20! ජනපති-අගමැති එකක් වී; ‘පරම නායක’ පහලවීම

ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් තැබීම - ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන - 1987 ජූලි 29 (සේයා - අන්තර්ජාලයෙන්)

1978 හා 2020 ව්‍යවස්ථා

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කථාව නිරතුරුවම 1978 ව්‍යවස්ථාව හා සමපාත කිරීමට සැවොම උත්සාහ දරයි. ගතවූ වසර 42ක කාලය හා ඒ කාලය තුළ මේ රට හා ලෝකය පසු කළා වූ සමාජ-ආර්ථික හා දේශපාලන වර්ධනයන් කිසිවක් නොතකා, මෙසේ බැලූ බැල්මට ඇති සමාන අසමානකම් මත පදනම් වීම, 20 තේරුම්ගැනීමේ දී බාධකයක් වන්නේ ය. 17 හා 19 සංශෝධන ඉක්මවා, යලි JR ගේ ඒකාධිපති ව්‍යවස්ථාව බලාත්මක කිරීමකැයි 20 සංශෝධනය ගැන විවේචන ඇත්තේ ඒ නිසාය. එම විවේචනය 20 ට වාසිදායක බැවින්, ආණ්ඩුවේ මැති ඇමතිවරන් සමහරකෙකු ද කියන්නේ ‘මුකුත් අමුතු දෙයක් නෑ. ආපහු 1978ට යන එකයි වෙන්නේ’ කියාය.

ලිපියේ ඇතුලත….

1. සමාජවාදී විප්ලවය අද
2. කල දුටු කල ඉහා නොගත් වල හෙවත් – ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ ඵල නොදැකීම
3. මූල්‍යවාදයේ මූලික උපායමාර්ගයන් – ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන
4. පංති බලය හා 1978 ව්‍යවස්ථාව
5. 13 සංශෝධනය කරා
6. 2015 ජනතා පිබිදීමේ පසුබෑම හා 13
7. ආඥාදායක්තවයට ජාත්‍යන්තර පිලිවෙතක්
8. ජර්මානු අත්දැකීම – හිට්ලර් බලය තහවුරු කරගත් විධික්‍රමය
9. ප්‍රජාතන්ත්‍රීය විප්ලවය හා ව්‍යවස්ථා වන්දනාව
10. භීතිය නීතිගත කිරීමට විරුද්ධ අරගලය

පිවිසුම

1978 ව්‍යවස්ථාව මෙරට පැවැති; ඒ වන විට කඩාකප්පල් වී ගිය සුබසාධනවාදය හා ඊනියා ස්වංපෝෂිතවාදය ඉක්මවා, ඍජුවම ලෝක ආර්ථිකය සමඟ එක්වීමේ අවශ්‍යතා සමඟ ගැටගැසුනකි. එම අවශ්‍යතාව පිලිබඳව නිගමනයන්ට මෙරට ධනවාදය එළඹීමට පසුබිම් වූ කරුණු ගණනාවකි. ඒවා අතර ප්‍රමුඛ වූ සාධක තුනක් අවධාරණයට ගත යුතුය.

එනම්; ඒ ගතවූ සුබ සාධන – ස්වයංපෝෂිත ආර්ථික ක්‍රියාවලිය, අලුතින් නිදහස ලැබූ යටත් විජිතයන් හි සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් බවට පත් වූයේ ද, අපර යුධ උත්පාතයට පදනම දැමූ ජාත්‍යන්තර සමාජ, ආර්ථික හා දේශපාලන සම්මුතීන් තුලින්ම ය.

අද මෙන්ම එදාත් මේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සැකසීමේ දී අපගේ වැනි කුඩා හා අඩුදියුණු රටවල් වලට එම තීන්දු ගැනීමේ දී තීරක බලයක් තබා අදහසක් පළ කිරීමටවත් ශක්තියක් නොවී ය.

ඒ ඉහත කී සුබසාධනවාදය හා ස්වයංපෝෂිතවාදය ට පදනම දැමූ මූලික කරුණු වන්නේ;

1. අපර යුධ උත්පාතයට මූලික වූ, කේන්සියානුවාදී ආර්ථික ප්‍රතිපත්ති වලට ජාත්‍යන්තර ධනවාදය එළඹීම හා එම ප්‍රතිපත්ති මත ඉතිහාසයේ දැවැන්තම උත්පාතයට ආර්ථික පදනම දමා ගැනීමට අවශ්‍ය ආයතනික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සැකසීම. එහිදී යටත් විජිත රටවල් සූරාකෑම ද්වීතීයික වූ අතර, ප්‍රධාන වූයේ නව ජාත්‍යන්තර ආර්ථික සැලසුම් මත යුරෝපය – ඇමරිකාව – ජපානය මුල් කර ඇති වූ දැවැන්ත සංවර්ධනය යි.

2. දෙවන ලෝක යුද්ධය අවසාන වන විට ධනවාදී ලෝකයේ මධ්‍ය බලකරුවන් බවට පත් ඇමරිකාව-බ්‍රිතාන්‍ය සමඟ වාඩි වී රුසියාව ලෝකය බෙදා ගැනීමේ එකඟත්වයට ඒම හෙවත්, ප්‍රාග්ධනයේ නිදහස් ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ජාත්‍යන්තර දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම. (ස්ටාලින්, ටෘමන් හා චර්චිල් අත්සන් තැබූ, ලෝකය බෙදා ගැනීමේ යෝල්ටා ගිවිසුම ගැනයි) සහ,

3. ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයේ අරගලයන්ගේ තීව්ර වීම සමහන් කරගනිමින්, කම්කරු පංතිය සමග එකඟත්වයට යෑමේ අවශ්‍යතාව මත, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්ගේ පුළුල් කිරීම් සිදුකිරීම. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආයතන (මානව හිමිකම් කමිටුව ඇතුළු) බිහි කිරීම මෙන්ම, පැරණි යටත්විජිත වලට දේශපාලන නිදහස ලබා දීමත් මූලික විය. මේ සියල්ල කම්කරු පංතියේ ශක්තිය සමඟ එකඟත්වය ඇති කර ගැනීමේ අවශ්‍යතාවයට සමපාතව පැවැතුනි.

මෙය අහම්බයක් නොවේ. එහි මූලාරම්භයේ සිට ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වූයේ ප්‍රාග්ධනයට නිදහසේ ක්‍රියාත්මක වීමේ අයිතිය හා තමන්ගේ විකුණාගැනීම සඳහා ශ්‍රමයට නිදහස් අයිතියක් ලැබීමයි. එතැන් සිට සියවස් තුනක පමණ කාලයක් තිස්සේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ අධිව්‍යුහයේ ඇති වූ අනෙක් සියළුම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ, කම්කරු පංතියේ සංවිධාන බලය සමඟ ප්‍රාග්ධනය ඇති කරගත් සම්මුතීන්ය. කම්කරු පංතිය තම අරගලයන් තුළින් ලබාගත්, තමන්ගේ ස්වාධීන සංවිධාන ගොඩනගා ගැනීමේ අයිතිය ඒ සියල්ලේ මූලාරම්භයයි.

මේ තතු යටතේ ‘නිදහස’ ලත් ලෝකය ගැන මාඕ සේතුං සැකසූ න්‍යාය අනුව, මේ පෘතුවියේ ලෝක තුනක් ඇති විය. 1. දියුණු හෙවත් ‘පළමුවන ලෝකය.’ 2. කම්කරු පංතිය පාලනයන්ගෙන් යුත් ‘සමාජවාදී ලෝකය.’ හා 3. අඩු දියුණු ධනපති ආර්ථිකයන් සහිත ‘තුන්වන ලෝකයයි.’ උක්ත සම්මුතීන් මගින් මේ ත්‍රෛලෝකයම නිදහස් ලෝක වූයේ ය.

පොදුවේ ගත් කල, පළමු ලෝක දෙකටම මේ ‘ස්වාධීන’ තුන්වන ලෝකය බළලෙකුගේ දකුණු අත හා වම් අත වැනි විය. ඒ ඒ වෙලාවට ඒ ඒ අත් කොස් ඇටයක් බා ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය. තමන්ගේ ආර්ථික කටයුතු වලදී එතරම් වැදගත් නොවුවද, පළමුවන ලෝකය හා දෙවන ලෝකය අතර පවතින ඝර්ෂණය සමහන් කර ගැනීමට මේ තුන්වන ලෝකය විසින් ග්‍රීස් වල මෙහෙය ද ඉටු කළ අවස්ථා විය. ඒවාට මේ ලෝක දෙකෙන්ම තුන්වන ලෝකය පොඩි පොඩි දැකුම් ද ලද්දෝ, ආර්ථික කටයුතු වලට යොදා ගත්හ. මේ සාමූහික කේවල් කිරීමේ වැඩපිලිවෙල වඩාත් ක්‍රමික කර ගැනීමට නොබැදි ව්‍යාපාරය බිහිවිය. නොබැඳි ලෝකය යනුවෙන් ඉන්පසු තුන්වන ලෝකයට තවත් නමක් ලැබුණි.

මෙසේ දේශපාලන නිදහස ලැබූ යටත් විජිත ලෝකයේ, ජනතාවාදී දේශපාලන ජයග්‍රහණයන් රාශියක් පැතිර ගියේ ය. ඒ මඟින් මේ රටවල් වල කර්මාන්ත වර්ධනය සඳහාත්; භූමියෙන් අතිරික්තයක් ලැබෙන පරිදි ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමටත් මේ දේශපාලන නායකයන් වැර දැරීය. ධනවාදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන මේ ප්‍රතිපත්තියට සහයෝගය දුන් අතර, බැර කර්මාන්තකරණයේ දී රුසියාව ඒ වෙනුවෙන් මේ රට වලට ආධාර කළේය.

කේන්ස්ට පලා – ෆ්‍රීඩ්මාන්ට බුලත්

ෆ්‍රීඩ්මාන් සහ කේන්ස් (සේයා – අන්තර්ජාලයෙන්)

1970 දශකයේ මුල් භාගයේ දී මේ කේන්සියානුවාදී ආර්ථික ප්‍රතිපත්තීන් ජාත්‍යන්තර පරිමාන අවපාතයට පාදක වෙමින් ඒ තුළ ගිලී ගිය අතර, ඒ වෙනුවට මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් වූ නව ආර්ථික මූලෝපායයන් මත ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංවිධානය කෙරිණි. මූල්‍යවාදය, නව ලිබරල්වාදය යන නම් වලින් හදුන්වන්නේ, කේන්සියානුවාදය මෙන්ම ජනතාවාදයත් වලපල්ලට යැවූ ලෝක ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට යොදාගත් මෙකී ෆ්‍රීඩ්මාන් ආර්ථික පිලිවෙතයි. කම්කරු රාජ්‍ය පද්ධතියේ පිරිහීම 80’ දශකය තුළදී සම්පූර්ණ වීමත්, අනතුරුව බිඳී යෑමත්, ලෝක ධනපති ආර්ථිකයේ මේ තියුණු අවපාතයට සාපේක්ෂ වූවක් විය.

ලෝක ධනපති ප්‍රතිපත්තිය බවට පත් කල්හි, කේන්සියානුවාදය ලංකාවේ බණ්ඩාරණායකවාදයට (එනම් නිදහස ලත් යටත්විජිත ගණනාවක දියත් වූ ජනතාවාදයේ ලාංකීය ස්වරූපය) පිටුබලය දුන්නේ යම් සේ ද, මූල්‍යවාදය පළමුව ෆීලික්ස්ටත්, ඔහුගේ ඇවෑමෙන් ජයවර්ධනවාදයටත් පසුබිම් විය. ජනතාවාදයේ දේශපාලනයට හා දේශීය ආර්ථික ප්‍රතිසංස්කරණ වලට, පෙර කී පරිදි වර්ධිත ධනපති රටවල් හා කම්කරු රාජ්‍ය පද්ධතිය අතර පැවැති එකඟත්වයන් හා පරස්පරයන්ගෙන් යුත් සබඳතාවයේ ද වාසිය අත්ව තිබුණි. නමුත් මේ අර්බූදයෙන් කම්කරු රාජ්‍ය පද්ධතියට ද ගැලවීමක් නොවී ය. ඒ හේතුවෙන් මේ බලවතුන්ගේ පරස්පරයන් දියවී යමින් එකම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තියකට යටත් වීමට සිදුවීම නිසා, එතෙක් ජනතාවාදී පාලකයන් ලත් වාසි නැති වී ගියේ ය.

දැන් මේ නව ප්‍රතිපත්ති ක්‍රියාවට ලීමට සියලුම ධනපති රටවල් ඇප කැප විය යුතුය. නැත්නම් සමාජවාදී විප්ලවය කළ යුතුය.

