COVID -19 දේශපාලනීකරණය කිරීම
පසුගිය මාර්තු 30 නිමා වූ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර (SLDB) වෙන්දේසියට ඉල්ලුම් කරුවන්ගේ ආකර්ශණයක් ලැබී නැත. මේ වෙන්දේසියට එක්සත් ජනපද ඩොලර් මිලියන 220 ක් වටිනා බැදුම්කර නිකුත් කර තිබූ මුත් 30 වැනිදා නිමා වන විට ඉල්ලුම් ලැබී තිබුනේ ඩොලර් මිලියන 22.3 ක් පමණකි. මහ බැංකුව ඉන් ඩොලර් මිලියන 12 ක ඉල්ලුම් ප්‍රමාණයක් පිළිගෙන තිබේ. මෙම ඉල්ලුමෙන් බහුතරයක් මහ බැංකුව අපෙක්ෂා නොකළ පරිදි කෙටිකාලීන ඒවා වූයේ ය. ඉදිරිපත් වූ සීමිත (දේශීය හා විදේශීය) ආයෝජකයන් උව COVID -19 ආසාදනය මගින් ලොව පුරා ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපන කර දමා තිබෙන තතු යටතේ දිගුකාලීන අවදානමකට මුහුණ දීමට ඇති නොකැමැත්ත මෙසේ පෙර නොවූ විරූ පසුබෑමකට මාර්තු 2020 SLDB වෙළදපල ලක් වීම මගින් ප්‍රදර්ශණය වී තිබේ.
ජනාධිපතිගේ යෝජනාව
මේ ප්‍රතිඵලය මධ්‍යයේ අප්‍රේල් 01 වැනිදා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් එම ලේකම් කාර්යාලය විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ ප්‍රසිද්ධියට පත් විය. එහි කියා ඇති දැය දකින කල පෙනෙන්නේ ලංකාවේ නිසරු ආර්ථික අත්තිවාරම ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙකුගේ වචන වලින් ම නිර්ධය ලෙස හෙලිදරව් කරනු ලැබීමක් ලෙසය. එය කියන්නේ …..සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියා ලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළදපලෙහි විදේශ ආයෝජන මත රදා පවතින ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රට වලට සහන සලසන ලෙස අන්තර් ජාතික මූල්‍ය ආයතන වලින් ඉල්ලා සිටින බවය.
අනතුරුව හෙතෙමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින්නේ තම රටේ ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස IMF කලමනාකාර අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හා ද්විපාර්ශවීය ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකග කර ගන්නා ලෙසයි.
මේ කියන්නේ ලංකාවේ ”ආර්ථිකය” පදනම් වන්නේ නිශ්පාදනය පදනම් කරගත්තාවූ ආර්ථිකයක් නොව මිනිසුන් ආනයන (සංචාරකයන්) – අපනයන (ප්‍රධාන කොට ගෘහ සේවිකාවන් හා තවත් එවැනි ශ්‍රම සූක්ෂ්ම කටයුතු මුලික වූ රැකියාවන් සදහා මිනිසුන් අපනයනය කිරීම) මුල් කරගත් වෙළදපලක් හා ණය කන්දරාවක් මත බවත් ය. (මෙහි ”අපනයන” යනුවෙන් කර ඇති සදහන දෙස බලන කල එය මූලික ලෙස ඇගලුම් අපනයන ආදයම් වෙයි. ඇගලුම් යනු මෙහි නිෂ්පාදනයක් නොව නිම කිරීමකි. එනම් අවම ජීවන මට්ටම පදනම් කර ගෙවන අඩු වැටුප් (දිනකට ඩොලර් 05 පමණ – වත්මන් දුගීභාවයේ රේකාව (Poverty line) දිනකට ඩොලර් 5.5 ක් බව මෙහි දී සිහිකටයුතුය) මත කාර්මික නිෂ්පාදන ආනයනය කර ශ්‍රම සූක්ෂ්ම කටයුතු නිමකර යලි අපනනය කිරීම යි.)
මෙවන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ දී ගත් ණය කන්දරාවන් ගෙවාගත නොහැක්කේ මන්ද යන ප්‍රශ්ණයට හේතු දැක්වීම ප්‍රාථමික අවශ්‍යතාවයකි. නමුත් එවැන්නක් නොකළේ ඇයි? එය තේරුම්ගැනීම ඔය කියන ආයතන වලට අපහසු නැත. මන්දයත් ඒ ණය ගත්තේ දේශීය කර්මාන්ත, කාෂිකර්මාන්ත නැංවීමට නොවන බව ඔවුන් හොදාකාරවම දන්නා නිසාය. එම ක්ෂේත්‍රය මුල්කර හරිහමන් ආයෝජනයන් ලංකාවට පැමිණියේ ද නැත. එවන් ආයෝජන තිබුනේ ප්‍රවෘත්ති විකාශන වලය. එසේ නම් මේ ගෙවාගත නොහැකි තරමට ගත් ණය ගියේ කොහාට ද?
ලෝකයා වෙනුවෙන් ලංකාව ණය වීම
මෙය තේරුම් ගත හැක්කේ 03.07.2007 දා ජනාධිපතිවරයා මුලසුන දැරූ ජාතික භෞතික සැලසුම් කවුන්සිලයේ දී අනුමත කළ ජාතික භෞතික සැලැස්ම ප්‍රකාර සකසනු ලැබ 2011 ජනවාරි 11 වැනිදා අනුමත කළ ව්‍යාපෘති යෝජනාව විමසීමෙනි. (The National Physical Plan was approved on 03.07.2007 by the National Physical Planning Council charred by His Excellency the Precedent as per section 3(1) of Town & country planning (Amendment) Act No.49 of 2000; the Project Proposals were approved on the 11th of January 2011)
මෙය ”ශ්‍රී ලංකා 2011-2030 National Physical Plan and Project Proposals” ලෙසින් ලංකාණ්ඩුව ප්‍රකාශයට පත් කරන ලදී. බැලූ බැල්මටත්, එය ක්‍රියාවේ යෙදුනු ආකාරයත් සලකන කල මේ සැලැස්ම මුළුමනින්ම ගෝලීය වාණිජ හා මූල්‍ය ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වය පහසු කිරීම සදහා යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් බව පැහැදිලිය. රටේ ඓයින්ද්‍රීය ආර්ථික ක්‍රියාකාරීත්වය වෙනුවෙන් මෙහි ඇති සැලසුම් ප්‍රමාණයෙන් ගත් කල විශාල වුවද ඒවා මේ සැලැස්මේ පෙනුම විචිත්‍රවත් කිරීමේ මායාවන් පමණක් වූයේ ය. ඒ අනුව බලන කල මේ ඉල්ලීම දර්ශනය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඇසින් ලොව දකින ‘අන්තර්ජාතික මුල්‍ය ආයතන’ වලට මේ අමාරු අවස්ථාවේ සිය ප්‍රාදේශීය ඒජන්තයන්ගේ පැවැත්ම රැක දීමත් අතපසු නොකළ යුතු වගකීමක් බව මතක් කර දීමක් ලෙසිනි.
