සෞභාග්‍යයේ දැක්ම – වර්ෂ පූර්ණය

Sri Lanka Mask The Art Of  - pasja1000 / Pixabay
pasja1000 / Pixabay
  • අලියා හා අන්දයෝ රීතිය
  • රජ බලය ලත් ‘සෞභාග්‍යයේ දැක්ම’
  • ‘දැක්ම’ අනුව කළ යුතු වූ – නොකළ යුතු වූ – දෑ
  • කොරෝනා සමඟ සහජීවනය
  • කොරෝනා හැදුනොත් නුබලාගේ – බේරුනොත් අපේ
  • ‘දැක්මේ’ ජාත්‍යන්තර දේශපාලනය
  • ‘දැක්මේ’ චීන පරමාදර්ශය හා කටගැස්ම

“සෞභාග්‍යයේ දැක්මේ වර්ෂ පූර්ණය”

බලයට පත් අධිකාරීවාදී නායකයන් තීරණ ගන්නේ සමාජයේ සෙසු අයගෙන් සුළු හෝ අනුමැතියක් ලැබේ ද නැද්ද යන්න සලකා නොවේ යයි ද, බොහෝ විට තම පරිවාර බලය හොබවන්නා සේ පෙන්වන විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් අදහස් හෝ විශේෂඥ දැනුම ලබා ගෙන නොවේ යයි ද;  ඒ වෙනුවට පුද්ගලයෙකු, පවුලක්, වංශයක් හෝ පක්ෂයක් වශයෙන් ඔවුන් රට වෙනුවෙන් සියලු තීරණ ගන්නේ යයි ද මැසිවිලි නැගෙයි.

අත්තනෝමතික නායකත්වයකට සියලු තීරණ ගැනීම සඳහා පමණක් නොව, ‘නිවැරදි’ තීරණ ගැනීම සඳහා ද සමාජයේ දසතින් එල්ලවන පීඩනය නොවැලැක්විය හැක්කකි. එය මහත් අනතුරුදායක වගකීම් දැරීමක් වනවාක් සේ ම බැරිම තැන හෝ ඉන් එකක් මගහැරීම උව අපරිමිත අනතුරු උපදවන්නේ ය.

උත්තරීතර මිලිටරි නිලධාරීන් ‘කිසිවකුට කිසිකලෙක’ අභියෝග කළ නොහැකි ස්වෛරී තීරණ ගැනීම සඳහා බල සහිත කර ඇති මුත්, රටකට මඟ පෙන්වීමේ දී හෝ සිවිල් සමාජයකට නායකත්වය දීම වැනි සංවේදී රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී එවන් ගතිලක්ෂණ වලින් කළ හැකි සාරවත් සේවයක් නොමැත.

අනෙක් අතට, ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයකදී උපදේශන ප්‍රවේශයක් ඇතුළත් වන අතර, තීරණ ගැනීමේදී කණ්ඩායම් සහභාගීත්වය දිරිමත් කෙරේ. තීරණ ගනු ලබන්නේ රට වැසියන්ගේ ආගම හෝ ජාතිය නොසලකා, විනිවිද පෙනෙන, වගකීමෙන් යුතු, සාධාරණ අයුරින් ය.

දැන් උක්ත විවේචනාත්මක අදහස් දැක්වීම් මගින් අධිකාරීවාදය කොයිතරම් සරල කර ඇත් ද යත්, එය බැලූ බැල්මට ලංකාවේ වත්මන් ජනපති ඝෝඨාභය, ඔහුගේ අතීතය හා වර්තමාන චර්යාවන් දෙස බලා කරන ලද්දක් වැන්න.

එසේ මුත් කිසිම අධිකාරීවාදී නායකයෙක් හදිසියේ ඕපපාතිකව පහල වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී යයි ඔය කියන පරමාදර්ශී නායකයන් ද ඕපපාතිකව පහල නොවේ. එසේ හෙයින් හේතු ඵල දහම අනුව ඒ ගැන විමසිය යුතුය.

