මනුස්සකම අපට මතක් කරල දුන්න වෛරසය

සේයා - අන්තර්ජාලයෙන්

එක පාරටම ලෝකය පුරා අදුරු හෙවනැල්ලක් ඇවිත්. ඉතා ඉහල තැන් වලටත් බේරෙන්න බැරි රෝගයක් ඇති වෙලා. රජ පවුල්, ඉහල පෝසතුන් මෙයින් බේරීමට පොර කනවා. ඈත පිටිසරට වඩා නූතන ලෝකයේ නගර වල ජනයාට මේ ලෙඩේට බිය වෙන්න සිද්ද වෙලා. ටික දවසකට ඉස්සෙල්ල මහ රටවල් නව ලිබරල්වාදයෙන් ඇති වූ පොහොසත්කම් ගැන ගණන් හිලව් කථා කරමින් සිටියේ. මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ථවාදී ක්‍රියාවන් තමයි සාකච්ඡාවට ගැනුනේ. දියුණුවේ අවසානය වෙන්නේ මනුස්සකම ගැන පණිවිඩයකින් බව හැමෝම කියන්න ගත්තා. ලෝකය පුරා නිදහස් වෙළදාම ගලා යා යුතුයි, එය තමා විසදුම කියල සමහරු අවධාරණය කළා. නමුත් බහුජාතික සමාගම් හසුරුවන වෙළදාම ඇත්තටම නිදහස් ද කියන ප්‍රශ්නත් මතු කළා. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති තුමාම නිදහස් වෙළදාම ප්‍රතිපත්තියේ බොරුව පෙන්නල දුන්නා එයාගේ වැඩ තුළින්. ඒ වුනත් ඉහල තාක්ෂණයෙන් නැටවෙන ලෝකයේ මහා බලවත් තන්ත්‍රයක් කියල ඒ ඇත්තො අවධාරණය කළා. සයිබර් ලෝකය තුළ සෑම ප්‍රශ්නයක්ම විසදන බව කිව්වට මනුස්සකම වෙළද සමාජය තුළ බිද වැටිල තිබුනේ. ඒ නිසා ඒ කථාව විහිළුවක් ලෙසට සැළකුණා. දැනුම ඉස්තරම්, හැගීම් විහිලුවක් – බොලද කමක් කියල කියන්න පටන් ගත්ත විතරයි,  ඒ කතා බතා අස්සේ චීනයෙන් කෝවිඩ් වගේ වෛරසයක් එලියට ආවා. මේක ඉබේ ඇති වුනාද, නැතිනම් යම් රටක් ඇති කළාද කියල කියන්න බෑ. ඒත් එය ඇති වුනා. එයින් මනුස්සකම ඉබේම ඉහලට ආවා. වෙන වචන වලින් කියනව නම් මිනිසා එකිනෙකාට බැදල කියල එයින් ඉබේම එලි වුනා. මේ රෝගයෙන් ගැලවෙන්න ජනතාව මනුස්සකම තමා එලියට ඇදල ගත්තේ. රූපවාහිනී නාලිකා අඩ අඩා මනුස්සකම ගැන ගුණ ගායනා කරනවා. දොස්තරලා, නර්ස්ලා රජුන්ට වඩා ඉහල බව කියන තැනට පත් වුනා. ඒ විදියට වැදි බන වෙනුවට ඇත්ත බන හොයන්න පටන් ගත්තා.