උක්ත සැලැස්ම මෙරටට සීමා වූවක් නොවන ජාත්‍යන්තර සැලැස්මක, ආසියාතික පාර්ශවයේ, ලාංකීය වැඩකොටස බව ද තේරුම් ගත යුතුය. එහිදී පෙන්වා ඇති ”Intergovernmental Agreement on the Asian High Way Network” අනුව මෙම ‘High Way’ ජාලය කි.මී.141,000 කින් යුක්ත වන අතර එයට අත්සන් තැබූ සාමාජික රටවල් ගනන 28 කි. ලංකාව ඉංදියාව හා යා කරන යෝජිත වූ ‘ආදම්ගේ පාලම’ (Adams Bridge) ද මේ සැලැස්මේ අංගයකි. මුලු ආසියාවම ආවරණය කරනු ලබන මේ ආසියාතික මාර්ග ජාලය මැදපෙරදිග දක්වා යන අතර එතැන් සිට එය යුරෝපය හරහා ලොව පුරා පැතිර යන්නක් වන්නේ ය. මෙරට ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන්තොටුවලවල් සැලැස්මක් ද මෙහි අන්තර්ගත ය.
ණය ගෙන කළේ මේ අන්තර්ජාතික සැලැස්මේ මෙරට දැරිය යුතු වගකීම ඉටු කිරීමයි. සෑදූ හා සාදාගෙන යන ‘අධිවේගී මාර්ග’ පද්ධතිය මේ අන්තර්ජාතික ‘High Way’ ජාලය වෙනුවෙන් මෙරට ධනපති පාලකයන්ගේ වගකීම ඉටු කිරීමයි. ඒ වෙනුවෙන් යෙදවූ ප්‍රාග්ධනය ‘ණය’ ලෙස පවතින අතර ඒවා පාරිභෝජන භාණ්ඩ හා සේවා වලට යොදා ඇති බදු මගින් අසරණ මහජනයා විසින් ගෙවමින් සිටී.
ඒ වෙනුවට මේ සැලැස්මේ එන ඓයින්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති වලට මේ ණය කන්දරාවන් ප්‍රාග්ධනය ලෙස යෙදවී නම්, එසේ යෙදවීම ප්‍රාතමික අවශ්‍යතාවය ලෙස සලකා කටයුතු කළේ නම් ණය ආපසු ගෙවීම මහා ප්‍රශ්ණයක් නොවන බව මේ සැලැස්ම විමසන්නෙකුට මොනවට පැහැදිලි වනු ඇත. ණය ගෙවීම සදහා ණය ගැනීමට සිදු නොවනු ඇත. COVID 19 ආසාදනය ප්‍රහාරයක් බවට පත් වීමට පෙරම ණය ගෙවීමට කල් දෙන්නැයි අගමැති වරයා ඉංදියාවට ගොස් ආයාචනා කිරීම එවිට අවශ්‍ය නොවනු ඇත. නමුත් සත්‍යය ජනාධිපතිගේ උක්ත නිවේදනයයි. ලංකාවේ බැදුම්කර වෙළදපල ඉදිරියේ ආයෝජකයන්ගේ පසුබෑමට COVID ආසාදනයට අමතරව අගමැතිගේ ප්‍රකාශණයද බලපෑවා නිසැක ය. මේ ආසාදනය නිසා අගමැතිගේ ඉල්ලීමේ සත්‍ය ඵලය අපට දැක ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.
ලෝක බැංකුවේ ඉදිරිපත් වීම
මෙරට ජනාධිපතිවරයාගේ මතක් කිරීමට පැය ගණනකට පෙර හා අනෙක් පැත්තෙන් ලංකාවේ මහ බැංකුවට තම බැදුම්කර අකුලා ගැන්මට සිදු වෙද්දී, මාර්තු 30 දා COVID 19 ආසාදනය සමාජකරණය වීමේ (Community Transmission) තත්ත්වය යටතේ දකුණු ආසියාවේ හා පැසිෆික් රටවලට ඇතිවී තිබෙන ආර්ථික කම්පනය අවම කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කරමින් ලෝක බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබිණි. ඉන් අවධාරණය කරන්නේ අන්ත දුගී රටවල් (Poorer) සදහා ණය සහන සැලසීම අත්‍යාවශ්‍ය බවයි. එවිට එම අවදානම් ධන සම්පත්, රෝග පැතිරීම නිසා ඇතිව තියෙන ආර්ථික අහේනිය හා සෞඛ්‍ය අවශ්‍යතා අතර ඇති ගැටුම පිරිමසා ගැන්මට යොමු කළ හැකි වනු ඇති බවයි.
ඒ අනුව ලෝක බැංකු සමූහය විසින් දියුණු වන රට වලට COVID 19 ආසාදනයට මුහුණ දී යලි ප්‍රකෘතිභාවයට පැමිණීම සදහා ශක්තිය සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 14 ක් යුහුසුලුව යොමු කරන බව නිවේදනය පෙන්වයි. එය මූල්‍ය සම්පාදනය, ප්‍රතිපත්ති උපදේශණ හා තාක්ෂණ සහාය ලෙසින් ලබා දීමට නියමිතය. ඒ අතර IFC ය (International Finance Corporation), ආසාදනයේ බලපෑමට ලක් වූ පුද්ගලික සමාගම් වලට අවශ්‍ය මුදල් සම්පාදනයට උදව් වීම හා ඒවායේ රැකියා ප්‍රවේශම් කර දීම සදහා ඩොලර් බිලියන 08 ක් සැපයිමටත්, IBRD ය (International Bank for Reconstruction and Development) හා IDA ය (International Development Association) විසින් සෞඛ්‍ය පහසුකම් සැපයීම සදහා ඩොලර් බිලියන 06 ක් සූදානම් කර තිබෙන බවද ලෝක බැංකු නිවේදනයේ කියැවේ. (මෙම ලිපිය සකසමින් සිටියදී – අප්‍රේල් 03 දා – දහවල් ප්‍රවෘත්ති විකාශනය කියා සිටියේ ලෝක බැංකුව ලංකාවට ඩොලර් මිලියන 128 ක ණයක් වෙනුවෙන් ලබා දෙන බවය. ඒකත් ණයක්. පෙර ගත් ණය ගැන කථාවක් නැත.)
වඩාත් පුළුල් සහයෝගය අවශ්‍ය කරන රටවල් සදහා ලෝක බැංකු සමූහය ඩොලර් බිලියන 160 ක් යොමු කරනු ඇති අතර එය දුගීන් හා පීඩිතයන්ට මෙන්ම ව්‍යාපාරවලට සහාය දිමටත්, ආර්ථික ප්‍රකෘතියට රුකුල් දීමටත් ඉදිරි මාස 15 තුල යෙදවීමේ සූදානම පෙන්වා ඇත.
මීට අමතරව පසුගිය දා චීනය විසින් ඇ.ඩො. මිලියන 500 ක ණයක් වසර 3 ක සහන කාලයක්ද ඇතුලුව වසර 10 ක් තුළ ගෙවීම සදහා ලබා දෙන ලදී.
ඒ අතර මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය W.D. ලක්ෂ්මන් විසින් ලංකාවේ හා විදෙස් වල ජීවත් වන ලාංකිකයන් හා හිතවතුන් වෙත ලිඛිත ආයාචනයක් කරමින් අවධාරණය කරන්නේ, විදෙස් වලින් මෙරට ලාංකිකයන්ට එවනු ලබන විදේශ සංක්‍රාම පිළිබදව කිසිදු සොයා බැලිමක් මින් ඉදිරියට සිදු නොකරන බවයි. ඒ අනුව විදෙස් බැංකු වල රදවා ඇති විවිධ මුදල්, යථා වේවා අයථා වේවා, ශුද්ධ මුදල් ලෙස මේ රටට පැමිණීමට හැකියාව ලබා තිබේ. අනෙක් අතට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රව මගින් ලංකාවෙන් විදේශ විනිමය පිටතට ගෙනයෑම පිලිබද දැඩි සීමා පනවා තිබේ.
