අතිවාමවාදීන්ගේ ප‍්‍රශ්න ගැන අදහස් දැක්වීමක්
මේ වික්‍රමබාහු සහෝදරයාගේ අදහස් දැක්වීමක් ඇසුරෙන් සකසනු ලැබූවකි. මෙය ‘2016-ජනවාරි-පෙබරවාරි-මාර්තු’ නව සම සමාජ පක්ෂයේ අභ්‍යන්තර නිවේදනයට (බුලටීනය) ඇතුලත් කර පක්ෂ සාමාජිකත්වය වෙත බෙදා හරින ලදී. අද එය ”හරය” හි පල කරන්නේ සමාජයේ ගලා යන දේශපාලන සාකච්ඡාවන් තුලට අදහස් ගෙනයන අයට ඇසුරු කිරීම සදහා ය.
බුලටීනය
2016-ජනවාරි-පෙබරවාරි-මාර්තු
කලක් තිස්සේ පක්ෂයේ එක්සත් පෙරමුණු ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව අභූත චෝදනා නැගීම බොහෝ පුද්ගලයන් හා සංවිධාන පුරුද්දක් ලෙස කරගෙන යයි. ජාත්‍යන්තර වශයෙන් ද මේ විවේචනයන්ට යම් ප‍්‍රචාරයන් සැපයෙයි. මේ මොහොතේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සංයුක්ත අරගලය මගහැර සිටීම මේවා පරමාර්ථ කොට ගෙන ඇත්තේය. ඒ නිසාම මේ විවේචන කට්ටිවාදී-අතිවාමවාදී විවේචන බවට පත් වෙයි.
කට්ටිවාදී අතිවාමවාදය හා අවස්ථාවාදය එකම කාසියේ දෙපැත්තය. මේ දෙකම විප්ලවකාරී වෙනස්කම් නොපතන අතර පවතින ක‍්‍රමය එසේ තිබියදී සිල්ලර ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීම සඳහා වැර දරයි. අවස්ථාවාදය යනු ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් විප්ලවවාදී මූලධර්මයන්, ක‍්‍රියාමාර්ග පාවාදීමයි. කට්ටිවාදී අතිවාමවාදය නිරූපනය කරන්නේ ප‍්‍රතිසංස්කරණ පමා වීම, නැතිනම් නොලැබී යෑම නිසා ඇතිවන වියරුවයි. විප්ලවවාදීන් මේ ප‍්‍රතිවිප්ලවකාරී උගුල් නොතකා හරිමින් අවශ්‍ය තන්හි ඒවා එලිදරව් කරමින් සංක‍්‍රමණීය ක‍්‍රියාමාර්ගයන් තුළින් විප්ලවකාරී ජනප‍්‍රවාහයන් ඉදිරියට ගෙන යෑමට වෙහෙස නොබලා සටන් කරයි.
මේ සමඟ පලවන්නේ එසේ එල්ල කෙරෙන දේශපාලන විවේචනයන්ට පක්ෂයේ ප‍්‍රධාන ලේකම් වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයා විසින් වාචිකව ඉංග‍්‍රීසි බසින් ඉදිරිපත් කළ පිලිතුරු සැපයීමක සිංහල පරිවර්තනයයි. එහි එන කළු අකුරු අවධාරණයන් සංස්කරණය කිරීමේ දී අප විසින් කරන ලද ඒවායි.
අතිවාමවාදීන්ගේ ප‍්‍රශ්න ගැන
වික‍්‍රමබාහු සහෝදරයාගේ අදහස් දැක්වීමක්
එක්තරා පුද්ගලයින් පිරිසක් විසින් නගනු ලබන ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දිය යුතුව තිබේ. මොවුන් එක් පැත්තකින් අතිවාමවාදීන් ලෙස හැඳින්විය හැකිවාක් මෙන්ම ෆැසිස්ට් පන්නයේ දේශපාලනයේ සහකරුවන් ලෙසද හැඳින් විය හැකිය. කෙසේ වෙතත් මේ දේශපාලන මුහුණුවරයන් වෙන් වන්නේ ඉතා සියුම් කඩතුරාවකින් පමණි. දැන් අපි අපේ තරුණ සහෝදරවරුන්ගේ හා කම්කරුවන්ගේ අවබෝධය පැත්තෙන් සලකා මෙම ප‍්‍රශ්න වලට පිලිතුරු සැපයීමට කටයුතු කරමු.
සමාජ වෙළඳපල ආර්ථිකය හා සාමූහික කේවල් කිරීම
දැන් අපි කියන්නේ වත්මන් ආණ්ඩුව කලින් පැවැති ආණ්ඩුවේ අනුකාරකයක් නොවන අතරම ආර්ථික සංකල්ප වශයෙන් පවා වෙනස්කම් පවතින බවයි. ඔවුන් සමාජ වෙළඳපල ආර්ථිකයක් ලෙස තම ආර්ථික සැලැස්ම හඳුන්වයි. මේ සංකල්පයේ මුලාරම්භය ජර්මනියේ බිස්මාක් අවදිය පිලිබිඹු කරන්නකි. සැබැවින්ම මේ ක‍්‍රියාමාර්ගය සමහර රටවල් විසින්, විශේෂයෙන් ජර්මනිය මගින් අලුතින් ක‍්‍රියාවේ යෙදවීම අරඹා ඇත්තේ ය. මේ ප‍්‍රතිපත්තිය හා මහින්ද ප‍්‍රතිපත්තිය අතර ඇති වෙනස පැහැදිලිය. මහින්ද තන්ත‍්‍රය ගෝලීය ධනවාදයට අනුකූල වෙමින් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති අමු අමුවේ ආරක්ෂා කළේ ය. ඒවාට විරුද්ධ වුවන් දැඩි සේ මර්ධනයට ලක්කෙරිණි. එම මර්ධනය විරුද්ධවාදීන් මරා දැමීම ද ඇතුලත් වූවකි. යුද්ධය නිමාවෙන් පසුවද සමහර දේශපාලන චරිතයන්, මාධ්‍යවේදීන්, සමාජ ක‍්‍රියාකාරීන් ඔහුගේ පාලන කාලය තුළදී අතුරුදහන් කෙරිණි. ඒ මහින්ද අනුගමනය කළ පිලිවෙළ විය. මේ තතු යටතේ සමාජය බැ?රුම් පරිහානියකට, කළකිරීමකට පත්ව තිබුණි.
