සාකච්ඡා කරනු.. කුමක් ගැන හෝ සාකච්ඡා කරනු
(සහෝදරයකුගේ විමසුමකට ප්‍රතිචාරයක්)
සාකච්ඡාව, සංවාදය කියන්නේ ඉතාමත් වටිනා දෙයක්. මේ ආශ්‍රිතව පසුගිය කාලයේ විවාදයකුත් ගියා මතකයි, ප්‍රඥාව දියුණු කරගන්න වඩාත් සුදුසු Discussion එක ද Discourse එක ද කියලත්.
තව Conversation, Dialogue, Debate කියන වචනත් තියෙනවා. මේ වචන වලින් කෙනෙකුට දනවන හැඟුම් හා ඒ හැඟුම් අරුත් ගැන්වීමේ දී විශාල මත ගැටුම් පැවතුනා මතකයි.
කොහොම කළත් මේ සෑම වචනයකින්ම මවන චිත්ත රූපය අතර පොදු දෙයක් තියෙන බවයි මගේ හැඟීම.
ඒ කියන්නේ, මේවා මනුෂ්‍යාගේ පැවැත්ම ස්ථීර ලෙසම සාමූහිකත්වය මත පදනම් වන හෙයින්, සාමූහික තීරණ වලට එළඹීමේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහාත්, පුද්ගලිකත්වය මුල් තැනට විත් නියැන්ඩතාල්කරණය වී සාමූහිකත්වය නැතිවී මනුෂ්‍යත්වය වඳවී යෑම වලක්වා ගැනීම සඳහාත්, අන්යෝන්‍ය වශයෙන් සාමූහික හැඟුම්කරණය වෙනුවෙන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා ‘යමක් ගැන කතා කිරීමේ ක්‍රියාව හෝ ක්‍රියාවලිය’ ට තියෙන ‘පාරිභාෂික’ ශබ්ද බවයි.
ඒ, සාකච්ඡාව තුළින් සමාජයට වඩාත් නිවැරදි දිශාවට ගමන් කරන්න අවස්ථාව ලැබෙන නිසා. හැබැයි සාකච්ඡාව තුළින් වෙන්නේ, මේ මොහොතේ තිබිය යුතු පියවර සම්බන්ධයෙන් තීරණ නොගෙන, වෙන පැත්තකට විසි වී යාම නම්, ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් සාකච්ඡාවට සම්බන්ධ විය යුතුය
ඒ කියන්නේ, මේ සාකච්ඡාව සමාජ ප්‍රගතියක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නොව, හුදෙක් කාන්සිය මකා ගන්න, තමන්ගෙ පෞද්ගලික දුරාවබෝධයන් හදා ගන්න, නොදන්නා කරුණු දැනගන්න, නැතිනම් ස්පිරිට් බෝතලයක් පානය කර හිස්කිරීමේ භාරය නිමාකරගැනීම වගේ හේතු සඳහා කරන්නක්ය යන අවබෝධයෙන් සම්බන්ධ වීමේ කිසිම ගැටළුවක් නැත. එවන් වූ එල්ලයක් නැති කතා බහ එදා මෙදාතුර මිනිසුන් අතර පැවැතියේ ය.
එවැන්නකින් සමාජ ප්‍රගතියට ඵලක් නැති නිසා කාලය කා දැමීමකියි චෝදනාවක් තිබිය හැකි ය. එය වැරදි චෝදනාවකි. මන්ද යත් මෙවන් සාකච්ඡා මගින් සමාජ ප්‍රගතියට කරන හානියක් ද නැති නිසාය. කරන්න වැඩක් නැති කල, කාලය ගත කිරීමටත් සිත් සැහැල්ලු කර ගැනීමටත් එය වටිනා කියන නිසාය.
හැබැයි එවැනි, සමාජ ප්‍රගතිය සඳහා මේ මොහොතේ ගත යුතු මඟ පීලිපැන්නවීමට යොදා ගන්නා විතන්ඩවාදී සාකච්ඡාවකට, සමාජ වෙනසක් කරන්නේ යැයි සිතමින් සහභාගි වන්නේ නම් එය මුලාවේ වැටීමකි.
උදාහරණයක් ලෙසට අපට අද නිසි ව්‍යවස්ථාවක් තුළින් ලංකාවේ සංවර්ධනයක්, එක්සත්කමක්, සාධාරණත්වයක්, යුක්තියක් ඇති කර හැකි ආකාරය ගැන සාකච්ඡා කළ හැකිය.
හැබැයි මේ මොහොතේ රට පත්ව ඇති තැනට ආවේ ඇයි යන්න විග්‍රහ කර ගැනීමට, දැන් ගත යුතු පියවර සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් එය කෙතරම් තීරණාත්මක වේද?
ව්‍යවස්ථාවක් කෝකටත් තෛලයක් ලෙස සිතන්නේ නම්, එදා මෙදා තුර ලෝකයේ පැවැති ඕනෑම ව්‍යවස්ථාවක් එවැනි බව ඉතිහාසය දෙස යොමන ‘බැලූ බැල්මකට’ උව පෙනී යනු ඇත.
