ජාතිවාදය අවුස්සමින් චීනට රට පාවා දෙන්න ගිහිං, ඇදි වතත් නැති වෙන ලකුණු

People Multiracial Diverse Hands  - Leejoann / Pixabay
Leejoann / Pixabay

මේ දිනවල රජය බලාපොරොත්තු වෙනවා විශාල පහසු ණයක් ලබා ගන්න ලෝක බලවතුන්ගෙන්.

ඇත්තටම ලොකු මුදල් ගනුදෙනු සිදුවන්නේ ඇමරිකාව සහ ගෝලීය ධනවාදයට උවමනා ලෙසටයි. එය ඇමරිකන් වෙනස උඩ ප්‍රජාතන්ත්‍රවාදයට මාරු වෙලයි සැලසුම් හැදෙන්නේ.

ලෝකය දෙස බලන ඇස, ජෝ බයිඩන් අලුත් ඇමරිකන් ජනාධිපතිගේ අදහස් අනුව හොඳ පැත්තකට කර කැවිලා කියල කියන්න පුළුවන් කිව්වත්, ඇමරිකන් රටේ ජෝ ට විරුද්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනගිය සටන තවම ඉවර නෑ.

ප්‍රතිගාමී බලවේග වලට විරුද්ධව සල්ලිකාර පැලැන්තිය ලොකු රහස් වැඩ ගෙනියන බව පෙනෙනවා. එයට ලොකු බලවත් සල්ලිකාරයො සල්ලි විසිකරනවා. ආයුධ බලය රහසේ රැකගන්න හදනවා.

එක්වුන ඇමරිකන් කම්කරු පංතිය ඇස් අරල බලා සටනට ඉදිරිපත් වුන නිසා ට්‍රම්ප්ට ගෙදර යන්න සිදුවුනා.

මෙහිදී කාන්තාවන් ගෙන ගිය සටන වැදගත්. කළු මිනිසා පමණක් නොවෙයි, සුදු ගෑනු උදවිය විශාල සටනකට ඉදිරිපත් වෙලා බලවත් තැන් වලට පවා සටන ගෙන ගිහින්.

මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු ඉඩක් ලැබිල කියල කියන්න පුළුවන්.

මාර්කට් වල විතරක් නොවෙයි, රජයේ පාලන ස්ථාන වල, උසාවි වල, පොලීසි වල මේ ආදී හැමතැනම ප්‍රජාතන්ත්‍රවාදී සටන විශාල වශයෙන් පැතිරිලා ගමන් කරන බව පෙනෙනවා. ඇමරිකාවේ මේ වෙනස නිසා ධනපති ලෝකය තුළට මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන ගලාගෙන යනවා.

ඒ නිසා අද අපගේ ගෝඨා ජනපතිටත් මේ වෙනසට මුහුන දෙන්න සිදුවෙලා. එයා සල්ලි ඉල්ලනව නම් එයාලට හුදු ධනපති නියෝජන බලය උඩම කරන්න බැරි බව පෙනෙනවා.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුළ දෙමළ ජනතාවගේ සටනත් බලවත් වෙලා!

අද ගෝලීය ධනවාදය තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුලින් ජෝ බයිඩන් ලා බලවත් වෙලා. ඔක්කොටම වඩා කාන්තාවාදීන් බලවත් වෙලා.

ඒ නිසා ලංකාවට මුදල් දෙනව නම් අපේ චරිතය බලන්න ඕනා කියල කාන්තාවාදීන් මහ හඬින් කියල තියෙනවා.

මෙතනදි මේ කාන්තාවාදී බලය නිසා ඇතිවෙන විවරය තුළ දෙමළ ජනතාවගේ සටනෙත් බලවත් වෙලා.

ඇමරිකාවේ සුළු ජාතීන්ගේ බලය වගේම අපගේ රටෙත් සුළුජාතීන්ගේ අයිතිය ගැන බලන්න දැන් නායකයන් එලියට ඇවිත්.

ලංකාවට ලාබෙට සල්ලි දෙනව නම් වහාම දෙමළ ජනතාවගේ අයිතීන් මර්දනය තුළ සිදුවුන මානව අයිතීන් කඩවීම් වහාම නවත්වල, ඒවා නිසා සිදුවුන අයුක්තියට හා අසාධාරණයට වන්දි දිය යුතු බව පෙන්වා දෙනවා.

