පැරිස් කොමියූනයෙන් 150 වන වසර – ජන සංහාරක සත්දින – මැයි 21 – 28
“BLOODY WEEK” – 1871 may 21 – 28
“ජන සංහාරක සත්දින” 1871 මැයි 21 -28
1871 මැයි 21 වන දින සවස, පැරණි මධ්‍යම කාරක සභාවේ කැඳවුම්කරුවා, කොමියූනයේ සැසිවාරයට කඩාවැදෙමින්, නිරිතදිග දොරටුවලින් වර්සේල්ස් හමුදා1 පැරිස් නගරයට ඇතුළුවූ බව නිවේදනය කරන පුවත්පත් වාර්ථාවක් සියොළඟ වෙව්ලමින් කියවීය. ඉන් ඇතිවූ කැළඹුමෙන් වියවුලට පත් සැසිවාරය ඒක්ෂණයෙන් කල් තබන ලදී. එය පැරිස් කොමියුනයේ අවසන් සැසිවාරය විය.
පැරිසියට නිරිතදිග පිවිසුම ආවරණය කළේ ගොඩනැගිලි නටබුන් පමණි. තීරණාත්මක ප්‍රහාරය සඳහා සතුරා සූදානම් විය.
මැයි 22 වන දින ඩුකැටෙල් නම් වූ ඔත්තුකරුවා මෙකී ශාන්ත ක්ලවුඩ් වාසල් දොර අනාරක්ෂිතව තිබෙනු දැක, ආරක්ෂක අගල් වලට වී රැක සිටි වර්සෙල්ස් හමුදාවන්ට සන් කළේය. මධ්‍යාහ්නය සිට ඇරඹි; දැවැන්ත වර්සෙල්ස් හමුදාව පැරිසියට ගලා ආවේ වඩදිය රැල්ලක් මෙනි. කොමියුනයේ සන්නද්ධ බලය මේ වර්සෙල්ස් හමුදාවන්ගේ බලයෙන් දහයෙන් එකකට වඩා වැඩි වූයේ නැත. වූවා නම් යන්තමිනි.
පැරිස් කමියූනයේ අවසානය
ලේ වැකි පැරිස් ජන සංහාරයේ ‘සත් දින’ ඇරඹුණි. පැරිසියානුන්ගේ පෙරලිකාරී අදහස් මුළුමනින්ම විරේචනය කළ යුතුය, ඔවුන්ගේ විප්ලවවාදී ආත්මය ස්වකීය ලෙයින්ම ස්නානය කරලීම අවශ්‍ය වූයේ ය.
සමූල ඝාතනයක් යනු කාලාන්තරයකට නිශ්චලත්වය අත්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පූර්වාවශ්‍යතාවක් වන්නේ ය. ඒ නයින් බලන කල, බයිසැන්තියානු අධිරාජ්‍යයේ කාලයේ සිට, මිනිසුන් හිතා මතා කළ වඩාත්ම කෲරතම මනුෂ්‍ය ඝාතනය වන්නේ මේ 1871 මැයි මාසයේ දියත් කළ ලේ වැකි සතිය ලෙස එදා ඉතිහාසඥයෝ සැලකනු ලැබීය.
“දයා විරහිත මිනිස් ඝාතනය!” වර්සෙල්ස් ආණ්ඩුවේ මේ නියෝගයත් සමඟ කොමියුනාඩ්වරුන්ව මුලිනුපුටා දැමීම දියත් විය. ඇඟිලි වල කළු සලකුණු ඇති අය, (වෙඩිබෙහෙත් කුඩු භාවිතා කර ඇති බවට ඇඟවීම් ලෙස සලකා) තවමත් ජාතික ආරක්ෂක2 නිල ඇඳුමින් සැරසී සිටින අය හඹා යමින් වෙඩි තබා ඇත. ෆෙඩරල් සරණාගතයින් තුන්සියයක් මැඩලීන් හි දී වෙඩි තබා ඇත. පැන්තියන් චතුරශ්‍රයේ දී ෆෙඩරල්වරුන්3 සිය ගණනක් සමූලඝාතනය කරන ලදී.
කොමියුනාඩ්වරු වීරයින් ලෙස සටන් කළහ. මාක්ස් කියූ ලෙස “දෙව් ලොව කැළඹූ” කොමියුනාඩ්වරුන්ගේ වීරත්වය පමණක්, ප්‍රතිවිප්ලවයට මුහුණ දීමට සෑහුනේ නැත. මැයි 28 වන ඉරිදා කොමියුනාඩ්වරුන්ගේ අවසන් බාධකය ප්‍රංශ හමුදාවන් යටත් කරගන්නා ලදී. එදින දහවල් වන විට කොමියුනාඩ්වරුන්ගේ අවසන් කාලතුවක්කු උණ්ඩයද වෙඩි තබා තිබුණි.
