හබන් කුකුළුවාදයෙන් යැපී වමක් හදන්නේ කා සමගද?
“පැරණි පාලනයේ සංකේතයේ හිස සිඳලෑමට ප‍්‍රමාණවත් ධෛර්යයක් නොමැති විප්ලවයට ශාපවේවා.” යි ප‍්‍රංශ විප්ලවයේ නායකයකු වූ මාරා විසින් ප‍්‍රකාශ කළේය.
* “1917 බොල්ෂෙවික් විප්ලවයෙන් පසු රොමානොව් රජ පවුල රාජාංඩුවාදී ප‍්‍රතිවිප්ලවවාදීන් සමග ගනුදෙනු කිරීමට ඉඩ හැරියේ නම් එය 1918 ඇරඹෙත්දී දියත් වූ අධිරාජ්‍යවාදී රටවල සහාය ලත් ප‍්‍රතිවිප්ලවයේ ජයග‍්‍රහණයට මහෝපකාරී වනු ඇත” යි අයිසැක් ඩොයිස්චර් පෙන්වා දී තිබේ.
* “වැදගත් වන්නේ පරාජය කළ යුතු පුද්ගලයා ඕනෑම වියදමකින් පරාජය කළ යුතු වීමයි” දෙමළ ජාතික සංධානයේ මන්ත‍්‍රී ශ‍්‍රීනේෂන් පසුගියදා ප‍්‍රකාශ කළේය
උක්ත ප‍්‍රකාශ තුන මෙහි ආරම්භයේ දීම සටහන් කළේ වමක් ගොඩ නැගීම ගැන මෙන්ම, දැනටමත් වමක් එකතු කරන්නට හැකි වී ඇතැයි ලෙසින් අලූත් සාකච්ඡාවක් ජනතාව ඉදිරියේ දිග හැරෙමින් තිබියදී, පවතින තතු සලකා බැලීම වැදගත් යයි මා සිතන නිසාය. මේ අලූත් පිබිදීමට හේතු වී ඇති තවත් කරුණක් වනුයේ 2015 ජනවාරි 08 ජයග‍්‍රහනයේ තැවරී සිටි වම්මුන් ද, ජවිපෙ නායක අනුර දිසානායකව ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ප‍්‍රකාශයට පත් කළ රැස්වීමේ වේදිකාව අරා අසුන්ගෙන සිටි නිසාය. ඒ අනුව මේ වම ගොඩ නැගීමේ අලුත්ම වෑයම, ජනාධිපතිවරණය ඉලක්ක කර තුන්වන අපේක්ෂකයෙක් ගෙන ඒම ඉලක්ක කර ගත්තක් ද යන්න විමතියකි. එවැන්නක් සුපුරුදු පරිදි ඡන්දය සමග බිහිවී ඒ සමගම නිමාවට ද යන අහස් මාලිගාවක් යන්න ද පැහැදිලි නැත.
මෙහි දී වමේ එකතූන් ගැන අනුභූතික කථා පැවැත්වීමෙන් සංතෝස වනවාට වඩා වැඩියෙන් ඒවායේ ඓතිහාසික මතුවීම් ගැන වෛශයික ලෙස සලකා බැලිය යුතුය. ලංකාවේ මතුවූ බලගතුම වමේ එක්සත් කම 1963 බිහි විය. එය ලසසප-කොප-මඑපෙ එක් වූ පෙරමුණකි. ඉලක්කය? කව්රුත් දැන සිටියා සේම – දැන සිටියේ ද නැත. එය පැහැදිලි වූයේ ශ‍්‍රීලනිපයට අභියෝග කර සභාගයක් ඇති කර ගැනීම සමගය. එදා ධනපති පංතියේ පාලනය ද මේ වමේ එකතුව බිඳීම සඳහා වහාම සභාග ආණ්ඩුවකට එකඟ විය. ඒ මොවුන් වෙන වෙනම මිලදී ගැනීමෙනි. එහිදී වමේ දේශපාලනය වූයේ ශ‍්‍රීලනිපය එක්ව ජනසතු කිරීම උපරීමය කිරීමෙන් සමාජවාදයට යෑමයි. සීතල යුද්දයේ යෙදී සිටි රුසියාවේ ජාත්‍යන්තර දේශපාලන වැඩ පිළිවෙල අනුව කියුබාව සමාජවාදයට ගියා වූ ක‍්‍රමයටය. එසේ සමාජවාදය සඳහා ශ‍්‍රීලනිපය සමග ඉදිරියට යෑම වෙනුවෙන් කම්කරු පක්ෂ අතර, වමේ එක්සත් කම (ලසසපය හා කොප ය විසින්) අත්හැර දමන ලදී. වම සිතුවේ ධනපති පාලනයේ මුදල් ඇමතිකම සමාජවාදයට මාවත බවයි. අනතුරුව මඑපෙ1966 දී කර්මාන්ත ඇමතිකම මගින් සමාජවාදයට යෑමට එජාපය සමග එක් විය. ඒ නිගමනය අවසාන වූයේ මඑපෙ සිංහල බෞද්ධ සමාජවාදයක් පිළිබඳ මතය සංවර්ධනය කර ගැනීමෙන් ය.
