක්තිය තේරුම් ගත් නව සම සමාජ පක්ෂය සමාජ පංතීන්ගේ බල තුලනය වාසිදායක ලෙස වෙනස් වී ඇති බවත්, ඒ අනුව තවදුරටත් තම නායකයන් සැගවී සිටිම අවශ්‍ය නැති බවත්, ඔවුන් වෙත පැවැති ජීවිත තර්ජනයන් මගහැරී ඇති බවත් තක්සේරු කළේය. මේ තීරණය පිළිබදව එකල්හි ජවිපෙ දැනුවත් කරමින් තමන්ගේ නායකයන් සමග එලියට යෑමට පැමිණෙන්නැයි නසසප ය කළ යෝජනාව ජවිපෙ පිළිගත්තේ නැත. එසේ උවද නායකයන් කැලෙන් එලියට පැමිණිය යුතුයයි ජවිපෙ දේශපාලන මණ්ඩලය තීන්දු කළ බව සිනමා කරුවා ප‍්‍රකාශ කරයි. මේ සාකච්ඡා වලට සහභාගි වීමට වනගත විජේවීරට අවස්ථාවක් නැත. ඒ තීන්දුවට විජේවීරගේ එකගත්වයක් නොවිනි. ඔහු කියන්නේ ”..දේශපාලන මණ්ඩලය තින්දු කළා නම් මුකුත් කියන්න බෑ. නමුත් තාම මේ හැංගිමුත්තං සෙල්ලම ඉවර නැති…”බවයි. අනෙක් අතට ධනපති පාලකයන් සමග ගනුදෙනුවක් මගින් පක්ෂ තහනම ඉවත් කර ගැනීම ඔහුගේ ඉලක්කයක් වූ බව පෙරකී සාකච්ඡාවේ තොරතුරු අනුව පෙනේ. ඒ අනුව සිනමාකරුවා නසසප ය නිදහස් වීම පිළිබදව චෝදනා මුඛයෙන් කථා කිරීම සත්‍ය නොවන්නේ ය. (නසසප නායකයන් විජය කුමාරතුංග හා සරත් මුත්තෙට්ටුවේගම මගින් ඉදිරිපත් වීමට කටයුතු කළේය. CID ය සති කිහිපයක් තිස්සේ රදවාගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔවුන්ව නිදහස් කරන ලද අතර, අනතුරුව පක්ෂ තහනමද ඉවත් කරන ලදි)
ෆැසිස්ට් පන්නයේ බල ව්‍යාපෘතිය
ඒ අනුව නසසප යේ තහනම ඉවත් වීම පාලකයන්ගේ අනුග‍්‍රහයකින් නොව පංතියේ ශක්තිය පිළිබදව තක්සේරු කරමින් ගත් නිවැරදි උපායික පියවරක ප‍්‍රතිඵලයයි. නමුත් විජේවීර සිටියේ වෙන කුමන්ත‍්‍රණයක බැවින් ඔහු ගත්තේ කූටෝපායික ක‍්‍රියාමාර්ගයන්ය. ඒවාගේ අනිටු විපාක පෙන්වා දීමත්, හැකි හැම විටකම රාජ්‍ය මර්ධනයෙන් කැරලිකරුවන් රාජ්‍ය මර්දණයෙන් ආරක්ෂා කර ගැනීමත් හැර නසසපයට එදා කළ හැකි වූ දේ කුමක් ද?
පුණරුත්ථානය ලබන කම්කරු පංති හා වාමාංශික බලවේග නොතකා හැරීමට මේ මොහොතේ විජේවීර පියවර ගත්තේ ඇයි ද? යන අති මූලික ප‍්‍රශ්නයට සිනමාව තුළ කිසිම පිළිතුරක් නැත. එයට පිළිතුරු සොයා ගැනීම සදහා ඔහු මග හැරි බලවේග මොනවා ද? යන්න පිළිබදව අපි මෙහි මුල් කොටසේ දී පෙනුවා දී ඇති බැවින් යලි යලිත් විස්තර කිරීම අවශ්‍ය නොවේ. අති මූලික ලෙසම ඔහුගේ බල ව්‍යාපෘතිය රැඳී තිබුණේ සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගයන් කැරළිකාරීව මෙහෙයවා ගැනීමයි. ”..ආණ්ඩුව ඉංදියාවට බය වෙලා ගිවිසුම ගැහුවොත් ෆෙඩරල් තත්ත්වයක් ඇති වෙනවා. එයට විරුද්ධව ජනතාව පාරට බහී. අපි එයට නායකත්වය දෙන්න ඕනෑ….” විජේවීර කියයි. ඔහු නායකත්වය දෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසදුමකට නොව එවැන්නකට එරෙහි ජාතිවාදී නැගීමකටය. එය සැබැවින්ම බලය ගැනීමේ ෆැසිස්ට් පන්නයේ උපායක් බව ඔහු නොදැන සිටියා ද?
