ප්‍රේමණීය කලාකරුවා – සනත්
ප්‍රේමණීය කලාකරුවා – සනත් ගුණතිලක නම් දීප්තිමත් නළුවා එකවිටම තම අත්දැකීම් පදනම් කරගෙන ප්‍රේමය ගැන කථා කරන්න පටන් ගත්ත.
අද අපි ඉන්නේ ලෙඩ දුක් පිට දුක් සහිත වෙලාවක. ඇත්තටම ප්‍රේමය ගැන කථා කරන්න මේ අදුරු අවස්ථාව සුදුසුයි කියල කියන්න පුළුවන්. මොකද ප්‍රේමය, ආදරය හැමටම උවමනා වන්නේ, දුක් සහිත ලොවක් තුළ තනි වෙනකොටමයි.
හැබැයි සුන්දර ලෝකයන්ට බැහැල ගී සිංදු කියන්නත් බෑ. “හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න” ආදී ගීතයක් ගයන්න නම් එතරම් සුදුසු නෑ.
සනත් අදටත් පෙනුම ඇති සුන්දර මිනිසෙක්. ඔහු රැජිනකටත් පෙම් කළ කෙනෙක්.
මටත් එක් කලකදී සනත් සමග වැඩ කරන්න හැකිවුනා. වමේ සමගියෙන් යුද්ධය නවතා සාම පිළිතුරක් සදහා අප කළ ආරාධනයට ඇවිත් සහයෝගය දීල අපට දහිරිය දුන්න.
ඔහු ඉහල පෙලේ ඇදුමින් සැරසී සදාචාර ලෙස දැකුම්කළු ජීවිතයක් ගෙන ගිය කෙනෙක්. සරසවි බසින් කියනව නම්, කුල්ටූර් කෙනෙක්.
ප්‍රේමණීය පේරාදෙනිය
පේරාදෙනියෙදි ඔහු මට හමුවුනේ නෑ. ඊට හුගක් පස්සෙ පලාත් සභා මන්ත්‍රීවරයෙක් වෙලා කොළඹ වැඩ කරන වෙලාවෙදි මට මුනගැසුනා.
ප්‍රේමවන්තයෙක් හැටියට කිහිප පලක දිවිය ගොනු කරල ගැටුම් නැතිව වෙන්වුන කෙනෙක් කියල එයා කියන එක ඇත්ත කියල මට හිතුන.
පේරාදෙනියේ සරසවිය ඉතා සුන්දර තැනක්. මට අවුරුදු කිහිපයක්ම සිසුවෙකු ලෙසටත්, ඇදුරෙක් හැටියටත් පේරාදෙණිය ඇසුරේ ජීවත් වෙන්න ලැබුන.
එයට ඇතුල් වෙන හැම දෙනෙක්ම පාහේ එහි දී තම සහකරුවා නැත්නම් සහකාරිය හමුවේවිද කියල හිතනව කිව්වොත් පුදුමයක් නෙමෙයි.
ආදරය ගැන වැඩි කථා නැතුව ශිල්පයන් උගෙන ගනිමින් හිටි ‘සීරියස්’ උදවියත් ඒ මුහුණ අත්හැරල හන්තානේ ඇවිද යන ජෝඩු බවට පත් වෙනවා මං දැකල තියෙනවා.
මං හිටියේ අක්බාර් ශාලාවේ, ඉන්පසු අක්බාර් ශාලාව පිටුපස ගුරු මැදුර තුළයි. හොද කලක් මං හිටිය. ඒ දිනවල අක්බාර් ශාලාව උඩ ඉදල හන්තානෙ හඳ නගින හැටි ලස්සනට බලන්න පුළුවන් වුනා.
ඒත් මං ආදරය ලැබුවේ එම සරසවියෙන් නෙමෙයි. ඒ නිසා හඳ නගින එක ගැන ගයන ගීය මගේ ජීවිතයට අදාල නෑ.
කලාවෙන් ප්‍රේමය උගන්වන ගුරුවරයා
දැන් දක්ෂ කලා කරුවෙකු වන සනත් ගුණතිලක තමන් ගොඩනගා ගත් රූපවාහිනී නාටකය තුළ අපට රස විදින්න පුළුවන්. ලෝකයක් මවන්න පුළුවන්. එය සාර්ථක විවාහ ජීවිතයකට යොමු වුන කතන්දරයක් නොවන්න පුළුවන්.
ඒත් සුන්දර ප්‍රේම කථා තියෙන චිත්‍රපට වල වගේ ගීයෙන් අවසන් වෙන්නේ නෑ.
සුන්දර ප්‍රේමයයි, ආදර විවාහ ජීවිතයයි කියන්නේ එකක් නෙමෙයි දෙකක් කියල කියන්න පුළුවන්.
ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒ හැම පෙම් කථාවකින්ම දුකක් ඇති කළා කියල. කතාවල් එකවගේ නෑ. එයට වඩා වෙනස්.
