පුනරුත්ථානය හා කර්ම ඵල දීම….
මේ ජීවිතය තුළ තමන් කරන දේට මෙහිදී ම ලැබෙන ප්‍රතිඵල වලට අමතරව, හොද නරක බලා යම් පලිසන් දීමක් තියෙනවා කියල හිතන අය වැඩියි. ආගම කෝක වුනත්, තමන් හොද කළොත් තමන්ටත් හොදක් කොයි වෙලේ හෝ හොදින් සිදු වෙනවා කියල හිතනවා. ඒ වගේම නරක කළොත් නරකත් ලැබෙනව කියල හිතනව. ඔවුන් ඒ වෙනුවෙන් වගකීම දෙන්නේ දේව බලයකට නැතිනම් නොපෙනෙන, නොදන්න කර්ම ඵල දීමකට. යථාවාදීව හිතන අය ඒ වගේ නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන්නේ නෑ. ඒ අනුව හොද කළත්, නොකළත් පෙනෙන ඵල විපාක ඇර වෙන දෙයක් නෑ කියල විශ්වාස කරනවා. ඇත්තට සමාජය තුළ හොද නරක අනුව ඵල දීමක් සිදු වෙනවා, පාලන අධිකරණ වැඩ පිළිවෙලක් තුළින්, එසේම සමාජයෙන් ලැබෙන පිළිකුල නැතිනම් ආදරය අනුව. මෙයින් පෙනෙන්නේ හොද නරක සටහන් වීමක් සමාජය තුළ තිබෙනවා. ඒ ගැන පසු විපරමක් ඇතත් නැතත් සමාජගත වීම තුළින් පලදීමක් තියෙනවා. ඒ අනුව සමාජ විඥාණය තුළින් ඒ ඒ අයගේ කෙරුවාවල් සටහන් වෙනවා කියන්න පුළුවන්. ඇත්තටම භෞතික ලෝකය තුළ ඇති සටහන්, කියුම් කෙරුම් ලෙසට වචන වලින්, ලියවිලි අතරින්, ගොඩ නැගීම්, කපා දැමීම්, ඇති කිරීම් මේ ආදී සියල්ල බඩු බාහිරාදියෙන්ම තිබෙන අතර ඒ ඒ අයගේ මතක සටහන් තුළින් පුද්ගලයා පවතින බව කිව හැකියි. මිනිසාගේ ජීවිතය සමාජ භාවිතය තුළට ඇතුල්වී, සමාජයෙන් නැවත එන බලපෑම් ලබමින් ගමන් කරන බව කිව හැකියි.
ඒ අනුව බුදුන් පවා අද අප අතර සිටිනවා, සමාජගත කිරීම් තුලින්. මේ ඉන්නවා, මේ බණ කියනවා, මේ දානෙ වලදනවා යනුවෙන් ඵලදීමක් තිබෙනවා. එය අද්භූතයක් නොවෙයි, සමාජ පළදීමක්. ඒ අනුව ලෝකේ ප්‍රසිද්ධ උදවිය – ඇරිස්ටෝටල්, අසෝක රජතුමා, ජුලියස් සීසර්, මේ හැමම යලි ඉපදෙමින්, සමාජ ගතව ගමන් කරන බව කිව හැකියි. එයම සෑම පවුලකම මුතුන් මිත්තෝ ගැනත් කිව හැකියි. එම පලදීමට අමතරව වෙන පළදීමක් යථාවාදීව පිළිගන්න බෑ. කර්ම ඵල විපාකය ඒ ලෙසට මුදුන්පත් වෙනවා. බුදුන් මෙන්ම ක්‍රිස්තු, මහමත් මේ ලෙසට මිනිස් සමාජය තුළ සැරිසරමින් ඵල දෙන්නන් බවට පත් වෙලා. එයම මාර්ක්ස්, ඒංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි ගැනත් කිව හැකියි. ලෙනින් ඒ අපි දන්න අපි කථාබහ කරන කෙනෙක්. ඔවුන් අප මගින්ම අප සමග කථා කරනවා, විවාද කරනවා, අපව අලුත් කරනවා. මේ සියල්ලෝම මුළු මිනිස් සමාජයෙම අප ඉදිරියේ ඵල දෙන උදවිය.