සමාජවාදී විප්ලවය අද

සමාජවාදී විප්ලවය කළත්, එක රටකට හෝ කලාපයකට සීමා වී සමාජවාදී සමාජ ආර්ථික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගත නොහැකි බව පැහැදිලි බැවින්, ඒ වෙනුවෙන් මේ රට වල ජනතා තල්ලුවක් ඇති නොවේ. එහි අරුත ජාත්‍යන්තර කම්කරු පංතිය සමාජවාදී විප්ලවය වෙත යොමු නොවන තාක් දුරට, ඒ හෝ මේ ප්‍රතිසංස්කරණ හා මූලෝපායික වර්ධනයන් ඇති කර ගනිමින් ලෝක ධනපති ආර්ථික ක්‍රමය පවත්නා බවයි.

විප්ලවවාදීන් අපේක්ෂා කළ පරිදි පිරිහීමට ලක්වූ කම්කරු රාජ්‍ය වල ද, කම්කරු පංතියේ බහුතරය මේ අර්බූදය තුළ තම රාජ්‍යයන්හි දේශපාලන බලය අත්පත් කර ගැනීමට වඩා, පුද්ගල නිදහසට මුල්තැන දීම මගින් ධනේශ්වර ප්‍රතිසංස්කරණ වලට අනුගත වූවෝය.

ඒ අනුව අද සමාජවාදී විප්ලවය විද්‍යා තාක්ෂණ දියුණුව හා ධනපති ප්‍රාග්ධනයේ ලාභ අපේක්ෂා අතර පරස්පරයන් තුළින් බිහි කරන, ජාත්‍යන්තර පරිමාන සමාජ අරගලයන්ගේ පුපුරායෑම් මත පදනම් වීමට නියමිත ලෝක විප්ලවයේ යුගයට අවතීර්ණව ඇත්තා සේ වටහා ගත යුතුය.

මෙසේ ලෝකය එක් ආර්ථික ඒකකයක් බවට පත් වීමත් සමඟ, ඊනියා තුන්වන ලෝක න්‍යාය සම නොබැදි ව්‍යාපාර න්‍යාය ද හුදු වචන බවට පත් කරමින්, ලෝකය යලිත් මූලික ලෙස ප්‍රග්ධනයේ බලය හා ශ්‍රමයේ බලය ලෙස පැහැදිලි ලෙස දෙකට බෙදී ගියේ ය. මෙය තේරුම් ගැනීමට අකමැත්තෝ (වමේ පක්ෂ හා වෘත්තීය සමිති නායකන්ගේ අති මහත් බහුතරය) තවදුරටත් උත්පාත යුගයේ පැවැති ද්වීතියික බෙදීම් (ජාතිකවාදී) තවදුරටත් ඇති සේ පෙන්වා කටයුතු කිරීමට යෑමෙන්, දේශපාලන වශයෙන් විනාශයට යමින්, කම්කරු පංතිය දේශපාලන වශයෙන් නිරායුධ කර, සිංහල බෞද්ධ ජාතිවාදයට යට කර මහත් වියවුලකට යැවීය.

උත්පාතයේ ජාතික වාදය, අවපාතයේ දී ජාතිවාදයේ සිට ෆැසිස්ට් පිලිවෙත් දක්වා වර්ධණය වීමේ සත්‍යය නොදැක්කා සේ සිටිමින්, ෆැසිස්ට් බලවේගයන්ගේ ඉදුල් අනුභව කරමින් සිටින තැනට මොවුන් පත්ව ඇති සේය. මේ වියවුල අද වන විට ලොව පුරාම ජාතිවාදයේත්, ෆැසිස්ට් ප්‍රවනතාවයන්ගේත් නැගීමට මාවත පාදා තිබේ.

මේ වමේ නායකයන්, වෘත්තීය සමිති සහ NGO නායකයන් අදත් දකින්නේ ගෝලීය ආර්ථිකයේ ඒකත්වය දෙවැනි වන බවත්, මූලික වන්නේ ජාතික රාජ්‍යයන් අතර ඇති පරස්පරයන් බවත් ය. එය පෙනුමට සත්‍යයකි.

1972 දී සිරිමාවෝ රජය රිපබ්ලිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ සහාය සහිතව හඳුන්වා දුන්නේය (සේයා – අන්තර්ජාලයෙන්)

ලෝක රාජ්‍යයක් ගොඩ නැගීමට ධනපති ක්‍රමය අපොහොසත් වීම

ධනපති ක්‍රමය ලෝක ආර්ථිකයක් ගොඩ නැගුවත්, ජාතික රාජ්‍ය අහෝසි කර ලෝක රාජ්‍යයක් ගොඩ නැගීමට සමත් නොවීය. (ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර පවතින පෑහිය නොහැකි ගැටුම මේ නොහැකියාවේ හරය වෙයි). ඒ නිසා ඇතිවන පරස්පරයන් විසදා ගැනීමට අපර යුධ ජාත්‍යන්තර එකඟතාවයන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, NATO ආදියත් බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම, IMF, WTO වැනි ජාත්‍යන්තර ආර්ථික සංවිධානත් සැකසුවේය. නමුත් ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන්ට පරස්පරව, ජාතික ප්‍රාග්ධන අවශ්‍යතාවයන් නිරන්තරවම පරස්පරයන් මතු කරයි. ඒ තුළ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ප්‍රතිපක්ෂ වීම සඳහා “නව ෆැසිස්ට්වාදී” ප්‍රවනතාවයන් මතුවෙයි. 

නමුත් අවසාන වශයෙන් අද ධනපති ක්‍රමය රැකෙන්නේ ජාතික ප්‍රාග්ධන අවශ්‍යතා මත නොව ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා මතයි. එසේ හෙයින් සියළු ගැටුම් වල වටිනාකම ද්වීතීයික වන අතර, මූලික වන්නේ ගෝලීය ප්‍රාග්ධන සංකේන්ද්‍රණයේ අවශ්‍යතාවය වන ඒකීයත්වයයි.

පෙරකී ලෙස අද විප්ලවය ගලන්නේ ජාතික මට්ටමට වඩා ජාත්‍යන්තර පරිමානයේ, එනම් ගෝලීය ප්‍රාග්ධනයේ ලාබ අපේක්ෂාවන්ට පරස්පරව විකසිත වන විද්‍යා තාක්ෂණ වර්ධනය තුළින් ය. මේ ගැටුම සාපේක්ෂ වශයෙන් අපගේ වැනි ජාතික රාජ්‍ය ක්ෂේත්‍රයේ අද වර්ධනය වන්නේ, ප්‍රජාතන්ත්‍රීය අරගලයක ස්වරූපයෙන් සමාජ අරගලයක් ලෙසය‍. එයට හේතු ඉදිරියේ දී බලමු.

කල දුටු කල ඉහා නොගත් වල හෙවත් – ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ ඵල නොදැකීම

“ඔවුන්ගේ (නව ඉස්ක්‍රා කණ්ඩායමේ) තර්ක ඔස්සේ නිතරම දිවෙන අදහස වී තිබෙන්නේ, ධනපති(ප්‍රජාතන්ත්‍රවාදී) විප්ලවය යනු ධනපති පංතියට පමණක් වාසිදායක වියහැකි විප්ලවය කැයි යන්න ය…… රුසියාව වැනි රටවල කම්කරු පංතිය පීඩා විදින්නේ. ධනපති ක්‍රමයට වඩා, ධනපති ක්‍රමයේ ඌන සංවර්ධනය නිසා ය. එනිසා, කම්කරු පංතිය, ඉතාමත් නිසැක වශයෙන්ම, ධනපති ක්‍රමයේ ඉතාමත් පුළුල්, ඉතාමත් නිදහස් හා ඉතාමත් සීඝ්‍ර සංවර්ධනය ගැන උවමනාවක් දක්වන්නේ ය. ධනපති ක්‍රමයේ පුළුල්තම හා සීඝ්‍රතම සංවර්ධණයට බාධා කරන පැරණි පාලන ක්‍රමයේ නටඹුන් ඉවත් කිරීම කම්කරු පංතිය පරම වාසියකි……. ධනපති විප්ලවයන්, නිර්ධන පංතියට ඉතාමත් උසස් මට්ටමින් වාසිදායක වන්නේ, එහෙයිනි. නිර්ධන පංතියේ අභිවෘධිය පිණිස ධනපති විප්ලවය පරම අවශ්‍යතාවයක් වේ. ධනපති විප්ලවය වඩාත් සම්පූර්ණ වූ, වඩාත් අධිෂ්ඨාන සහගත වූ හා සසංගත වූ කරමට, ධනපති පංතියට විරුද්ධ හා සමාජවාදය සදහා වූ නිර්ධන පංතියේ අරගලය, වඩාත් සුරක්ෂිත වන්නේ ය. මෙම නිගමනය අලුත් අද්භූත හෝ උභතෝකෝටික දෙයක් ලෙසට ගිණිය හැක්කේ, විද්‍යාත්මක සමාජවාදයේ ‘අ’ යන්න ‘ආ’ යන්න වත් නොදන්නා අයට පමණකි. තවද, මෙම නිගමනය අනුව, අදහස් වන වෙනත් කරුණු අතර, එක්තරා අර්ථයකින් ධනපති විප්ලවය, ධනපති පංතියට වඩා නිර්ධන පංතියට වාසිදායක වන්නේය යන ප්‍රවාදය ද වේ.” (ලෙනින්- සිංහල වෙලුම 03. පිටු 49/50 – “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක” 1905 ජූනි- අවධාරණයන් අපගේය) (සේයා – අන්තර්ජාලයෙන්)

දැන් ජයවර්ධනත් ඔහුගේ අනුප්‍රාප්තික ජනපතිවරුන් හා වරියනුත් කළේ, ධනපති ලෝකයේ මූල්‍යවාදී ආර්ථික ඉදිරිදර්ශනයන් මත මේ රටට සංවර්ධණ මාවතක් ඇතිකර ගැනීමට වෙර දැරීමයි. නමුත් එම ආර්ථික පිලිවෙත් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ දේශීය වශයෙන් දියත් කර තහවුරු කිරීමට මේ අනුප්‍රාප්තිකයන් මෙන්ම ජයවර්ධනට පෙර සිටි පාලකයන් ද සමත් වූයේ නැත.

දෙවනුව උත්පාත සමයේ දී ම එනම්, 1960 දශකයේ මුල් භාගයේ දී සිටම, ඇමරිකාව-යුරෝපය හා ජපානය මුල්කර දියත් වූ අපර යුධ උත්පාතයෙන් උතුරා යන සම්පත් වලින් කොටසක් තමන් වෙත ඒකාරාශී කරගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙත දකුණු ආසියානු රටවල් ගණනාවක් යොමු විය. ඔවුන් අවශ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරණ කරමින් හා රැලි වශයෙන් ලොව පුරා ගලායන ගෝලීය ප්‍රාග්ධනයට ඉඩ සලසමින් කාර්මීකරණයට යොමු වූහ. ඒ රට වලට පැමිණියේ බහුජාතික සමාගම් වල ප්‍රාග්ධනය පමණක් නොවේ. ඒ කර්මාන්ත සමඟ නවීන තාක්ෂණයද සපැමිණියේ ය.

මේ රට වලට බහු ජාතික සමාගම් පැමිණියේ ඔවුන්ට තාක්ෂණය උගැන්වීමේ අරමුණෙන් නොව, ලාබ ශ්‍රමය කොල්ල කෑමට බව සත්තය. නමුත් එම ශ්‍රම කොල්ලයේ හිලව්වට  ලැබුනු තාක්ෂණ දැනුම; කැප කළ කම්කරු ශ්‍රමයට සාපෙක්ෂව ගත්කල්හි සුළුපටු ද නොවීය. අද අප රටේ වැසියන් මේ රටවල් වල නිෂ්පාදිත ගෘහ තාක්ෂණ උපකරණ, යාන වාහන ඉතා විශ්වාසයෙන් පරිහරණය කරයි. ඒ අතරේ ‘උන්ට පුලුවන් උනා. එදා අපි උන්ට වඩා ඉදිරියෙන් සිටියේ. අපේ පාලකයන් අදක්ෂ නිසා අපිට දියුණු වෙන්න බැරිඋනා’ යි හඬා වැලපෙයි.

නමුත් සත්‍ය නම්, අපේ රටේ ධනපති නායකයන්ගේ අදක්ෂකම නොව, දේශපාලන චපල භාවයයි. තමන් රකින්නේ ධනපති ක්‍රමය නම්, එයට ආවේනික ඓයිද්‍රීය සංවර්ධන මාවතට යොමු විය යුතුය. සමාජවාදය ඕනෑ නම්, ධනපති ක්‍රමය හැරපියා විප්ලවයකින් කම්කරු රාජ්‍යයක් බිහි කිරීමට සටන් කළ යුතුය. මේ දෙකම එකට කරනවාය යන මුග්ධ දේශපාලනයට එළැඹීමෙන්; එළහරකකු, මී හරකෙක් සමඟ එක බානේ බැද කුඹුුර හාන්න ගිය මෝඩ ගමරාල පත් ඉරණමට අපේ ධනපති හා වමේ නායකයන් පත් වූහ. ඒ නිසා ධනපති උත්පාතයේ සැබෑ වාසිය අපට අහිමි වී ගියේ ය. කම්කරු රාජ්‍ය පද්ධතිය සමඟ එක්වී වෙනත් ගමනක් යෑමටත් නොහැකි විය. ඉන් කම්කරු පංතියේ ඇති වූ දෘෂ්ඨිමය පසුබෑම ජාතිවාදය බලවත් වීමේ ප්‍රබල සාධකයක් ව තිබේ.