නගරයේ සෑම බිත්තියකටම එක පිට එක පොදු ගැසූ මළ මිණී කඳු ගොඩ ගැසී තිබේ. ජිනීවාහි පැවති ජාත්‍යන්තර සම්මුතියේ4 එකඟතාවය නොතකා, තුවාල ලැබූවන් සහ වෛද්‍ය බලකායන් ලේ පිපාසිත හමුදා විසින් එකසේ මරා දමන ලදී.
මෙසේ කොමියුනයේ සාමාජිකයින් සුනඛයන් මෙන් දඩයම් කරන ලද අතර, ෆ්‍රීමේසන්වරුන්ව පවා දුටු තැන ඝාතනය කරන ලදී. තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට නොහැකි වූ අවාසනාවන්තයින් ඔවුන් හමුවූ ස්ථානවලදීම ඝාතනය කරන ලදී.
මධ්‍යස්ථ මතධාරීන්, ජනරජවාදීන්, කවදාවත් කොමියුනයට සහභාගී නොවූ නමුත් දැඩි ජනරජ අදහස් ඇත්තවුන් සැක කටයුතු අන්තවාදීන් ලෙස සලකා මරණයට පත් කරන ලදී. කොමියූනයේ ජාතික සභාවේ නියෝජ්‍ය සභාපති මිලියර් පැන්තිඔන්හි දී බලහත්කාරයෙන් දණගස්සවා වෙඩි තබන ලදී; වෛද්‍ය ටෝනි මොයිලින්ට ද එම ඉරණමම අත්විය. කොමියුනයේ නිල තනතුරු සඳහා විදේශිකයන් පත්ව සිටීම, සියලු ආගන්තුකයන්ට එරෙහිව මේ දඩයමට තුඩු දුන්නේය: පෝලන්ත ජාතිකයන්, හංගේරියානුවන්, ඉතාලියානුවන්, ඕලන්ද ජාතිකයන් සහ ජර්මානුවන් දුටු දුටු තැන දී වෙඩි තබා ඝාතනය කරන ලදී. “බාග වේලාවට ඔවුන් කොයියම් ක්‍රමයකට හෝ කොමියුනාඩ්වරුන් වීමට ඉඩ ඇත්තේ ය.” බොහෝ අවස්ථාවලදී පැරිස් නගර වැසියකු අත්අඩංගුවට ගැනීම සහ මරණයට පත් කිරීම සඳහා නිර්නාමික චෝදනා කිරීමක් ප්‍රමාණවත් වූ අතර, දහස් ගණනක් මේ ආකාරයෙන් මරණයට පත් කරන ලද්දේ ය. වීදි පහන් වලට තෙල් යොදන කාන්තාවන් ගොඩනැගිලි ගිනිතැබීමේ චෝදනාවට ලක් කර මරණ සංඛ්‍යාවට එක් කළේය.
එක් එක් පුද්ගලයාට තත්පරයක් පමණක් කැප කළ හදිසි යුද්ධාධිකරණ විසින්, අත්අඩංගුවට ගත්තවුන් දහස් ගණනකගේ නඩු විභාග කරන ලදී. වැඩිදුර නඩු විභාගයක් සඳහා වර්සෙල්ස් වෙත යවන ලද පැරිසියානුවන් හට, සෙන්පති මාක්විස් ඩි ගැලිෆෙට්විසින් රැකවල් කරන ලද ද්වාරයක් මැදින් යාමට සිදුව තිබුණි. මෙම බිහිසුණු මස් කපන්නා, එතැන රැක සිටිමින් කිසිඳු පදනමකින් තොර තෝරාගැනීම් මගින් සිය ගණනක් පිරිමින් සහ ගැහැනුන් වෙත සංඥා කර ඔවුන්ව තාප්පයකට හේත්තු කර මරා දැම්මවීය.
