ප්‍රතිවිප්ලවයේ මූලාරම්භය
මේ සමග පළ කරනුයේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් පසු නිකුත් කළ නව සම සමාජ පක්ෂයේ පාක්ෂිකයන් වෙත යවනු ලැබූ අභ්‍යන්තර නිවේදනයේ එන දේශපාලන හැඩගැසීම් පිළිබද පැහැදිලි කිරීම යි. සුපුරුදු පරිදි එය තත්කාලීන දේශපාලන වර්ධනයන් පිළිබදව පක්ෂයේ මධ්‍යම කාරක සභා සාකච්ඡාවන්ගේ නිරූපනයකි. වත්මන් දේශපාලන අභියෝගයන් වටහා ගැනීමේ දී මෙහි පවතින වැදගත්කම සලකා එය ඉදිරිපත් කරමු.
බුලටීනය
(2015 : ජනවාරි – පෙබරවාරි – මාර්තු)
ඉතිහාසයේ විප්ලවයන්ගේ අත්දැකීම් විමසීමේ දී පෙනී යන්නේ ඒවා තම ස්වයංක‍්‍රීය ඉරණම තීන්දු කිරීම අරභයා පාලක පැලැන්තීන් කොටු පවුරු මගින් වෙන් කර තබා ඇති පාලන රාජධානිය තුළට කෙරෙන්නාවූ ජනතාවගේ බලහත්කාරී ප‍්‍රවේශය පිළිබඳ ඉතිහාසය වන බවයි.
ජනතාව විප්ලවයක් කරා ගමන් කරනුයේ සමාජ ප‍්‍රතිසංවිධානය පිලිබඳව කලින් සකසා ගැණුන සැලසුමක් ඇතිව නොව, පවතින පාලනය තව දුරටත් නොඉවසිය හැකිය යන තියුණු හැඟීම ඇතිවය. දේශපාලන ක‍්‍රියාමාර්ගයන් තිබෙනුයේ ඒ ඒ සමාජ පංතියක මාර්ගෝපදේශක තීරුවලට පමණි. එයට පවා, සිද්ධීන් විසින් උරගා බලනු ලැබීම් සහ ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වේ. ඒ අනුව විප්ලවයක මුලික දේශපාලන ක‍්‍රියාවලිය සමන්විත වනුයේ, සමාජ අර්බූදය තුලින් පැන නගින්නාවූ ගැටළු පිලිබඳව පංතියක් විසින් ලබාගනු ලබන ක‍්‍රමික අවභෝධය තුළ ය. එනම් ඔවුන් වෙත අනුක‍්‍රමික සමිපවීමේ විධික‍්‍රමයක් මගින් කෙරෙන්නාවූ ජනතාවගේ ක‍්‍රියාශීලී යොමු වීම තුළය. නායකත්වයන්ගේ හා පක්ෂ වල සිදුවන වෙනස්කම් මගින් සහතික කෙරෙන විප්ලවයේ විවිධ අවධි, වමට යොමුවූ, වැඩෙමින් ඇති ජනතා තෙරපීම ප‍්‍රකාශයට පත් කරන්නේ ය.
විප්ලවයේ ඒ ඒ අවදි පසුකරමින් ඉදිරියට සිදුවන දෝලනය විෂයබද්ධ බාධකයන්ට මුහුණ නොපාන තාක් එය සත්‍යයකි. නමුත් බාධකයන්ට මුහුනපාන කල, නැගී සිටි ජනතාවගේ විවිධ කොටස් තුළ කළකිරීම් ද උදාසීනත්වයේ වර්ධනය වීමක් ද බිහි කරයි. ඒ හා සමගම ප‍්‍රතිවිප්ලවීය බලවේගයන්ගේ තත්ත්වයෙහි ශක්තිමත් වීමක් ද ඇති වේ.
පක්ෂ වල සහ නායකයන්ගේ භූමිකාවන් අපට අවබෝධ කරගත හැක්කේ ජනතාව තුළ පවත්නා දේශපාලන ක‍්‍රියාවලීන් අධ්‍යයනය කිරීමේ පදනම මත පමණි. ජනතාවගේ ක‍්‍රියාකාරීත්වය හුදු ස්වාධීන අඛණ්ඩ භාවයක් නිසඟව අත්කර නොගනී. එයට මාර්ගෝපදේශක සංවිධානයක නායකත්වයක් ලැබිය යුතුය. එවැන්නකින් තොර වූ විට ජනතාවගේ ශක්තිය පිස්ටන් පෙට්ටියක් තුළ වසා නොතැබූ වාෂ්ප මෙන් සිඳී යනු ඇත. එසේ වුවත් දේවල් චලනය කරනුයේ පිස්ටනයවත්, පෙට්ටියවත් නොව වාෂ්පය.
බොහෝ දෙනා දකින්නේ වාෂ්ප පෙට්ටියේ හා පිස්ටනයක ක‍්‍රියාකාරීත්වය පමණි. ඒ අනුව ඒ හෝ මේ නායකයන්ගේ නැතිනම් පක්ෂ වල මැදිහත්වීම් මගින් ඉතිහාසය තීරණය වනු ලබන්නේ යයි සිතයි. ඒ විධික‍්‍රමය මත මතුපිට රඟ දෙන එවැන්නවුන්ගේ හොඳ නරක – හැකියාව හා නොහැකියාව – ගුණ දොස් – අවංකකම වංකකම – කෲර කම කරුණාවන්ත කම – හැකියාව නොහැකියාව මුල් කර විශ්ලේෂනයන්හි යෙදෙති. ඒ අනුභූතික උපයෝගීතාවාදී ධනේශ්වර දෘෂ්ඨිය තුළින් කුමන දැනුමක් පසක් කරගන්නේ වී මුත් සත්‍ය නම් පසක් නොවේ.
එසේ හෙයින් මහින්ද පාලනයේ බිඳ වැටීම හා එදා සිට සිදුවෙමින් යන ක‍්‍රියාදාමය වටහා ගැනීමට හෝ ඒ ක‍්‍රියාදාමය තුළට සාධකයක් ලෙස මැදිහත්වීමට හෝ එවැන්නවුන් සමත් වන්නේ නැත.