මහ බැංකු අධිපතිගේ ආයාචනයත්, මේ ගැසට් නිවේදනයත් මගින් ප්‍රකාශිත දේ ඉදිරි මාස 03 ක් සදහා වලංගු සේ දක්වා තිබේ. නමුත් ඒවා ඉන් ඉදිරයටත් බලාත්මක වනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය.
තුනෙන් දෙකේ දේශපාලන අර්බුදය
COVID 19 පැමිණීමට පෙර ලංකාව එළඹෙමින් සිටියේ අතිශය අර්බුදකාරී තත්ත්වයකය. දරුණු ආර්ථික අසමතුලිතතාවය ඉක්මවා දේශපාලන පරිසරය අතිශයින් ආතති සහගත විය. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්පත් කරගත් අත්තනෝමතික බලය යලි පිහිටුවා ගැනීම වෙනුවෙන් කිසිම වැදගත් හේතුවක් දැක්වීමට ආණ්ඩුව අපොහොසත්ව සිටි අතර, තමන්ගේ කිට්ටුවන්තයින් හැර වෙන කිසිවකු යලි එවන් ආඥාදායක්තවකට සහාය පල කළේ නැත. පංතිමය වශයෙන් ගත් කල ෆැසිස්ට් පන්නයේ බලයක් වෙනුවෙන් කවදත් කොතැනත් පෙනී සිටි මධ්‍යම පංතිකයන්ගේ බහුතරයක් ජනාධිපතිගේ පියවරයන් සමග සිටිනවා විනා ඔහුට ඡන්දය දුන් සාමාන්‍ය වැඩ කරන ජනතාව අතර උද්යෝගයක් නොවී ය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ශීග්‍රයෙන් ඉහල යෑම කිසිසේත් පාලනය කරගත නොහැකි තැනට ආණ්ඩුව පත් වී සිටියේ ය. රුපියලේ අගය කඩා වැටීම අඛණ්ඩව සිදු විය. බදු අඩු කිරීම පාරිභෝගියන්ට වාසියක් නොවීය. විය යුතු පරිදිම අවම මිල නියම කිරීම උත්තරයක් වූයේ නැත. අපේක්ෂිත බදු ආදායම් ද නොලැබෙන තත්ත්වයක් ගොඩනැගෙමින් පැවතිනි. හිටපු මුදල් ඇමතිගේ අය-වැයේ අපේක්ෂිත ආදායම් වියදම් ඇස්තමේන්තු යථාර්ථයෙන් පරිබාහිර බවට මැසිවිලි නගන්නට පාලකයන්ට සිදුවී තිබුනේ මේ තතු යටතේ ය. විදෙස් ණය ගෙවීම උභතෝකෝටිකයක් බවට පත්වී තිබිනි. මේ සියලු තත්ත්වයන් යටතේ එළඹෙන මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයා පතන 2/3 බලය ලැබ ගැනීම කළ නොහැක්කක් බව කාටත් පෙනී ගොස් තිබිනි.
මේ අතර මෑත අනාගතයේ එන ලෝක ආහාර අර්බූධයක් පිළිබද සාකච්ඡාව COVID 19 මගින් ලෝක සමාජය නිශ්ක්‍රීය කර දමා ඇති තතු යටතේ ඇරඹී තිබේ. එය ලංකාව තුළ 1972-75 කාලය සිහිපත් කරවන පැල සිටුවීමේ උද්ඝෝෂණයක් බවට පත් කර තිබේ. COVID 19 විසින් පාලු කරන්නේ නාගරික මිනිස් සමාජය විනා වගා බිම් නොවේ. ජනතා සභාවන් ක්‍රියාත්මක කරන්නේ නම් මේ ආසාදනයට මුහුණ දී කෙරෙන වගා කටයුතු ඉදිරියට ගෙන යෑමට ගොවි ජනතාව බාධාවක් නැත. ගොවි ජනතාව ගොවි බිමේ වැඩ කරන්නේ උරෙනුර ගැටී නොවේ. පවතින ප්‍රශ්ණය වගා කිරීම නොව බෙදාහැරීම හා කෘෂි නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලගා කරලීමය. එයට කිසිම වැඩපිලිවෙලක් නැතිව ගොවි නිෂ්පාදන කුණු කොල්ලයට විකිණෙමින් තිබේ. පාරිභෝගිකයෝ එළවලුවක් ගැනීමට කන් අයා නිවෙස් වලට වී වාහන ශබ්දයක් එන තෙක් බලා සිටිති. ආණ්ඩුව අද කළ යුත්තේ පැල බෙදීම නොව මේ නිෂ්පාදන බෙදීමට යාන්ත්‍රණයක් සැකසිමය. ඒ රූපවාහිණී වාර්තා වලට සීමා නොවූ ගමට භාණ්ඩ ගෙන එන ක්‍රමයක් විය යුතුය. (ජනතාව බොරුවට බියවද්දා තමන්ගේ යකඩ සපත්තුවට යට කරනවා වෙනුවට මෙහි දී 2015 සැප්තැම්බරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ මුත්, ක්‍රියාත්මක නොකළ ‘පොකුරු ගම්මාන’ සැලැස්ම පෙරට ගන්නේ නම් ඔය කියන සාගතයක් මේ COVID 19 නිසා නම් ඇති නොවනු ඇත.)
අනාගත ‘සාගතය’ට පුරවැසි සභා
එළඹ ඇති COVID ව්‍යසනය මැඩලීමේ කාරණාව හුදු මුදල් හිගතාවයේ ප්‍රශ්ණයකට වඩා සැලසුම් සහගත බවේ ප්‍රශ්ණයකි. ආසාදනයේ තත්ත්වය උග්‍ර වන බවට තතු දන්නන් දිගින් දිගටම අවධාරණය කර මසක් ඉක්ම යද්දීත් මුහුණු ආවරණ හා අත් සෝදන පවා තවමත් සොයා ගැනීමට නැති වීම සිදුවිය නොහැක්කකි. අඩු තරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට වත් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව සැලසී නැත. වත්මන් පාලකයන් දන්නේ කෝකටත් තෛලය මෙන් ත්‍රිවිධ හමුදා යෙදවීමය. මෙවන් වූ හදිසි ආපදා තත්ත්වයන් හි දී තත්කාලීන පාලන තන්ත්‍රයන් වඩාත් සංවිධිත හා ප්‍රශ්න කිරීමෙන් තොරව ඉහලින් එන ආඥාවන් ක්‍රියාවට ලන යන්ත්‍ර ලෙස ත්‍රිවිධ හමුදාවන් යොදා ගැනීම ප්‍රත්‍යක්ෂ භාවිතාවකි.
