පැරිස් කොමියුනය හා කම්කරු ගොවි ආණ්ඩුව

සේයා - "TheMilitant" වෙබ් අඩවියෙන්

සටහන

“පැරිස් කොමියුනය හා කම්කරු ගොවි ආණ්ඩුව” මැයෙන් අප අද පළ කරන මේ විශ්ලේෂණය, නව සම සමාජ පක්ෂය තුළ 1980-81 යුගයේ ඇති වූ අභ්‍යන්තර විවාදයකදී හුවමාරු වූ ලියවිලි වල එකතුවෙන් උපටුගන්නා ලද්දකි. 1980.11.15 දාතමින් පක්ෂයේ මධ්‍යම කාරක සභික සුමනසිරි ලියනගේ විසින් “ශ්‍රීලනිප ය ගැන ප්‍රතිප්‍රවාදයක්” යන්න මාතෘකා කොටගෙන ඉදිරිපත් කරන ලද ලියවිල්ල මගින්,  1.“අප යන්නේ කොයිබටද” (1972), 2. වාම ප්‍රවනතාවයේ දෙවන සම්මේලනය සම්මත කළ දේශපාලන යෝජනාව. 3. “පසුගිය සමුළුවෙි සිට” ලියවිල්ල (1979); ඇතුළු පක්ෂයේ මතවාදී ඉතිහාසයට අභියෝග කරන ලදී. එයට පක්ෂයේ ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න ගේ ලිඛිත පිලිතුරු සහිතව ම.ක.ස. තුළ ඇරඹුණු විවාදය දිගට ගලාගෙන ගියේ ය. ඒ තවත් ලියවිලි ගණනාවක් ද හුවමාරු වෙමිනි. අප මේ පළ කරන්නේ මෙම විවාදය සඳහා ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න “කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය” (1981 නොවැම්බර් 03) මැයෙන් ඉදිරිපත් කළ ‘අවසාන’ පිලිතුරෙන් උපුටාගත්, එහි එන එක් පරිච්ජේදයකි.

මෙය අවසාන පිලිතුර වූයේ පක්ෂය මගින් මෙම විවාදය නිමා කිරීමට තීරණය කළ නිසා නොවේ. සුමනසිරි ලියනගේ එදා මෙදා තුර මෙම ලියවිල්ලට පිලිතුරු දීමට සමත් නොවීම නිසා ය. ඒ වෙනුවට තමන්ගේ අදහසට හිතවත් පක්ෂ සාමාජිකයන් පිරිසක් සමඟ වෙනම දේශපාලන ගමනක් ඇරඹීම නිසා ය.

ලීගල් ප්‍රමාණයේ රෝනියෝ පිටු 72 කින් යුත් මෙම ලිපි එකතුව කම්කරු පංති ව්‍යාපාරය තුළ එදා මෙදා තුර රැව්දුන් ඉතාම තියුණු විවාද සම්පන්න සාකච්ඡාවක තත්කාලීන ප්‍රතිරාවයයි. එනම් අඩු දියුණු රටක විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරන ක්ෂණික විප්ලවීය බලය කුමක් ද? විප්ලවයෙන් බිහිවන රාජ්‍යය හා එහි බලකරුවා කව්ද යන්න පිලිබදව වූ මෙම සාකච්ඡාවේ දී, පොදුවේ මෙන්ම; පැරිස් කොමියූනය ජනිත වන කාලය වන විට ප්‍රංශය ද කාර්මික වශයෙන් අඩුදියුණු කෘෂිකාර්මික රටක් ව පැවැති බැවින්, මේ කියන විවාදයේ දී පැරිස් කොමියූනය ඉතා වටිනා අත්දැකීමක් වෙයි. එබැවින් කාල් මාක්ස් ගේ සිට ලෙනින්, ට්‍රොට්ස්කි දක්වා ම විප්ලවවාදී ව්‍යාපාරයට හරස්, පිටස්තර මතවාදයන්ට මෙන්ම විප්ලවවාදී ව්‍යාපාරය තුළම බිහිවන ප්‍රතිවිප්ලවවාදී ප්‍රවනතාවයන්ට පිලිතුරු දීමේ දී පැරිස් කොමියූනයේ අත්දැකීම් යොදා ගනු ලැබීය. මෙතැන්හි දී ද එය එසේ උපයෝගී කොට ගෙන තිබේ.