විජය ප‍්‍රමුඛ වූ වමේ පෙරමුණ මෙහි ප‍්‍රතිපක්ෂයයි. එය ජාතික ප‍්‍රශ්ණය විසඳීම මුල් කරගත් පෙරමුණකි. එපමණට ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් කරගසා ගත් පෙරමුණකි. සිදුවූයේ පළාත් සභා මගින් දෙමළ ජනතාවට දේශපාලන වශයෙන් සහනයක් දීමට විරුද්ධව සිංහල බෞද්ධ බලවේගයේ ගොදුරක් බවට මේ එකතුව පත් වීමයි. විජය ඝාතනයත් සමග මෙහි පාර්ශවකරුවන් වූ ලසසප, කොප නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයෙන් පලා ගියහ. මන්ද යත් ඔවුන්ට පලාත් සභා යනු මන්ත‍්‍රීකම් රොත්තකට වඩා වැඩි දෙයක් නොවීමයි. මහජන පක්ෂය සුළග හමන දස අතට පාවෙන වළාකුලක් බවට පත්ව අහෝසි වී ගියේ ය. ඉන් පසුවද ඇති වූ වමේ එකතූන් ගැන යථාවාදී විමසුමක් කිරීමට මේ අවස්ථාව නොවුනත් අප දැන සිටිය යුතු දෙය වන්නේ වමේ එකතුවක් යනු වම්මුන් යයි තමන්ව තමන් විසින් වර්ගීකරණය කරගෙන සිටින පුද්ගලයන්ගේ මනෝබද්ධ සිනමා පටයක් නොව නොව සමාජ බලවේගයන්ගේ තත්කාලීන පෙළ ගැසීම් මගින් බිහිකරන ඓහිතිහාසික ප‍්‍රපංචයන් බවයි. අද එවැන්නක් බිහි වන්නේ නම් එහි ප‍්‍රකාශකයන්ගේ ගායනා මත නොව ඒ මගින් ඉටු කරන කර්තව්‍යය කුමක් ද යන්න මත එය තේරුම් ගැනීම අපගේ වගකීමයි.
ගොම රිටි උඩ ඇවිත් මුතු මැණික් යට යයි…
අපි දැන් නැවත ලිපියේ මුලට යා යුතු වෙමු. මෙහි පළමු හා දෙවන ප‍්‍රකාශයන් ලොව වෙනස් කිරීමට පාදක වූ විප්ලවයන් දෙකක් අරභයා ය. තෙවැන්න වර්තමානයේ ලංකාවේ ජනතාව අතර විවාදිත දේශපාලන ස්ථාවරයක් සම්බන්ධයෙනි.