නමුත් කල් පවතින ආපදා තත්ත්වයන් හිදී මහජන සංවිධානවලට කළ හැකි කාර්යභාරයන් අසීමිතය. එම හැකියාවන් නොතකා හැරීම සමාව දිය හැකි මග හැරයෑමක් නම් නොවේ. ගම තුළ ආහාර, ඖෂධ බෙදාහැරීම, ගමේ තත්ත්වයන් පිළිබද සැබෑ තොරතුරු අදාල අංශ වලට වාර්තා කිරීම, සාමාන්‍ය රෝගාබාධ සදහා ප්‍රතිකාර ලැබීමට කටයුතු සම්පාදනය පමණක් නොව අවශ්‍යතා අනුව ජනතාවට හැසිරවීමේ දී ද ආගන්තුක බලයකට වඩා ගමේ ගරු කටයුතු ස්වාභාවික නායකයින්ට විශාල හැකියාවක් තිබේ. මේ අතර සෑම ගමකම කටයුතු බාර රජයේ නිලධාරීන් ගණනාවක් සිටී. විවිධ ක්ෂේත්‍රවල දැනුම හා අත්දැකීම් ඇති අය බොහෝ ය. පුද්ලයින් ලෙස වෙන් වෙන් ව ගත් කල්හි මේ කිසිවෙක් ඒ තරම් වැදගත් කමක් නොපෙනෙනු ඇත. නමුත් ඔවුන් සංවිධාන පදනමකට ගෙනැවිත්, ජන සභාවක් ගොඩ නගා නිරවුල් ලෙස අදාල වගකීම් පැවරූ කල්හි ඕනෑම හමුදාවක් මුලුගැන්වෙන ශක්තියක් එම ජනතා සභාවලට ලබන්නේ ය. අන්ත ප්‍රතිගාමී සාර් හමුදාවේ විශාල කොටසක් අවනත කරගනිමින් 1917 දී රුසියාවේ රාජ්‍ය බලය ලබා ගත්තේ ද ‘සෝවියට්’ හෙවත් ජන සභා විසින් බව මෙහි දී සිහිපත් කරගැනීම කාටත් වටනේ ය. එවන් අත්දැකීම් පසුගිය ශතවර්ශ දෙකේ අප්‍රමාණය.
ලෝක ඉතිහාසයට වඩා තවමත් මෙරට තීන්දු ගන්නා අයවලුනට අමතක විය නොහැකි අත්දැකීම් පසුගිය සුනාමි ව්‍යසනය අප වෙත ගෙන ආවේ ය.
සුනාමි අත්දැකීම
විනාඩි කිහිපයක් අතරතුර දී ප්‍රිතිමත් පවුල් දහස් ගණනක් කඩා බිද දමමින් එකිනෙකාගෙන් වෙන් කෙරුණි. විනාශ කෙරුණි. ලක්ෂ ගණනක් හිගමනට ඇද දමන ලද අතර ඔවුන්ගේ නිවාස පොලවට සමතලා කෙරුණි. දහස් ගණන් මළ සිරුරු අතර ළදරුවන් ජලයේ පාවී යයි. කී දහසක් වැන්දඹුවන් වී ද? අනාථයන් බවට පත් වී ද? තමන් ඇද සිටි ඇදුම හැර අන් සියල්ලම අහිමි වී ගිය දස දහස් ගනන් දුප්පතුන්ගේත් ධනවතුන්ගේත් – තරුණ මහලු සැමගේත් විලාපය – ලතෝනිය සුනාමියේ සීමා මායිමේ තිබූ ගම්මාන වල ජනයා උදව්වට කැදවනු ලැබිනි. විපතට පත් වූවන් අතර තෝරාගැනීමක් මේ ගැමියන්ට නොවිනි. ජනයා තම වගකීමට උර දෙද්දී ඔවුන් සමග, ඔවුන්ගේම කොටසක් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා හා වෙනත් ගම් මට්ටමේ සංවිධාන ද එක්ව සිටියේ ය. කිසිවකු අතර කිසිම වෙනසක් නොවීය. කවුරුත් එක මට්ටමේ සිටිමින් සමාන වැඩ වල නිරත වූහ.
ආහාර – සනීපාරක්ෂක කටයුතු – හැකි සැමගේ දිවි රැකීම වෙනුවෙන් ගත හැකි සියලු පියවරන් තම දෑතින් සිදු කිරීම දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට පවරා තිබුණා සේය. කිසිවෙක් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වේද නැත් ද සිතුවේ නැත. එයට අවලාද නගන්නෝ ද නොවී ය. එකිනෙකා යුද වැදී සිටි විමුක්ති කොටි භටයන් හා රජයේ හමුදා භටයන් නැගෙනහිරදී ඒ ආකාරගත සම්බන්ධතා හැරපියා ගැමි ජනතාව හා එක්ව විපත්තියට කර ගසන ලද්දේ ය. සුනාමිය විමුක්ති කොටි සංවිධානයේත් රජයේත් යන දෙගොල්ලන්ගේම හමුදා භටයන්ගේ සිරුරු වර්ග කිරීමකින් තොරව එකතු කෙරිනි. අවි ගසා ගෙනගොස් තන්හි විසිරී තිබේ. දිවි ගලවා ගත් මිනිසුන් රැක ගැනීම සැම එක් වීමෙන් සිදු විය. රජය හා එහි යාන්ත්‍රණයන් පවා ආගන්තුක පිටස්තර දේය. ඒවා ක්‍රියාත්මක වන තෙක් බලා සිටියොත් තවත් ජීවිත මහත් ප්‍රමාණයක් අහිමි වීමේ ඉඩ කඩ ජනතාවගේ ඇස් පනා පිට තිබිණි. (ජනවාරි 15 තෙක් සංඛ්‍යා ලේඛණ අනුව 30,920 ක් මළ සිරුරු සොයා ගැනුනි. මුලු මනින්ම විනාශ වූ නිවාස ගනන 90,261 කි. අතුරුදහන් වූවෝ 6,020 කි. තුවාල ලැබූවෝ 15,256 කි. බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 201,959 කි.)
සිංහල-දෙමළ හෝ මුස්ලිම් වෙනසකින් තොරව උරෙනුර ගැටී ජනයා ක්‍රියාත්මක විය. සියළුම ආගමික පූජකයන් අනාථ කදවුරු සංවිධානය කරමින් සියලුම ජනකොටස් වෙත එකම ඇසක් යොමු කළාහු ය. සම්පත් එකාරාශී කරමින් මිනිසුන්ගේ අවශ්‍යතා සම්පාදනයට සූදානම් වූහ. කාන්තාවෝ ආහාර සම්පාදනය කරමින් සැතපුම් ගණන් සෝදාපාලු වූ මං මාවත් දිගේ පා ගමනින් මේ කදවුරු වාසස්ථාන කරගත් මනුශ්‍යයන් වෙත ගෙන ආහ. ව්‍යසනය ජාතීන් තුනම එකක් කළා සේ දිස් විය.
මේ ඓයින්ද්‍රීය ජනතා පෙලගැස්ම දේශපාලන තලයේ ප්‍රකාශයට පත් වූයේ ඒකාබද්ධ සුනාමි යාන්ත්‍රණය පිහිටුවීම දිසාවටය. ඒ අනුව උතුරු – නැගෙනහිර අපර සුනාමි සමාජ-ආර්ථික පුණරුත්ථාපනය රජයත් දෙමළ පුණරුත්ථාපන සංවිධානයත් (Tamil Rehabilitation Organization – TRO) අතර සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිත විය. එය ඒ වන විට පැවැති යුධ විරාම ගිවිසුමත්, එම පදනම මත දේශපාලන විසදුම් සදහා විමුක්ති කොටි සංවිධානය ඉදිරිපත් කර තිබු අන්තරවාර පාලනයක් පිළිබද යෝජනාවත් ඔස්සේ නව දේශපාලන එකගතාවයක් පිළිබද විභවයක් පෙන්නුම් කිරීමක් විය. නමුත් ඒ වන විට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන අතර මෙම ක්‍රියාමාර්ගය හරස් කිරීමේ ගිවිසුමක් 2004 ජනවාරි 14 දා අත්සන් කරන ලද අතර එහි ශක්තිය පදනම් කර ගනිමින් සුනාමි යාන්ත්‍රණයට එරෙහි උසාවි තීන්දුවක් කරා යෑමට ජවිපෙ පියවර ගත්තේ ය. එය මනුෂ්‍යත්වයට එරෙහි දරුණු තීන්දුවක් විය.
