ලෝකය වටහා ගැනීමේ විධික්‍රමය – දර්ශනවාදය

Man Old View Question Mark  - geralt / Pixabay
geralt / Pixabay

මාක්ස්වාදය අතිමූලික වශයෙන්ම විද්‍යාත්මක ලෝක දෘෂ්ටියකි. නමුත් මෙය මාක්ස්වාදීන් යයි කියා ගන්නා බොහෝ දෙනෙකු විසින් නොතකා හරිනු ලබයි. එම කරුණ අත්හල පසු හෙතෙමේ මාක්ස්වාදය “නිගමන කිහිපයක්” බවටත්, “අරමුණු කිහිපයක්” බවටත්, “ස්ථාවරයන් මාලාවක්” බවටත් පරිවර්තනය කර ගන්නේ ය. අනතුරුව ඒවා සාක්ෂාත් කර ගැනීම ගැන උනන්දුවක් දක්වන ඕනැම තැනැත්තෙකුට ඒ සඳහා තමන්ට ම තෝරා ගැනීමට හැකි මාවත් තිබේ යයි ද සලකනු ලබයි. කාල් මාක්ස් මෙන්ම ඔහුගේ ලෝක දෘෂ්ටිය වර්ධනය කළ එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි ආදීන්ගේ නිගමනයන් හා ස්ථාවරයන් ඔවුන් ඒ සඳහා යොදාගත් මාක්ස්වාදී ලෝක දෘෂ්ටියෙන් වෙන් කිරීම ඒ මගින් සිදු කෙරේ. එහි ප්‍රතිඵලය වන්නේ මාක්ස්වාදයට පිටස්තරව පවත්නා ඊට මුළුමනින්ම පතිවිරුද්ධ වූ ලෝක දාෂ්ටියක් මාක්ස්වාදය තුළට කාවැද්දීම මගින්, මාක්ස්වාදය එහි ප්‍රතිවිරුද්ධය බවට හැරවීම යි. මෙය සංශෝධනවාදයේ මූලය වන්නේ ය. 

මාක්ස්වාදය විද්‍යාවක් නොවන බවට ඔප්පු කිරීම සඳහා වැර දැරූ බර්න්ස්ටයින්ගේ සිට කාල් කවුට්ස් කි දක්වාත්, ස්ටාලින් හා ස්ටාලින්වාදී ව්‍යාපාරය හරහා හතර වැනි ජාත්‍යන්තරය තුළ මතු වූ ෆැබ්ලෝ වාදයත්, එහිම දිගුවක් වූ ලංකා සම සමාජ පක්ෂයේ නායකයන් දක්වා ද මතු වූ සෑම ප්‍රවනතාවයක්ම මාක්ස්වාදී ලෝක දෘෂ්ටිය ධනපති ලෝක දෘෂ්ටිය සමඟ සමහන් කිරීමේ උත්සාහයන් විය.

ලෙනින් මෙසේ කියා තිබේ. “…තමන්ට සතුරුව පැවැති අඩු හෝ වැඩි වශයෙන් ඒකාග්‍රතාවක් අත් කර ගත් දර්ශනයක් මාක්ස්වාදය විසින් පෙරලා දමනු ලැබීමෙන් පසුව, ඒ දර්ශනයන් තුළ ප්‍රකාශිත වූ ප්‍රවනතාවෝ වෙනත් මං සොයන්නට පටන් ගත්හ. අරගලයේ රූපාකාරයන් ද ඒවාට හේතු වූ කරුණු ද වෙනස් වූ නමුත් අරගලය එක දිගටම සිදුවී ගෙන ගියේ ය. මාක්ස්වාදය සිය පැවැත්මේ දෙවැනි අඩ සියවසට පැමිණෙත්ම (1890 ගණන්වල දී) මාක්ස්වාදය තුළම මාක්ස්වාදයට සතුරුව පැන නැගි ප්‍රවනතාවන් සමඟ අරගලය පටන් ගැනුනි……” 

දැන් මෙසේ මාක්ස්වාදය ලෝක දෘෂ්ටියක් ලෙස නොගෙන මාක්ස්වාදය පොදු පිලිගැනීම් මාලාවක් ලෙසට ලඝු කිරීම තවත් පැත්තකින් පදනම් වී ඇත්තේ, හුදෙක් කම්කරු පන්තියේ උවමනාකම් වල දෘෂ්ටිමය ප්‍රකාශනයක් වශයෙන් මාක්ස්වාදය පහල වී ඇත යන ඒක පාර්ශ්වික වූ ද, ඒ නිසාම සාවද්‍ය වූ තවත් සංකල්පයක් මත යි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන එංගල්ස් අවධාරණය කර ඇත්තේ, එතෙක් පැවැති දර්ශනවාදය තුළත්, එමෙන්ම නවීන විද්‍යාව තුළත් රාශීභූත වූ වර්ධනයන්ගේ කූට ප්‍රාප්තිය හා ප්‍රතිශේධනය හැටියට, මාක්ස්වාදයේ ලෝක දෘෂ්ඨිය වන අපෝහක භෞතිකවාදය වර්ධනය කරන ලද බව යි. 

සැබැවින්ම දහනව වැනි සියවසේ මුල් භාගයේ පටන්, කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස පන්ති සටන් බිමට පිවිසීම හා ඒ මගින් පංති අරගලය තියුණු මුහුණුවරක් ගැනීම සමාජය පිළිබඳව එතෙක් පැවැති න්‍යායන්ට පසුබිම් වූ ලෝක දෘෂ්ටීන්ගේ සීමිත බව හෙලිවීමට විෂයබද්ධ තත්ත්වය සැකසූ බව ඇත්ත ය. එහෙත් පැරණි දෘෂ්ටිවාදයන්ගේ සීමිත භාවයන් විද්‍යාත්මක දෘෂ්ටියක් මගින් ජය ගැනීමට හැකියාව ලබා දුන්නේ, ස්වාභාව විද්‍යාවන්ගේ අති වේගවත් වර්ධනය මගින් මිනිසා සොබාදහම ගැන අත්පත් කරගත් වැඩි දියුණු වූ දැනුම යි. ඒ දැනුම මගින් ලෝකයේ අන්තර් සම්බන්ධතා වෙත අලුත් එලියක් විහිදුවීමට පටන්ගැනීම මතයි. 

මාක්ස්වාදය තනි පන්තියක පිළිබිඹුවක් නොව, පංතීන් අතර පවතින සම්බන්ධතාවයේ හා ගැටුමේ ප්‍රකාශනයකි. විප්ලවවාදී භාවිතය පවතින තත්ත්වයන් ප්‍රතිෂේධනය කිරීම සඳහා විෂයබද්ධව පෙරට තල්ලූවන විෂයබද්ධ බලවේග සමග තම අනන්‍යතාවය නිරතුරුව පිහිටුවා ගන්නකි. විප්ලවවාදී පක්ෂය හැම විටම සටන් වදින්නේ එලඹෙන අරගලයේ විෂබද්ධ හා ඓතිහාසිකව තීන්දු වූ අන්තර්ගතය ග්‍රහණය කරගෙන ඒ සඳහා අප ඉදිරිපත් කළයුතු සටන්පාඨ හා වැඩපිලිවෙල සකසා ගැනීමට බව ලෙනින් පෙන්වා දී තිබේ. තමන්ගේ භාවිතය, එම අන්තර්ගතයෙන් දැනුවත්ව තීන්දු කර ගත යුතුය.

ඥාණනයේ භාවිතය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න මතුවන්නේ මෙහි දී ය. පෙර කාලයේ දී සිතා සිටි පරිදි පක්ෂයේ කටයුතු දෙවදෑරුම් නොව තෙවදෑරුම් බව ලෙනින් අවධාරණය කළේය. එනම් පංති අරගලයේ හා දේශපාලන අරගලයේ නිරතවන අතරම න්‍යායික අරගලය මගින් පක්ෂය තුෙළට නිරන්තර ගලා එන ධනේශ්වර දෘෂ්ටීන්ගේ බලපෑම සමඟ සටන් කළ යුතු බවයි. ඒ මගින් මාක්ස්වාදය වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවයි. 