1980 ජූලි මහා වැඩවර්ජනයේ පරාජයත් සමඟ, ඒ වන විටත් නව සම සමාජ පක්ෂයේ සමහර මධ්‍යම පංතික සාමාජිකයන් තුළ ලියලමින් තිබූ, කම්කරු පංතියේ විප්ලවීය පුරෝගාමීත්වය ගැන අවිශ්වාසය එලිපහලියට ආවේය. අභ්‍යන්තර සාකච්ඡා තුළ මුනු මුනුවක, නැතිනම් හීන් හඬක මට්ටමේ තිබූ ඔවුන්ගේ කථා ස්වරය ඝෝෂාකාරී වන්නට විය. සෞම්‍ය වූ කතා විලාශයන් හා අභිනයන් අභියෝගාත්මක වී ය. එසේ මේ මතවාදය ලියවිල්ලක් බවට පත්ව එලියට ඒමට ශක්තිය ලද්දේ, මේ කම්කරු පංති පරාජය තුලිනි.

තුන්වන ලෝකයේ රාජ්‍ය බලය පිලිබදව සුමනසිරි ලියනගේ මුල් වූ මෙම සූත්‍රයේ මූලික හරය වූයේ, අඩු දියුණු රටවල් තුළ නිර්ධන පංති ආඥාදායකත්වයටත්, ධනපති ආඥාදායකත්වයටත් අතර මැද වූ විප්ලවකාරී බලයක් යම් කාලයකට ස්ථාවර කළ හැකි බවයි. එවැනි අතර මැදි විප්ලවීය අදියරක් ඇත්තේ ය යන්නයි. එය අන්තිම වශයෙන් සැබෑ නිර්ධන පංති ආඥාදායකත්වයක් බවට පත් වන්නේ ආර්ථික ප්‍රතිසස්කරණ ඉටු කිරීමෙන් පසුවය යන්නයි. එසේ නිර්ධන පංති විප්ලවයේ රාජ්‍ය බලයේ ප්‍රාථමික බව, ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යට කරන ලද්දේ ය. මෙය කඨෝර සභාගවාදය හැර අන් දෙයක් නොවී ය. එදා සිට අඩුදියුණු ලෝකයේ විප්ලවයන් විනාශ කරන්නාවූ පෙරමුණු හා සන්ධානයන්ට පාර කැපූ හා ස්ටාලින්/මාඕ වාදීන් විසින් සම්භාව්‍ය තත්ත්වයට නැංවූ මේ මතවාදය, මෙදා ඔවුන් ගෙන ආවේ “කම්කරු ගොවි ආණ්ඩු” නාමයෙනි. මොවුන් තම ප්‍රතිවිප්ලවකාරී මතවාදය තහවුරු කිරීම සඳහා කෙතෙක් දුර දිග ගියේ ද යත්, 1917 ඔක්තෝම්බර් විප්ලවයව මගින් රුසියාවේ බිහි වූයේ කම්කරු රාජ්‍යක් ද යන්න ද ප්‍රශ්නයට ලක් කරන ලද්දේ ය.