2015 ජනවාරි 08 දා මහින්දගේ නොබිදිය හැකි යැයි ප‍්‍රකාශිත, ”අසහාය” බලය පෙරලා දැමීම ඒ සඳහා නිර්භීතවත් ක‍්‍රියාශීලි ලෙසත් මැදහත් වූ ජනතාවගේ ක‍්‍රියාකාරීත්වය ප‍්‍රාථමික වෙයි. ඝෝර යුද්ධයකින් ජනිත වූ සිංහල බෞද්ධ මර්ධණීය තන්ත‍්‍රයේ ප‍්‍රමුඛ මිනීමරු මෙහෙයුම් කරුවා ඉවත් කර දැමීමට තම මනෝභාවයන් සකස් කර ගැනීමේ දී ජනතාව පැන ආ යුතු දෘෂ්ඨිමය කඩුලූ ගණනාවක් විය.
ජනතාව දෘෂ්ඨිමය බාධක ජයගැනීම
1. යුද්ධය දෙමළ ජනතාවගේ අවි බලය බිඳ හෙළුවද දෙමළ ජාතික ප‍්‍රශ්නය වඩාත් උග‍්‍ර වෙමින් එලෙසම පැවැතීම හා පෙර නොවූ විරූ අයුරු යුද්ධය මගින් දෙමළ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නය ජාත්‍යන්තරීකරණය වීම ඔස්සේ නව අභියෝග ගණනාවකට රට මුහුණ දීම. ඒ අනුව දෙමළ විමුක්ති අරගලයේ සන්නද්ධ බලය බිඳ හෙලීම මගින් සිංහලයාට ප‍්‍රයෝජනයක් – වාසියක් නොව අවමානයත් හුදකලා අනාරක්ෂිත බවත් රැගෙන ආ බව තේරුම් ගැනීම. ඒ අනුව යුධයේ නිස්සාර බව වටහා ගැනීම.
2. යුද්ධයේ ප‍්‍රතිඵලය වූයේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය වර්ධනය වීම නොව එය තව තවත් හකුළාලන වඩාත් බිහිසුනු අත්තනෝමතික බලයක් බිහිවීම බව තේරුම් ගැනීම. ඒ මගින් ධනපති සමාජය සමඟ සාමාන්‍ය ජනතාවට ගනුදෙනු කළ හැකි රාජ්‍ය ආයතන, එනම් යුක්තිය සාධාරණය ලබාගත හැකියයි විශ්වාස කරනු ලබන ආයතන – පොලිසි, උසාවි, රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුලත් රාජ්‍ය ව්‍යුහය දේශපාලනීකරණය කර අතලොස්සක් වන ජාවාරම්කාර පැලැන්තියක ඕනෑ එපා කම් වෙනුවෙන් පෙළගස්වා ඇති බවත්, එසේ තීන්දු තීරණ සියල්ල බලගතු දේශපාලන හස්ථයක් මගින් මෙහෙයවනු ලබන බවත් තේරුම් ගැනීම. එම හස්ථය මගින් සම්ප‍්‍රදායික රාජ්‍ය ව්‍යූහයන් ඉක්මවා සිංහල වර්ගවාදී හා බෞද්ධ මූලධර්මවාදී විවිද සන්නද්ධ කල්ලි වල බලය මත මහින්ද රාජපක්ෂ ෆැසිස්ට් පන්නයේ පාලනයක් ගෙන යන බවත් පැහැදිලි කර ගැනීම.
3. යුද්ධයෙන් පසු දියත් කැරුණු, ”සංවර්ධන යුද්ධය” බලහත්කාරයෙන් ජන සමාජය කරපිට ගෝලීය ධනවාදයේ අවශ්‍යතා මත දියත් වන දැවැන්ත ”යටිතල පහසුකම්” ව්‍යාපාරයක බර කරගැස්සවීමක් බවත්, දේශීය නිෂ්පාදන අංශයන්ගේ වර්ධනයට ඉන් කිසිම සෙතක් නොසැලසෙන බවත් තේරුම් ගැනීම. ඒ අතරම සංවර්ධනයේ මුවාවෙන් ගන්නාවූ ණය මගින් දැවැන්ත ගසාකෑමක් කෙරෙන බවත්, ඒ හැර ජන ජිවිතයට යහපතක් වන ප‍්‍රතිලාබයක් මේ ව්‍යාපෘති මගින් ලැබෙන බවක් පේනතෙක් මානයක නැති අතර ඒ වෙනුවට මේ ගසාකෑමේ ව්‍යාපෘති සඳහා නිරන්තරව මූර්ත වශයෙන් කප්පාදුවන තම ආදායමෙන් බදුගෙවිය යුතුව තිබෙන බවත් වටහා ගැනීම. මෙම දැවැන්ත කොල්ලය මෙහෙයවන්නවුන් සමාජයේ රාජ්‍ය ආයතන ව්‍යූහය දේශපාලනීකරණය කිරීමට අමතරව දූෂිතකරණයටද ලක් කර තමන්ගේ ආවතේවකම් සඳහා යොදාගෙන ඇති අයුරු අවබෝධ කර ගැනීම. ඒ අතර ප‍්‍රමුඛ විය.
එසේ යුද්ධය නිමවී වසරක් දෙකක් ගතවීමට පෙරම ඊනියා යුධ ජයග‍්‍රහනය රටේ වත්, පොදුජනතාවගේ වත් ජයග‍්‍රහනයක් නොව ගෝලීය බලවතුන්ගේ ජයක් බවට පෙරලී ඇති අයුරු ගැන වැඩි දියුණු කම්කරුවන් ප‍්‍රමුඛ රටේ වැඩ කරන ජනතා කොටස් වලට මෙන්ම පක්කලියන් නොවන බුද්ධිමතුන් අතර ද තව දුරටත් සැකයකට ඉඩක් නොවීය. යටපත් කරන ලද්දේ ”ත‍්‍රස්තවාදය” පමණක් නොව ඒ සමඟම තමන්ගේ සියළුම ප‍්‍රාතන්ත‍්‍රීය අයිතීන් අහෝසි වී අත්තනෝමතික බලහත්කාරය සමාජ ආර්ථික සංස්කෘතික යන සැම දෙසින්ම තම හිසට උඩින් එල්ල කර ඇති කඩු තුඩක්ව තිබෙන අයුරු පෙනී යන්නට විය.