කාල් මාක්ස් පෙන්වා දී ඇති පරිදි 1648 බ්‍රිතාන්‍ය විප්ලවය හෝ 1789 ප‍්‍රංශ විප්ලවය හුදු බ්‍රිතාන්‍යයේ හෝ ප‍්‍රංශයේ විප්ලවයකට සිමා වූයේ නැත. ඒවා යුරෝපයේ නව ආර්ථික-සමාජ හා දේශපාලන ක‍්‍රමය ප‍්‍රකාශ කරන ලද සිදුවීම් විය. ඉන් ධනපතීන් ලද ජයග‍්‍රහණය සැලකූ කල්හි වුව එය හුදු සමාජ පංතියක ජයක් නොව නව සමාජ ක‍්‍රමයක ජයග‍්‍රහණයයි. ඒ කෙවැනිද යත් වැඩවසම් අයිතිය අභිබවා ප‍්‍රාග්ධනයේ අයිතියත්, ප‍්‍රදේශීයකවාදය අභිබවා ජාතිකත්වයත් (ජාතිය එක්සත් කිරීම), ශිල්ප ශ්‍රේණීන් අභිබවා වෙළඳ තරඟයත්, ප‍්‍රවේනි අයිතිය ඉක්මවා ඉඩම් බෙදාලීමත්, ඉඩම් මගින් අයිතිකරුවා දරන්නාවූ ආධිපත්‍යය අභිබවා ඉඩම් හිමියා සහිත පාලන දරන්නාවූ ආධිපත්‍යයත්, මිත්‍යාව අභිබවා ප‍්‍රබුද්ධත්වයත්, පවුලේ නම අභිබවා පවුලත්, අලසකම අභිබවා ක‍්‍රියාශීලී උද්යෝගිමත් බවත්, වැඩවසම් වරප‍්‍රසාද අභිබවා ධනේශ්වර නීතියත් ලද ජයග‍්‍රහණය යි. මේ ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් ධනපති පංතියේ නායකත්වයෙන් මේ රටවලත් යුරෝපය පුරාත් 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ දී බොහෝ දුරට ඉෂ්ට කෙරිනි. 1648 විප්ලවය යනු 16 වැනි සියවස අභිබවා දහ හත්වන සියවසත්, 1789 විප්ලවය යනු 17 වැනි සියවස අභිබවා 18 වන සියවස ලැබූ ජයග‍්‍රහණයන්ය. එසේ මෙම විප්ලවයන් පෙන්නුම් කළේ ඒවා සිදුවූ ප‍්‍රදේශයන්හි එනම්, එංගලන්තයේ සහ ප‍්‍රංශයේ අවශ්‍යතාවයන් නොව එකල ලොව පැවැති අවශ්‍යතාවයන්ය. මාක්ස්ගේ මේ ස්ථාවරය පෙන්වන්නේ පැරණි සමාජය ඉක්මවා නව සමාජයක් බිහි කිරීමේ විප්ලවීය කාර්යභාරය ඓතිහාසික වශයෙන් මානව වර්ගයාගේ ඉදිරි ගමණක් ලෙස සාඩම්බරයෙන් කෙරෙන පැහැදිලි කිරීමක් ලෙසිනි.
මේ විප්ලවයන්ගේ ඉහලම නිෂ්පාදිතය වූයේ දැවැන්ත කාර්මීකරණයක් මගින් ඒකරාශී වූ ප‍්‍රාග්ධන සම්භාරයන් ලොව පුරා ගලා යමින් වඩාත් දියුණු තලයකට මනුෂ්‍යත්වය ගෙන එන සමාජවාදී සමාජයකට ලොව රැගෙන යන දැවැන්ත නිර්ධන පංතියක් හා නිර්ධන පංතියේ ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීමයි. ඒ මගින් දුක්ඛිත භාවයේ සිහිනයක් ව තිබූ සමාජවාදය සැබෑවක් බවට පත් කිරීමේ කාර්යභාරය මේ ජාත්‍යන්තර නිර්ධන පංතියේ රාජ්‍ය බලය මගින් ඉටු කරනු ඇති බව පැහැදිලි කළ මාක්ස්වාදය බිහිවීමට අවශ්‍ය භූමිය සැකසී ය. මේ අනාගත වක්තෘන් පෙන්වා දුන් පරිදි, 1871 ප‍්‍රංශ කොමියූනය නිර්ධන පංති රාජ්‍ය බලය පිළිබඳ පළමු නිදසුන ඉතිහාසයේ වේදිකාවට ගෙනාවේය. එම අත්දැකීම ද ඉක්මවා යමින් 1917 රුසියානු විප්ලවය නිර්ධන පංතිය විසින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ ශක්‍යතාව ඓතිහාසික යථාර්තයක් බවට පත් කළේය. එසේ වී මුත් මේවා සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අසමත් වූ අතර ඒ වෙනුවට එය ලෝක විප්ලවය පාවා දෙන්නා වූ ජාත්‍යන්තර තන්ත‍්‍රයක් ජනිත කිරීමට පෙරට ආවේය. එය නිර්ධන පංතියට වෛශයික පරාජයක් වූව ද සමාජවාදී විප්ලවය යනු හුදු තනි රටක පරිපූර්ණ කළ හැක්කක් නොව ලෝක විප්ලවයේ ඵලයක් වන බවට මාක්ස්වාදය විසින් ඉදිරි දර්ශණය නිරවුල් කළේය. සත්‍යය ජයගන්නේ ජයග‍්‍රහණයන්ගෙන් පමණක් නොවේ. පරාජයන් එයටත් වඩා සත්‍යය ජයග‍්‍රහණය කර දෙයි.
