දෙමළු මැරීම ආනන්තරීය පාපකර්මයක් නම් නොවේ
සියලු සතුන් සමානයි කියල බුදුන් කිව්වද, අද උගන්නන ආගම අනුව යම් ක්‍රියාවකට බදුන් වන තැනැත්තා අනුව කරුමය පඩිසන් දෙන්නේ එක එක විදියටය.
ඒ අනුව තමංගේම දෙමාපියන් මැරුවොත්, රහත් වුන කෙනෙක් අපවත් කෙරෙව්වොත්, බුදු වරයකුගේ ලේ හෙල්ලුවොත් හෝ මහණුන් කෙටවෙව්වොත් හෝ මිස අනිවා ඵල දෙන කරුමයන් නැත. රහතුන් හෝ බුදුන් ඉන්න බවක් නොපෙනෙන නිසා ඒ ගැන වැඩිය බය විය යුතු නැත. උං දෙමළ නිසා දෙමාපිය සම්බන්ධයක් තියෙන්නත් ඉඩ අඩුය. අප මහණුන් කෙටවීම කෙසේ වෙතත් අද සිදුවන්නේ මහණුන් විසින් අපට කෙටවීම නිසා ඒ සීන් එකත් යුද්ධයට එතරම් බලපෑමක් නැති බවයි පෙනෙන්නේ.
මේ අනුව පේනවා අපි කළ මේ කරුමය අනිවා පඩිසන් දෙන ගණයේ එකක් නොවන වග. එසේ නම් වහ වහා පිං රැස් කිරීම මගින් එදා ඒ කළ කරුමය පඩිසන් දීමට ඇති ඉඩකඩ සීමා කිරීමට හේතු වන බව පෙනේ.
ඒව මේව අස්සේ ත්‍රිපිටකය ජාතික වස්තුවක් ලෙස නම් කිරීම නම් කදිමයි. ඒක තුළින් හතරපස්දෙනෙකුට වත් බුද්ධ දර්ශනය ගැන කියවීමට හිතක් පහල වුනා නම් තමා හැබැයි ඒ. නැත්නම් මේ ඩිජිටල් ලෝකේ පොත් රැකගන්න කරන්න ඕනෙ පී.ඩී.එෆ්. කරල අප්ලෝඩ් කරන එක මිසක් ඕවට එක එක නාමකරණ දිදී යන එක නෙමේ. නාමකරණයේ වටිනාකම තමා සමාජය තුළ කථාබහක් ඇති වීමට ඉන් පොටක් පෑදීම.
ඒත් ලොකු අවුලක් තියෙනවා. ඇත්තටම ඔය ත්‍රිපිටකය ජාතික වස්තුවක් කිරීමට හරි හමන් මාර්කට් කිරීමක් මීඩියා වලින් ලැබුනද කියන එක. එදා දවසේ සිරා බලහත්කාරයෙන් වගේ හැම චැනල් එකේම සිද්දිය ටෙලිකාස්ට් කළා. ඒකෙන් උනේ බහුතරයක් මිනිස්සු එදා ඩීවීඩී දාගෙන ෆිල්ම් බැලුව එක වෙන්න ඕනේ. හරිනම් වෙන්න තිබ්බේ ඊට කලින් ත්‍රිපිඨකය සම්බන්ධයෙන් සංවාදාත්මක වැඩසටහන් ප්‍රේක්ෂකයා කරා ගෙන යාමයි. එහිදී එහි අන්තර්ගතය සියයට සියයක්ම බුද්ධ භාෂිතයද යන ගැටළුව පවා මතු කිරීමට ඉඩ ලබා දුන්නා නම් අන්න මාර්කට් කිරිල්ල. වල්පොල ශ්‍රී රාහුල ආශ්‍රමයේ ඉන්න ගල්කන්දේ හාමුදුරුවො, සමන්ත භද්‍ර හාමුදුරුවෝ, තව ඉතිහාසඥයො, දේශපාලනඥයො වගේ සෙට් එකක් එකතු කරන් ත්‍රිපිටකය ගැන සංවාදයක් ගොඩ නැගුව නම් අන්න තරුණයෝ, ශිෂ්‍යයො මේ ජාතික වස්තුවෙන් පිටු දෙක තුනක් හරි කියවල බලන්න උනන්දු වෙන්න ඉඩ තිබ්බ. ඒ අනුව එකෙක් දෙන්නෙක් මේක තව භාෂාවකට දෙකකට පරිවර්තනය කරල ප්‍රකාශයට පත්කරන්න ඉදිරිපත් උනා නම් අන්න තවත් සිරා. ඒත් ඒම මුකුත් වුනේ නෑ.
