ලාංකීය ජනමතය දියුණු කිරීමට හුදු දේශපාලන කාරයින්ගේ වැඩක් නෙමේ
මේ රට තුළ ජනමතය දියුණු කිරීමට හුදු දේශපාලන කාරයින් නොවන වැදගත් උගත් අය ඉදල තියෙනවා. දෙමළ සමාජය තුළත්, සිංහල සමාජය තුළත් ඒවගේ උදවිය ඉදල තියෙනවා.
නඩේසන් කියල දෙමළ නීතිඥ මහත්තයෙක් මුළු නීති සමාජයටම අසිරිමත් සේවයක් කළා. ලොකු නඩු තීන්දු ගණනාවකට ඔහුගේ නීති තර්ක විතර්ක පසුබිම් වූ දේවල් මත ගොඩ නැගිලා තියෙනවා. ඒ වගේම ඒබ්‍රහම් කෝවූර් මහත්තයා ලංකා ජනතාවගේ යථාවාදී විමසුම් හැකියාව දියුණු කිරීමට මගපෑදුවා. බුදුන් දෙසූ බණ තුළ ආවේනිකව පිහිටා ඇති යථාවාදී දැක්ම එලි පෙහෙලි කිරීමටත් උන්නැහේ ඉදිරිපත් වුනා. මේ වගේ උදවිය අතර අපට අමතක කරන්න බැරි කෙනෙක් තමා අදිකාරම් මහත්තයා. එතුමා ගම් දනව් වල උදවියට නූතන විද්‍යා දැනුම ගැන හැදින්වීමක් කරන්නට කථිකාවක් ගොඩ නැගුවා. ගම් වල තිබුන වැරදි ආකල්ප වෙනස් කිරීමට ඔහු ක්‍රියා කළා. මේ අතර මෑතකදී මෙලෙස පඩිවරයෙක් ලෙසට මතු වුණ කෙනෙක් මේ වෙලාවෙ මතක් කරන්න වෙනවා. ඒ හෙතෙමේ අප අතරින් වෙන් වෙලා ගිය නිසා. ඒ තමා ප්‍රින්ස් ගුණසේකර මහතා. එතුමා තමා මානව හිමිකම් පිළිබද සමාජ දැනුම ඉහලට ගැනීමට මුල්වුන උගතා කියල නම් කළ හැකියි. මේ වගේ පඩිවරු අප අතරින් බැහැල යාමෙන් අප තවතවත් හුදකලා වීම කණගාටුවට කරුණක්. මිනිස්කම රැකගන්නට සටන් කරන උගතුන් අඩපන වෙනකොට ඔවුන් ගැන විස්තර දැනගැනීමට ක්‍රමයක් මේ රට තුළ නෑ. ඒ නිසා වසර කිහිපයක් නිහඩව නොතකා සිට අවසානයේ ඔවුන් අපෙන් ඉවත් වුන බව කියල අපට පණිවිඩ එවනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කිසිවක් කරන්නට අපට අවස්ථාවක් නොදීම ඔවුන් අපගෙන් වියෝ වෙනවා.
මේ ඉහල දක්ෂ හැම කෙනාම සමහරවිට දේශපානිකව ඇතුල් වෙලා හිටියත් ඒවායේ සීමාවන් විනිවිද යමින් වැඩ කොටසක් සමාජයට ගෙනහැර දැක්වූ විද්‍යාර්ථයින් ලෙස සැලකිය හැකියි. දේශපාලන වශයෙන් ජනාධිපති බලය ලබා ගන්නා අය තමන් වැදගත් දේශපාලන සැලසුමක් ඇතිව වැඩ කරන බව පෙන්නුවත් මේ අයත් එසේම පිළිගන්න හැකි සමාජ බලවේගයක් ලෙස ක්‍රියා කළා කියන්න පුළුවන්. සුළු කාලයකට පමණක් ප්‍රින්ස් ගුණසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවතෙක් ලෙස සිටියත් ඔහුගේ නිදහස් අදහස් වලට එහි පිලිවෙත් ගැලපුනේ නැති නිසා අලුත් මගක් ගැනීමට ඔහුට සිදු වුනා. ත්‍රස්ථ සටන් ඇතිවුන තලය තුළ එම සටන් පැවැත් වකවානු වලදී උතුරේ මෙන්ම දකුණේ ඇතිවුන මරා දැමීම් හා අතුරුදහන් කිරීම් ගැන ප්‍රින්ස් ජාත්‍යන්තර තලයේ මානව හිමිකම් සංවිධාන වලට ගතු කීමට මූලික වුනා.