1957 ජූලි 26 වන දින බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අත්සන් තැබීමෙන් පසු (සේයා – අන්තර්ජාලයෙන්)

ඒ නිසා අපට රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ කිරීමට බැරි විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කරමින් හා සිවිල් පරිපාලනය බෙදාහැර, ඒකීය රාජ්‍යවාදය බිඳ, සංවර්ධන මාවත කරා මඟක් සෙවීමට වැර දැරූ බණ්ඩාරනායකට වෙඩි තබා ඒ සියල්ල අතරමඟ අත්හිටුවීමු. නැතිනම් කනපිට හැරවීමු. ඩඩ්ලිට එය කිරීමට ඉඩ නොදුන්නෙමු. සමාජවාදයේ හා නිදහසේ නාමයෙන් සුළු ජාතින් දොට්ට දමා, ජනරජ ව්‍යවස්ථාවක් අටවා වෙනම රජ්‍ය පිලිබඳ සටන් පාඨයට මාවත කැපීමු. එතැන් සිට සිවිල් යුද්ධයක් ගෙන ගියා පමණක් නොවේ, අලුත් ප්‍රජාතන්ත්‍රීය එකඟත්වයන් ඇතිකර ගැනීමට සැකසු සැම දෙයක්ම අඩාල කළෙමු. නැතිනම් නැති භංග කළෙමු. දැන් “බුදුන්ගේ දේශයේ හා සිංහලයාගේ දේශයේ” අයිතියක මුවාවෙන්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අරගලයේ සංකේතයක් ලෙස යන්තම් එල්ලී පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනයටද වල කපමින් සිටිමු.

ඩඩ්ලි සේනානායක සහ එස්.ජේ.වී. චෙල්වනායගම් (සේයා – අන්තර්ජාලයෙන්)

1978 ව්‍යවස්ථාවට කාලය එළඹීම

හොදයි මේ රට කළවුන් ගේ චපලකම්, මුග්ධකම් පිලිබද කතාව තවත් දිග් නොකර; පායන කාලයේ බයිලා කියමින් සිට, වස්සානයේ දී ආහාර සොයා ගිය පලගැටියන් මෙන් ජාත්‍යන්තර ධනවාදයේ උත්පාතයේ දී, ස්වයංපෝෂිත දේශීය ආර්ථක ගැන බයිලා ගසා, අවපාත යුගයේ දී ඒ සමඟ පෑහීමට ගිය අප මුහුණ දුන්නේ කෙවැන්නකට ද?

උත්පාතයට පදනම ලූ කේන්සියානුවාදී සමාජ ආර්ථික ප්‍රතිපත්ති තුළ පැවැති පරස්පරයන් මෝරා ඒම තුළ ගොඩ නැගුණාවූ ද; ලාභ රේට්ටු බිඳ දැමූ මහා ජාත්‍යන්තර අවපාතට හේතු වූ සාධක යටතේ කේන්සියානුවාදයේ කනපිට වූ මූල්‍යවාදයේ කොන්දේසි වලට යටත් වීමට යි අපට සිදු වුනේ.

අපි දැන් බලමු ඒවා මොනවාද කියා. 

මූල්‍යවාදයේ මූලික උපායමාර්ගයන් – ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන

Phase 1. කෙටිකාලීණ සාර්ව ආර්ථික ස්ථායිකරණය  හා  Phase 2. ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ 

1. කෙටිකාලීණ සාර්ව ආර්ථික ස්ථායිකරණය

i. දේශීය මුදලේ විනිමය අනුපාත වල පවතින අධි-අගය කිරීම් අත්හිටුවා, ලෝක වෙළඳපලේදී අගය නීර්ණය වීමට ඉඩ හැරීම හා මේ මොහොතේ පවතින සැබෑ අගයට ගෙන ඒම සඳහා අවප්‍රමාණය කිරීම.

ii. වැටුප් ව්‍යුහයන් නිර්ණය කිරීම් නැවත්වීම හා ශ්‍රම වෙළඳපොල නිදහස් කිරීම. ජීවන අංකය ගැලපුම් වගන්ති සාමූහික ගිවිසුම් වලින් ඉවත් කිරීම, අවම වැටුප් මට්ටම් සදහා ඇති නෛතික ආවරණය ඉවත් කිරීම. වැටුප් ඉල්ලීම් වල ඇති, උද්ධමනකාරී බලපෑම් ගැලපීමට ඉඩ නොහැරීම.

iii. මහ බැංකුව දේශපාලන බලයන්ගෙන් නිදහස් කිරීම – උද්දමනකාරී ලෙස දේශපාලන හේතු මත මුදල් සැපයුම ඉහල දැමීම වැනි කටයුතු පාලනය – ජාත්‍යන්තර මූල්‍ය ආතනයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීමට පරිසරය සැකසීම.          

iv. රාජ්‍ය වියදම් වල ස්ථායීකරණය – ඉලක්ක ගතව වියදම් සැකසීම. පිරිවැය ඵලදායීතාව හා කාර්යශූර  ලීලාවන්ගෙන් දුගීභාවය අවම කර ගැනීමට පෙළඹවීම් කිරීම.

v. නිදහස් මිල යාන්ත්‍රණයකට ඉඩ සැලසීම.

2. ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ

vi. ආනයන අපනයන ඇතුළුව වෙළදාම නිදහස් කිරීම.

vii. රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරණය කිරීම.   

viii. ඉඩම් භුක්තිකරණය හා කෘෂිකාර්මික ඉඩම් පුද්ගලීකරණය කිරීම.

ix. බැංකු ක්‍රමය මත ඇති පාලන නීති සහ සීමාකිරීම් ඉවත් කිරීම.

x. ප්‍රාග්ධනයේ නිදහස් සංචරනය හා විදේශ විනිමය රට තුළටත් පිටතටත් (විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ) නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසීම.

xi. “දුගී භාවය අඩු කිරීම” හා “සමාජ ආරක්ෂණ ජාලයක්” සඳහා ඉඩ සැලසීම. 

xii. “යහ පාලනය” (Good Governance): ප්‍රජාතන්ත්‍රීයකරණය නිදහස් වෙළදපල ආර්ථිකයේ ආදර්ශපාඨය වීම.

 (“Structural Adjustment” – Notebooks – for study and research – No: 24/25 IIRF/IIRE – Edited Eric Toussaint & Peter Drucker – ඇසුරෙනි.)

දැන් මේ අවපාතයේ ප්‍රතිපත්ති පිළිබදව දීර්ඝ විස්තරයකට මෙහි ඉඩක් නැති වුවද, බැලූ බැල්මටම පෙනෙන්නේ මේවා ඉලක්ක කරන්නේ කම්කරු පංතියේ ජීවන මට්ටම් බිඳ දැමීම බවයි. එනම් මූර්ත වැටුප් කපා දමා, ශ්‍රම සූරාකෑම ඉහල දැමීම බවයි. එසේ සූරාකෑම ඉහල දැමීමේ ප්‍රතිපත්තියකින් තොරව ලාභ රේට්ටුව යලි පුනරුත්ථානය කළ හැකි වෙනත් ක්‍රමයක් නැත‍. අපි දනිමු, ලාභය යනු ශ්‍රමයේ වටිනාකම අඩුවෙන් ගෙවා, ප්‍රාග්ධනය විසින් ඉතිරිකරගන්නා ශ්‍රම වටිනාකම බව.

දෙවනුව; රජයේ වියදම් කප්පාදු කිරීමයි. සුබසාධන කප්පාදුව හා මහජන සේවා වෙනුවෙන් අයකිරීම් කිරීම ඒ වෙනුවෙනි.

තුන්වනුව; පුද්ගලීකරණය හා භාණ්ඩ හා ශ්‍රම වෙළඳපලට රජයේ ඍජු මැදහත්වීම අවම කිරීමයි. දේශීය විදේශීය ප්‍රාග්ධන හිමියන්ගේ ප්‍රාග්ධන ආයෝජනයට හා ලාබ ලැබීමට ඇති අවස්ථාවන් ඉහල දැමීම හා වෙළඳපල නීති අනුව ශ්‍රමයේ හා පාරිභෝගික භාණ්ඩ වල මිල තීරණය වීමට ඉඩ හැරීමයි.

දැන් ගෝලීය ධනවාදය සමඟ එක් වීමට නම් එය ලොව පුරා ක්‍රියාත්මක කරන මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමේ වගකීමයි ජයවර්ධනට පැවරුනේ.

මේ නව සමාජ ආර්ථික ප්‍රතිපත්ති, දියුණු – අඩු දියුණු සැම රටකටම සමාන වුවද, අඩු දියුණු රටවල දී වඩාත් හානිකර ලෙස බලපෑවේ ය. මේ රටවල නිෂ්පාදනයන් ලෝක වෙළදපලේ ඉඩක් අත් කරගන්තේ ඉතා අවම වශයෙනි. ඒවායින් බහුතරයක් අමුද්‍රව්‍ය ව‍ෙයි. දේශීය කෘෂි නිෂ්පාදන සඳහා වටිනාකම එකතු කිරීමේ ශක්තිමත් කර්මාන්තකරණයක් ප්‍රාදේශීයව ඇති නොවී ය. ඒ නිසා දිගින් දිගටම මේ නව ප්‍රතිපත්තිය මේ රටවල් වල වෙළඳ හිඟයටත්, ගෙවුම් ශේෂ හිඟයන්ටත් තුඩු දුන්නේ ය.

ආණ්ඩු වල ආදායමෙන් විශාල කොටසක් පාරිභෝගික භාණ්ඩ මත පැටවෙන වක්‍ර බදු මත (ලංකාවේ 80%ක්) පදනම් විය. ඍජු බදු ඉතා පහල මට්ටමකට වැටුනේ ය. එය අසංවර්ධනයේ ඵලය විය. වැටුප් ලබන්නන්ගෙන් ලබාගත් ඍජු බදු අත්හැරීමට බොහෝ දුරට සිදුවූයේ, පාරිභෝජනය කැපීමේ මේ නව ප්‍රතිපත්ති මඟින් ඔවුන්ගේ මූර්ත වැටුප් මට්ටම් කඩා දැමීම නිසාය. මූර්ත වැටුප් බලා සිටියදී කප්පාදු වී යෑම නිසා, බදු ගෙවූ බොහෝ රජයේ නිලධාරීන් බදු වලින් නිදහස් කිරීමට සිදු විය.

මේ රට වල ආර්ථික වර්ධන රේට්ටු පදනම් වූයේ නිෂ්පාදන අංශයන්ගේ වර්ධනයට වඩා, ගොඩනැගීම්, සේවා හා වාණිජ කටයුතු වල වර්ධනයන් තුළය. යටිතල පහසුකම් වර්ධනයද ඊට දායක විය. භාණ්ඩ කෙසේ වෙතත් ශ්‍රම අපනයනය ඉහල යෑමත්, විදෙස් අමුද්‍රව්‍ය මත කෙරෙන වටිනාකම් එකතු කිරීමේ කර්මාන්ත වල වර්ධනයත් එයට එකතු විය.

ජාත්‍යන්තරවම කර්මාන්ත නිෂ්පාදනයේ ලාභ රේට්ටුව පහත වැටී තිබුණු බැවින් හා ලංකාවේ වැටුප් මට්ටම් ඉහල අගයක් ගත් නිසාත්, අපේක්ෂා කළ කාර්මික ප්‍රාග්ධනය පැමිණියේ අල්ප වශයෙන්ය. පැමිණි ඒවාත් ශ්‍රම සූක්ෂම නිෂ්පාදන සඳහා විනා, උත්පාත යුගයේ මෙන් පූර්ණ කාර්මිකකරණයකට අදාල ප්‍රාග්ධනය නොවේ. ඒ වෙනුවට වැඩියෙන් පැමිණියේ විදෙස් බැංකු හා සේවා අංශයි.