දැන් රනිල් පිලිබඳ තත්ත්වය සලකා බැලීමේ දී ඔහු කියන්නේ ජනතාවට තම ප‍්‍රශ්න හා අදහස් මත උද්ඝෝෂණය කිරීමට නිදහස ඇති බවයි. ආණ්ඩුව තම අය-වැය ඉදිරිපත් කළ විට පවා විශාල උද්ඝෝෂණයන් දියත් විනි. ඒවාට ඉඩ ලැබුනු අතර එම උද්ඝෝෂකයන් සමඟ, විවිධ කම්කරුවන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ වරක් දෙවරක් නොව තුන්වරක් හෝ සාකච්ඡා කර, හැකි පමණනින් අදහස් පැහැදිලි කරමින් ඉහලම සම්මුතියකට එළැඹීමේ ප‍්‍රතිපත්තිය ඔහු අනුගමනය කරයි. එය නිෂ්චිත ලෙසම මහින්ද සතුව තිබූ ප‍්‍රතිපත්තියට වෙනස් එකකි. එසේ වී මුත් රනිල්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය මහින්දගේ ප‍්‍රතිපත්තියට වඩා හොද යයි අපි නොකියන්නෙමු. මේ ප‍්‍රතිපත්ති දෙකම ඔවුන්ගේ ධනවාදී සැලසුම් ආරක්ෂා කිරීම සඳහා වෙයි. වෙනස ඒවා සඳහා කම්කරු පංතිය එකඟ කර ගන්නේ කෙසේද යන්නට පිළිතුරු ලබා ගැනීමේ ආකාරයයි. කෙසේ උවත් අද පවතින තත්ත්වය අනුව බලන කල කම්කරුවන් ඉදිරියට පැමිණීම අවශ්‍ය වන්නාක් සේ ම තමන්ගේ ප‍්‍රශ්ණ හා ඉල්ලීම් සම්බන්ධයෙන් ඒ හෝ මේ අතිවාම ක‍්‍රියාමාර්ගයන්ට ගැන සිත යොදවනවා වෙනුවට මෙසේ සාකච්ඡා කර විසඳුම වෙත ලගාවීමේ ක‍්‍රමය හරහා යෑම කළ යුතු වෙයි.
පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම
දැන් පුද්ගලික අංශයේ වැටුප් ප‍්‍රශ්නය බරපතල වී තිබෙනු පෙනේ. විශේෂයෙන් රාජ්‍ය අංශයට සැලකිය යුතු වැඩුප් වැඩිවීමක් ලබා දීමෙන් පසුව, (එය මහින්ද තන්ත‍්‍රය යටතේ ලබුණු වැටුප් වැඩිවීම් වලට සමාන කර බැලීමේ දී බලාපොරොත්තු නොවූ තරමේ වැඩිවීමක්) පුද්ගලික අංශයේ සේවකයන් මෙයට සමාන වූ වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන බව පෙනේ. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන්, රජයේ සේවකයන් අත්පත් කරගත් වැටුප් වර්ධකයන්ට සමාන්තරව වැටුප් වැඩි නොකිරීම ගැන තම සේවායෝජකයන්ට එරෙහිව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයන් ගැනීමට ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති, ඒකාබද්ධ වී සංවිධානාත්මකව කටයුතු කිරීම දිගින් දිගටම මග හැර තිබේ. මේ අතිවාම පුද්ගලයන් එවැනි බහුජන ක‍්‍රියාකාරීත්වයන් වැඩි දියුණු කර ඉල්ලීම් ලබා ගැනීම ගැන උනන්දුවක් නැත. ඒ අතරවාරයේ ඔවුන් බලාපොරොත්තු වන්නේ ආණ්ඩුව මැදහත් වී ස්වාමීන්ට බලහත්කාරය පා වැටුප් වැඩිවීමක් ලබා දෙනු ඇත කියායි. ඒ සඳහා පාර්ලිමේන්තු පනත් සම්මත කරමින් ආණ්ඩුව තමන්ගේ, එනම් වෘත්තීය සමිති නායකයන්ගේ කාර්යය වෙනුවට හිලව්වට මැදහත් වනු ඇතැයි බලපොරොත්තු වීම පුදුම සහගතය. එසේ නම් කුමට ද වෘත්තීය සමිති.