එනිසා පැරිස් කොමියූනයේ ලේ වැකි “ජන සංහාරක සත්දින” තුළ පලකරන මෙම ලිපි අතරට “පැරිස් කොමියුනය හා කම්කරු ගොවි ආණ්ඩුව” මැයෙන් වූ මේ විශ්ලේෂණය ද එකතු කරන්නෙමු. පරාජයෙන් ශත වර්ෂය එකහමාරකට අධික කාලයක් ගත වෙද්දීත්; විප්ලවයේ නාමයෙන් ගෙන එන ප්‍රතිවිප්ලවකාරී මතවාද පරාජය කර  විප්ලවවාදී මතවාදය නිරවුල් කිරීමේ අරගලයන් හිදී, පැරිස් කොමියූනයේ සංයුක්ත අත්දැකීම් මිල කළ නොහැකි පාඩම් ලෙස අප ඉදිරියේ ජීවමාන වන නිසාය ඒ. 

————————————————————————————————–

“පැරිස් කොමියුනය හා කම්කරු ගොවි ආණ්ඩුව”

නිර්ධන පංති ආඥාදායකත්වය ගැන මෙන්ම විප්ලවය ගැන නිවැරදි අර්ථ විග්‍රහයක් මඟින් අපට සුමනසිරි සහෝදරයා වැටී සිටින හැන්සන්ගේ මඬ වලෙන් ගොඩ ගැනීමට හැකියාව ලැබේ. මෙහිදී, වඩාත්ම අවශ්‍ය වන්නේ ට්‍රොට්ස්කිගෙන් පසු “ට්‍රොට්ස්කිවාදීන්ගේ” නොම්මර එකේ හිසරදය වූ කැස්ත්‍රෝගේ කියුබානු විප්ලවය විග්‍රහ කිරීමයි. එහෙත්, එම කරුණට අත තබන්නට පෙර අපට කරුණු පහදා ගැන්ම උදෙසා වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ පැරිස් කොමියුණය ගැන කල්පනා කිරීමය. ඇත්ත වශයෙන්ම සුමනසිරි සහෝදරයාත්, ඔහුගේ ගුරු අමන හැන්සනයාත් කථා නොකරනම දේ පැරිස් කොමියුනයයි. ඔවුන් චීනය, යුගෝස්ලෝවියාව, කියුබාව, නිකරගුවාව ගැන දේශනා කරයි. එහෙත් පැරිස් කොමියුනය ගැන කථා නොකරයි. ඒ ගැන හරි හොරයි. ඒංගල්ස් හඬ නගා, “මේ බලාපල්ලා” කියද්දීත් පැස්බරු මෙන් වැල්ලේ හිස ගසා ගනිති.

1871 ඇති වූ පැරිස් කොමියුනය පැරිස් නගරයට පමණක් සීමා විය. රට පුරා විප්ලවය පතුරුවා හැරීමට අදහස් තිබුණ මුත්, ඇත්තටම සිදුවූයේ නැත. දෙවනුව පැරීසියේ කම්කරු බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගොඩ නැගී තිබුණි. තෝරා පත් වූ පමණක් නොව, ආපසු කැඳවිය හැකි නියෝජිතයන්ගෙන් සමන්විත වූ සභාවකින් පාලනය සකස් වුනි. එහෙත්, එය සමාජ ආර්ථික පෙරළිය පැත්තෙන් පමණක් නොව දේශපාලන පැත්තෙන්ද අඩමාන විය. අසම්පූර්ණ විය. ලෙනින් මෙසේ කියයි.