වෙළදපල ලාභය උඩ දුවන්නේ. එය ආදරය කරන, මනුස්ස කමට ගරු කරන ආධාර වැඩ පිළිවෙලක් නෙමෙයි. එය එවන් අදහස් සිනහවට ලක් කරල තිබුනෙ. ඒත් දැන් රූපවාහිනිය මගින් වෙළද සමාගම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගැන දිගින් දිගටම කථා කරන්න පටන් අරන්. සම සමාජයක් ලෙස සමාජය නැවත ගොඩ නගන්නේ නැතිව, ලෝකය ගොඩ නගන්න බෑ කියල ලොකු ලොක්කන්ටම කියන්න සිද්ධ වෙලා. මේක ජනතා යුද්ධයක් හැටියට හැර වෙන විදියකට ගෙනියන්න බෑ. මිනිසාගේ අතේ ඇගිලි වලට වෛරසය ගමන් කරනවා. එය මිනිසා විසින් නොදැනුවත්වම මෙහෙයවෙන යුද්ධයක්. පාරේ යන මිනිහට “අනේ අපට ගහන්න එපා” කියල බණ දෙසන්න සිද්ද වෙලා. ඒ අනුව හැම මිනිසෙකුම මිතුරෙකු කර ගත යුතුයි. අඩු තරමේ එකට එකතු වෙලා සබන් දාලා අත හෝද ගන්න එකතු වෙන්න වෙනවා. එවන් සමාජයක් ලබා ගැනීමට යාලු වෙන්න වෙනවා.යාලු වෙයල්ලා, නැත්නම් මරණය කියල තුවක්කු අල්ලන්නේවත් නැතිව වෛරසය මිනිසාට කියනවා. මේ වෛරසය මුළුමනින් විනාශ කළත් නව වෛරසයක් නැවත මතු වීම නවත්තන්න බැහැ. මුදිතාවෙන් අනෙකාගේ ජයග්‍රහණයත්, සැනසුමත් ගැන සතුටු වන ලෝකයක් තුළ පමණයි අපට එයට මුහුන දෙන්න පුළුවන් වෙන්නේ.

සේයා – විකිපීඩියා

බුදුන් කියා දුන් මනුස්සකම

මිනිසා එකම වර්ගයක් ලෙසට දැක් වූ නායකයා බුදුන්. උන්වහන්සේ මෙය වටහාගත්තේ හින්දු ආගම තුළින් නොවෙයි. හරප්පා ශිෂ්ඨාචාරය තුළින් උකහාගත් අදහස් සංවර්ධනය කර විකසිත කිරීමක් ලෙස තමයි මේ මථවාදය උන්වහන්සේ සාක්ෂාත් කර ගත්තේ. එසේ මේ දහම ලොවට හෙළි කළ මුල් නායකයා උන් වහන්සේ. ඒ බව දැන් පිළිගෙන තිබෙනවා. මොකද එදා හින්දු දහම තුළ වංශ කුල භේදය ධර්මයක් ලෙස පිළිගෙන තිබුණා. නූතන හින්දු පණ්ඩිතයන් එය වසන් කිරීමට කියන්නේ ඒ වැඩ බෙදීමක ප්‍රකාශනයක් කියලයි. වැඩය අඩු කුලයක් ලෙස සැලකුණා විනා ඒ වැඩයේ යෙදිම නිසා මිනිසා අඩු කුලයක් උනා නෙමෙයි කියලයි. ඒ කියන්නේ අසූචි සුද්ද කිරීම පහත් වැඩක් කීවා මිස එය කරන මිනිසා පහත් කියල හින්දු ඉගැන්වීමේ නැහැ කියන එක. එය මං හිතන හැටියට, මෝඩි මැති තුමාගේ අලුත් ඉගැන්වීමක්. උන්නැහේ තරයේ කියන්නේ බුදු දහම හින්දු ආගමේ අවසන් අදියර කියලයි, මට වැටහෙන්නේ. ඒක ඉතින් දඩමස් හොද මස් කරන පොලිස් ධර්මය වගේ එකක් කියල මට හිතෙනවා.

ඈත අතීතයේ ඉරාණයේත් මේ ප්‍රශ්නය කථා බහ වුන බව බුදු දහම හදාරන විට පෙනී යනවා. ඉරානය ලෝකයේ ප්‍රථම අධිරාජ්‍ය කියල දැන් පිළිගන්නව. එය රෝම අධිරාජ්‍යයටත් වඩා පරණයි. එදා බුදුන් සිටි දවස ඩේරියස් අධි රාජ්‍යයා ඉරානයේ බලවතා වුන බවත්, ඔහු ඉරානයේ සිට පණිවිඩ කරුවන් බුදුන්ට එවූ බවත් පිළිගෙන තිබෙනවා. ඉංදියානු ජනතාව එරට මිනිසුන් දේව ගනයට ගිය උසස් පිරිසක් ලෙසටයි පිලිගත්තේ. මේ ගනුදෙනුව ගැන ඉන්දියාවේ හා බුදු දහම පිළිබද වාර්ථා වලින් කියවුනත් ඉරානයෙන් එන තොරතුරු විනාශ වෙලා. මුස්ලිම් ආක්‍රමණයන් හිදී ඔවුන් අන් ආගමික සියලු දේ බැහැර කිරීමට යොමු වුනු අවස්ථා තිබෙනවා.