දැන් මේ ගැන කිව යුත්තේ මෙවන් වූ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපගේ කටයුත්ත නොවන බවයි. එය අපගේ ප‍්‍රමුඛ ක‍්‍රියාමාර්ගය නොවිය යුතු ය. අපි වැටුප් වැඩිවීම් සඳහා සේවායෝජකයන් සමඟ සටන් කළ යුතුව තිබේ. කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ සැබැවින්ම ආණ්ඩුව පෞද්ගලික අංශයේ 2500/- වැටුප් වැඩිවීමේ කාරණාවට මැදහත් වෙමින් තිබෙන බව පෙනේ. රනිල් හා සමාන බලවත් අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් කිරිඅල්ල ප‍්‍රකාශ කළේ වතු අංශයේ කම්කරුවන්ට ඒ හා සමාන වැටුප් වැඩිවීමක් ලබා නොදෙන්නේ නම් තමන් පුද්ගලික වතු ජනසතු කර හෝ එම වැටුප වතු කම්කරුවන්ට ලබා දීමට කටයුතු කරන බව ය. ඒ තාක් දුරට එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් පුද්ගලික අංශයේ කළමනාකාරිත්වයට තර්ජනය කිරීම පෙන්වන්නේ ද කම්කරුවන් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ වෙනස් වූ ප‍්‍රවේශයයි. රනිල් ගැටුම් මගහරවා ගනිමින් පොරොන්දු ඉටුකිරීමට කල් ලබා ගනිමින් සිටියි. වෘත්තීය සමිති නායකයන්ද තවමත් සුදානම්ව සිටින්නේ අවශ්‍ය කාලය ආණ්ඩුවට ලබා දීමට බව පෙනෙයි. මන්ද එය මහින්ද තන්ත‍්‍රයට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන නිසාය.
විපක්ෂයේ විරෝධය
අපි “විපක්ෂයේ විරෝධය” ආරම්භ කළේ එක්සත්ව සටන් කිරීම සඳහා ය. එහි තේරුම විපක්ෂයේ සංවිධාන, සටන් බිමේ එක්කර ගැනීමයි. එය එක්තරා ආකාරයකට යුද්ධය නිමා වීමටත් මොහොතකට පෙර කාලයේ ආරම්භ වූවක් වන අතර යුධයෙන් පසු පැහැදිලිව ඉදිරියට ක‍්‍රියාත්මක විය. ඒ යුගය වෘත්තීය සමිති බොහොමයක් උදාසීනත්වයේ ගැලී සිටි වකවානුවකි. ජනතාව බියෙන් ත‍්‍රස්තව සිටියේය. ජනමාධ්‍ය පවා සීමා කොට තිබුණි. අස්සක් මුල්ලක් නෑර සෑම තන්හිම රාජ්‍ය ත‍්‍රස්තය හිස ඔසවා සිටියේ ය. එවන් වූ තත්ත්වයක් යටතේ අපට කළ හැකිව තිබුනේ ලිබරල්වාදයට යොමුව සිටි ධනපති නායකයන්ද ඇතුලත් කර ගනිමින් “විපක්ෂයේ විරෝධය” ලෙසින් සංවිධානය කළ සටන් පෙරමුණ බලවත් කර ගැනීමට පියවර ගැනීම ය.
අපි රටපුරා පොදු අරගල මාලාවක් ගෙන ගියෙමු. විපක්ෂ නායකයා මේ බහුජන අරගලයන් තුළ සහභාගී වූ අතර නිසැකවම සිදු වියයුතු වූ පරිදිම මේ ක‍්‍රියාවන් ඔස්සේ අපට ජනතාව අතර මැදහත් වීමට විශාල ඉඩක් විවරව පැවතිනි. පොලිසිය හා සන්නද්ධ හමුදා මේ සම්බන්ධයෙන් සහයෝගී ආකල්පයක් ඇතිව කටයුතු කරනවා පෙනුනි. මේ පදනම යටතේ අපට රටේ සැම තැනකටම ගමන් කිරීමට හැකි වූ අතර යාපනයේත්, උතුරේ තවත් ප‍්‍රදේශවලත්, නැගෙණහිර පලාතේත් මැදහත් වීමට හැකි විය. සමහර තන්හිදී අප සතුරු ප‍්‍රහාරයට ලක් වීමු. අපට ගල් පහරවල් එල්ල වූ අතර, සමහර ස්ථානවලදී වෙඩි පහරට ඉලක්ක කිරීමට ද වෑයම් තිබුණි. තවත් විවිධ ගැටුම් වලට මැදි වීමු. ඒ එසේ වුවද අපි බරපතල මැදිහත්වීම් රාශියක් රට පුරා ගෙන ගියෙමු. මර්ධනකාරී පාලනයට විරුද්ධව විපක්ෂයේ විරෝධය සංවිධානය කළ මේ සියළුම සටන් වලදී රනිල් ද සහභාගී විය. අපි කල්පනා කරන්නේ ඕනෑම විප්ලවවාදී පක්ෂයක් විසින් ගත යුතු ක‍්‍රියාමාර්ගය මෙය විය යුතු බවයි. මේ සියල්ල බරපතල ලෙස සැලකිය යුතුය. ලිබරල් ධනපති පංති කොටස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමට සූදානම් සැම විටම, කිසිම දේශපාලන සම්මුතියකින් බැඳුම්කරයන්ට ඔවුන් සමඟ ගැට නොගැසී ඒ අයුරින් එක්ව සටන් කළ යුතුය. සටනට එක්වීම හැර වෙනත් කිසිම පොදු දේශපාලන එකඟත්වයක් ඇත්තේ නැත. අපට අපගේ ප‍්‍රතිපත්ති තිබේ. අපි අපේ දේශපාලන ප‍්‍රතිපත්තිය බහුජනයා අතර කරගෙන ගියාවූ මේ සියලූම සටන් මධ්‍යයේ පැහැදිලි කළෙමු.
