ජාතිවාදී මැරයන් දමනය කළ මොහොතක්!

සේයා - අන්තර්ජාලයෙන්

2006 අගෝස්තුවේ ‘නිනව්ව’ ලිපි පෙල සදහා බාහු සහෝදරයා විසින් ලියන ලද පහත ලිපිය ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමු.

බුදු හාමුදුරුවො සැවැත් නුවර ජේතවනාරාමයේ, පසලොස්වක පෝය දිනයක බණ කියන්නට සැදී පැහැදී ලෑස්ති වුනත් බන පටන් ගත්තේ නෑ. ආනන්ද හාමුදුරුවෝ ඇහුව එහෙම නිශ්ශබ්දව ඉන්නේ ඇයි කියල. බුදු හාමුදුරුවො කිව්ව මෙතැන නොගැලපෙන භික්ෂුවක් ඉන්නව කියල. මුගලන් හාමුදුරුවො කා ගැනද කියන්නෙ කියල දැක්ක. එහෙම දැකල උන්වහන්සේ එම දුස්සීල භික්ෂුව ලගට ගිහින් කිව්ව මෙතන ඉන්න බැහැ යන්න කියල. දෙසැරයක්ම එකම කිව්වත් එම දුස්සීල භික්ෂුව ඉවත් වුනේ නැතුව වාඩි වෙලාම හිටිය. එතකොට මුගලන් හාමුදුරුවෝ ඔහුගෙ අතින් අල්ලා ඇදල එලියට දමල දොර වහල යතුරුත් දමල ඇවිත් බුදු හාමුදුරුවන්ට ආරාධනා කළාමයි බුදුන් බන දේශනාව පටන් ගත්තේ. එදා බුදු හාමුදුරුවො පෙන්නල දුන්න භික්ෂුවක් වුනත් යම් සභාවකට නොගැලපෙනව නම් එයා බලෙන් හෝ ඉවත් කරල සභාව පැවැත්විය යුතුයි කියල. සච්චක කියන බමුණා ඇවිත් බොරු වාද විවාද වලින් දහම් සභාව අවුල් කරන්න හදන වෙලාවෙත් බුදුන් නිහඩ වුනා. එතැන හිටපු යක්ෂ ගෝත්‍රික (ද්‍රවිඩ වංශ) උපාසකයෙක් මුගුරක් අරගෙන සච්චකව නිහඩ කරල එලියට දැම්ම. එතකොට තමා බුදුන් නැවත දේශනය ආරම්භ කළේ. ඒ අනුව සභාවක් අවුල් කරන්න, ගෝට්ටි කරන්න ආවොත් ඒ අය දමනය කරල, ඉවත් කරල සභාව ගෙන යා යුතු බවට බුදු හාමුදුරුවොම අපට ආදර්ශ දීල තියෙනවා.

එදා 2006 අගෝස්තු 17 විහාරමහාදේවි විවෘත රග හලේදී පැවතුනු සාම රැලියට කඩා පැන්න යුධවාදී, ප්‍රචණ්ඩ භික්ෂූන්වත් එම ක්‍රමයට ඉවත් කරල රැලිය පැවැත්වීමට අපි කටයුතු කළා. මයික්‍රෆෝන් භාර කාර්මික සහෝදරවරු ඇතුළු සුළු සංවිධායකයින්ට හයිරං දමමින් පහර දෙමින් මේ යුධවාදී ප්‍රචන්ඩ භික්ෂූන් ඇතුළු කාණ්ඩය චමිල් ජයනෙත්ති ඇතුළු පිරිස ඉදිරියට එනකොට කේසර සිංහයන් දුටු නිවට නරි රැලක් වගේ පසු බැහැල දමනය වුනා. ඊට පස්සේ රැස්වීම ඉතා සාර්ථකව පැවැත්වුනා.

මුලින් රැස්වීම පටන් ගත්ත වෙලාවෙ එඩ්වඩ් සහෝදරය මට දැන්නූවේ මට කථාවක් නැතිය කියලයි. ශ්‍රී ලනිප මැති ඇමතිවරු විරුද්ධ නිසා මට කථාවක් දෙන්න බෑ කිව්ව. හැබැයි අපි පෙරාතුවම දන්වල තිබුන යුධවාදී මහින්ද මහත්තයට අපි විරුද්ධත්වය ප්‍රකාශ කරන බව. මේ විදියට අපේ කථාව කපනව කිව්වම අපිට සභාවෙන් යන්න වෙනව කියල වේදිකාවෙන් ඉවත් වෙලා ගියා. එතැන සිටිය අනෙකුත් වමේ අයගේ පෙරැත්තය උඩයි ආපහු ආවේ. මෙන්න බොලේ අපි ආපහු එනකොටම තමයි කලින් සදහන් කරපු යුධවාදීන් කඩාපැනල වේදිකාවට අල්ලගන්න දගලනවා. එතකොට අපිත් සමග අනෙකුත් වමේ උදවිය එකට එකතු වෙලා, සියලු දෙනාම වේදිකාවට නැගල මේ යුධවාදී ප්‍රචණ්ඩ භික්ෂූන් හා මැරයන් මෙල්ල කරල දමනය කරන්න කටයුතු කළා.