සිංහාසනාරූඪ ඒ හෝ මේ පාලකයෙකුගේ දේශපාලන චර්යාවන් දෙස බලා විශයබද්ද යථාර්ථය මිනිය නොහැකිය. එය මිනිය යුත්තේ සමාජයක් ඒ මොහොතේ මුහුණ දෙන විශයබද්ධ අභියෝග හා ඒවා ජය ගැන්මේ මාවත් ලෙස ඉදිරිපත්ව ඇති යටිව්‍යුහයේ (Infrastructure) පැලපදියම්ව ඇති ඓයිතිහාසික අනිවාර්යයන් හා ඒවා මත අධිව්‍යූහයේ (Superstructure) විකාශනය වන පරස්පරවිරෝධී සමාජ මතවාදයන් සැලකීමෙනි.

අලියා හා අන්දයෝ රීතිය

ප්‍රජාතන්ත්‍රවාදය යන්න ගැන ඇති ලොකුම කරදරය වන්නේ බොහොමයක් ‘ප්‍රජාතන්ත්‍රවාදීන්’ එයට ප්‍රවේශ වන්නේ ‘අලියා හා අන්දයෝ’ රීතිය පරිහරනය කරමින් වීමය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු සාකච්ඡාවෙන් – සම්මන්ත්‍රණයෙන් – එකඟතාවයෙන් ගමන් කරන දේශපාලනයක් නොවේ. එය හරයෙන් පංති දේශපාලනයේ එක් ආකාරයකි. එක් සමාජ පංතියක් සතුටු වන කල්හි අනෙක් පංතියක් මැසිවිලි නගයි. තව පංතියක් අවි අතට ගනී.

ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඝෝෂාවක් නැගුවද, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රශ්නය වන පවත්නා කේන්ද්‍රීය බලය බෙදාහදා ගැනීමේ දැවෙන අවශ්‍යතාවයට නිසි පිලිතුරක් දීමට ඉදිරිපත් වන්නෝ කවුරහුද? අඩුම තරමින් ඔය කියන අධිකාරීවාදයේ තිඹිරිගෙය මේ කේන්ද්‍රගත බලය ය යන්න වත් පිලිගන්නට සූදානම් අය කව්රුන් ද?

දෙවනුව, ආහාර නිෂ්පාදන කෘෂිකර්මයේ කළයුතු විප්ලවකාරී පරිවර්තනයන් කිරීම සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් ගැන අදහසක් ඇත්තේ කාටද? බණ්ඩාරනායකගෙන් පසු ඒ දෙස බැලුවේ කවුද?

2015 දී යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ සංවර්ධන සැලැස්මේ මේ පිලිබඳව වැදගත් ලෙස සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් අඩංගු වී ය. ඒ ගැන කථා කළේවත් කවුද? අතවත් තැබීමට ඉඩක් වී ද? බණ්ඩාරනායක ඝාතනයේ පිටුපස ඇති සාධක අතර ඔහුගේ ඉඩම් පිලිබඳ ප්‍රතිපත්තිය ප්‍රමුඛ තැනක් ගත්තේ ය. ඒ සැම විටම මේ භූමියෙන් අතිරික්තයක් ඉපයීම පිලිබඳ සැලැස්මක් ඉදිරිපත් විය. නමුත් ඒ කිසිවක් ඉටු නොවන තැන මේ ඵලදායී නොවන භූමියෙන් ඵලදායී අතිරික්තයක් ලබා ගැනීමට ගෝලීය ධනවාදය කල්පනා කිරීම අරුමයක් ද? අපේ දේශප්‍රේමීන්ගේ විරුද්ධතාවය ඔවුන්ට සිහිගන්වනවා ඇත්තේ පිදුරු ගොඩේ සිට ගවයාට එරෙහි වන සුනඛයාව ය.

මේ ප්‍රශ්නයටද දැන් විසදුම් ඉදිරිපත් වී ඇත්තේ ‘අවශේෂ කැලෑ’ ලෙස නම් කර හෙක්ටෙයාර් දස දහස් ගණනක් වනාන්තර ‘සංවර්ධනය’ සඳහා යොදා ගැනීමේ අයිතිය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යලි පැවරීමය. දැන් මේ කැලෑවල විසූ වන සතුන්ට හා අසබඩ ගම් වල වෙසෙන ගොවියන්ට සිදුවන විනාශය ගැන වගකියන්නේ කවුද?