දැන් අපි උත්සාහ කරන්නේ සරල නොකළ හැකි මුත්, හැකි පමණ සරල ලෙස මාක්ස්වාදී ලෝක දෘෂ්ටිය පිළිබඳව – අපෝහක භෞතිකවාදය පිළිබඳව ප්‍රවේශයක් ලබා ගැනීමටයි. එම ලෝක දෘෂ්ටිය වර්ධනය කර ගැනීමේ දී ස්වභාවික විද්‍යා දැනුමේ වර්ධනය අදාල වූයේ කෙසේද යන්න තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. ඒ වෙනුවෙන් සටහනක් දෙවනුව සැකසීමට බලාපොරොත්තු වෙමු. ඉනිඳු අනතුරුව මේ දෘෂ්ඨියෙන් ඉතිහාසය තේරුම් ගැනීමට අපි යා යුතු වෙමු.  

භෞතිකය හා එහි ස්වාභාවය

1. අපිට ඒ ඒ දේ අතර භෞතික වූ යාන්ත්‍රික සම්බන්ධතා දැකිය හැක්කේ මේ මැද ලෝකයේ පමණයි. අපි මහා පරිමාණ ලෝකයට ගියාම, එනම් විශ්ව ලෝකයේ ග්‍රහ වස්තු අතර මේ විදියේ භෞතික යාන්ත්‍රික සම්බන්ධතා දකින්න නැහැ. ඒ සම්බන්ධය වඩාත් ගැඹුරින් සලකා බැලිය යුතු විද්‍යුත් ගුරුත්ව බලවේග බිළිබිඹුවන විශ්ව සම්බන්ධයක් හැටියටයි අප තේරුම් ගන්න හැකි වෙන්නේ. 

ඒ වගේම අපි සලකා බැළුවොත් සුළු පරිමාන ලෝකය ගැන, එහෙම නැත්නම් යම්කිසි දෙයක් ඇතුලට කිඳා බැහැල ඒක කැබලි කරගෙන ගියාම අපට මුන ගැසෙන්නේ පරමාණුව. ඒකේ න්‍යෂ්ඨිය තුළ ප්‍රෝටෝනත්, ඒ වටා කැරකැවෙන නියුට්‍රෝනත් අපිට දැකිය හැකියි. ඒත් ඒව බැඳිල තියෙන්නේ ඇසට පෙනෙන, අතට අසුවන භෞතික සම්බන්ධයකින් නොවෙයි. විද්‍යුත් චුම්බක ශක්තිය මගින් තමයි සම්බන්ධ වෙලා තිඛෙන්නේ. මේ පරමාණු ඛෙදුවොත්, නැතිනම් පිපිරවූවොත් අතට අසුවන, ස්පර්ශ කළ හැකි කිසිම දෙයක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. එය තරංග රාශියක් බවට, තාපය, ආලෝකය වැනි තරංග රාශියක් බවට පරිවර්තනය වෙනවා. ඒ අනුව පරමාණුවක න්‍යෂ්ටිය කියන්නේ ඉතාම සුළු වශයෙන් ගත්තොත් යම් විද්‍යුත් වශයෙන් බැඳුනා වූ ලක්ෂ්‍යයන් සමුහයක් එකට බැඳිල තිබීමක් හැටියට තමයි විග්‍රහ කරන්න වෙන්නේ. ඒක තමා සුළු පරිමාණ ලෝකයේ, නැත්නම් විද්‍යුත් ලෝකයේ ස්වාභාවය. 

එතකොට මේ මැද ලෝකය තමයි යන්ත්‍රානුකූලව, එහෙම නැත්නම් ස්පර්ශක සමුහයකින්, ස්පර්ශ වීම තුලින් එකිනෙකට සම්බන්ධ වුන ලෝකයක් හැටියට පවතින්නේ. අපි මහා පරිමාණ ලෝකයටත් සුළු පරිමාණ, නැතිනම් අනු ලෝකයටත් යන කොට ඒක අනිවාර්යයෙන්ම විද්‍යුත් ගුරුත්වාකර්ෂණ එහෙම නැත්නම් තරංගමය සම්බන්ධතා වලින් ය බැඳිල තියෙන්නේ යන්න තේරුම් ගැනීමට පුළුවන් වෙනවා. මේක තේරුම් ගැනීම අපෝහක භෞතිකවාදය තේරුම් ගැනීමේ දී අත්‍යාවශ්‍යයි. මොකද භෞතිකවාදය ඉතාම යාන්ත්‍රික ලෙස සලකන කාලයක් ඈත අතීතයේ තිබුනා. එතන ඉඳල අපි අද ගමන් කළ යුතුයි, තරංග හා භෞතිකය අතර තිඛෙන ඉතාම කිට්ටු සම්බන්ධතාවය තේරුම් ගන්නට. මන්දයත් භෞතිකය කියන්නේ අපට අහුවෙන, ඇසට පෙනෙන, අතට දැනෙන, ඒ කියන්නේ අන්තිම වශයෙන් පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේවල් ම පමණක් නොවෙයි. දැන් අපි දුටු ලෙසටම, තරංගය හා ශක්තිය කියන දේවල් අඩංගුවෙන, ඒ ශක්තියත් තරංග මාලාවනුත් තුලින් මතුවන විශාල ආකර්ශනයත් යන මේ සියල්ල ඒකරාශි වූ සමස්ථයෙන් තමයි අපි දන්න භෞතිකය නැතිනම් සංස්කාරය කියල කියන දේ ඇතිවෙලා තියෙන්නේ. 

2. දැන් ඊලගට අපි තේරුම් ගන්න ඕනෑ දේ තමා භෞතිකය වෙනස් වීම ඉරණම කරගත්තක් බව. නැත්නම් භෞතිකය අනිත්‍ය ස්වාභාවය සමඟ බැඳිල තිබීම. අනිත්‍ය වූ භෞතිකයක් හැටියට තමා අපි එය තේරුම් ගත යුත්තේ. ඒ අනුව පරිසමාප්ත වූ වෙනස් නොවන භෞතිකයක් ඇත්තේ නෑ. හැම විටම දියුණුව කරා එක අවධියකින් තවත් අවධියකට පර්වර්තනය වන අනිත්‍ය වූ භෞතිකයක් වීම තමා එහි ස්වාභාවය. වෙනස්වීම තමා භෞතිකයට තිඛෙන එකම පරිසමාප්ත වෙනස් නොවන ස්වාභාවය. එතකොට භෟතිකවාදී දෘෂ්ඨිකෝනයේ දෙවන අංගලක්ෂණය තමයි මේ අනිත්‍ය ස්වාභාවය.

3. තුන්වෙනුව අපි තේරුම් ගන්න අවශ්‍යයි භෞතිකයේ ප්‍රකාශනයක් ලෙස ඍජු ලෙස මතු වුවත්, භෞතිකයේ ප්‍රතිඵලයක් වුවත්, මනසට සාපේක්ෂ ස්වාධීනත්වයක් තිබීම – මැදිහත් විම සඳහා. මනස කියන්නේ මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයටයි. මිනිස් මොළය හැදිල තිඛෙන්නේ ත් භෞතික ද්‍රව්‍යයන්ගෙන්. නියුරෝන ජාලයක් ලෙස. මනස කියන්නේ මේ නියුරෝන ජාලය තුළ සිදුවන විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාවන් විසින් ඇති කරන ක්‍රියාකාරීත්වයට යි. නමුත් මනසට එහෙම නැත්නම් මනුෂ්‍යයාට තීන්දු අරගෙන, මැදිහත් වෙලා භෞතිකය වෙනස් කර ගෙන යන්නට පුළුවන් වෙලා තිඛෙන්නේ මනසට තිඛෙන සාපේක්ෂ ස්වාධීනත්වය නිසයි. සාපේක්ෂව ගත්තොත් මනසට යම්කිසි ආකාරයක ක්‍රියාකාරීත්වයක්, ස්වාධිනත්වයක්, සංවරභාවයක් තියෙනවා. අන්න ඒ ක්‍රියාකාරිත්වය ස්වෛරීභාවය උඩ තමයි අපට තීන්දු ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව භෞතිකය තුළින් මනස මතු වුනත්, ඒකේ ප්‍රථීඵලයක් හැටියට මනස මතු වුනත්, මනසට තිඛෙන මේ ස්වාධීනත්වය අනෙක් පැත්තෙන් අපි භෞතිකවාදීන් හැටිය වටහා ගත යුතුව තිඛෙනවා. මෙන්න මේ විශේෂ වූ භෞතිකවාදී දෘෂ්ඨි කෝණය තමයි අනිවාර්යයෙන් ම අපි අපෝහක භෞතිකවාදී දෘෂ්ඨි කෝණය හැටියට සැලකිල්ලට ගත යුත්තේ. 