ඒ අතර, ඓයින්ද්‍රීය ආර්ථික වර්ධනයකට අවශ්‍ය පරිදි රටේ ප්‍රජාතන්ත්‍රීය ව්‍යූහය ශක්තිමත් කිරීමට මේ රටේ පාලකයන් සමත් වූයේ නැත. ඒ පිලිබඳව එදාමෙදා තුර ජාත්‍යන්තර වශයෙන් විවිධ බලපෑම් එල්ල කෙරුණද වැදගත් යමක් ඉෂ්ඨ නොවීය. ඒ නිසා විදෙස් ආයෝජනයන් අධෙර්යමත් වන සිවිල් කලබල, රට වෙලාගත් අතර, විදෙස් වෙළඳපල සමඟ බැදීම්, ද්විපාර්ශවික වෙළඳ ගිවිසුම් ආදියෙන් මේ රටේ නිෂ්පාදකයන් ගත් ප්‍රයෝජනයක් ද නැත. ඉතාම සීමිත කර්මාන්තකරුවෙක් දෙන්නෙක් ජාත්‍යන්තර වෙළඳපලේ අද්දර කැරකෙන බව සත්තකය. නමුත් බලවත් අභ්‍යන්තර ප්‍රාග්ධන සංකේන්ද්‍රණයක් සඳහා එවායින් ලද දෙයක් නොවී ය.

කෙසේ වෙතත් මෙම ලෝක ආර්ථිකයේ නියං සමයේ ප්‍රතිපත්ති ක්‍රියාවට ලීම, පංති හා සමාජ අරගලයන්ගේ පුපුරා යෑමට හේතු විය.

පංති බලය හා 1978 ව්‍යවස්ථාව

ලංකාවේ කම්කරු පංතියේ ශක්තිය මෙන්ම සටන්කාමී සම්ප්‍රදායයන් පිලිබඳව ජයවර්ධනට අරුමයක් නොවී ය. 1977 දී හෙතෙමේ බලයට පැමිණීමේ දී ද, සුබසාධන හා ස්වයංපෝෂිතවාදයේ බිඳ වැටීම මත පුපුරා ගිය මහා වැඩවර්ජන රැල්ල (1976-77) විශේෂයෙන් අදාල විය. එම වැඩ වර්ජන රැල්ලෙන් ඇති වූ කම්කරු පංතියේ පිබිදීම හා ස්වාධීනත්වය, නව සභාගවාදයකට කොටු කිරීමට වැර දැරූ සම සමාජ – කොමියුනිස්ට් පක්ෂ නායකත්වය, වැඩවර්ජනයෙන් සමාජයේ ඇති වූ පිබිදීමේ වාසිය කොල්ලකෑමට ජයවර්ධනට අවස්ථාව සැලසී ය. එය වෙනම කථාවකි.

කෙසේ වෙතත් මෙම කම්කරු පංතියේ ජීවන මට්ටම් කප්පාදු කිරීමේ හා රාජ්‍ය දේපල පුද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්ති වලට එරෙහිව, කම්කරු පංතියෙන් මෙන්ම රාජ්‍ය ධනවාදී-සුබසාධන ආර්ථිකයේ පදනම මත ජීවන පැවැත්ම ගෙන යන ගැමි ජනතාව අතරින්ද තියුණු විරෝධයන් මතු වන බව ඔහු දැන සිටියේ ය. එවන් සමාජ කම්පනයක් තමන්ගේ හතරෙන් පහේ පාර්ලිමේන්තු බලය ද ඛාදනයට ලක් කෙරෙනු ඔහු දුටුවේ ය.

ඒ පංති හා සමාජ අරගලයන්ට මුහුණ දී, පෙර කී මූල්‍යවාදී ආර්ථික ප්‍රතිපත්ති ගෙන යෑම සඳහා අවශ්‍ය අධිකාර බලය සියතට ගැනීමට ඔහු 1978 ව්‍යවස්ථාව සැකසී ය. අනතුරුව එහි එන ගතානුගතික ප්‍රජාතන්ත්‍රවාදී වගන්ති හරස් කිරීමට, පවතින මහජන ආරක්ෂක පනතට අමතරව තවත් අවශ්‍ය පනත් (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළුව) සැකසීම සිදු කෙරිණි.

නමුත් මේ ජනාධිපතිගේ අතේ සංකේන්ද්‍රණය කළ ව්‍යවස්ථාව මත දියත් කළ විවෘත ආර්ථික පිලිවෙත, කම්කරු පංතියේ විරෝධයට පමණක් නොවේ, ඊට සමපාතව දෙමළ ජාතික විමුක්ති අරගලයේ තීව්ර වීමටත් හේතු විය. ඒ තතු යටතේ මේ මූල්‍යවාදයේ ව්‍යුහාත්මක ගැලපුම් ක්‍රියාමාර්ගයන් ක්‍රියාවේලීමට මෙන්ම, එ් වෙනුවෙන් වූ මර්ධනීය ක්‍රියාමාර්ගයන් දිගට ගෙන යෑමටත් ඔහු සමත් නොවීය. දශක ගණනාවක් පුරා මෙරට කම්කරු පංතියත්, ජනතාවත් භුක්ති විඳි ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත ගොඩනැගී තහවුරුව තිබූ කම්කරු හා ජනතා සංවිධානත්, සමාජීය ව්‍යුහයත් ඉදිරියේ, තම ව්‍යවස්ථාව කොල කෑල්ලක් බවට පත් වූවා සේ ඔහුට පෙනී ගියා සේය. 1980 මහා වැඩවර්ජනය මර්ධනය කිරිම සඳහා ඔහුට නව ව්‍යවස්ථාවෙන් කුමන නම් ප්‍රයෝජනයක් වත් වූයේ නැත. එහි දී යොදා ගැනුනේ පරණ පන්නයේ හදිසි නීතියත්, අත්‍යාවශ්‍ය සේවා නියෝග හා මහජන ආරක්ෂක පනත යනාදියත්, තමන්ගේ ජන බලයත් ය.

ඉදිරිපෙල – නිමල් කරුණාරත්න (ලංකා බැංකු සේවක සංගමය), බාලා තම්පෝ (වෙළද සේවක සංගමය), එල්. ඩබ්. පණ්ඩිත (ලංකා වෘත්තීය සමිති සම්මේලනය), වාසුදේව නානායක්කාර (එක්සත් කම්කරු සම්මේලනය), පී. ඩී. සවනදාස (රජයේ ලිපිකරු සේවා සංගමය), ටී. ඒ. නන්දසේන (පලාත් පාලන වෘත්තීය සමිති සම්මේලනය) 1980 මහ වැඩ වර්ජනයට පෙර සංවිධානය කරන ලද එක්සත් වෘත්තීය සමිති මැයි දිනය අතරතුර

ඉහත කී ආර්ථික පිලිවෙත් වලට එරෙහිව මතු වූ 1980 මහා වැඩ වර්ජනය හා රැඩිකල් කම්කරු නායකයන් දැඩි ලෙස මර්ධනය කරමින්, සම්ප්‍රදායික වමේ නායකයන් සමඟ ගනුදෙනු කිරීමත්, සටන්කාමී දෙමළ තරුණ සංවිධාන දැඩි මර්ධනයට ලක් කරමින්, සම්ප්‍රදායික දෙමළ ධනපති නායකයන් සමඟ ඉහලින් සම්මුති ඇති කර ගැනීමත් යනාදී ලෙසින් වූ ඔහුගේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදී දේශපාලනය, 1983 ජූලි ජාතිවාදී කෝලාහලය මඟින් මහත් අර්බූදයකට ලක් විය.

ලොව පුරා ඔහුගේ බොනපාට්වාදයට එරෙහිව බලපෑම් එල්ල වන්නට විය. රැකියා අහිමි කළ 1980 වැඩ වර්ජකයන් මුලුමනින්ම පාහේ යලි සේවයේ පිහිටුවීමට සිදුවිය. දෙමළ විමුක්තිකාමී තරුණ සංවිධාන ඍජු හමුදා මර්ධනයට ලක් කිරීම වෙනුවට, ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට සිදු විය. එම සන්තතිය කෙලවර වූයේ ජාත්‍යන්තර තලයේ මැදහත්වීම ප්‍රකාශ කළ තිම්පු සාකච්ඡා මඟින් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමග එකඟත්වයක් වෙත ගමන් ගැනීමෙනි.

13 සංශෝධනය කරා

ඉහත දැක්වූ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයන් හි අංක Xii හෙවත් අවසාන අංකය වූ, ‘යහපාලන’ ප්‍රතිපත්තියට අයත් එක් අංගයක් වූ, ප්‍රජාතන්ත්‍රීකරණය ක්‍රියාත්මක කෙරුණේ ඒ ආකාරයෙනි. මෙය විදෙස් බලහත්කාරයක් ලෙස විග්‍රහ කෙරුණද, විවෘත ආර්ථික ප්‍රතිපත්තියට අයත් අත්‍යාවශ්‍ය පියවරක් වන මෙය, ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ (අද වන විට ප්‍රමුඛතන්හි ලා පවතින) කර්තව්‍යයන් ඉටු කිරීම පිලිබද ප්‍රශ්නය සුරතල් වචන (යහ පාලනය – Good Governance) වලින් ප්‍රකාශයට පත් කිරීමක් ය. එපමණට අඩු දියුණ රට වල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රීය විප්ලවය, ජාත්‍යන්තර ධනපති පංතියේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කරනවාක් මෙන්ම, කම්කරු පංතියේ අවශ්‍යතාවයන් ද ප්‍රකාශ කරයි.

නමුත් සුළු ධනේශ්වර ප්‍රවනතා නිරන්තරව පෙන්වූයේ ධනපති විප්ලවය නිර්ධන පංතියේ උවමනාවන්ට පටහැනි වන්නේ යයි ද, එනිසා අපට ධනපති දේශපාලන නිදහස අවශ්‍ය නැතැයි ද යනුවෙනි. රුසියානු නරෝඩ්නික්වාදීන්ගේ සිට අද දක්වාම මේ ප්‍රතිවිප්ලවකාරී න්‍යාය දක්නට ඇත.

කෙසේ වෙතත් තිම්පු සාකච්ඡා අවසාන වූයේ 1987 ඉංදු-ලංකා ගිවිසුම මඟින් පලාත්සභා විසදුම ගෙන ඒමෙනි. මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෝලීය ධනවාදය මැදිහත්වූයේ, ඉන් ගෝලීය ධනවාදයේ කොටසක් වන ලංකාවේ ධනපති ආර්ථික වර්ධනයේ අවශ්‍යතාවයන් ප්‍රකාශිත වන නිසාය.

ඒ ජයවර්ධනගේ ව්‍යවස්ථාදායක බොනපාට්වාදයේ උච්චස්ථානය විය. පලාත්සභා විසදුම භාරගත් දෙමළ තරුණ සංවිධාන සමඟ පලාත්සභා මැතිවරණයට යමින්, ඉංදියානු සාම සාධක හමුදාව යොදවා විමුක්ති කොටි සංවිධානයේ විරෝධය යටපත් කිරීමට ක්‍රියා කළ ජයවර්ධන, අනෙක් පැත්තෙන් පලාත්සභා වලට එරෙහිව අවිගත් ජවිපෙ ප්‍රමුඛ බලවේග වලට මුහුණ දීම සදහා කම්කරු පංති පක්ෂ හා සංවිධාන සන්නද්ධ කිරීමට නොපැකිල ක්‍රියා කළේය.

නමුත් මේ ප්‍රජාතන්ත්‍රීය විසදුමට ද උරුම වූයේ පෙර ගිවිසුම් වලට හිමි වූ ඉරණමයි. එය සම්පූර්ණ කිරීමට සිංහල බෞද්ධ ජාතිවාදී බලවේග ඉඩ තැබුවේ නැත. විවෘතව කැරලි ගැසුවා පමණක් නොවේ, ජයවර්ධණගේ අනුප්‍රාප්තිකයා වූ ප්‍රේමදාසත්, අනතුරුව චන්ද්‍රිකාත්, පලාත්සභා එය තුළින්ම ඛාදනය කිරීමට කටයුතු ක‍ළේය. ඒ වැදගත්ම බලතල වූ ඉඩම් හා පොලිස් බලතල පලාත්සභා වලට පවරා නොදීම පමණක් නොවේ. තව වැදගත් අංශ කිහිපයක පවරා දුන් බලතල ද මඟදී කප්පාදු කිරීමට ද ක්‍රියා කළේය.

මේ තතු යටතේ ලංකාවේ ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් පූර්ණ කිරීමට දැරූ තවත් උත්සාහයක් නොන්ඩි ගසන, කොර වී ගිය තැනට පත් කර, අවසානයේ දී එය සුදු අලියෙක් ලෙස හඳුන්වන තැනට පත් විය.

