කලාවට සීමාවක් නෑ. සීමා පනවන්නත් බෑ.

සේයා - අන්තර්ජාලයෙන්

එයට යා නොහැකි ඉමක් කොනකුත් නෑ. මිනිස් හැගීම් වල සෑම පරාසයන් තුළට ගමන් කරමින් මිනිසාගේ ගුණ අගුණ හදුන්වාදෙමින් නිබදව ගමන් කිරීම කලාකරුවාගේ යුතුකමයි. කලාව ගැන විවේචනයට ඉඩ ඇත්තේ සංවේදී, වියපත්, දැනුවත් අයට පමණයි. ඕනෑ කෙනෙකුට කලාවක් ගැන විචාර ලියන්න පුලුවන්. ඕනෑ කෙනෙකුට කෑම කන්න පුලුවන්. හැබැයි එහි රස ගුණ කියන්න ඇත්ත හයිය තියෙන්නේ කෑම ගැන දැන උගත් රසවත් වූ කෙනෙකුට පමණයි. කෑම කාරයෝ ඉන්නව රස දන්න. ඒ වගේම තමයි කලා විචාරකයන් වන්නට පුලුවන් කලා ගවේශණය හා එයට ඇහැක් ඇති අයට පමණයි. රාජ රාජ මැති ඇමතිවරුනට ගැලපෙන දේවල් කරල ලොකු දැනුවත්කම් පෙන්වන අයට වැඩිකල් බොරුවට ගෙනියන්න බැරි බව ලංකා ඉතිහාසයම පෙන්වනවා. මහින්ද වටා ගොඩනැගුණ කලා බටයෝ කණ්ඩායමක් කරණම් ගසමින් ඒ දවස් වල දස දෙස ගමන් කළා. ඇත්ත හැකියාවක් ඇති සමහරුත් ”ශෝර්ට් කට්” එකට මේ කලා බටයන්ට ඇතුල් වුනා. දැන්නම් ඒ අය එහා මෙහා වෙලා වගේ පේනවා.

ඇත්තටම මේක විහිලුවක්. අද වෙනකොට කලාව ගැන විධිමත් දැනුමක්, ඇල්මක් ඇති අයගේ විකාශනයක් ඇති වෙලා. ඒ වැඩ කටයුතු හැම තැනම ගමන් කරන බව පේනවා. කවුරුවත් දේශපාලන බලය යොදල මේ වෙනස කළාය කියන්න බෑ. හැබැයි ජනතාවගේ නැගිටීම තුළම කලාවට ලොකු ඉඩකඩක් නිදහසක් ඇති වී තිබුනා කියන්න පුලුවන්. අද වෙනකොට හරි අය බලවත් වෙලා බොරුකාරයින්ට ඉඩ නැති තත්වයක් ඇති වෙලා. සමහරු කියනව මේවා දේශපාලන බලපෑම් අනුව සිදුවෙන දේවල් කියල. ඒත් හරවත් දේ නීරස දෙයින් වෙන් කිරීමට සමාජයට හැකියාව තිබෙනවා. හරවත් බවට සංවේදී වුන සදාචාරශීලී අය දැන් කථා කරන්න පටන් අරන්. රජයේ ආයතන වලත් ලොකු වෙනසක් වෙලා. ”සිහිනයකි රෑ” කියන වැඩසටහනකට මටත් යන්නට ඉඩ ලැබුනා කාලයකට පෙර. එකනොට එය ආරම්භ වුනා විතරයි, බොහොම අමාරුවෙන් කාලය වෙන් කරගෙන. අද වෙනකොට එය මහා පඩිවරු, කලා දක්ෂයන් සහභාගී වන වඩාත් දියුණු සාකච්ඡා යන වැඩපිළිවෙලක් වෙලා. සමහරු කියනවා බාහු සහභාගී වෙලා ගියාට පස්සෙ මේ වෙනස්කම් ආව කියල. ඒක ඇත්ත නෙමෙයි. එහි ආරම්භයම හොද දිසාවකට තිබුනේ. දැන් ඒ සරුව ඇවිල්ලා ලස්සන උවමනා අය ඇදගෙන ගෙනයන වැඩපිළිවෙලක් වෙලා. මේ තුළත් පේනවා මාධ්‍යකරුවන්ට, කලාකරුවන්ට නිදහස තියෙනවා නම් හැකියාව ඇති තැනැත්තන් උඩට එනවා. ඒ වගේම අනිත් අයත් ඇදගෙන සරු බිමක් කොතැන වුනත් ගොඩනගනවා. මාධ්‍ය අයිතිකරුවන් නිදහස, සාධාරණය, සමානාත්මතාවය ආයතන තුළ ඇති කරමින් සම්පත් ලබාදෙන එකයි කරන්න තියෙන්නේ.