දැන් ඊලඟට මේ භෞතිකවාදී දෘෂ්ටිකෝණයේ ඉඳළ ලෝකය දිහා බලන කොට අපි දුටුවා ලෝකයේ අනිත්‍ය ස්වාභාවය. දැන් මේ අනිත්‍ය ලෝකයේ ගුණාංග මොනවා ද? සමහර විඥානවාදීන් පවා අනිත්‍ය ලෝකයේ ස්වාභාවය දැකල, ඒ කියන්නේ භෞතිකය පරමය භෞතිකය ප්‍රධානය කියල නොසිතන කොටස් පවා අනිත්‍ය ලෝකයක් ගැන කල්පනා කළා. අනිත්‍ය ලෝකයේ තිඛෙන ප්‍රධාන ගුණාංග තමන්ගේ දර්ශනයට එකතු කර ගන්නා අයුරු අපිට පෙරදිග ලෝකයේ දී බුදුන්ගේ දර්ශනය තුලින් දැකිය හැකියි. අපරදිග ලෝකයේ දී කාන්ට් ගෙන් හෙගල් ගෙන් අවසාන වෙන දර්ශනය මේ විදියේ අනිත්‍ය ලෝකයක් ගැන තේරුම් අරගෙන, ඒ අනිත්‍ය ලෝකයේ ගුණාංග ඒ ගොල්ලන්ගේ දර්ශනවාදයට ඇතුල් කරගන්නා ආකාරය අපිට දකින්න පුළුවන්. 

ඒ අනිත්‍යභාවය අපි දකින්නේ මේ සාමාන්‍ය සරල යාන්ත්‍රික වෙනස් වීම් පිළිබඳ ප්‍රශ්නයක් හැටියට නොවේ. මොකද රූපික වශයෙන් ලෝකය දිහා බලන, අපෝහක වශයෙන් නොබලන අය පවා සාමාන්‍ය වෙනස්කම් පිළිගන්නවා. ඒ අය කියනවා යම් ප්‍රමාණයක වෙනස් වීම් වෙනවා ආපහු හිටපු තැනට එනවා. ආපහු වෙනස් වෙනවා. ඒ විදියේ වෙනස් වීම් අද නොපිලිගන්නා කෙනෙකු නැහැ. ඒ නිසා එවැනි සුළු වෙනස්කම් පිලිගන්නා තරමින් ම අපෝහකවාදියෙක් වෙන්න බෑ කාටවත් ම. නමුත් තියුණු වෙනස් වීම් වලට මේ සංස්කාරය යටත් වෙනවා ය, ඒ වෙනස් වීම් එක අවධියක ඉඳල තවත් ඉහල අවධියක් දක්වා ගමන් කිරීමක් සිදු කරනවා ය, ඒ වගේ ම ඒ වෙනස්වීම් වල හරය වන්නේ අභ්‍යන්තරයේ ඇති ප්‍රතිවිරෝධතාවයන්ගේ ගැටුම නිසාය යන පදනම පිලිගැනීම තමයි පරිසමාප්ත ලෙස අනිත්‍ය පිලිගන්නා දර්ශනවාදයක් හැටියට සැලකිය හැක්කේ. 

එතකොට වෙනස් වීම් යනු ඉදිරිය කරා වෙනස් වීමක් නම්, ඒක තියුණු වෙනස් වීම් වලට භාජනය වෙනව නම්, ඊලඟට ඒ තියුණු වෙනස් වීම් ප්‍රතිවිරුද්ධතාවයන් වල ගැටීම් තුලින් ඉදිරියට ගමන් කරනවාය කියන අනිත්‍යයේ තිබෙන මේ අනිත්‍ය සංකාරයාගේ තිබෙන විශේෂ ලක්ෂණය තේරුම් ගන්නවා නම් තමයි අපි කියන්නේ අපෝහක භෞතිකවාදී දෘෂ්ඨිය පිලිගත්තා කියල. 

රූපික තර්කනය

දැන් මේ විග්‍රහයෙන් එලියේ ඉන්න, ඒ කියන්නේ අනිත්‍ය හැටියට සංස්කාරය පිලිගන්නේ නැති, අනිත්‍ය හැටියට භෞතිකය පිලිගන්නේ නැති කෙනෙකුට ලෝකය ගැන තිබිය හැකි සංකල්පය, නැතිනම් ලෝකය ගැන එයාට තිබිය හැකි තේරුම්ගැනීමේ නැතිනම් විග්‍රහ කිරීමේ විධික්‍රමය කුමක් ද? ඒකට අපි කියනව රූපික දර්ශනය, නැතිනම් රූපික තර්ක ශාස්ත්‍රය කියල. රූපික ආකාරයට ලෝකය දිහා බැලීමක් කියල. සමහර භෞතිකවාදියෙක් රූපික ආකාරයට ලෝකය දිහා බලනවා. ඒ ගොල්ලො භෞතිකවාදියො වෙන්නේ භෞතිකවාදී දෘෂටිකෝණයකින් ලෝකය දිහා බලන නිසයි. නමුත් ඔවුන් ලෝකයේ අනිත්‍ය ස්වාභාවය පිලිගන්නේ නැතුව තමා ලෝකය දිහා බලන්නේ. ඒ අකාරයට තමා අද ගත්තත් ලෝකයේ හුඟක් විද්‍යාඥයෝ කියන කොටස් වල චින්තනය තියෙන්නේ. ඇත්ත වශයෙන්ම හෙගල් ගේ කාලය වෙනකොට තිබුණ ලෝකයේ විද්‍යා ප්‍රබෝධය තුළ, විද්‍යාඥයන් අතර පැතිරිලා තිබුණු දර්ශනවාදය තමයි රූපික තර්ක ශාස්ත්‍රය මත පදනම් වෙන භෞතිකවාදය. 

දැන් මොකක්ද රූපික ආකාරයට ලෝකය දිහා බලනවයි කියන්නේ? ඒ කියන්නේ ලෝකයේ වෙනස්කම් වුනත්, තියුනු කැඩීම් වලින් පිපිරීම් වලින් මේ ලෝකය ඉස්සරහට යනවයි කියන අදහසට ප්‍රති විරුද්ධව, සාමාන්‍ය වෙනස්කම් වුනත් ලෝකයේ සමතුලිතතාවයක් තිඛෙනවය, ප්‍රධාන වන්නේ වෙනස්වීම් නොව සමතුලිතතාවයයි කියල පිලිගනිමින් ලෝකය දිහා බැලීම. අන්න ඒ අකාරයට බලල තමයි ඔවුන් තමන්ගේ තර්කය මනසේ සකස් කර ගන්නේ. සාමාන්‍යයෙන් මේක තමයි අපේ සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදී අපි පාවිච්චි කරන තර්ක ක්‍රමය වෙන්නේත්. මොකක්ද මේ වගේ සංකල්පයක මූල ධර්මය? මේ සංකල්පයේ දී අපි ගන්නා පරම සත්‍යයන් මොනවා ද? මේ පරම සත්‍යයන් සමුහය මොනවාද කියල ග්‍රීක් සමාජයේ ඇරිස්ටෝටල්ගේ ඉඳලම හොයාගෙන තිබුණා. ඇරිස්ටෝටල් තමයි මේ පද්දතිය සූත්‍රගත කළ පළමු වෙනි දාර්ශනිකයා. ඒ මගින් ලෝකයේ සත්‍යතාවයන් පිළිබඳ අවබෝධයක් අරගෙන ඒ උඩ පිහිටල තමයි තර්ක කරන්නේ. රූපික ලෝකයේ පිලිගන්නා සත්‍යතාවයන් තුනක් ඇරිස්ටෝටල් ඉදිරිපත් කරල තියෙනවා.