ප‍්‍රාණබිය, ප‍්‍රතිපත්තියක් කර ගැනීම
යුධ ජයග‍්‍රහණය ක්ෂණිකවම ප‍්‍රජාතන්ත‍්‍රීය-මානුෂික ජනයා බියවැද්දීමක් විය. ප‍්‍රභාකරන්ගේ හිස කුඩුපට්ටම් කළ මලමිනියේ ඡායාරූප අතින් ගත් යුධවාදී රාජපාක්ෂිකයෝ පාරවල් පුරා කිරිබත් පිසිමින් මගීන්ට ඒවා බලහත්කාරයෙන් කවමින් සරන්නට වූහ. ඒ මගින් ස්වාභාවික මනුස්ස සදාචාරයට, නිදහස් චින්තනයට ද එම පොලූ පහරම එල්ල කර පාගා දැමීමට, මනුෂ්‍යත්වය පාගා දැමීමට ක‍්‍රියා කළහ. යළි කවදාවත් යුධ විරෝධීන්ට, මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට නැගිටිය නොහැකි පහරක් ප‍්‍රභාකරන්ගේ හිස ඉලක්ක කළ පොල්ලෙන්ම එල්ල කිරීම මගින් මුළුමහත් ලාංකීය ජන සමාජයම බියෙන් මුසපත් කිරීම මේවායින් ඉලක්ක කෙරිණි.
මොහොතකට එය එසේම වීයේ යැයි පෙනී ගියා සේය. විප්ලවවාදී දැවැන්තයන් මෙන් පෙනී සිටි සමහර උදවිය දැන් ඉවරයි සියල්ල. තියෙන්නේ අවතැන්වූවන්ට කන්න බොන්න තියෙනවද කියල බලන්නවත් තත්ත්වයක් හදා ගන්න පුළුවන්ද කියන එකයි යනුවෙන් කන්කෙඳිරි ගෑහ. යලි පදිංචි කිරීම පිලිබඳ සටන් පාඨයක් හෝ මේ මොහොතේ යතාර්ථයක් නොවන බව කියූහ.
නමුත් සැබෑ විප්ලවවාදීන් ”බිය” ප‍්‍රතිපත්තියක් කරගන්නේ නැත. ඔවුන් වහාම ප‍්‍රශ්නය ඉදිරිපත් කළහ. යුධ නිමාවට පෙර කාලයේ ක‍්‍රියාත්මක කර තිබූ යුධයට විරුද්ධ, අතුරුදහන් කිරීම් වලට විරුද්ධ හා දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්න මත බිහිකර තිබූ සංවිධාන රටාවන් හා ඒවායේ කර්තව්‍යයන් නව තත්ත්වය මත විස්තීර්ණ කරමින් උද්ඝෝෂණ ආරම්භ කෙරිණි. අතුරුදහන් කිරීම් නැවැත්වීම, සුදුවෑන් ව්‍යාපෘති, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, කඳවුරු ගත අවතැන් වූවන් වහාම තමන් උන්හිටි තැන්වල යලි පදිංචි කිරීම හා විනාශ වූ දේපල පුණරුත්ථාපනය හා සුපුරුදු ජීවනෝපායයන් යලි ඇරඹීම සඳහා වන්දි හා ආධාර ලබා දීම යනාදිය මුල් කරගත් පිකට් ව්‍යාපාර, කොළඹ – වව්නියාව – යාපනය – මුලතිව් – ත‍්‍රිකුණාමලය ආදී නගර රාශියක දියත් කරන ලදී. මේ මර්ධණිය පාලනයට අභියෝග කිරීමට කිසිම තත්ත්වයක් නැතැයි කල්පනා කිරීම, නුවුමනා ලෙස බිය දේශපාලන ප‍්‍රතිපත්තියක් බවට පත් කර ගැනීමක් බව ක‍්‍රමිකව එලියට එන්නට පටන් ගත්තේ අපගේ ඒ නිර්භීත ක‍්‍රියාදාමය තුළිනි. යුධවාදයට එරෙහි, ප‍්‍රජාතන්ත‍්‍රීය බලවේගයන් යලි එලියට එන්නට පටන් ගත්තේ ය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද ලංකාවේ ප‍්‍රශ්නය අතට ගැනීමෙන් පසු එය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගමන් කරමින් මේ උද්ඝෝෂණ ජාත්‍යන්තරීකරණය කෙරිණි. මුළුගැන්වී සිටි බොහෝ වම්මු ජනරාල් ෆොන්සේකා කර තබාගෙන තම විරුද්ධත්වය පළ කිරීමට ඉදිරිපත් වූයේ ය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක්
මේ තත්ත්වය තුළ යටපත් කර තිබූ ලිබරල්වාදය යලි හිස එසවීමට සමත් විය. LTTE ය විනාශ කර බිහිකළ ”සාමයට” වඩා LTTE සහිත ”සාමය” පැවැති කාලය වෙළඳපල ව්‍යාප්ත වීමට හේතුවී නිෂ්පාදකයන්ට වාසිදායක වූ බවත්, එසේ හෙයින් සැබෑ සංවර්ධනයකට ආධිපත්‍යවාදී (Authoritarian) ”සාමය” නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ”සාමයක්” අවශ්‍ය බවත් ධනේශ්වර ආර්ථික විශේෂඥයෝ කියා සිටින්නට වූහ. ඒ අනුව යලි නිෂ්පාදන අංශයන්ට ප‍්‍රාග්ධනය යොමු කිරීමේ අවශ්‍යතාවය, විශේෂයෙන් කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කවල කෘෂිකර්මය ආශ‍්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදන කර්මාන්ත ගොඩ නැගීමේ අවශ්‍යතාවය, එක් තැනක සංකේන්ද්‍රණය වන මහා පරිමාන කර්මාන්තායතන නොව පැතිරුණු මධ්‍ය ප‍්‍රමාණයේ කර්මාන්ත පද්දතියක ව්‍යාප්තිය, එම භාණ්ඩ වලට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන ප‍්‍රමිතියක් පවත්වා ගැනීම හා මේ ක්ෂේත‍්‍රයන්ට ප‍්‍රාග්ධනය යොමු කිරීමට ප‍්‍රමුඛතාවය දීම පිළිබඳව උද්ඝෝෂණ ඇරඹිනි. සැබැවින්ම මේ ආර්ථික ප‍්‍රතිපත්තිය හුදු දේශීය අර්ථ ශාස්ත‍්‍රඥයන්ගේ මතයක්ම නොව ලොව පුරා ආර්ථික විද්වතුන්ගේ සාකච්ඡාවට භාජනය වී තිබෙන්නකි. ඉහලම තාක්ෂණයෙන් සපිරි දැවැන්ත මධ්‍යගත කර්මාන්තකරණය ලාබ රේට්ටුව ඇදවැටීමේ, විරක්ෂිත භාවය ඉහල යෑමේ හා වෙළඳපල සංකෝචනය වීමේ ප‍්‍රධාන සාධකයක් ලෙස සළකනු ලැබීම ඇරඹී තිබිනි. ලංකාවේ ධනපති ආර්ථික විශ්ලේෂකයන්ද එම සාකච්ඡාවේ පිටුබලය ලබමින් තම අදහස් සකසන්නට පටන් ගැනිනි.