තුන්වනුව පාලනය සඳහා ප්‍රජා සහභාගීත්වය ඇති කරන බිම්මට්ටමේ රටාවන් ය. අතීතයේ සිට පැවැති මේ රටාවන් බොහොමයක්, තමන්ගේ ආර්ථික නවීකරණයන්ට ගැලපෙන පරිදි සංවිධනය කළා විනා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය පවා ඒවා අහෝසි කළේ නැත. නමුත් නිදහසෙන් පසු, විශේෂයෙන් 1970 සමගි පෙරමුණු ආණ්ඩුව (සමාජවාදය ගෙන ඒමට සැදු) මේ සියල්ල දේශපාලනීකරණය කර විනාශ කර දැමීය.

මේ ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ ආර්ථික සමාජ පරිවර්තනයන් ට යොමු නොවන තාක්කල් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අධිපත්‍යයෙන් මිදීමට ලංකාවට හැකි වන්නේ නැත.

රජ බලය ලත් ‘සෞභාග්‍යයේ දැක්ම’

දැන් ප්‍රජාතන්ත්‍රවාදය විසින්, යටිව්‍යූහයේ කැකෑරෙන මේ මූළධර්මාත්මක පරිවර්තනයන් නොකර අධිව්‍යූහයේ ධරණීය ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කිරීම පන්චේන්ද්‍රියයන්ට පමණක් සීමා වන දැනුමේ ඵලයකි. සැබැවින්ම මේ විටින් විට නැගෙන හා වැටෙන මතුපිට ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ තිබෙන්නේ ද ජාතික සාධක මත නොව, ඒවා ඉක්මවන ජාත්‍යන්තර කම්කරු පංතිය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රීය බලවේගයන්ගන් එල්ලවන සමාජ ආර්ථික බලපෑම් පදනම්ව ය. 

ලංකාවේ පංති අරගලය ඉක්මවා සමාජ අරගලය තීරණාත්මක තැනට පැමිණියේ මේ සත්‍ය නොදකින දේශපාලන අනුවනකම් නිසා ය. ලංකාවේ අධිකාරීවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන්නේ මේ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් පාලක පැලැන්තීන්ගේත්, ඔවුන්ගේ මතවාදයන් ජන සමාජයේ බහුතරය මත ඇති කරන තෙරපීමේ ස්වාභාවයත් මත ය. රාජ්‍ය බලය කොළඹ කෙන්ද්‍රීය විය යුතුද නැතිනම් ජාතිකත්වයන්, භූගෝලීය හා නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධත්වයන් අනුව බෙදා හැරිය යුතුද යන්න මත ය.

හොඳයි, දැන් අපි බලමු වසරක් පිරෙන ‘සෞභාග්‍යයේ දැක්ම’ තමන් ගත කළ වසරේ නිසි ලෙස ක්‍රියාත්මක වූවාද නැද්ද කියා.

‘දැක්ම’ අනුව කළ යුතු වූ – නොකළ යුතු වූ දෑ

ඔවුන් පළමුව කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිලිබද අදහස යථාවාදී නොවන බවයි. එනම් යහපාලන ප්‍රතිපත්ති අප රටට නොගැලපෙන බවයි.

දෙවනුව කියා සිටියේ මේ රට සිංහල බෞද්ධයාගේ දේශය බවත්, වෙනත් ජාතීන් පිටස්තරයන් බවත් ය. නමුත් ඔවුන් දත කාගෙන කාලයෙක් තිස්සේ සිංහල බුදුන්ගේ දේශයේ වෙසෙන බැවින්, එළවා දැමිය යුතු අය නොවන බවයි. ඔවුන් සිංහලයාට වදයක් නොවී සිටින තාක් කල් ඔලුව බේරාගෙන සිටීමේ ‘විමුක්තිය’ ඔවුන් සතු වන බවයි

තුන්වනුව කියා සිටියේ අපේ රටේ වැවෙන දේ කා බී, අවශ්‍ය සියල්ල අපේ රටේ නිෂ්පාදනයට කටයුතු කර ස්වයංපෝෂිත සමෘධිමත් දේශයක් ගොඩ නැගිය යුතු බවයි. ඒ සඳහා මේ රටේ වැවෙන හා හදන දේ ආනයනය නවතා ගොවියා ශක්තිමත් කළ යුතු බවයි. එහි දී අපනයන ආර්ථිකය ශක්තිමත් කරමින් ඍජු විදෙස් ආයෝජන මගින් ප්‍රාග්ධන හිගයට මුහුණ දිය යුතු බවයි.