පළවෙනි සත්‍යතාවය – යම් දෙයක් ඒ දෙයට ම සමානයි කියන එක. A=A, මිනිසා සමානයි මිනිසා, ලක්ෂ්මන් සමානයි ලක්ෂ්මන්. දැන් මේක කවුරු හරි කියන්න පුලුවන් “ඕක ඉතිං හරිනෙ”. “යම් දෙයක් ඒ දේට ම සමානයි කියල කියන්නත් ඕනද?” කියල අහන්නත් පුළුවන්. සත්තකට ම මේක තමයි ප්‍රශ්නය. සාමාන්‍ය ලෝකයේ අත්දැකීම් වලින් අපි ලබන සත්තාවක් තමයි, ඒ දේට ම ඒ දේ සමානයි කියන එක. හැබැයි ටිකක් කල්පනා කරල බලන්න ඒක සත්‍යයයක් වෙන්නේ ලෝකය ඉතාම තියුණු වෙනස්වීම් වලට භාජනය නොවන තාත් දුරට නේද කියල. අපි ඒක තුළ උපකල්පනය කරල තියෙනව ඒ දේ එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ කියන එක. දැන් අපි කියනවා මේ ඉන්නේ ලක්ෂ්මන් කියල. අපි හිතමු මිනිහ හෙට මැරුනොත් අපි කියනව මළ මිනියක් කියල. එතකොට අපි කිව්වොත් ඒක ඒ දේට ම සමානයි කියන එක උඩ තර්ක කරල ලක්ෂ්මනුයි මල මිනියයි සමානයි කියල සත්‍යය ද? ඒ අනුව අද හිටපු ලක්ෂ්මන් හෙට මළ මිනියක් වෙනකොට ඒ දේ ඒ දේට ම සමානයි කියල අපිට කියන්න පුළුවන් වෙන්නේ ස්ථීතික තියුණු වෙනස් කම් වලට භාජනය නොවන ලෝකයක් ගැන කල්පනාවකින් පමණයි.  දැන් මේ ඒ දේ ඒ දේටම සමානයි කියන මේ රූපික තර්ක ශාස්ත්‍රයේ පලමුවෙනි පරම සත්‍යයට කියනවා සර්ව සාම්‍යයයේ රීතිය කියල. මේකේ සීමාවන් දැන් අපට පේනවා. අපෝහකවාදීන් හැටියට බැලවහම පෙනෙනවා, මේක සාමාන්‍ය වෙනස්කම් සිදු වුනත් තියුණු වෙනස් කම්, පරිවර්තනයන් පිපිරීම් වලට භාජනය නොවන ලෝකයක් ගැන බලන දෘෂ්ටිකෝණයක් කියල. 

දෙවෙනි සත්‍යතාවය – යම් කිසි දෙයක් ගත්තොත් ඒක තවත් දේකට සමාන වෙන්න ඕන එහෙම නැත්නම් ඒක සමාන නොවෙන්න ඕන කියන එක. මේක එකක් මේක තව එකක්. මේ තියෙන කොම්පියුටරය එකක්. ඒක තියල තියෙන මේසය තව එකක්. මේ කොම්පියුටරය මේසයට සමාන වෙන්න ඕන. නැත්නම් මේසයට සමාන නැහැ. දෙකෙන් එකයි වෙන්න පුළුවන්. එසේනම් හරි නේ කියන්න පුළුවන්. දැන් මේකත් ස්ථාවර ලොකයක රීතියක්. කොම්පියුටරය එහෙම තියෙනකල් මේසයත් එහෙම තියෙනකල් තමා කියන්න පුළුවන් වෙන්නේ මේක මේකට සමානයි නැත්නම් සමාන නැහැ කියල. මේකට සමාන නොවන දේවල් අතර තමයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් පොත් දෙකක් ගත්තොත් නම් මේ දෙක සමානයි කියන්න පුළුවන්. මේකත් පොතක්, මේකත් පොතක් පොත් කුලක එකකට යි වැටෙන්නේ. නමුත් පොතකුයි කබඩ් එකකුයි ගත්තොත් කබඩ් නොවන්නාවූ කොට්ඨාශයට තමයි පොත් වැටෙන්නේ. හැබැයි ඒක වෙන්නේ ස්ථාවර ලෝකයක. ඒ විදියටම කබඩ් එක නොවෙනස්ව තියෙනවය කියන උපකල්පනය උඩ තිඛෙන දෙයක් හැටියට තමයි, ඒක සර්ව සාම්‍යයක් හැටියට පවතින්නේ. දැන් මේකට කියනවා පරස්පරයේ රීතිය කියල. 

තුන්වන සත්‍යතාවය – යම් කිසිදෙයක් ගත්තොත් එක්කෝ ඒක තවත් දේකට සමාන වෙන්න ඕන නැත්නම් අසමාන වෙන්න ඕන. ඒ දෙකම වෙන්න බැහැ කියන එක. දැන් යම්කිසි දෙයක් ගත්තොත් ඒක අනිත් දෙයට සමානයි එක්කො අසමානයි. නමුත් ඒ දෙකම එකසැරේ වෙන්න බැහැ කියන එක. දෙකමට ම සමාන වෙන තත්ත්වයක් කවදාවත් ම උද්ගත වෙන්න බැරිය කියන එක. මෙය දෙවැනි රීතියට ටිකත් සම්බන්ධයි. සම්බන්ධ වුනත් වෙනසක් තියෙනවා. අපි කියනව මේ පොත ටේප් රෙකෝඩර් එක වෙන්න ඔන නැත්නම් ටේප් රෙකෝඩර් එක නොවෙන්න ඕන. දැන් යමෙකුට කියන්න පුළුවන් ඔවු ඒක හරි පොත ටේප් රෙකෝඩර් එකක නොවෙයි කියල. එතකොට ඒ රීතිය යටතේ ඒක හිතා ගන්න පුළුවන්. නමුත් ඒකෙදි අපි තවම අහවර කරල නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙකටම අඩංගු වෙන්න පුළුවන් අවස්ථාවක් නැත්නම් වෙන විදිහක් වෙන්න බැරිද කියන එක. මේ දෙකට ම අඩංගු අවස්ථාවක් එහෙම නැත්නම් වෙන විදියක් නැද්ද. යම් කිසි දේවල් දෙකක් ගත්තොත් එක්කෝ මේක ඒකට සමානයි  නැතිනම් නැතෙයි කියන එකට ඇර මේ දෙකට ම නැති මැදක් මතුවෙන්න පුළුවන් ද කියන ප්‍රශ්නය අපි අහවර කල නැති නිසා තමයි මේ තුන්වන රීතිය එන්නේ. ඒකට කියනව මැද ඉවත් කිරීමේ රීතිය කියල. එතකොට මෙන්න මේ රීති තුන නැතිනම් සත්‍යතාවයන් තුන උඩ තමයි අපි සාමාන්‍යයෙන් කෑ කෝ ගහල, තර්ක කරල, වාද කරල, ඔක්කොම කරන්නේ. කලින් කීව වගේ මේ ස්ථාවර ලෝකයක පරම සත්‍යතාවයන්. මේකට තමයි කියන්නේ රූපික තර්ක ශාස්ත්‍රයේ පදනම කියලා. ඔන්න ඔය සිද්ධාන්ත, සත්‍යතාවයන් තුන උඩ තමයි අපි ඔක්කොම වැඩ කරන්නේ. අපි කඩේකට ගිහිල්ල තේ පැකට් එකක් ගන්නවා. අපි ඒකට මුදලක් දෙනවා. අපි දන්වා තේ පැකට් එක තේ පැකට් එකට සමානයි. තේ පැකට් එක තේ පැකට් එකමයි. ඉතිං අපි මේ සර්ව සාම්‍ය රීතිය, ඒ වගේ දෙකම වෙන්න බැරිය කියන රීතිය යන රීති සමුහය උඩ ඉඳල තමයි ඒ ගනුදෙනුව කරල තියෙන්නේ. අපි දන්නව තේ පැකට් එකක මිල ටිකින් ටික වෙනස් වෙනවා. නමුත් ඒක එවෙලෙට බලපාන්නේ නැහැනේ. අපි යන හැම මොහොතකම එය ස්ථාවරයි. ඒ නිසා අපිට පුළුවන් සාමාන්‍ය තර්කය පාවිච්චි කරල අපේ වැඩ කටයුතු කරගෙන යන්න. 