ඒ අනුව ලිබරල්වාදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් (17 සංශෝධනය) ඇතිකර ගැනීම, තීන්දු ගැනීමේ දී විනිවිද පෙනෙන සුළු බව ආදියට අමතරව ආධිපත්‍යවාදී ආර්ථික වැඩපිළිවෙලට විකල්පව භාණ්ඩ නිෂ්පාදනය ඉහල දැමීම, ශ‍්‍රම අපනයනය (මව්වරුන්, දැරියන් රට පැටවීම) මගින් දැනට කරගෙන යන ගෙවුම් ශේෂ අර්බූදයට විසඳුම් සෙවීමේ මානුෂවාදී නොවන පිලිවෙත් අත් හැර භාණ්ඩ අපනයන ධාරිතාවය ඉහල දමා ඒ මගින් ගෙවුම් ශේෂ හිඟය අවමකර ගැනීම හා උද්ධමනය පාලනය කළ හැකි ලෙස වෙළඳපල තුලනය කර ආනයන සීමා කිරීම. මේ පිළිවත මගින් ඵලදායී ලෙස රටේ ශ‍්‍රමය යොදා ගැනීම හා වෙළඳපල ව්‍යාප්ත කර ගැනීම. විදෙස්වලින් ගිනි පොලියට ගන්නා ණය සම්භාරයන් යොදාගෙන විනිමය අනුපාත නඩත්තු කර ගැනීමේ අසාර ක‍්‍රමවේදයන් නවත්වා පෙර දැක්වූ ධරණීය ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නැගීමෙන් දේශීය මුදලේ අගය සුරක්ෂිත කිරීම යනාදී වූ ආර්ථික උපාය මාර්ගයන්ගෙන් මේ ධනපති ආර්ථ ශාස්ත‍්‍රඥයෝ සන්නද්ධ වී සිටියේ ය. වංචාව හා දූෂණය අවම කිරීමෙන් දැවැන්ත ප‍්‍රාග්ධනයක් මේ සංවර්ධන පිළිවෙත ක‍්‍රියාවට ලීම සඳහා ඉතිරි කර ගත හැකි බවද ඔවුහු පෙන්වා දුන්හ.
මෙහි දී රට තුළ සැබෑ ලෙස සියළුම ජනකොටස් පිලිගන්නාවූ සැබෑ ප‍්‍රජාතන්ත්‍රීය පදනමක් මත සාමය ගොඩ නැගීමේ ප‍්‍රාථමික අවශ්‍යතාවය පිලිගැනිනි. සැබෑ සංවර්ධනය යනු සියළුම ජනතාවන් ඇතුලත් කරගන්නා, සැමට ප‍්‍රතිලාභ ලැබෙන සංවර්ධන පිලිවෙතක් බවට හඩ නැගිනි. ඒ අනුව LLRC වාර්තාවේ නිර්දේශ, මහින්ද පාලනයට විකල්ප දේශපාලන ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමේ දී තීරණාත්මක වන බව තේරුම් ගැනීමට සමත් වීම ලිබරල්වාදයේ තීරණාත්මක ශක්තිය විය. එය විප්ලවකාරී ස්ථාවරයක් වූ අතර අඩු දියුණු රටක් ලෙස ගත් කල ලංකාවේ විප්ලවකාරී බලවේග පුබුදුවන, ඒ නිසාම ප‍්‍රතිවිප්ලවයද කුළුගන්වන සංක‍්‍රමණීය ඉල්ලීමක් විය. දෙමළ ජනතාවගේ ස්වපාලන අයිතීන් පිළිබදව 13 සංශෝධනයද වැඩි දියුණු කෙරෙන LLRC නිර්දේශ වෙනුවෙන් රටේ ලිබරල් ධනපති කොටස් ඉදිරිපත් වීම විප්ලවවාදීන්ටද පුළුල් ජන ප‍්‍රවාහයක් අතරට අදහස් ගෙන යෑමේ මහඟු ඉඩක් විවිර කළේය. සැබැවින්ම LLRC ය සටන් පාඨයක් කර ගැනීමට ලිබරල්වාදය ඉදිරිපත් වූයේ අපගේ විප්ලවවාදී ස්ථාවරයේ ශක්තිය උකහා ගනිමිනි. යුධය හරහා තහවුරු කළ සිංහල බෞද්ධවාදී බල තන්ත‍්‍රය බිද දැමීම විප්ලවකාරී බලවේග මුදාහැරීමක් කරා ගමන් කළ හැකි බව ධනපති පංතියේ මාර්ගෝපදේශකයන් නොදැන සිටියා නොවේ. නමුත් මේ බලවේග නිදහස් නොකර මහින්දගේ ෆැසිස්ට් පන්නයේ තන්ත‍්‍රයට අභියෝග කිරීමට අවශ්‍ය ජන බලවේගයක් ගොඩ නැගීමට යොදා ගත හැකි වෙනත් සමාජ තීරුවක් නොවීය. ඒ අනුව රනිල් නායකත්වය එම බලවේග යොදා ගැනීමට නිර්භීතව ඉදිරිපත් වූ අතර අවශ්‍ය විටෙක පාර්ලිමේන්තු සීමාවන් තුළ රඳවා ගනිමින් ඒවා පාලනය කිරීමට හැකියයි බලාපොරොත්තු විය.
