“ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය” රාජ්‍ය නිරාවරණය වූ මොහොතක්!

සේයා - අන්තර්ජාලයෙන්

පොලිස් අත් අඩංගුවට පත්වීමෙන් අනතුරුව ගෙල සිර කිරීමකින් මියගිය ඇමරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය ශිෂ්ඨ ගත ලෝකය සලිත කර ඇත. මෙය මරණයක් නොව සහාසික ඝාතනයකි. ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් මිනියාපොලිස් පොලිස් නිළධාරියා ඔහුගේ ගෙල දණහිසෙන් තදකරගෙන  සිටින වීඩියෝ පටය, මානවවාදයට ගරු කරන සමස්ථ ලෝක ප්‍රජාව කුපිත කර ඇත. මේ සිදුවීම “නිදහස ප්‍රජාතන්ත්‍රවාදය” ඉහලින්ම ප්‍රකාශිත යැයි කියැවෙන රාජ්‍යක හටගැනීම මෙහි අනුවේදනීය ස්වරූපය තියුණු කරයි.

සමස්ථ එක්සත් ජනපද ජනතාව ජාති, ආගම්, වර්ග හා වර්ණ භේදයකින් තොරව මානව අයිතිය වෙනුවෙන් හඬ නගයි. ඉතාම ආයාසයෙන් අවසන් මොහොතේදී ෆ්ලොයිඩ් ගේ මුවින් නිකුත් වූ ‘I can’t breathe’ යන වදන් වැල එකම හඬකට ගොනු වී නිදහස හා මානවවාදය අගයන සමස්ථ ලෝකවාසී මානවයාගේ හඬක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවුණි. එම හඬ එකම ලතාවකට ‘we can’t breathe’ යනුවෙන් එකට ගොනු වී රැව් නැගේ. එය ජන සමූහයාගේ පොදු හඬ බවට පත්වී ඇත.මේ මහා මිනිස් ප්‍රවාහයේ මුවින් නැගෙන එම හඬ බටහිර යුරෝපය, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව සිසාරා විහිදී යයි. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් ගැන කථා කරන එක්සත් ජනපදයේ  මහා දේශය මත ජනතාව, නිදහස හා මානව අයිතිය ඉල්ලා හඬ නගයි. මේ අතර “කුපිතව සිටින ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කිරීමට නොහැකි නම් නිහඬ වන” ලෙස එරට ආරක්ෂක අංශ ප්‍රධානියෙකු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දන්වා සිටී. සමස්ත ජනතාවට පොදු මිනිසත් බව තහවුරු කිරීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා දැඩි ලෙස මතු වී ඇතැයි එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපතිවරයෙකු වූ ‘ජෝ බයිඩන්’ ප්‍රකාශ කරයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සංවේගජනක සිදුවීමෙන් අනතුරුව “නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී” රාජ්‍යයේ සිදුවූ තිරශ්චීන පොලිස් ක්‍රියාදාමයන් රාශියක් එකිනෙක බැගින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් වේ. එහි දකින ඇතැම් නීති විරෝධී ක්‍රියා ජන සමාජයක සිදුවන ඉතාම සුලභ ක්‍රියාකාරිත්වයන්ය. නමුත් ඊට ප්‍රතිවිරෝධීව මතුවෙන පොලිස් ප්‍රචණ්ඩත්වය අතිශයින්ම අමානුෂිකය. ඒ තුළ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇගයීම කොතෙක් දුරට රැදී තිබුණාද යන්න සැක සහිතය වේ. මෙම සමස්ථ පීඩාකාරිත්වය ප්‍රචණ්ඩ දෙදරායාමක ස්වරූපයෙන් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමගම මතුවී ඇත. එම ප්‍රකාශනයෙන් විද්‍යමාන වන්නේද නිදහස් ප්‍රජාතනත්‍රවාදයේම පිබිදීමකි. මානවවාදය යන්න ඒ තුළට තදින්ම කිදාබැසීම නිසා මෙම විරෝධතාවයන් වඩාත් ජනතාවාදී ස්වරූපයකට පරිවර්ථනය වී ඇති බවට සැක නැත. නමුත් මෙම පිබිදීම නව ලිබරල්වාදය තුළ මතුවෙන අමානුෂිකත්වයට දැඩි අභියෝගයකි. නැතහොත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හා මානවවාදයට එල්ලවී ඇති දැඩි ප්‍රහාරයකි.

මෙවැනි ලක්ෂණ මතුවීම හා එවැනි තත්ත්වයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සමස්ථ මානව ප්‍රජාවේම අයිතියකි. එම ස්භාවයන් වැළැක්වීමේදී, ස්වාධීන අධිකරණ පද්ධතියක ක්‍රියාකාරීත්වය කෙරෙහි ජනතාව බලාපොරොත්තු සහගතව සිටී. ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන්න විග්‍රහ කිරීමේදී සම්ප්‍රදායික අර්ථ නිරූපණයන්ගෙන් ඉදිරියට ගිය විග්‍රහයන් වර්තමානයේදී හඳුනාගත හැක. ඇතැම් අදහස් අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ‘සමස්ථ මානව අයිතියේ සාරාර්ථයයි’. ඒ අනුව එම අදහස වඩාත් පොදු පුලුල් පරාසයක් වෙත යොමුව ඇති බව පෙනේ. ෆ්ලොයිඩ්ගේ ඝාතනය තුළ නැතිව ගියේ ද එයයි. ඒ අනුව සමස්ථ ලෝක වාසී ජනතාව අද ඉල්ලා සිටින්නේ වත්මන් දේශපාලන ක්‍රියාකාරිත්වය මත බැබලෙන ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියෙන් ඉදිරියට ගිය මානවවාදයයි. එය අප හමුවේ ඇති දේශපාලන විග්‍රහ තුළ ප්‍රායෝගිකව අත්දැකිය හැකිද යන්න සැක සහිතය.

ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇතිවී තිබෙන නැගිටීම, ජීවිතය සහතික වීම වෙනුවෙනි. ජනතාව එක හඬින් ඉල්ලා සිටින්නේ ජීවත්වීමේ අයිතියයි. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිය ජීවයක් එහි අන්තර්ගත වී ඇත.

ප්‍රියන්ත සිල්වා

You may also like...

2 Responses

  1. 2020-06-11

    […] “ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය” රාජ්‍ය නිරාව… […]

  2. 2020-06-11

    […] “ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය” රාජ්‍ය නිරාව… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.