මේවා කළු ජනතාව පමණක් නොවෙයි. කාන්තා ක්‍රියාධරයන්, වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සියළු කණ්ඩායම් ඉදිරිපත් වෙලා බල කිරීම් වල යෙදෙන්න පටන් අරන් නිසා ආණ්ඩුවට ප්‍රජාතන්තුවාදී ලෝකයට මුහුන දීම සඳහා මානව හිතවාදීන් සමඟ ලංකාවේ කම්කරුවන්ගේ උදව් ඉල්ලන්නත් පටන් ගන්න වෙනවා.

ආධාර නෙමේ, කලිසමත් සුවර් නෑ!

මේ ආණ්ඩුව ගෝඨලා හැදුවේ සිංහල ජාතිවාදය අවුස්සල දෙමළ ජනයාගේ අයිතීන් මකා දමන බව කියලයි. දැන් ඔවුන්ට සිදුවෙලා තියෙනවා ආධාර ලබා ගැනීමට කියපු දේවල් ආපසු ගිලගන්න.

මේ වැඩපිළිවෙල කොයි විදයට සිද්ධ කෙරෙයිද කියල තාම කියන්න අමාරුයි. ඔවුන්ට ඇති විකල්ප මාවත චීනාට රට පාවාදීමයි. අද වෙනකොටත් චීනා ලංකාවට ලොකුවට බැහැල බව විවිධ සිදුවීම් වලින් පෙනෙනවා.

පහුගියදා ගෝඨා ලොවටම ඇහෙන්න කථා කළා උනත් ඔහුගේ වැඩ ගැන හාමුදුරුවරුන් පවා දැන් කුපිත වෙලා සිටිනවා.

මේ රටේ අනුරාධපුර, පොළොන්නරු යුගයන් තුළ ගොඩනගපු වැව් අමුණු ගැන සොයා බැලීම, ඒවායේ මෙහෙයවීම් පවා තම බලයට යට කරගන්නට චීනා වැඩ කරන බව කියන්න සාදුලාට සිද්ද වෙලා තිබෙනවා.

මේක උඩ දැන් ලොකු අවුලක් රට තුළ ඇති කරන්න සාදුලා අර අදින බව පෙනෙනවා.

මෙතෙක් කල් වාමාංශික අපට පට්ට පදුරු රට පාවා දෙන්නන් කිය කියා ගිය ගෝඨට දැන් ඉතිං මොනවා කියන්න වේවිද දන්නෙ නෑ.

බොරු වැලකින් පටන් ගත්ත නිසා නිසා තව තවත් බොරු කියනවා ඇර වෙන කරන් දෙයක් නෑ. දැන් හැම තැනම බොරු පුපුරණවා. මේක තමයි දැන් මතුවෙවී පේන්නේ.

සාදුලා වැඩ පටන්ගෙන බාල්දි ඇද්දොත් ජාත්‍යන්තර ආධාර කොහොම වුනත් ගෝඨාගේ කලිසමවත් රැක ගන්න පුළුවන් වේවිද කියල කියන්න බෑ.

ජාතිවාදයෙන් සංවර්ධනය ගේන්න බෑ

දැනට දමල තිබෙන සංවර්ධන මාවත ඉස්සරහට යන්න නම් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය, අනෙක් මානව හිමිකම් ප්‍රශ්න පුළුවන් තරම් ඉක්මණින් විසදුම් ඉල්ලනවා.

ජාතිවාදී ආගම්වාදී විදියට රටක් ගොඩගන්න බෑ. නවීන ලෝකයේ මේ ප්‍රශ්න ඉතාම ඉහලින් විසදා ගැන්ම දෙසට හිත් යොමු වෙලා තියෙනවා.

මේක මිනිසාගේ වෙනස්කම්, විවිධ කලාවන්, සොයාගැනීම්, මනුෂ්‍යත්වයේ අනාගතය ලෙසට පිළිගන්න යන ලෝකයක්.

ලංකාව තුළ විවිධ ජන කොටස් පාරම්පරිකව අවුරුදු සිය ගණන් එක්ව සිටිය එක ගැන ලෝකය බලන්නේ විශ්මයෙන්. ගරුත්වයෙන්.

ඒවාට ගල් ගහල, වෙඩි තියල විසදුම් නෑ.

මේ රට තමන්ගේ වාසභූමිය කරගත් ජනතාවන්ගේ විවිදත්වයන්, වෙනස්කම්, සමාන වටිනාකම් ලෙස පිළිගැනීම තුළයි අපට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම මාවතක් නෑ.

සිංහලයා වටිනා ජාතියක්. ඒ වගේම මේ රටේ අනෙක් ජනයාත්, ඔවුන්ගේ වෙනස්කමුත් එක සමාන විශාල වටිනා වස්තු ලෙස පිළිගන්න වෙනවා.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

You may also like...

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.