ජාතිකවාදී වම හා ගෝලීය ධනවාදය

Wijeweera Mahinda Vasu
සේයා - අන්තර්ජාලයෙක්

තමන් වාමාංශිකයයි තමා විසින්ම කියාගන්නා අය සම්බන්ධයෙන් ගත් කල සැමදා බෙදීමක් තිබුණි. ඉන් කොටසක් ජාතිකවාදී වූ අතර තවත් කොටසක් ජාත්‍යන්තරවාදී විය. ජාතිකවාදය ධනපති ක‍්‍රමයේ මුල් කාලීන ප‍්‍රගතිශීලී සමාජ – ආර්ථික – දේශපාලන අවශ්‍යතාවයන් සපුරාලනු ලැබුවකි.

ජාතික රාජ්‍යයේ සම්භවය හා ජාතික අනන්‍යතාවය ස්වාභාවිකවම ධනපති නිෂ්පාදන සබඳතා තුළින් පැන නගී. මේ මධ්‍යගත ජාතික රාජ්‍ය වැඩවසම් ක‍්‍රමයේ බිඳවැටීමේ ඵලයක් ලෙස බිහිවන ධනවාදය මගින් බලගන්වනු ලබන සාධනීය සමාජීය කොන්දේසි ඇති කරනු ලබයි. ඉන් ආගම් පදනම් කරගත්තාවූ පැරණි සමාජය විසුරුවා හැරුණු අතර පුද්ගලයාගේ චින්තන නිදහස ප‍්‍රකාශයට පත් කෙරුණි. ඒ මගින් පුද්ගලානුබද්ධ සිවිල් සමාජයක් බිහි කරන ලදී. රෝම අධිරාජ්‍යයේ සිවිල් වැසියෝ නව විෂයබද්ධ තතු යටතේ යලි අලුත් විධියකින් විකසිත විය. මේ සිවිල් සමාජය ධනවාදයේ නිර්මාණයක් වන අතර එය පොදුවේ ධනපති පංති පාලනය නියෝජනය කරයි. ඒ අතරම එය ධනපති නිෂ්පාදන සබඳතා විසින් බිහි කළ නිර්ධන පංතියටද යහපත සැලසීම වෙනුවෙන් පෙනී සිටී. මක්නිසාදයත් මේ සිවිල් සමාජය රාජ්‍යයට හෝ, ධනපති පංතියට හෝ ගැති වූ, ඒවයේ  ඕනෑ එපාකම් අනුවම පාලනය කළ නොහැක්කක් වීම නිසායි. මේ පදනමින් වටිනාකම නිශ්චය වන ජාතිකවාදය ප‍්‍රගතිශීලී වෙයි. මන්දයත් ඒවා ජනතාවගේ ජීවන මට්ටම් – පුද්ගල නිදහස වර්ධනය කරන හෙයිනි. සිවිල් සමාජයට වෙනස් ලෙස මේ හේතුවෙන් ජාතිකවාදී වම ඒ වෙත ආකර්ශණය වී එහි අනන්‍ය වූ කොටසක් ලෙස ක‍්‍රියා කරයි. බල්ලාගෙන් තොරව මැක්කාට පැවැත්මක් නැතිවා සේ ජාතිකවාදී වමට මේ ධනේශ්වර ජාතිකවාදයෙන් තොරව පැවැත්මක් නැත්තේ ය.

ඒ එසේ මුත් මේ ජාතිකවාදී පදනමට පරස්පර විරෝධී ලෙස නිර්ධන පංතිය ජාත්‍යන්තරවාදී බලයක් ලෙස විකසිත වෙයි. මන්දයත් ඉතිහාසය විසින් කම්කරු පංතියේ මූලික ස්වාභාවය ජාතියක, ජාතික වෙළඳපලක, ජාතික රාජ්‍යයක සීමාවක් තුළ රැදෙන්නක් නොවන නිසාය. එය ජාතිය දේශය ඉක්මවා, පංති සමාජය අහෝසි කරන විශ්වීය මිනිස් ජාතියක් බිහිකිරීමේ සංකල්පයන්ගෙන් සමන්විත වෙයි. ඒ අනුව ගත් කල, වැඩ කරන ජනතාවට රටක් නැත. එය විශ්ව සමාජ පංතියක් වෙයි. ජාත්‍යන්තර කම්කරු පංතියේ ඇති වන මේ වෘද්ධිය, ලෝක පරිමාණව සිවිල් සමාජයේ තත්ත්වය ඉහළ නංවයි. ඔවුන් ඉන් පිටුබලය ලැබ මනුෂ්‍යත්වගේ අයිතීන් පිළිබඳව නව ලිබරල් සංකල්ප නිර්මාණය කරයි.