“අගනා ජයග්‍රහණයක, ප්‍රතිඵල, වැරදි දෙකක් නිසා විනාශ විය. නිර්ධන පංතිය අතරමඟ නැවතුනි. උදුරාගත්තවුන්ගෙන්, උදුරා ගැන්මට යොමු වෙනවා වෙනුවට පොදු ජාතික වැඩකටයුත්තකින් එක්සත් වූ රට තුළ, උසස් වූ යුක්ති ධර්මයක් ඇති කිරීම ගැන සිහිනයක් තුළ අතරමන් විය. උදාහරණයක් වශයෙන් බැංකු වැනි ආයතන පවරා නොගත් අතර, සමාජවාදීන් අතර සාධාරණ හුවමාරුව පිළිබඳ පෘදොන්වාදී1 න්‍යායයන් ආදිය තවදුරටත් පැළපදියම්ව තිබුණි. දෙවෙනි වරද වූයේ, නිර්ධන පංතිය තුළ වූ දැඩි අනුකම්පා සහගත ස්වභාවය යි. තමාගේ සතුරන් විනාශ කරනවා වෙනුවට, ඔවුන්ව ධර්මයෙන් නමා ගන්නට යොමු විය. සිවිල් යුද්ධයේදී සෘජු යුධමය මැදිහත්වීම් වල තත්වය අඩුතක්සේරු කළේය. පැරිසියේ තම ජයග්‍රහණය සම්පූර්ණ කරන්නා වූ ස්ථිර ප්‍රහාරයන් වර්සෙල්ස් වෙත එල්ලකරනවා වෙනුවට සුනංගු වීමෙන්, වර්සෙල්ස් ආණ්ඩුවට, රුදුරු බලවේග එක්කාසු කොට, මැයි වල දී ලේ තැවරුණු සතිය වෙනුවෙන් සූදානම් වන්නට ඉඩ දුන්නේය.”

– කොමියුනයෙන් පාඩම් – ලෙනින් (ඉංග්‍රීසි) එකතු කළ කෘති 13 – පිටු 475-478

මේ අනුව, බලය ලබා ගත්තා වූ කම්කරුවන් එදා පැරිසියේදී සමාජ ආර්ථික පෙරළිය වෙනුවෙන් කටයුතු නොකළා පමණක් නොව, තම දේශපාලන බලය යෙදීම පැත්තෙන්ද වැනෙන සුළු විය. ඒ අනුව, දේශපාලන පැත්තෙන්ද, පැරිස් නගරයෙන් එහාට ගමන් කිරීම පැත්තෙන්ද ඔවුන් පෙන්වූයේ බලවත් අඩුපාඩුවකි. දැන් සුමනසිරි සහෝදරයා පේලියට අඩුක් කර අපට පෙන්වන “කරුණු තුනේ ක්‍රමය” අනුව සැළකූ විට, පැරිස් කොමියූනය නිර්ධන පන්ති ආඥාදායකත්වයක් තමා ඒ අහලකටවත් ඇවිත් නැත.

ඇයි මේ බලන්න,

  1. පැරීසියේ බලය ගත් නිර්ධනීන් එතැනින් හැතැප්ම කිහිපයකට එහා වූ වර්සයිල් නගරය වෙතවත් සිවිල් යුධමය ප්‍රහාරය ගෙන ගියේ නැත. ධනපති බලය බිඳීම වෙනුවෙන් වැනෙන සුළු ලෙස ක්‍රියා කළේය.
  2. පැරිස් ආණ්ඩුව බ්ලාංකිවාදීන්2 හා පෘදොන්වාදීන්ගේ හවුල් ආණ්ඩුවක්ය. එහි වැඩි බලය ලත් බ්ලාංකිවාදීන්ගෙන් වැඩි දෙනෙක් සමාජවාදීන් කියා පළල් අර්ථයෙන් වුවද හැඳින්වීමට අපහසුය. පෘදොන්වාදීන් අන්ත සුළු ධනේශ්වර සමාජවාදීන්ය. මෙසේ නියෝජිතයින් බෙදී සිටියද, දේශපාලන පක්ෂයක් තබා වැදගත් දේශපාලන සංවිධානයක්වත් තිබුණේ නැත. යම් තේරුමක් ඇති නායකයකු වූ බ්ලාන්කි සිටියේ සතුරාගේ සිරගෙදර ය. පැරණි පාලකයන්ගෙන් මුළුමනින්ම වෙන් වූ ස්වාධීන ආණ්ඩුවක් තිබුනේ නැත. ජාත්‍යානුරාගයෙන් වල්මත් වූ මේ නායකයන් පැරණි පාලකයන්ට සැළකුවේ බලවත් අනුකම්පාවෙන් ය.
  3. ආර්ථිකයේ මර්මස්ථාන පවරාගැන්ම පැත්තෙන් ඇත්ත වශයෙන් කථා කිරීමටවත් දෙයක් නැත.