යහපාලනය, වේදිකාගත වීම
උද්ඝෝෂණ ඇරඹුනි. අපි ඒ තුළ ශක්තිමත් ලෙස මැදිහත් වීමු. ෆොන්සේකා කරගසාගෙන ගිය බොහෝ වාම හා වෘත්තීය සමිති නායකයන් ලිබරල් ධනේශ්වරය සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට ඉදිරිපත් නොවුහ. ඉදිරිපත් වූවෝ ද සභාගවාදයේ සමාජීය බලපෑම නිසා හා මෙම උද්ඝෝෂණය මගින් අන්තිම වශයෙන් කෙරෙන්නේ යුධය මෙන්ම එහි ජයග‍්‍රහණය ද විනාශයක්මය යන මනෝභාවය ජනතාව අතර වැපිරීම ය යන්න පෙනී යද්දී ක‍්‍රමයෙන් ඈත් වූහ. නමුත් ඒ කිසිවක් ජනතාවගේ විරුද්ධත්වය පසුබැස්සවීමට සමත් නොවී ය. පාලනයේ බිඳ වැටීම ඌව පලාත් සභා මැතිවරණයෙන් සහතික ලෙස පෙන්නුම් කෙරිණි. කම්කරු පංතියේ වැඩිදියුණු තීරු මෙන්ම විශේෂයෙන් වතු කම්කරුවන්, ගොවියන්, ධීවරයන් තම තමන්ගේ නායකයන් සභාග ආණ්ඩුවේ ඇලී ගැලී සිටියදීම ආණ්ඩුවෙන් ඉවත් වීම අරඹා ඇති බව ඇස්පනාපිට පෙනී ගියේ ය.
විපක්ෂයේ විරෝධයේ සටන් පාඨ මත ගොඩ නැගුණ මේ ජන පෙළගැස්ම නිසා ඒ වන විට වේදිකාවෙන් ඇද වැටී තිබුනේ වී උවද, ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීම හා පොදු අපේක්ෂක කතාව දූවිලි ගසා ”යහපාලනයෙන්” වෙස් බැඳ යලි වේදිකාවට ගෙන ඒමට කටයුතු ඇරඹුනි. මහින්ද පාලනය බිඳ වැටීම ස්ථීර වන්නේ නම් ඉදිරියේ දී ප‍්‍රයෝජනය ගැනීමට මේ මාර්ග බාධකය ඉතාම වැදගත් විය. ඒ මගින් විපක්ෂයේ විරෝධයේ සටන් පාඨ වල මුල්තැන්හි ලා සැලකුණු LLRC වාර්තාව වේදිකාවෙන් පහලට වැටුනි. 1993 දී, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවර දීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව සංවර්ධන වාර්තාව රැගෙන ආ චන්ද්‍රිකා මෙවර එක්සත් ජාතීන්ගේ ආසියා ෆැසිෆික් කලාපීය ආර්ථික හා සමාජීය කොමිෂන් සභාවේ නිර්දේශිත ”යහපාලනය” රැගෙන යලිත් වේදිකාවේ ප්‍රාදූර්භූත වූවා ය. හෙල උරුමය මහින්ද පාලනට එරෙහිව කසය අතට ගන්නා ලදී. විපක්ෂයේ විරෝධය මගින් පෙරට ගෙන තිබූ සංක‍්‍රමණිය ඉල්ලීම් මත ඒ සමඟ ක‍්‍රියාත්මක වෙමින් එයට මහත් ශක්තියක් ලබා දුන් දෙමළ ජනතාවගේ ව්‍යාපාරයන් ද මෙහි දී තම නිදහසේ සංයුක්ත ඉල්ලීම් වලට පෙරාතුව මහින්දගේ ෆැසිස්ට් පන්නයේ පාලනය පරාජය කිරීම තමන්ගේ අරගලයේම කොටසක් ලෙසත්, ක්ෂණිකව ගත් කල ප‍්‍රමුඛත්වයෙහි ලා සළකන සෙයත් පෙනී ගියේ ය.
ඒ අනුව මහින්ද විරෝධී අරගලයේ වැදගත් වැඩ කොටසක් ඉටු කළ දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව හා ක‍්‍රිස්තියානි ආගමිකයන් ද ව්‍යවස්ථාව වෙනස් කිරීම හා යහපාලනය සමඟ පෙළ ගැසුනේ තම තමන්ගේ ජාතික ආගමික අවශ්‍යතා කුමක් වුවත් මහින්ද පරාජය කිරීම ප‍්‍රාථමික ලෙස සලකමිනි. මේ ජන කොටස්වල නායකයන් කුමන ලෙස කල්බැලීම් කරමින් සිටියද ජනතාව මේ දිසාවෙන් තීන්දු ගෙන සිටි නිසාම නායකයන්ද අන්තිම මොහොතේ නිළ ප‍්‍රකාශයන් කිරීමට ඉදිරිපත් වනවා දක්නට ලැබුණි.
පොදු අපේක්ෂයාගේ කාර්යභාරය
අවසානයේ ඉතිරි වූයේ පොදු අපේක්ෂකයාට වෙස් බැඳ වේදිකා ගත කිරීමයි. එය ඌවේ මැතිවරණයේ ප‍්‍රතිඵල සමඟ හදිසි ජනපතිවරණයට දින නියම කෙරෙන බව ස්ථීර වෙද්දීම සූදානම් කෙරෙමින් පැවැති බව පසුව එළිදරව් වූ කරුණු මත පෙනී යයි. නමුත් සියල්ල අදිසි පිළිවෙත් ඔස්සේ සැළසුම් කෙරී අවසාන මොහොතේ නාට්‍යාකාරයෙන් වේදිකා ගත කෙරුණි. පොදු අපේක්ෂකයා පැරණි ජනතාවාදයේ ආත්මයන් අතරින් තෝරාගෙන තිබුණි. නමුත් මේ ආත්මයට පුද්ගලාරෝපනය ලද හැකිව තිබුනේ විපක්ෂයේ විරෝධය විසින් ගොඩ නැගූ ජනතා ප‍්‍රවාහයට ආවේශ වීමෙන් පමණි. එසේ ආවේශ වීමට හැකි තැනට එම ව්‍යාපාරයේ සටන් පාඨ යලි සකස් කෙරිණි. ඒ අනුව ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීම හා යහපාලනය පැමිණියේ ය. ජයග‍්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්වීම වෙනුවට දින 100 වැඩපිළිවෙල ගෙන එන ලදී. එය සැමගේ ප‍්‍රමෝදයට හේතු වුවද එහි පරමාර්ථය වූයේ ආවේශ ගැන්වූ ආත්මය ජිවමාන කිරීම ය. ශ‍්‍රී ලනිපයේ ෆැසිස්ට් පන්නයේ මෙහෙයුම්කරුවන් වෙනුවට ජනතාවාදයේ බලවේගයන් ශක්තිමත් කර ඒ ආත්මයට අවශ්‍ය ගැබ සූදානම් කිරීමය. ජනතා ප‍්‍රවාහය ගමන් කළ මාවතේ පැවැති සංක‍්‍රමණිය සටන් පාඨ පසුබස්සවා සිල්ලර වාසි ලැබීමේ මාවතට ජනතාව ඇද ගැනීම ය. එය එජාපයේ සිංහල බෞද්ධවාදීන්ට මෙන්ම හෙල උරුමයටත්, නව සභාගයක අවශ්‍යතාවය වෙනුවෙන් චන්ද්‍රිකා පසුපස කලක සිට ගාටමින් සිටි රැඩිකල් ප‍්‍රතිසංස්කරණවාදී වම්මුන්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාධරයන් බවට පත් මධ්‍යම පංතික බුද්ධිමතුන්ගේ ද අමන්දානන්දයට හේතු විය. ඒ පමණට විප්ලවවාදී ඉදිරි දර්ශනයට පරාජයක් ගෙන ආවේය.
