මාර්ක්ස්වාදී සාහිත්‍ය හා සිංහල නවකතාව

සේයා - අන්තර්ජාලයෙන්

මාර්ක්ස්වාදී සාහිත්‍ය ලෝකය වටහා ගැනී⁣මේ, මාවත එළිපෙහෙළි කරයි. සාහිත්‍ය කලාවන්ගේ සාමාන්‍ය ගති ස්වභාවය පිළිබඳව මාර්ක්ස්වාදී තේරුම් කිරීම වන්නේ, එය ආර්ථික යටි ව්‍යුහය පාදක කරගෙන අධිව්‍යුහයේ පවතින යථාර්ථය නිර්ණය කෙරේ යන්නයි.

කාල් මාර්ක්ස් තමන්ගේ ආර්ථික හා දාර්ශනික සටහන් වල මෙසේ  ලියා ඇත. “……මිනිසා වනාහී ස්වභාවික සත්ත්වයෙකි”. ස්වභාවික සත්ත්වයෙකු, ඒනම් ජීවමාන සත්ත්වයෙකු හැටියට ස්වභාවික ශක්තීන්, එනම්, අනිවාර්යය ශක්තීන් ඔහු සතුව පවතියි. ඔහු ක්‍රියාකාරී ස්වභාවික සත්ත්වයෙකි. ඔහු තුළ මෙම ශක්තීන් බල පවත්වන්නේ ප්‍රවණතා, දක්ෂතා සහ සහජයන් හැටියටයි. ස්වභාවික, කායික සංවේදී වෛෂයික සත්ත්වයෙකු හැටියට මිනිසා අන් සත්ත්වයන් හා පැළෑටි මෙන්ම, වේදනාවන් විදින, කොන්දේසි මඟින් නිර්ණිත සීමා සහිත, සත්ත්වයෙකි. ඔහුගේ, සහජ හැකියාවන්ට අරමුණු වන දෑ පවතින්නේ ඔහුගෙන් ස්වාධීනව, ඔහුට පරිබාහිරව ය. එහෙත් මෙම අරමුණු ඔහුට අත්‍යවශ්‍ය  දෑ වෙයි.  ඔහුගේ ආත්මගත ශක්තීන් ප්‍රකාශයට පත් කිරීමට සහ තහවුරු කිරීමට මේවා නැතිවම බැරිය.

සංවේදී වීම, එනම් තත්‍ත්ය වූ පැවැත්ම යනු ඉන්ද්‍රියයන්ට ගෝචර වීමයි, සංවේදී විෂයයක් වීමයි. ඒ අනුව තමන් ගෙන් පරිබාහිරව පවත්නා වූ තමන්ගේ  සංවේදීභාවයට ගෝචර වන සංවේදී විෂයයන් ඇත්තෙකු වීමයි. සංවේදී වීම යනු දුක්-වේදනා වින්දනය කිරීමයි. ඒ අනුව වෛෂයික සංවේදී සත්ත්වයෙකු බව තමන්ටම හැඟෙන හෙයින් මිනිසා වනාහී ‘ප්‍රවේගීභාවයන් ඇත්තා වූ තැනැත්තෙකි’.

ඒ් අනුව පෙනෙන්නේ කලාව යනු, මිනිසා ලෝකය තුළ තමන්ගේ සබඳතා මෙන්ම ගමන් මඟ එළිපෙහෙළි කර ගන්නා මාර්ගයන්ගෙන් එකක් බවයි. ‘එම අරුතින් ගත් කල, කලාව, විද්‍යාව හෝ ගණිතය මෙන්ම, මිනිසා විසින් සොබාදහම ජය ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ දී වර්ධනය කරගත් තවත් මාධ්‍යයක් බවයි. කලා නිර්මාණයේ යෙදෙන කලාකරුවා කොයි තරම් මේ සම්බන්ධයෙන් දැනුවත් ද, නැත්ද යන්න නොතකා,  කලාව විසින් මිනිස් ජීවිතයන් තෝරාගන්නා සාරය ලෙස පවතින්නේ, තමන්ගේ අවශ්‍යතා නිෂ්පාදනය සඳහා ගෙන යන්නා වූ භාවිතය මඟින් ස්වභාව ධර්මය ජයගෙන පරිපූර්ණත්වය ලබා ගැනීමේ අනවරත අරගලයයි. නමුත් මේ අතර එක් වෙනසක් ඇති බව පෙනේ. එනම්, විද්‍යාව මෙන් ප්‍රේමය තොගයකින් නොව, ඊට වෙනස්ව කලා මාධ්‍ය විසින් ලෝකය දකින්නේ අතීත සංකල්ප හා නව අත්දැකීම් ලෙසිනි. ඒ් අතරම එය විසින් හැඟීම් හා මනෝ ගතීන් පුබුදු කරවමින් රස නිෂ්පාදනය ද කරයි.