මෙසේ පැරිස් නගර වැසියන් – ගැහැණුන් හා ළමයින් ඇතුළුව 30,000 ක් පමණ වර්සේල්ස් පාලනයේ මෘග සෙබළුන් විසින් වෙඩි තබා වීදිවල මරා දමන ලදී. 3,000 ක් පමණ සිරගෙවලදී මිය ගියෝ ය. 45,000 ක් පමණ අත්අඩංගුවට ගත් අතර හමුදා අධිකරණ මගින් 13,700 කට මරණ දඬුවම නියම කෙරිණි – කාන්තාවන් 80 ක් හා ලමයින් 60 ක් ඇතුලත්ව. ඔවුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු, පෙර දැක්වූ පරිදි පසුව ඝාතනය කරන ලද අතර, දහස් ගණනක් පැරිසියෙන් ඈත ප්‍රත්‍යන්ත වලට තනි තනිව යවනු, නැතිනම් පිටුවහල් කරනු ලැබීය. සමස්තයක් ලෙස ගත් කල, පැරිසියට සියළුම වෘත්තීන්ට අයත් හොඳම ශිල්පීන්, කම්කරුවන් 100,000 ක් පමණ අහිමි විය.
පැරිස් කමියූනය සහ අද
පැරිස් කොමියූනය ප්‍රකාශයට පත් කර වසර එකසිය පනහක් සම්පූර්ණ වී තිබේ.
සම්ප්‍රදායට අනුකූලව ප්‍රංශ කම්කරුවෝ විසින්, 1871 මාර්තු 18 විප්ලවයේ පුරුෂයින් හා ස්ත්‍රීන්ගේ මතකය වෙනුවෙන් විවිධ අයුරින් උපහාර දක්වනු ඇත. තවත් ලොව පුරා විප්ලවවාදීහු තම තමන් වෙසෙන දේශදීපංකර වල විවිධ සිහි කිරීම් පවත්වනු ඇත. මැයි මස අවසානයේ එන “භීම සතියේ” දී ප්‍රංශ කම්කරුවෝ නැවතත්, ඝාතනය කළ කොමියුනාඩ්වරුන්ගේ සොහොන්කොත් වලට මල් වඩම් තබනු ඇත. කම්කරු ආණ්ඩුවක් පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස; ඔවුන් ජීවිත පූජාවෙන් දායාද කර ඇති නිර්ධන පංතියේ අනාගත පැතුම ජයගන්නා බවටත්, ඒ පැතුම සම්පුර්ණයෙන්ම සාක්ෂාත් කර ගන්නා තෙක් නොනවත්වා සටන් කරන බවටත් ඔවුන්ගේ සොහොන් පිටියේ දී නැවත පොරොන්දු වනු ඇත.
පැරිස් කොමියුනයේ ඉතිහාසය අධ්‍යයනය කරන සෑම අවස්ථාවකම අප එය නව පැතිකඩකින් දකින්නෙමු. ඒ පසුකාලීන විප්ලවවාදී අරගලයන් සහ සියල්ලටත් වඩා, නවතම විප්ලවයන් විසින් හා විප්ලවයන්ගේ දැවැන්ත පරාජයන් මගින් ඇතිව තිබෙන ලෝක විප්ලවයේ පසුබෑමත් මගින් ලබාගත් අත්දැකීම් වලටත්; අප මේ පසු කරමින් සිටින යුගයේ අභියෝගයන්ටත් ස්තූති වන්නටය.
එදා 1870 දී ප්‍රංශ-ජර්මානු ලෝහිත යුද්ධයේ පිපිරීමත්, ඉන් ප්‍රංශය ලත් දැවැන්ත පරාජයත් හේතුවෙන්, ප්‍රංශ අධිරාජ්‍ය තන්ත්‍රය පුපුරා ගියේ ය. ප්‍රංශ අධිරාජ්‍යයා වූ ලුවී නැපෝලියන් ජර්මානුන්ගේ අත් අඩංගුවට පත් වූ අතර, ජර්මන් හමුදා ප්‍රංශයට පහර දීමට ආසන්නව සිටියේ ය.
මේ තතු යටතේ ප්‍රංශයේ අභ්‍යන්තර පාලනය අරාජික වීම පසුබිම් කරගනිමින් ලෝක නිර්ධන පංති විප්ලවය, අකුණු සැරයක් ලෙසින්, පැරිස් කොමියුනය නැතිනම් ප්‍රංශයේ නිර්ධන පංති පාලනය ජනිත කරවීය.
වැඩකරන ජනතාවගේ වීරත්වය කොමියුනය අපට පෙන්වයි. තනි කන්ඩායමක් ලෙස එක්සත් වීමේ හැකියාව, අනාගතයේ නාමයෙන් කැපකිරීමට ඔවුන්ගේ ඇති විශිෂ්ඨ දක්ෂතාවය යථාර්තයක් ලෙසින් පෙනී ගියේය. නමුත් ඒ සමඟම එය අපට පෙන්වන්නේ ජනතාවට ඔවුන්ගේ මාවත තෝරා ගැනීමට ඇති නොහැකියාවයි.
