සෞඛ්‍ය ඇමතිනියගේ ‘ලද සැනින් – එසැනින්’ විධික්‍රමය

Laboratory Analysis Chemistry  - jarmoluk / Pixabay
jarmoluk / Pixabay

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වලක්වන්න එන්නතක් සූදානම් කර ඇති බවටත්, එය ජනයාට ලබා දීමට සංවිධානය කරන ලෙස දැනුම් දී තිබෙන බවටත්, උන්හිටි හැටියේ සෞඛ්‍ය ඇමතිතුමිය කළ ප්‍රකාශය ඇයට පැමිණියේ කොහෙන් දැයි, කෙසේ දැයි අපි සොයා බැලීමු.

කොරෝනා වසංගතයට මුහුන දීම ජාති කුල ආගම් ලෙසවත්, රටවල් තබා මහද්වීප ලෙසවත් බෙදී කළ හැකි දෙයක් නොවන බව අද වන විට පැහැදිළි වී තිබේ.

ලංකාවේ පාලකයින් විසින් එය ජෝක් එකට ගනිමින් සිටිද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් වසංගතයට මුහුන දීම සඳහා ලෝක පරිමානව වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන ගියා ය.

ඒ අනුව දැනට විවිධ රටවල් වල, විවිධ ආයතන මගින් COVID-19 සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් එන්නත් 100 කට වැඩි සංඛ්‍යාවක් නිපදවමින් පවතින බවත්, ඉන් කිහිපයක්ම මිනිස් අත්හදා බැලීමේ අවධියට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ආරක්ෂිත හා ඵලදායී එන්නතක් සොයාගත් පසු, සෑම රටකම ජනතාව ආරක්ෂා කිරීම සඳහා මෙම එන්නත් සමානව ලබා ගැනීමට සහ බෙදා හැරීමට පහසුකම් සැපයීම සඳහා, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා ගෝලීය සන්ධානය (GAVI), හා වසංගත සූදානම නවෝත්පාදන සඳහා සන්ධානය (CEPI) විසින් මෙහෙයවනු ලබන කොවැක්ස් (COVAX) වැඩසටහන පිහිටුවා තිබේ.

මේ යටතේ එන කොවැක්ස් පහසුකම් (COVAX Facility) අංශය මගින් COVAX හි ගෝලීය ප්‍රසම්පාදන යාන්ත්‍රණය හසුරවනු ලබයි. එන්නත් නිෂ්පාදන කටයුතු සඳහා සිදු කරනු ලබන අවදානම් සහගත ආයෝජනයන් දිගටම පවත්වාගෙන යාම සඳහා, COVAX පහසුකම මඟින් අපේක්ෂිත එන්නත් සඳහා පුළුල් ලෙස ආයෝජන සිදු කිරීම මෙහෙයවයි. ඒ අනුව ආරක්ෂිත හා ඵලදායී එන්නතක් සඳහා නියාමන අනුමැතිය ලැබුණු විගස, COVAX පහසුකම හා සම්බන්ධ වන සියලුම රටවල් වල වඩාත්ම අවදානම් කණ්ඩායම් ආරක්ෂා කිරීමට මෙම එන්නත් මාත්‍රාවන් සමානව බෙදා හැරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි.

COVAX AMC යනු COVAX පහසුකම සඳහා, පහළ මධ්‍යම හා අඩු ආදායම්ලාභී ආර්ථිකයන් 92 ක සහභාගීත්වයට සහාය වන මූල්‍ය මෙවලමකි. ආදායම් මට්ටම නොසලකා COVID-19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා AMC ය කටයුතු කරන අතර, ඒ සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන 2020 අවසන් වන විට පරිත්‍යාගශීලී රාජ්‍යයන්, වෙනත් පරිත්‍යාගශීලීන් සහ පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කරයි.

COVID-19 එන්නත් අවශ්‍ය සියලු දෙනාට ඒවා ආරක්ෂිතව ලබා දීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබා දිය හැකි තත්වයක ඒ ඒ රටවල් පවතීය යන්න සහතික කිරීම සඳහා, GAVI සහ යුනිසෙෆ් සමඟ එක්ව, මේ කාලය අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් පවතින බව එහි වාර්තා මගින්, පෙන්වා දෙයි.    

Vaccine Chemist Outbreak  - geralt / Pixabay
geralt / Pixabay

විහිලුවට ගන්නේ කොරෝනා ද? ලාංකීය සමාජය ද?