විදෙස් බලපෑම් හා කුමන්ත්‍රණ මත එල්ල වන පීඩනයන්ගෙන් ගැලවීමට නම්, ‘මානව හිමිකම්’ ආදී විසකුරු ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් ගැලවිය යුතු අතර දැඩි පාලනයක් අවශ්‍ය බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඵලය වන්නේ ත්‍රස්තවාදයට යලි හිස එසවීමට ඉඩ සැලසීම නිසා එය විනාශකාරී වන බවයි.

දැන් මේ අනුව පියවර තැබීමට නම් ඝෝඨාභය වේවා, රනිල් වේවා, ප්‍රේමදාස වේවා මෙහි පළමු ජේදයේ සඳහන් ආකාරයට ක්‍රියා කළ යුතුය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය ඇති තැන කැද හැලියක්වත් ඉදෙන්නේ නැත. 13 වැනි හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන නිසි පාලනයකට මහත් බාධාවකි. එවන් ව්‍යවසථාවල බරට උර දී සිංහල බෞද්ධ ආඥාදායකත්වයක් මගින් රට සුඛිත කරන්නේ කෙසේ ද? සිංහල බෞද්ධ මූලධර්මවාදය මත විනා මෙරට බහුතරය පෙලගස්වා ශක්තිමත් බලයක් ගොඩ නැගිය නොහැකිය. සුළුතරයන් සනසමින් කළ හැකි දෙයක් නැත. සංවර්ධනය ඇරඹිය හැක්කේ එසේ ‘බහුතරයේ කැමැත්ත’ නැතිනම් ‘ජනතා පරමාධිපත්‍යය’ නොඑසේම ‘ජන මතය’ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටිමිනි.

දැන් මේ බහුතර කැමැත්ත ලද කල්හි එයට ගැලපෙන ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් ද තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, බලය බෙදීම, යහපාලනය හා මානව හිමිකම් සුරාකන අයට සහයෝගය දෙන රටවල් සමඟ සිටිමින් මේ වැඩේ කළ නොහැකිය. ඒ නිසා ඒ කිසිවක් නොතකන පමණක් නොව, දෙන ණය හා ආධාර වලට මොනවා කළා දැයි නොවිමසන ණය දෙන්නන් වීමද වැදගත් ය.

මෙකී සියළු පොරොන්දම් වලට ගැලපෙන්නේ චීනය බැවින් විදේශ ප්‍රතිපත්තිය පදනම් විය යුත්තේ චීනය මුල්කර ගෙනය.

මේ අයුරින් දේශප්‍රේමී සිංහල බෞද්ධ ආඥාදායක බලයක් ගොඩනැගීමට රටේ බහුතර ජනයා ඡන්දය දී, ජනාධිපතිවරයෙන් ජය ලබා, තුනෙන් දෙකක බලය ඇති පාර්ලිමේන්තුවක් ද පත් කර දෙනු ලැබී ය.

මේ ජයග්‍රහණයෙන් ලද තහවුරු වීමද ඉක්මවා යන තහවුරු වීමක් ලද්දේ පෙරකී ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ගැන නිරන්තරව හඬ නැගූ යමෙක් වී ද ඔහු මැතිවරණ මට්ටමෙන් අතිවිශාල සෝදාපාලුවකට ලක් වීම මගිනි.

මේ සියල්ල මත තම ප්‍රතිපත්තිය රිසි සේ ගෙන යෑමට රට අභ්‍යන්තරයේ බාධාවක් නැත. ඒත් මදි සේ සලකා 20 වැනි සංශෝධනය ද ගෙනැවිත් එම ජය ද ලැබීය.