ජනතාව සංවිධානගත කිරීම
මහින්ද රාජපක්ෂගේ බිඳවැටීමෙන් පසු රට පුරා පුරවැසි පෙරමුණු නමින් ජනතා සංවිධාන ගොඩ නැගුණි. ඒවා ඉදිරියට යමින් තිබේ. අපි ආණ්ඩුවට ජනතාවගේ පීඩනය එල්ල කිරීම සඳහා ඒවා යොදා ගනිමින් සිටිමු. අන්තර්කාලීන ආණ්ඩුව යුගයේ දී ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය නියෝජනය කරමින් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්කාලීන විධායක මණ්ඩලයක් ලෙස ජාතික විධායක සභාවක් කැඳවුනු අතර එයට මම ද සහභාගී වීමි. එය ස්ථාවර කමිටුවක් නොව තාවකාලික කමිටුවක් විය. ඒ වන විටත් පාර්ලිමමේන්තුවේ 2/3 බලය මහින්ද රාජපක්ෂ අත පැවැති අතර එයට මුුහුණ දීම සඳහා වූ බරපතල සටන ඉදිරියට ගෙන යෑමටත් එම සටන සම්බන්ධීකරණය කර ගැනීමටත් එම සභාව ඉතා වැදගත් විය.
අවසානයේ දී පාර්ලිමේන්තු මැතිවරණය පැමිණියේ ය. අපි එක්ව මැතිවරණයට සහභාගී නොවූයෙමු. ජනාධිපතිවරණයේ දී හා සමානවම අපි වෙනම තරග කළෙමු. ඒ සංදර්භය තුළ අපේ වෙන්ව ගමන් කිරීම පැහැදිලිය. ආණ්ඩුව සමඟ සමුම්තියක් නොමැත. නමුත් නිෂ්චිත ප‍්‍රශ්න වලදී එකට සටන් කිරීමට සිදුවනු ද ඇත. උදාහරණයක් ලෙස ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් අපේ සහභාගීත්වය දිය යුතු වෙයි. අපි ව්‍යවස්ථා සම්පාදනයේ දී අදාල කමිටුව වෙත අපගේ අදහස් ඉදිරිපත් කර තිබේ.
ජාතික ප‍්‍රශ්නය
ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල අතිවාම ප‍්‍රවනතා බැරෑරුම් වැරදි කරයි. ඔවුන් ලෙනින්ගේ ස්ථාවරය ලෙස ඉදිරිපත් කරන්නේ රෝසා ලක්සම්බර්ග් ගේ ස්ථාවරයන්ය. මෙය මුළුමනින්ම වැරදිය. ලෙනින් පෙනී සිටියේ සමානාත්මතාවය, ස්වපාලනය හා ස්වයංතීරණය යන මූලධර්ම වෙනුවෙනි. ඔහු කවදාවත් ෆෙඩරල්වාදය වෙනුවෙන් සටන් කිරීමට එකඟ වූයේ නැත. ඔහු කීවේ ෆෙඩරල්වාදය ජාතික ප‍්‍රශ්නය පිලිබඳ සාකච්ඡාවට වියවුලක් ගෙන එන්නක් බවයි. අවශ්‍ය වන්නේ ස්වයංතීරණ අයිතිය, පූර්ණ ස්වපාලනය හා සමානාත්මතාවය බවයි. ලෙනින්ගේ රුසියානු රාජ්‍යයේ දී සත්‍යය බවට පත් වූයේ මේ ස්ථාවරයයි. ඉන්දියාවේ දී සත්‍යයවන්නේ එහි ඒකීය රාජ්‍යක් පැවැතීමයි. නමුත් විදෙස් කටයුතු, රාජ්‍යා ආරක්ෂාව වැනි කිහිපයක් හැරුණු විට ප‍්‍රදේශිකයන්ට පූර්ණ ස්වපාලනයක් තිබේ. ඉංදියාවේ විවිධ ප‍්‍රාන්ත රාජ්‍යයන්ට බැ?රුම් බලබෙදීමක් ලබා දී ඇති අතර, සමහර ප‍්‍රාන්තයන්ට අනෙක්වාට නැති බැඩි බලතල ප‍්‍රමානයක් ද සපයා තිබේ. ඇමරිකා එක්සත් ජනපදය ගත් කල, එය ෆෙඩරල් රාජ්‍යයක් ලෙස හඳුන්වනු ලැබුවද එහි ෆෙඩරල් ආණ්ඩුවලට තීරණ ගැනීමේ දී ඇත්තේ සීමිත බලයකි. වැදගත් ජාතික ප‍්‍රශ්න සම්බන්ධයෙන් හා විවිධ ආර්ථික හා සමාජිය කරුණු බොහොමයක් ගත් කල, ඒවා තීරණය කෙරෙන්නේ මධ්‍යම ආණ්ඩුව මගිනි. එසේ හෙයින් එහි මධ්‍යම ආණ්ඩුව ඉතාම ශක්තිමත් මෙන්ම එය බොහෝ සෙයින් මධ්‍යගත රාජ්‍යයකි. ඒ අනුව බලන කල ෆෙඩරල්වාදය යන භාෂිතය අරුත් රහිත වෙයි.