රට නොවහා යුද්ධ කරපු හැටියි, හංගල තියෙන බලගතු රහස් බෙහෙතුයි, වසංගත පාලනයෙන් ලංකාව ලොව දෙවෙනි තැන දිනූ හැටියි ගැන ලෝකයා ඉදිරියේ පාරම්බාමින් සිටි පාලකයන්, නොසිතූ විරූ ලෙස යලි වසංගතය හිස එසවූ කල්හි දින ගණනාවක් තුෂ්ණිම්භූතව සිටියේ ය.

දැන් යලිත් වසංගතය හෑල්ලුවට ලක් කරන්න පටන් ගෙන තිබේ. ඔවුන් සිතන්නේ වෛරසය හෑල්ලු කිරීමෙන් වැල යන අතට මැස්ස ගැසීමේ තම උපක්‍රම ඉස්මතු කර ගත හැකිය කියා ය.

එපමණක් නොවේ සුපුරුදු පරිදි මේ වන විට අප ඉහත පැහැදිලි කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහනත් විහිලුවට ගෙන තිබෙනු දකිය හැකි ය.

ඒ අනුව පසුගිය 24 දා රත්නපුරයේ දී සෞඛ්‍ය ඇමතිනිය විසින් ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ, “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝගය වැලැක්වීම සඳහා වන එන්නත සූදානම් කරල තියෙනව. ඒ නිසා අපිට දැනුම් දීල තියෙනව සූදානමින් ඉන්න කියල එම එන්නත පාවිච්චි කරන්න” යනුවෙනි.

එනමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ කාර්යාලය හෝ වසංගත රෝග විද්‍යා අංශයේ කෝවිඩ් අංශය ලංකාවට එවැනි එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් කිසිත් නොදැන සිටීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් එවැනි නිල දැනුම් දීමක් කර නැති තත්වය යටතේ, මේ කලබලකාරී ප්‍රකාශය කෙලවර වූයේ  ආණ්ඩුවේ තවත් පචයක් බවට පත් වීමෙනි. 

තමන්ට සිහිනෙන් හෝ මෙවන් පණිවිඩයක් ලැබුනේ නම් එය සැබෑවකැයි සිතා ප්‍රසිද්ධියේ කථා කිරීමට පෙර ඒ ගැන විස්තර අදාල සෞඛ්‍ය බලධාරීන් සමග කතා බහ කර පැහැදිලි කර ගැනීමට තරම්වත් මේ ඇමතිතුමියට ඉවසීමක් නොවූයේ ඇයි?

තහවුරු කර ගැන්මට ගොස් කාලය නාස්ති නොකර ඇය මේ ප්‍රවෘතිය පළමුව ප්‍රකාශ කළේ, ‘ලද සැනින්, එසැනින්’ නිවේදනය කර වැඩිපුර වෙළද දැන්වීම් ලබා ගැනීමේ තරඟයේ නියුතු රූපවාහිනී ජාලයක මානසිකත්වයේ ඇයත් සිටින නිසා ද?

නීතිවේදිනියකට සෞඛ්‍ය ඇමතිකම නුසුදුසු යයි කියනවා නොවේ. ඇමති ගේ කාර්යාභාරය රෝග විනිෂ්චය නොව ක්ෂේත්‍රය අපේක්ෂිත අරමුණ ඉටු කෙරෙන පරිදි නිසි ලෙස කළමනාකරණය කිරීම යි. එහි පලමු දේ සාමූහික නායකත්වයක් ගොඩ නැගීමයි.

නමුත් මේ පාලනය එවන් ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප ඇත්තක් නොවේ. සැවොම තමන් කියන දේ කර, දෙන දේ කා බී සිටිය යුතුයයි සිතන තැනකි. මේ ඇමතිනියත් එහිම කොටසක් නොවේ ද?

ඒ කෙසේ වෙතත් මේ ප්‍රකාශයත් සමඟ තමත් ගැටුළු රාශියක් පැන නැගුනි. කොවිඩ් එන්නත් පරීක්ෂා කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණයෙකුගේ මරණය ගැන ලොව පුරා පැතිරගිය ප්‍රවෘත්ති පසුපස පැමිණි මෙවැනි ප්‍රකාශයකින් අදහස් වනුයේ කුමක් ද? සායනික අත්හදාබැලීම් කරන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය කෙසේ වෙතත්, ඖෂධ නිෂ්පාදනයේ නියුතු යම් කිසි බහු ජාතික සමාගමක් ලංකාව යොදා ගන්න යන්නේදැයි යන සැකය ඒ අතර මුල් තන්හි ලා මතු වුනි. බහු ජාතික සමාගම් සමඟ එක්ව මුදලට එවැනි දැය කළ පාලකයන් දුගී රට වල හිඟ නැත.