මේ පරාජයන් ගේ ඵලය ලෙස නිර්ධන පංතියේ රාජ්‍ය බලය වෙනුවට ප‍්‍රතිසංස්කරණ එල්ල කරගත් සභාගවාදයත්, සමාජවාදී ආර්ථික ක‍්‍රමයක් වෙනුවට රාජ්‍ය ධනවාදයත්, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉක්මවූ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙනුවට නිලධාරි ඒකාධිපතීත්වයත්, ලෝක සමාජවාදී විප්ලවය වෙනුවට තනි රටේ සමාජවාදය ගොඩනැගීමේ න්‍යායත්, නව සංස්කෘතික පිබිදීමක් වෙනුවට නිර්මාණකරුවාගේ බුද්ධි ඝාතනයත් ක‍්‍රියාත්මක කළේය. මාක්ස්වාදය වෙනුවට පෙර කී ජාත්‍යන්තර තන්ත‍්‍රයේ මතවාදී අවිය වූ ස්ටාලින්වාදී සංශෝධනවාදය ලොව පුරා නිර්ධන පංතිය දේශපාලන වශයෙන් නිරායුධ කරමින් ඔවුන්ගේ සංවිධාන ධනපති පංතියේ බළල් අත් බවට පත් කළේය.
හඳට පොලු ගසන, මකුළු දැලෙන් හුළං බදන වම..
දැන් අප රට ගමන් කළේ මේ මුග්ධ ලෝක දෘෂ්ටීන් කරගසාගත් නායකත්වයක් නිර්ධන පංති ව්‍යාපාරය මුදුනේ තබා ගෙනය. එය මේ රට තුල මතු වූ කිසිම සමාජ බලවේගයක් නිසි ලෙස හදුනා ගත්තේ නැත. මන්ද යත් මේ රටවල් වල ප‍්‍රගතියේ මාවත වැටී ඇත්තේ නිම නොකෙරුණු ධනපති ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කර ගැනීමේ අරගලය ඔස්සේය යන්න වටහා ගැනීමට අසමත් විමයි. එසේ හෙයින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමේ පදනම වටහා නොගත්තා පමණක් නොව ධනපති ක‍්‍රමයේ ව්‍යාප්තිය සඳහා ශ‍්‍රීලනිපය ගත්තා වූ පියවරයන් ඔවුන්ට සමාජවාදී පියවර විය. ජනසතුව, රාජ්‍ය ව්‍යාපාර ඔවුන් දුටුවේ සමාජවාදය ලෙසිනි. අඳ ගොවියාගේ ඉඩම් හිමිකම යම් දුරකට පිලිගැනීම, නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ ව්‍යාප්තිය ඔවුන්ට අනුව සමාජවාදී විය. ඒ අනුව ශ‍්‍රීලනිපය ප‍්‍රගතිශීලී වූ අතර යූඇන්පීය ප‍්‍රතිගාමී විය. සැබැවින්ම කියන්නේ නම් තවමත් මේ උදවිය ඉන්නේ ඒ මතවාදයේ ය. ජාතීන් එක්සත් කිරීමේ දී පෙර කී යුරෝපයේ සිදු වූ විප්ලවීය කටයුතු මෙහි ඉටු නොවීම පිලිබඳ පැවැති අනවබෝධය නිසා දෙමළ ජනතාවගේ ජාතික අයිතිය පිළිබඳ අරගලය වටහා නොගත්තෝය. එහි ඵලය නම් දෙමළ විමුක්ති අරගලයේ පවතින විප්ලවකාරී හරය නොදැකීමයි. එහි අවසාන ප‍්‍රථිපලය වූයේ “දෙමළ ජනතාවගේ සන්නද්ධ බලය බිඳ දැමීමට රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය (Diplomatic Immunity) මත පදනම් ව යුදමය පියවර ගැනීම රාජ්‍ය ත‍්‍රස්තවාදයක් නොවේය” යන අන්ත ප‍්‍රතිගාමී ස්ථාවරයකට පැමිණීමයි.