ප්‍රේමදාසගේ වටමේස ව්‍යාපෘතිය
එහි දී පලාත් සභා විසඳුමකට පදනම දැමූ ඉංදු ලංකා ගිවිසුම අහෝසි කිරීමට බලහත්කාරය යොදා ගත යුතු බව අවධාරණය කරන විජේවීර කියන්නේ පක්ෂයෙන් අයින් උන අය එයට ද්‍රෝහීන් වනු ඇති බවත්, මේ අය වැඩියෙන්ම ඉන්නේ හමුදාවේ බැවින් අපි බිත්තියට හේත්තු උනාම කරෙන දේ ඒ අයට කරන්න ඕනෑ… යි විජේවීර විසින් කබ්රාල් (කීර්ති විජයබාහු) ට උපදෙස් දෙයි. ‘…..ඉංදියානු ගිවිසුමට විරුද්ධව එල්ල කරන්නේ නැති තුවක්කු දේශප්‍රේමීන් අතට ගත යුතුයි….ආණ්ඩුවයි අපියි අතර ගැටුමට හමුදාව මැදහත් වෙන්න ඕන නෑ. එය ඉවත් කර තබන්න කටයුතු කළ යුතුයි….’ ඒ උපදෙස් මත දේශපාලන විසඳුම් වෙනුවෙන් සටන් කරන්නවුන් ඝාතනය කිරීම ඇරඹේ. හමුදා භටයන්ට සේවයෙන් ඉවත්වන ලෙස බලකිරීමේ උපායයක් ලෙස ඔවුන්ගේ දරු පවුල් වලටත් ජීවිත තර්ජන නිකුත් කෙරේ. මේ අතර ප්‍රේමදාස ජනාධිපති ජවිපෙ සාකච්ඡාවට කැඳවයි. ”…මේක මරඋගුලක්. අපි මොකද අපේ මේ ආරක්ෂාව නැතිකරගන්නේ….” යි මේ යෝජනාව ප‍්‍රතික්ෂේප කෙරේ. ප්‍රෙමදාස සමස්ථ පක්ෂ වට මේස සාකච්ඡාවට කැඳවයි. නසසපය හැර අන් සියලූ පක්ෂ එයට එක්වෙයි. ඒ මගින් සැමගේ එකගත්වයෙන් ”ඔපරේෂන් කම්බෛන්” එක සංවිධානය කෙරේ. ඒ ආශ‍්‍රිතව අතුරු හමුදා ඛන්ඩ (ප‍්‍රා – කලූ බලල්ලූ වැන්නන්) බිහිවෙයි. එසේ වටමේසයේ ආශීර්වාදයෙන් දියත් කළ රාජ්‍ය ත‍්‍රස්තය ඉදිරියේ කැරලිකරුවන්ගේ ත‍්‍රස්තය ලැව් ගින්නට අසුවූ ඉටිපහනක් සේ ය. එයට මුහුණ දිය නොහැකි තැන කැරලිකරුවෝ එකිනෙකාව හමුදාවන්ට පාවාදීම අරඹයි. සිනමාව මේ රාජ්‍ය මර්ධනයට පදනම් දැමූූ පෙර කී වටමේස දේශපාලන එකගත්වයන් ද මගහරී. එයට හිලව්වට දෝ ගමනායක ලවා මෙසේ කියවයි ”….හමුදාවේ සාමාජිකයන්ට අයින් වෙන්න කීම වැරදියි…..හැම තැනම කලු බලල්ලු කහ බලල්ලු වැහි වැහැල……” රාජ්‍ය මර්ධනය මෙවන් පුද්ගලවාදී සරළ හේතුවකට ලඝු කිරීම හාස්‍ය දනවන්නකි.