ඉරාණයට එයට මුහුන දෙන්න සිදු වුනා. ඉස්ලාම් ආගම තුළ තිබෙන ප්‍රධාන දෙයක් තමයි මිනිසා එකයි කියන එක. ඒ අතරම අනෙක් දර්ශන අකා මකා දැමීම. ඒවායේ ප්‍රකාශ විනාශ කර දැමීම සිදු කරණවා.  මේ අනුව ඉරානයේ ඈත ඉතිහාස තොරතුරු සොයා ගැනීම අසීරුයි. ඒ කෙසේ වෙතත්, ක්‍රිස්තු මෙන්ම මහමත් තුමත් මිනිසා එකයි කියල කියනවා. ඒ අතරම එයට විරුද්ධ වන මථවාද විනාශ කළ යුතුය යන බරපතල මතය ත් ඉදිරිපත් කරල තිබෙනවා. මේ අතර නිර්මල බුදු දහම විශ්වාස කරන ආගම වෙනුවෙන් හිස දන් දෙන්න කථා කරන උදවිය ඇත්තටම මිනිසා එකයි කියන විදියට අනෙක් ජාතීන් දිහා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ලෙසට බලල වැඩ කරනවද? එහෙම නම් මේ යුද්ධ ඇති වුනේ කොහොමද? සිංහල පමණයි කියමින් බෙරිහන් දුන්න බණ්ඩාරනාකලගේ සගයෝ මෙය අමතක කළා.

රතන සූත්‍රය කරේ තියං ගියාට වැඩක් නෑ

මිනිස් සමාජ කණ්ඩායම් අතර මොන වෙනස් කම් තිබුණත් ඒ සැම දෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ලෙසට ඒ කියන්නේ තමන්ගේ ම අනෙකා යන ආකල්පයෙන් බලන්න තමයි බුදුන් කියා දුන්නේ. ඒ මොකද එය එක්තරා ජීවිතයක් නිසා. නමුත් මිනිසා වෙනස් කම් ප්‍රධාන කරගෙන අනෙක් ජීවිත වලට විරුද්ද වුනා ඒවා විනාශ කළා. එතකොට ඒකටම තමන්ගේය කියන අයටත් මුහුණ දෙන්න වීම බලාපොරොත්තු විය යුත්තක්. ඒ නිසා දෙවියන් යදින්නේ නැතිව මනුස්සකම උඩ මුහුණ දිය යුතුයි. මිනිසා මිනිසත්කම වටා එක්විය හැකි සතෙක්. එවිට අනෙක් බලයන්ට පහු බහින්න සිද්ද වෙනවා. එය එදා විශාලා මහනුවරදී බුදුන් කියා දුන්නා. හැමම එක්ව සුද්ධ පවිත්‍ර කර විෂ නසා පහන් දල්වා ඉදිරියට යන මාවත බුදුන් කියා දුන්නා. එය ඇත්තටම මිනිසා තුළ තියෙන දෙයක්. එදා අම්මාවරුන්ගේ කොමියුන සමාජය නැවත මතක් කිරීම බුදුන් කළා. එයට හැකිවුනා උවදුරු ජයගන්න. රතන සූත්‍රය නොවෙයි ජයගත්තේ, සමගිය මතු කළ මිනිසත් කමයි. එය මතක තබා ගත යුතුයි. මිනිසා සමූහ ලෙසට වටවීම හා සමගියෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා තුළ එකට ගමන් කිරීමයි. මෙයයි ජය මාවත. බුදුන් අපට මිනිස්කම පෙන්වා දුන්නා. එයට අවතීර්ණ වීම අපේ වැඩක්. ලෝභ, වෛර හෝ මෝහ යන ගුණාංගයන් හිසේ තබාගෙන රතන සූත්‍රය කරේ ගහගෙන යාමෙන් නම් වැඩක් නැහැ.