තමන්ගේ නිදහසේ අරගලය සාමයෙන් බේරා ගත නොහැකි තැන අවි අතට ගැනීම නම් දෙමළ ත‍්‍රස්තවාදයයි. එම අවි බලය බිඳ දෙමළා සිංහල බෞද්ධ රාජ්‍ය බලය ඉදිරියේ දණ ගැස්සවීම විමුක්තිය ලැබීමේ මාවත ලෙස මේ පිරිස් කම්කරු පංතියට ඉගැන්වීය. අදත් එම මිථ්‍යාවෙන් එළියට ඒමට අවස්ථාව නොදෙයි. මන්ද ‘මහින්ද අපේ එකා’ හා ‘රනිල් අධිරාජ්‍යවාදයේ ඒජන්තයා’ නිසාය. ‘මහින්ද අපේ එකා’ වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ ඍජු සහයෝගය මත ලක්ෂයක් දෙමළුන් මරා කිරිබත් කෑ නිසාය. රනිල් අධිරාජ්‍ය ගැත්තා වන්නේ විමුක්ති කොටි සංවිධානය සමග සාම ගිවිසුම් ඇති කර ගනිමින් යුද්ධයෙන් තොර දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමට වැර දැරීම නිසාය. මේ දෙදෙනාගේ (සැබැවින්ම පක්ෂ දෙකේ) මූලික වෙනස වන මේ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් වමක් ගොඩ නගන්නට කථා කරන්නෝ හෝ වමක් එකතු කර ඇතැයි කියන්නෝ කථා නොකරති.
මේ අනුව අද පවතින තීරණාත්මක කටයුත්ත වමක් හැදීමට කෝඳුරු තෙල් එකතු කිරීම නොව ප‍්‍රජාතන්ත‍්‍රීය අරගලය ඉදිරියට ගෙන යෑම පිලිබඳ ප‍්‍රශ්නයයි. ලංකාවේ වමක් ගොඩනැගීම හෝ විප්ලවකාරී ගමනක් යෑම සඳහා ජාතික ප‍්‍රශ්ණය පිළිබඳ ප‍්‍රතිපත්තිමය එකඟත්වයක් ප‍්‍රාථමික වෙයි. එයින් මෙහා ඇත්තේ හුදු එදා වේල සරිකර ගැනීමේ සිල්ලර ප‍්‍රශ්නයන්ය. නැතිනම් රැකියා වෙළදපලේ තමන්ගේ කොටස රැක ගැනීමේ අරගලයන්ය. නැතිනම් පහල හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් අතර භාණ්ඩ වෙළදපල සඳහා තරඟයන්ය. උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම ගැන කරන ඝෝෂාව පදනම් වන්නේ ද ඒවා මතය. මේ ප‍්‍රශ්න සඳහා දිගුකාලීන විසඳුම් ඇත්තේ විප්ලවකාරී ප‍්‍රජාතන්ත‍්‍රීය වෙනසක් රට තුල ඇති කිරීමෙන්ය.
එහි දී ප‍්‍රජාතන්ත්‍රවාදී රටාවන් ශක්තිමත් කර, බලය බෙදීම් විධිමත් ලෙස ඉටුකර (අඩුම තරමින් 13 වන සංශෝධනය මුලුමනින්ම ක‍්‍රියාත්මක කිරීමෙන් අරඹා), ජාතිය එක්සත් කිරීමට මාවත සැකසීමෙනි. රටේ පවතින බලවත් ප‍්‍රාග්ධන හිඟයට පිළිතුර ඇත්තේ එම පියවරයන් ඔස්සේ ය. එසේ ප‍්‍රාග්ධන සම්පාදනය ඉහල නැගීමට මාවත පෑදීමෙන් ආර්ථිකය ශක්තිමත් නොකර සිල්ලර ප‍්‍රශ්ණ වලට ධරණීය විසඳුම් සොයා ගැනීමට නොහැකිය. වම හදන හා වම එකතු කරන අය බලය ගත්තත් උක්ත ප‍්‍රාථමික දේශපාලන විසඳුම් නොමැතිව සිල්ලර ප‍්‍රශ්ණ විසඳීම නම් කළ හැක්කක් නොවේ.
මේ පිංතූරය පෙන්වන්නේ අවස්ථාවාදය විනා වාම වාදයක් නොවේ…
දැන් මේ යහපාලන ආණ්ඩුව බලයට ආවේ මේ දේශපාලන ප‍්‍රශ්ණ මුල්කර වසර ගණනාවක් ගෙන ගිය දේශපාලන උද්ඝෝෂණ මාලාවක් මගින් පෙල ගස්සවනු ලැබූ ජනතා බලයක් පදනම් කරගෙනය. LLRC නිර්දේශ ක‍්‍රියාවට නැගීම, නීතියේ ආධිපත්‍යය ගොඩ නැගීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, එම උද්ඝෝෂණයේ සටන්පාඨ අතර ප‍්‍රමුඛ විය. අනතුරුව මේ බලවේගය වටා එතෙන්නට පටන් ගත් තවත් උද්ඝෝෂණ ව්‍යාපාර මගින් එයට විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම, වංචා හා දූෂණ වලට දඬුුවම් දීම වැනි සටන් පාඨ ගෙන ආවේ ය. මූලික උද්ඝෝෂණයේ තේමාවන් මේ තුළ ඉහල පහල යමින් කෙසේ වෙතත් මේ සියල්ලම ඇතුලත් බලවේගයක් ලෙස ජනාධිපතිවරයෙක් ජයග‍්‍රහණය කර ගත්තේය.
