බුදු දහම හා එල්ලා මැරීම
බුදු බණ අහන, බුදු බණ අදහන අයම මිනිස්සු එල්ලා මැරීම ගැන කථා කරන එක දැං විහිලුවක් වෙලා.
අපරාධ කළ උදවියට දණ්ඩ නීති පනවන එක ගැන බුදු බණේ කියල නෑ. බුද්ධ මතය සෑම මිනිසෙකුටම අඩු වැඩි වශයෙන් නිවන් මගට මාවත පාදා ගන්නා හැටි කියන්නයි. මිනිසා මරා කුසලයක් ගන්න පුලුවන් කියල බුදු බණේ කොතැනකවත් සදහන් කරල නෑ. දුර්ජන මිනිසාගේ සිතත් යම් ක්‍රමයක් තුළ යහ මගට ගත හැකිය කියන මතය තමා බුදුන් දේශනා කළේ. ඒ අනුවයි දෙව්දත් තෙරුන් ගැනත් බුදුන් සිතා බැලුවේ. යහ මගට ගැනීම ඇර වලපල්ලට ඇදීමේ කථාවක් බුදු බණේ නෑ කියල තමයි දැන උගත් අය කියන්නේ. ලෝකය පලිගැනීමෙන්, එකට එක කිරීමෙන් හරිගැස්සිය යුතු බව කියන්නේ පැරණි දේව කතා වල මිසක් නූතන ඇදහිලි වලවත් නොවේ. ඒ නිසා මේ වැරදි කථාව නැවත නැවතත් වමාරණ උදවිය ඒ අය විශ්වාස කරන විදියටම අපාගත වන්න දගලන්නවුන් ලෙස හංවඩු ගැහෙන එක වලක්වන්න බෑ. අද බුද්ධිමත් මතය වී තිබෙන්නේ මේ සිරගත උදවිය වැරදි කරනව නම් එයට මගපාදන හා හවුල්වන බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවයි. ඇත්තටම නීතිය අනුවත් සිරගත කල කෙනෙක් චෝදනාවනට ලක්වෙනවා නම් ඒ ගැන විධිමත් පොලිස් පරීක්ෂණයක් සමග උසාවි තීන්දුවකට යොමු කළ යුතුයි. නිකම්ම ජනපති තීන්දුවක් උඩ පෝලිමේ මරාගෙන මරාගෙන යාමට කිසි ඉඩක් නැති බව නීතිධරයන් ප්‍රකාශ කරල තියෙනව.
මාත් හිරගෙවල් හතරක ඉදල තියෙන නිසා හිරකරුවෙකුට ලැබෙන ඉඩකඩ ගැන කල්පනා කරල කරුණු කියන්න මට පදනමක් තියෙනව කියල කියන්න ඉඩක් තියෙනව. ඇත්ත තමයි. මං දඩුවම් විදල අච්චු පිට හිරගෙදර හිටියෙ නැති නිසා අච්චු ලද අයගෙ මුලු රාමුවම දන්නෙ නෑ කියන්න පුලුවන්. ඒත් ඒ හිර ගෙවල් වල සිටියදී අච්චු අයත් එකට වැටුන තත්වයන් මතුවෙලා තියෙනව. ඒ උඩ හිරකාරයන් ගැන අපට තත්ත්වය බලාගන්න ලැබුන. අපට වඩා දැඩි නීති රාමුවක් තුළ අච්චු කට්ටිය වැඩ කළේ. පොඩි වැරදි දෙයක් හෝ අහු වුනොත් ඒ අයට දැඩි දඩුවම් විදින්න සිදු වුනා. ඒ අනුව හරියටම ක්‍රියාත්මක වෙනව නම් කුරා කූඹියෙක් වත් ඇතුල් නොවන වට කිරීමක් හා ආරක්ෂක සංවිධාන මේ තැන්වල තිබිය යුතුයි. එසේ නම් මේ කියන විදියට මරණ බියෙන් සිටින හිරකරුවන් පිටත ලෝකය සමග ගනුදෙනු කරනවා කියන ප්‍රශ්නයට පිළිතුර හිරගෙවල් තුළින්ම ලැබිය යුතු වැදගත් මූලික කාර්යයක් ලෙසට මෙසේ ස්ථානගත කරන්න වෙනව. මේ අනුව හිරගෙවල් වල පාලනයේ බිදුන තැන් වලින් පිටස්තර ලොව රිංගන එක හිරකර ගැනීමට ලොකු ඔපරේෂන් කරන්න වෙනවා.