මෙහිදී ”යහපාලනය” පිළිබඳ සැබෑ අර්ථකතනය තේරුම් ගැනීම වැදගත් වෙයි. මන්ද යහපාලනය යන්න ඒ හෝ මේ හොද වැඩ කිරීම ලෙසට අර්ථ ගන්වා ඇති නිසාය. Good Governance යන ඉංග‍්‍රීසි වචනය යහපාලනය ලෙස හැඳින් වේ. Recently the terms “governance” and “good governance” are being increasingly used in development literature. Bad governance is being increasingly regarded as one of the root causes of all evil within our societies. Major donors and international financial institutions are increasingly basing their aid and loans on the condition that reforms that ensure “good governance” are undertaken.
Good governance has 8 major characteristics. It is participatory, consensus oriented, accountable, transparent, responsive, effective and efficient, equitable and inclusive and follows the rule of law. It assures that corruption is minimized, the views of minorities are taken into account and that the voices of the most vulnerable in society are heard in decision-making. It is also responsive to the present and future needs of society.
දැන් මේ ඉහත දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ ආසියා හා ෆැසිෆික් කලාපීය ආර්ථික හා සමාජීය කොමිෂන් සභාව විසින් යහ පාලනය යන්න අර්ථ ගන්වා ඇති අයුරුයි. ඔවුන් කෙසේ කීවත් ලංකාවේ අප අපට ගැලපෙන අර්ථයක් දීමට අයිතියක් ඇතැයි කමකු කියනු ඇති වුවද අප මේ පරිහරණය කරන්නේ චන්ද්‍රිකාගේ සංකල්ප නොව ගෝලීය ධනවදයේ සංකල්ප බව තේරුම් ගත යුතුය. ඒවා සකසා ඇත්තේ ඔවුන් කියන පරිදිම තුන්වන ලෝකයේ රටවල් සමඟ ආර්ථික සබඳතා පවත්වාගෙන යෑමේ දී භාවිතා කරන මිනුම් දඩු හැටියටය. අධිරාජ්‍යවාදය පිලිබඳ දැඩි විවේචනයක් සහිතව ඒවා මගහැර යෑමට ද හැකිය. ඒ චීනය වැනි ගිනි පොලීකරුවන් සමඟ දීග කෑමටය. බැංකු වලින් Black List කර ඇත්තකු ඕනෑම මොහොතක බැංකු වලට වඩා ගමේ ගිනි පොලීකරුවා යහපත් බව කියනු නිසැක මුත් එය සත්‍යය නොවේ.
ඔවුන්ට අනුව යහපාලනයට ආවේනික ගුණාංග 08 ක් ඇත්තේ ය. ඒවා නම් (ඉහත ඉංගිරිසියෙන් දැක්වෙන අයුරු) ”………සහභාගීත්වය, ඒකමතිකභාවය, වගවීම, විනිවිදභාවය, ප‍්‍රතිචාරාත්මක බව, ඵලදායීවීම හා කාර්යක්ෂමවීම, සාධාරණ බව හා ඇතුලත් කර ගැනීම, නීතියේ ආධිපත්‍යය අනුගමනය කිරීම……” යනාදියයි ඒ. බැලූ බැල්මටම මේ කිසිවක් පැවැති පාලනයේ නොවීය. දස වසරක දූෂිත අත්නනෝමතික පාලනයකට යටත්ව පැවැති සමාජය උඩියටිකුරු නොකර එම තත්ත්වයෙන් පරිසමාප්ත වෙනසක් සිදුනොවනු ඇති අතර එසේ කිරීම සඳහා කම්කරු රාජ්‍යයකට වුව කල් ගත වන්නේ ය. නැතිනම් පැවැති පාලනයට ද වඩා දරුණු පොල්පොට් පන්නයේ සුළු ධනේශ්වර වියරු ක‍්‍රියාමාර්ග වෙත යා හැකිය.
ලිබරල් හා ජනතාවාදී නායකයන්ගේ එකතුවක් වන මෙම පාලනය උක්ත ගුණාංග වෙනුවෙන් සටන් කරමින් ගෝලීය ධනවාදය සමඟ එක්ව ජනතාවට ද සහන ලැබෙන ආර්ථික සංවර්ධන සැලැස්මක් ඇති කරන බව කියයි. නමුත් මේ ගෝලීය ධනවාදී ප‍්‍රතිපත්ති ඇත්තේ මධ්‍යම පංතික උගතුන්ගේ පණ්ඩිතමානී දෙසුම් වලදී යොදා ගැනීමට විනා සාර්ථක ලෙස යථාර්තයේ පිහිටුවීමට හැකි දේ ලෙස නම් නොවේ. මන්දයත් ධනපති නිෂ්පාදන සබඳතා පවතින්නේ ම මේ යහපාලන ගුණාංගයන්ගේ ප‍්‍රතිපක්ෂයක් ලෙස නිසා ය. හොදයි අපි නැවත අපගේ කතාවට එමු.