ප්‍රචණ්ඩ මිනීමරුවන් භික්ෂූන් අතර සිටියේ අද ඊයේ නොවෙයි. බුදුන් සමයේදීම දේව දත්ත භික්ෂුව, බිම්සර රජුව කුමන්ත්‍රණ කර මරා දැමීමට කටයුතු කළා. බුදුන් මරා බුදු වීමේ මෝඩ අදහස උඩ බුදුන් මැරීමට විවිධ දේ කළා. බුදුන් වහන්සේ මේ කුමන්ත්‍රණ වලට බිය වී පළා නොගොස් මුහුන දී ඒවා ව්‍යර්ථ කළා. ඒත් අවසානයේදී ජේතවන පොකුණ ලග මඩ වගුරක එරී මිය යන තෙක් භික්ෂුවක් ලෙසම දේවදත්ත ජීවත් වුනා. අන්තවාදී අදහස් දනවා මිනිසුන් රවටා භික්ෂූන් පිරිසක් සමග කල් ගෙවීමට ඔහුට හැකි වුනා. මේ අනුව බැලුවහම අන්තවාදී ප්‍රචණ්ඩ භික්ෂු පරපුරේ ආරම්භකයා දේවදත්ත යි. නූතන දේවදත්ත අනුගාමිකයින්ට දිය යුතු නිසි පිළිතුරු 17 වැනිදා ලැබුන බවයි මට නම් කියන්න තියෙන්නේ.

එදා අපි පෙළපාලියට සම්බන්ධ වුනේ මහින්ද චින්තනයේ ඇති යුධවාදී මර්දනය හා උද්ධමනකාරී ලක්ෂණයන් පෙන්වාදෙන අදහසින්. මේ බව අප මුල සිටම සදහන් කර තිබුනා. ඒත් රැස්වීම පටන් ගත්ත වෙලාවේදී සංවිධායක සහෝදරයෙක් මට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් මට කථාවක් දෙන්නේ නම් වේදිකාවෙන් බැස යන බවයි. මෙය වළක්වාලීම සදහා මට කථාවක් දිය නොහැකි බව ඔහු දැන්වූවා. මේ ගැන වේදිකාවේ මා ලග පාත සිටි සෑම දෙනාටම දන්වල ඒ වේදිකාවෙන් ඉවත් වෙලා ආවා. මේ ගැන දැනගත්ත හුග දෙනෙක් මට කථාවක් දිය යුතු බවට බලපෑම් කළා. ජයතිලක බණ්ඩාර, X කණ්ඩායම, හිරු කණ්ඩායමට අයත් සහෝදරවරු, කම්කරු එකමුතුව ආදී වමේ පිරිස් අපේ සහෝදරවරුන් සමග එකතු වෙලා සංවිධායකයන්ට බලපෑම් කිරීමේ අදහසින් වේදිකාව දෙසට ආවා. මේ අවුල අස්සේ තමයි මේ අන්තවාදී ප්‍රචණ්ඩ භික්ෂූන් වේදිකාවට පැනල, ඒක අල්ලගන්නට ලෑස්ති වුනේ. නමුත් ඒකට ඉඩ ලැබුනෙ නෑ. විශේෂයෙන්ම මගේ කථාව කපපු එක වැරදියි කියල ආපහු වේදිකාව දෙසට ආපු වමේ සටන්කාමී පිරිසම තමා මේ අන්තවාදී ප්‍රචණ්ඩ භික්ෂු පිරිස මෙල්ල කිරීමට කටයුතු කළේ. ඒ වෙලේ චමිල් ජයනෙත්ති ඉතාම ආදර්ශමත් නායකත්වයක් සැපයූවා. ඒ විදියට ක්‍රියා නොකළ නම් එම සාමකාමී රැස්වීම තියන්නට ඉඩ ලැබෙන්නේ නෑ. අන්තවාදී භික්ෂූන් හා මැරයන් ඉවත් කළාට පසුව රැස්වීම නිසි ලෙසට ගෙන ගියා. මට වේදිකාව මැදම අසුනක් ලැබුනත් අර කියපු ඇමතිවරු ඒක ප්‍රශ්නයක් කර නොගෙන තමන්ගේ කථාවල් පැවැත්වූවා. මං අන්තිමට කථා කළේ මහින්ද රාජ්‍යයේ ජාතිවාදී, මර්දනකාරී හා උද්ධමනකාරී ලක්ෂණ ගැනත් සදහන් කරල. හොද ප්‍රතිචාරයක් මිසක් විරුද්ධත්වයක් නම් මට පෙනුනේ නෑ. මේ සිද්ධිය තීරණාත්මක බලපෑමක් සමාජයට එල්ල කළා. එදා සටන්කාමී ලෙස ඉදිරියට ඇවිත් වේදිකාව බේරගත්තේ වැඩි වශයෙන්ම අගෝස්තු 4 ව්‍යාපාරයට සම්බන්ධ කම්කරු නායකයෝ කියල කිව්වොත් නිවැරදියි.

පංති ව්‍යාපාරයේ අවදිවීම නිසාම රටේ ජාතිවාදීන්ට ලොකු අභියෝගයක් එල්ල වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාම බලවේග ඉදිරියට ඇවිත් ජනතා විමුක්ති පෙරමුණ හා හෙල උරුමයට බලපෑම් එල්ල කරන බව පෙනෙනවා. මේ අවස්ථාවේ ගෝලීය ධනවාදය හා ලංක‍ාවේ ඉහල පැලැන්තීත් හදන්නේ ජාතික ආණ්ඩුවක් හදල කොටි සංවිධානය සමග බලය බෙදා දීම ගැන සාකච්ඡා අරඹන්න. ඒ අතරම ආරක්ෂාව සදහා යැංකි හමුදා හෝ වදුරු හමුදා ගෙන්වන්නටත් යටි සැලසුමක් දමනවා. මේ එන්නේ වාමාංශික ජනතාවට විරුද්ධ සිවිල් යුද්ධයක් බව අලුතෙන් මතක් කරන්න අවශ්‍ය නෑ.

– බාහු –

You may also like...

1 Response

  1. 2020-05-24

    […] ජාතිවාදී මැරයන් දමනය කළ මොහොතක්! […]

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.