මේ අතර ජනමතය ට අවනතභාවය පෙන්නීමට ජපානයේ මුලපිරීම මත සුනාමියේ ප්‍රහාරයට ලක් වූ රටවලට සහනයක් ලෙස ණය ගෙවීම කල් තැබීමට (Debt Moratorium) ඉඩ දීමට එදා G7 රටවල් ද ඉදිරිපත් විය.
දහස් ගණනක් වූ සුනාමියට ගොදුරුවූවන් වෙත ආධාර බෙදා හැරීම නිසි සම්බන්ධීකරණයෙන් තොර අව්‍යාකෘත භාවය පිළිබදව දසත පැතිරෙන වාර්ථා සලකා බලා එම කාටයුතු කාර්යක්ෂමව හා ක්‍රමාණුකූලව සිදු කිරීම සහතික කිරීම සදහා යයි එවකට ජනාධිපතිනිය විසින් එම කටයුත්ත පාලනය කිරීම යුධ හමුදාවට පවරන ලදී. කෙසේ වෙතත් මේ ජනතාවගේ ක්‍රියාකාරීත්වය යට කිරීම එදා පැවති පාලනයේ ද අවශ්‍යතාවය විය. ඒ අනුව ඉක්මණින් ම ආචාර්ය තාරා ද මැල් ගේ මූලිකත්වයෙන් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය (Centre for National Operations – CNO) ව පිහිටුවන ලද අතර අදාල සියළුම රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නියෝජිත ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන සියල්ල සම්බන්ධීකරණ කිරීමේ බලය එයට පවරා මේ දහස් ගණන් සුනාමි වින්දිතයන්ට සහන සැලසීමේ කාර්යය එයට පවරන ලදී.
නමුත් පෙරකී බහු ජන ක්‍රියාකාරීත්වය සංවිධාන ගත නොකර ඒ වෙනුවට එය දියකර නිලධාරී රොත්තකට සියල්ල බාර දීමෙන් සිදු වූ සෙතක් නොවීය. මෙතරම් විශාල ජාතික ව්‍යසනයක් යථා තත්ත්වයට පත් කිරීමේ දී මධ්‍යගත සැලසුමක් අවශ්‍ය බව ගැන අනවශ්‍ය විවාදයක තේරුමක් නැත. නමුත් මධ්‍යගතව සැලසුම් කරන්නේ කාවද? කුමක් ද? ජනතා සංවිධාන වල ඓන්ද්‍රීය ශක්තියයි. ඒ ශක්තිය මගින් වංචාව, දූෂණය, ඥාති හිත මිත්‍රාදී සංග්‍රහය වලක්වා සහන අවශ්‍ය තැනට ඒවා ගෙන යෑමට හැකි වේ. එම සාධකය එදා සිටි ජනාධිපතිනිය නොතකා හැරියේ මේ ව්‍යසනය ජාතික හා ජාත්‍යන්තර ප්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා යොදා ගැනීමට එකග වීමට ඇය තීරණය කළ නිසාය. ඒ මගින් ජනයා තමන්ගේ වෙරළාසන්න ගම් බිම් වලින් එලවීමට සියළු වැර දරණ ලදී. එය ප්‍රමාණයකට ඉටු උවද ජන බලය මේ අකටයුත්ත්තට හරස්ව සිටිමින් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ දේපල රැක ගත්තේ ය. සහන සැලසීම සදහා වින්දියන්ගෙන් හා එසේ නොවන්නවුන්ගෙන් ද අල්ලස් ගැනීම් පිළිබද චෝදනා එලි දැක්කේ ය. මහා පරිමාන සුනාමි ආධාර වංචා චෝදනාවන්ට ලක් වූවන් අතර දැවැන්ත දේශපාලනඥයෝ ද විය. නව නිවාස ගොඩ නැගීම් මහා පරිමාන කොමිස් ජාවාරම් බවට පත් වූ අයුරු ජනමාධ්‍ය හෙලිදරව් කළේය. මේ බොහෝ නිවාස හැර දමා ඒමට බොහෝ ධීවරයන්ට සිදු වූයේ ඒවායේ සිටිමින් තම වෘත්තිය කළ නොහැකි නිසාය. රජයේ ඊනියා සුනාමි කොමිටි වල හිතුවක්කාර බලය මගින් මනුෂ්‍යත්වයට කළ අප්‍රමාණ අපරාධ ගැන වාර්තා කෙළවරක් නැතිවාක් මෙන්ම ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීම සදහා මැදහත් වූවෙක් ද නැත්තේ ය.
එදා සුනාමියේ දී මෙන්ම වෙනත් ඕනෑම මෙවන් යුගයක් ජනතාවගේ සාමූහික ක්‍රියාකාරීත්වය ස්වාභාවිකවම ඉහල මට්ටමකට නංවන්නේ ය. එය ප්‍රජාතන්ත්‍රීය ව්‍යූහයන් ප්‍රකෘතිමත් කර, බලගන්වා පුද්ගලවාදය වෙනුවට සාමූහිකත්වය එනම් මනුශ්‍යත්වගේ ඓයින්ද්‍රීය ස්වාභාවය පෙරට ගනී. එදා මෙදා තුර මේ පාලකයන් විරුද්ධ වන්නේ එයටයි. එදා ලිබරල් ධනපතියන්ගේ ද අනුග්‍රහයෙන් ඒ සමග සුනාමි යාන්ත්‍රණය දක්වා ජනතාව ඉදිරියට පැමිණි අතර අද සිටින පාලකයෝ එදා විපක්ෂයේ සිටිමින් උව එම ප්‍රජාතන්ත්‍රවාදී සන්තතිය බිද හෙලා ජන ඝාතන යුද්ධයට මාවත පාදා ගත්තෝ ය. 2015 දී මේ මනුෂ්‍යත්වය යටකරමින් යන ගමන හරස් කිරීමට ජනතාව පියවර ගත්තද අද වඩාත් ප්‍රබල ලෙස ජනතාව විස්තාපනය කරමින් අත්තනෝමතිකත්වය තහවුරු කිරීමේ පියවර ගැනෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අනීතික ණය අවලංගු කිරීම සදහා වූ කමිටුවේ (Committee for the Abolition of Illegitimate Debt – CADTM යේ කැදවුම් කරු එරික් ටුසාන් විසින් අප්‍රේල් 03 දා නිකුත් කර ඇති ප්‍රකාශනය මෙසේ කියයි. ”කොවිඩ් 19 විසින් ගෝලීය වශයෙන් උපදවා ඇති අර්බූධය, ලතින් ඇමරිකානු අබ්‍යා යාල (Abya Yala – Latin America- ඇමරිකානු ස්වදේශික ගුනා වැසියන් විසින් ඔවුන් වාසය කරන ප්‍රදේශය අමතන නාමය) වැසියන් ඉදිරියේ මං සන්ධියක් ඉදිරිපත් කර තිබේ. බිදී,කැබලි වී යන පද්ධතියේ නරකම ප්‍රකාශනයන්ට එරෙහිව නැගෙන ප්‍රතිරෝධයේ පෙරමුණ ගත්තේ ජනසම්මත සංවිධානයන් ය. ………..අපේ මිනිසුන්ගේ හොදම සම්ප්‍රදායන් තුළ, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සදහා සිය ශ්‍රම ශක්තිය, සිරුර සහ හදවත යොදන මිනිසුන්ගේ, කම්කරුවන්ගේ, ගැමි ගොවීන්ගේ, ස්වදේශිකයින්ගේ, ස්ත්‍රීවාදීන් ගෙනුත්, අප්‍රිකානු සම්භවය ඇත්තන්ගේ, වීදී උද්ඝෝෂකයන්ගේ (piqueteros) සහ අසල්වැසියන්ගේ සංවිධාන සමූහය අපි වෙමු. ඒ වගේම නැවත ධනවාදී සාමාන්‍යයට යෑමට නොව, වඩා යහපත් සමාජයක් කරා යන මාර්ගයක් හරහා මෙම අර්බූධයෙන් මිදීමේ මාර්ගයක් අරමුණු කොටගත් සංවිධාන සමූහය අපි වෙමු. මෙය හැකිවන්නේ මනුෂ්‍යයින් වශයෙන් අපගේ උපරිමය අප ලබා දුනහොත් පමණි. මෙම අරගලය තුළ අප විසින් පවත්වාගෙන යන සමාජයීය බැදියාවන් සහ ප්‍රසිද්ධ, ප්‍රාදේශික හා පලාත්බද එකමුතුව, අපගේ අබ්‍ය යාල ඇමරිකාවේ පරිවර්තනයේ ක්ෂිතිජයන් ගොඩ නැගීමේ සලුවේ කොටසක් වනු ඇත.”