2015 ජනතා පිබිදීමේ පසුබෑම හා 13

13 සංශෝධනය වද බවට පත් කිරීමේ ඵලය වූයේ සිවිල් යුද්ධයකට ලංකාව ගමන් කිරීමයි. එම යුද්ධය 20 සහශ්‍රකය ඇරඹෙද්දී ලෝකය ක්‍රියාවට ලූ ‘ත්‍රස්තවාදයට විරුද්ධව යුද්ධය’ප්‍රතිපත්තියේ පිටුබලය ලැබ ජයගැනීමට ලංකාණ්ඩුව සමත් විය. සිවිල් යුද්ධයකට පසු අත්දකින පොදු තත්ත්වය වූ අත්තනෝමතික, හිතුවක්කාර මෙන්ම කොල්ලකාරී රාජ්‍ය පාලනයකට එම ජයග්‍රහණය මඟ පෑදීය. මෙය දුටු ජනතාව  නැගී සිට, ගෙන ගිය ප්‍රජාතන්ත්‍රීය ව්‍යාපාරයන් මඟින් එම අත්තනෝමතික රාජ්‍ය බලය පරාජය කර දැමුවද, ඉන් ලද ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනය තහවුරු කර ගැනීමට එරෙහි පරස්පර විරෝධී බලවේග ඒ තුලින්ම ක්‍රියාත්මක වී, මේ ජයග්‍රහණයේ කොන්ද සිඳලී ය.

2015 ජනපතිවරණයෙන් වසර 03කට ආසන්න කාලයක් ගත වුවද, ලබා නොදුන් ඉල්ලීම් මත 2017 නොවැම්බරයේ සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් අතරතුර

ඒ දේශපාලන වියවුල් සහිත බව කුමන්ත්‍රණයන්ට සුදුසු භූමිය සකසා දුන්නේ ය. කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි වල මරාගෙන මැරෙන බෝම්බකරුවන්  ක්‍රියාත්මක විය. අගමැති පදවිය කොල්ලකා නව අමාත්‍ය මණ්ඩයක් පත්කර බල කොල්ලයක් දියත් විය. මේ සිදුවීම් අහම්බයන් නොවේ. ඒවා ක්‍රියාත්මක කිරීමට අදාලව අප්‍රධාන කුමන්ත්‍රණ අපමන ප්‍රමාණයක් මහජන ඡන්දයෙන් පත් වූ රජය ඉවත් කර දැමීම ඉලක්ක කර කෙරෙන්නට ඇතිවා නිසැකය. ඒ කුමන්ත්‍රණ මගින් බලය ඩැහැගත් අය අනුව කුමන්ත්‍රණ වල දේශපාලනය තේරුම් ගැනීම අපහසු නැත. එපමණක් නොවේ. 2015 ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණයේ අභ්‍යන්තර සතුරන් කව්ද? ඔවුන්ගේ දේශපාලනය කුමක්ද යන්නත් ඇස් මනාපිටට ගෙන ආවේ ය.

මේ කුමන්ත්‍රණ පන්නය 1920-30 දශකයේ ලෝකයේ රටවල් ගණනාවක සිදු වූ ෆැසිස්ට් වාදීන්ගේ බල කොල්ලයන් සිහිපත් කළේය.

ඒවා ජනතාව තුළ ඇති කළ මහත් වියවුල, මේ ජයග්‍රහණයේ බහුජන පදනම දියකර හැරියේ ය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක් වූ ජනතාව සී සී කඩ විසුරුවා හැරි මේ අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණි මේ කුමන්ත්‍රණ, ඉක්මනින්ම තම බලාපොරොත්තු ඉටු කර ගනිමින් ජනාධිපතිවරණයේ ජය අත්පත් කර ගත්තේ ය.

2015 ජයග්‍රහණයේ වැදගත් ඵලය වූ 19 වැනි සංශෝධනය විනාශ කර දැමීම, 20 වැනි සංශෝධනයේ මතුපිටින් පෙනෙන අපේක්ෂාව වෙයි. නමුත් සැබෑ තත්ත්වය එය ඉක්මවා යන්නකි. 19 සම්මත වූ දා සිට ඇරඹි කුමන්ත්‍රණයන්ගේ ඉලක්කය 13 නැතිකර දැමීමය. 19 එයට බාධාවකි. 20 සංශොධනයේ ඇති එකම වැදගත් උවමනාව ඒ බාධා ඉවත් කිරීමයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් බොහොමයක් මේ ප්‍රශනය පිලිබඳව හීන් කෙදිරියක් නැගුවත්, විලාප නගන්නේ අතරතුර කරුණු පිලිබදවය.

13 වන සංශෝධනය නිමා කිරීමේ දැඩි අවශ්‍යතාවයකින් මේ තන්ත්‍රය පෙලෙයි. එය තිබෙන තාක් කල් තමන් අපේක්ෂිත සිංහල බෞද්ධ ආඥාදායකත්වය තහවුරු කරගත නොහැකිය. සුළු හෝ ප්‍රාදේශීය ව්‍යවස්ථාපිත බලයක් පවැතීම අත්තනෝමතික මධ්‍යගත බලයකට හරස්ව පවතී. සියල්ලට වඩා, විශේෂයෙන් සුළු ජාතිකයන් ලත් ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණයක් ලෙස 13 පවතින තාක්කල්, එම ජයග්‍රහනය එතැනින් ඉදිරියට ගෙන යෑමේ ඉල්ලීම් නිරන්තරව මතුවෙයි. එය ඉඩදිය හැක්කක් නොවේ. 13 වන සංශෝධනය තිබෙන තාක් එය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමේ බලපෑම මෙරට තුළින් පමණක් නොව, ජාත්‍යන්තර පරිමානව ද පැනනගී. ඒ නිසා 13 වනාහී ෆෙඩරල්වාදයේ මරඋගුලකි.

ආඥාදායක්තවයට ජාත්‍යන්තර පිලිවෙතක්

එවන් ඉල්ලීම් වලට ඉඩ දී සිංහල බෞද්ධ ආඥාදායකත්වයක් හදන්නේ කෙසේ ද? සිංහල බෞද්ධ මූලධර්මවාදය මත විනා, මෙරට බහුතරය පෙලගස්වා, ඒ ජනබලය මත ආඥාදායක බලයක් ගොඩ නැගිය නොහැකිය. ලංකාව වැනි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායයන් පැලපදියම් වී ඇති රටක හුදු සන්නද්ධ හමුදා කුමන්ත්‍රණයකින් ආඥාදායකත්වයක් තහවුරු කිරීම පහසු දෙයක් නොවේ. ආඥාදායකත්වය ඇරඹිය හැක්කේ ‘බහුතරයේ කැමැත්ත’ නැතිනම් ‘ජනතා පරමාධිපත්‍යය’ නොඑසේම ‘ජන මතය’ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යයි පෙනී සිටිමිනි. මේ බහුතර කැමැත්ත ක්‍රියාත්මක කෙරෙනුයේ ‘බහුතර කැමැත්ත’ සදාකාලිකව පවතීය යන “ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ” අමූලික වංචාව මත පදනම්ව, එය බුල්ඩෝසරයක් ලෙස යොද ‘සුළුතර අකමැත්ත’ පොලවට සමතලා කිරීමෙනි.

දැන් මේ දේශපාලන පිලිවෙතට ගෝලීය වශයෙන් සහයෝගය ලැබෙන්නේ කෙසේ ද?

පවතින ආර්ථික ඛාදනය ඉදිරියේ විදෙස් සහයෝගයක් නැතිව ආඥාදායකත්වයකට මුත් වැඩි කලක් තනි රටක පැවතිය නොහැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පදනම, මානව හිමිකම් සුරැකීම යුරෝපයේ, ඇමරිකාවේ මෙන්ම ජපානයේ ද සහයෝගය ලැබීමේ දී කොන්දේසි ලෙස මතුවෙයි. ඒ, ඒ රටවල් වල රාජ්‍යයන් හි ඇති  කම්කරු පංතියේ හා ප්‍රජාතන්ත්‍රීය සංවිධාන බල බලපෑම් නොතකා සිටීමට එකී රාජ්‍යයන් අසමත් නිසාය.

පසුගිය ඔක්තෝම්බර් 17 දා ‘සිරස’ නාලිකාවේ ‘නියමාර්ථ’ වැඩසටහනට සහභාගී වූ මිලින්ද මොරගොඩ මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, මේ වසර හමාර වන විට මෙරට ආදායම රුපියල් ට්‍රිලියන එකයි බිලියන 250 ක් පමණ වන බවත්, ගෙවිය යුතු දේශීය හා විදේශීය ණය පොලිය පමණක් ට්‍රිලියනයක් වන අතර, විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් තවත් බිලියන 200 ක් උවමනා වන බවත් ය. “ඒ ටික ගෙව්වහම සල්ලි නෑ වෙන කිසිම දේකට. වෙන වියදම් ඔක්කෝටම අවශ්‍ය සල්ලි සියල්ල ණයට ගන්න ඕනෑ ලබන අවුරුද්දේ. මේක ගැන ගිය ආණ්ඩුවලට බැනල වැඩක් නෑ” යි ඔහු කියා සිටියේ ය.

නමුත් චීනය යනු ලෝකයේ පවතින එවන් ගැටළු මතු නොකරන, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කිසිම සම්ප්‍රදායයක් කවදාවත් නොතිබූ, පරම ආඥාදායක පාලනයක් ඇති රාජ්‍යයකි. එමෙන්ම එය අද ලෝකයේ ඉහලම ප්‍රාග්ධන අතිරික්තයක් ඇති රාජ්‍යය යි. දරුණුම ඒකාධිපතීත්වයක් පවත්වාගෙන යන මේ රාජ්‍ය, ලංකාව පිලිබඳ විශේෂ උනන්දුවක් දරන්නේ ය. ඒ ඉංදියාව හා ඇමරිකාව, යුරෝපය සමඟ කේවල් කිරීමේ නිමිත්තක් ලෙසට ලංකාව වැදගත් වන නිසාය. ඒ අනුව චීනය දෙසට වත්මන් පාලකයන්ගේ නැඹුරුව අපට පෙන්වන්නේ ද ආඥාදායකත්වයක් දෙසට යන වේගවත් ගමන යි.

මෙහි අරුමය වන්නේ චීනය තමන්ගේ ප්‍රාග්ධන බලය ගොඩ නගාගත්තේ ස්වාධීනව නොවීමයි. මෙයට පෙර දී පෙන්වූ පරිදි ධනපති ලෝකයේ ආර්ථික අර්බූදයට හසු වූ, ලොව පුරා ඊණියා සමාජවාදී ආර්ථිකයන් ද වේයන්ගේ ඛාදනයට අසු වූ මුදුන් යට ලී මෙන් දිරාපත්ව ගියේ ය. රුසියාව හා නැගෙනහිර යුරෝපය සතුව තිබූ දැවැන්ත කාර්මීකරණය, ධනපති ක්‍රමය සමඟ නව සම්මුතීන් හා දේශපාලන/ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් යන්තම් දිවි ගෙවීමට සමත් වුවද, චීනයේ තත්ත්වය වඩාත් දරුණු විය.

චීනයට සිදුවූයේ IMF ය සමඟ එකගත්වයන් ඇතිකර ගැනීමයි. IMF ය ගැන විවිධ විරෝධතා පවතින මුත් එය අද ලෝක මධ්‍යම බැංකුවක තත්ත්වය උසුලන්නකි. එය ලබා දෙන්නේ ණය පමණක් නොවේ. ඒ ණය ආධාර (ඉතා අඩු පොලියකට) ලබා දෙන විට, ඒ හෝ මේ රටකට එක්තරා ආර්ථික රාමුවකට එකඟ වීමට සිදු වෙයි. ඒ එකඟත්වය ප්‍රකාශ වූ කල, අනෙක් ණය දෙන ආයතනත් නොබියව ණය දෙයි. බහුජාතික සමාගම් ප්‍රාග්ධනය රැගෙන එයි. මන්ද යත් IMF ය දෙනු ලබන රාමුවට එකඟ වූ කල්හි එම ආර්ථික රාමුව මත ණය ආපසු ගෙවන්න පුළුවන් බවටත්, ආයෝජනයන්ගේ සුරක්ෂිතභාවය සැලසෙන බවටත් ඔවුන් ලොවට සහතිකයක් දීමක් හා සමාන වෙයි. ඒ අනුව ඔවුන් ලබා දෙන ණය ප්‍රමාණයට වඩා වැදගත් වන්නේ ඒ සහතිකයයි.

චීනය අද තිබෙන තැනට ඒමේ දී එදා පැවැති ප්‍රාග්ධන හිගයට මුහුණ දෙන්නට හැකි වූයේ ඒ ලෙසිනි. ඒ මඟින් ඔවුන් ලත් ඩොලර් ප්‍රකෝටි සංඛ්‍යාත විදෙස් ආයෝජන ඔවුන්ව අද සිටින තැනට ලගා කරවූ සැටි පැහැදිලි කිරීමට මෙහි ඉඩ නැත. නමුත් ඒ දියුණුවේ ප්‍රාරම්භය යි කීම වැදගත් වන්නේ, අපි IMF යේ ‘අධිරාජ්‍ය ගැති’ බව ගැන කෝලාහල කරමින් සිටිය දී, ඒ ඔස්සේ යමින් දියුණු වූ චීනය පසුපස යන නිසා ය. ලක් මවගේ පූරුවේ කරුමය වන්නේ අදත් ඒ අත්දැකීම ලබා ගැනීමට නොව, චීන පරම ආඥාදායකත්වයේ මහිමයෙන් 20 සංශෝධනයට  හා එයට එරෙහිව නැගෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංවිධානයන් ගේ විරෝධයට මුහුණ දී මෙහි ද පරම ආඥාදායකත්වයක් තහවුරු කර ගැනීමේ පරමාර්ථයෙන් එදෙසට ලංවීමට ක්‍රියා කිරීම ය. අදෝමැයි!

