ජන බලයෙන් ප්රජාතන්ත්රීය විප්ලවය ඉදිරියට ගෙන යන්න ආරාධනා කරමින් නසසප 2024 ජනාධිපතිවරණය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
2024 ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයා ලෙස පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති නව සම සමාජ පක්ෂය, සිය ප්‍රතිපත්ති ප්රකාශනය, අද (30) උදෑසන කොම්පඤ්ඤවීදියේ, බැරැක්ක පටුමග පක්ෂ කාර්යාලයේ දී එළිදක්වන ලදී.
ආණ්ඩු කරණයේ හා කළමනාකරණයේ අසමත්භාවය මත මතුවූ ආර්ථික වියවුල සම්බන්ධයෙන් පිලිතුරු සැපයීමට ධනේශ්වර පාලක පැලැන්තීන් පෙන්නුම් කරමින් සිටින අසමත්භාවය ඔවුන්ගේ මැතිවරණ වේදිකා මගින් ප්රකාශනය වෙමින් තිබෙන බව පෙන්වා දෙන නව සම සමාජ පක්ෂය, මේ ගැඹුරු ආණ්ඩුකරණ හා පරිපාලන වියවුල් තත්ත්වයන් පිළිබඳ කිසිම යථාවාදී විමසුමකින් තොරවූ අර්ථ විරහිත ඝෝෂාවන්ගෙන්, ආඩපාලි කීම් වලින් හා වහසිබස් වලින් පිරුණ; මිත්‍යා පොරොන්දුදීම් වලින් සරසාගත් ගතානුගතික මැතිවරණ වේදිකා පවත්වා ගෙන යෑම අරඹා සෑහෙන කලක් වන බව ද පෙන්වා දෙයි.
මේ තත්වය යටතේ නසසප ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ආණ්ඩුකරණයේ හා කළමනාකරණයේ පවතින දූෂිත බංකොලොත්භාවය පසුබස්සවමින් රටේ ආර්ථික වෘධිය කරා ඇති, ස්වපාලනය මත පදනම්වන සැබෑ ප්රජාතන්ත්රීය මාවත ජනතාව ඉදිරීයේ හෙලිපෙහෙලි කර දීමට බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව මුහුන දී ඇති “දැවැන්ත සමාජ-දේශපාලන-ආර්ථික කම්පනයක්, හා සමාජ සාරධර්ම (values) විනාශයක් සමාජයේ ජනිත කළ මූලික සාධකය වෙන කිසිවකට වඩා දෙමළ ජනතාවගේ නිදහසේ අරගලය තලා දැමීමට දියත් කළ ජන ඝාතක සිවිල් යුද්ධයයි.”
වැඩවසම්වාදී පරම ආඥාදායකත්වයන් විනාශ කළ ධනපති සමාජය යුක්තිය සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිබඳ වටිනා සාරධර්ම රාශියක් මිනිස් සමාජය වෙත ගෙන ආ නමුත්, ඒ දියුණු ප්රජාතන්ත්රීය සංකල්පයන්ට පැලපදියම් වීමට අවශ්‍ය දියුණු සමාජ ආර්ථික පදනමක් මේ රටවල් වල ඇති කිරීමට ඒවායේ ධනපති නායකයන් සමත් නොවූ බව නසසප සිය ප්‍රතිපත්ති ප්රකාශනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
“එබැවින් ජාතිවාදී මෙන්ම වර්ගවාදී සිවිල් යුද්ධ මේ බොහෝ රටවල සිදුවිය. සිදුවෙයි. එම සිවිල් යුද්ධ වල ප්‍රතිඵලය වූයේ අමානුෂික ආඥාදායකයන් පහළ වීම වන අතර; වංචා-දූෂණ-සොරකම් ඉහවහා යෑමට සුදුසු ජේත්තුකාර සංවර්ධන කටයුතු බලහත්කාරයෙන් පටවන ලදී.”
නව සම සමාජ පක්ෂය පෙන්වා දෙන්නේ මේ තිරශ්චීන පරිසරය වෙනස් කළ හැක්කේ සමාජය හා ආර්ථිකය විප්ලවකාරී ලෙස ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කිරීමෙන් බවයි.
