ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව සමාජවාදය පිහිටුවීම
මේ දවස්වල දේශපාලනයට ගැලපෙන අදහස් පමණක් ලියන්න සිද්ද වෙලා තිබෙනව. මේක කරුමයක් නිසා මන් මැළි කළත් යාළුවො කියනවා කොතැනක හරි දමාගන්න පුළුවන්, ඒ නිසා ලියන්න කියල. අනෙක් අතට මන් ගැන හිතවත් විදියට හිතන ලොකු පිරිසක් ඉන්නවා වගේ කියල හිතන්න පුළුවන් මේ යන අදහස් කැරකැවිල්ල දිහා බැළුවහම. සමහරු මට ලැජ්ජ හිතන තරමට ගරු කරනව. මන් අකමැතියි වර්ණනා වලට. ඒක මට පොඩි කාලේ ඉදල තිබුණ ගතියක්. පොඩි කාලෙත් මට ස්කෝලේ වැඩ ගැන වර්ණනා ආවහම මගේ මුණ රතු වෙනව කියල අම්ම කිව්ව. හැබැයි අම්මා මන් එයාගේ අදහස පිළිනොගන්න නිසා කිව්වේ මේකා නම් හැදෙන එකෙක් නොවෙයි කියලයි. හැබැයි ඉක්මණටම ඇයට ඒ අදහස වෙනස් කරගන්න වුනා. අයියා වගේම මමත් ලෝකේට වැඩක් ඇති දෙයක් කළා කියල පිළිගන්න වුනා. අක්කා නංගිත් ඒ වගේම යහපත් ජිවිත ගෙවනව හොදට දරු මල්ලන් ඇතිව. ගුරු දෙමාපියන්ගේ දරුවෝ මොන විදියකින් හෝ රටට සමාජයට යහපත් දෙයක් කරන එක මේ රට තුළ පෙනෙන ලක්ෂණයක්. සරසවි වල ඉගෙන ගන්න ලමයිගේ පවුල් දිහා බැළුවහම ලොකු කොටසක් ගුරු දෙමාපියන්ගේ ළමයි. සරසවි වල ලොකු සටන් කාමීත්වයක් ඇති වෙන්නේ ඒ උඩයි. ගුරු ගෙවල්වල අදහස් වලට ඉඩ ලැබෙන වාද විවාද ඇති වන පරිසරයක් තියෙනව. ඒ නිසාම ගුරුවරුන්ගේ දරුවො නිකම් කිව්ව පලියට යමක් බාර ගන්නේ නෑ. හොයල බලල තමා වැඩයට බහිනව නම් බහින්නේ.
පාර තොටට බැහැල යන විටත්, එමට අය ඇවිත් කථා කරනව, හායි සර් කියන්නත් පෙළඹෙනව. හැබැයි සහෝදරයා කියනව අඩුයි. එ් ආමන්ත්‍රණය දැන් සම සමාජ කාරයින්වත් තදට ගන්නේ නැති නිසාදෝ එය පල්ලම් බැහැල. ඒත් මගේ පක්ෂයේ සම සමාජකාරයෝ නම් සම සමාජ පිළිවෙතට සහෝදරයා කියල කියනව. තවත් සමහරු ඇදයටත් සහෝදරයා කියල කියනව. ආ සහෝදරයා කියල ඇදල කථා කරනව. ඒ හොද හිතින්ද නැතිනම් සමච්චලයට කියනව ද කියල වෙන් කරන්න අමාරුයි. කොයි එකටත් මන් ලොකු හිනාවක් දමල ”හොදින් ඉන්නව සහෝදයා” කියල නියම පිළිතුර දෙනව. ජනතා විමුක්ති පෙරමුණ ‘මහත්තයෝ’ කියන වචනය ගොඩ නගන්න උත්සාහ කළත් එය බැහැල ගියා. පසුව ‘සහෝදරයා’ කියන වචනය ජවිපෙ පිළිගත් නිසා හයිය වැඩි වුනා කියල හිතෙනව. ඉංග්‍රීසියෙන් කොම්රෙඩ් කියන වචනයට වඩා ගැලපෙන්නේ සහෝදයා කියන එක තමා. ”යාළුවා” කියල කිව්වත් දේශපාලන හයිය එයින් ලැබෙන්නේ නෑ. මොකද සහෝදරයා කිව්වමහම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ඉබේම ඇති වෙනව. ඒ ඇමතුමෙන් කුල භේධය, ආගම් භේධය එක පාරටම දිය වෙලා යනව. එය ලොකු දෙයක්. එදා සම සමාජ කාරයින් කරපු එක විප්ලවයක් එය තමා. ඔවුන් ඇත්තටම හරි දේ කළා. නමුත් පසුව පසු බැස්සා. සිංහල පමණයි යන අදහසට එඩිතරව මුහුණ දුන්නා. ඒ වුනත් පසුව ඒ සිංහල වාදියොම, සමාජයට අලුත් විදියකට සමාජවාදය ගෙන එන්න පටන් අරන් කියල ඔවුන් සමග පිස්සු ගමනක් ආරම්භ කළා. එයින් ඒ පක්ෂ දෙකම කැඩිල බිදිල ගියා. තවමත් සමහරු සිංහල පමණයි කියන ෆැසිස්ට්වාදී රැල සමග හවුල් වෙලා බොරු බේගල් ඇදබානව. මෙයින් වන පාඩුව ඉමහත්. මේ රටට අද දින සමාජවාදය ගොඩ නගන්න බැහැ. වාමාංශිකයන්ට බලය එකවර ගන්නත් බෑ. ට්‍රොට්ස්කි – ලෙනින් දෙදෙනාම කිව් ලෙසට ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වැඩ කොටසින් පටන් ගත යුතුයි. ඒ සදහා රට එක්සත් කිරීමට සූදානම් ධනපති බලවේග සමග එකට සටන් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, නිදහස මේ තුනම එකතුවෙලා තියෙන්නේත්, එය ධනපති ක්‍රමයට ප්‍රකාශ වී තිබුනේත් එක්සත් ජාතික පක්ෂය තුලින්. එම නිසා එය තුළ මුස්ලිම්, දෙමළ ජාතීන් දිගටම ගොනු වෙලා හිටිය. අදත් සිටිනව.