මිනිසා නිෂ්පාදනය සඳහා ද එක් විය. නිෂ්පාදනයේ දී තමන් අතර සබඳතා පෙරට ගෙන යෑම සඳහා සන්නිවේදනය ඇරඹුවේය. සන්නිවේදනය ඉඟි-බිඟියෙන්, වචනවලටත්,  ශබ්ද කළ වචනය ලියා තැබූමටත් ,ගමන් කළේය. පිරිසක් එක්ව වැඩ කිරීමේ දී රිද්මයක් අවශ්‍ය වෙයි. වැඩ කිරීමට සාදා ගත් රිද්මය “අතින් කටින් අරඹා යම් ශබ්ද නිකුත් කරන උපකරණ” දක්වා වර්ධනය විය. සංගීතය එයින් ආරම්භ විය. නමුත් මේ නිෂ්පාදනයම මිනිස් සමාජය ද විකාශනය කළේය. එය පන්ති සමාජයක් දේපළ ඇති නැති සමාජයක් බවට පත් කළේය. දේපළ හිමියන් සිටින කල ” ඔවුන්ගේ ආරක්ෂාවට දේපළ නැත්තා මර්දනය කරන ” රජයද බිහි විය, උසාවි පොලිසි බිහි විය. දැන් තත්වය සංකීර්ණය, දැන් සොබාදහම සමඟ කරන අරගලය මඟින්ම පරිපූර්ණත්වය ලැබීමට බැරිය. සමාජයේ ඇති-නැති පරතරය නිසා තමන්ට සමාජයේ යුක්තිසහගත ස්ථානයක් ලබා ගැනීමට ද සටන් කළ යුතුව තිබේ.

විදේශ ප්‍රාග්ධනය සමඟ වර්ධනය වූ ධනපති නිෂ්පාදන විධිය විසින් රුසියාවේ පැරණි වැඩවසම් සමාජය බිඳ වැටෙද්දී ඇති වූ ආර්ථීක “සංස්කෘතික හා සමාජීය” විපර්යාසය ඉහළ “පහළ හා මැද” ලෙසින් වෙනසක් නැතිව මුළු සමාජයම කම්පනයට පත් කළේය. ගොවියෝ ප්‍රවේණිදාසභාවයෙන් නිදහස ලද්දේ, නගරයන්හි දැවැන්ත කම්හල් ඉදිරිපිට කාණුවක් කාණුවක් ගානේ සීතලෙන් හා කුසගින්නේ මිය යෑමටය. ඉඩම් හිමි පන්තීන් හි දරුවෝ බිහිවන නව සමාජයට ඇතුලුවීමට වලි කමින් නන්නත්තාර ගත වූහ. “ටෝල්ස්ටෝයි” , “ඩොස්ටොවුස්කි” “ගොගොල්” වැන්නවුන් බිහි වූයේ මේ කම්පනයන්ගේ ප්‍රකාශන ලෙසටයි. දහඅට වන ශතවර්ෂයේ ප්‍රංශ විප්ලව සන්තතිය විසින් වෝල්ටෙයාර් ලා බිහි කළේය. එංගලන්තයේ කාර්මික විප්ලවය බිහි කළ නව සමාජ යථාර්ථය විසින් මතු කළ නව පාත්‍රවර්ගයා මෙන්ම වේදිකාවෙන් ඉවතට වීසී වී යන්නන්ගෙන් දුක්වේදනා චාල්ස් ඩිකන්ස් ලා බිහි කළේය.