වැඩකට නැති පාර්ලිමේන්තුව
ජනතාවගේ ස්වාභාවික පෙලගැස්ම හරස් කර තැබීම ව්‍යසනයක් ආණ්ඩුමට්ටු කිරීමේ වැඩ පිලිවෙලක කොටසක් නොවන්නේ ය. ඒ වෙනුවට එය ව්‍යසනයක් ජනතා විරෝධී පරමාර්ථයක් වෙනුවෙන් යොදා ගැනීමේ අරමුණක් කරා වන පියවරක් වීම නියතය. අද මෙසේ ජනයා ඉවත්කර තැබීමේ මූලික අංගයක් වන්නේ පාර්ලිමේන්තුව වසා තැබීමයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ මාර්තු 03 දාතම දරණ ගැසට් නිවේදනය නිෂ්ප්‍රභාකර (Revoke) පාර්ලිමේන්තුව යලි කැදවීම පිළිබදව (විශේෂයෙන් දෙමළ කථා කරන ජනතාවගේ දේශපාලන නායකයන්) කරන ඉල්ලීම් ගැන අප්‍රේල් 02 දා අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමේ දී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කථා කළේය. ඔහු එහි දී විමසුවේ පාර්ලිමෙන්තුව කැදවා මොකද්ද කරන්න පුළුවන් කියායි. ‘…පාර්ලිමේන්තුව කැදෙව්වා කියමු. මොකද්ද මේ ප්‍රශ්නය විසදන්න ඒකට තියෙන ක්‍රමෙවේදය….’ යි ඔහු විමසයි… කරන්න තියෙන දේවල් ත්‍රිවිධ හමුදාව කරනවා. පාර්ලිමේන්තුව කැදවීමෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක බවයි ඔහු කියන්නේ. (නැති ප්‍රශ්න මොනවාද? මේ කියන්නේ ප්‍රශ්න රාශියක් මතු වනු ඇති බවයි.) ඔහු වැඩි දුරටත් කීවේ වසංගත සම්බන්ධයෙන් පනත් දෙකක් ඇති බවත් ඒ අනුව වැඩ කරගෙන යන්න පුළුවන් බවත් ය. (මේ පනත් සුදු අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ සම්මත කළ ඒවාය)
මෙසේ මේ රාජපක්ෂට අනුව පාර්ලිමේන්තුව යනු විශේෂ වැඩක් නැති, අවදානම් මොහොතක් ආ කල්හි වහාම වසා දැමිය යුතු, සැණකෙලි කාලයේ දී එලියට ගන්නා රබානක් වැන්නකි. එකම ඵලය යම් ශබ්ද රසයක් උකහාගත හැකි වීමයි.
මේ පිලිබදව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීව හූල් ප්‍රකාශය කර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් වහාම අවලංගු කරනු ලැබිය යුතු බවය. වසංගතය මතුවෙමින් පවතිද්දී ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද හෙතෙමේ දෝෂ දර්ශණයට ලක් කර ඇත. කුවේටය වැනි බොහෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් ගුවන්මගීන් රටට ඇතුලු වීමට පෙර ඔවුන්ගේ උණ තත්ත්වය පරීක්ෂා කරද්දී අපේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට කල් බැලුවා පමණක් නොව සංචාරකයන්ට ආරාධනා කරමින් අර්බූදය තවත් උග්‍ර කළ බවද හේ කියා සිටී. මේ අතර අප්‍රේල් 03 දා උදේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ නිවේදනයක් වාර්තා කෙරිනි. එය කියා සිටියේ තමන් ජනාධිපතිට ලිපියක් යවමින්, ව්‍යවස්ථානුකූලව ගත් කල ජූනි 02 කට පෙර පාර්ලිමේන්තුව රැස්විය යුතු බවත්, ඒ සදහා මැයි අග වන විට මහ මැතිවරණය පැවැත්විය යුතුව තිබෙන බව දැනුම් දුන් බවයි. නමුත් අප්‍රේල් 04 වන විට තත්ත්වය වෙනස් වුනා. ඒ අනුව මැයි අග මැතිවරණය තියන්න බැරි බව පෙනෙන බවත්, ඒ නිසා මේ තත්ත්වය ව්‍යවස්ථා අර්බූදයකට තුඩු දිය හැකි බැවින් ඒ ගැන තීන්දුවක් දීමට බලය ඇති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස යලි ජනාධිපති තුමාට දැනුම් දුන් බවයි.
මේ කියන කථා අනුව මෙහිදී අප විසින් අවසාන වශයෙන් සලකා බැලිය යුත්තේ මේ COVID 19 පෙර ගොඩනැගුණ දේශපාලන ප්‍රවණතාවයෙන්ගේ අන්තර්ගතය උකහා ගනිමින් COVID 19 ය ඇති කළ තත්ත්වය සමග ඉක්මන් දේශපාලන හැරවුමකට එළැඹෙමින් සිටීම විග්‍රහකර ගැනීමටයි.
ජනාධිපතිවරයා කියන්නේ රට ගෙන යෑමට අවශ්‍ය පියවර ගැනීමේ දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මහත් අවහිරයක් බැවින් 2/3 බලය අත්‍යාවශ්‍ය වන්නේ එම බාධකය පැනීමට බවයි. ඡන්දයෙන් බැරිනම් මුදලේ හෝ උණ්ඩයේ බලයෙන් 2/3 සකසා ගැනීමට උව ජනපති පසු නොබසිනු ඇති බව මධ්‍යම පංතියේ විශ්වාසය වී ය.