එසේ හෙයින් අප සටන් කළ යුත්තේ කෙතෙක් දුරට, කෙතරම් ප‍්‍රමාණයක ස්වපාලනයක් ජනතාවට පවරනු ලබන්නේ ද යන්න ගැනයි. අපට ෆෙඩරල්වාදයක් ගැන ගැටුම් ඇති කර ගැන්මට උවමනා නැත. නමුත් අපි උදක්ම කියා සිටින්නේ සමානාත්මතාවය යන්න හුදු පුරවැසියන් එල්ලකරගත් පුද්ගලික කරුණක් නොවන බවයි. සමානාත්මතාවය ජාතීන්ට තිබිය යුතුය. සියළුම ජාතිකත්වයන් නීතිය ඉදිරියේ හා ඔවුන්ගේ සියළු කාර්ය සම්පාදනයේ දී සමානාත්මතාවය ලැබිය යුතුය. ජාතීන් සතු ස්වයංතීරණ අයිතිය ව්‍යවස්ථාවට ඇතුල් විය යුතුය. සමහරකුට උවමනා කරන්නේ වෙන්වීමට හා වෙන්වීමට ඇති අයිතියයි. නමුත් අපි වෙන්වීමට ධෛර්යය සපයන්නේ නැත. ඒ වෙනුවට පූර්ණ ස්වපාලනය ලබාගැනීම හා ඒ වෙනුවෙන් සටන් කිරීම යෝජනා කරන්නෙමු. ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීමේ අදහස ගැන බැරෑරුම් ලෙස මේ අවස්ථාවේ දී සාකච්ඡාවට ගෙන තිබිම ගැන අපි සතුටු වන්නෙමු. එමෙන්ම සමහර විට එළඹෙන ව්‍යවස්ථාවට බලය බෙදීම ඇතුලත් වීමට ඉඩ තිබේ.
1988-89 භීෂනයට මුහුණදීම
අප විසින් 1988-89 කාලයේ දී කුමක් කළේද යන්න ගැන මොවුන් ව්‍යාකූලත්වයක් ඇති කිරීමට වැර දරන බව පෙනේ. මේ විවේචකයන් කියන්නේ අපි මහින්ද තන්ත‍්‍රය ෆැසිස්ට් තන්ත‍්‍රයක් ලෙස වර්ගීකරණය කරන බවය. 88-89 කාලයේ දී ද අපට විවිධ තර්ජන පැවැති අතර අප පක්ෂයේ සාමාජිකයන් ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කළ බව කියමින් ඔවුන් මේ වකවානු සමානුපාත කරයි. අවාසනාවන්ත ලෙස මොවුන්ගේ නොතේරුම් ගැනීම ඇත්තේ මේ තර්ජන එල්ල කරන ලද්දේ කා විසින්ද යන්න අමතක වීමෙහි ය.
සියල්ලෝම දන්නා පරිදි මේ කාලයේ දී අපි එකල පැවැති රජයට පිටින් පැවැති ෆැසිස්ට් තාලයේ ව්‍යාපාරයකට මුහුණ දුන්නෙමු. එම සංවිධානයේ ප‍්‍රමුඛත්වය ගෙන තිබුනේ එවකට සැඟවුනු පක්ෂයක් වූ ජවිපෙ විසින් ය. ඔවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සංවිධානය කළ අතර එය සන්නද්ධ බලයක් විය. ඔවුන් අත පොලිස් ස්ථාන, කුඩා හමුදා කඳවුරු වැනි ආණ්ඩුවේ කුඩා අවි ගබඩාවලින් කොල්ලකාගත් ආයුධ විය. එමෙන්ම පොලිස් නිලධාරින් අතරමගදී මරා දමා පැහැරගත් අවි ද විය. ඔවුන් එක්සත් සමාජවාදී සංධානයේ නායකයන් මරා දමන්නට පටන් ගත්තේය. එක්සත් සමාජවාදී සංධානය සැදුම් ලද්දේ මහජන පක්ෂය, ලසසප, ශ‍්‍රී ලංකාවේ කොප ය හා නව සම සමාජ පක්ෂය යන පක්ෂ හතරෙනි. එයට මරණ තර්ජන එල්ල කළ මේ දේශප්‍රේමී ව්‍යාපාරය කියා සිටියේ දෙමළ ජනතාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් තුනට හෝ ඉන් එකකට හෝ සහාය දෙන ඕනෑම අයකු මරා දමන බවයි.
ඉන් පළමුවැන්න – ප‍්‍රධානකොට වතු කම්කරුවන් ඇතුළු දෙමළ ජනතාව ඉල්ලා සිටින පූර්ණ පුරවැසිභාවය වෙනුවෙන් පෙනී සිටීමය. දෙවැන්න – භාෂා තුනටම සමානාත්මතාවය ලබා දීම වෙනුවෙන් පෙනී සිටීම වන අතර, තුන්වැන්න – පලාත් සභා ක‍්‍රමය මගින් බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටීම යනාදියයි ඒ. මේවාට සහාය දෙන ඕනෑම අයකු මරා දමන බවට ඔවුන් ප‍්‍රකාශ කළහ. එම පදනම මත ඔවුන් ප‍්‍රහාරයන් ඇරඹීය. මන්දයත් දෙමළ ජනතාව වෙනුවෙන් වූ මේ ඉතා සරළ වූ සමානාත්මතාවයේ සූත‍්‍රයට පවා ඔවුන් විරුද්ධ වීම නිසා ය. ඒ පදනම මත ඔවුන් අපවත් ඒ වගේම UNP සාමාජිකයනුත් මරා දමන්නට විය. මන්ද යත් මේ පදනම මත ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට UNP පාලනය වෑයම් කිරීම නිසා ය. JR-ප්‍රේමදාස පාලනය මේ නෛතික වෙනස් කම් ඉදිරියට ගෙනගියේ ය. 1965 වන විට ලංකාවේ ජීවත්ව සිටි සියළුම දෙමළ ජනයාට පුරවැසිභාවය ලබා දුන්නේය. භාෂා වල සමානාත්මතාවය ව්‍යවස්ථාවට එක් කෙරිණි. අනතුරුව පලාත් සභා පදනමින් බලය බෙදාහැරීම සඳහා පියවර ගන්නා ලදී.
