සිරගත කළ කතාවක් ගැන
ශක්තික සත්කුමාර ගේ ‘සිරගත කළ කතාවක්’ කෙටි කතා සංග්‍රහය පිළිබදව රණත් කුමාරසිංහ ලියා රාවය පුවත්පතේ “සමාජ විඤ්ඤාණයට අභියෝග තුනක් එල්ල කරන සිරගත කළ කතාවක්” මැයින් 2020.05.31 දින පළ වූ මෙය ඔහුගේ කෙටි පෙර සටහනද සමග මෙසේ ඉදිරිපත් කරමු.
ශක්තික සත්කුමාර පළ කොට ඇති කතා නවයකින් යුත් කෙටිකතා සංග්‍රහය මා අතට පත් කොට දෙමසකට අධික කාලයක් ගත වි ඇත. එය මා අතට පත් වූ මුල් දින වලදීම කියවා අවසන් කළ මුත්, ඒ කතා මා තුළ පහල කළ හැගීම් හා අදහස් ලියා දැමීමට පසුගිය මාස දෙක තුනේ දී ම අවස්ථාව නොලදිමි. කෙසේ වෙතත් මාගේ පුරුද්ද මා කියවන යමක් පිලිබදව අදහස් දැක්වීමට බලාපොරොත්තුවක් ඇත්නම් කියවන අතරවාරයේ එම පොතේම සටහන් තැබීමයි. ශක්තික ගේ කෙටිකතා පොතද ඒ අයුරින් මා තැබූ කටු සටහන් වලින් ගහන වෙයි. ඒ කටුසටහන් පෙලගැස්වීම ය මේ අවස්ථාවේ මා කරන්නට යන්නේ.
ශක්තික සත්කුමාර ලියා ඇති පොත් පත් ලැයිස්තුව මුලින්ම මගේ අවධානයට ලක් විය. එහි දී මට පෙනී ගියේ හෙතෙමේ බොහෝ ඇසූපිරූ තැන් ඇති මෙන්ම තම අත්දැකීම් ප්‍රකාශණයේ නුවණත්, නිර්භීතභාවයත් හා සාහිත්‍ය සම්බන්ධව වැටහීමත් ඇති සම්මාන ලාභියෙකු ලෙසින් ය.
ශක්තික තම කෙටි කතා පෙළ මගින් මූලික ලෙස අභියෝග තුනක් සමාජ විඤ්ඤාණය වෙත එල්ල කරනු මට දකින්නට ලැබුණි. පළමු වැන්න පවතින ”උත්කෘෂ්ඨ” යුගල පවුල වෙතයි. දෙවැන්න ශුන්‍ය අවකාශයක ගසාගෙන යන පුද්ගලික ප්‍රතිපත්ති තුළින් උතුම්කම සොයා යන සදාචාරවාදීන් වෙත ය. තෙවැන්න පවතින සමාජ විඤ්ඤාණය පුද්ගලාරෝපනය වන අයුරුයි.
යුගල පවුලේ මිථ්‍යාව :
පළමුවන එඩ්වඩ් රජු (1272-1307) මරණ මංචකයේ වැතිර සිටී. ඔහුගේ සයනය වෙත පැමිනෙන්නේ ඉසබෙලා කුමරියයි. ඇය ඔහුගේ පුත් කුමරුවාගේ බිරිදයි. ඇය අවසාන වතාවට ද ආයාචනා කරන්නේ ස්කොට්ලන්තයේ නිදහස් අරගලයේ විශිෂ්ඨ නායකයා වූ විලියම් වොලස් ට ජීවිත දානය දෙන ලෙසයි. නමුත් එය ප්‍රතික්ෂේප වේ. එවිට ඇය ඔහුගේ කනට මෙසේ කොදුරයි……You see death comes to us all. But before it comes to you, know this, your blood dies with you. A child who is not of your line grows in my belly. Your son will not sit long on the throne, I swear it…… කම්පාවෙන් වෙව්ලා යන රජු ගේ අවසානය පැමිණේ. (මේ Mel Gibson නම් සිනමා කරුවාගේ විශිෂ්ඨ ඓයිතිහාසික සිනමාවක් වන “Brave Heart” නම් සිනමා පටයේ ජවනිකාවක එන දෙබසකි. සිනමා පටය නැරඹුවන්ට ඇගේ කුස ඔත් දරුවාගේ පියා ස්කොට්ලන්ත විමුක්ති අරගලයේ නියමු විලියම් වොලස් ය යන්න නිසැකය.)