දරුණු වද හිංසා සහිතව මරණ දණ්ඩනය පැවතුන කාලවලත් සමහර සාපරාධී දේවල් එලියේ සිදුවුනේ නිලමක්කාරයන්ගේ උවමනාවන් උඩ පියවර ගැනීමෙන් බව ඉතිහාස කතා වල තියෙනව. එදාට වඩා අද සියලු සාපරාධී කම් නවතා දැමීමේ හැකියාව මතුවෙලා තියෙනවා. එහෙම තිබියදී එය බිදගෙන ඔවුන් වැඩ වැඩ කළේ කුමන තත්ත්වයන් මතද? මෙය මේ තැන්වල උනා කිව්වත් ඊට ඉහලට ගෙනියන්න පුලුවන් සුපරික්ෂාකාරී ලෙසට කටයුතු කිරීමෙන්. මෙතැනදී ප්‍රශ්න අසන ක්‍රමයත් උදව් විය හැකියි. කොහොමත් මේ පුළුල් සොයා බැලුම් වල අවසන් තීරණය අනුව තමා මේ ලෙසට අරගෙන නීතිය තද කරන්න හැකි වන්නේ. ඒ වුනත් දැන් ජනමාධ්‍ය තුළත් මෙය විවෘත සාකච්ඡාවට අරන් ඉවරයි. ඒ පැත්තේ නිගමණය ලෙස පෙනෙන්නේ ඒ විදියට මරා දැමීම වැඩකට නැති වැඩක් බවයි. පාලකයාම තමා මේ දඩුවම ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙන්නේ කියා පෙන්වා දී තිබුන.
තමාට ඇති වූ දැඩි කනස්සල්ල තුළ මෙවැනි යෝජනාවක් ජනාධිපති ගෙන ආව කියන කථාව උඩ බැරෑරුම්ව හිතන පිරිසක් වෙන්වෙලා කියල ආරන්චියක් ආව. මෙවැනි කටයුතු මගින් පාර්ලිමේන්තු බලය අහුරල ගෙනයාමට අවස්ථාවක් ගොඩ නගනව කියල සැක ඇතිවෙලා තියෙනව. කෙසේ වෙතත් සංවාදය පහලට බැහැල කියල අපට කිව හැකියි. එය හොද දෙයක්. ප්රජාතන්ත්රවාදී බලය ජන බලයෙන්ම පැහැදිලි විය යුතුයි. ඒ සදහා තවදුරටත් පෙලපාලි, උද්ඝෝෂණ ආදී ක්‍රියාවන් දක්වා ජනතාවට ගිය හැකියි. එවිට පාර්ලිමේන්තුවට එ් අනුව තීන්දුවක් දීමටත් හැකියාව තිබෙනව.
සමාජය යහමගට ගැනීමට ලේ හලන වදහිංසා අවශ්‍ය නෑ කියල තමා විදුදරයන් කියන්නේ. එම අදහස ඇතිවුනේ එදා සමාජයේ තිබුන සීලාචාර සාරධර්ම මේ වධහිංසාකාරී දඩුවම් නිසා යම් ලෙසට බිදවැටුන නිසයි. ඇත්තටම යහපත් රජයක් තිබෙන විට මෙවැනි අයහත් දැය දේ පහල වැටුන බවයි වාර්තා වී තිබෙන්නේ. ශක්තිමත් ගරු කටයුතු පාලකයන් ඇත්නම් ඒ අනුව නීති කැඩීමද පහල වැටෙනවා. ජනයා නීතියට අවනත නොවී එය සමාජගත කරන්නේ පාලනයේ හිස් බව දැනුන අවස්ථා වලදීයි. අඩමාන පාලනයන් තුළින් නීතිය සාධාරණත්වය ඉවත් වන බව නූතන ඉතිහාසය තුළත් අපට පෙනෙනවා. එසේ නම් අද අපට අවශ්‍ය මරණ දඩුවම නොවෙයි. ගරුකටයුතු පාලනයක් තහවුරු කිරීමයි. මිනීමරු, වංචාකාර පාලකයන් එලවා දමා ඇත්ත යුත්තට හිස නවන්නට ජනතාවගේ ඇති සූදානම ඔප්පුකර තිබෙන බව පැහැදිළියි. එම තත්ත්වය දැඩි සේ ස්ථීර කරන්න අවශ්‍යවන්නේ සීලාචාරකම රජ කිරීමයි.
2018.07.24
ලක්බිම “නිනව්ව”
2 Responses
[…] බුදු දහම හා එල්ලා මැරීම […]
[…] බුදු දහම හා එල්ලා මැරීම […]