අපි මේවාට සහාය දුනිමු. අපි ආණ්ඩුවේ කොටස් කරුවන් නොවූ මුත් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවරයන්ට සහාය දුනිමු. එමෙන්ම අපි එක්ව මේ ෆැසිස්ට් පන්නයේ බලවේගයට විරුද්ධව අපගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැදුනෙමු. එසේ සටන් කිරීම සඳහා ආණ්ඩුවෙන් ආයුධ ලබා ගත්තෙමු. සමහර ආයුධ මිලදී ගත් අතර තවත් ආයුධ පලාත් සභා මැතිවරණයට සහභාගීවීමේ පදනම මත ලබා දෙන ලදී. ඒ මැතිවරණයේ දී තරග වැදුනු සැමට ආයුධ ලබාදෙන ලදී. එසේ අපි මෙවන් වූ ආණ්ඩුවෙන් පිටස්තරව පැවැති සැඟවී ගත් ජාතිවාදී ෆැසිස්ට් පන්නයේ බලවේග වලට විරුද්ධව එදා සටන් කළෙමු. ජවිපෙ ය මෙම භීෂණකාරී තත්වය පෙරට ගෙන ගිය ප්‍රධාින බලය වූ අතර ඒ සමග නලින් සිල්වා, බෙන්ගමුවේ නාලක, ඇතුළු විවිද වෙනත් ප්‍රවනතා එක්ව සිටියේ ය. ඔවුන් අප සැම මරා දැමීමට වැර දැරූ අතර අපෙන් 23 දෙනෙක් මරා දැමීමටසෙමත් වූවෝය. ඔවුන් මාවද මරා දැමිමට ඉලක්ක කළ අතර බඩට වැදුනු T 56 උන්ඩ වලින් දිවි ගැලවුනේ අහම්බයකට මෙනි.
ඉතිං බලන්න මේ මිනිසුන් අද අසන්නේ මේ ෆැසිස්ට් කල්ලි කොහේ වීද කියායි. ඇසිය යුත්තේ නුබලා සිටියේ කොහේද කියායි. පක්ෂයේ සහෝදරවරු අවි දරා පක්ෂයත් එහි සහෝදරවරුත් රැක ගැනීම වෙනුවෙන් සටන් කරද්දී ඔබලා ජීවත් වූයේ කොහිද? ජාතීවාදීන්ගේ උන්ඩයෙන් බේරීමට ඔවුන් සමඟ සම්මුතියෙන් හැකි වන්නේ නැත්තේ ම ය. මේ සහෝදරවරු අකමැත්තෙන් හෝ තේරුම් ගත යුතු කටුක සත්‍යය එයයි.
මේ කාලය තුළ පක්ෂයේ කිසිවකුට UNP යෙන් තර්ජනයක් නොවී ය. නමුත් අපේ මාතර දිසා ලේකම් චන්ද්‍රදාස රණසිංහ ජවිපෙ සාමාජිකයෙකු ලෙස සැකකර අත් අඩංගුවට ගෙන අතුරුදහන් කරන ලදී. එයට හේතු වූයේ ඔහු අත ජිනීවා මානව හිමිකම් කොමිසමට යැවීම සදහා අතුරුදහන්වූවන්ගේ මාපිය දූ-දරු සංවිධානය විසින් පක්ෂ සාමාජිකයන් වෙත බෙදා හැර තිබූ ෆෝර්ම කොල තිබිම ය. එසේම වේයන්ගොඩ නගරයේ පෝස්ටර් අලවමින් සිටි විජේසිංහ සහෝදරයාවද එසේම වැරදි ලෙස හදුනා ගැනීමෙන් කොමාන්ඩෝ භටයන් විසින් ඝාතනය කරන ලද්දේ ය. නමුත් රාජ්‍ය හමුදා පැත්තෙන් නව සම සමාජ පක්ෂයට එරෙහිව දැනුවත් ප්‍රහාරයක් සිදු වූයේ නැත. මන්ද, අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට විරුද්ධව උද්ඝෝෂණය කරන පක්ෂයක් බව ඔවුන් දැන සිටි නිසාය.
අපි කිසිම ධනපති පංති සාමාජිකයෙකු රැකීමට කටයුතු නොකළ අතර අපි අපගේම ආරක්ෂාව සළසා ගනිමින් හා සුළු ජාතීන්ගේත් ප‍්‍රගතිශීලී ජනතාවගේත් අයිතීන් සුරැකීම වෙනුවෙන් සටන් කළෙමු. එසේ ක‍්‍රියා කිරීමේ දී ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් මග සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි යොජනා කළ මූලධර්ම, විධික‍්‍රම අපි නිෂ්චිත ලෙසම අනුගමනය කළෙමු. දැන් මේ සහෝදරවරු නොනවතින විප්ලවය ගැන කථා කරයි. ඔව් පැහැදිලිවම නොනවතින විප්ලවයේ න්‍යාය ගැන කථා කළ යුත්තෙමු. එය ආරම්භ වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවය තුළිනි. සම්පූර්ණ වන්නේ සමාජවාදී විප්ලවය තෙක් වර්ධනය වීමෙන් ය. අඩු දියුණු රටවල් සම්බන්ධයෙන් ගත් කල, ධනපති පංතියට මුහුණ දී එය සතු බලය ඉවත් කර දැමීම සඳහා එක් අවධියක විසඳුමක් ඇත්තේ නැත. ඔබට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට සිදුවන අතර එම අරගලය තුළදී ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ සටන් පාඨ සමාජවාදී කර්තව්‍යයන් සමඟ සම්මිශ‍්‍රණය වනු ඇත්තේ ය. මක්නිසාද යත් මේ රටවල ධනපති පංතිය එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් තබා ව්‍යවස්ථානුකූල අයිතීන් වත්, සුළු ජාතීන්ගේ අයිතීන්වත්, කෘෂිකාර්මික විප්ලවය වත් සම්පූර්ණ කිරීමට සමත් නොවන නිසා ය. මේ විශ්ලේෂණය නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායෙන් පැහැදිලි කෙරෙන අවම මූලධර්මයයි.