”සිංහල පමණයි” යන්න හා ”එක්සත් ජාතියක්” යන ධාරා දෙක එදා ඉදල අද දක්වා ධනපති දේශපාලන ධාරාවන් ලෙස ගලා ගෙන එනව. පැරණි වාමාංශික නායකයෝ කරපු ලොකුම වැරැද්ද සිංහල සමාජවාදයක් සදහා සිංහල ධාරාවට එකතුවීම. සිංහල සමාජවාදය කියන අදහසම වංචාවක්, බොරුවක්, ප්‍රජාතන්ත්‍රවාදයට පවා එම අදහස විරුද්ධයි. මේ නිසා වාමාංශික ව්‍යාපාරයම විනාශ වුනා. මේ ජාතිවාදී බොරුවට ජනතා විමුක්ති පෙරමුණ ඊටත් වඩා ජරා විදියට කර ගැසුව. ’88 දේශප්‍රේමී සටන අමු සිංහලවාදී, දෙමළ අයිතියට විරුද්ධව ගෙන ගිය සටනක්. එය කොටි සංවිධානයටත් වඩා පහලයි. මොකද කොටියා සටන් කළේ පෑගෙන ජාතිය වෙනුවෙන්. ජවිපෙ සටන් කළේ සුළු ජාතියේ අයිතිය විනාශ කිරීමට. දෙමළ ජාතියේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා මට ජවිපෙ දුන් තැග්ග උනේ බඩ කැවුතු කඩාගෙන යන්න තියපු වෙඩි වැලක්. අනූ නමයෙන් බේරුනේ. අපරාදෙ විජය මට පෙර ඒ ගමන ගියා. දේශපාලන ආසාවෙන් ආපු ලිබරල් තරුණයන්ගේ, ධිවරයන්ගේ වේදනාවන් එළි කිරීමට ඔහු උනන්දු වුන කෙනෙක්. චන්ද්‍රිකාටත්, ඇගේ දරුවන්ටත් ඔහුගේ ඝාතනයෙන් වුනේ ලොකු පාඩුවක්.
මේ රට තුළ වමට ඇති කටයුතු මොනවද කියල හොදට අධ්‍යයනය කරල, පහදා ගෙන දැනුවත් කම ඇති කරගත යුතුයි. සමාජවාදී විප්ලවය හැදෑරුව පලියට ම එයට ඇතුල් වෙන්න බෑ. එහෙම කළ විප්ලව, රුසියාව ඇතුළුව, අද කොහෙද තියෙන්නේ. ඒ තමා නිර්ධනින් අතට බලය ආවත් බලෙන් සමාජවාදය වදන්න බෑ කියන සත්‍යය. එය මේවායින් යලි යලිත් ඔප්පු කෙරුණා. ඒක හොදටම අපට රුසියාවෙන් පෙනනව. අප කළ යුත්තේ ඒවාට ඇතිවූ බැරිකම හොදට හදාරා අඩියෙන් අඩිය සමාජවාදයට යන ගමන හරියටම දැන අදුනා ගැන්මයි. එහෙම නැතිව සමාජවාදයට යනවා කියමින් ඒකාධිපතිවාදී මර්ධන රාජ්‍යයක් ජනයා උඩ පැටවීම නොවෙයි. පුද්ගලික දේපොල නැති කළ පමණින් වෙළදපොල නැතිවෙලා ඉබේම සමාජවාදය ඇති වෙන්නේ නැහැ. රුසියාව, චීනය දෙකෙන්ම මෙය පෙනී යනව. මේ රට තුළත් ඔය විදියට සමාජවාදයට යන්න ගිහින්, දැන් අපිට අන්තිමට මුහණ දෙන්න වෙලා තියෙන්නේ ෆැසිස්වාදී රාජ්‍ය මර්ධනයකට. සමාජවාදී ගමනක් කියමින් ගෝඨාබයට මතු එන මහ මැතිවරණයේ දී මුළු බලයම ලබා දීමට අමුඩ ගැසීම විහිළුවක්. එය විපතකින් නිම වන විහිළුවක්.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
2020 පෙබරවාරි 26
2 Responses
[…] […]
[…] […]