දුප්පතා ලගට කලාව ගෙනියාමට වීදි කලාකරුවන් වැඩකළා. සේනක විජේසිංහ හොද ගායනා කිහිපයක් හදාගෙන වීදි ගායකයෙක් ලෙසට ඉදිරියේදී එනවා කිව්වත් එයට සම්පත් ලබා ගැනීමට බැරිවුන බව කියනවා. නමුත් පරණ කාලෙ ඉදල වමේ ජනතා වැඩකටයුතු වල යොදුන ගායකයො නම් තවමත් ලොකු වැඩසටහන් ගෙන යමින් වමේ කලාකරුවන් ලෙසට උදාවෙලා. මේක හරිනෑ. එහෙම පැත්තකට බර වුනේ ඇයි කියල සමහරු අහනවා. ඇත්තටම නිදැල්ලේ ඉන්න කලාකරුවා සම්පත් උඩ එක පැත්තකට යනවා නම් එය ලොකු විනාශයක් බවට පත් වෙනවා. මෙතන එහෙම වෙලා නෑ. කලාකරුවා මුදලට යට නොවී ජනයා යන ගමන් මග හෙලි කරමින් ඉන්නව නම් පැත්තක් ගත්තා කියල දොස් කියන එක වැරදියි. පැති ගත හැකියි. පැති ඇතිවිය යුතුයි. හැමදාම විවිද පැති තුළ බිහිවෙලා වර්ධනය වෙමින් තමයි කලාව කොයි අංශයෙන් වුනත් ඉදිරියට ගමන් කළේ. එසේම දේශපාලන ධාරාවන් සමග කලාව ගලා යෑමත් වලක්වන්න බෑ. ඒත් සිදුවිය යුත්තේ නිදහසේ අලුත් දේවල් බිහි කිරීමයි. දේශපාලනයන් තුළිණුත් කලා ගුරුකුළ ඇත්වෙන්න පුලුවන්. හැමවිටම කලාව සමාජ තත්වය හෙලි කළා. එය වලක්වන්න බෑ.

කලා නිර්මාන සමහරවිට නොසැලකිල්ලට යටවෙනවා. නමුත් දක්ෂයන් ඒවා නැවත ඇදල ඉහලට ගන්නවා. මෙය කලාව තුළ දිගටම වෙන දෙයක්. ඒ නිසා යටගිය පලියට එය අහක දැමීම වැරදියි. එය තුළ තිබෙන ඇත්ත ගින්න එලියට ඇදිල නැතිකම උඩ පෙරලි පෙරලි ඉදල නැවත ඇවිලෙන්න ඉඩ තියෙනවා. එයත් ඇත්තටම අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන පෙරලි උඩ ගමන් කරන දෙයක්. කලා රසයන් බිද වැටෙනවා, අසාර වෙනවා, මතකයෙන් පවා යනවා. ඒත් නැවත එම රසයම පනගැන්විලා වෙන විදියකට පිඹිදෙනවා, විහිදී යනව. ඒ හැම වාරයකදිම එය අලුත් දෙයක් ලෙස පිළිගන්න එකයි පුදුමය. ඒත් ඇත්තත් එය තමයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
2019.01.08

සබැදි ලිපි

You may also like...

1 Response

  1. 2020-04-26

    […] කලාවට සීමාවක් නෑ. සීමා පනවන්නත් බෑ. (2019) […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.