නව ව්‍යවස්ථාවක් සඳහා වෑයම
අද ආණ්ඩුව සමානාත්මතාවය හා ස්වපාලනය ඇතුලත් ව්‍යවස්ථාවක් බිහි කිරීමට සටන් කරමින් සිටී. නමුත් මේ සම්බන්ධයෙන් මහින්දගේ ෆැසිස්ට් පන්නයේ කොටස් වෙතින් බැ?රුම් තර්ජනයක් එල්ල වී තිබේ. ඒ සමඟ පන්සල් ආශ්‍රිත සංවිධාන ජාලයක් රට තුළ බිහිවී ඇති අතර, ඔවුන් මිලිටරි නිලධාරීන් තම මතයට නතු කර ගැනීමටත්, ඔවුන් තුළ තමන්ගේ ක‍්‍රියාමාර්ගයන් වෙනුවෙන් විශ්වාසය ඇති කිරීම සඳහාත් පියවර ගනිමින් තිබේ. මේ එල්ලය ඇත්තේ හමුදා කැරැල්ලක් මගින් පවතින පාලනය බිඳ හෙලීමේ කුමන්ත‍්‍රණයක් දිසාවට ය.
අනෙක් පැත්තෙන් මෛත්‍රී හා රනිල් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් ලෙස යොදවා ක්‍රියා කරමින් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියාදාමය සදහා ඉදිරිපත් වී තිබේ. මෙය බැරෑරුම් පියවරකි. එම පියවර රට තුල තිබෙන සියළුම ජාතිවාදී ප්‍රවනතාවල විරුද්ධත්වයට ලක්ව තිබේ. එව විරෝධතාවයන් ඉදිරියට ගියහොත් රට බෙදීම වැලැක්විය නොහැකි වනු ඇත. දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් කරා ගමන් කරනු ඇත. සිංහලයන්ට සිදුවන්නේ මුළුමනින්ම හුකලාව අතරමං වීමයි. එවන් තත්ත්වයක් ඇති වීම වැලැක්වීම සදහා අපි විකල්ප නායකත්වයක් ගොඩ නැගීමට පියවර ගනිමින් සිටිමු.
ප‍්‍රතිවිප්ලවයේ එළඹීම
ෆැසිස්ට් පන්නයේ කල්ලි මේ උද්ඝෝෂණය අරඹා තිබේ. ඔවුන් “රතු සිංහයා” උද්ඝෝෂණය අරඹා ඇත. රතු සිංහයාගේ ලේ (සිංහ ලේ) පෝස්ටරය ඇලවීම සඳහා සියළුම ත‍්‍රීවිල්, පෞද්ගලික වාහනකරුවන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. එයට ඇහුන්කන්දීම අවම වන කල්හි බලහත්කාරයෙන් ඇලවීමට උවද පටන් ගනු ඇත. එය ආණ්ඩුවට එරෙහිව සටන් කිරීමේ සිංහලවාදී උද්ඝෝෂණ සටන් කලාවයි. ආණ්ඩුවට පමණක් නොව එය ඊලඟට සමාජවාදීන් කරා ද ඉක්මණින්ම පැමිණෙනු ඇත. බලය බෙදන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින සැම කරා එළඹෙනු ඇත. එහිදී ඔවුන්ගේ ආසන්නතම සුවිශේෂ ඉලක්කය අප පක්ෂය වෙත යොමු කෙරෙනු ඇත්තේය. මොවුන් නැවත නැවතත් අපගේ පක්ෂය උලුප්පා දක්වමින් එය මුළුමනින්ම විනාශ කිරීමේ උවමනාව අවධාරණය කරයි. මේ ක්‍රියාමාර්ගයට සම්බන්ධවී සිටින බොහෝ දෙන Face Book හරහා අප පක්ෂය විශේෂයෙන් නම් කරමින් තිබේ. ප්‍රතිවිප්ලවය සුදානම් කෙරේ. මන්ද ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ක්‍රියාත්මකව ඇති නිසාය.
අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම් තුළින් දියත් වන විප්ලවකාරී ගමන එසේ අරඹා ඇත්තෙමු. එහි දී අපි ධනපති පංතියේ අසමත් බව, නොහැකියාවන් හෙලි කරමින් ඔවුන්ට විරුද්ධව සටනේ යෙදීම පූර්ව ලෙසම පැහැදිලිය. මන්ද යත් ලිබරල් ධනපති පංතිය පියවරෙන් පියවර ප‍්‍රතිවිප්ලවවාදීන්ගේ ප‍්‍රාහාරයට ලක්වන පමණට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන ඉදිරියට ගෙන යෑමේ දුෂ්කර මාවතින් ඉවත් වනු ඇති හෙයිනි.
කෘෂිකාර්මික විප්ලවයේ ගැටළුව
ග‍්‍රාමීය ප‍්‍රදේශ වල වරප‍්‍රසාදිත පුද්ගලයන් විසින් ගෙන යන නිලධාරිවාදී හා පරපෝෂිත ලෙස ගම සුරාකෑමේ විධික‍්‍රම ඉවත් කර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීමේ අවශ්‍යතාවය අද පවතින විසඳිය යුතු මුලික ප‍්‍රශ්නයක් වන්නේ ය. එසේම කම්කරු පංතියේත් ජනතාවගේත් ජීවන තත්ත්වයන් වඩා ඉහල මට්ටමකටම ගෙන ආ යුතු වෙයි. අපි ඒ සඳහා සටන් කළ යුතුවා හා සමානවම ඒ සටන් තුළින් හැකි අයුරින් එකඟතාවයන්ට පැමීණීම අවශ්‍ය වන්නේ ය. රට ඉදිරියට ගෙන යෑමේ වගකීම පවරාගන්නා තත්ත්වයට නිර්ධන පංතිය සූදානම් විය යුතුව තිබේ.