දැන් මේකෙන් පෙනෙන්නේ එක්තරා දුරකට මේ තර්කය වලංගුයි. සාමාන්‍ය ප්‍රමාණයට වෙනස් වීගෙන යන තතු යටතේ අපිට මේ තර්කය උඩ ඉඳල වැඩ කරයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් ඉතාම තියුණු වෙනස්කම් වලට භාජනය වන ලෝකය විග්‍රහ කර ගැනීම සඳහා මේ සර්ව සාම්‍ය තුන එහෙම නැත්නම් මේ සත්‍යතාවයන් තුන උඩ ඉඳල අපිට වැඩ කරන්න බැහැ. අපි ගත්තොත් ඉතා ඉක්මනින් පුපුරා හැලෙන බිඳ වැටෙන වෙනස් වෙන දේවල් ගැන අපි සාකච්ඡාවට ගන්නව නම් මේ තර්ක ක්‍රමය පාවිච්චි කරන්න බැහැ. දැන් මම උදාහරණ වශයෙන් ගත්තොත් අපිට මේ මැද ලෝකය කියල කියන මේ අපිට එදිනෙදා හමුවෙන ලෝකය අපිට බොහෝ දුරට මේ සත්‍යයන් තුලින් විග්‍රහ කරන්න පුළුවන් වුනාට අපි විශ්ව ලෝකය ගැන නැත්නම් අනුක ලෝකය විග්‍රහ කරන්න ගියොත් මේ තර්ක ක්‍රමය එහෙම පිටින්ම බිඳ වැටෙනවා. දැන් මේක හුදු සමාජ විද්‍යාව පැත්තෙන් මතු වෙච්ච ප්‍රශ්නයක් නොවෙයි. අපි ගත්තොත් විශ්වය පිළිබඳ විද්‍යාව හදාරන අය වගේම න්‍යෂ්ඨික විද්‍යාඥයෝ ගත්තොත් ඒ ගොල්ලො දැන් පිලි අරන් තියෙනවා ඇරිස්ටෝටල්ගේ තර්ක ක්‍රමය උඩ ඉඳල අපේ ගණන් හිලව් හදන්න බැරි වෙනවා කියල. ඇයි පරමානු කියන දේවල් මේ මොහොතෙ මෙහෙම ඉඳල එක මොහොතක දී ඒක පුපුරල යනවා ශක්තිය එක්තරා ප්‍රමාණයකට ඉහල ගියොත් එහෙම. එතකොට එතැනදී අපි ගනිත ක්‍රමය යටතේ ඒකෙ ගණන් හිලව් හදා ගෙන හිටියත් මෙතනදි ස්ථාවර වෙනවයි කියල, නමුත් මෙතනින් එහාට ගියොත් පිපිරීමකට භාජනය වෙනවා, කලින් තත්වයත් පිපිරීමකට භාජනය වුනාට පසු ඇති වන තත්ත්වයත් අතර සම්බන්ධය සාමාන්‍ය තර්කය උඩ විග්‍රහ කරන්න බැහැ. සාමාන්‍ය තර්කය අනුව හදන ගණිත ක්‍රම තමයි අපිට තියෙන්නේ අපි දන්නව අපි ඉස්කෝලෙ ගිහිල්ල වීජ ගනිතය, ජ්‍යාමිතිය, අංක ගනිතය, ඊට පස්සේ කලනය, ගති විද්‍යාව, ස්ථීති විද්‍යාව ඔය විදියේ නොයෙක් දේවල් ඉගෙන ගන්නවා. 

මේ හැම එකක්ම පෙර කියපු සත්‍යතාවයන් තුන උඩ තමා තියෙන්නේ. මේ සත්‍යතාවයන් තුන පදනම් කරල තමයි හැම ගණිත ක්‍රමයක්ම හැම විද්‍යාත්මක විධික්‍රමයක් ම තියෙන්නේ. නමුත් ඒ තර්කය උඩ ඉඳල න්‍යෂ්ඨික ලෝකයේ ප්‍රශ්ණ විසඳන්න බැහැ. ඒ වගේම විශ්වය පිළිබඳව, තාරකා අතර සම්බන්ධතාවයන්, චක්‍රාවාට අතර තියෙන සම්බන්ධය, සූර්යයා හා ග්‍රහලෝක අතර තිඛෙන සම්බන්ධතාවය ආදී ප්‍රශ්න වලට යන කොට මේ සාමාන්‍ය තර්කය බිඳ වැටෙනවා. දැනට විද්‍යාත්මක ලෝකය පවා මෙය දැැන හිටින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ගොල්ලෝ දැන් නොයෙකුත් සූත්තර දාලා මේ තර්කය ඉක්මවා ක්‍රියාත්මක කරන්න පුළුවන් ගණිත ක්‍රම හදන්න උත්සාය කරමින් ඉන්නවා. නමුත් තවමත් විද්‍යා ලෝකය තුල අපෝහක වාදය පිලිබඳ අදහස සත්‍ය සොයා ගැනීම පිළිබඳ අරගලයේ දී සාර්ථකව යොදන්නට බැරිවෙලා තියෙනවා. ඊට හේතුව අපි දන්නවා. ඒ තමයි කම්කරු පංතියේ ලෝක ව්‍යාපාරයේ තිඛෙන අසාර්ථක භාවය.

අපෝහක තර්කනය

දැන් එතකොට එහෙම නම් අපිට හෙගල් සහ හෙගල්ගෙන් ආරම්භ වෙලා කාල් මාක්ස් දක්වා වර්ධනය වුනු, ඊටත් පෙර බුදුන්ගේ සමයේ ආරම්භ වෙලා ඒක අපෝහක භෞතිකවාදය තරමට ම වර්ධනය වුනේ නැතත් බුදුන් ගේ අනිත්‍ය දර්ශනය හෙගල්වාදය තුල අඩංගු වෙනවා. අපි දැන් බලමු මොනවද මේ අනිත්‍ය ලෝකයේ නීති කියලා. 

එහි පළමු නීතිය තමයි අපි අවට තිඛෙන අනිත්‍ය ලෝකයේ හැම දෙයක්ම කාලය විසිනුත් අවකාශය විසිනුත් එකට බැඳී පවතිනවා ය යන්න. ඒ කියන්නේ අනිත්‍ය ලෝකයේ තියෙන සැම දෙයක් ම කාලයාගේ වෙනස් වීම තුලිනුත් අවකාශයේ සම්බන්ධතාවය තුලිනුත් එකට සම්බන්ධ වූ දේ තමයි තියෙන්නේ. කොයි දේ ගත්තත් ඒවා එක්කෝ කාලයේ පස්සට යනකොට නැත්නම් විශ්වයේ ගමන් කරන කොට කොතැනනදී හරි බැඳිල තියෙනවා. එහෙම නොබැඳුනු කිසිම දෙයක් මේ ලෝකයේ නැහැ. කාලය තුල අපිට ඒ සම්බන්ධය හොයන්න පුළුවන් නැත්නම් විශ්වයේ ඇවිද ගෙන යන කොට අපිට ඒ සම්බන්ධය මුනගැහෙනවා. එහෙම එකට බැඳුනු ප්‍රපංචයන්ගේ නැත්නම් සංඛාරයන්ගේ එකමුතුවක් තමයි ලෝක ධාතුව.

දෙවැනි නීතිය තමයි සැම දෙයක්ම එක් අවස්ථාවක ඉඳල ඊට වඩා දියුනු අවස්ථාවක් කරා වර්ධනය වෙමින් පවතිනවය කියන එක. යම් යම් මොහොතක දී කඩා වැටුනත් හැම විටකම මේ විශ්වයේ සියලූම සංඛාරයන් ප්‍රපංචයන් එක් අවස්ථාවක ඉඳල ඊට වඩා දියුණු වෙන්නාවූ අවස්ථාවක් කරා ගමන් කරනවා යන්න. ඒක තමයි අනිත්‍ය ලෝකයේ තිඛෙන ඊලඟ ප්‍රධානම කාරනය. 

මේ වෙනස් වීමේ සන්තතිය අපි නීති තුනක් ලෙසින් පැහැදිලි කර ගත යුතුයි. පලමුව දකිනවා වෙනස් විම් ප්‍රමාණාත්මක වෙනස් වීම් හැටියට ගමන් කරන, දෙවනුව ප්‍රමාණාත්මක වෙනස් වීම ගුණාත්මක වෙනස් වීමක් බවට පරිවර්තනය වෙනවා. හැම වෙනස් වීමක දී ම මුලින් ම ප්‍රමාණාත්මකව වෙනස් වීම් මතු වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රමාණාත්මක වෙනස් වීම් හැමවිට ම ගුණාත්මක වෙනස් වීමක් බවට වර්ධනය තුල ගමන් කරනවා. එතකොට සාමාන්‍ය ලෝකයේ වෙනස් වීම් පිළිගන්න කෙනෙක් හැම විට ම මේ ප්‍රමාණාත්මක වෙනස්කම් ගනන් ගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රමාණාත්මක වෙනස් වීම ගුණාත්මක වෙනස් වීමක් කරා යන බව පිලි නොගන්න පුළුවන්. දැන් අපි තේරුම් ගත යුතුයි ඕනෑම අවස්ථාවක දී ඕනෑ ම දෙයක් ගත්තොත් ඒකෙ ප්‍රමාණාත්මක වෙනස් වීම කාලයා තුල අවසන් වී හැම විටම ඒ වෙනස් වීම ගුණාත්මක වෙනසක් බවට පත් වෙන බව. අපි දන්නවා ගර්භාශයක ඇති වන කුඩා දරුවෙක් එක කලක දී ළඳරුවෙක් වෙනවා. ඒ ලදරුවෙක් වෙන්නේ විශාල පිපිරීමක් තුලින් ඒ දරුවා කථා කරන ඇවිදින දැනඋගත් කෙනෙක් හැටියට තරුණයෙක් බවට පත්වෙනවා ගුණාත්මක වෙනසක් හැටියට. ඊලඟට ඒ තරුණයා මහල්ලෙක් බවට පත්වෙන්නේ ගුණාත්මක පරිවර්තනයක් හැටියට. ඊලඟට මරණයට යන්නෙත් ගුණාත්මක පරිවර්තනයක් හැටියට. හැම ප්‍රමාණාත්මක වෙනස් වීමක් ම මේ විදියට අඩියෙන් අඩිය ගමන් කරන්නේ ගුණාත්මක වෙනස් කමක් කරා යි. අපි දන්නවා වතුර රත්කරගෙන රත්කරගෙන ගියොත් ඒක එක අවස්ථාවක දී හුමාලයක් බවට පත් වෙනවා. ඊලඟට හුමාලය රත් කරගෙන ගියොත් ඒක ප්ලාශ්මා බවට පත් වෙනවා. එහෙම නැත්නම් න්‍යෂ්ඨික වශයෙන් ඛෙදී ගිය වායුවක් බවට පත් වෙනවා. එතකොට මේ විදියට අපිට පේනව හැම දෙයක ම ප්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක පෙරලියක් කරා එක් අවස්ථාවක දී තල්ලු කරන බව. 