ශක්තික ගේ කෙටිකතා එකතුවේ එන ”මරණ තුනක්” කථාව යුගල විවාහයේ ඊනියා උත්කෘෂ්ඨ භාවය එලි පෙහෙලි කරයි. මතුපිට අනුභූතීන් අනුව බලන කල කතාවේ එන ප්‍රාදේශීය ලේකම්වරයාට දාව පුතනුවකු හා දියණියකි. පුතනුවා අවිවාහක පෙම්වතියගේ ය. දියණිය විවාහක බිරිදගේ ය. නමුත් නවීන විද්‍යාව ඔප්පු කරන්නේ ඔහු ගේ ශුක්‍රාණු ජීව ශක්තියෙන් තොර බව ය. දැන් මේ දරු දෙදෙනාගේ පියා කව්රුන් ද? එය සොයා යෑමට වඩා මරණය තෝරාගැනීම යෙහෙකි යැයි ප්‍රාදේශීය ලේකම් තීන්දු කරයි. ඔහුගේ මරණයට හේතුව කාමරය තුළ අළුවී විසිර ගොස් ය.
”මළවුන්” කථාව ද තවත් ආකෘතියකින් මේ ප්‍රශ්ණයම ඉදිරිපත් කරයි. ඒ විශ්ව විද්‍යාලයම සාදරයෙන් සැලකූ සමනල ජෝඩුව ඝාතනය වීමේ නොවිසදුනු ගැටලුව ලෙස ය. මේ ඝාතනයට වග කියයුතු තැනැත්තා වෙද හාමිනේ ගෙන්වන මළවුන්ගේ සාක්ෂියෙන් අහෝසි වී යයි. මළවුන්ට අනුව දෙදෙනා එකිනෙකා මරාගෙන තිබේ. මරණකරුවෙක් නැත. නමුත් මරණකරු භාවිත කළ පිහිය කුණුගොඩකින් සොයා ගැනීමට පොලීසිය සමත් වෙයි. මළවුන්ගේ සාක්ෂිය මෙසේ සංශෝධනය කිරීම සත්‍ය සොයා ගැනීමේ මාවතයි. මරණකරුවා මේ දෙදෙනාට බොඩිම් කාමරයක් සොයා දී එයට අවශ්‍ය පරිදි බොරු විවාහ සහතිකයක් ද සකසා ගැනීමට දුන් උදව් උපකාරවලින් සමිප මිතුරකු වී සිටී. මේ මිතුරුකම් දුරදිග ගොස් ය. ඔහු මේ යුගල මැදින් කාවදී. තම යුගල පුපුරා යා නොදි රැක ගැනීමේ සටනේ දී සමනලයා ඝාතනය වෙයි. සමනලීගේ විලාපය ඇගේ ඝාතනයෙන් වියැකී යයි. මෙහි දී මලවුන් මේ මැද කෑල්ල ඉවත් කර දෙපැත්ත සම කිරීමේ තර්ක ශාස්ත්‍රීය උපායක් මගින් ප්‍රශ්නය විසඳයි. මේ මධ්‍ය සාධකය පැමිණීමෙන් මළවුන්ගේ ලෝකය ද අවුල් වීමට ඉඩ ඇත.
”නොකී කතාව” ප්‍රශ්නය තවත් ආකෘතියකින් ඉදිරිපත් කරයි. විවාහයකින් තොරව පමණක් නොවේ, වැඩිවියට පත් දරුවන් සිටින සද ද ගැබ් ගැනීම මවකට තහන්චිය. ඉන් සිදුවන්නේ දූ දරුවන් ද ඇතුලත් වූ මේ සමාජයෙන් පිටස්තර වී යෑමයි. ගැබෙහි මෝරන දරුවාගේ හිරුඑලිය දැකීමේ අයිතිය අහිමි වීමයි. හිරුඑලිය නොදුටු කුසඔත් දරුවා සමඟ මවට දිවියෙන් සමුගැන්මට සිදුවීමයි.