ඒ අනුව බැලුවහම තමන් ආදරය කළ, ගරු කළ කෙනෙක් පන ගැන්වීම තමන්ට කළ හැකියි. ඒ තම නැතිවුනා කියන තැනැත්තාගේ ගුණයන් සමාජගත කිරීම තුළිනුයි. බොහෝ අය නැතිවුන අය ගැන සමරු උත්සව පවත්වනවා. ඒත් මිය ගිය, නැතිවුන තැනැත්තා ඇත්ත ඇතිසැටියෙන් පිහිටුවීමට නම් ඔහුගේ පෙනුම, කටහඩ, ගීත හා කථා, ඔහුගේ මතකයේ සටහන් ඉදිරිපත් කළ යුතුයි. එමගින් එතැන පිහිටු විය යුතුයි. බුදුන් සිහි කිරීම ගැඹුරු බනක්, පිරිත් මගින් යලි සිදු වෙනවා. ඒවා ඒ උවමනාව තුළ කළ යුතුයි. නැත්නම් ඒ පින්කම නැතිවී ගිය නෑදෑයන්ට වැඩක් නෑ. බුදුන්ට වැඩකුත් නෑ. මේ ලෙස එය ගෙනයාමට බොහෝ හාමුදුරුවරු මේ යුගයේදී උත්සාහ කරන බව පෙනෙනවා. ඒ විදියට බුදුන් දුන් ක්‍රමය තුළ සමාජගත දැනුම නැවත නැවත සිහිපත් කිරීම සිදු වෙනවා. නමුත් සමහර තැන්වල එය නිකම්ම නොදන්න පිරිතකට හා ඉන්ද්‍රජාල පිංකමකට යොදා ගැනීම ලොකු විහිලුවක්. ඇත්තටම බුදුන් සමාජගත ලෝකය තුළින් එළියට ගැන්මත්, මියගිය සොයුරා යලි පිහිටුවා ගැන්මත් සමාජය තුළින් කළ යුතුයි. මොන ආගම වුනත් එලෙසට යථාගත කිරීමට පත් කළ හැකැයි. එය කළ යුතුයි.
මේ විදියට දේශපාලන ලෝකය තුළ දේශපාලන පල විපාක අපට ගොඩ ගත හැකියි. උදාහරණයකට වාසු මට සිහිපත් කරගත හැකියි, එදා හිටපු හැටියට. ඒ ගැන විචාරයන් කළ හැකියි. යලි පිහිටුවා ගත හැකියි. ඒත් දැන් ඒ නමින් ඉන්න මිනිසා නම් මට හදුනාගන්න බෑ. ඇත්තටම වෙන කෙනෙක්, මතක නැති කෙනෙක්. මේ ලෙසට කර්ම ඵලය එලියට එනවා. එදා ඔහු කළ දෑ ඵල දෙනවා. මෙදා කරන දේ ඵල දෙන්නේ නෑ. ඔහු වෙන දෙයක් සමාජගත කරලා මට වැටහීමක් නැති ඒසම්බන්ධයෙන්. කර්ම ඵල දෙන්නේ ඒ ඒ ලෙසට, ඒ ඒ සමාජගතවීම අනුව. මේ අනුව බැලුවහම කර්ම ඵල දෙනවා කියන එක ඇත්ත. ඒ සමාජගත මැදිහත්වීම නැත්නම් කර්මය අනුව. ඒ ඒ කර්මයට ඒ ඒ ඵල දීම් තිබෙනවා. වාසුගේ දැන් කර්මය අනුව ඵල දීමත් සමාජගත වෙලා තියෙනවා. එය අපට පෙනෙන්නේ නෑ. දැනෙන්නේ නෑ. කොයි කර්මයත් ඵල දෙනවා. මේ දවස් වල කිහිප දෙනෙක්ම මගේ හොද ගැන කියල ලිපි ලියා තිබුණා. එය ලොකු සැනසීමක්. ඒ කර්මය ඵලදීමක් බව කියන්න ඕනා. මොකද, මං ඉල්ලුවෙත් නෑ, දන්නෙත් නෑ. ඒත් එය සිදු වුනා. සමාජගත පින, එලියට ඇවිත් ඵලදීමක් කළා. එහෙමයි මම වටහා ගන්නේ. මං කළ කී දෙයින් සමාජ ගතවූ පිනක් තිබුණා. එය දැන් ඵල දුන්නා. මෙය භෞතික සිදුවීමක්. නැතිව කුසල අකුසල බලවේගයන් ලෙස – අත්භූත ලෙස ගමන් කරල නෙවෙයි.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
13.02.2020
දිනමිණ පුවත්පතේ පළවිය
- ගැමි ගොවි විප්ලවය නොදුටු වම
- නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු
- ජාතිවාදය අවුස්සමින් චීනට රට පාවා දෙන්න ගිහිං, ඇදි වතත් නැති වෙන ලකුණු
- පැරිස් කොමියුනය හා කම්කරු ගොවි ආණ්ඩුව
- අද ලෝකයේ කාන්තාවන් ඉදිරියට ඇවිත්, ලෝකයේ ජයග්‍රහණය කරා යන මාවත එයයි… – බාහු
- මෝහය, මර්දනය හා ප්රජාතන්ත්රවාදී ඇමරිකන් කම්කරු බලය
- ගෝලීයකරණය – ප්රජාතන්ත්රවාදය හා පොල්පොට් සමාජවාදය
- ලංකාවේ දේශපාලනය සහ ජනතාව
What is the difference between” WEDIBANA “AND” BAHUBANA” ?
Wedi Bana is, when one say something while acting contradictory. But Bahu walk the talk, right?