රටේ සිවිල් සමාජ සංවිධාන, කම්කරුවන්ගේ සංවිධාන ක‍්‍රියාත්මකව තිබේ. නමුත් මේ සංවිධාන රටේ භාරකාරත්වය තමන් අතට ගැනීම සඳහා වර්ධනය විය යුතුව ඇත්තේ ය. මේ සංවිධාන අතරින් පුරවැසි කමිටු වඩා ක‍්‍රියාකාරීත්වයක තිබේ. පසුගියදා පොලිසිය මගින් පුද්ගලික උත්සවයකට කඩා පැන ප‍්‍රහාර එල්ල කිරීම හා අයෙක් මරාදැමීම ගැන විශාල උද්ඝෝෂනයක් දියත් විය. මෙසේ පොලිස් කෲරත්වයට එරෙහිව රට පුරා ඇති වූ උද්ඝෝෂණයන් පසුගිය ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයට එරෙහිව නැගි ජනතා ක‍්‍රියාකාරීත්වයේම තවත් පියවරකි.
ඔවුන් අසන්නේ ෆැසිස්ට්වාදය කොහිද කියායි. 88-89 වසරවලදි ෆැසිස්ට්වාදය තිබුනේ කැලෑ තුළ හා විවිධාකාර සැඟවුනු ස්ථාන වලය. ඒවායේ හිදිමින් ප‍්‍රහාර එල්ල කෙරිණි. නමුත් පසුගිය වකවානුවේ ඔවුන් සිටියේ ජනාධිපති මන්දිරයේ ය. දැන් නැවත ඔවුන් පන්සල් වල, තවත් සැඟවුනු තැන්වල කරක්ගසමින් සිටිනු පෙනේ. ඔවුන් අත අද දස ලක්ෂ, සිය ගණන් වලින් මුදල් තිබේ. ඔවුන් යටතේ ක‍්‍රියා කරන හමුදා කණ්ඩායම් ද සිටී. ලංකාවේ සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනකට අධිකය. මොවුන් දිනා ගනිමින් ආපසු හැරී පහර දීමට මේ පැරණි තන්ත‍්‍රයේ සහකරුවන් වැර දරයි. මෙයට මුහුණ දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය විනා සමාජවාදය නොවේ. කිසිවකුඳු සමාජවාදී සටන් පාඨ ඉදිරිපත් කරන්නේ නැත. නමුත් සමාජය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීම සඳහා වන මෙම ප‍්‍රජාතන්ත‍්‍රීය සටන් පාඨ විශාල භීෂණයක්, මැරවරකම් හා ප‍්‍රහාරයන්ට ලක්කරනු ලැබීමට නියමිතව තිබේ. අපි තවමත් මේ අරගල බිමේ සටන් කරමින් සිටින අතර අතිවාමවාදය අන්තිම වශයෙන් ගත් කල ෆැසිස්ට් සහකරුවන් ලෙස පෙනී යයි. මේ අතිවාමවාදය මුළුමනින්ම කම්කරු පංතිය වෙනත් දිසාවන්ට හරවන අතර ඔවුන්ගේ නෙත් මෙම බියකරු අනතුර හඳුනාගැනීමට විවර නොකෙරයි. අර්බූදයන් නිසි ලෙස ප‍්‍රකාශයට පත් නොකරයි. ඔවුන් අත තබාගෙන එන්නේ ෆෙඩරල්වාදයට සහයෝගය දීම වැනි පල්ල ගිය අතිවාම සටන් පාඨයන් ය. මෙය මුළුමනින්ම රෝසා ලක්ෂම්බර්ග් ගේ අදහසයි.
ඒ අතරේ ගෙන එන්නේ කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියේ සිඟා යෑමේ අදහසයි. මෙවා විප්ලවවාදී පක්ෂයක ප‍්‍රතිපත්ති නොවේ. අපි අපගේ ඉල්ලීම් වෙනුවෙන් නිරතුවම සටන් සූදානම ඇති කළ යුතුය. සටනේ යෙදිය යුතුය. රජයේ සේවකයන්ගේ වැටුප් හා සමාන තැනකට පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප ගෙන ඒමට එම ස්වාමීන් ක‍්‍රියා නොකරන්නේ නම් පෞද්ගලික අංශය සංවිධානය වී වැඩවර්ජන සටනකට සූදානම් විය යුතුය. අඩුම තරමින් දිනක මහා වැඩවර්ජනයක් කළ නොහැක්කේ ඇයි? මේ ෆැසිස්ට්වාදයේ සහකාර කොටස් සටන් ගැන කෑකෝ ගසනවා විනා එකම වැඩවර්ජන සටනක් හෝ සංවිධානය කිරීමට අසමත්ව සිටී.
නසසප – අභ්‍යන්තර හා අධ්‍යාපන මණ්ඩලය
2016 මාර්තු 26
සබැදි ලිපි
3 Responses
[…] අතිවාමවාදීන්ගේ ප‍්‍රශ්න ගැන අදහස් දැ… […]
[…] අතිවාමවාදීන්ගේ ප‍්‍රශ්න ගැන අදහස් දැ… […]
[…] අතිවාමවාදීන්ගේ ප‍්‍රශ්න ගැන අදහස් දැ… […]