මිනිසා උපන් ගම මිනිසාට අමතක වුනා. එකාට එකා ඈත සිට තරග කරන, උන්මාදයෙන් එකාට එකා නැති නගරවලට මිනිසා එකතු වුනා. එය එකාට එකා නැති ගමනක්. තරගයේ නගරයන් එක් වීමේ ගමක් නොවෙයි. විවිධ විදියට නගර තුළ සමාජ හදාගෙන කොමියුන් එක සිහි කරගන්නට යොමු වුනත් ඇත්ත සහෝදරකම් ක්ලබ් වල, සමාජ ශාලා වල ලබා දෙන්න බැහැ. ඇයි? ලෝභය, ඉරිසියාව, රැවටිල්ල තරයේ තහවුරු වෙලා නිසා. ඒවා ජනිත කරන තැන් විදියට ගත්තහම ක්ලබ් වලට ලෝබකම, ඉරිසියාව හා රැවටිල්ල විනාශ කරන්න බෑ. එයට මමත්වය වැඩි කරන්න පුලුවන්. සමාජ ශාලා වසා දමා සටන පටන් ගන්න සිදු වුනේ ඒ නිසයි. ඇදිරි නීතිය ඇති කළේ විවිධ පන්නයේ සමාජශාලා වසන්න. දැන් ඇත්ත සමගිය උඩ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා උඩ කොමියුනය ගොඩ නැගිය යුතුයි.

මිනිස්කමෙන් ජනිත තාක්ෂණය හා කළමණාකරණය

දියුණු තාක්ෂණය සමගිය වැඩි කරන්න යොමු වුනා. එය යාලුකම් ඉතා හිතවත් කම් බවට පත් කළා. දුර නැති කළා, ලග ඇති කළා. ඉරිසියාවට ඉඩ නොදී හැම දෙයක්ම ලාබ කළා. විවිධත්වය තුළ තරගය විසිරුවා හැරියා. වර්ග වැඩි නිසා තරගය තේරුමක් නැති දෙයක් කළා. මහා කෙරුවාවල් පැයේ හමාරේ වැඩ බවට පත් කරල රට යන එකත් සැහැල්ලු වුනා. දැන් නම් වෛරසය නිසා දුර සොයා යාම විහිළුවක් වුනා. බොරුවට දුවන්න එපා, හැමදේම ලං වෙලා. මෙය නොදන්නවා නම් පැරණි කැලෑ යුගයට යන්න වේවි. මේකයි අපට ලැබෙන් අවවාදය. ලොකුකම්, බොරු සෝබන, කයිවාරු නවත්ත පල්ලා. මේක සමාජ ගත විය යුතු ලෝකයක්. එකම මිනිස් කමයි ඇත්තේ. මට ඇති ජීවිතය තමා අනෙකාටත් තියෙන්නේ, මට අයිති දෙය අනෙකාටත් අයිතියි, මගේ ජය වගේම අනෙකාගේ ජයත්, සතුටත්, මම මගේ වරදට සමාව දෙන ලෙසටම අනෙකාගේ වරදටද සමාව දිය යුතුයි. ඒ තමා මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා වලින් කියවෙන්නේ.

කණගාටුවෙන් වුනත් අපට සදාචාරය, සීලාචාරය, අම්මට අම්ම කියල එකට සිතන දේශයක් ගැන හිතන්න වෙනවා. මොකද මේ විදියට සීලාචාර කම ගැන කියනකොට ජාතියක් වෙන් කරල කියන්න බෑ. එදා තිබුණ අම්මා මුල්උන පවුල කර්මාන්ත දියුණුව උඩ වෙනස් වෙලා නූතන යුගයේ පවුල හැදිල තියෙන්නේ. ඒත් ජන්මයෙන්ම අම්මා අප්පා හදුණන මිනිසාට පවුල් සදාචාරය අමතක කරල කථා කරන්න බෑ. තවමත් දරුවා උපතේ සිට හත් අවුරුද්ද දක්වා දෙමාපියන් සමග සිටීම වෙනස් වෙලා නෑ. ඇත්ත අපේ උපකරණ, ආයතන, ගමන් බිමන් වෙනස් වෙලා. වගකීම් රාශියක් පොදු ආයතන පවරා ගෙන තියෙනවා. ඒත් එයිනුත් උනේ මිනිසාගේ පොදු පැවැත්ම හා එකමුතුව සිටීම වඩා ඉහලට යෑම. ඒ නිසා ජාති, ගෝත්‍ර අමතක කරල මිනිස්කම ගැන හිතන්න වෙනවා. සමාජය වගකීමෙන් ඉවත් කරන්න බෑ. පවුල එයට ඇති බැදීමෙන් වෙන් කරන්න බෑ. ඉහල දියුණුව උඩ සිටින ඇමරිකාවේ උදවියත් අම්මා ගැන බලන අප්පා ගැන හිතන අය. ඒ බැදීම වර්ධනය තුළ වෙනස් වුනත් එයින් එන සදාචාර බැම්ම හැලිල නෑ. දෙමාපියො මිනිසා දෙස බැලූ විදියටම ළමුයිනුත් පටන් ගන්න එක නැවතිලා නෑ.