මේක තමයි අපි දකින පලවෙනි නීතිය – අපි දකින ස්වාභාවයාගේ වෙනස් වීම පිලිබඳව. දෙවෙනි එක තමයි මේ වෙනස් වීම හැම එකක් තුලම අපි දකින්නේ ඒ සංකාරය තුල තියෙන ප්‍රතිවිරුද්ධයන්ගේ ඒකත්වය හා ගැටුම. වෙනස් වීම් මෙහෙයවන්නේ මේ ප්‍රතිවිරුද්ධයන්ගේ ගැටුම තුලින්. ඒ ගැටුම තුලින් තමයි ඒ වෙනස්වීම ගුණාත්මක පරිවර්තනය කරා යන්නේ. උදාහරණයක් හැටියට අපි නැවත ගත්තොත් අපි වතුර රත් කරනවා. ඒ වතුරවල තිඛෙනවා ව්‍යූහයක්. ඒ ව්‍යුහයත් තාපයත් අතර ගැටුමක් තියෙනවා. එකතු කරන තාපය අපි රත් කිරීමෙන් එකතු කරන තාපතාවය යි, ඒ වතුරේ තිඛෙන ව්‍යූහයයි අතර ගැටුමක් පවතිනව. ඒ ගැටුමට ඔරොත්තු දෙනතාක් කල් ප්‍රමාණාත්මක වෙනස්කම් වලින් ඒක ගමන් කරනව. නමුත් වතුරෙ ව්‍යූහය තාපයේ ශක්තියට ඔරොත්තු නොදෙන තැන දී ඒක පුපුරල ගිහිල්ල හුමාලය මතු වෙනවා. එතකොට මේ විදියට ප්‍රතිවිරුද්ධයන් ගේ ගැටුමකින් එක අවස්ථාවක දී පිපිරිල එලියට එනව. මේ නිසා අපට හැම දේකම මේ විදියට වෙනස් වීම් තුල මතුවන හැම දේකම තියුණු පිපිරීම් එහෙම නැත්නම් තියුණු පිම්ම අපට විග්‍රහ කරන්න පුළුවන් වෙනවා. ඒකේ අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ ප්‍රතිවිරුද්ධත්වයන් තුල මතු වෙන ප්‍රථීඵලයක් හැටියට. ඒක නිසා මේ දෙවෙනි කාරණය තමයි වෙනස්වීම් වල තිඛෙන ලක්ෂණය වන ප්‍රතිවිරුද්ධතාවයන්ගේ ගැටුම හා එකමුතුව. ඒ අනුව ප්‍රතිවිරුද්ධතාවයන්ගේ ගැටුම තමයි වෙනස මෙහෙයවනු ලබන්නාවූ බලවේගය. 

වෙනස් වීම මෙහෙය වන තුන්වන කාරණය තමයි මේ වෙනස් වීම් තුල හැම දෙයක් ම පුපුරල ගිහිල්ල නව දෙයක් මතුවෙනවා. ඊලඟට එයත් වෙනස්වෙලා ගිහිල්ල පුපුරල කලින් තිබුනු දේට සමාන වූ නමුත් දියණු වූ දෙයක් බවට පරිවර්තනය වෙනවා. එසේ යම්කිසි දෙයක ප්‍රමාණාත්මක වෙනස් කම් තුල පිපිරිල අළුත් තත්ත්වයක් මතු වෙනවා. ඒ අලූත් තත්ත්වය වෙනස් වෙලා පිපිරිල හිටපු තත්ත්වයේ නමුත් වෙනස් වූ ආකාරයකින් උසස් වූ අවදියක් මතු වෙලා එනවා. මේක තමයි අපි තේරුම් ගත යුත්තේ ~නිශේධය නිශේධ වීම~ කියන තුන්වන නීතිය යටතේ. ලදරුවෙක්ගෙන් තරුණයෙක් ඇති වෙනවා. තරුණයා මහල්ලෙක් බවට පත් වෙනවා. මහල්ලත් ලදරුවෙක් නමුත් උසස් වර්ගයක අමුතු වර්ගයක ලදරුවෙක්. අපි ගත්තොත් ඇටයක් ඒ ඇටයෙන් අපි ගහක් හදනවා. ඒ ගහෙන් ආයෙත් විශාල ප්‍රමාණයක් ඇට බිහි වෙනවා. ඒ ඇට විනාශ වෙලා ගස් හැදෙනවා. නමුත් මේ ගස් වලින් අන්තිම වශයෙන් විශාල ඇට සමූහක් ලෝකයට බිහි කරණවා. මේ විදිහට හැම දෙයක් ගැනම කල්පනා කෙලොත් අපට පෙනෙනවා වෙනස් වීමේ ඉතා පැහැදිලි ලක්ෂණයක් හැටියට තිඛෙනවා ආරම්භ කරණ දේ ගුණාත්මක පෙරලියකින් යම් දෙයක් බවට පරිවර්ථනය වෙලා ඒ පරිවර්තනය වෙන දේත් ගුණාත්මක පෙරලියකින් ආරම්භක දේ තවත් උසස් අවධියකින් මතු කරල පෙන්වන බව. මේක තමයි ස්වාභාවයේ සංඛාරයේ තිඛෙන තුන්වෙනි වෙනස් වීමේ ලක්ෂණය. 

එතකොට මේ වෙනස්වීමේ ලක්ෂණ තුන තමයි වෙනස්වීම පිළිබඳව සිද්ධාන්තයන් හැටියට  තියෙන්නේ. පලමුව ගුණාත්මක පෙරලිය. එනම් ප්‍රමාණය ගුණය බවට පරිවර්තනය වීම. දෙවනුව වෙනස්වීමේ මෙහෙයවීම ප්‍රතිවිරුද්ධතාවයන්ගේ ඒකත්වය හා ගැටුම තුලින් පිපිරුම කරා ගමන් කිරිම. තුන්වෙනුව නිශේධය තුලින් මතුවන අළුත් තත්ත්වය නැවත නිශේධ වී තිබුණාවූ තත්ත්වයට වඩා පරිසමාප්ත වූ වඩා දියුණු තත්ත්වයක් ලෙසට මතු කර දීම. 