ලංකාවේ මේ පිබිදීම දක්නට ලැබෙන්නේ අපනයන ආර්ථීකය ශක්තිමත් වෙමින් ඒ ආශ්‍රිතව නගරයේ ගොඩ නැගුණු දේශීය කර්මාන්තකරුවන් ඇතුළු මධ්‍යම පන්තීන් මුල් කරගෙනය. ඔවුන් දේශපාලන බලය ඉල්ලා ගැනීම සඳහා පෙරට ඒම ඉන්දීය ධනපති පන්තියේ නිදහස් අරගලය හා සාපේක්ෂව ලංකාවේ ද දියත් විය. ඉන්දියාවේ මෙන් මහා පෙළපාලි , කැරළි නොවුව ද දේශපාලන බලය සුද්දාගෙන් ඉල්ලා ගැනීමට උනන්දුව දැක්විනි. ඒ අතර නගරයේ ගොඩනැගෙන මේ සමාජයට ඇතුල් වීම සඳහා ගැමි ඉඩම් හිමි මධ්‍යම පන්තිය වැරවෑයම් දැරුවේය. ධනපති ප්‍රාග්ධනය ගමේ ආර්ථීක රටාව තුළට ඍජුව ගමන් නොකල ද මේ ප්‍රාග්ධන සංකේන්ද්‍රණයේ පදනම වූයේ, ගැමි සුළු නිෂ්පාදනය සූරා ගැනීම මඟින් රැස් කළ අතිරික්ත වාණිජ ප්‍රාග්ධනයයි. ඉඩම් හිමියා ඉක්මවා ගමේ වෙළෙඳ පවුල් ශක්තිමත් වූ අතර “පොලීකාර ප්‍රාග්ධනයට මහත් ඉඩක් පෑදුනේ” ,අධ්‍යාපනයේ විකාශනය හා නාගරික සමාජය විසින් ඇති කළ පරිභෝජන රටාවේ පරිවර්තනයන් පාදක කර ගෙනය. යටත් විජිත පාලනයේ අවසාන දශකය දෙක තුළ ඇති වීමට පටන් ගත් මේ විපර්යාසය තුළට කිමිඳුනේ මාර්ටින් වික්‍රමසිංහ , පියදාස සිරිසේන වැන්නෝ සුද්දාගේ සංස්කෘතියෙන් සිංහල සමාජය වෙන් කිරීමට වෑයම් කළා විනා, සුද්දාගේ සංස්කෘතිය ධනපති ප්‍රාග්ධනයේ භෞතික පදනම විසින් ඉස්මතු වන්නක් ලෙස දැකීමට සමත් නොවීය. මාර්ටින් වික්‍රමසිංහ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විපර්යාසයේ හරිමැද අල්ලා ගනිමින් තමන්ගේ කොටස් තුනකින් යුත් නවකතාව ලිවීය. 1944 දී මුද්‍රණයෙන් පිට වූ “ගම්පෙරළිය”, “යුගාන්තයෙන්”, හමාර වෙද්දී දේශපාලන නිදහස විසින් තවත් පරිවර්තන ඇති කරමින් තිබුණි. විශේෂයෙන් කම්කරු පන්ති ව්‍යාපාරය දේශපාලන වශයෙන් බලවත් භූමිකාවක යෙදෙමින් සිටියේය. ඒ නිසා ගැමි සමාජයේ බිඳවැටීමත් “ප්‍රාග්ධනය සියළු බලය අතට ගෙන තහවුරු වීමත් මෙන්ම” කම්කරු පන්තියේ බලයට ධනපති පන්තිය යටවීමට සිදුවනු ඇතැයි යන අනාගත දෘෂ්ටිය ඉස්මතු කරමින් ඔහු තම නවකතා ත්‍රිත්වය හමාර කළේය. එනම්, ඔහු මෙහිදී පෙන්වන්නේ පැරණි ගැමි ආර්ථීකයේ අතිරික්තය හා ඉතුරුම් ඉලක්ක කර ගනිමින් සංකේන්ද්‍රණය වන ධනේශ්වර ප්‍රාග්ධනයට නගරයේ දී තමන්ගේ ඓතිහාසික එදිරිවාදියා වන ශ්‍රමය සමඟ මුහුණට මුහුණ ලා සටන් කිරීමට සිදු වන බවය. ප්‍රාග්ධනය ඉක්මවා ශ්‍රමය සමාජයේ තීරක බලය කරා එළැඹෙනු ඇතැයි යන්න ද එය ඉඟි කරයි.