දැන් සිදුවූයේ කුමක් ද? මේ උද්ඝෝෂණයේ දේශපාලන ඉලක්ක පරයා වෙනත් දේශපාලන ඉලක්කත්, සිල්ලර ඉලක්කත් ඉදිරියට ඒමයි. එය එක්තරා ප‍්‍රතිවිප්ලවයක් ලෙස සැලකිය හැක්කකි. දැන් මේ මගහැරුණු විප්ලවකාරී ඉලක්ක වෙනුවෙන් ශක්තිමත් අරගලයක් මේ රට තුළ දියත් කෙරිණි ද?
සැබැවින්ම මේ වම ගොඩ නගන්නන් තම වේදිකා ගසාගෙන එළියට ආ යුතුව තිබුනේ එදා ය. ජනපතිවරණයේ දේශපාලන පොරොන්දු ඉටු කරනු, LLRC නිර්දේශ වහා ක‍්‍රියාවට නගනු, 19 සංශෝධනය පූර්ණ ලෙස ක‍්‍රියාවට නගනු, අධිකරණ තීන්දු අනුව 19 වන සංශෝධනය පූර්ණව ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වගන්ති සඳහා ජන මත විචාරණ පවත්වනු, අතුරුදහන් වූවන් පිළිබඳ වගකියනු, දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු, යුද වැන්දඹුවන්ට වන්දි ගෙවනු, අත්පත්කරගත් උතුරේ ගොවිබිම් ඇතුලූ දේපල වහාම පවරා දෙනු, උතුරේ සිවිල් පාලනය තහවුරු කරණු, යුද අපරාධකරුවන්ට දඬුවම් පමුනුවනු, මානව අයිතිවාසිකම් පූර්ණ ලෙස ව්‍යවස්ථාවට ඇතුලත් කරනු, දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට වන්ට යුක්තිය ඉෂ්ට කරනු, යනාදී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම මත රට එක්සත් කිරීමට සටන් වැදුනේ නැත. දකුණේ ඇති වූ නිදහස් පරිසරය ගසා කා නිවී සැනැහී විශිෂ්ඨ විවේචකයන් හා උද්ඝෝෂකයන් ලෙස සතුටු වී සිටියා පමණ ය.
දැන් මේ සටන්පාඨ මත ක‍්‍රියාත්මක වෙමින් ලිබරල් ධනපති පාලකයන්ට බල කිරීමට එදා ඉදිරිපත් නොවූයේ ඇයි? ඒ පොරොන්දු ක‍්‍රියාත්මක කරවා ගැනීමට පියවර ගැනීම මගින් ලද ජයග‍්‍රහණය තහවුරු කර ජාතිවාදී මිනීමරු බලවේග වලට පහසුවෙන් යලි හිස එසවීමට ඉඩ නොදීමට වැර නොදැරුවේ ඇයි? එවැනි උද්ඝෝෂණයන් අඩුම තරමින් ජාතිවාදී මිනීමරු බලවේග දියත් කළ කුමන්ත‍්‍රණ ඇහිරීමට හෝ ඉඩ කඩ පැවැතුණි. එසේ ඉදිරිපත් වෙනවා වෙනුවට “මුන්ට වැඩක් කරන්න බෑ”, “මේක කැඳහැලි ආණ්ඩුවක්”, “කෝ හොරු ඇල්ලූවද?”, “මේකෙත් හොරු ඒකෙත් හොරු”, “මුනුත් හොරු” වැනි ආඩපාලි කීම හෙවත් විවේචකයාගේ වැඩකොටස හැර මේ උදවිය වෙන යමක් කළාද? (මහජන මුදල් අයථා පරිහරණය නොකරන හා සොරුන්ගෙන් තොර ධනවාදයක් පිළිබඳ අද්භූත සිහිනයකද මොවුන් සිටින්නේ?) ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වීදි බට ජනතාව ඉදිරියේ ලිබරල් ධනපති පංතියේ බියගුලූ බව හෙලිදරව් කරමින් එම ජනතාව ඉදිරියට ගෙන යෑමට සටන් කිරීමට මොවුන්ට නොහැකි වූයේ ඇයි? ජාතිවාදී යුදවාදීන් යලි හිස ඔසවා එනු ඇතැයි මොවුන් ලිබරල්වාදීන්ටත් වඩා බිය වැදුනා වත්ද? නැතිනම් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්පාඨ මගින් විප්ලවකාරී බලවේග අවුස්සනවා වෙනුවට තමන්ගේ වැඩක් බලාගෙන සිටිමින් කල දුටු කල වළ ඉහ ගැනීමට බලා සිටියා වත්ද? නැතිනම් මොවුන් සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රීය අරගලයට විරුද්ධද?