මේ ජාත්‍යන්තරීය වූ පංතිය සමඟ ගනුදෙනු කිරීමේ අවශ්‍යතා නිසා මෙන්ම ධනපති ක‍්‍රමයේ නිෂ්පාදනය – බෙදාහැරීම මෙහෙයවනු ලබන ප‍්‍රාග්ධනයේ වර්ධනය හා සංකේන්ද්‍රණය විසින් 1890 ගණන් වනවිට මූල්‍ය ප‍්‍රාග්ධනය කාර්මික ප‍්‍රාග්ධනය ඉක්වමා ධනපති ක‍්‍රමයේ මෙහෙයුම්කරුවා බවට පත්වීය. දෙවන ලෝක යුද්ධය මේ තත්ත්වය සම්පූර්ණ කළේය. ඒ අනුව අද වන විට ධනපති ක‍්‍රමය ගෝලීය ධනවාදයක් ලෙස ජාත්‍යන්තරවාදී පදනමකින් තමන්ට බොහෝ කලකට පෙර ජාත්‍යන්තරවාදී බලයක් වූ කම්කරු පංතිය හසුරුවා ගැනීමේ මතවාදී හා මර්ධනීය අවියක් ලෙස විකසනය වී තිබේ. ඒ අනුව අද ධනපති ක‍්‍රමයේ මූලික සැලසුම් සැකසෙන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් කම්කරු පංතිය සමඟ ගනුදෙනුව ගෙන යෑමේ සමාජ ආර්ථික විධික‍්‍රමයන් සම්බන්ධව ය.

අවාසනාව වන්නේ ධනපති ක‍්‍රමය ආර්ථික වශයෙන් කොයි තරම් ජාත්‍යන්තරකරණය වූවත්, ජාතික රාජ්‍යයන්ගේ පැවැත්ම නිසා මතුවන දැවැන්ත ප‍්‍රතිවිරෝධයන් ධරණීය ලෙස සමහන් කර ගැනීමකට අසමත් වීමයි. ප‍්‍රාග්ධනය කොයිතරම් ජාත්‍යන්තරකරණය වූවත් ඒ මූලික ක‍්‍රියාකාරීත්වය එසේ තිබියදී ම අතරතුර ලෙස පවතින ජාතික ප‍්‍රාග්ධන අවශ්‍යතා සැපිරීමේ ප‍්‍රශ්ණයට මුහුණ දෙයි. ඒ ජාත්‍යන්තරකණන වූ ප‍්‍රග්ධනය හා ඒ සමඟ ගැලපීමට නොහැකි ජාතික ප‍්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතා වලට මුහුණ දීමට බැරි වීමයි.

එමෙන්ම මෙහි දී මතුවන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ජාතික රාජ්‍ය පවතිනතාක් කල් ශ‍්‍රමය ජාත්‍යන්තරකරණය කිරීමට ධනපති ක‍්‍රමයට මාවතක් නොතිබීමයි. ප‍්‍රාග්ධනයට නිදහසේ ලොව පුරා ගමන් කිරීමට ධනපති ක‍්‍රමය වඩ වඩාත් ඉඩ විවර කළහ. ඒ සඳහා තොරතුරු තාක්ෂණයේ විප්ලවකාරී වෙනස්කම් බිහි කළහ.  ඕනෑම බහුජාතික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට එහි රැස්වීම් තැබීමට එක් තැනකට රොක්වීම අද අත්‍යවශ්‍ය නොවේ. ඒ සඳහා අධ්‍යක්ෂවරුන්ට ලොව හරහා ගමන් කිරීම අනවශ්‍යය. නියම කරගන්නා අධ්‍යක්වරයකුගේ නිවසේ දී පරිගණක මගින් එම සාකච්ඡාවන් ගෙන යෑමට අද හැකිය.

නමුත් ප‍්‍රශ්නය වන්නේ ශ‍්‍රමයට එසේ ලොව පුරා නිදහසේ ගමන් කරමින් ලෝක පරිමානව ඉල්ලුම සැපයුම අනුව තම ශ‍්‍රමය විකිණීමට නොහැකි වීමයි. සාකච්ඡාව හා මුදල් ගනුදෙනු පරිගණක මගින් කළ හැකි වුවද ශ‍්‍රම සැපයුම සඳහා ශ‍්‍රමය ඇති පුද්ගලයා පුද්ගලයෙකු ලෙස දේශ දේශාන්තර හරහා ගමන් කළ යුතුය. ආගමන විගමන නීති ඔවුන්ව වරායේ දී නවතාලනු ලබයි.