මාර්ටින් වික්‍රමසිංහ ආර්ථීක හා සමාජීයව ඇති වන වෙනස්කම් මඟින් එහි පාත්‍රවර්ගයා හසුරුවන අයුරු ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. ඔහුගේ තරුණ වියේ ලියූ මිරිඟුව මේ වෙනස්කම් මඟින් ඇති වන, පැවැති සාරධර්මවල බිඳවැටීමෙන් පුද්ගල චරිත වල ඇතිවන ප්‍රතිවිරෝධී මනෝභාවයන් නිසා ගන්ධබ්බ තත්ත්වයට පත් වන්නවුන්ගේ ශෝකාලාපය පෙන්නුම් කළේය. මේ කෘතිය ටොල්ස්ටෝයි ගේ ‘ඇනා කැරණිනා’ ඇසුරින් ලියන ලදැයි චෝදනාවක් වුවද, වැදගත් වන්නේ අභාෂය ලැබුවාද යන්න නොවේ. එය පොදු විශ්වීය අත්දැකීමක් පෙන්නුම් කිරීමයි.  මාර්ටින් වික්‍රමසිංහ හැරුණු විට ඒ අයුරු සමාජ විකාශනය අලලා තුන් ඈදුත්තක් ලිවීමට ගුණදාස අමරසේකර ද වෑයම් කළේය. නමුත් එය සාරවත් වූයේ නැත්තේ ගුණදාස අමරසේකර සමජයේ ඇති වන විපර්යාසයේ අත්දැකීම විඳිමින් නොව, කෘත්‍රිම ලෙස සිදු වූ විපර්යාසයකට රිංගා තමන්ගේ දේශපාලන අදහසක් මතුකර ගැනීමට ප්‍රයත්න දැරිම නිසාය.

මේ අතර සිත්හි තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ සිංහල සාහිත්‍යකරුවා ඉක්මවා යන නවකතා ලංකාවේ ජීවත් වූ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කළ බවය. උදාහරණයක් ලෙස “බැද්දේගම” , “අලි පාර” හා “තිත්ත කෝපි” සඳහන් කිරීම වැදගත්ය. මේ කෘතීන් දෙස බලන කල, ලාංකික ගැමි සමාජය හා වතුකරයේ ආරම්භයත් සමඟ එම සමාජයේ තත්ත්වයන් ගැන, විශේෂයෙන් වතුකරය නිසා මතු වූ පාරිසරික ප්‍රශ්න මේ නවකතා මඟින් එළිපෙහෙළි කර තිබීම තමන් අත්හළ ක්ෂේත්‍රයක් නිසා සිංහල ලේඛකයන්ට අභියෝගයක් ලෙස සැලකිය යුතුය. මෙහි දී ජයසේන ජයකොඩි ගේ නවකතා තුළ එම ලේඛකයන් ගේ අභාෂය දැකිය හැකිය. 