දැන් අපි මේ නීති නිසාම මතුවන උප ප්‍රමේයයන් නැත්නම් නීති දෙකක් අපේ සැලකිල්ලට ගන්න අවශ්‍ය වෙනවා. ඒ නීති තමයි යම් ආකාරයට මතු වන්නාවූ වෙනස් වීම් නිසා පිපිරීම් වෙනව නම්, පුපුරන තැනයි පිපිරන්නට තරම් තාම දියුණු නොවූ තැනයි අතර සම්බන්ධය පිළිබඳ නීති. දැන් හැම දෙයක් ම සමාකාරව වෙනස් වෙනවා නම්, පුපුරන්නේ නැතිව ඔක්කෝම සමාකාරව වෙනස් වෙවී යනවා යයි සිතන්න වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. වෙනස් වෙවී යන අතරේ එක තැනක් පුපුරණවා නම් සමාකාරභාවය කැඩෙනවා. එහෙ නම් එකිනෙකට බැඳිල වෙනස්වන ප්‍රපංචයන්ගෙන් යුක්ත ලෝකය දිහා බැලූවොත් අපට පෙනෙන්නේ අසාමාකාර වූ වර්ධනකටයි ලෝකය තුඩු දෙන්නේ. මන්ද ප්‍රමාණාත්මක වෙනස් වීම් ගුණාත්මක වෙනස් වීමක් බවට පත් වන්නේ පිපිරීමක් තුලින් නිසා. ඒ අනුව අසම වර්ධනයක් තමයි ලෝකයේ තියෙන්නේ. සමාකාර වර්ධනයක් නොවෙයි. මොකද පුපුරණ තැන් අසමාකාර වෙනවා. පිපිරීමෙන් ගුණාත්මක වෙනසක් අත් කරගෙන පුපුරපු නැති දේ ඉක්මවා ඉස්සරහට යනවා. එතකොට ඔක්කොමල එක විදියට ගමන් කරමින් ඉන්න අතරේ ම එක තැනක් පුපුරල යෑම නිසා අසමාකාර තත්ත්වයක් මතු කරණව. මේකට අපි කියන්නේ අසම වර්ධනය කියලයි. උදාහරණයක් හැටියට අපි ගනිමු ඇට ටිකක්. ඒවා පැලවෙන්න දානවා. ඒව වර්ධනය වෙලා පුපුරල පැල ඇති වෙනවා. ඉස්සෙල්ල පුපුරල ඇතිවෙන පැලය අනෙක් පැල අභිබවාගෙන වර්ධනය වෙන්න පටන් ගන්නවා. අනෙක් පැල මරාගෙන පැලවෙන තැනට ගමන් කරනවා. දෙවෙනියට ආපු පැලවල ට හිමි විය යුතු වාතය, පසේ සාරය උරාගෙන ඒ පැලය බලවත්ව ගොඩ නැගෙනවා. ඒ නිසා අපි පළමුවෙන් සමාකාර ආරම්භයක් කලත් වර්ධනය තුලදී අසමාකාර වෙනවා. එහෙම වෙන්නේ පිපිරීම් තිඛෙන නිසයි. පිපිරිම් නැතිව තිබුනා නම් දේවල් ප්‍රමාණාත්මකව පමණක් නම් වර්ධනය වෙන්නේ ඒක අසමාන භාවයකට යන්න හේතුවක් නැහැ. එතකොට මේ වෙනස් වීමේ තිඛෙන, අනිත්‍යභාවයේ තිඛෙන පිපිරීමේ ස්වාභාවය නිසා ම ලෝකය අසමානකාර වර්ධනයකට තුඩු දෙනවා.  වෙනස් වීම් පිලිබඳ එක් උප ප්‍රමේයයක් හැටියට මෙය තේරුම් ගත යුතුව තියෙනවා.

දෙවෙනි එක තමයි එහෙම පිපිරුනාට පස්සේ ඒකෙන් ඇති වන අළුත් තත්ත්වය විසින් අර පැරණි තත්ත්වය එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. අපි වර්ධනයක් කරගෙන යනව. එක තැනක් පුපුරනව. ඒ පුපුරන දෙයින් අළුත් දෙයක් මතු වෙනව. ඒ අළුත් දේ පරණ දෙයත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඇයි අපි දැක්කා මූලික නීතියක් තියෙනවා සියලූ දේ සියලූ දේට සම්බන්ධයි කියලා. එහෙම නම් අලූත් දේ පරණ දේවල් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වීම නිසා සම්බන්ධ වූ වර්ධනයක් සියළුම දේට ඇති වෙනවා. ඒකට අපි කියනවා සම්මිශ්‍ර වර්ධනය කියලා. දැන් අපි පැලවෙන්න දාපු ඇට වලින් එකක් පුපුරල පැල වුනා. පැලවුනාට පස්සේ ඒ පැලවෙච්ච දේ පැල නොවුන දේවල් එක්ක සම්බන්ධයක් හදා ගන්නවා. සමහර විට ඒකෙන් දුර්වල පැලයක් මරා දමනවා. පැල නොවිච්ච ඇටයක් තමන්ට ම බද්ධ කරගෙන තමන්ගෙම කොටසක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒවායේ තියෙන අයිතිය විනාශ කරල දානවා. එතකොට ඊලඟට ඇති වන්නේ ඒකාබද්ධ වූ වර්ධනයක්. එකිනෙකට බැඳුනු ඒ තුලින් අලුත් ම සම්බන්ධතාවයන් මගින් ගැට ගැසුණු ප්‍රපංචයක් බිහි වෙනවා. මෙන්න මේක තමයි ඒ දෙවෙනි රීතිය. 

දැන් ලොකයේ ස්වාභාවය පිළිබඳව තව කරුණු ගනනාවක් තියෙනවා අපි විසින් පැහැදිලි කර ගත යුතු. එකත් තමා නිරපේක්ෂ දේ හා සාපේක්ෂ දේ. දැන් අපි ගත්තොත් යම්කිසි ප්‍රපංචයක්, ඒ ප්‍රපංචය හරහා අපිට දකින්න පුළුවන් එහි හරය හා ස්වරූපය අතර වෙනසක් අපිට දකින්න පුළුවන්. දැන් අපි ඇට ටිකක් දාල තියෙනවා. මේ ඇට තුල ඇතිවන වර්ධනයේ දී අපි දකින ප්‍රධාන හරය කුමක් ද? පැලවීම නේද?. එතකොට පැලවීම තමයි ප්‍රධාන කාරනාව. පැලයක් මතුවීම තමයි ප්‍රධාන කාරනාව නැතිව ඒ ඇටය ටිකක් ලොකු වෙන එක නැත්නම් ඇටේ පුපුරණ එක නැත්නම් ඇටෙන් මුලක් එලියට එන එක නොවෙයි ප්‍රධාන. ඇටේ පැලවෙන්න ඕන ඒකයි ප්‍රධාන දේ. එයට කොයිතරම් අතරතුර දේවල් වෙලා තිබුණත්, ඇටේ පැලවෙන්නේ නැත්නම් ප්‍රධාන දේ සිද්ධ වෙලා නැහැ. එතකොට හැම කාර්යයකම අපි ප්‍රධාන දේ දකින්න ඕන අතර තුර දේවල් වලින් ප්‍රධාන දේ වෙන්කරල හඳුනගන්න පුළුවන් වෙන්න ඕන. ඒ අනුව අපි තේරුම් ගන්න ඕන සම්බන්ධ වූ එකට බැඳුනු ලෝකයක සුපිරිසිඳු දේවල් නැහැ. කාලයෙනුත්, අවකාශයෙනුත් සම්බන්ධ වූ දේවල් තමා තිඛෙන්නේ. ඒ හැම දේකම ප්‍රධාන වූ කොටසක් සහ අතරතුර කොටසක් තිඛෙනවා. ඒ තුල තමයි සම්බන්ධය ඇති වෙන්නේ. සම්බන්ධ වෙලා තිඛෙන නිසාම කාලයාගෙන් වෙනස් වන නිසාම යම් මොහොතක, යම් අවස්ථාවක එහි හරයක් තියෙනවා වගේම අතරතුර රටාවලූත් තියෙනවා. පිරිසිදූ ද්‍රව්‍ය නැහැ. නමුත් එක මොහොතක යම් කිසි දෙයක හරයක් තියෙනවා. අපි සිසුන් පිරිසක් අරගෙන එක්කෙනෙක් පෙන්නල කියනව මෙයා කලා ශිෂ්‍යයෙක් කියල. එතකොට කලා ශිෂ්‍යයෙක් ගත්තහම ඒ කලා ශිෂ්‍යයා දන්නෙ කලාව විතරද? නැහැ. එයා වෘත්තීය සමිති ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. එයා ගමේ ඉඩමේ එළවලූ වවනවා වෙන්න පුළුවන්. තව හවස ගිහිල්ලා කොම්පියුටර් ඉගෙන ගන්න පුළුවන්. මේ විදියට සම්බන්ධතා ගනනාවක් තුල ඉන්න මිනිහෙකට තමයි අපි කලා ශිෂ්‍යයා කියල කියන්නේ. නමුත් අපි කලා ශිෂ්‍යයා කියල වෙන් කර ගන්නවා නම් වෙන් කර ගන්නේ එයාගේ හරයක් හැටියට එවේලේ තියුණු වූ වඩාත්ම සරු ලෙස එයාගෙන් ක්‍රියාකාරිත්වය පවතින්නේ කලාව ඉගෙන ගැනීම නම් අපි කියනවා එයාට කලා ශිෂ්‍යයෙක් කියලා. මෙන්න මේක අත්‍යාවශ්‍ය කාරනයක් මොකද අපිට හැම වෙලේම මේ පාපේක්ෂ හා නිරපෙක්ෂ යන් අතර ගැටුමට, අවශ්‍ය දේ හා අතරතුර දේ අතර ගැටුමට වියුක්ත සහ සංයුක්ත දේ අතර ගැටුමට නිරන්තරයෙන් මුහුණ දෙන්න වෙන නිසා මේ වගේ එකිනෙකට බැඳුණු ලෝකයක. 