මේ අනුව අමන හැන්සනයා අදහන සුමනසිරි සහෝදරයාට සිදුවන්නේ ඒංගල්ස් අමතා “සහෝදරයා, අපට කිසිවක් පෙනෙන්නේ නැත. දැනෙන්නේ ද නැත. ඇති නිර්ධන පංති ආඥාදායකත්වයක් නැත. අඩු තරමේ මනෝ පුබ්බංගයක් වත් නැත.” කියන්නටය.

එහෙත් ඇත්ත තත්වය එය නොවේ. අන්තිම දියාරු නායකත්වයක් යටතේ වුවද, පැරිස් නගරයට සීමා වුවද, වැඩ සැලැස්මක් නොමැති වුවද, කම්කරුවෝ මිත්‍ර කොටස් සමඟ එදා බලය ඇල්ලූහ. නිර්ධන පංති ආඥාදායකත්වය ඉතාම අඩමාන තත්වය යටතේ වුවද මතු විය. සත්තකටම එය සමාජ ආර්ථික පරිවර්ථනයකින් තබා දේශපාලන වශයෙන්ද තහවුරු වුනේ නැත. එය වෙනම කතාවකි. එහෙත් ප්‍රධාන කරුණ වන්නේ නිර්ධන පංති ආඥාදායකත්වය පළමුවෙන්ම දේශපාලන සාධකයක් වීමයි. ඒ තේරුමෙන් එදා එය මතු විය. එය ක්‍රියාත්මක විය. මාක්ස්, ඒංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි අපට කියා දෙන්නේ එයයි.

ඇත්ත වශයෙන්ම 1917 දී පෙට්‍රොගෑඩ්හි දී මෙන්ෂවික්වරු හා සමාජ විප්ලවවාදීන් සෝවියට් සභා පදනම්ව බලය ගත්තා නම්, එක්තරා දුරකට ඇති වන්නේ පැරිස් කොමියුනය වැනි තත්වයන් ය. වෙනසකට ඇත්තේ බොල්ෂෙවික් පක්ෂය සොවියට් සභා තුළ ක්‍රියාකාරී වූ නිසා, ඉතා ඉක්මණින් ඇති වන දේශපාලන වෙනස්කමයි. එදා බ්ලාන්කිවාදීන් හා පෘදොන්වාදීන් තමා නොසිතූ ලෙසට පහල බලපෑම් මඟින් ඉදිරියට තල්ලු වී ගොස් නගරය තුළ නිර්ධන බල අධිකාරය ගොඩනඟා ගැනීමට මෙහෙයවූවා මෙන්ම, මොවුන් ද  නිර්ධන බල අධිකාරයක් ගොඩනැඟීමේ දෙසට මෙහෙයවෙනු ඇත. බ්ලාන්කිවාදීන්ට හා පෘදොන්වාදීන්ට වඩා, මෙන්ෂවික් හා සමාජ විප්ලවවාදී නායකයින් ඇට්ටකුනා වූ ප්‍රයෝගකාරී නායකයන් ය. මතවාදී මෙන්ම, සංවිධාන ලෙසට වඩා තහවුරු වූ අවස්ථාවාදීන් ය. ඒ නිසාම බලය ගත්තා වුවද, ඉදිරියට යනු ඇත්තේ වඩා අර්බූදකාරී පියවර ඔස්සේය. එසේ වුවද, ඔවුන් ද නිර්ධන පංති ආඥාදායකත්වයකට අවශ්‍යම වූ දේශපාලන සාධකය වන අලුත් බල අධිකාරයක් ගොඩනැඟීමේ දෙසට තල්ලු වනු ඇත. නොකැමැත්තෙන් වුවද නිර්ධන පංති ආඥාදායකත්වය ක්‍රියාත්මක කිරීමේ දෙසට තල්ලු වෙනු ඇත. නැතිනම් බොල්ෂෙවික්වරුන් විසින් විස්තාපනය කරනු ඇත. එහෙත් මෙවැනි සිද්ධියක් ඉතාම අහම්බෙන් සිදුවිය හැක්කකි. සංක්‍රමණීය ක්‍රියාමාර්ගයේ දී ට්‍රොට්ස්කි පැහැදිළි කරදෙන්නේ මෙයයි.

