හිතුවක්කාර මූල්‍ය කලමනාකරණය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ

සේයා - අන්තර්ජාලයෙන්

‘පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය’ යන්න දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබේ. එම කරුණ අරඹයා විවිධ අදහස් උදහස් මතුව ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යොමුවීම දක්වා අදාල කාරණය දුර දිග ගොස් ඇත.

ව්‍යවස්ථාමය වශයෙන් මෙම ගැටලුව ඉහලට මතුවී ඇත්තේ, පැවති රජය විසින් පසුගිය වසර අවසානයේ සම්මත කරගත් අතුරු සම්මත ගිණුමේ කාලය අප්‍රේල් 30 වෙනි දිනෙන් අවසන් වීමයි. එසා දැන් රාජ්‍ය මුදල් වියදම් අනුමැතිය පිළිබඳ ව්‍යවස්ථාමය ගැටලුවක් පැන නැගී ඇත. විද්‍යුත් මාධ්‍යක පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව පිළිබඳව ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියෙන් ලබාදී තිබෙන බවයි. එම වගන්තියට අනුව, “යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැත්තේනම්, අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම්, ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.” නමුත් අභිනව පාර්ලිමේන්තුව කැඳවීමේ දිනයක් හෝ ප්‍රකාශයට පත්කර නොමැති අවස්ථාවක, දිගින් දිගටම ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගත හැකිද යන්න ගැටලුවක් ලෙස ඉදිරිපත් වි තිබේ. මේ පිළිබඳව වැඩි දුරටත් විමසීමේදී හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එය ජනාධිපතිවරයා ගේ අභිමතය පරිදි සිදුවනු ඇති බවයි.

පවත්නා වසංගත තත්ත්වය යටතේ, දැනට තීරණය කර ඇති ජූනි 20 වෙනි දින ද මහා මැතිවරණය පැවැත්විය හැකිද යන්න ගැටලුවකි. කොරෝනා මර්ධනය හා සහන සේවා සඳහා විශාල මුදල් පරිත්‍යාග ලැබී ඇති බවද මාධ්‍ය ඔස්සේ කියැවේ. එම මුදල් වියදම් කිරීම පිළිබඳ නීත්‍යානුකූල සැකැස්මක් තහවුරු කිරීම අත්‍යවශ්‍යය. රජය විසුරුවා හැර තිබෙන අවස්ථාවක, චීන රජයෙන් ණය මුදලක් ලබාගැනීමට කටයුතු කිරීම පිළිබදවත් විවේචන මතුවේ.

පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවට නීති තර්ක මතුව ඇති අවස්ථාවක, රාජ්‍ය මුදල් සිය අභිමතය පරිදි දීර්ඝ කාලීනව වැයකිරීමේ හැකියාවක් ජනපතිවරයාට නොමැති බව පැහැදිලිය. පාර්ලිමේන්තුව රාජ්‍ය පාලනයේ නීති ආයතනය පමණක් නොව මූල්‍ය පාලනයේද උත්තරීතර නීතිමය ආයතනයයි. රටක මූල්‍ය පාලනයේ බල අධිකාරිය නිහඬ කිරීම ප්‍රජාතන්ත්රවාදී පාලනයකට අභියෝගයකි.

ප්‍රියන්ත සිල්වා

සබැදි ලිපි

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.