එතකොට අනිත්‍ය ලෝකයේ සිද්ධාන්ත නැති නම් නීති ටික තමා මේ. 

සමාලෝචනය

අපි දැන් පැහැදිලි කරගෙන තියෙනවා පළමුව රූපික තර්ක ශාස්ත්‍රයේ තියෙන සර්ව සාම්‍යයන් තුන. එනම් – ඒ දේ ඒ දෙයට සමානයි, – ඒ දේ වෙනත් දේකට සමානයි නැත්නම් අසමානයි, -යම් දෙයක් තවත් දෙයක් හෝ ඒ දේට ප්‍රතිවිරුද්ධය යන දෙකම විය නොහැක යන ප්‍රමේයයන් තුන තමයි සාමාන්‍ය තර්කයේ පදනම. 

ඊලඟට අපි දුටුවා අනිත්‍ය ලෝකයට මේ තර්ක තුන වලංගුවන්නේ නැති බව. තියුණු වෙනස්වීම් වලට භාජනය වෙන ලෝකයක් පිළිබඳව ගත්තොත් ඒකෙ තිබිය යුතු රීති සමූහය හැටියට අපි සාකච්ඡාවට ගත්තා ප්‍රධාන වශයෙන්ම රීති තුනක්. පලවෙනි රීතිය වුනේ සියළුම දේවල් කාලය විසිනුත් අවකාශ වහයෙනුත් එකට බැඳල තියෙනවා. දෙවැන්න හැම දෙයක්ම වඩා සාරවත් වූ වඩා ඉහල තත්ත්වයන් කරා වර්ධනය වීමට තිඛෙන අනිත්‍ය භාවය. තුන්වනුව වෙනස් වීමේ අංග ලංක්ෂණයන් ත්‍රිත්වය. එනම් ප්‍රමාණය ගුණය බවට පරිවර්ථනයව වීම, ප්‍රතිවිරුද්ධතාවයන් ගේ ගැටුමෙන් ඉස්සරහට යෑම හා නිශේධය නිශේධ වීම කියන අංග ලක්ෂණ තුන. 

දැන් මේ ප්‍රධාන ප්‍රවේශයන් තුලින් ඊලඟට අපි උප ප්‍රවේශයන් ගණනාවක් ලබා ගත්ත. ඒක තමයි පලමුවෙන්ම අසමාන වර්ධනයක් ලෝකය තුල තිඛෙනවාය කියන රීතිය. දෙවනුව ඒකාබද්ධ වූ වර්ධනයක් කරා නිරන්තයෙන් ගමන් කරනවාය කියන රීතිය. තුන්වනුව සාපේක්ෂය හා නිරපේක්ෂය නැතිනම් හරය හා අවශේෂය අතර වෙනස නිරන්තරයෙන් අපි දැකිය යුතුය කියන රීතිය. මේ කාරනා ටික තමයි අපෝහකවාදී විධික්‍රමය හැටියට අපි දකින්නේ. දැන් මේ පිළිබඳ නිරවුල් අවභෝධය ඉතාම අවශ්‍ය වෙනවා අපි දේශපාලන වශයෙන් ලෝකය දිහා බලන විට. මොකද අපට විද්‍යා ලෝකය තුල නම් බොහෝ දුරට බලන්න තියෙන්නේ කාලය තුලින් වෙනස් වෙමින් පවතින ප්‍රපංචයන්ට වඩා ක්ෂණික වූ තත්ත්වයන් තුල ඒ ඒ අවස්ථාවන් විග්‍රහ කිරිම තමයි තිඛෙන්නේ. නමුත් දේශපාලනයේ දී විග්‍රහ කර ගන්නේ ඒ ඒ අවස්ථාවල තත්ත්වය පමණක් නොවෙයි. කාලයා තුලින්, හා ලෝකයේ සෙසු දේවල් තුලින් සම්බන්ධ වූ සංකීර්ණ ප්‍රපංචයන්ගේ වෙනස් වීම තමයි දේශපාලනයේ දී නැතිනම් සමාජ විද්‍යාවේ දී අපිට හැම වෙලාවකම සාකච්ඡාවට ගන්න වෙන්නේ. ඒ අවස්ථාවේ තියෙන ක්ෂණික තත්ත්වය ගැන සාධක ටික හොයා ගෙන ඒ උඩ යම් කිසි කාරZණාවක් විග්‍රහකර ගැනීම නොවෙයි. 

මේ නිසා තමයි ඇත් වශයෙන්ම අපෝහකවාදී විධි ක්‍රමය සාමාන්‍ය විද්‍යාව තුලින් මතු වෙලා එන්නට පෙර සමාජ විද්‍යාව තුලින් මතු වෙලා ආවේ. තාමත් සමාජ විද්‍යාවේ සාමාන්‍ය වැඩ කටයුතු සඳහා රූපික තර්ක ශාස්ත්‍රය පාවිච්චි කරනවා. එතකොට ඒ රූපික තර්ක ශාස්ත්‍රයේ ඉඳලා අපෝහක තර්ක ශාස්ත්‍රය කරා යන්නට විද්‍යාවට අද තමා ප්‍රශ්ණය මතු වෙලා තියෙන්නේ. විශේෂයෙන් න්‍යෂ්ඨික ලෝකය වගේ තැන් වලදී තමයි ඒ ගොල්ලන්ට තම තර්ක ශාස්ත්‍රය අවසානයක් කරා ගිහිල්ල තියෙනවය, අළුත් තර්ක ශාස්ත්‍රයක් අවශ්‍යය කියන එක මතුවෙලා තියෙන්නේ. ට්‍රැක්ටරයකින් සුද්ද කරන්න ඕන තැනට අලවංගුවක් ගෙනිහිල්ල කොටනවා වගේ තත්ත්වයකට පත්වෙලා. කොහොමත් රූපික තර්ක ශාස්ත්‍රය කියන දේ අපි පැත්තකට වීසි කරන දෙයක් නොවෙයි. ඒක අවශ්‍ය වෙනවා, යම් යම් සුළු විග්‍රහයන් වලදී. අපි බිස්කට් පැකට් එකක් ගන්න ගිහාම අපෝහකවාදීව තර්ක කරන්නේ නැහැනේ. බිස්කට් පැකට් එකක් ගන්න ගිහිල්ල මේක අනිත්‍යයි, මේකේ තියෙන්නේ හෙට තියෙන මිල නොවෙයි. මේකේ තියෙන ප්‍රතිවිරුද්ධතාවය මොකද්ද, මේක බිස්කට් පරණ වෙමින් දිරා යමින් තිඛෙනවා, මේකේ මිල මෙච්චර වෙන්න බැහැ ඊයේ මිලයි අද මිලයි අතර ගැටුමක් තියෙනවා. ඒ විදියට අපි මුදලාලි එක්ක වාද කරන්න ගියොත් අපිව අංගොඩ අරින්න මුදලාලි වැඩ කරන්න ඉඩ තියෙනවා. කඩේට ගියාම සාමාන්‍ය තර්කය උඩ වැඩ කරගෙන යනවා. නමුත් සමාජ විද්‍යාවේ දී පක්ෂයක් ගැන, සමාජ පංතියක් ගැන රූපික තර්ක ශාස්ත්‍රය උඩ විග්‍රහ කරන්න ගියෝත් අපි තව විදියක අමාරුවක වැටෙනව. පක්ෂයක් ගැන අපි විග්‍රහ කරන්නේ එක පැත්තකින් ඓයිතිහාසික වශයෙනුත්, අනෙක් පැත්තෙන් සමස්ථ ලෝක සංදර්භය තුල එය වැඩුනේ කොහොමද වර්ධනය වෙන්නේ කෙසේද කියන ප්‍රශ්ණ සලකා බැලීමෙනුයි. එය සාමාන්‍ය තර්කය මත තේරුම් ගන්න බෑ.

රනත් 

අභ්‍යන්තර හා අධ්‍යාපන මණ්ඩලය

2013 ජනවාරි 15

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.