ඒ කියන්නේ ත්‍රිපිටකය කියන්නේ මේ බුදුන්ගේ දේශයේ මාර්කට් කළ නොහැකි දෙයක් ය කියල අපේ මීඩියා කාරයො ටික හිතන නිසාවෙන්ද? එහෙමත් නැතිනම් වෙන දෙයක් මාර්කට් කරන්න උන්ට ඕර්ඩර් එකක් ලැබිලද?
ධර්මය මාර්කට් නොකර හුදෙක් පොතක් ජාතික වස්තුවක් කියල නම් කරන එකෙන් වෙන්නේ වෙන මුකුත් නෙමේ මේක බුදුන්ගේ දේශයයි කියන හිංගල බහුජ්ජ සටන් පාඨය ශක්තිමත් වීම පමණයි. ඇතුලෙ තියෙන්නේ මොකක්ද කියල නොදන්න උං ඒක තමංගෙ කියල හිතුවම කරන්නේ ඒක රකින්න මිනී මරාගන්න එක විතරයි. මෙච්චරකල් උනෙත් ඒකයි. ඒ වගේම රාජ්‍ය පාලනයට ප්‍රතිසංස්කරණ ගෙන ඒම සදහා නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් සටන් කරන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට අභියෝගයක් එල්ල කිරීමයි මේ මගින් උනේ. උං එහෙ ආණ්ඩුව නිරාගමික කරන්න දගලනවා, මුං මෙහෙ ආගමික පොත් ජාතික වස්තු කරනවා ඒ අස්සේ. ඒකත් නිකං බජාජ් ත්‍රී වීල් එක පිටිපස්සේ සිංහ ලේ කියල ගහගත්ත වගේ වැඩක් තමා.
බුද්ධ ධර්මය පැත්තකට දාමුකෝ. ත්‍රිපිටකය ගැන තියෙන සැක සංකා පැත්තකට දාමුකෝ. අඩුගානෙ මං අර මුුලිං කිව්ව කරුමය ගැන තියෙන විස්තරේ කියෙව්ව නම් පේනව පිං වැඩි උනොත්, ඒ වගේම තමන‍්ගෙ වත්මන් ජීවිතය ශීලවන්ත කරගත්තොත් ආනන්තරීය නොවන පාපකර්ම යටපත් වීමට ඉඩ ඇති බව. ඒ අනුව පඩිසන් දීමට කාලයක් / අවස්ථාවක් නොලැඹීම නිසා අහෝසි කර්ම වෙලා යන්නත් පුලුවන්. හැබැයි ඉතිං, සිවිල් මිනිස්සු බව දැන දැන මල්ටි බැරල් ගහන්න ඕර්ඩර් දුන්න උං ඉන්නව නම්, ඒව මේව අස්සෙ ගිහින් දෙමළ ගෑනු, පොඩි එකීල එකාල දූසනය කොරපු උං ඉන්නව නම්, වදකාගාර වල වද දීල අහින්සකයි කියල ඔප්පු වුනාම වෙන කොරන්න දෙයක් නැති කමට මරල ලිං වල දාපු උං ඉන්නව නම්, කප්පං ගන්න ළමයි උස්සල මරල දාපු උං ඉන්නව නම් ඒව කොහොම යටපත් කරන්න පුලුවන් වෙයිද කියල නම් හිතන්න අමාරුයි. උන්ට ඕනෙ නම් පුලුවන් පාපොච්චාරණය කරල බලන්න කෝකටත් කියල. කරුමෙ මොක උනත් සර්වබලධාරී දෙයියෝ බැලුවොත් ඒකත් දෙයක් නේ.