දැන් පැරිස් කොමියුනය නිර්ධන පංති ආඥාදායකත්වයක් වූ නමුත්, එය ප්‍රසාද ජනක ලෙස හැදින්විය යුත්තේ කෙසේද? කම්කරුවෝ ආණ්ඩුවට සහභාගි වූහ. එහෙත්, බලය ගමට පැතිරෙමින් ගැමියන් සහභාගී කර ගන්න තරමට ගමන් කළේ නැත. එය පැරිස් නගරයට සීමා විය. ඒ අනුව එය “කම්කරු ආණ්ඩුවක්” ලෙස හැඳින්විය හැකිය. එසේ නැත්නම් “කම්කරුවන්ගේ හා ශිල්පීන්ගේ ආණ්ඩුවක්” ලෙස හැඳින්වීම වඩාත්ම නිවැරදි වේ. කුමක්නිසාද යත් පැරිසියේ බලය තුළ කම්කරුවන් සමඟ හවුලේ ක්‍රියාත්මක වූයේ ශිල්පීන් වූ හෙයිනි. ධනේශ්වරය සම්පූර්ණයෙන් මොරා නොතිබීම එයින් නිරූපනය විය. පෘදොන්වාදීන් මූලිකව නියෝජනය කළේ මෙම ප්‍රවනතාවය යි.

විශේෂ හේතූන් නිසා බලයට තල්ලු වූ කොමියූනයේ නායකයෝ ඉතා ඉක්මණින් සමාජ දේශපාලන කටයුතු කිහිපයක් ඉෂ්ට කළෝය.

  1. හමුදා විසුරුවා හැර පොදුවේ කම්කරුවන් සන්නද්ධ කිරීම.
  2. අධ්‍යාපනය – රජයේ හා පල්ලියේ ඇඟිලි ගැසීම් වලින් ඉවත් කිරීම හා පල්ලියේ දේපළ පවරා ගැනීම.
  3. නව විප්ලවකාරී නිලධාරීන් හා විනිශ්චයකාරවරු තොරා පත්කිරීම.
  4. නව ව්‍යවස්ථාවක් මඟින් නව සමාජය තහවුරු කිරීම.