කොරෝනා සම සහජීවනය

කොරෝනා පැමිණීම නිසා මේ ප්‍රතිපත්තියට මහත් වාසියක් සැලසුනේ ය. කිසිම කතාවක් නැතිව යුරෝපය GSP+ සහනය දිගුකළේ ඒ ප්‍රශ්නය නිසා ය.

දෙමළ ජනතාවගේ තරුණ සටන්කරුවන් ගේ යුගයේ නිමාවත් සමග දෙමළ ජනතාවගේ ඇති වූ පසුබෑම මත, සිංහල රාජ්‍යයේ අවශ්‍යතාවය මතු කිරීම සදහා මුස්ලිම් ජනතාවට එරෙහි දැවැන්ත ප්‍රචාර හා ප්‍රහාර ක්‍රියාත්මක කෙරිණි. දැන් ගෙන යමින් තිබෙන්නේ පාස්කු කොමිෂන් දේශපාලනය හා කොවිඩ් 19 න් මිය යන මුස්ලිම් ජාතිකයන් දවන ක්‍රියාමාර්ගයයි.

කොරෝනා ගේ සහයෝගයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ප්‍රශ්නයක් මතු නොවන අයුරින්, කිසිම ආණ්ඩු විරෝධී ශක්තිමත් උද්ඝෝසණයකට ඉඩක් නොදී සිටිය හැකිය.

ආර්ථිකයේ ඇති කිදා බැසීම්, බඩු මිල ඉහල යෑම මෙන්ම ගොවි නිෂ්පාදන විකුණා ගත නොහැකිව ලතවන ගොවීන්, එයිටත් වඩා දුකට පත්ව සිටින ධීවරයන් ආදී සැමට කොරෝනා විසින්ම පිලිතුරු දෙයි. ජනපති කරන්නේ කොරෝනා ගැන හා කොරෝනා සමඟ සහයෝගයෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යෑම ගැන නන්දොඩවමින් හමුදාව තව තවත් පාරට ගෙන ඒමය.

දැන් පාරේ තුවක්කු රැගෙන නොව, අහසින් රොබෝ හමුදාවන් (ඩ්‍රෝන) මිනිසුන් හබා යයි.

කොරෝනා හැදුනොත් නුබලාගේ – බේරුනොත් අපේ

සෞඛ්‍ය ප්‍රශ්න වලදී ඒවා විසදීමේ පාලනය ඍජු ලෙස හමුදාකරණය කිරීමේ නුසුදුසු කම පිළිබදව දිගින් දිගටම ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නද ඒ කිසිවක් තකන ලද්දේ නොවේ.

පළමු කොරෝනා රැල්ලෙන් පසු සෞඛ්‍ය අංශ මගින් දෙවන කෝවිඩ් රැල්ලක් මතුවීමේ අවදානම දිගින් දිගටම පෙන්වා දී තිබුණු නමුත් ඒ ගැන තැකීමක් නොවී ය. එසේ වූවා නම් අවශ්‍ය යටිතල පහසුකම් සූදානම ශක්තිමත් කරගත හැකිව තිබුණි.

පළමු රැල්ල අවසානයේ ලැබුණු විරාමය, ගම් බිම් සිසාරා යමින් බයිලා ගැයීමට යොදා ගෙන සිටි පාලකයන් දැන් කරන්නේ කොරෝනා රංගනයේ යෙදීම ය.

ඔවුන් කියන්නේ ‘දෙන දෙයක් කාබී වෙන දෙයක් බලා අතසෝදාගෙන් ඉන්නා ලෙස’ තමන් තුන් වෙලටම කියන දේ අනුව කටයුතු නොකර, මිනිසුන් කොරොනා ආසාදනය කරගන්නවා නම් ඒ ගැන කරන්න දෙයත් නැති බවය. තම තමන්ම තම තමන් ගැන බලාගැනීමට වගබලා ගත යුතු බවය.