එහි අරුත කුමක් ද? ව්‍යවස්ථාවක් යනු විජ්ජාකාරයෙකුගේ වේදිකාවක් බවයි. ඒ වේදිකාවේ මල් පූදියි, ලේන්සුව පරවියෙක් ව පියාඹයි. ඉන පටියෙන් සර්පයෙක් ජනිත වේ. වතුර විස්කි බවට පෙරලේ. තරුණියන්ගේ හිස කඳින් වෙන්කෙරේ. තරුණයන්ගේ සිරුර දෙකට මැදින් වෙන්වෙයි. එසේ වුවත් නිමේශයකින් මොවුන් යලි සිනාමුහුණින් වේදිකාව මත ප්‍රාදූර්භාවයට පැමිණේ.
සර්ව සාධාරණ ව්‍යවස්ථාවක් තිබිය හැකි ද?
අයිතිවාසිකම් හා ඒවා නැතිවෙන අයුරු යන දෙකම ඕනෑම ව්‍යවස්ථාවක තිබෙනවා. එහෙම වෙන්නේ ඕනෑම ව්‍යවස්ථාවක් පංති ව්‍යවස්ථාවක් වන නිසා. බලවත් එක් පංතියක් විසින් අනෙක් පංතීන් අත්තනෝමතික ලෙස පාලනය කිරීම සඳහායි ව්‍යවස්ථාවක් තිබෙන්නේ.
ඕනෑම රාජ්‍යයක අධිකාරයේ පලමු වැන්න අවිගත් සන්නද්ධ කණ්ඩායම් බව අමතක කිරීම වරදක්. ඒ වගේම එය මර්දන තන්ත්‍රයක්. එය මහජාතිකයක වේවා, සුළු ජාතියක වේවා නැතිනම් ධනපති වේවා, නිර්ධන පන්තික වේවා, ඒ ඕනෑම රාජ්‍යයක් සන්නද්ධ බලය මත පදනම් වූ මර්දනීය බලයක්. එයට සහයෝගී ලෙස ඕනෑම විටෙක ඕනෑම ආකාරයකට අර්ථ ගැන්විය හැකි නීතිරීති, නිලධාරී තන්ත්‍රයක්, උසාවි හා සිරගෙවල් තියෙනවා.
මේ සත්‍ය මඟහැරීම, මධ්‍යම පාන්තික චින්තකයන්ගේ සාකච්ඡාවන් ශතවර්ශාධික කාලයක් පවත්වාගෙන යන්න උදව් වෙන්න පුළුවන්.
ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් පැත්ත ශක්තිමත් ලෙස භාවිතාවේ යෙදෙන්නේ, කම්කරු පන්තිය ස්වාධීනව ක්‍රියාත්මක වන්නාවූ වකවානු වලදී යි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් දැනුවත්ව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නාවූ අවස්ථා වලදී යි.
ඒක හැම වෙලේම වෙන්නේ නෑ.
කම්කරු පංතිය විටෙක නැගිට අයිතිවාසිකම් ප්‍රමාණයක් තහවුරු කළත්, ඊලගට නැවත එකත්පස්ව සිටිනවා. එවිට නැවත අලුත් සමතුලිතතාවයක් එනවා.
පළාත් සභා විසදුමට එන්න පුළුවන් උනේ ඉන්දියාවේ පරිප්පු වලට ලංකාවේ ආණ්ඩුව බය වෙච්ච නිසා නෙමෙයි. මේව මධ්‍යම පන්තික අසාරදර්ශනයන් පමණයි.
දේශපාලන විසදුමකට ජාත්‍යන්තර නිර්ධන පන්තියේ බලපෑමක් තිබුන බව ඇත්ත. ඒත් ප්‍රමුඛ වෙන්නේ අභ්‍යන්තර සාධක. ඒ වෙලාවේ කම්කරු පන්තියේ නැගිටීම හා ඒ නැගිටීම තුළ ප්‍රකාශනය වුන එක්සත් සමාජවාදී පෙරමුරණේ බිහිවීම, එහි න්‍යායපත්‍රයේ මුලටම දෙමළ ස්වපාලනය පිලිගැනීම පැවතීම යනාදිය මතයි පළාත්සභා ආවේ.
මේ උදවියට සංවේදනයන් නැති උනාට මේ වගේ බැරෑරුම් ප්‍රජාතන්ත්‍රීය කටයුත්තකට කම්කරු පංතියේ සහාය අත්‍යාවශ්‍යය යන්න ගැන ධනපතියන් හොඳට සංවේදී යි. ඒ නිසා ජේ ආර්. කම්කරු නායකයන්ව සාකච්ඡා වලට අරන්, සිංහල බෞද්ධ වියරු ජාතිවාදයට විරුද්ධව කම්කරු පංතිය ආයුධ සන්නද්ධ කළා. එහෙම කරලයි ධනපතියෝ පලාත්සභා දියත් කළේ.