ගුණදාස අමරසේකර පටන් ගත්තේ දේශපාලන නිදහසෙන් පසු අපනයන ආර්ථීකයේ සරුසාර කාලයක වර්ධනය වූ සුබසාධක රාජ්‍ය තුළ “කම්කරු පන්තිය සාපේක්ෂව සමාජ ආර්ථීක ජයග්‍රහණ  ලබමින්” ක්‍රමය තුළම පැලපදියම් වීම ඇරඹූ වකවානුවේ දී සභාගවාදය පන්ති අරගලය මොට කළ අතර” සමාජය එකතැන පල්වීමට මාවත පෑදීය’  පැලපදියම් වූයේ කම්කරු පන්තිය පමණක් නොවේ. මධ්‍යම පන්තීන් ද මේ සමාජය තුළ පැලපදියම් වී හුදකලා කාල්පනික ලෝක කරා ගමන් කරමින් “කලාව සාහිත්‍ය පෝෂණය ඇරඹීය. පේරාදෙණි ගුරුකුලය මේවායේ හොඳ නරක තීන්දු කළ විචාරක අධිකාරිය හෙබවිය. මේවායින් බිහි වූයේ මාර්ටින් වික්‍රමසිංහගේ වැනි ගතික නවකතාවන් නොවේ, “අබිං” සාහිත්‍යයක්ය. සමාජ සම්බන්ධතාවලින් වියෝ කරගත් චරිත සමඟ වෙසෙමින් මේ ලේඛකයෝ කාමාචාර විධි සහිත මනස්ගාත මනෝ විද්‍යාවක් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළහ. “උකටලී බවත්”, “එකතැන පල්වීමත්” , “දෝමනස්සයත්” හැර කිසිම ගතිකත්වයක් නොමැති නිෂ්ක්‍රීය චරිත එක්තරා මධ්‍යම පන්තියක තීරුවක් හැර ක්‍රියාශීලී සමාජ තීරුවලට ආමන්ත්‍රණය කළේ නැත. එම නිසා ගුණදාස අමරසේකර, එදිරිවීර සරත්චන්ද්‍ර, සිරි එදිරිවීර මෙන් කේ.ජයතිලක වුව තමන්ගේ මේ යුගයේ නවකතා පසුව සතුටු වූවා යයි සිතීමට බැරිය.

ඒ නිසා පේරාදෙණි ගුරුකුලය කොතරම් වලි කෑවත් මේ නවකතා ජනසමාජයේ පතුලට කිඳා බැස්සේ නැත. ඒ නිසා මේ ප්‍රවණතාව ඉක්මවා ප්‍රේමය-ආදරය-දයාව මුල් කරගත් සජීවී චරිත සහිත නවකතාවලියකට පාර කැපුණි. මට සිතෙන්නේ මේ ප්‍රවණතාවයේ ආරම්භය කරුණාසේන ජයලත්ගේ , “ලස්සන ඇස්”, බවය, අනතුරුව ඔහුගේ “ගොළු හදවත” නව ලේඛක පරපුරක්ම බිහි කළේය.”ගොළු හදවත” තරුණ තරුණියන් පමණක් නොව, රසික සැවොම රස වින්දනය කළහ. “ආදරය” ,  “පරිත්‍යාගය” වෙත මනුෂ්‍යත්වයේ පවතින ඉඩ කොතෙක්ද?

මෙසේ ප්‍රේම කතා වලින් පොත්හල් පිරෙද්දී, ඒ යටින් තරුණයන්ගේ විරැකියාවත්, සමාජය පිළිබඳ අපේක්ෂා භංගත්වයත් ප්‍රකාශයට පත් කළ කැරළි කණ්ඩායම් ගම් වලින් බිහිවෙන්නට පටන් ගත් අතර, සභාගවාදයෙන් නිද්‍රාවට පත් ව සිටි ජන සමාජය පුපුරා යන්නට විය. සරත්චන්ද්‍රගේ ඔලුව උඩ බෝම්බ පුපුරන්නට විය. කරුණාසේන ජයලත් ගොළුහදවතින් ඉදිරියට ගියේය. “ගැහැණු ළමයි” හා ඒ සමඟ ඈඳුණු නවකතා තුන මඟින් ඔහු තරුණයන්ගේ නැගිටීමට ප්‍රකාශනයක් දීමට වෑයම් දැරීය. ඔහුගේ ඊළඟ කතා සියල්ල ගමේ තරුණ පෙළේ වේදනාව විවිධ අයුරින් ප්‍රකාශ කිරීම සඳහා ඔහු යෙදවීය. තරුණයන්ගේ මේ නැගිටීමට අරුතක් දීමට සරත්චන්ද්‍ර ද “හෙට එච්චර කරුවල නෑ” කෘතිය මඟින් වෑයම් කළද, එයද මධ්‍යම පන්තිකයෙකුගේ අහම්බ හුදකලා අත්දැකීමක සිරි ගත්තේය.