19 යේ ඇති අවහිරය කුමක් ද? පාලකයන්ගේ වහසිබස් අනුව බලන කල ඉන් බලාත්මක වූ ස්වාධීන කොමිෂන් සභාවන්ය. මුදල් පරිපාලනයේ දී පාර්ලිමේන්තුව සතු බලය තහවුරු කිරීම ය. පාර්ලිමෙන්තුව විසුරුවාහැරීමට ජනපති සතු බලය අවුරුදු හතරේ සිට හයමාසයකට බාල්දු කර දැමීම මගින් මන්ත්‍රීවරුන්ගේ අධිකාරය ස්වාධීන කිරීමය. ඡන්දදායකයාගේ නිදහස් තීන්දු ගැනීමේ බලය ඉහල දැමීමය. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම හා රජයේ සේවකයා (ඔහු කැමති නම්) දේශපාලකයාගේ ඇගිලි ගැසීම් වලින් නිදහස ලැබීම ය. එපමණට උතුරේ සිට දකුණට මහජනයා අතර සමානාත්මතාවයක් ඇති වීමේ පරිසරය සැකසී ම ය.
දැන් 19 මගින් කෙරුණු ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ශක්තිමත් වීම මෙරට ෆැසිස්ට් බලවේගයන්ගේ ඉලක්කයන්ට හරස් ව පවතින බව බැලූබැල්මට ම පැහැදිලි ය. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වීම හරස් වන්නේ කුමකට ද? අත්තනෝමතික බලයට ය. මහ ජාතිවාදී ෆැසිස්ට් බලයට ය. එවන් වූ මේ පාලකයන් තම ඉලක්ක ජය ගැනීම සදහා කුමන ජනතා විරෝධී පියවරක් හෝ ගැනීමට කුමන්ත්‍රණ කරමින් සිටින අතරය මේ COVID 19 ආසාදනය ලංකාවට කඩා වැදීමට ඉඩ හලේය. ඒ 19 පලක් නැති වුවත් මේ 19 නම් සිතූපැතූ සම්පත් දෙන්නක් බව පාලකයන්ට දැනුනා සේ ය. ඒ අනුව එයට ඕනෑ දෙයක් කරගන්නට ඉඩහරිමින් විරෝධතා නොතකා ඉඩ ලද පලමු දිනයේ ම පාර්ලිමේන්තුව විසුරුවා හැර නාම යෝජනා කැදවන ලද්දේත්, මහ මැතිවරණයට හා නව පාර්ලිමෙන්තුව රැස් කිරීමට දින නියම කරන ලද්දේ ත් මේ වසංගත තත්ත්වය තුළ කළ නොහැකි බව දැන දැන ම බව එලි වී තිබේ.
ඉලක්කය පාර්ලිමේන්තුව විසුරුවා හැර බලය අතට ගැනීමය. එය ලැබී තිබේ. දැන් මැතිවරණ කුමටද?
අනතුරුව පතුරුවාහැරි මතය වූයේ මේ ආසාදනයට මුහුණ දිය හැක්කේ ඒකාධිපති ක්‍රමයට බවයි. චීනය ඒ ක්‍රමයට මුහුණ දී ආසාදනය සමනය කරගත් බවයි. ඉතාලිය ඇමරිකාව බැට කන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා බවයි. ඒ කෙසේ වෙතත් චීන ඒකාධිපති ක්‍රමය වන්නේ මුලින්ම වෛරසය ගැන අනතුරු ඇගවූ වෛද්‍යවරයා නිහඩකර රෝග ව්‍යාප්තිය ඉහලයන තැනට කටයුතු යෙදී මය. ලංකාවේත් ඒ ක්‍රමය අනුගමනය කළේ ය. මේ කටයුත්තේ දී චීනය ගත් පියවරට හේතුව නොදනිමු. නමුත් ලංකාව චීනය අනුගමනය කළේ ඇයි දැයි ඉහල ජේදයෙන් පෙනේ. (චීනය ජනමාධ්‍ය වල කථිකාවක් ඇති වීම පවා පාලනය කළේ ය. ලංකාවේ එය අවශ්‍ය නැත. මන්ද යත් 90% කට වඩා ජනමාධ්‍ය ස්වේච්ඡාවෙන් ම ජනාධිපතිගේ දේශපාලන ප්‍රචාරක කටයුතු කරන හෙයිනි. නමුත් විවේචකයන්ට දඩුවම් දීමේ පිලිවෙත සැකසෙමින් තිබේ)
කොවිඩ් හා මානව හිමිකම්
ලොවේ යම් යම් රාජ්‍යයන්හි පවතින මේ බැරෑරුම් දේශපාලන අභියෝගය මතු කරන Human Rights Watch සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කෙනත් රොත් (Kenneth Roth) අප්‍රේල් 02 දා මෙසේ ලියා තිබුණි.
”…….කොරෝනා වෛරස් අර්බූදය ඒකාධිපතිවාදී මනසකින් යුත් නායකයන්ට පහසුවෙන්ම රැවටිලිකාර බොරු හේතු දක්වමින් තමන්ට එල්ල වන විවේචන නිහඩකර, තම බලය වඩාත් ප්‍රබල ලෙස තහවුරු කරගැන්ම සදහා ලද පිදේනියක් වැන්න. චීනයේත් වෙනත් තැන්වලත් පවත්වාගෙන ගිය තොරතුරු වාර්තා වසන් කිරීමේ පිලිවෙත මේ රෝගාබාධය පෝෂණය කළ අතර එය සීමාකර දැරිය හැකි තැනක පවත්වා ගැනීමේ ශක්‍යතාව බිද ගෝලීය තර්ජනයකට හැරී මහත් විපත්තියක් බවට පත් කර තිබේ. මේ සෞඛ්‍ය අර්බූධය අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුය. නමුත් සීමාරහිත බලයක් (Autocratic) හසුරුවන ආණ්ඩු වල බලයේ බියකරු ප්‍රසාරණය නොනැසී පවතින තවත් වසංගතයක් විය හැක්කේ ය.
මෙවන් අර්බූද කාලයකදී ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව රදාපවතින්නේ ඔවුන්ට කල්වේලා ඇතිව නිවැරදි, සත්‍ය තොරතුරු කරා ප්‍රවේශ වීමට තිබෙන හැකියාව මගිනි. නමුත් චීන ආණ්ඩුව මේ යථාර්ථය නොතකා හැරීමෙන් අතිශයින් විපත්තිදායක ප්‍රතිඵල ගෙන ආවේ ය. වූහාන් (Wuhan) නගරයේ වෛද්‍යවරු පසුගිය දෙසැම්බරයේ වෛරසය දුටු වහාම මේ නව කොරෝනා වෛරසය පිලිබදව අනතුරු ඇගවීමට වැර දැරීය. නමුත් බලධරයන් ඔවුන් මහත් වරදක් කරන්න යන්නවුන් අයුරින් නිහඩ කරවන ලදී. ඔවුන්ගේ අනතුරු අගවීම් වලට ඇහුකන් නොදී වගකට නොගෙන පැහැර හැරීම නිසා CCVID 19 වෙත සමාජය පාලුකිරීම සදහා සති තුනක මූලාරම්භක කාලයක් ලබා දුන්නේ ය. මෙකල්හි දශ ලක්ෂ ගණන් මගීහු, සංචාරකයෝ, වෙළෙන්දෝ එක්කෝ නගරයෙන් පිටතට යෑම හෝ නගරය හරහා ගමන් කළෝ වෛරසය චීනය හරහාත්, ලොව හාත්පසත් විහිදුවා හැරියේ ය.