1980 අපේ‍්‍රල් 4 වන දින චීන බැංකුවේ උප සභාපති වැන්ග් වයිකායි සහ IMF හි ආසියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩන් ෂින්, IMFහි චීනයේ නීත්‍යානුකූල ආසනය නැවත ආරම්භ කිරීම පිළිබඳ සංදේශයට අත්සන් තැබීම. (සේයා – අන්තර්ජාලයෙන්)

“After the adoption of the reform and opening-up policy, China was badly in need of funds and technology as its focus shifted to economic development. Participation in such international financial organizations would enable China to obtain a great amount of low-interest loans for economic and cultural projects as well as technological support and assistance conducive to the improvement of fiscal, financial and foreign exchange administration.”

“After the observation and research, a consensus was reached in the delegation that the resumption of China’s membership in IMF and World Bank would expand new channels for China to utilize foreign capital and technology, and be favorable for the expansion of its export and implementation of its reform and opening-up policy.”

– ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් පසු, ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු වීම නිසා අරමුදල් හා තාක්‍ෂණය පිළිබද දැඩි අවශ්‍යතාවයකින් චීනය පසුවිය. එවැනි ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන වලට සහභාගී වීමෙන් ආර්ථික හා සංස්කෘතික ව්‍යාපෘති සඳහා අඩු-පොලී ණය විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වන අතර ෆිස්කල්, මූල්‍ය හා විදේශ විනිමය පරිපාලනය වැඩිදියුණු කිරීමට උපකාරී වන තාක්‍ෂණික සහාය සහ උපකාර ලබාගැනීමට චීනයට හැකියාව ලැබෙනු ඇත.

නිරීක්‍ෂණයෙන් හා පර්යේෂණ වලින් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ චීනයේ සාමාජිකත්වය නැවත ආරම්භ කිරීම මගින් විදේශ ප්‍රාග්ධනය සහ තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සඳහා චීනයට නව සම්බන්ධතා පුළුල් කරන බවත්, එහි අපනයන ව්‍යාප්තිය සහ ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වාසිදායක වනු ඇති බවත් නියෝජිත පිරිස අතර එකඟතාවයකට පැමිණියේය.

Resumption of China’s Lawful Seats in International Financial Organizations (1979 – 1980) – Bank of China

ඒ නයින් බලන කල, නිරවුල්ව පැහැදිලි වන්නේ 1978 ව්‍යවස්ථාව යනු මූල්‍යවාදයේ ප්‍රතිපත්ති ක්‍රියාවට ලීම සදහා; එතෙක් පැවැති සුබසාධනවාදී හා ස්වයංපෝෂිතවාදී සමාජ බලවේගයන්ට මුහුණ දීමටත්; විශේෂයෙන් එම ප්‍රතිපත්ති ක්‍රියාවට ලීමේ දී විනාශ වන තම ජීවන මට්ටම් හා සේවා අයිතීන් රැක ගැනීම සඳහා සටනට එළඹෙන කම්කරු පංතියට මුහුණ දීම සඳහාත්, සමාජ බලවේගයන් ඉහලින් තුලනය කිරීම සඳහාත් මර්දනීය පිලිවෙත් සහිතව සැකසූ බොනපාට්වාදී ව්‍යවස්ථාවක් බවයි. වෙනත් වචන වලින් කියනවා නම්, අධිකාරවාදී (Authoritarianism) ව්‍යවස්ථාවකි.

20 යනු එසේ සමාජ බලවේග තුලනය කර පිලිගත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවටලීම සඳහා වූවක් නොවේ. ඒ වෙනුවට, එක් සමාජ බලවේගයක් යොදා ගෙන අනෙක් සමාජ බලවේග විනාශ කර, ජාවාරම්වාදී ආර්ථික වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යෑම සඳහා සකසන ෆැසිස්ට් පන්නයේ ක්‍රියාමාර්ගයකි.

ජර්මානු අත්දැකීම – හිට්ලර් බලය තහවුරු කරගත් විධික්‍රමය

1933 ජර්මානු මැතිවරණයේ නාසිවාදීන් අලවා තිබූ පෝස්ටර් වල මෙසේ ලියා තිබුණි, “ඔබ වැඩි බලයක් හිට්ලර්ට ප්‍රදානය කළහොත් ඔහු පහසුවෙන් ම ජයගනු ඇතිවා මෙන්ම, ඔහුට පහසුවෙන් ම අද ජනතාව මෙහෙයවමින් සිටින පක්ෂ වලින් නිදහස්ව ක්‍රියා කිරීමට අවස්ථාව සැලසෙනු ද ඇත්තේ ය. ඔබ මේ පක්ෂ වලට වසර 14 ක් තිස්සේ ජර්මනිය නටඹුන් කිරීමට බාර දුන්නේ ය. එය යලි ගොඩනැගීමට හිට්ලර්ට වසර හතරක් දෙන්න. ඔබ වෙලාවට හිට්ලර්ට ඡන්දය දී හිට්ලර්ට බලය දෙන්න”

ජර්මන් රයිෂ්ටාගයේ (පාර්ලිමේන්තුවේ) ගින්න

ජර්මනියේ 1933 ජනවාරි මැතිවරණයෙන් පසු ජනාධිපති හින්ඩන්බර්ග් යටතේ ඇති වූ පක්ෂ තුනක සභාග ආණ්ඩුව තුළ චාන්සලර් පදවිය තමා ලද මුත්, තමන්ට රයිෂ්ටාගය (ජර්මානු පාර්ලිමේන්තුව) තුළ ඇත්තේ සීමිත බලයක් බව හිට්ලර් වහාම වටහා ගත්තේ ය. ඔහු තම තත්ත්වය ශක්තිමත් කරගැනීම සඳහා වහාම අලුත් මැතිවරණයක් කැදවී ය. හිට්ලර්ගේ නාසි පක්ෂය තමන්ගේ ඡන්ද පංගුව ඉහල දමා ගැනීම ඉලක්ක කර කටයුතු කිරීමෙන් රයිෂ්ටාගයේ බහුතරය බලාපොරොත්තු විය. එවන් ජයග්‍රහනයක් ඔවුන්ට සභාග ආණ්ඩුවකින් ඇති වන අභ්‍යන්තර විරුද්ධතාවයන්ගෙන් හා බාධා කිරීම් වලින් තොරව කටයුතු කිරීමට ඉඩ සලසා ගැනීමට හැකිවනු ඇතැයි තක්සේරු කර තිබුණි.

ඒ අනුව ඊලග මාස දෙක ඔවුන් වේගවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළේය. 1933 පෙබරවාරි 27 වැනි දා වන විට, ඒ මැතිවරණ ව්‍යාපාරය අවසානයට ලගා වෙමින් තිබුනු මොහොතයි. හරියටම ඒ අවස්ථාවේ ජර්මානු පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලට ගිනි තබනු ලැබ එය ගිනිගෙන දැවී ගියේ ය. මේ ගිනි තැබීම නාසි පක්ෂයේ SS කල්ලියේ කුමන්ත්‍රණකාරී වැඩක් ලෙස ප්‍රචලිතය. (The Waffen-SS was the military branch of the Nazi Party’s) මේ සිදුවීම පසුපසින් ජර්මානු සමාජය වසාගෙන හඹා ආවේ අනාරක්ෂිත බව, සන්ත්‍රාසය හා භීතියයි.

1933 පෙබරවාරි 27 වන දින රයිෂ්ටාග් නමින් හැඳින්වෙන ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබන ලදී. (සේයා – අන්තර්ජාලයෙන්)

මේ අපරාධය සම්බන්ධයෙන් ඕලන්ද ජාතික කොමියුනිස්ට්වරයෙක් වූ වැන් ඩර් ලූබේ අත්අඩංගුවට ගැනීම මගින් සන්ත්‍රාසය හා භීතිය දිගින් දිගට ගලා යෑමට සැලැස්විනි.

නාසි පක්ෂය මේ සන්ත්‍රාසජනක වාතාවරණය තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට පාවිච්චි කළේ කොමියුනිස්ට් විරෝධය කුළු ගැන්වීම මගිනි. ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ කොමියුනිස්ට්වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනිබත් කර වයිමාර් ජනරජය පෙරලා දැමීම සඳහා රට පුරා කෝලාහල ඇති කිරීමට සැලසුම් කළ බවයි. මේ මඟින් ජනතා බිමේ ඇති කළ හිස්ටීරියාව (hysteria), මහජනතාව කොමියුනිස්ට්වරුන්ට එරෙහිව උසිගැන්වීමට පාදක විය. නාසිවාදීන්ගේ ප්‍රධාන විරුද්ධකාරයෙක් ඇතුළුව 4,000 ක් එසේ සිරගත කරන ලදී.

රයිෂ්ටාගයේ ගින්නට පසුවදා, එනම් 1933 පෙබරවාරි 28 වැනිදා ජර්මානු ජනතාවගේ ආරක්ෂාව සඳහා යයි හින්ඩන්බර්ග් විසින් හිට්ලර්ට හදිසි නීති බලතල පැවරීමේ නියෝගය අත්සන් කළේය. මේ නියෝගය වෙයිමාර් ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී අංගයන් අත්හිටවූ අතර හදිසි නීති රාජ්‍ය බලය මතු විය.

මෙම නියෝගය මඟින් නාසීන්ට ඕනෑම විරුද්ධවාදියෙක්ට චෝදනා කිරීමටත්, ඕනෑම අයෙක් ජනරජයේ ද්‍රෝහියෙක් ලෙස රාමුගත කිරීමටත් නෛතික පදනමක් ලැබුනේය. කථා කිරීමේ නිදහස‍, තමන්ගේ දේපල සඳහා ඇති අයිතිය හා සිරගත කිරීමට පෙර උසාවි විනිශ්චයක් ලබා ගැනීමේ අයිතිය වැනි පෞද්ගලික නිදහසේ මූලික දැය පවා ඉවත් විනි. මේ ආකාරයේ අංගයන් මඟින් සියලුම විරුද්ධතාවයන් නාසීන්ගේ බලයට පාගාගන්නා ලද අතර, ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ආඥාදායකත්වය කරා මාවත සැකසීම ආරම්භ කරන ලද්දේ ය.

SA හා SS (නාසීස්ගේ ප්‍රහාරක අංශ) නාසි තන්ත්‍රයේ ඕනෑම හා සියලුම විරුද්ධවාදීන්ට එරෙහිව ත්‍රස්ත කිරීමේ උද්ඝෝෂණයන් ගෙන ගියේය. තමන්ගේ ආරක්ෂාව පතා බොහොමයක් නාසි පක්ෂයට පක්ෂව කටයුතු කළේය. මැතිවණය නිදහස් හෝ සාධාරණ වූවක් නොවීය.

කෙසේ වෙතත් ඡන්දදායකයන්ගෙන් 89% ක් ඡන්දය දෙමින් අති විශාල ඉදිරිපත් වීමක් සිදුවී තිබුණ ද නාසීන්ට මේ මැතිවරණයෙන් ද ලද හැකි වූයේ 43.9% ක ඡන්දයකි. පසුගිය වරට සාපේක්ෂව 10% ක වර්ධනයක් පමණි. එම වර්ධනය යටතේ වුවද නාසින් තවමත් රයිෂ්ටාගයේ නිරවුල් බහුතරයක් නොවීය.

බලදායී නීතිය (Enabling Law)

1933 මාර්තු 23 වැනිදා රයිෂ්ටාගයේ දී හිට්ලර් විසින් ‘බලදායී නීතිය’ පිලිබඳ යෝජනාව ඉදිරිපත් කරන ලදී. නව නීතිය මගින් රයිෂ්ටාගයෙන් හෝ ජනාධිපති මඟින් සම්මත කර ගැනීමකින් තොරව නියෝග නිකුත් කිරීම සඳහා බලය හිට්ලර් වෙත පැවරීමට නියමිත විය. මෙය සම්මත වන්නේ නම්, ඒ මඟින් ආඥාදායක පාලනයකට අවශ්‍ය වන්නා වූ කොන්දේසි තහවුරු වීමට නියමිත වූයේ ය.

