ෆැසිස්ට්වාදයට විරුද්ධ වෙනවාද? නැතිනම් වලපල්ලට යනවාද?

සේයා - අන්තර්ජාලයෙන්

කොළඹ ආචාර්යවරයෙක් මගෙන් විමසුවා ඇයි රනිල් මහතාට උදව් වෙන අතරේ මහින්දට විරුද්ධ වෙන්නේ කියල. උන්නැහේ දන්න හැටියට මේ දෙන්නම එකම ආර්ථික ක්‍රමයක් පිළිගන්න උදවිය. ඇත්තටම වඩා තදින් වෙළදපල ගැන විශ්වාස කරන්නේ මහින්දට වඩා රනිල්. ඒ අනුව ඔහු දක්ශිනාංශිකයෙක්. ඒ අනුව ඔහුගේ ගමන වඩා භයානක විය හැකියි කියල. එයා මේ විදියට බලන්නේ ආර්ථික ක්‍රමය ගැන පමණක් හිතල. ඒත් අපි ඉතිහාසය දෙස හැරිල බැලුවොත් අපට පෙනෙනවා ආර්ථික පැත්තෙන් සමාන වුනාට දේශපාලන හා සමාජ ප්‍රතිපත්ති තුළින් විශාල ලෙස වෙනස්වන නායකයන් ගැන. එදා දෙවන ලෝක යුද්ධයේ බලපතල ගැටුමකට ආවේ චර්චිල් හා හිට්ලර් ගේ වෙනස්කම තමා. චර්චිල්ගේ දේශපාලනය වුනේ ඉංග්‍රීසි ක්‍රමයට ලෝකයම ඈද ගන්න. ඔහු විශ්වාස කළේ ඉංග්‍රීසි ජනතාව ලෝකයට ඉහලම සංස්කෘතිය හා සභ්‍යත්වය ගෙන ආ බවයි. එය බෙදා හැරීම තමන්ගේ වගකීම ලෙස ඔහු විශ්වාස කළා. අනෙක් අතට හිට්ලර් කල්පනා කළේ ආර්ය වර්ගයා මනුස්ස කමේ ඉහලම ඉන්න බවත්, අන් වර්ගයා ක්‍රමයෙන් විනාශ කළ යුතු බවත්ය. ඒ අතර ආර්ථික ප්‍රතිපත්තිය තුළ ලොකු වෙනසක් නැති අතර හිට්ලර් වඩා තදින් වෙළදපල පාලනය කළ යුතුය යන අදහස ඉදිරිපත් කළා. ඒ අනුව ඇත්ත සටන තිබුනේ ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා මිනිස් සමාජයේම අනන්‍යතාවය උඩයි. එක මිනිසෙක්ද නැත්නම් පරම මිනිසා හා බාල මිනිසා යන ලෙසින් දෙකක්ද.

මේ අනුව බරපතල ප්‍රශ්නයක් මනුස්ස සමාජයට ඇති කළා. ඒ අනුව එකට ඉන්න බැරි තැනට මිනිසාව ඇදල දැම්ම. හිට්ලර්ගේ මථය බියකරු හීනයක් හැටියට අනෙක් අය නිවැරදිව දැක්ක. ධනවාදී ආර්ථිකය පිළිගන්න අයත්, සමාජවාදය පිළිගන්න අයත් ඇතුළු සැවොම ම ආර්යවාදී ජර්මානුවන්ගේ ගමනට විරුද්ධව සටනට බැස්සා. සියල්ලන්ම එකට එකතු වුනත් එදා වෙන කොටත් ධනවාදී සමාජය අවසානය කරා ගමන් කරනා බවට මාක්ස්-ඒංගල්ස් පැහැදිළි කරල තිබුනේ. ඒ අනුව ධනවාදයද සමාජවාදයද යන සටනත් එලියට ඇවිත් තිබුනා. ඒත් එය යටපත් වෙමින් මිනිසා එකයි කියන මූලික අදහස එයට වඩා වැඩි ප්‍රශ්නයක් බවට පත් වුනා. ඒ අනුව සමාජවාදීන් හා ධනවාදීන් එක පෙළට ඉදල මිනිස් වර්ගයාටම එල්ල වූ පහරට විරුද්ධව සටන් කරල හැමෝම එකතු වෙලා සටන ජයගත්ත.