නූතන සමාජයේ ස්ත්‍රී-පුරුෂ නිර්ධණීන්, පුද්ගලික දේපල මත පදනම් වූ මේ නිරපේක්ෂ යුගල පවුල පිලිබද පැවැති වික්ටෝරියානු සදාචාරයේ භාවාත්මක හැගීම් ක්‍රමයෙන් අත්හරිමින් තිබේ. ඒ නිර්ධන පංතියේ ජීවන මට්ටම් ඉහලයෑම, සමාජ ආරක්ෂාව (ආර්ථික හා නෛතික) ශක්තිමත් වීම. නවීන කර්මාන්තකරණය හා සේවා අංශ වල වෘධිය මගින් නිර්ධන පංතියේ තාක්ෂණ හා ශාස්ත්‍රීය දැනුම සීමාවකින් තොරව වර්ධනය වීමට ඉඩ සැලසීම සඳහා ප්‍රජාතන්ත්‍රීය ඉඩකඩ පුළුල් කිරීමට ගෝලිය ධනවාදයට සිදු වීම, මේ ක්‍රමික වෙනස්කම් වලට පසුබිම සපයයි. මව් අයිතිය පෙරළා දැමීමේ ඵලය ලෙස, වහල් ක්‍රමයේත් (servitus), ප්‍රවේණිදාසත්වයේත් (servitude) නිෂ්පාදන සබඳතා මත පදනම්ව වර්ධනය වූ රෝමානු පවුලේ අංග සම්පූර්ණ ආදර්ශය වූ ”යුගල පවුලේ” (රෝමානු පවුලේ මූලික ලක්ෂණය වූයේ වහල්භාවය – දාසත්වය හා පීතෘ ආධිපත්‍යය පවුල් ක්‍රමයට අනුබද්ධ කිරීමය) උත්කෘෂ්ඨ බව මෙසේ මේ කෙටිකථා මගින් ශක්තික ප්‍රශ්නයට ලක් කෙරේ.
මාතෘත්වයේ අයිතිය පෙරළා දැමීම ස්ත්‍රී වර්ගයා ලත් විශ්වීය වූ ඓයිතිහාසික පරාජයකි. ගෘහ පාලනය ද පුරුෂයා අත්පත් කර ගත්තේ ය. ස්ත්‍රිය අවමානයට ද වසඟයට ද ලක් වූවාය. ඈ පුරුෂයාගේ කාම තෘෂ්ණාවට යට වූ වහලියක් හා ඔහුගේ දේපලට උරුමකරුවන් ලෙස දූ පුතුන් බිහි කිරීමේ යන්ත්‍රයක් පමණි. සැබැවින්ම ධනපති සම්බන්ධතා මගින් වහල්-ප්‍රවේණිදාසත්වය බිඳ කර්මාන්ත නිෂ්පාදනය ප්‍රමුඛත්වයට ගැනීමෙන් කාන්තාවට මේ ගෘහ වහල් භාවයෙන් මිදීමේ තත්ත්වය බිහි කළද, පැරණි මධ්‍යකාලීන සමාජය කාන්තාවට යොදා තිබූ වහල් බැමි තම ලාභ උපරීම කරගැනීම සදහා යොදා ගැනීමට ධනපති ක්‍රමය පසුබට නොවී ය. නමුත් අඛණ්ඩව වර්ධනය වන විද්‍යා-තාක්ෂණ දැනුම ඔස්සේ නවීකරණය වන නිෂ්පාදන හා සේවා අංශ ජාත්‍යන්තර කම්කරු පංතිය බලගන්වා මේ වහල් බැමි පුපුරුවා හරිමින් තිබේ. ලිංග භේදයෙන් තොරව ශ්‍රමයට සමාන ලෙස සැලකීම හා කාන්තාවන්ගේ ස්වයංතීරණය පිළිගැනීමට බල කෙරී තිබේ. එසේ නවීනත්වය ඉදිරියට යමින් නිදහස ලබන පෘතුවි වාසී කාන්තා හා පිරිමි නිර්ධනීන් ”ගෘහ වහලා” යන අරුත්ගත් Famulus යන රෝම වචනාර්ථයෙන් යුත් ගතානුගතික යුගල පවුල පිලිබද මධ්‍යම පංතික සංකල්ප සියල්ල අභියෝගයට ලක් කරයි.