කරුණාසේන ජයලත් ඉදිරියට ගියද, අත්දැකීම් විරහිත තරුණ පෙළේ අපූර්ව ලිංගික ආදරයට ආමන්ත්‍රණය කිරීමට පොත් ලිවීම අද ද කෙරී ගෙන යයි. මේවා බොළඳ ප්‍රේම කතා ලෙස කළා වූ විවේචන තේරුමක් නැත. රසිකත්වය වඩාත්ම සංවේදී ලක්ෂණයකින් ආරම්භ විය හැකියඒ නයින් බලන කල “ඩීමන් ආනන්ද” ගේ “මාරක කතා”, වුව රසිකත්වය ගොඩ නැඟීමට සේවය නොකළා යයි කිව නොහැකිය. ප්‍රශ්නය එය නොවේ, සාරවත් නවකතා මඟින් මේ පාඨකයන්ගේ රසිකත්වයට ආමන්ත්‍රණය නොකිරීමය.

කෙසේ වෙතත් සුබසාධක වාදය හා රාජ්‍ය ව්‍යවසාය වාදය හැර දමා විවෘත ආර්ථීකය කරා යෑමට 1975 දී ධනපති පන්තිය තීන්දු ගනිද් දී සියල්ල කණපිට හැරවීම ආරම්භ විය.

ධනපති සමාජයේ දී කලා නිර්මාණ  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වන බව කාල් මාක්ස් පෙන්වා දී තිබේ. සුබසාධක රාජ්‍ය මේ තත්ත්වය නිරුවත් ලෙසම හෙළිදරව් කළේ නැත. නවකතාවලින් ලාභ ගන්නේ යැයි, කල්පනා කළ අයෙක් සිටියේ නැති තරම්ය. නමුත් විවෘත ආර්ථීකය විසින් මිනිස් සමාජය උඩු යටිකුරු කළේය. නවකතා නිර්මාණයට වඩා අති විශාල වේගයෙන් පරිවර්තන කෘති පලවන්නට ආරම්භ විය. කලා නිර්මාණකරුවා අසරණ වෙද්දී, පරිවර්තනයේ ,දක්ෂයෝ ඉදිරියට පැමිණ සිටිති. කලා නිර්මාණයේ වටිනාකම වෙළෙඳපල අවශ්‍යතාවයන්ට ගැළපේදැයි බැලීම මුල් වූ “කලා නිර්මාණයන් ට ලබන්නේ දුර්දශාවකි” නවකතා පමණක් නොව නාට්‍ය, සිනමාව,  ගීත ආදී සෑම කලා මාධ්‍යයක්ම කොහෙන් හෝ සොයාගෙන එන දේ වලට යට වී ස්වකීය නිර්මාණයන් වල පල්ලට යවනු ලැබෙයි. පරිවර්තන කෘතීන් ප්‍රතික්ෂේප කිරීමක් මින් අදහස් නොවේ.  විශ්ව සාහිත්‍යය සිංහල රසිකයාට ළඟා කළ යුතුය. නමුත් යම් රටක නිර්මාණ අභිබවා පරිවර්තන පැමිණීම පෙන්වන්නේ සාහිත්‍ය දුර්භාග්‍යයයි.

නමුත්, මෙයද කිය යුතුය, කලාවට පොදුවේ දුර්දශාවක් ලබා ඇති මේ යුගයේ වුව ජයතිලක කම්මැල්ලවීර මෙන් ම ඇරැව්වල නන්දිමිත්‍ර වැන්නන් කළ නිර්මාණයන් සුවිශේෂී තත්වයක් ලෙස සලකා මතකයට නැඟිය යුතුය.

රණත්

2010.12.24

සබැදි ලිපි

You may also like...

1 Response

  1. April 27, 2020

    […] මාර්ක්ස්වාදී සාහිත්‍ය හා සිංහල නවකතා… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.