දෙමාපියන් දරුවන්ට මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා අනුව සළකන එක පරම්පරාගත ගමනක්. එයට මුල අම්මා. තමන් බිහි කළ දරුව‍ාගේ පැවැත්ම ගැන ඇයට අමතක කරන්න බෑ. මිනිස් දරුවා මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා හදුනා ගන්නේ අම්මාවරුන්ගේ ගෙදරදීමයි. එය ධර්මයක් ලෙසට පාඩම් වලට යන්න පෙර අම්මාගේ බැලීම උඩ එය වැළද ගන්න සිදුවෙනවා. අනෙක් මිනිසාට මේ ලෙස සැලකීම උදාරම ගමන කියල පොතට වඩා මව්බසින් කුඩා කල සිට අපට පුරුදු වෙනවා. වෙළදපොළ ආර්ථිකය තුළ පාලකයන්ට විශාල මුදල් ලබා ගන්න පුළුවන්. ඒත් එයින් විශාල ප්‍රමාණයක් රජයේ වියදම් ලෙස දිය යුතුයි. සමාජවාදය එන්නට බොරෝ පෙර සිටම සමාජය සංවිධාන කිරීමට, හැම ගේම යැපීමට සුබසාධන, බෙහෙත් ගෙන්වා ලෙඩ නිවාරණයට මුදල් යෙදවිය යුතුයි. අධ්‍යාපනය ඉහලටම ගෙන යා යුතුයි. එයට පොහොසතා වගකිව යුතුයි. ගමන් පහසුව, වතුර, විදුලිය ආදී සියලු පහසුකම් ධනපති රජය විසින් සම්පාදනය කර දිය යුතුයි. ඒ අනුව සමාජවාදය ගොඩ නැගීමට පෙර සිටම ජන සමාජයට වගකිව යුතු රජයන් තුළයි ධනපති ක්‍රමයට ක්‍රියාකාරී වීමට සිදුව තිබෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදයක් නැති සමාජවාදය