ලිබරල්වාදයේ සීමාවන් හා කම්කරු පංතිය
මහින්ද පරාජය කිරීම මුල්කර සිටි ජනතාවට මේ කිසිවක් වැදගත් නොවූවා සේ ය. ඔවුහු ප‍්‍රභල ලෙස ඉදිරියට පැමිණියහ. ඒ සමඟ මර්ධනයට එරෙහිව සටන් වැදී සිටි හා ඒ සටනට ආකර්ශණය වෙමින් සිටි කම්කරු පංති කොටස්, (විශේෂයෙන් වතු කම්කරුවන් ඇතුළත්ව) සමඟ සියළුම සුළු ජාතීන් හා ආගමිකයන් පෙළ ගැසුනේය. ඒ අර්ථයෙන් ගත් කල එය සමස්ත පීඬිතයන්ගේ ප‍්‍රබල එක්සත් නැගිටීමක්, උතුරේ-නැගෙණහිර-වතුකරයේ හා දකුණේ ජනතාව එක්සත් කළ ප‍්‍රබල නැගිටීමක් පෙන්නුම් කළේය. හුදු ගතානුගතික මැතිවරණයක් ඉක්මවා ගිය ජනතා නැගිටීමක් බවට එය පත් විය. එම නැගිටීම පෙර දුටු ධනපති පංතිය මැතිවරණ සීමා තුළ ජනතාව රඳවා ගැනීම සඳහා යහපාලන සටන් පාඨය යොදා ගනු ලැබුවද, ස්ථාන ගණනාවක ජනතාව නැගී සිට පැරණි මර්ධකයන් යට කිරීමට වෑයම් කළේය. මර්ධකයන් බලහත්කාරයෙන් යටපත් නොකර ඔවුන්ගේ යලි පුණරුත්ථානය වැලැක්වීමට නොහැකියයි කල් ඇතිව තේරුම්ගත්තා සේ ය.
මේ ජනතා නැගිටීම ලෙයින් යකඩින් තැලීම සඳහා මැතිවරණ ජය නැතිනම් කුමන්ත‍්‍රණය යොදා ගැනීමට සිතා සිටි ෆැසිස්ට් පන්නයේ පාලකයා ඒ අපේක්ෂා අසාරවීමත් සමඟ බියෙන් වෙව්ලා ගියේ ය. රෝමනොව් රජ පවුලේ ඉරණම ඔහු ඉදිරියේ මැවුනාට සැක නැත. ඔහු හිරු උදාවට පෙර මේ ජන බලය හැසිරවිය හැකි තැනැත්තා කැඳවා තම දරු පවුලට ආරක්ෂිතව හම්බන්තොටට යෑමට ක‍්‍රමයක් සලසන ලෙස ඉල්ලා සිටියේ ය. අභය ඉල්ලිය යුත්තේ කාගෙන්දැයි තේරුම් ගැනීමට තරම් මොලයක් ඔහුට තිබී ඇත.
විධායක කමිටුව
සෑම විප්ලවයක් මගින්ම පාහේ, ක්ෂණිකව, එම විප්ලවයේ බලවේග නිරූපනය කරන සභාවක් ඇති වී තිබේ. රුසියාවේ පෙබරවාරි විප්ලයෙන් පසුවද ”විධායක කමිටුව” නමින් සභාවක් (The Executive Committee) ඇති කෙරිණි. ඇතිවීමට නියමිතව පැවැති සෝවියට් සභා වල ශක්තිය නිරූපනය කරන්නක් ලෙස පෙන්වනු ලැබූ මෙය, තමන් සූදානම් කරන ධනපති ආණ්ඩුව තහවරු කෙරෙන තෙක් තබා ගැනීම රැඩිකල් ධනපති පංතියේ අපේක්ෂාව විය. නමුත් සක‍්‍රීය ජනතාව අන්තිම වශයෙන් ඉතිහාසය තීන්දු කළේ ය.
දින 100 වැඩ පිලිවෙල ක‍්‍රියාත්මක වන අයුරු අධීක්ෂණය කිරීම සඳහා පත් කෙරුණු මේ විධායක සභාව ද ඒ පන්නයේ සභාවක් වෙයි. එය එක් පසකින් ජනතාවගේ නැගිටීම නිරූපනය කරන්නා සේම අනෙක් පසින් ජනතා බලය හා ආණ්ඩුව අතර ඝර්ෂණය සමහන් කරන්නක් ද වන්නේ ය. නමුත් ජනතා නැගිටීමේ ඉලක්කයන්ට මෙවන් සභාවක සීමාවන් අන්තිම වශයෙන් ගත් කල බාධාවක් වන බව නිසි මොහොතේ එළිදරව් කරමින් ජනතාව එතැනින් ඉදිරියට ගෙන යා හැක්කේ ඒවා තුළත් විප්ලවාදීන්ගේ සටන ගෙන යෑමෙන් විනා පස්ස හරවා බැන අඩ ගැසීමෙන් නම් නොවේ. ආයතනගත සීමාවන් ඉක්මවා යෑමට ජනතාවට ශක්තිය ලබා දීම සදහා විප්ලවවාදීන් ඒවා තුළ ක‍්‍රියාත්මක වීම අවශ්‍ය වෙයි.
කෙසේ වෙතත් පසුගිය මාසය හමාර පෙන්නුම් කරන්නේ දින 100 වැඩ පිළිවෙල හරස් කිරීමෙන් ජනතාවගේ ජන බලය දියකර හැරීමට ශ‍්‍රීලනිපයේ නායකයින් සෑහෙන කොටසක් වැර දරණ බවයි.
ඒ කෙසේ වෙතත් තේරුම් ගත යුත්තේ මේ බොහෝ දෙනාට පෙන්නුම් කිරීමට අවශ්‍යවී ඇත්තේ මහින්දගේ පරාජය මෛත‍්‍රීපාලගේ ආණුභාවයෙන් සිදුවූ බව තහවුරු කිරීමටය යන්නයි. වතුර බදුනක් සෙන්ටි ග්‍රේඩ් අංශක 100 ට පැමිණියද එහි ජලය එක් වරම නටන්නේ නැත. නටන්නට නම් තව අමතර තාප ප‍්‍රමානයක් එක් විය යුතුය. ලාංකීය ජන සමාජයද විපක්ෂයේ විරෝධය මගින් මහින්ද පරාජය සඳහා හිත් හදාගෙන රත්වී තිබුනේය. මෛත‍්‍රීගේ පැමිණීමෙන් සිදු කෙරුණේ අර අමතර තාපයක් එක්වීමය. එසේ නිසි පමණට මෛත‍්‍රීගේ ආගමනය තක්සේරු කළ යුතුය.