නමුත් තව දුරටත් විශේෂයෙන් අඩුදියුණු සමාජයන්හි වහල් හා ප්‍රවේණිදාසත්වයේ අංග ලක්ෂණ තවමත් යුගල පවුල තුලින් ප්‍රකාශයට පත් වෙමින් කාන්තාව පෙලයි. ශක්තිකගේ මේ කථා තුලින් ද පවුල් සබදතා අර්බූදයට යන්නේ කාන්තාවගේ නිම නොවන අතෘප්තිය නිසා ය යන යොමුව නැත්තේ නොවේ. ඒ නිසා පිරිමින්ට ගැටෙන්නටත් ගෙල වැල දා ගැන්මට ත් සිදුවේ. ”පතිවෘතාව” කාන්තාව ඉදිරියේ මකර වේෂයෙන් ගිනි දැල් පිඹිමින් නැගී සිටී.
පුද්ගල සදාචාරය :
ශුණ්‍ය අවකාශයක ගසාගෙන යන මධ්‍යම පංතික පුද්ගල සදාචාරය පිළිබද ප්‍රශ්නය ‘පුතාගේ සැත්කම’ කතාව මඟින් අප වෙත ගෙන එයි. පුවත්පත් කලාවේදියකු වන මෝක්ෂ තමාගේ සාධුතර පුද්ගල පරමාදර්ශයන් හා සමාජ යතාර්ථය අතර ගැටුමේ දී අභාවයට යන අයුරු මේ මගින් ශක්තික අප වෙත ගෙන එන අත්දැකීමයි.
මෙවන් වූ මධ්‍යම පංතික පුද්ගලවාදීන් කල්පනා කරන්නේ තම පුද්ගලික පරමාදර්ශයන් හා, සාධුතර අභිප්‍රායයන් ද, ඒවා පදනම් කරගත් තම භාවිතාව ද පරම නැත්නම් අතිවිශිෂ්ඨ, අද්විතීය වූවක් ලෙස ය. ඒ නිසා බාහිර ලෝකය ද තමන්ගේ සංවේදනයන්ට සමාන වියයුතු යැයි ඔහු සිතයි. නමුත් පුද්ගලික ජීවිතයේ පලමු බැරෑරුම් අර්බූදයට මුහුනදීමේ දී ම තමාගේ මේ පරම වූත් අද්විතීය වූත් භාවිතාවත්, තම සාධුතර අභිප්‍රායයන් හා පරමාදර්ශයනුත් හුදු මතිභ්‍රමයන් ලෙස ලෙහෙසියෙන්ම සුන් වී යනු දැකගැන්මේ ඉරණම මෙවන් මධ්‍යම පංතික සදාචාරවාදීන් ඉදිරියේ තිබේ.
තම දරුවාගේ අසාධ්‍ය රෝගය – එය සුව කෙරුමට අවශ්‍ය මුදල සොයා ගැනීමේ වංචනික විධික්‍රම මොක්ෂගේ පරමාදර්ශයන් දෙදරවයි. ඒ අතර ප්‍රතිකාර වෙනුවෙන් ලබා දී ඇති දින වකවානු වලට තෙසතියකට පෙර රෝගී දරුවා මරු වැළඳ ගැන්ම ඔහුගේ මනෝ ලෝකය සත්කඩකට පුපුරවා හරියි. මෝක්ෂ ජීවිතය ලබයි. ප්‍රතිකාර සදහා එකතුකරගත් කෝටි තුනක මුදල දරුවා වෙනුවට හිලව් කර ජීවිතය සකසා ගැනීමට ඔහු ‘යථාවාදී’ තීන්දුවක් ගනියි. එම තීන්දුව භාවිතාවේ යොදවන්නේ මළ දරුවා ලෝකයාගෙන් සඟවා රටෙන් ද පලා යාමෙනි.
දැන් ශකිත්කගේ තුන්වන අභියෝගය එනම් පවතින සමාජ විඤ්ඤාණය පුද්ගලාරෝපණය වන අයුරු විමසමු.