එහි දී ඇති අහේනිය වන්නේ ජාත්‍යන්තර නිදහස් ශ‍්‍රම චලනයකට ඉඩ දිය හැකි මට්ටමට ශ‍්‍රමය පිළිබඳ ඉල්ලූම සරිලන්නේ නැති කමයි. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමේ ශ‍්‍රම අතිරික්තය නිසා ජාතික රාජ්‍යයන්ගේ ආගමන විගමන නීති අහෝසි කරමින් ජාත්‍යන්තර මිනිස් සමාජයක් බිහි කිරීමට හැකියාවක් නැත. එම හැකියාව ලැබෙන්නේ පවතින තාක්ෂණික වෘද්ධියේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ශ‍්‍රම කාලය අඩු කිරීමට ධනපති ක‍්‍රමයට හැකි නම් පමණි. ශ‍්‍රමිකයකුගේ සේවා කාලය පැය 08 සිට පැය 4 ක්, සමහර විට එයටත් අඩුවෙන් නියම කිරීමෙන් මේ අවාසනාවට මුහුණ දිය හැකි මුත් ඒ මගින් ධනපතියාගේ ලාභ ලැබීමේ හැකියාව බිංදුවට වැටෙයි. මන්ද යත් එවන් ප‍්‍රතිපත්තියක් මගින් ශ‍්‍රම සුරාකෑම අහෝසි වන හෙයිනි. එවිට ධනපති ක‍්‍රමයක් පවත්වන්නේ කෙසේ ද?

මේ තතු අනුව පෙනෙන්නේ ප‍්‍රාග්ධනය ජාත්‍යන්තරකරණය වීම නිදහස්ව ස්වාභාවිකවම සිදු වුවද, ශ‍්‍රමය ජාත්‍යන්තරකරණය වීම ධනපති සමාජයේ පරස්පර විරෝධීතාවයන් නිසා හා මතුවන දේශපාලන ප‍්‍රතිවිරෝධතාවයන් තුළ ඇනහිට ඇති බවයි.

එසේ හෙයින් මේ පරස්පරය විසඳාලීම සඳහා ධනපති පාලකයන් විසින් විශ්වීය සමාජයක් ඉල්ලා සිටින ප‍්‍රාග්ධනයේ ස්වාභාවික චලනයට එරෙහි ප‍්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටී. අපි දනිමු ප‍්‍රාග්ධනය යනු වියුක්ත ශ‍්‍රමයයි. සංයුක්ත ශ‍්‍රමයේ (කම්කරුවා නිෂ්පාදනයේ දී එකතු කරන) පූර්ණ වටිනාකම නොගෙවා ඒකාරාශී කරන්නාවූ සමාජ ශ‍්‍රම වටිනාකම් වල සමස්ථයයි. ධනපති රාජ්‍යයන් මේ වියුක්ත ශ‍්‍රමය සංයුක්ත ශ‍්‍රමයේ අවශ්‍යතාවයන්ට විරුද්ධව යොදා ගන්නේ කව්රුන්ගේ උවමනාව නිසාද? එය මානව වර්ගයාගේ ඓතිහාසික උවමනාව නොවේ. විශ්ව ව්‍යාප්ත ප‍්‍රාග්ධනය වැඩෙමින්, සංකේන්ද්‍රණය වෙමින් මෙන්ම බිඳ වැටෙමින් පෙන්වන්නේ තමන්ට සංයුක්ත ශ‍්‍රමය හා බද්ධ වීමේ උවමනාවයි. එය කෘතීම ලෙස මැඩ පවත්වන්නේ සීමිත පිරිසකගේ පුද්ගල වියරුව සඳහා ය. මන්දයත් අද වන විට බහුජාතික සමාගම් තන්ත‍්‍රයන් අයිතිය ලෙසත් ක‍්‍රමිකව සමාජකරණය වෙමින් තිබේ. ඒවායේ ආයෝජකයෝ ධනවතුන්ගේ සිට මධ්‍යම පංතිකයන්, කම්කරුවන් දක්වා ව්‍යාප්තව තිබේ. කරදරය වන්නේ ඒවා මෙහෙයවන අධ්‍යක්ෂ මණ්ඩල තවමත් ඒ හෝ මේ ජාතික රාජ්‍ය බලයන්ගේ උපකරණ වී තිබීමය.