Child Patient Vaccine Vaccination  - 12019 / Pixabay
12019 / Pixabay

මෙය හුදු පචයක්ද?

එසේ නොවේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කර ඇති පරිදි කෝවිඩ 19 වසංගතයට නිසි සුරක්ෂිත භාවයෙන් යුතු එන්නතක් සොයාගත් වහාම ඒවා ජනතාවට අදාල ප්‍රමුඛත්වයන් යටතේ ලබා දීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමට මැදහත්වීමට කටයුතු කිරීම පිලිබද කාරණාව, පෙරකී කඩිමුඩිය නිසා පටලවා ගැනීමක් ද?

මේ අපේ වැනි රටවල පාලකයන්ට තිබෙන, ඇත්තටම යමක් කියවා තේරුම් ගැනීමට නොහැකි කම හෝ හුදු නොසැලකිළිමත්කම පමණ ද?

විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පහුගිය දා (27) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ “ඊයෙ රාත්‍රියෙත් එක්ක ආසාදිතයන් 541 දෙනෙක් වාර්තා වෙලා තිබුණා. එතකොට එක ආසාදිතයෙකුට 10 දෙනෙක් විතර ආශ්‍රිතයො ඉන්නවා අවම වශයෙන්. එතකොට ඒ වගේ දහ ගුණයක් අපි බලාපොරොත්තු වෙන්න ඕනෙ ආශ්‍රිතයින් ඉන්නවා කියලා. ඒ ආශ්‍රිතයිනුත් පසුපස අපි හඹා ගිහිල්ලා පර්යේෂණ කරලා, රෝගීන් ඉන්නවද කියලා හොයාගෙන, නිරෝධායනය කරලා රෝග ව්‍යාප්තිය පාලනය කරගන්න ඕනෙ. ඒකට අවශ්‍යම දේ තමයි පරීක්ෂණ පැවැත්වීම” යනුවෙනි.

මෙම වසංගතයෙන් ලංකාවට විය හැකි දරුණු බලපෑම සම්බන්ධයෙන් මුල සිටම වෛද්‍යවරුන් අනතුරු ඇඟවීය. කොටින්ම මෙම රජය බලයට ගෙන ඒමට මහත් උනන්දුවෙන් වැඩ කටයුතු කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා මෙම අනතුරුදායක තත්වය පැහැදිළි කරමින්, උත්සව පැවැත්වීමට නොව පරිස්සම් වීමට කාලය පැමිණ ඇති බව කල් තබාම ප්‍රකාශ කළේය.

එහි ප්‍රථිඵලය වූයේ වෛද්‍යවරුන් පසකට කර හමුදාවම ඉදිරියට දැමීමය. සත්‍ය කථා කරන්න නිර්භය වූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලැබීමය.

ඇයි ඇත්තට මෙච්චර බය?

වසංගතයකට මුහුන දීම යනු වෙනත් තැනක සැගවී සිටින සතුරෙකු හා කරන සටනක් නොවේය යන සරළ සත්‍යයට මුහුන දීමට මෙසේ බිය වන්නේ ඇයි?

මිලටරීකරණය යනු උත්තරය නොවේ යැයි යන දරුණු සත්‍ය ය එය පිටුපසින් සැඟවී ඇති නිසාවත් ද?

ඒකාධිපතීත්වය යි රටක දියුණුවට ඕනෑ යන මෝහයෙන් බහුතර සමාජය මිදේ යැයි ඇති බිය නිසාවෙන් ද?

සමාජයක් වශයෙන් මුහුන දෙන ගැටළු විසදීමට, සියලු දෙනා එක්සත්ව තීන්දු ගත යුතුය යන සත්‍ය එලි දරව් වන නිසා ද?

ඒ තුලින් මෙතෙක් වෙන්දේසියේ දැමූ මහා යුධ ජය, සැබවින්ම ජයක් ද යන ගැටළුව බහුතර ජනයා අතරට ගලා යයි යන බිය නිසාවෙන් ද?

සබැදි ලිපි

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.