තවත් අය චීනය ගුරුකොට ගත්තේය. තායිලන්ත, කාම්බෝජ, වෙනිසියුලා, බංග්ලාදේශ හා තුර්කි වැනි ආණ්ඩු ජන-මාධ්‍යකරුවන්, විරුද්ධ පක්ෂ ක්‍රියාධරයන්, හා වෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරින් විවේචනය කරන වෙනත් ඕනෑම අයෙක් වේද ඊට ඉඩ නොදී ඔවුන්ව රදවා තබා ගැනිනි……”
එම සංවිධානයේ දකුණු ආසියා අධ්‍යක්ෂ මීනක්ෂි ගන්ගුලි (Meenakshi Ganguly) එදිනම මෙසේ ලියා තිබුණි. ”……. ශ්‍රී ලංකාවේ පොලිස්පති තුමා නියෝග කොට ඇත්තේ ආසාදනය සම්බන්ධයෙන් මැදහත්වී කටයුතු කරන නිලධාරීන් විවේචනය කරන්නාවූ හෝ ආසාදනය පිළිබදව ‘ව්‍යාජ’ හෝ ‘ද්වේශ සහගත’ පණිවුඩ බෙදාහරිනවුන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
අප්‍රේල් 01 දා නිකුත්කර ඇති මේ නියෝගය ප්‍රකාර ‘….COVID 19 පැතිරයෑම වැලැක්වීම සදහා කැපවීමෙන් යුතුව මෙම නිලධාරීන් සීමා රහිත රාජකාරීන්හි නියුතුව සිටීම නොසලකා….” නමුත් ”….එම රාජකාරීන්හි යෙදීමේ දී සිදුවන සුළු සිද්ධි මතු කරමින් විවේචනය කිරීම….” හා ඒ පිළිබද පණිවුඩ යැවීම ඔවුන්ගේ රාජකාරියට කරන ”කර්කශ බාධා කිරීමක්” වන්නේ ය.
”…..ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පිටු දැකීමේ ක්‍රියාවලියට නායකත්වය දීම සදහා හමුදා ප්‍රධානියාව පත් කරනු ලැබීමට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ගත්තාවූ පියවර ලාංකිකයන් සතු අයිතිවාසිකම් අභියෝගයට ලක් වීමක් ලෙස සැලකිල්ලට ගැනෙමින් ඇත්තේ ය. COVID 19 පැතිර යෑම පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (National Operation Centre for Prevention of COVID-19) ප්‍රධානියා ලෙස, ලංකාවේ පැවැති සිවිල් යුධයේ අවසාන මාස වලදී සිදුවූ යුධ අපරාධවලට චෝදනා ලබා සිටින ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබදව අකමැත්ත පලවී තිබෙන බව මෙයින් පෙනේ. දිගු කලක් ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රහාරයන්ගේ පීඩාවන් ඉසිලූ, අපවාදයන්ට මුහුණ දුන් ජනතාවක් ලෙස මේ පියවර, තමන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් වලට ගරු නොකිරීමක් වන්නේ යයි විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ජාතීන්ට අයත් ජනතාව සලකන අතර ඒ නිසා මේ ආණ්ඩුව පිලිබදව ඔවුන් විවේචනාත්මකව සිටී….” (මීනක්ෂි ගන්ගුලි (Meenakshi Ganguly) දකුණු ආසියා අධ්‍යක්ෂ – Human Rights Watch)
දැන් මේ දේශපාලන අවශ්‍යතා හා බහුජන ක්‍රියාකාරීත්වය නැංවීම අතර ඇත්තේ බරපතල පරස්පරයකි. රෝගයේ ස්වාභාවය අනුව මිනිසුන් ඒකාරාශී වීම නුසුදුසු ය. ඒ ගැන සැකයක් නැත. නමුත් ජන ජීවිතයේ නිදහස පවත්වා ගත හැක්කේ ය. ඒ එදිනෙදා අවශ්‍යතාවයන් සැපිරීමේ භාරකාරීත්වය ජනතා නියෝජිතයන්ට බාර දීමෙනි. ලංකාවේ පවතින මූලික ඒකකය ගම ලෙසත්, ප්‍රධාන නගර වීදි හෝ ග්‍රාම සේවා වසම් ලෙසත් ඒකක ගත කර ඒවායේ සිටින රජයේ නිලධාරීන් හා ජනතා සංවිධාන වල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් සකසා සියලුම සැපයුම් ඔවුන් හරහා කිරීමට හැකිය. එවිට ජනයාට නිවසෙන් එලියට බැස ඒ හෝ මේ ද්‍රව්‍ය සොයා පාරේ ඇවිදීමට සිදු නොවන්නේ ය. නිතිපතා බේත්හේත් අවශ්‍ය, බෝනොවෙන රෝගයන්ගෙන් පෙලෙන රෝගීන් ගෙන් අදාල වට්ටෝරු ලබා ගෙන ඒවා ගෙන ඒම හා බෙදා හැරීම මේ කමිටු වලට කළ හැකිය. එවිට ෆාමසි අරිනතෙක් කල් බලමින් සිටීමටත්, විවර කළ විට පෝලිම් වල ලත වීමටත්, උපදෙස් පිලිනොපැද්දේ යයි විද්‍යුත් මාධ්‍ය වලින් බැනුම් ඇසීමටත් ජනයාට සිදු නොවන්නේ ය. රූපවාහිනී/ගුවන් විදුලි ප්‍රචාරය හොද ය. ඒ වෙනුවට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හෙන්චයියන්ට පාර දිගේ භාණ්ඩ ගෙන ගොස් අලෙවි කිරීමට අවසර පත් දීම අසාර්ථක පියවරකි. (එයින් ගෙදර සිටින අයට වැඩක් පැටවීම, එනම් මේ එළවළු – හාල් වාහනයක් ඒ දැයි ඉවකරගෙන සිටීම නැති නම් චූන් පාන් එන තෙක් බලා සිටීම) මේවා බෙදන තැන් විද්‍යත්මාධ්‍ය ප්‍රචාරය කළද ඒ ඉතාම සීමිත ප්‍රදේශ වල පමණි. ඒ නයින් ගත් කල පාලකයන්ගේ ආපදා කළමණාකරණය (සෞඛ්‍ය අංශ හැරුණු කල) අසාර්ථකය. අඩු තරමින් සෞඛ්‍ය අංශයේ විවිධ ශ්‍රේණි වලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය පවා සපුරා නැතැයි චෝදනා නැගෙමින් තිබේ. ආපදා කළමනාකරනය යනු බලහත්කාරය නොවේ.
නමුත් එසේ ජනතාව පාලනයට හවුල් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙතක් මේ පාලකයන්ට තිබීමට කිසිම ඉඩක් නැත. අද මෙහි තිබෙන්නේ ජනතාව සැකසූ සුනාමි යාන්ත්‍රණය පවා විනාශ කළ උදවියගේ පාලනයකි.
රණත් කුමාරසිංහ
2020.04.05
සබැදි ලිපි
3 Responses
[…] COVID -19 දේශපාලනීකරණය කිරීම (2020) […]
[…] COVID -19 දේශපාලනීකරණය කිරීම (2020) […]
[…] COVID -19 දේශපාලනීකරණය කිරීම […]