මේ අතර ජනාධිපතිවරයා පසුගියදා මහජනයාට කියා සිටියේ ත්‍රස්තවාදී ගැටුමක් නම් තමන්ට එය වහාම විසදිය හැකි  නමුත් මේ කොරෝනා රෝගය මර්ධනය කිරීම වෙනස් කටයුත්තක් බවයි. එපමණට ඇත්ත පැහැදිලි වෙයි.

මේ කොරෝනා දෙවන රැල්ල මේ තරම් ප්‍රමාණයකට පැතිර ගියේ, පළමු රැල්ල අවසාන වීමෙන් පසු දෙවන රැල්ලක් පැමිණීම වැලැක්වීමේ බරපතල අවශ්‍යතාවය, එය පාලනය කිරීමේ කමිටුවේ අවධානයෙන් ගිලිහී ගොස් තිබූන නිසාය යන චෝදනාව පැන නගින්නේ ඒ නිසාය. අඩුම තරමින් මේ දෙවන රැල්ලේ ආරම්භය පිළිබදව නිල වශයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් කර නැත.

චෝදනා කුමට මේ ‘දැක්ම’ භාවිතාවේ දී ප්‍රකාශ වන අයුරුය.

මෙම දෙවන රැල්ලේ ආරම්භය සීදුවේ හෝටලයක නිරෝධානයන වූ යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක් මුල් කර ආරම්භ වූ බවට ද ජනමාධ්‍ය තොරතුරු හෙලි කර තිබුණි. ඒවා කොරෝනා වලක්වන්න භාර ගෙන සිටින කොරෝනා විරුවන් වෙත එල්ල වූ චෝදනාවක් වැන්න.

නමුත් අඩුම තරමින් මේ වාර්තා පිලිබද කරුණු දැක්වීමක් හෝ බලධාරින් අතින් සිදු වූයේ නැත. දැනුවත්භාවයට හිමිකම, විදවන ජනයාට නැත.

‘දැක්මේ’ ජාත්‍යන්තර දේශපාලනය

තමන්ගේ අභ්‍යන්තර සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී වන පමණට, අන්තර්ජාතික සබඳතා පිලිබඳ ගැලපුම් කිරීම අවශ්‍ය වෙයි. එහි දී පාලකයා ඍජු ලෙසම චීනයට නැඹුරු වීමේ තීන්දුව කැපී පෙනෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ ජනාධිපති පැවැත්වූවා යයි වාර්තාවූ දේශපාලන සාකච්ඡාව මගිනි. 

චීනයේ ආර්ථික වෘධියට එහි පවතින කොමියුනිස්ට් පක්ෂයේ තනි අත්තනෝමතික ආඥාදායකත්වය ද එක් සාධයකයක් වූවා නිසැකය.

නමුත් එහි ප්‍රධාන කරුණ වූයේ ගෝලීය ධනවාදයේ නව ක්‍රියාකාරීත්වය සමග ඇතිකරගත් සංධානයයි. චීනයේ දැවැන්ත අභ්‍යන්තර වෙළදපලත්, අඩු මිල ශ්‍රමයත්, සලකන කල්හි ආර්ථික සංධානයන්ට යෑමේ දී, එහි ඒකාධිපති පාලනය ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලට අපුලක් වූයේ නැත.

2016 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.6 ක් වූ චීනය ආකර්ශනය කරගත් ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය 2020 ජූනි මස අවසාන වන විට ට්‍රිලියන 2.947 දක්වා ට්‍රිලියන 03ට ආසන්න වීය. 2016 දී චීනයේ ඍජු විදේශ ආයෝජන එහි දළ දේශීය නිශ්පාදනයේ 1/3 කටද, රැකියා වලින් 1/4 කටද දායක වී සිටියේ ය.

නමුත් මෙරට පාලකයන්ට අවශ්‍ය වන්නේ මේ මූලික සත්‍යය නොව, දෙවන සාධකය වන තනි පක්ෂයේ ආඥාදායක්තවය ආර්ථික වෘධිය සඳහා පාදක කරගත් ක්‍රම හා විධි තේරුම් ගැනීම බව පැහැදිලි ය.