ප්‍රේමයේ සුන්දරත්වය කොයි වගේද කියල හොයල බලන එක අපේ නලුවා අපට පැහැදිළි කරාවි කියල කියන්න පුලුවන්.
ඔහුගේ ජීවිතය සංකීර්ණයි. ඒත් හැම දෙයක්ම හොද හිත සහ දයාව රැකගෙන ගෙවී ගියා කියල උන්නැහේ කියනවා.
එතුමා එය ඉදිරිපත් කිරීමේදී ගත්ත විලාසයන් තුළින් සාරවත් අත්දැකීම් රැසක් එලිවේවි කියල මට හිතෙනවා.
මේ හිංද එළිවෙන කරුණු තුළින් කාටවත් හිත් අමාරු ඇති නොවන ලෙසට හා යුක්ති සහගත ලෙස පෙන්වයි කියල මට හිතාගන්න පුළුවන්.
දේශපාලනය තුළත් ප්‍රෙමණීය චරිතයක්
මොකද මං ඔහු ඇසුරු කළ ටික කල තුළත්, දේශපාලනයට වුනත් ගරු ලෙස පැමිණි කෙනෙක් කියල කියන්න පුළුවන්.
ඔහු සමාජ ප්රජාතන්ත්රවාදී අදහස තුළ හිටිය අතර ජාතීන්ගේ එක්සත්කම ගැන හදවතින් බැලූ කෙනෙක්.
ජාතිවාදීන්ගෙන් ඈත්වුන දියුණු දේශපාලන ලිබරල්වාදියෙක් ලෙස ක්‍රියා කළ ඔහු තමන් ගෙනගිය ජීවිතය හා රගපෑම් තුළින් ප්‍රේමය ගැන කථා කරන්නට හයියක් තියෙන කෙනෙක් බව සහතිකයි.
ඒත් එය ලේසි දෙයක් නොවෙයි. හොද නළුවෙකුට ජනතා පිළිගැනීමට ලක් වෙන්න පුළුවන් විවරණයක් කරන්නට හැකි විය යුතුයි.
මේක තුළත් රගපෑමක් තිබෙන නිසා, දක්ෂ නළුවා එයට උරදුන්න කියල හිතන්න පුළුවන්.
ප්‍රේමය බැදීම පමණක් නොවෙයි. තරගය, ගැටුම හා වෛරයත් මුසු මිනිස් අත්දැකීමක් බව ඔහුගේ මුල් කථාවෙන් පෙන්නුම් කළා.
ඒ වුනත් අවසානය හැම දෙනාම ඈත් වුනත්, වෙන් වුනත් දයාවෙන් එය විය යුතුයි කියන අදහස එදාත් මතු කළා කියල මට හිතුන.
කිසිසේත්ම කිසි කෙනෙකුට දුකක් දීමක් නැතිව පුද්ගලයන්ගෙන් වෙන්වුන පෙම් විවරණයන් මේ වැඩපිළිවෙල තුළ එලියට එයි කියල පැහැදිලි වුනා.
සනත් සන්සුන් මිනිසෙක්. පිළිවෙලට ඉන්න කෙනෙක්. ගැඹුරු දේ ඔහු නළු ජීවිතයේදී අපට විදහා දුන් කෙනෙක්. මට ලගකදි හමු නොවුන නිසා ඔහුගේ ජීවිතය ගැන මට දුරට කියන්න බෑ.
මගේ තියෙන අත්දැකීමෙන් මේ ශක්තිමත් මිනිසා කලාවටත්, ප්‍රේමයටත් යහපත් ඉදිරිපත් කිරීමක් කරයි කියල කියන්න පුළුවන්.
යුද්ධ ගැන, ගැටුම් ගැන ඕන තරම් විහිද යන කථාවන් කරන්න පුළුවන්. රගපෑම් කරන්න පුළුවන්. ඒත් මිනිසාගේ යටි හිතින් ගලා එන ප්‍රේමය ගැන කියන්න, පෙන්වන්න ලේසි නෑ.
ප්‍රේමය, ආදරය, කරුණාව, මෛත්‍රිය පමණක් නොවේ උපේක්ෂාව ඊට ඉහලින් ගැට ගැසෙන මිනිස් ගමනක්.
ලෝභය, වෛරය, දාමරිකකම යන සිතුවිලි වලට විරුද්ධව ගෙන ගිය හැකි, ගෙන යා යුතු දෙයක්.
සනත් ගේ මේ විශාල වැඩයට හවුල් වෙන අයත් හොඳට මේ කටයුත්තට බැරෑරුම් ලෙස වැඩ කරයි කියල හිතනවා.
මං එයාගෙ හැමපැත්තම දන්නෙ නෑ. ඒත් ඔහු ඒ් වගේ වැඩක් ලස්සනට කරයි කියල හිතනවා.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
2020.10.19
සබැදි ලිපි