“මේ සමාජ-ආර්ථික කම්පනය හා සාරධර්ම විනාශය සමනය කිරීමේ දී මූලික වන්නේ මේ දිවයින තම වාසභූමිය කොටගෙන පාරම්පරිකව ජීවත්වන සියලු ජාතීන්ට හා ස්වදේශිකයින්ට (Indigenes People) තමන් ජීවත් වන ප්‍රදේශයන් හි ඉඩකඩම් හා වාරිමාර්ග පරිපාලනය, පොලිස් කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම සමාජ – ආර්ථික ක්රියාකාරීත්වයන් ම සම්බන්ධයෙන් තීන්දු ගැනීමට ඇති ප්රජාතන්ත්රීය අයිතීන් පිළිගැනීමයි. ඒ අයිතීන් නාමිකව පිළිගැනීම පමණක් නොසෑහේ. ඒ තීන්දු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ස්වපාලනය හා බැඳුණු නෛතික තත්ත්වයන් සලසා දීම මේ අර්බූදයට පිළිතුරු සෙවීමේ දී ප්‍රාථමික අවශ්‍යතාවක් බව අපි කියමු.”
“මෙහි දී දෙමළ ජනතාවට ප්රජාතන්ත්රීය විසඳුම් නොදී; යුධවාදයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා තවමත් ඔවුන් මුහුණ දෙන සමාජීය ප්‍රශ්න එනම්; අතුරුදහන් වූ සිය දූ දරුවන්ට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, ජන ජීවිතයට අදාල සිවිල් පරිපාලනයෙන් සන්නද්ධ හමුදා ඉවත් කර ඔවුන්ව සම්ප්‍රදායික බැරැක්ක වලට සීමා කිරීම හා යුධ කඳවුරු කරගත් සියලුම ඉඩකඩම් ආපසු ඒවායේ හිමිකරුවන්ට පැවරීම, ආදී ප්රජාතතන්ත්රීය ප්‍රශ්න වලට ස්වයංතීරණ අයිති මත පදනම්ව විසඳුම් දීම මඟින් සියලු ජන කොටස්වල විශ්වාසය දිනා ගැනීම යන කාරණා ඉටු නොකර, ඒවාට උඩින් පැන යෑමෙන් මේ සමාජ-ආර්ථික අර්බූදයට පිළිතුරු සොයාගත නොහැකි” බව නසසප සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කරයි.
එසේම විශේෂයෙන් කඳුරට (මළයහ) දෙමළ ජනතාව වෙත අවධාරණය යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, අදාල යටිතල පහසුකම් සපයා දී අතරමැදි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ඉඩ නොතබා නිෂ්පාදන පරිපාලනය ගොවියන් ඇතුලු නිෂ්පාදකයන්ගේ ප්රජාතන්ත්රීය සභාවන්ට පවරා දීම හරහා මෙරට කෘෂිකර්මාන්තය විප්ලවීය ලෙස ප්රජාතන්ත්රීයකරණය කළ යුතු බවයි.
ගතානුගතික බැමි වලින් කාන්තාව නිදහස් කිරීම මඟින් කළමනාකාරිත්වය පිළිබඳ කාන්තාවන්ගේ සුවිශේෂ හැකියාවන් මේ විප්ලවකාරී ප්රජාතන්ත්රීය කර්තව්‍යයන් සඳහා ඇතුළත් කර ගැනීමට ඉඩකඩ විවර කර ගත යුතු යැයි නසසප අවධාරණය කරයි.
“ජාතික සම්පත්” යැයි හඳුන්වනු ලබන ආයතන ප්‍රතිසංස්කරණය කර ලාභදායී කිරීම සැලසුම් කිරීම පවතින ගජමිතුරු ධනවාදයට කිසි කළෙකත් නොහැකි බව පෙන්වා දෙන නසසප ප්‍රතිපත්ති ප්‍රකාශය, කළ යුත්තේ මේ ආයතන කම්කරු පාලනයට නතු කිරීම බව ප්‍රකාශ කරයි.
“කළ යුත්තේ කම්කරු පාලනයේ පදනම මත මේ රාජ්‍ය දේපළ වල කළමනාකරණය ප්‍රතිව්‍යූහගත කර; ඒවායේ අනාගත ඉරණම පිළිබඳ තීන්දු ගැනීමේ සියලු බලය එකී කම්කරු කළමනාකරණ කමිටු වලට පැවරීමය.”
ප්රජාතන්ත්රවාදය, නිදහස හා බලය බෙදාහැරීම පදනම් කරගත් එක්සත් දේශයක් ඔස්සේ, මනුෂ්‍යත්වය රජයන නිදහස්, නිවහල් සමාජයක් නිමැවුමට ජනතාවට අවස්ථාව සැලසෙන බව පෙන්වාදෙන නසසප, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින්, ඒ වෙනුවෙන් ඉදිරියට එන ලෙස සියලු පුරවැසියන්ට ආරාධනා කරයි.
නසසප ප්‍රතිපත්ති ප්‍රකාශය පහළින්,
NSSP-Election-Manifesto