මේ ලෙසට මතු වුන ලිබරල්වාදීන් හැම දෙනාටම තම මානව හිමිකම් ක්‍රියාත්මක කර ගැනීමටත් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලින් උදව් ලබා ගැනීමටත් සිදු වුනා. නඩේසන්ට ලෝක නීතිවේදීන්ගේ සංගම් වලින් ආධාර උපකාර ලබාගැනීමට හැකිවුනා. ඒ මගින් ශක්තිමත් නඩු තීන්දු නැත්නම් පාර්ලිමේන්තු අණපනත් ඇති කරගැනීමට හැකි වුනා.
ඇත්තටම මේ වගේ චරිත සුද්දගේ කාලයෙත් ඇති වුනා. අනගාරික ධර්මපාලත් එවැනි කෙනෙක්. ඔහු ඇත්තටම දේශපාලකයෙක් නොවේ. ඒත් දේශපාලන සටනට අදාල ඇවිස්සිල්ල හොදට කළ කෙනෙක්. ඔහුගේ සමාගමේ තමා ජෝන් කොතලාවල ක්‍රියාකාරී වුනේත්. කොතලාවල පොලිස් නිලධාරියෙකුව ඉන්නා කාලේ ඉදලම අසාධාරනයන්ට විරුද්ධව සටන් කළා. සුදු පාලකයන් එලවීමට කෙලින් ක්‍රියා කළ බවක් පෙනුනේ නෑ තමයි. ඒත් ඔහු ගෙන ගිය ස්ථාවරයන් සුදු පාලකයන්ට ලොකු ප්‍රශ්නයක් වුනා. අන්තිමේදී කරත්තකරුවන්ගේ මහ සටන කරලා ආණ්ඩුව දන ගස්සන වැඩ කලා. එයින් විශාල පහරත් සුද්දට වැදුනා. ඒ නිසා ඔහුව නඩුවක පටලවා හිරේ දමා හිරේදි වස දී මරා දැමූ බවයි ජනතාව කියන්නේ. සුදු ආණ්ඩුව කිව්වේ ඔහුට විරුද්ධව පවරා ඇති නඩුවෙන් පරදින්න යන බව පෙනුන නිසා ඔහු වස බිව්ව බවයි. ඒත් පහල උසාවියේ නඩුව පැරදුනත් ඉහල උසාවිය, සුප්‍රීම් උසාවිය, එංගලන්තයේ උසාවිය ආදී ලෙස නඩුව ගෙනයන්න තියෙද්දී නීතිඥවරු ඒ ඕනෑම පියවරක් ගැනීමට සූදානම්ව සිටියදී ඔහු වස බිව් බව නම් පිළිගන්න බෑ.
මේ විදිය මේ තනිකඩ නායකයන්ට අවසන් ලෙසට විවිධ තර්ජන වලට මූන දෙන්න වෙනවා. ආණ්ඩු මර්ධනයට වඩා, තරහකාරයෝ ලොකු බලපෑම් ඇති කරන බව පෙනෙනවා. ප්‍රින්ස්ටත් එවන් තර්ජන ඇතිවුනා. කොහොමටත් මෙච්චර කලක් නිහඩව හිටපු ඔහුගේ වියෝවීම කණගාටුදායකයි. මගේ කාලයේ විරුවෙක් වුන මූලික මිනිස් අයිතිවාසිකම් පිලිගැන්වීම මගින් විවිධ ලෙසත් සමාජය හැඩ ගැස්වීමට කටයුතු කළ කෙනෙක් එතුමා. මේ තනිකඩ සටන්කරුවන්ගේ නම් වලට එකතු එතුමාවත් එක්කළ යුතුයි. එසේම පොදුවේ සිංහල දෙමළ මුස්ලිම් සමාජයන් අතර කීර්තිමත් වූ මෙවන් පුද්ගලයන් ගැන අප සොයා බලා කටයුතු කළ යුතුයි. ඒබ්‍රහම් කෝවූර් ඇත්තටම ඉන්දියානු උගත් සමාජය තුළින් බිරිවී සිංහල සමාජයට අවතීර්ණ වූවෙක්. සැබවින්ම මෙතුමාත් මේ තනි සටන් කරුවන් අතරට ඇතුල් විය යුතුයි. කුමාරි ජයවර්ධන හා නිමල්කා ප්‍රනාන්දු නූතන යුගයේ එවන් සටන් කරුවන් ලෙසට සැලකිය හැකියි.
2019.01.01
ලක්බිම “නිනව්ව”