හැබැයි, ඒ වෙලාවෙ ගෙවල් අස්සට වෙලා හුරේ දාපු උන්ට, රාජ්‍යයට එදා තම මර්ධනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දේශපාලන හයිය දුන්න උන්ට, තමං මළත් පවුල ගොඩනෙ කියල හිතං තුවක්කුව අතට ගත්ත උන්ට නම් මේ පාපකර්මයෙන් ගැලවෙන්න චාන්ස් එකක් තියෙන වගයි මට නම් පේන්නේ. පෙසපට ඕක නොතේරුණාට ජවිපෙ නම් යම්තාක් දුරකට පිනක් දහමක් කරගන්න යොමු වෙලා තියෙන බවයි පෙන්නේ. ඒක ඉතා හොද පූර්වාදර්ශයක්.
ඒ අනුව, උංගේ පිදුරංගලේ තිබ්බ අමාරුවකට අවුරුදු තිහක් තිස්සේ යුද්ධ කළා නොව, ඇත්තටම ප්‍රශ්නයක් තිබීමටද ඉඩක් ඇති බවත්, එසේ නම් ඒ ප්‍රශ්නය කුමක්දැයි සෙවීමට අපද මැදිහත් විය යුතු බව තීන්දු කිරීම එක් පුන්‍ය කර්මයකි. ඊලගට ඒ සම්බන්ධයෙන් මෙතෙක් ලබා දී ඇති දේශපාලනමය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍යයට බල කිරීමට යොමු වීම දෙවන ප්‍රන්‍ය කර්මයයි. ඒ අනුව 13 වන ව්‍යවස්ථාවේ පළාත් සභා වලට දීමට සම්මත වී ඇති බලතල ලබා දීම, මහින්දගේ එල්.එල්.ආර්.සී. වාර්ථාවේ නිර්දේශ බලාත්මක කිරීමට බල කිරීම වැනි පිංකම් සැලකිය හැකිය. තෙවනුව නව ව්‍යවස්ථාවක් මගින් හැම මිනිහටම නිසි සැලකුම් ලැබෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩ නැගීම වෙනුවෙන් සටන් කිරීම. (මෙහිදී ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ අගුණ කියමින්, වඩා හොද සමාජවාදයක් එනකන් ප්‍රජාතන්ත්‍රවාදය අරහං වාම/මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් පරිස්සම් විය යුතුය. නව ව්‍යවස්ථාව හොද නිසා 13 ඕනෙ නෑ කියන උංට වඩා හපන් සමාජවාදය හොද නිසා ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන උං). සියලු දේ අනිත්‍ය බවත්, තමන්ට වඩා වෙනස් සිතුවිලි අනෙකාට තිබිට හැකි බවත්, එසේ වෙනස් අදහස් තිබීම අපරාධ වරදක් වත්, කාවවත් පාවාදීමක් වත් නොවන බවත්, එකට ඉන්න බැයි නම් වෙන්වීමට පෙම්වතෙකුට හෝ පෙම්වතියකට ඇති අයිතිය වෙනත් ජන කණ්ඩායමකටත් ඇති බවත් වටහා ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව උත්සාහ කිරීම සිව් වන පුන්‍ය කර්මයයි.
මේ අතර අතුරුදහන් වූවන්ගේ පවුල් වල අයට ඒ ගැන සොයා ගැනීමට උදව් කිරීම, ඉඩම් වලින් එලියට දැමූවන්ට තම ඉඩම් නැවත ලබා දීම වෙනුවෙන් සටන් කිරීම, එදිනෙදා ජන ජීවිතයෙන් හමුදාව ඉවත් කිරීම වෙනුවෙන් වැඩ කිරීම, වින්දිතයන්ට හානිපූර්ණය කිරීම වෙනුවෙන් සටන් කිරීම වැනි පිංකම් රාශියක් ද කිරීමට අපට ඉඩකඩ තිබේ.
තව තවත් පරක්කු වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ චියර් දැමීම, දෑත් ශක්තිමත් කිරීම ආදියෙං කොරගත් පාපකර්ම පඩිසන් දීමට ඇති ඉඩකඩ පුළුල් වීම පමණයි. ඉදිං නොපමාව පිංකම් වලට යොමු වෙමු.
කුෂාන්
“හරය” 2019 පෙබරවාරි – මාර්තු කලාපය