සභාගවාදය සහ යුධවාදය
නමුත් ඊලඟ මොහොතේදී, නැවත මේ විප්ලවීය ක්‍රියාකාරීත්වය සභාගවාදයට යට කරල, කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කළා විතරක් නොවේ, චන්ද්‍රිනාගේ හා මහින්දගේ “විමුක්තිදායී යුද්ධයේ” කොටස්කරුවන් බවටත් ඔවුන්ව පත් කළා.
දෙමළ සන්නද්ධ අරගලයේ පරාජය මගින් ‘සමාජවාදය’ සඳහා අරගලයට යලි අවස්ථාව පෑදෙන බවයි කියවුනේ. ඒ අනුව “කොටියාට මරණය – සමාජවාදයට ජයග්‍රහණය” තමා සටන්පාඨය වුනේ.
දෙමළ විමුක්ති අරගලය නිර්ධන පංති අරගලයේ කොටසක් බව මේ අය දැක්කේ නෑ. ඒ අය හිතුවේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය ගොඩනැගීමට වදයක් බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය සදහා සටන තුලින්ය සමාජවාදය සඳහා අරගලය විකසිතවන්නේ යන සත්‍යයට ඔවුන් පිටුපෑවේ, සැබැවින්ම සමාජවාදය ගැන ඔවුන්ට අබමල් රේණුවක විශ්වාසයක් නොතිබූ නිසයි. ඔවුන්ට ‘සමාජවාදය’ යනු සභාගවාදය වසා ගැනීමේ රැවටිල්ලක් විතරයි.
මේ සභාගවාදය සිංහල බෞද්ධ සුළුධනේශ්වරය විසින් නඩත්තු කරගෙන යන දෙයක්. කුමකටද? රටේ උපයන සුළු අතිරික්තය කොල්ල කා ගැනීම සඳහායි ඒ.
එතකොට මේ විවිධ පැතිවලින් පිටු ලක්ෂ ගණන් ලියැවී තියෙන දේවල් ගැන අද විවාද කරන එකේ තේරුම මටනම් සොයාගන්න අමාරුයි.
අද විවාද කළ යුත්තේ කම්කරුපංතිය මේ සභාගවාදයෙන් ගලවා ගන්නේ කොහොමද කියලයි. ඒ සඳහා අපි 1970 ගණන් වල කරපු විවාද සෑහෙන්නේ නෑ.
ඒවා තේරුම් ගෙන සිටීම ඉතා වැදගත්. ඒ නිසා ඒවා නැවත නැවතත් හදාරන්න ඕනා. ඒක හරි.
නමුත් අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්නයක්. සමහර විට ඒ සඳහා මේ අධිකාරවාදී ව්‍යවස්ථාව වුනත් ප්‍රයෝජනවත් වෙනවා. දුමින්ද සිල්වාගේ නිදහස් කිරිම ගැන නීතීඥ සංගමයේ ප්‍රකාශනය, 20 වන සංශෝධනය ගැන විවාදය, “නීතිය මගේ වචනයයි” යන ඝෝඨාගේ ප්‍රකාශයේ අරුත වැනි උදාහරණ අපට දැකිය හැකියි.
නමුත් ව්‍යවස්ථාවෙන් ස්ථීර විසදුම් ලැබෙනවා යයි සිතීම තමා වරද.
කළ යුත්තේ කුමක්ද?
යුද්ධය ජයග්‍රහණයක් ද? හමුදාව ‘ජාතියේ පිනට පහල වූ රණ විරුවන් ද?, කොරෝනා මර්ධනයට ඔවුන් ගේ ‘විශිෂ්ඨ’ මැදහත්වීම් නැතිව බැරිද?, යුධවාදය හා ම්ලේච්ඡ චීන පාලකයන් අතර ඇති සම්බන්ධය කුමක් ද? 2015 යුධවාදයේ පරාජය ඉක්මවා යුධවාදය යලි ඔටුණු පැළදීමේ හේතු වූ සමාජයේ පරස්පර විරෝධතා මොනවාද? ඒ තුළ කම්කරු පන්තික හා මධ්‍යම පංතීක ප්‍රවණතා ක්‍රියාත්මක වූ අයුරු කෙවැනි ද? යුධවාදය පසුබස්වා ප්‍රතිවිප්ලවය ජයගැනීමට ලිබරල් ධනපති පන්තියට බැරි වූයේ ඇයි?
මේවායින් කථාව පටන් ගත්තොත් කාට කාටත් බැරිකේඩයේ තමන් හිටිය පැත්ත, ඉන්න පැත්ත හා අනාගතයේ ඉන්න යන පැත්ත ගැන අවබෝධයක් ලැබෙයි.
පැත්තක් නොගෙන සිටියා නම්, ගෙන නැත්නම් හෝ ගන්න ලෑස්තිත් නැත්තන් ඕන තරම් ‘විප්ලවවාදී’ සටන්පාඨ හා ස්ථාවරයන් විප්ලවවාදී ඉතිහාසයේ ඝනීභවනය වෙලා තියෙනවා, ඕනෑම ළමයෙකුට ‘විප්ලවවාදී’ මුහුණුවරක් විදියට ලා ගෙන ඉන්න පුළුවන් වෙන.
රණත්