එහි අරුත මොවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය කිරීමේ වගකීම ලිබරල් ධනපති පංතියේ වගකීමක් ලෙස ඔවුන්ට බාරදී තමන් විවේචකයන්ගේ කොටස පමණක් බාරගෙන සිටීමට කැමැත්තෙන් සිටීම ද? එනම් හඹන් කුකුල්වාදයද? හබන් කුකුළුවාදයෙන් යැපී දැන් වමක් හදන්නේ කා සමගද? මේ පිංතූරය පෙන්වන්නේ අවස්ථාවාදය විනා වාම වාදයක් නොවේ.
පසුගිය වසර අගදී ජනාධිපතිවරයා රනිල්ව අගමැති පදවියෙන් ඉවත් කර මහින්ද පත් කිරීම කළ අවස්ථාවේ යලිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීමේ සටනේ වීරයන් ලෙස හිස ඔසවා ඉදිරියට ඒමට රනිල් ප‍්‍රමුඛ ලිබරල් ධනපතියන්ට අවස්ථාව සලසා දුන්නේ මේ අවස්ථාවාදී පිලිවෙත් මගින්ය. මේ මහා වම්මුන්ට සිදු වූයේ නීතිය, සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් එජාපය දියත් කළ සටනට ඇමිනී කැරකෙන්නටය. එම සටනේ හුදු සහායකයන්ගේ වැඩකොටසක් කර සැනසෙන්නට ය. සැබැවින්ම වම තමන්ගේ වැඩකොටස කළා නම් මේ අවස්ථාවේ දී මෙයට වඩා ජනතාව ඉදිරියේ කැපී පෙනන වැඩ කොටසක් කළ හැකිව තිබුණා පමණක් නොව මෙවැනි කුමන්ත‍්‍රණ වලට ඇති ඉඩ ඇහිරී යනු ද ඇත.
වම, ගොඩනගනවාද ? ගොඩ නැගෙනවාද?
දැන් ජනතාව ඉදිරියේ සංයුක්තව ප‍්‍රශ්නය මතු වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වමේ ප‍්‍රතිපත්තිය ගැනය. ඒ වමක් ලෙසින් එක් වී තුන්වන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ ද යන්න ගැනයි. ඒ සඳහා ඉදිරිපත් වන තර්කය සුපුරුදු පරිදි “උනුත් එකයි – මුනුත් එකයි” විය හැකි බව තුන්වන අපේක්ෂකයෙකුගේ එළැඹීම වෙනුවෙන් පෙනී සිටින අයගේ තර්කය බවට පත් වී තිබේ. මෙය අරුත් සුන් තර්කයක් පමණක්ය යන්න ගැන පැහැදිලි කිරීමට මෙහි ඉඩ කැප කිරීම ඊටත් වඩා අරුත් සුන් යයි සිතේ. මන්ද යත් මෙවන් අවස්ථාවක දී වැදගත් වන්නේ වෙනම වමක් ඉදිරිපත් කිරීම නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඉදිරියට පැමින සිටින බලවේගයන් සමග එක්ව පරාජය කරනු ලැබූ ජාතිවාදී ෆැසිස්ට් බලවේගයට යලි බලයට ඒමට ඉඩ නොදී පරාජය කිරීමය. ඒ මගින් ජයග‍්‍රාහී වන ප‍්‍රජාතන්ත්‍රීය බලවේග සමග ඉදිරියට යෑමට සූදානම් වීමය.