රයිෂ්ටාගයේ ගින්න මඟින් ඇති කර තිබූ භීෂණ වාතාවරණය මත, ජනපති හින්ඩන්බර්ග් හා වොන් පැපොන් ගේ (ජර්මානු කන්සර්වේටිව් පක්ෂයේ නායක) සහාය පලවීම නිසා මේ යෝජනාව නීත්‍යානුකූල මෙන්ම, අවශ්‍ය දෙයක් ලෙසත් සමහරුන්ට පෙනී ගියේය. නීතිය සම්මතයට රයිෂ්ටාගයේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යව තිබුණි. එයට ජර්මානු ජාතික ජනතා පක්ෂයේ (DNVP) සහයෝගය ලැබුණු අතර, ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (KDP) තහනමට ලක් කර තිබුණු බැවින් එහි සහභාගීත්වය වැලකිනි.

නාසි ප්‍රහාරක සංවිධාන මාසයක් තිස්සේ ගෙනගිය භීෂනකාරී උද්ඝෝෂණ මඟින් නාසින්ගේ විරුද්ධවාදීන් බියගැන්වීමත්, සිරගත කිරීමත් කරගෙන ගියහ. ඔවුන් මේ සිරකරුවන්ගෙන් බොහොමයක් රඳවනු සදහා දේශපාලන සිරකරුවන්ගේ ප්‍රථම බන්ධනාගාරය (concentration camp) ‘බලදායී නීතිය’ සම්මතයට ස්වල්ප දිනකට පෙර ඩැකාව් (Dachau) පෙදෙසේ විවෘත කරන ලදී.

ඩැකාවූ කඳවුරේ කෑම බදුන් රැගෙන යන සිරකරුවන්. 1933 සිට 1940 දක්වා (සේයා – අන්තර්ජාලයෙන්)

ජර්මානු මධ්‍යම පක්ෂයේ (German Centre Party – එනම් ජර්මනියේ කතෝලික පක්ෂයයි) ඡන්දය මෙතැනදී ඉතා වැදගත් විය. කතෝලික පල්ලියේ ඕනෑ එපාකම් ආරක්ෂා කර දීමට හිට්ලර් විසින් දෙන ලද පොරොන්දුව ප්‍රකාර, එම පක්ෂය මේ පනතට සහයෝගය දීමට තම රයිෂ්ටාග් නියෝජිතයන්ට අවසර ලබා දුන්නේය. විරුද්ධවීමට සිටියේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පමණි.

1933 මාර්තු මස 24 වැනිදා, පනතට පක්ෂය ඡන්ද 444 කුත් විරුද්ධව 94 කුත් ලැබීමෙන් සම්මත විය.

ජනාධිපති ලෙස තවමත් හින්ඩන්බර්ග් සිටියත්, රයිෂ්ටාගය තවමත් පැවතුනත්, හිට්ලර් දැන් ‘නියෝග මඟින්’ රාජ්‍ය පාලනය අරඹා තිබුණි. ඔහුගේ ‘නියෝග’ නීතිය බවට පත් විය.

ෆියුරර්’ (Führer) (පරම නායක – Principle Leader)

ජනාධිපති හින්ඩන්බර්ග් අවුරුදු 87 ක් ආයු වලදා 1934 අගොස්තු 02 දා මිය ගියේය. හින්ඩන්බර්ගේ මරණයෙන් කෙටි කලකින් හිට්ලර් නිවේදනය කළේ චාන්සලර් පදවිය හා ජනාධිපති පදවිය ඒකාබද්ධ කර, එක් තානාංතරයත් ඇති කළ බවය. එම තානාන්තරය, එනම් ‘ෆියුරර්’ ය (Führer) (එය – පරම නායක – Principle Leader අරුත දරන්නකි) දරන්නේ තමා බව අනතුරුව ඔහු නිවේදනය කළේය. එතැන් සිට ඔහු ‘ෆියුරර්’ (Führer) බවට පත් වූයේ ය.

අනතුරුව ඔහු 1934 අගෝස්තු 19 වැනිදා මේ තානාංතර දෙක (චාන්සලර්+ජනාධිපති) එකක් කිරීම සම්බන්ධයෙන් හා එම එකතුවෙන් ඇති කළ ‘ෆියුරර්’ පදවියට තමා පත්වීම සම්බන්ධයෙන් ජනතාවගෙන් අනුමැතිය ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වී ය. එම මත විචාරණයේ දී මුලු ජනගහනයෙන් 95.7% ක් ඡන්දය පාවිච්චි කළ අතර, ඉන් 89.93% ක්ම හිට්ලර් ට පක්ෂපාතී ව ඡන්දය පාවිච්චි කර තිබුණි.

දැන් එතැන් සිට හිට්ලර් කළ දේවල් ගැන ලිවීම උවමනා නැත. ඒ සියල්ල ප්‍රචලිතය. මා මේ සටහන ලිව්වේ අද ලංකාවේ සිදුවෙමින් යන දේවල් මේ ඓයිතිහාසික තොරතුරු කියවන විට මතකයට එන නිසා ය.

1978 හා 20

ව්‍යවස්ථාව – මිත්‍යාව හා යථාර්තය

ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මේ මොහොතේ කර්තව්‍යය වනුයේ 20 පරාජයකර 19 ආරක්ෂා කිරීම යයි අපි ද නිර්දේශ කරමු. ඒ ප්‍රජාතන්ත්‍රීය අරගලයේ මේ මොහොතේ පවතින මූලික සංක්‍රමණීය සටන් පාඨය එය ලෙස ගැනීමෙනි.

නමුත් ඉහත දක්වා ඇති ජර්මනියේ 1933-34 දෙවසර තුලදී හිට්ලර් ජර්මනියේ ‘පරම නායක’ (‘ෆියුරර්’) පදවිය අත්පත් කරගත්තේ, ඒ හෝ මේ ව්‍යවස්ථා සංශෝධනයකින් නම් නොවේ. එදා ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පාලනය මඟින් 1919 දී ‘ප‍ොදු ජන වරම’ හරහා සකස් කළ බවට උදන් ඇනූ, ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ඨ නිර්මානයකැයි ලොව පුරා හඬ නැගූ “ස්වාධීන, ස්වෛරී හා නිදහස් වයිමාර් ව්‍යවස්ථාව” ම බලයට පැමිණීම සඳහා හිට්ලර් යොදා ගත්තේය. අනතුරුව එම පාර්ලිමෙන්තු බලය තනි ආඥාදායකත්වයක් බවට වර්ධනය කර ගැනීම සඳහා ඔහු තමන්ගේ ප්‍රහාරක කල්ලි මගින් පාර්ලිමේන්තුව ගිනිතැබීමෙන් අරඹා; රට පුරා පතුරුවා හල භීෂණයත්, ආගම් වාදය හා උතුම් ආර්ය ජාතියේ පහතට වැටුණු අයිතිය යලි පුණරුත්ථානය කරගැනීම පිිළිබඳ සටන් පාඨත් යොදා ගත්තේ ය.

උක්ත දින සටහන අනුව බලන කල, ඒ පියවරයන් කිසිසේත්ම පැවැති ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් හෝ නව ව්‍යවස්ථාවක් සැකසීමෙන් සිදු වූවක් නොවන බව පෙනෙනු ඇත. ඔහු කළේ තමන්ගේ නියෝග ව්‍යවස්ථාවට ඉහලින් තැබීමයි. ඒ සඳහා අනුමැතිය ‘බලදායී නීතිය’ සම්මතයෙන් ඔහු ලබා ගත්තේය. ව්‍යවස්ථාවට ඉහලින් රාජ්‍ය නායක නියෝග පවතී නම්, ව්‍යවස්ථාව ඉබේම සුරංගනා කතාවක් බවට පත්වෙයි. එසේ වූ කල්හි එහි බලය නිරූපනය කරන පාර්ලිමෙන්තුව ‘ලැප් පපියෙකු’ බවට පත් වීම ඉබේම සිදු වෙයි.

එවිට මේ පරම ආඥාදායකත්වයට එරෙහි සටන වීදි වලට ගලා යයි. එකල්හි පරම ආඥාදායකත්වය ද තම පිලිතුරු වීදි වලදීම ලබා දෙයි.

සන්නද්ධ බලය ව්‍යවස්ථාපිත පදනමින් පසකට වීසි වී, පරම ආඥාදායකත්වයේ නියෝග වලට යට කෙරේ. සම්ප්‍රදායික අණ දෙන්නන් එක්කෝ මේ අණට අවනත විය යුතුය. නොවන්නවුන් සිරගෙට යා යුතුය. ඒ අණදෙන තනතුරු නාසිවාදයේ ප්‍රහාරක ඇනි වල ඝාතකයන් අතට පත් කෙරෙයි. ඒ අනුව හමුදා – පොලිසි සියල්ල නාසිවාදයේ දේශපාලන හස්ථයන් බවට පත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය හා එහි පරමාදර්ශී වයිමාර් ව්‍යවස්ථාවේ සර්වබලධාරීත්වය පිලිබඳව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ උදාන වැකි පොත් වලට සීමා වී ජනතාවගේ මනසින් ඉවත්වී යයි. 

ඉතිහාසයේ අත්දැකීම් උගන්වන අන්දමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් හෝ ප්‍රතිසංස්කරණවාදී වාමාංශිකයන් කියන ආකාරයට, ධනපති ව්‍යවස්ථාවන්ගේ සර්වබලධාරී බලයක් ගැන මිත්‍යාවන් ජනතාව ඉදිරියේ වැපිරීමට අපිට ඉඩක් නැත. මන්දයත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් විසින් මානව අයිතිවාසිකම් ගණනාවක් පිලිගෙන සම්මත කර ඇති ඕනෑම රටක; එම අයිතිවාසිකම් ආරක්ෂාවන්නේ දෙන ලද තත්ත්වයන් යටතේ, එනම් පංති සාමය පවතින කොන්දේසි යටතේ පමණක් වන නිසා ය. නමුත් පංති සාමය කඩවන තතු ආර්ථික හෝ සමාජීය හේතුමත ජනිතවන්නේ කිසියම් මොහොතකදී ද; ඒ මොහොතේම එලියට ගත හැකි ලෙස ව්‍යවස්ථාපිත මිනිස් අයිතිවාසිකම් අහෝසි කෙරෙන තත්වය කල් තබා සූදානම් කර ඇති නිසා ය. ඒ කෙසේ ද යත් රටේ ‘මූලික නීතිය’ ය යි කියන ව්‍යවස්ථාවට පරස්පර විරෝධී ලෙස අත්තනෝමතික බලය පතුරවන පනත් සම්මත කර, නීති බවට පත් කෙරී තිබෙන හෙයිනි.

උදාහරණයක් ලෙස ලංකාවේ තිබෙන මහජන ආරක්ෂක පනත, ත්‍රස්තවාදය වලැක්වීමේ පනත ආදිය ගත හැකිය. මේ පනත් ක්‍රියාවේ ලීමට, යමෙක් මහජන ආරක්ෂාවට එරෙහිව යමක් හෝ නැතිනම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීම හෝ එවැන්නකට සහයෝගය දීම ම අවශ්‍ය නොවේ. මේ පනත් යටතේ හදිසි නීතිය පැනවූ වහාම ආරක්ෂක අංශ මගින් ත්‍රස්තවාදය යනු කුමක්දැයි තමන් විසින් හඟින අරුත් ගැන්විය හැකිය. එයට එරෙහිව ක්‍රියාත්මක විය හැකිය.

කලක දී දෙමළ පත්‍රිකා කිහිපයක් තම සංතකයේ තබා ගැනීම ත්‍රස්තවාදියෙක් ලෙස සැලකීමට සෑහුනේ ය. අතුරුදහන් කිරීමට විරුද්ධවීම ද ත්‍රස්තවාදයක් විය. ආණ්ඩුවට ඉල්ලීම් දීමට අපහසු නම් වැටුප් සටනකුත් ත්‍රස්තවාදයට ආධාර කිරීමක් ලෙස තහනම් කෙරෙයි. ඒ නයින් ගත් කල, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් යනු සත්‍යයක් ද? යන පැනය මතුවෙයි. 

ප්‍රජාතන්ත්‍රීය විප්ලවය හා ව්‍යවස්ථා වන්දනාව

ව්‍යවස්ථා මගින් සුරැකෙන ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව පුරාජේරු කථා කම්කරු පංතියේ දේශපාලන අවබෝධයට හානිකර වෙයි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවන්හි සර්ව බලධාරීත්වය ගැන ලෙනින් කියූ දැය අවබෝධ කර ගැනීම දැන් ඉතා වැදගත් ය.