නොපැහැදිලි නිස්කලංකය
සිනමාවේ අවසානය විජේවීරගේ චරිතය පිලිබදව අවුලක් ඇති කරන සිදුවීමකින් සමන්විත වෙයි. එහි දී සිනමාකරුවාගේ පරමාර්ථය පැහැදිලි නැත. අත් අඩංගුවට පත් වීමට පෙර දින සිය දරු පවුල වාසය කරන නිවසට විජේවීර එන්නේ එතෙක් යොදාගත් කූටෝපායයන් සියල්ල අසාර්ථක වී පාවාදීම් රැල්ලක් ඔස්සේ බුරුතු පිටින් තමන්ගේ කිට්ටුම සගයන් අත් අඩංගුවට පත්වීමත්, ඉන් බොහොමයක් ඝාතනයට ලක්වීමත් සිදුවන අතරවාරයේ ය. වහාම නව රහසිගත නිවසකට විජේවීර හා දරුපවුල ගෙනයෑම ඉතිරි ව සිටින සගයන්ගේ තීරණය වූ අතර ඒ සදහා ස්ථානයක් ද (නුවරඑලියේ) පිලියෙල වී ඇති බව කියැවෙයි. ගමනායක කියන්නේ අපි එලිවෙලා ඉවරයි. සැලසුම් වැඩක් නෑ…අපි ආරක්ෂා විය යුතු…”බවයි. ”…අපි අඩියක් පස්සට යනව කියන්නේ පරාජයක් නොවෙයි උපක‍්‍රමයක්…” යි විජේවීර තම ඉතිරිවී ඇති සගයන් ට කියයි. බහුජන අරගලය වෙනුවට ජනතාව බියවැද්දීමේ කූටෝපායේ බිද වැටීම වහන්ගු කරන්න යන්නේ කාටද? බිරිය යසෝමා කියන්නේ ඕනෑ මොහොතක සිටින තැනින් පිටව යෑමට හැකි පරිදි තමන් (ඇඳුම් කැඩුම්) සියල්ල සූදානම් කරගෙන ඇති බවත්, ඕනැම වෙලාවක යන්න පුලූවන් බවත්ය. පක්ෂයේ තීරණ කිසිවක් නොදන්නා මුත් මේ කාන්තාව තමන් මුවවිට තිබෙන අනතුර හොදින් තේරුම්ගෙන සිටි බව මේ වදන් පෙන්වයි. එය තේරුම් නොගන්නේ විජේවීරම වීම විමතියකි. ඔහු පිටව යෑම පසුදාට කල් දමයි. කුමටද? දරුවන් සමග සෙල්ලම් කිරීමට ය. නව ආරක්ෂක නිවසට ගොස් සෙල්ලම් කිරීමට බැරි ඇයි? ඔහු දරුවන් පිරිසක් බිහිකිරීමට සම්මාදම් වූවා විනා ඔවුන් සමග සෙල්ලම් කළ බවක් නම් මේ සිනමාව එතෙක් පෙන්වූයේ නැත. එපමණක් ද පසුදා පාන්දරින්වත් පිටවනවා වෙනුවට උදැසන ගෙවී යද්දීත් හෙතෙමේ පුටුවකට හේත්තු වී පුවත් පත බලයි. පොලිසි-හමුදාවෝ නිවස වටකර දොරකඩට එනතෙක් ඔහු දන්නේ නැත. මේ ඇත්තද? ඔහු මෙය නොදැන සිටියාද? නැත්නම් අත් අඩංගුවට පත් වී දිවි ගලවා ගැනීමේ තවත් කූටෝපායක් ඔහු සතුව තිබුණ බවක් ද සිනමාකරුවා කියා සිටින්නේ. සිනමාකරුවාම එය පැහැදිලි කළ යුතුව තිබේ.
රණත් 2019.03.01
”හරය” පුවත්පතේත් ඉන් කලකට පසුව “ඕ පියුම” හා “සිලෝන් නිව්ස්” වෙබ් අඩවි වල කොටස් කොටස් දෙකකින් පළවූ මෙම ලිපිය මෙසේ ‘හරය’ පළ කර සිටිමු.
1 Response
[…] රෝහන විජේවීර ගන්දබ්බයකු කළ සිනමාව […]