අනෙක් අතට ධනපතියාගෙන් නිෂ්පාදන බලවේග හා වස්තුව රජයට පවරාගෙන රාජ්‍ය නිලධාරීන් හා කම්කරුවන් ගෙන සමන්විත රාජ්‍ය යන්ත්‍රණයකින් සමාජවාදය කරා ගමන් කරන බව කිව්ව පාලකයන් එහෙම සමාජවාදයට ගමන් කර නැති බව අපට රුසියාව, චීනය ආදී රටවල් දෙස බැළුවහම පෙනෙනවා. කාර්ල් මාර්ක්ස් වැනි උදවිය අපට පෙන්වා දී තිබෙන්නේ සමාජවාදී රජයක් කියන්නේ ඉහල ප්‍රජාතන්ත්‍රවාදී, හැම කෙනාටම අදහස් දන්වා පෙල ගැසෙන්නට පුළුවන් සමානාත්මතාවයකින් පිරි රටක් ලෙසයි. ඒත් ඒ කිසි දෙයක් රුසියාව තුළ හා ඒ අවට කොමියුනිස්ට් කියන රටවල් තුළ නොතිබුන නිසා ඒවායේ පෙරලි ඇති වුනා. තවමත් රුසියාව තුළ කම්කරු අයිතීන් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වුනාද කියන ප්‍රශ්නයට පිළිතුරු ලැබී නැහැ. ඒ නිසා රුසියාව තුළ ලොකු වෙනසක් නැතුව සමාජවාදී රජයක් බිහිවන්නට බෑ. ඒකම චීනය තුළත් ඊට වඩා සටනක් ඇති විය යුතුයි. නිදහස් සාකච්ඡා නැති රටක සමාජවාදය ලියලනවා කියන එක විහිලුවක්. ඒ නිසා ඒ දේපල රජය සතු කරපු රටවලත් ඉදිරියට යෑමක් නැති නිසා ධනවාදී ලක්ෂණ ඉබේම ඇති වෙනවා කියල අපට කියන්න සිද්ද වෙනවා. විවේචනයට හා අදහස් දැක්වීමට ඉඩ නැති රාජ්‍යයක සමාජවාදය ලියලනවා කියන එක පිළිගත හැකි දෙයක් නොවෙයි. ආර්ථික අතින් දියුණු වුන පලියටම හොද සමාජයක් ඇති වන්නේ නෑ. එය දැනුම වර්ධනයේ එක් පැත්තක් විතරයි. ඒ සමගම හැගීම් වල පිරිසිදු කමක් ඇවැසි වෙනවා. එය දියුණුව සමග නිකම්ම ඇති වෙන්නේ නෑ. එක පැත්තකින් දියුණුව තුළම උදව්ව හා එක්වීම වැඩට අවශ්‍ය බව පෙන්වනවා. මිනිසාගේ සංවිධාන රාමුව විශාල දෙයක්. එයට මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා ඇවැසියි. නැතුව ඉරිසියාව, කෑදරකම, මෝඩකම නැතිනම් කල්පනා නොකොට වැඩ කිරීම ආදිය තුළ සැලසුම් ඉදිරියට ගෙනියන්න බෑ. ගණන් ඉගෙන ගත්ත පලියටම නුවනක්කාරයෙක් වෙන්න බෑ. අනෙකා සමග එකට වේගයෙන් ඉදිරියට යාමට සුහද සම්බන්ධකම් ලබාගත යුතුයි. මවා ගත යුතුයි. එය තර්කය තුළ හිරවී කළ හැකි දෙයක් නොවෙයි. එයට හොද හිත, හිතවත්කම තුළින් තවත් දැනුමක් එකතු කළ යුතුයි. මනුස්සකම හැම ඉරියව්වකටම එක් කළ යුතුයි.

දැන් අද විශාල වැඩ සටහන් හදන නූතන සංවිධාන උපක්‍රම තුළට මේ මිනිස්කම ගැන විෂයගත වෙනත් බසකින් ඇතුල් කරණව. මිනිසා සම්බන්ධය ඔවුන් තාක්ෂනයන් නැත්නම් කළමණාකරණයන් ලෙසට හරවල තියෙනව. එය පාඩමක් ලෙසට දැනුවත් කළත්, ඇත්තටම හැගීම් පාලනය, ලෝභය, ඉරිසියාව, කල්පනා නැතිකම හැටියට දේශන වලට එනවා. ඒත් එය මිනිස්කමේ හැටි දැනගෙන තමාගේ තන්හාව, පාලනය කරගැනීමක් ලෙස අවබෝධ කරගත යුතුයි. මේ නිසා තමා සමහර භාවනා ක්‍රම ගැන හා ඒවා පුහුණු වීම් පද්දති වලට දමා ප්‍රඥාව දෙසට යොමු කරවන්නේ.  ඒත් අවබෝධ කළ යුතු වෙන්නේ ලෝභය, ඉරිසියාව හා කල්පනාවෙන් තොර පියවර ගැනීම බුදුන්ගේ බනට එක් කර තිබෙන්නේ මොලේ තුළ අවදි කර ගැනීමක් හැටියටය යන්නයි. තමා ගන්න හැම පියවරක්ම මිනිසත්කම තුළ තබා සළකා බලා ගන්නා දෙයක් වෙනව. එයින් අනෙකා හවුල් කරගැනීම ඉදිරියට යනවා. අනෙකා දෙස හවුල් වීමේ ඇසින් බැලීම වැඩ වලට අවශ්‍ය යි. මේ ලෙසට බුදුන් දැක්කා වූ දෙයම, අද නූතන ලෝකය තුළට එන්නේ විශාල පර්යේෂන වලින් සොයා ගත්ත වටිනා සැළසුම් අදහස් හැටියට මහප්පරාණ වචන ගොඩක් එක්ක යි.‍ මේකයි ඇත්ත.

2020 මාර්තු 30

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.