අද වන විටත් මේ ප්‍රශ්නය ඉවර නෑ. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැරැද්ද ධනපති අයිතිය ගැන කථා කරන එකම නෙවෙයි. එයට ඇමරිකාවේ විරුද්ධතාවය තවම ගොඩ නැගී නැහැ. ඒත් මිනිසා ජාති වර්ග ලෙසට බෙදා දක්වනවට විරුද්ධ විශාල පිරිසක් ඇමරිකාවේම සිටින බවට පැහැදිළිවම කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ට විරුද්ධ වන්නේ තද ධනපති මතවාදයන් ඔහු ගෙනා නිසාම නොවෙයි. එයට වඩා ඔහුගේ ජාතිවාදී බෙදීම් හා උසි ගැන්වීම් ගැන තද විරෝධයක් මතු වෙලා තියෙනවා. ඒ අනුව ඩොනල්ඩ් හිට්ලර් වර්ගයේ මිනිසෙක් ලෙසට සදහන් අතර අලුත් නීති ගැන විශාල සොයා බැලීම් තුළ ඔවුන් දැන් දිවි ගෙවන බවට තොරතුරු හෙලි වෙනවා.

මේ විදියට කරුණු සලකා බැලීමේදී හුදු ආර්ථික ප්‍රතිපත්ති මතම සමාජ ගමන දැකීම ප්‍රමාණවත් නෑ. ආර්ථික ප්‍රත්පත්ති වලින් තොරව, සමාජයේ යම් කොටස් වලට යම් යම් සුවිශේෂ විදි විධාන මත, අවහිර කම් කරනවා නම් එයින් ඇතිවන ආර්ථික අපහසුතා සමග බලාපොරොත්තු නොවුන කඩාවැටීම් ඇති වෙලා තිබුණා. ඒ අනුව ජාතිවාදය ඇවිස්සීමෙන් එයින් ඇතිවන දේශපාලන වෙනස්කම් විශාල අර්බූද සමාජයටම ඇති කරනවා. මේ අනුව ඇතිවන අර්බූදය තුළ මිනිසාට බලපෑම් වෙන්නේ ආර්ථික ගමන පමණක් නෙවෙයි. ඊට අමතරව මනුස්සකම ගැන වෙනස්කම් තියෙනවද, ජාතිවාදී පරස්පරකම් ඇති කරනවාද යන්න හිතා බලන්න වෙනවා. ඇත්තටම අද අප සිටින්නේ පංති සටන් ඉතිහාසයේ අවසාන වකවානුව තුළ. එහිදී ධනවාදය අකුලාගෙන යනවාට වඩා මනුස්සකමම විනාශ කිරීමේ බෝම්බයක් අප අතට දෙන්න හදනවා. ඒ අනුව ඉතිහාසයේ අවසානය ෆැසිස්ට්වාදී විනාශයයි. මෙය ලෝකය පුරා ඇති කිරීමේ පෙළඹවීමක් මේ විදියට අවසන් ක්‍රියාන්විතයක් හැටියට එලියට ඇවිත් තියෙනවා. එය දියත් කරන්නේ ආර්ථික සැලසුමකට වඩා ජාතිවාදී ආගම්වාදී ගැටුම් තුලිනුයි. නූතන විප්ලවවාදියා තම ගමන හොදින් තෝරා බේරා ගත යුතුව තිබෙනවා. ජාතිවාදී ගිනිදැල් නිවා දමා සෑම ජාතියකටම ජාතිකත්වය ගැන ස්වයං තීරණයක් ගැනීමට ඉඩ දෙමින් ජනතාව එක්සත් කළ යුතුය කියන තැනට අප ඇවිත් අවසානයි. මේ ලෙසට ෆැසිස්ට්වාදයට විරුද්ධ සටන නොසලකා හැරියොත් මිනිසාට මිනිස්කම රැකගැනීම නොහැකි වීමෙන් විනාශය අත්කරගන්නට සිදු වේවි.


16.10.2018

“නිනව්ව” ලක්බිම

සබැදි ලිපි

You may also like...

3 Responses

  1. 2020-04-07

    […] […]

  2. 2020-04-25

    […] ෆැසිස්ට්වාදයට විරුද්ධ වෙනවාද? නැතිනම… […]

  3. 2020-04-25

    […] ෆැසිස්ට්වාදයට විරුද්ධ වෙනවාද? නැතිනම… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.