“සමාජ විප්ලවවාදීන් සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නය නම්, ඔවුන් මාක්ස්ගේ ඓයිතිහාසික භෞතිකවාදය හා අපෝහක විධික්‍රමය ගැන නොදැකීම ය. ඔවුන් සම්පූර්ණයෙන් ම අශික්ෂිත ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලටත්, ඒවායේ බලපෑමේත් යටතට පත් වීමය. ඔවුන්ට ව්‍යවස්ථාව යනු පංති සටනේ නව ක්ෂේත්‍රයක්, නව ආකාරයක් නොව, ලිබරල් මහාචාර්යවරු කියන ‘නීත්‍යානුකූලභාවය’, ‘නීතිය හා සාමය’, ‘පොදු යහපත’ යනාදිය යි. ඇත්ත වශයෙන්ම රාජාණ්ඩු, ව්‍යවස්ථානුකූල රාජාඩුව හා සමූහාණ්ඩුව යනු පංති සටනේ විවිධ ආකාරයන් පමණි. ඉතිහාසයේ අපෝහකය කෙවැනි ද යත්, මෙම ආකාරයන් සෑම එකක් ම එහි පංතිමය හරය තුළ දී වර්ධනයේ විවිධ අවධීන් තුළින් ගමන් කරයි. එක් ආකාරයකින් තවත් ආකාරයකට සංක්‍රමණය වීම ම, නව තත්ත්වයන් යටතේ පැරණි පීඩක පංතීන්ගේ පාලනය අහෝසි කරන්නේ නැත.” (ලෙනින් – ‘How the Socialist-Revolutionaries sum up the revolution and how the revolution has summed them up.’ 1909 ජනවාරි 20 – collected Works Vol: 15 – pg-337)

“සෝවියට් ව්‍යවස්ථාව සකස් කළේ යම් ‘සැලැස්මකට’ අනුව නාවේ. එය සකස් කළේ පුස්තකාලයක් තුලටවී නොවේ. එය ධනේශ්වර නීතීඥයන් විසින් වැඩ කරන ජනතාව මත පැටවූවක් නොවේ. නැත. මෙම ව්‍යවස්ථාව පංති ප්‍රතිවිරෝධතාවයන් මෝරා ඒමත් සමග, ඊට අනුකූල ව සිදු වූ පංති සටනේ වර්ධනය තුළ දී වැඩුණි”( ලෙනින් – C.W. 28 – Proletarian revolution and renegade Kautsky  – pg.300 – Nov: 1918) ලෙනින් මේ පැහැදිලි කරන්නේ සෝවියට් රාජ්‍යයේ ව්‍යවස්ථාව විප්ලවයේ ජයග්‍රාහී ප්‍රතිපත්ති මත සැකසුන බවය. උදාහරණයක් ලෙස සෝවියට් පාලනය වහාම සාර් ආඥාදායකත්වයේ බලත්කාර බලයට යටත්ව සිටි සියළු ජාතීන්වෙත ස්වයංතීරණය අයිතිය ප්‍රදානය කළ අතර, එම ජාතීන්ට රුසියානු සෝවියට් රජය සමග (කම්කරු පාලනය) එක්වීම හෝ වෙන්ව සිටීම තීන්දු කිරීමේ බලය ඔවුන්වෙත පැවරිනි. ඒ අනුව සමහර ජාතීන් සෝවියට් පාලනය හා එක්වූ අතර සමහර ජාතීන් තම ස්වාධීණත්වය පවත්වා ගනිමින් ගනුදෙනු කිරීමට තීන්දු කළහ. – 1917 ජුනි මාසයේ පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් රැස්වීමක් (සේයා – අන්තර්ජාලයෙන්)

ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය හැඩවැඩ ගැසී ආරම්භ වන යුගයේ, එහි පුරෝගාමී (initiator) වූත්, 1848 සිට මාක්ස්ගේ ශ්‍රාවකයෙකු වූත් ෆර්ඩිනන්ඩ් ලසාලේ විසින් ධනපති ව්‍යවස්ථාවන් පිලිබඳව කරන ලද අර්ථ නිරූපනය මතුකර පෙන්වමින් රුසියාවේ ව්‍යවස්ථා වන්දනයේ යෙදෙන්නන්ට ලෙනින් මෙසේ පිළිතුරු දුන්නේ ය.

“සමාජ-විප්ලවවාදී පක්ෂය ලෙස හැදින්වෙන ප්‍රාරම්භක ප්‍රචාරක කවයේ ඉතා ම ගරු කටයුතු මහත්වරුණි, ව්‍යවස්ථාව යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එයින් අදහස් වනුයේ ව්‍යවස්ථාවක් නැති විට දී තිබෙනවාට වඩා වැඩි ‘නිදහසක්’ සහ ජීවත්වීමේ වඩා හොඳ තත්ත්වයක්, ව්‍යවස්ථාවක් ඇති විට දී ‘පීඩිත ජනතාවට’ තිබෙන බව ද? නැත. එසේ සිතිය හැක්කේ අශික්ෂිත ප්‍රජාතන්ත්‍රවාදීන්ට පමණි. ව්‍යවස්ථාවක හරය නම්, සාමාන්‍ය වශයෙන් රජයේ මූලික නීති, මැතිවරණ හා නියෝජිත ආයතනයන් සතු බලතල යනාදිය සම්බන්ධයෙන් බලපාන නීතීන් මගින්, පංති සටනේ දී බලවේගයන් අතර තිබෙන්නා වූ නියම ම සම්බන්ධය ප්‍රකාශයට පත් කිරීම ය. නීතිය හා යථාර්තය පරස්පර විරෝධී වන විට ව්‍යවස්ථාව බොරුවක් වෙයි. එය සමාන වන විට එය බොරුවක් නොවෙයි……… මෙය ඔබගේ කෝපය අවුස්සන්නේ නම්, එසේ වන්නේ ව්‍යවස්ථාව යනු කුමක්දැයි ඔබ අවබෝධ කර නොගන්නා නිසාත්, බොරු ව්‍යවස්ථාවක් හා පංති ව්‍යවස්ථාවක් අතර ඇති වෙනස කීමට ඔබට නොහැකි නිසාත් ය. ව්‍යවස්ථාවක් බ්ලැක් හන්ඩ්‍රඩ්, ඉඩම් හිමි හා ප්‍රතිගාමී ව්‍යවස්ථාවක් විය හැක. නමුත් එය යම් ලිබරල් ව්‍යවස්ථාවකට වඩා අඩු බොරුවක් විය හැක” ලෙනින්- එම ග්‍රන්ථයම 336 පිට)

(බ්ලැක් හන්ඩ්‍රඩ්වරු – 1917 විප්ලවයට පෙර රුසියාවේ පැවැති සුළු ජාතික කොටස් වලට එරෙහිව ජාතිවාදී ප්‍රහාරයන් පවා දියත් කළ අන්ත-ජාතිවාදී ව්‍යාපාරයකි)

ලෙනින් මේ ලිබරල් ධනපති ව්‍යවස්ථා පිලිබදව, මේ මාක්ස්වාදී ස්ථාවරයන් මත පදනම්ව සුළු ධනේශ්වර මතවාදයන්ට එරෙහිව කම්කරු පංතිය දැනුවත් කරන අතරේ, ධනපති ප්‍රජාතන්ත්‍රීය විප්ලවය පිලිබඳ ප්‍රශ්නය අතහැරියා යයි ඉන් අදහස් නොවේ.

1905 විප්ලවයේ හා 1917 විප්ලවයේ මඟ කෙටී තිබුනේ අත්තනෝමතික බලයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගෙන ජන බලය, විප්ලවයේ පරස්පර විරෝධී අත්දැකීම් ඔස්සේ ඉදිරියට ගෙන යෑමෙන් බව දැන සිටි ඔහු, මේ විප්ලවයන්ගේ හරය වූ අත්තනෝමතික බලයට එරෙහි ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටන් පාඨ වලට එරෙහිව රතු කොඩි වැනුවේ නැත. ඒ වෙනුවට එම සටන් පාඨ මත පෙරට එන ජනතාව සමඟ එක්ව ඉදිරියට යමින්, බහුජන සටන තුළ ජනතාව ලබන දේශපාලන අත්දැකීම්-අවබෝධය ඔස්සේ ධනපති ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද සටන්පාඨ ඉක්මයා නිර්ධන පංති බලය – සෝවියට් බලය පිලිබඳ සටන් පාඨ ඔස්සේ ඉදිරියට ගැනීමට ඔහු ක්‍රියා කළේය.

භීතිය නීතිගත කිරීමට විරුද්ධ අරගලය

ඒ අනුව අපි ද 20 ගෙන එන ආඥාදායක බලයට එරෙහි වෙමු. හිට්ලර් හා සමව ‘තම නියෝගය චක්‍රලේඛ’ හා සම බව ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ. හිට්ලර් ඒ තත්ත්වය ගත්තේ ‘බලදායී නීතිය’ (Enabling Law) පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමිනි. ඒ සඳහා ඔහු යොදා ගත්තේ පාර්ලිමේන්තුව ගිනි තබා අනතුරුව රට පුරා පැතිරවූ අනාරක්ෂිත භාවය, සංත්‍රාසය හා බිය වැද්දීම් මත ලබාගත් පාර්ලිමේන්තුවේ යටහත් පහත් බව හා අවනත භාවය යි. අපේ ජනාධිපති වරයාගේ වචනයේ බලය පදනම් වන්නේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි වල පුපුරන ලද බෝම්බ මගින් සිදුවූ මිනිස් ඝාතනයන් මගින් පැතිර ගියාවූ අනාරක්ෂාව පිලිබද හැගීම්, සංත්‍රාසය හා භීතියයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මරණය ලගා කරවන මර උගුලකැයි ගෙන ගිය නොනිමි ප්‍රචාරයයි. 19 සංශෝධනයට හා 13 සංශෝධනයට එරෙහිව ගෙනෙන්නේ මේ තර්කයමය.

පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් මගින් ජනතාවට ලබා දෙන නිදහසේ ඉඩ කඩ යොදා ගන්නේ මාර දූතයන් බවයි කියන්නේ. එනිසා ඒවා අහෝසි කළ යුතුය.

එය දේශපාලනයේ දී පමණක් නොවේ, අද අපට කෝවිඩ් වසංගතය ට මුහුණ දීමට සිදුව ඇත්තේ ද මේ ආඥාදායකත්වයේ බලහත්කාර බලයට යට වී සිටිමින් ය. වසංගතයට ගොදුරු වන්නෝ අපරාධකරුවන්ය යන මානසිකත්වය ජන සමාජය තුළ නිදන් ගත වන්නේ ඒ නිසා ය.

එසේ හෙයින් 20 ට එරෙහි අරගලය; පවතින අවම හෝ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ දිසාවට යොමු කරමින් ඉදිරියට යා යුතු වෙමු.

ලෙනින් 1905 විප්ලීය නැගිටීම් මධ්‍යයේ මෙන්ෂෙවික්වරුන් මෙසේ පිලිතුරු දුන්නේ විප්ලවයෙන් ඈත් වීමට යෝජනා කිරීමට පිලිතුරු දෙමිනි. (Bloody Sunday – 1905) “දියුණු හා එකම විප්ලවවාදී පංතියේ නියෝජිතයන් ලෙසට, කොන්දේසි හා සැක කිසිමක් හෝ ආපසු බැලීමක් හෝ නොමැතිව, අපි හැකි තම් පුළුල් ලෙස, නිර්භීත ලෙස හා උපරීම ක්‍රියාරම්භයක් ඇතිව ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් මුළු ජනතාවම හමුවේ තැබිය යුතු වෙමු. මෙම කර්තව්‍යයන් සුළුකොට තැකීමේ අර්ථය වන්නේ න්‍යායික මාක්ස්වාදය විකාරයක් බවට පත් කිරීම ය. එය අමන ස්වාභාවයෙන් විකෘති කිරීමය. ප්‍රායෝගික දේශපාලනයේ දී එහි අර්ථය වන්නේ, සසංගත ලෙස විප්ලවය ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යය ඉටු නොකර, එයින් ආපසු හැරී යනු ඇති ධනපති පංතිය අතට විප්ලව ව්‍යාපාරය භාර දීමකි. විප්ලවයේ පූර්ණ ජයග්‍රහණය ලැබීමට යන මාවතේ දී හමුවන දුෂ්කරතාවයන් අති විශාලය. තමන්ට හැකි සියල්ලම කර තිබිය දී, ප්‍රතිගාමීත්වයේ ප්‍රතිරෝධනයත්, ධනපති පංතියේ ද්‍රෝහී කමත්, පොදු ජනතාවගේ අනවබෝධයත් නිසා, නිර්ධන නියෝජිතයන්ගේ ප්‍රයත්නයන් පරාය වුවහොත්, ඔවුන්ට දොස් පැවරීමට කිසිවකුට හෝ ඉඩක් නොමැති වනු ඇත.” (ලෙනින්- සිංහල වෙලුම 03. පිටු 119/120 – “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක” 1905 ජූනි- අවධාරණයන් අපගේය) (සේයා – අන්තර්ජාලයෙන්)

රණත් කුමාරසිංහ 

සබැදි ලිපි

You may also like...

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.