ශ්‍රමය කැප කිරීමෙන් ලැබෙන ආදායම කිසිසේත් ම නිදහසේ ජීවත්වීමට සරිලන්නේ නැති බැවින් අපගේ වැනි අඩු දියුණු සමාජ වල වාසනාව උරගා බැලීමට විශාල තෙරපුමක් තිබෙයි. නිත්‍යානුකූල ජැක්පොට් හෙවත් ලොතරැයි, රේස් බයි රේස්, ආදිය පසුපස දිව යනු පමණක් නොව කාගේ හෝ මුදලක් තමන් අත පත්වේය යන සිහිනයද ඒ සමඟ වෙලී බැඳී පවතී.
මේ සියල්ල මූලික සූදුවක කොටස්ය.
එනම් පුද්ගලික ප්‍රගමනයේ අපේක්ෂාවේ මෝහනයෙන් දිවෙන මැරතන් එකයි.
”අශ්ව කඩුලු” කතාවේ සුරේශ් ද මේ මැරතන් ජන සන්නිපාතයේ සාමාජිකයෙකි. ඔහු සූදුවෙන් – සුරාවෙන් මුදා ගැනීමේ පවුල් මෙහෙයුමට ගොදුරු වී සිටී. මොහොතක දී එම මෙහෙයුමෙන් ගැලවීම වස් හෙතෙමේ ස්වයං මෝහනයෙන් මවාගත් මැරතන්කරුවෙකුට ආරෝපණය වෙයි. එම ආරෝපණයෙන් තෘප්තිය සොයා යන ඔහු ඉන් මිදෙන්නේ නින්දකින් අවදි වීමෙනි. ආරෝපිත මෝහනයෙන් අවදිවන ඔහුට යථාව හා මෝහනය අතර වෙනස සොයාගත නොහැකිව වික්ෂිප්තභාවයට පත් වෙයි. පවුල් සබඳතාව බිද වැටේ. මේ මෝහනයේ තිඹිරිගෙය පුද්ගලික කුවේරත්වය පරමාදර්ශය කොටගත් වත්මන් සමාජය යි. පුද්ගලයා ඒ මෝහනයේ ගොදුරු බවට පත්ව වැනසී යයි.
”කොස් කොළ” මේ සමාජ මෙහෙයුම මඟින් හුදකලා කර දමනු ලැබීමෙන් සියලු බලාපොරොත්තු කඩකරගත් මිනිසකුගේ ඉරණම අප ඉදිරියේ තබයි. ප්‍රගමණය සමාජීය කාරණයක් නොව තරඟකාරී පුද්ගලයන්ගේ මැරතන් එකක් ලෙස ඉදිරියට යද්දී අතරමග හැලෙන අයට ඉතිරිවන්නේ තම අතීතය හා බැඳුණු ස්මාරක රොත්තක් පමණක් බව එය අපට පෙන්වා දෙයි. ඒ ස්මාරක සමග විසීමට පියවි සිහිය ඉක්මවිය යුතු ය.
එම අවධාරණයේ පරස්පරය, එනම් මේ ස්ථිතික ස්මරණ සමග ඇති බැදීම් පුද්ගල ප්‍රගමණයට බාධකයක් ලෙස පිහිටුවීම, වඳ පිළිවෙතක් බව ”අසම්පූර්ණ” කතාවෙන් ශක්තික විදහා පායි.
මෙසේ පුද්ගල ප්‍රගමණය පරමාදර්ශය කරගත් සමාජයක පරස්පර විරෝධයන්ගේ ගොදුරු බවට පත් චරිත රාශියක් ශක්තික අපට මුණ ගස්වයි. ඔහුගේ මේ කෙටිකතා පෙල කියවීමෙන් මා ලත් අත්දැකීම සෙසු රසිකයන් ලවාද ලැබගනු දකිනු වස්, ඒ සදහා ඔවුන් පෙළඹවීමේ අභිප්‍රායෙන් පැහැදිලි කිරීමයි – විග්‍රහ කිරීමයි මේ සටහනේ දී අරමුණ වන්නේ.
රණත් කුමාරසිංහ – 2020 පෙබරවාරි 29
3 Responses
[…] සිරගත කළ කතාවක් ගැන […]
[…] සිරගත කළ කතාවක් ගැන […]
[…] සිරගත කළ කතාවක් ගැන […]