මෙම අත්තනෝමතික පාලනය හේතුවෙන් 2014 දක්වා වූ දශකය තුළදී චීන ජාතිකයින් මිලියන 10 ක් රට හැර යෑම හෝ විදෙස් ආරක්ෂාව සලසා ගැනීමේ ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව වාර්තා විය.  

‘දැක්මේ’ චීන පරමාදර්ශය හා කටගැස්ම

ඒ අතර මෙම ජාත්‍යන්තර පෙලගැස්මට පාදක වන්නේ චීන ඒකපාර්ශවීය රාජ්‍යයේ පවතින දූෂීත බවයි. මෙහිදී ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල්ස් හි රාජ්‍ය දූෂණ දර්ශකයේ (Transparency International’s Index of State Corruption- Economy of China) 2017 සිට 2019 දක්වා වසර දෙකක් තුළ 77 වන ස්ථානයේ සිට 80 වන ස්ථනය දක්වා පහත වැටීම චීන පාලනයේ දූෂිත බව අඛණ්ඩව වැඩි වූ බව පෙන්නුම් කළේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී පදනම් දුර්වල වී ඇති තැන දූෂණය බොහෝ සෙයින් සමෘධිමත් වෙයි. එහෙයින් බොහෝ රටවල අප දැක ඇති පරිදි, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජනතාවාදී (Populist) දේශපාලකයින්හට, දූෂණය තමන්ගේ වාසියට යොදා ගත හැකිවීම පුදුමයට කරුණක් නොවේ.

ලංකාවේ පාලක රෙජීමය චීනය දෙසට තල්ලුවන අනෙක් කරුණ වන්නේ එහි ණය දීමේ හැකියාව හා ප්‍රාග්ධන අපනයනයේ විශාලත්වයට ඉව ඇල්ලීමයි. 2020 ජූනි මස අවසානය වන විට චීනය කළ ඍජු ප්‍රාග්ධන අපනයනයේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.128 කි. චීනය සතු සමස්ථ මූළ්‍ය වත්කම් ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 7.860 කි. ජපානයට පසුව ලෝකයේ දෙවන විශාලම ණය දෙන රට චීනයයි.

ජපානය ණය දුන්නොත් ඒවා අදාල ව්‍යාපෘතියටම වැය කළේද යන්න ගැන විමර්ශනය කෙරේ. චීනය එවැනි බලපෑම් කරන්නේ නැත. එහි පාලකයන් උනන්දු වන්නේ ලැබෙන පොලිය හා ණය වෙනුවට සින්න කරගත හැකි දෑ ගැන විනා කොතරම් සොරකම් කරන්නේ ද යන්න නොවේ. කම්බා හොරුන් පාන් කැබලි සොරා කෑම ගැන කුමට සොයත් ද?

ඒ අතර චීනය සමග ඇති කරගන්නා සබඳතා මගින් මේ දූපත ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන සොයන රටවලට අභියෝගයක් වනු ඇතැයි මේ පාලකයෝ සිතති. ඒ අනුව ඒ කරුණු ගැන වැඩි ගෝරිබෝරි වලට ඒම පසු බසිනු ඇතැයි ද, ඉංදියාව තමන් හොඳින් තබා ගැනීම සදහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන බලපෑම් අඩුකරනු ඇතැයි ද යන සිහියෙන් යුතුව සිටින බව ද පෙනේ.

දැන් කියන්න බලන්න ගත වූ වසරක් පුරා ගෝඨාභය රාජපක්ෂ ජනපති තුමා තම ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව කටයුතු නොකළා ද කියා.

සැබැවින්ම පැවැති ‘යහපාලන ප්‍රතිපත්තිය’ ජනතාව අතින් පරාජය කෙරුනේ එකම පාර්ලිමේන්තු අසුනක් වත් නොලබා බවත්, තමන්ගේ ප්‍රතිපත්ති 2/3 කට වැඩි බලයක් ලබා ඇති නිසා ඒ අනුව ගත යුතු පියවර ඍජුව ගන්නා බවත් කීම ගෝඨාභය ජනාධිපති තුමාගේ වරදක් ද? නැත්නම් වරද කාගේ ද?

රණත් කුමාරසිංහ

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.