ව්‍යාපාරයේ නායකත්වය සම්බන්ධයෙන් තමන්ට ඇති ඓතිහාසික වගකීම පිළිබඳ ඔවුන්ගේ අවිනිශ්චිතතාවයත්; පළමු සාර්ථකත්වයන්ගෙන් පසු නතර වීමට ඇති ඔවුන්ගේ ඇති මාරාන්තික වූ අභිරුචියත් මෙහි දී පෙනීයයි. ඉන් සතුරාට නැවත හුස්ම ගැනීමටත්, තම තත්ත්වය යලි ප්‍රතිශ්ඨාපනය කර ගැනීමටත් කාලයත් ඉඩකඩත් සලසයි. ප්‍රතිවිප්ලවය කඩාවදී.
ප්‍රංශයේ පමණක් නොව මුළු ලෝකය පුරාම නිර්ධන පංතිය, පැරිස් කොමියුනිස්ට් හි පුරුෂයින්ට හා කාන්තාවන්ට ඔවුන්ගේ පූර්වගාමීන් ලෙස ගෞරව කරන්නේ ඇයි? කොමියුනයේ උරුමය කුමක්ද? කොමියූනයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නම් ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග මොනවාද? ධනපති පංතියේ ව්‍යාජ දේශප්‍රේමී මිත්‍යාවන්, අරාජිකවාදය හා පුද්ගල ත්‍රස්තවාදය ඇතුළු හතුරු මතවාදයන් ට මුහුන දීමට නොහැකි වූයේ ඇයි? යනා දී ප්‍රශ්න අප හමුවේ පැන නගී.
පෙර කී පරිදි මේ ප්‍රශ්න සම්බන්ධයෙන් නව පැතිකඩකින් දකිමු.
———————————————————————————————————
- වර්සේල්ස් යනු – පැරණි ප්‍රංශ රාජකීය වාසස්ථානය සහ රජයේ මධ්‍යස්ථානය වූ යේය. එය පිහිටා ඇත්තේ උතුරු ප්‍රංශයේ; පැරිසියේ සිට නිරිත දෙසින් සැතපුම් 10 ක් (කි.මී. 16) දුරිනි. අධිරාජ්‍යයාගේ පරාජයෙන් පසු බලයට පත් එම්. තියර්ස්, පැරිසියේ ජනතා නැගිටීම ඉදිරියේ පලා ගොස් ප්‍රතිප්‍රහාරය සූදානම් කළේ මෙහි සිටය.
- ජාකින ආරන්ෂකයින් – 1789 ජූලි මාසයේදී බැස්ටීලය වැටීමෙන් පසු, පැරිසියේ ආරම්භ කරන ලද ජාතික ආරක්ෂක බලකාය දිගු ඉතිහාසයක් ගත කර සිටියේ ය. 1870 ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධයේදී ජාතික ආරක්ෂක රජය විසින් ජර්මනියට එරෙහිව පැරිස් නගරය ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඔවුන්ට පවරා තිබුණි. එය තියර්ස්ගේ පාලනයට විරුද්ධව කොමියූනයට පක්ෂපාතී විය. 1871 මාර්තු සිට මැයි දක්වා පැරිස් කොමියුනයේ නැගිටීම අතරතුර, ආයුධ රැගෙන යා හැකි සියලු ශාරීරික පුරවැසියන් ඇතුළත් කර මේ පැරිසියේ ජාතික ආරක්ෂක බලකාය පුළුල් කරන ලදී. ප්‍රංශ හමුදාව විසින් කොමියුනය පරාජය කිරීමෙන් පසු, 1872 මාර්තු 14 වන දින විසුරුවා හරින ලදි.
- ෆෙඩරල්වාදීන් – මොවුන් පැරිස් කොමියුනයේ සාමාජිකයන් නොවුනද, ඊට විරුද්ධ නොවී එය ඉවසා සිටියේ ය.
- “ක්ෂේත්‍රයේ (යුද ගැටුම් වලදී) තුවාල ලැබූවන්ගේ තත්වය සමනය කිරීම සඳහා වූ සම්මුතිය. ජිනීවා, 1864 අගෝස්තු 22”. 1864 අගෝස්තු 22 වන දින සමුළුව විසින් පළමු ජිනීවා සම්මුතිය “ක්ෂේත්‍රයේ තුවාල ලැබූවන්ගේ තත්වය සමනය කිරීම සඳහා” සම්මත කරන ලදී. ප්‍රාන්ත සහ රාජධානි 12 ක නියෝජිතයින් සමුළුවට අත්සන් තැබූහ.
– රණත් කුමාරසිංහ