මෙහි දී වැදගත් වන්නේ 2015 ජනවාරි 08 ජයග‍්‍රහණයෙන් පසු ක‍්‍රියාකළ අවස්ථාවාදී ආකාරයට දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉඳීමේ නිසරු ප‍්‍රතිපත්තියෙන් බැහැර වීමට අධිෂ්ඨානයෙන් යුතුව මේ ගමන ඇරඹීමයි. එනම් පෙර සඳහන් කළ පරිදි ඉතිහාසයේ නියමිත ප‍්‍රජාතන්ත‍්‍රීය අරගලයේ සංයුක්ත දේශපාලන සටන්පාඨ මත පූර්ණ කරගත් වමේ වේදිකාවක් මගින් ෆැසිස්ට්වාදී බලවේග පරාජය කිරීමට සටන් කිරීමයි. සැබැවින්ම වමේ තීරණාත්මක අරගලය ඇරඹෙන්නේ ජනාධිපතිවරණයේ නිමාවත් සමගය. ඒ අදට නියමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ සටන්පාඨ ජයග‍්‍රහණය කරා ගෙන යමින් 2015 ජනවාරි 08 ජය ස්ථීර කර ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්ගේ ජනපතිවරණ ජය තහවුරු කර ගැනීමට පියවර ගැනීමයි. එහි දී අපට ජාතිවාදී ෆැසිස්ට්වාදීන් සමග මෙන්ම මේ අරගලය ඉදිරියේ පසුබසින ලිබරල්වාදී නායකයන් සමග ද සටන් කිරීමට සිදුවනු ඇත. ඒ අයුරින් කටයුතු කිරීමෙන් මේ රටේ තවමත් සජීවී වන ප‍්‍රජාතන්ත‍්‍රීය බලවේගයන්ගේ ආශීර්වාදය පළමුවත්, දෙවනුව ඒ ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් සටන් කරන විශ්වාසදායී, ස්ථීරසාර, නොපසුබට වීර්යයෙන් යුත් නායකයන් ලෙසත් මේ ජනතාව මැදින් ඉස්මතුවීමේ අවස්ථාව වමට සැලසෙනු ඇත.
වම ගොඩ නැගීම අකාශ්මික බලයක කාර්යභාරයක් නොවේ. ජනතාවෝ ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ කටයුතු වෙනුවෙන් සුපුරුදු පරිදි ස්වේච්ඡාවෙන්ම ඊනියා වීර වම්මුන් අභිබවමින් යලි යලිත් පෙරට පැමිණ සිටිති. ඔවුන්ට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය ආරක්ෂා කර ගනිමින්, අතපසු වූ ප‍්‍රජාතන්ත‍්‍රීය කර්තව්‍යයන් සම්පූර්ණ කරමින් ඉදිරියට යෑමටයි. මේ මොහොතේ ඔවුහු ලිබරල් ධනපති නායකයන් සමග පෙළ ගැසී සිටින බව සත්තය. වම්මුන්ගේ ක‍්‍රියාකාරිත්වය පෙර කී පරදි නම් ඔවුන්ට වෙන පියවරක් ගත හැකිව තිබේ යයි යෝජනා කළ හැක්කේ මනෝබද්ධ විඥානවාදියෙක්ට පමණි. යථාවාදී වමක් ඇත්නම් මේ තතු ප‍්‍රශ්ණයක් කර ගත යුතු නැත. වම ගොඩ නැගීම යනු ජනතාවගේ මේ අපේක්ෂාවන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඔවුන් සමග එක්ව නියමිත සටනේ පෙරමුණ ගැනීමයි.
ඒ සඳහා මළගිය ජනතාවාදයේ අඳුරු සොහොන් ගැබෙන් එලියට ඒමට හිත හදා ගැනීම තමන් වම්මුන් යයි සිතා සිටින අය තැබිය යුතු ප‍්‍රාථමික ඉදිරි පියවරයි.
රණත්
ලංකා ඊ නිව්ස් හි 2019.සැප්.24 දින පල විය
සබැදි ලිපි
2 Responses
[…] වමේ එක්සත් පෙරමුණ වටා පෙල ගැසුණු කම්කරු පංතිය ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රීය බලවේග මේ නව මහජන පෙරමුණ සමග එහි ආරම්යේ දී පෙළ ගැසුනේ යුධ විරෝධී පෙරමුණක් ලෙසිනි. උතුරෙන් හමුදා ගෞරවණීය ලෙස ආපසු කැඳවා පලාත් සභා විසඳුම වඩාත් අර්ථවත් කරන බවට මේ නව මහජන පෙරමුණ ශපත කළේය. චන්ද්‍රිකා යුද්ධය හමාර කර දේශපාලන විසඳුමක් දෙනු ඇති බවට බලාපොරොත්තු ජනතාව අතර ජනිත විය. ඒ තතු යටතේ එදා චන්ද්‍රිකාට ජනපතිවරණයේ දී අප විවේචනාත්මක සහාය දුන් අතර තරගකරුවකු ඉදිරිපත් කළේ ද නැත. […]
[…] […]