මගහැරීම හා පාවාදීම
නමුත් ප‍්‍රශ්නය මේ අමතර තාපය මැතිවරණ ව්‍යාපාරය තුළදී එක් කිරීමට මැදහත් විය යුතුව යුතුව තිබුනේ මේ ජනතාවාදී ආත්මය ම ද යන්නයි. නැත, කම්කරු පංති ව්‍යාපාරය හා වමයි. ජාතික විමුක්ති අරගලය එයට බද්ධ කිරීමයි. එසේ වී නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ මධ්‍යයේ තිබෙන ජාතික ප‍්‍රශ්නය පිළිබඳව නිසි මැදහත්වීමක් ද සහිතව වඩාත් විප්ලවකාරී වූ ඡන්ද ව්‍යාපාරයක් හා ප‍්‍රතිඵලයක් ද, අපර මැතිවරණ යුගයේ වඩාත් ක‍්‍රියාකාරී ජනතා ප‍්‍රවාහයක්ද මතු වීමට මුළු ඉඩ තිබුනේය. නමුත් පාවාදීම් වලියක් මගින් මේ විප්ලවකාරී අවස්ථාව මතුවීම වළක්වාලන ලදී. චන්ද්‍රිකා එම ප‍්‍රතිවිප්ලවීය වැඩ කොටසට නිසි ලෙස නායකත්වය දුන්නා ය. අවස්ථාවාදී වම්මුන් හා ඒ ආශ‍්‍රිත වෘත්තීය සමිති නායකයන් සමඟ එක පෙලට සිටිමින් දෙමළ ධනපති නායකයන් තමන්ගේ කොටස වෙන්කර ගැනීමේ මැතිවරණවාදී උපාය මාරුවල නිරත වෙමින් පාවාදීම සම්පූර්ණ කරන ලදී. එම තත්ත්වය ඉක්මවා නායකත්වය ගැනීමට පක්ෂයට ක්ෂණික හැකියාවක් නොවී ය. පක්ෂයේම වෘත්තීය සමිති නායකයන් ගේ බහුතරයක්ද මේ පාවාදීමේ කොටස් කරුවන් වූ තතු යටතේ පක්ෂයට තමන් සතුව පැවැති මුලූ ශක්තිය මුදාහැරීමේ හැකියාව තවත් දුබල කෙරිණි. ඒ අනුව පක්ෂයේ මූලෝපාය පරාජය වූවා සේ පෙනීගියේ ය. ජනතාවගේ ශක්තිය පරිපූර්ණ ලෙස මුදා හැරීම වැලැක්වෙන හැම මොහොතකදීම විප්ලවාදී ක‍්‍රියාමාර්ගයට පරාජයන් අත්වෙයි.
විප්ලවීය ප‍්‍රවනතාවය ඉදිරියට ගෙන යෑමෙන් මඟහැර පසකට වී සිටිමින් එහි ඵල නෙලා ගැනීමට සූදානම් වීමෙහි ලා රැඩිකල්වාදීන් සතු අපූරු හැකියාව අපට මෙහි දී දක්නට ලැබේ. චන්දිකා ගේ ව්‍යාපෘතිය හා එක්වෙමින් නව සභාගයක් කරා සම සමාජ-කොමියුනිස්ට් රැඩිකල්වාදීන් දැන් ගමන් අරඹා සිටී. විපක්ෂයේ විරෝධය සමඟ එක්වීම ප‍්‍රතික්ෂේප කරන ලද්දේ එමගින් රනිල් බලයට ගෙන ඒමට දායක වීමට නොහැකිය යන තර්කය මතය. එහි අනෙක් පැත්ත වූයේ මහින්ද රැකීමය යන්න අත්හැර දැමුවද අද මොවුන් මෛත්‍රී සමඟ සභාගයට යොමු වෙමින් සිටී. එහි අරුත කුමක්ද? සිංහල බෞද්ධ පෙනුම සහිත ධනපති පංතිය සමඟ සභාගය විනා ලිබරල්වාදය සමඟ සභාගය අකැප බවද? වෘත්තීය සමිති නායකයෝ කල දුටු කල වල ඉහ ගැනීමේ ප‍්‍රතිපත්තිය පෙරට දමා තිබේ. එහිදී ඔවුන් මහින්ද රාජපක්ෂගේ ෆැසිස්ට් තන්ත‍්‍රයේ මෙහෙයුම්කාර සගයන් සමඟ වුව සම්මුතියන් ඇති කර ගැනීමට පසුබට නොවන බව පෙනේ. එය හොදාකාරවම පෙනෙන්නේ තමන්ගේ ආර්ථික ඉල්ලීම් සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙරට ගත යුතු මූලික සටන් පාඨ එකතු කර ගැනීම මුළුමනින්ම මග හැර සිටීම මගිනි.
කෙසේ වෙතත් ජනතා ප‍්‍රවාහය තවම ඇන හිට නැත. ජනතාව බොහෝ කලක සිට දුක් විඳමින් සිටිති. එහෙත් ඔවුහු අවස්ථාවාදීන්ට අවශ්‍ය පරිදි ඕනෑම දෙයක් අඹා ගැනීමට හැකි මැටි ගුලි නොවෙති. විප්ලවීය යුගයකදී ඔවුහු ශීග‍්‍රයෙන් ඉගෙනුමද ලබති. විප්ලවයක බලය පවතින්නේ ඒ තුළ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා පෙලගැස්ම නිමා වී නැත. එසේ හෙයින් අපි අපේ අරගලය පසුබැසි තැන සිට ඉදිරියට ගෙන යා යුතු වෙමු. ඒ සඳහා ඉඩ විවර කරමින් කම්කරු පංතිය සටන් අරඹා තිබේ.
අභ්‍යන්තර හා අධ්‍යාපන මණ්ඩලය
2015 අප්‍රේල් 10
සබැදි ලිපි
- මඟ ඇරුණු සහෝදරයෙක් (2020)
- ජාතික විමුක්තිය වෙනුවෙන් වම පිදූ බිල්ල – විජය (2020)
- ෆැසිස්ට්වාදයට විරුද්ධ වෙනවාද? නැතිනම් වලපල්ලට යනවාද? (2018)
- මාදුලාවේ සෝබිත මහ සමිඳු නැවතත් මතක් කරන්න කාලය ඇවිත් (2017)
- අතිවාමවාදීන්ගේ ප‍්‍රශ්න ගැන අදහස් දැක්වීමක් (2016)
- ප්රතිසංස්කරණවාදය හා විප්ලවය අතර තවත් ගැටුමක් (2015)