හොදයි අපි නැවත අපේ සාකච්ඡාවට එමු. ප‍්‍රාග්ධනයේ ස්වාභාවික වෛශයික චලනය වලක්වාලමින් ධනය හා ප‍්‍රභූත්වය හිමි සීමිත පිරිසකගේ වරප‍්‍රසාද රැක ගැනෙන්නේ හා පවත්වා ගැනෙන්නේ සංකල්ප තලයේ දේශ ප්‍රේමය, ජාතික අනන්‍යතාවය යනා දී වූ ජාතික රාජ්‍ය පිළිබඳ සංකල්ප නැවත නැවතත් ගොඩ නැගීමෙනි. මේ සංකල්පයන් විටෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස දිස් වුවත් අන්තිම වශයෙන් ගත් කල මර්ධනීය අවියක් ලෙස ජාතිවාදී වියරු කල්ලිවල සන්නද්ධ බලය යොදා ගන්නා ෆැසිස්ට්වාදී ක‍්‍රියාමාර්ග දක්වා ගමන් කරයි. ජාතිකවාදීන්ගේත් ෆැසිස්ට්වාදීන්ගේත් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිවල පවත්නා අන්තර්ගතයේ සමානකම මේ බව මොනවට පැහැදිලි කරයි. මොවුන් අතර පවත්නා දේශපාලන වෙනස්කම් තීරණාත්මක මොහොතකදී ප‍්‍රායෝගිකවම ඉස්මතු වන තෙක් වෙනස හඳුනා ගැනීමට ද බැරි තරම් ය. ජාතිකවාදය හා ෆැසිස්ට්වාදය අතර වෙනස තීරණය වන්නේ දෙන ලද මොහොතේ ජාත්‍යන්තර ධනපති ක‍්‍රමයේ තත්ත්වයට අනුවය. උත්පාතයේ දී ජාතිකවාදය අවපාතයේ දී ෆැසිස්ට්වාදය ලෙස පරිනතවීම ඉතිහාසයේ අත්දැකීමයි.

ඒ අනුව ජාතිකවාදී වම  ඕනෑම මොහොතක ෆැසිස්ට්වාදයේ අතකොලුවක් බවට පිරිහීමේ විභවය පවතී. ජාත්‍යන්තරවාදී වම්මුන්ගේ ඉලක්කයන් මොවුන්ට වෙනස් ය. ජාතිකවාදී ධනපති පාලකයන් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට මුහුණ දී ඒ සමඟ සටන් කර දේශීය වශයෙන් වෙළඳපල ඒකාරාශී කර, ආරක්ෂා කර දේශීය නිෂ්පාදන දියුණු කර ගැනීමට සටන් කරන කල්හි හා පෞද්ගලික ප‍්‍රාග්ධන දුබලතාවයන්ට පිළිතුරු ලෙස රාජ්‍ය ව්‍යවසායයන් ගොඩ නඟන කල්හි එම වැඩපිළිවෙලවල් වලට ජාත්‍යන්තරවාදී වම්මු ද සහාය දෙයි. මන්ද ඒ මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම ආරක්ෂා වී ජීවන මට්ටම් වැඩි දියුණු වී කම්කරු පංතිය හා ජනතාව බලවත් වන නිසාය. පිටස්තරවී සිටින ගැමි ගොවි ජනතාවට මේ නවීන සමාජයට  ඇතුල් වීමට ඉන් අවස්ථාව පෑදෙන නිසාය. නමුත් ධනපති ක‍්‍රමය එක් රටක් තුළ වර්ධනය විය හැක්කේ ඉතා සීමා සහිත දුරකට පමණි. එම සීමාවට පැමිණි කල, එක තැන පල්වන ආර්ථිකය තුළ නිෂ්පාදනයේ යෙදී ලබන ලාභයට වඩා වංචාව – දූෂණය – හොරකම වඩා වාසිදායක ඉක්මන් ප‍්‍රතිලාභ ලබන ක‍්‍රමයක් බවට පත් වෙයි. රාජ්‍ය ව්‍යවසාය එහි පාලක නිලධාරීන්ගේ – ඔවුන් බොහෝ විට දේශපාලකයන්ගේ ඥාතීන් හා හෙංචයියන් ය – ගොදුරු බිම් බවට පත් ව පාඩු ලබන ජනතාවගේ බදු මුදලින් යැපෙන ආයතන බවට පත් වෙයි. මේ දූෂිත සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරයි. රට ජාතිය ගැන වැදි බණ දෙසන පාලකයෝ මෙතැන දී පෙරමුණ ගනී. එවිට ජනතාව එම සීමා ඉක්මවා යෑම සඳහා විප්ලවකාරී මාවත් සොයන්නට පටන් ගනී. ඒ අනුව ජාත්‍යන්තරවාදී වම බලවත්ව එම බලවේග ඉදිරියට ගෙන යමින් විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට කටයුතු කරයි. එයට එරෙහිව ජාතිකවාදීන් ෆැසිස්ට්වාදයේ අවි දරා නැගී සිටී. අනෙක් පසින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සමඟ එක්ව යන නව සංවර්ධන මාවතක් ධනපති පංතිය යෝජනා කරයි. ඊනියා දූෂිත ජාතිකවාදයෙන් හෙම්බත්වී සිටින

