මලෙෙයහ දෙමළ ජනතාවගේ ඉඩම් උරුමය
ශ්‍රී ලංකාවේ කඳුකර මලෛයහ දෙමළ ජනතාව දැනටමත් මුහුණ දෙමින් සිටින දහසක් ජීවන ගැටලු වලට අලුතින් එකතු වී ඇති ජාතිවාදී ක‍්‍රියාදාමයත්, ඒ හරහා වෙනස් කොට සැලකීම, ප‍්‍රහාර එල්ල කිරීම සහ දේපල හානි කිරීම වැනි මෑත කාලීනව උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (27) දින කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන් සහ ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සත්‍යවේල් පියතුමා අප වෙත සිය අදහස් දක්වා සිටියා.
තමන්ට මුහුන දීමට සිදුව ඇති අනේකවිද කරදර හිරිහැර හේතුවෙන් කඳුකර දෙමළ වතු කම්කරුවන්ගේ ජීවිතය සැකයෙන් සහ බියෙන් වෙළී පවතින තත්වයක් අද උද්ගතව තිබේ. බ්‍රිතාන්‍ය සමයේ ඉන්දියානු පුරවැසියන් ලංකාවට ගෙනවිත් කෝපි, තේ, රබර් වැනි බෝග වගා කිරීමට යොදාගනිද්දී, මේ අයට ලයිම් කාමර ලබා දීල ඔවුන්ට ජීවත්වීමට ඉඩ සලස්වා දුන් නමුත් අදට අවුරුදු 200ක් ඉක්මවුවද ඔවුන්ට තවමත් මේ ලයිම් කාමර වලම ජීවත් වීමට සිදුව තිබේ. කෙසේ වෙතත් ඒ එසේ තිබියදීත් කඳුකර කම්කරු ජනතාවට අඩුම තරමට එදිනෙදා ජීවිතයේදී වත් ජාතිවාදී ප‍්‍රහාරයක් හෝ ඔවුන්ගේ දේපල හානි කිරීමක් නොමැතිව ජීවත්වීමේ පරිසරයක් තිබුණි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය අවසන් වද්දී කඳුකරයේ වතුයායේ පරිපාලනය ඔවුන්ගෙන් වහාම ගිලිහුනේ නැති අතර, පසුකාලීනව වතුයායේ පාලනය ලංකා ආණ්ඩුව භාර අරගෙන රජයේ වතුයායක් ලෙස පරිපාලනය ඉදිරියට ගෙන යන ලදී. වතුයායේ කළමනාකාරිත්වය සිංහල අධිකාරිය අතට පත්වූයේ එම වකවානුවේදී වන අතර, ඉන්පසු කඳුකර දෙමල කම්කරුවන්ට විවිධ ගැටලු ඇතිවීම ආරම්භ වන ලදී. මෙම සිංහල වතු පාලකයන් විසින් ඔවුන්ව යටත් කිරීමට, පහත් කොට සැළකීමට, මෙන්ම තමන්ගේ අවශ්‍යතාවයන් ඔවුන් ලවා ඉටුකර ගැනීමට යොමු වීමත් සමඟම වතු අධිකාරිය සහ කම්කරුවන් අතර තිබූ අන්‍යෝන්‍ය අවබෝධය නැති වී ප‍්‍රශ්නය දුරදිග යාමට පටන් ගැනීම ආරම්භව තිබුණි.
බ්‍රිතාන්‍ය කාලපරිච්ජේදය තුල හා රජය වතුයායේ පාලනය අතට ගැනීම දක්වාම පරිපාලනයේ කොටසක් වතු කම්කරුවන් සතුව තිබුණු අතර, තේ දලූ නෙලීමට අමතරව, කන්කානම්, සුපවයිසර්, මුරකරු හා රියදුරු ආදිය ඔවුන්ගේ රාජකාරි වලට අයත් විය.
තේ කම්හල තුලත්, තේ ඇඹරීමේ සිට ඇසුරුම් කිරීම සහ පිටතට ගෙනයාම දක්වාම වතු කම්කරුවන් විසින්ම සිදු කළ අතර, ඒ තුලින් හොරකම, වංචාව, නාස්තිය හා දූෂණය සිදු නොවීමට ඔවුන් විසින්ම වගබලා ගනු ලැබුවා.
නමුත් මෑත කාලීනව වතු පරිපාලනය බද්දට දීමෙන් පසු, එක් එක් ආයතන තමන්ගේ වතු පරිපාලනයට වතු අධිකාරීන්, සහකාර වතු අධිකාරීන්, සුපවයිසර්, මුරකරුවන් සිට රියදුරන් දක්වාම සිංහල ජාතිවාදි පදනමක සිට පිරිස් බඳවා ගැනීම ආරම්භ විය. මෙම නිසා සාම්ප්‍රදායික දෙමළ කඳුකර කම්කරුවන් යටපත් කිරීම්, බියවැද්දිම් සහ ප‍්‍රහාරයන්ට ලක් වීම් ක‍්‍රමක‍්‍රමයෙන් ඉහලට එන්න පටන් ගත් අතර, මෙම තත්වය පහුගිය මාසය තුල දේපල හානි කිරීම සහ ප‍්‍රහාර එල්ල කිරීම දක්වාම වර්ධනය වී තිබේ.
කඳුකර දෙමල ජනතාව පවතින ආණ්ඩුවේ පොරොන්දු විශ්වාස කරමින් පසුගිය මැතිවරණයේ විශාල මන්ත්‍රීවරුන්/වරියන් පිරිසක් පාර්ලිමේන්තු යැවීමට මුල් වුනත්, මේ සම්බන්ධව නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති තත්වයක් පවතී.
මලයහ දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය, ජීවත්වීමේ අයිතිය සහ ඔවුන්ගේ දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් හුවමාරු කරගන්නා ලද අදහස් අතර මලෛයහ දෙමළ ජනතාවගේ ඉඩම් උරුමය ආරක්ෂා කිරීම මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඒ අනුව ඉදිරියේදී තවදුරටත් මෙම සාකච්ඡාව ව්‍යාප්ත කරමින් ඉදිරි ක්‍රියාමාර්ග වලට තමන් යොමු වන බව නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන් සහ ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සත්‍යවේල් පියතුමා අවධාරණය කරන ලදී.