ජනතාව විප්ලවකාරී ගමනක් පිළිබඳ බලාපොරොත්තු ලොකුවට නොතිබුණත් එසේ ලොවට විවෘත වීමේ මගට ඇතුල් වීමට එකඟ වෙයි.

ජනතාවගේ විප්ලවකාරී ගමන මැඩ පැවැත්වීම සඳහා ජාතිකවාදී වම ඉදිරිපත් වෙයි. මන්ද ඔවුන් සිතා සිටින්නේ ධනපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් ‘‘සමාජවාදය’’ ගොඩ නැගෙනවා කියා ය. මේ අවිද්‍යාත්මක චින්තනය විප්ලවකාරී ජනතා ප‍්‍රවාහය දේශපාලන වශයෙන් නිරායුධ කර දමන්නටත්, ෆැසිස්ට් වාදීන්ට අවස්ථාව සැලසීමටත් මහත් වැඩ කොටසක් ඉටු කරයි.

මේ තතු දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා බිහිවූ යටත් විජිත ජාතික රාජ්‍යන්ගේ නූතන ඉතිහාසය තුළ දැකිය හැකිය.

රණත්

“හරය” 2017 සැප්තැම්බර් – ඔක්තොම්බර්

සබැදි ලිපි

You may also like...

2 Responses

  1. 2020-04-18

    […] වැඩපළේ සූරාකෑමේ ප්‍රශ්නය තුළ අවදිවන නිර්ධනීන්, විවිධ සුභසාධන වාදයන්ට යට කිරීම දැන් පවතින අනතුරක්. ඒ වෙනුවෙන් කම්කරුවන්ගේ නායකයන් යොමුවීම තුළින් දිළිදුකම සීමා කිරීමේ වැඩපිළිවෙල වලට අනුගත වීමේ ප්‍රවණතාවයන් මෑතකදී මතුවී තිබේ. මේ සුභ සාධන පිලිවෙත් මගින්  මුදල් ලැබීමේ මාර්ගද සැලසේ. මෙය උඩ තම පැවැත්ම සකසා ගන්නා වූ අය දේශපාලනය සහ විප්ලවකාරී සමසමාජ මතය දෙසට ගමන් කිරීමෙන් ඉවතට ගමන් ගනී. ලීනස් එවන් නායකයන් අතරට ගොස් ඇත. පසුගිය දශකයක හමාරක සිට දේශපාලන වශයෙන් ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී සටන් මතුවූ විට ලීනස් කළේ පෝස්ටර් කිහිපයක් වටරවුමක ඔසවා සිටීම පමණි. මෙය අමු අමුවේ පංති සටනින් ඉවත් වීමකි. ෆැසිස්ට්වාදී බලවේග ගොඩනැගෙන අවදියකදී එයට විරුද්ධ දේශපාලන සටන නොකර ගෙන යන්නා වූ සම සමාජ දේශපාලනයක් නොමැත. […]

  2. 2020-04-18

    […] සමාජවාදය තුළ ඉහත කී පුද්ගල නිදහස නැත්ද? රාජ්‍යයේ තීරණ ගැනීම සිඳුවන්නේ පහළ සිට ඉහලට නොවේද? සමාජවාදය යනු පාලක ජුන්ටාවක් විසින් අණ කරන ආකාරයට පුද්ගලයින් ක‍්‍රියා කළ යුතු, සිතීමේ නිදහසවත් නැති ඒකාධිපතිවාදයක්ද? සමාජවාදය කියන්නේ මෙතෙක් දිනා ගත් අයිතීන් අතැර දමා ඉතිහාසයේ ආපස්සට යාමක්ද? […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.