ඇත්තවශයෙන් මේ කටයුතු ඉටුවූයේ පහතින් ඇති වූ තෙරපීමත් සමඟ තිබූ දේශපාලන පරිසරය නිසාය. 1871 මාර්තු වලදී ප්‍රසාද ජනක පසුබිමක් තුළ බලයට ආ මේ නායකත්වයන් ඉතා ඉක්මණින්ම, එනම් කොමියුනයේ තෝරා පත්වීමෙන් පසුව නිර්ධන පංති ආඥාදායකත්වයේ දේශපාලන පියවර එකිනෙක ක්‍රියාත්මක කළේය. ඇත්තවශයෙන්ම නිර්ධන පංති ආඥාදායකත්වය යථාර්තයක් වූයේ මේ දේශපාලන කටයුතු හමාර වීමත් සමඟ ය. එනම් අප්‍රේල් මස මුල සතිය වන විටය. මේ අනුව, මාර්තු 18 වැනිදා සිට, මාසය අඟ වන තෙක් ට්‍රොට්ස්කි සඳහන් කළ නිර්ධන පංති ආඥාදායකත්වයේ ආරම්භක සිද්ධිය වූ “කම්කරුවන්ගේ ආණ්ඩුව” පැරිසියේ පැවතියේ යයි කෙනෙකුට තර්ක කළ හැකිය. කුමක් නිසාද යත්, අඩු දියුණු නායකත්වයක් යටතේ වුවද, පංති ආඥාදායකත්වයේ පියවර එතෙක් ක්‍රියාත්මක නොකළ ද, එය සැබවින්ම කම්කරු ආණ්ඩුවක් විය. එහෙත්, ඉහත කී කටයුතු ඉටු කිරීමත් සමඟම “කම්කරුවන්ගේ ආණ්ඩුව” යන්න නිර්ධන පංති ආඥාදායකත්වයට වෙනත් නාමයක් පමණක් විය. එසේම එය නිර්ධන පංති ආඥාදායකත්වයක් වූයේ සමාජ දේශපාලන තේරුමෙන් පමණි. සමාජ ආර්ථික පෙරළියකට එය තුඩුදුන්නා පමණි. සමාජ දේශපාලන තේරුමෙන්ද එය පැරීසියට සීමා වූ හුදු ආරම්භයක් පමණක් විය. මාර්ක්ස් අපට මෙසේ කියා දෙයි.

“එය හරයක් වශයෙන් කම්කරු පංතියේ ආණ්ඩුවක්, ගසාකන පංතියට විරුද්ධව නිෂ්පාදකයින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක්, ශ්‍රමයේ ආර්ථික විමුක්තිය සලසා ගැනීම උදෙසා අන්තිමට සොයාගනු ලැබූ දේශපාලන ස්වරූපයක්. ඉහත සඳහන් කොන්දේසි උඩ මිසක, කොමියුනයේ ව්‍යවස්ථාව අරුමයක් හා සිහිනයක් පමණක් වනු ඇත. නිෂ්පාදකයාගේ දේශපාලනික පාලනය, දිගින් දිගටම ඔහුගේ සමාජ වහල්භාවයේ පැවැත්ම සමඟ තිබෙන්නට බැරිය. පංති වල පැවැත්මත්, ඒ නිසාම පංතිමය පාලනයත් රැඳී තිබෙන්නා වූ ආර්ථික පදනම උදුරා දැමීමේ ලීවරයක් ලෙස එනිසා කොමියුනය යෙදිය යුතු විය.”

– (ප්‍රංශයේ සිවිල් යුද්ධය – පිටු 57)

මේ අනුව පැරිස් කොමියුනයේ හරය මෙලෙස සම්පිණ්ඩනය කරගත හැකිය.

එය නිර්ධන පංති ආඥාදායකත්වයක් වන්නේ දේශපාලනික සාධකයක් ලෙසය. එසේම, එය පළල් අර්ථයෙන්ද “කම්කරුවන්ගේ ආණ්ඩුවක්” විය. කුමක්නිසාද යත්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇත්තටම කම්කරුවන් පාලනයට මැදිහත් වූ හෙයිනි. නිර්ධන පංති ආඥාදායකත්වයක් ලෙස ක්‍රියාත්මක නොවූ “කම්කරු ආණ්ඩුවක්” වූ සුළු මොහොතක් මාර්තු 18 සිට මාර්තු අඟ දක්වා තිබිණි යැයි කිව හැකිය. එසේ වූයේ බලය ගත් අඩුදියුණු කම්කරු (හා සුළු ධනේශ්වර) නියෝජිතයෝ වැනෙනසුළු වූ අතර, සුනංගු වූ හෙයිනි. හෙමින් ක්‍රියාකාරී වූ හෙයිනි. පංති අඥාදායකත්වය ලෙස ක්‍රියාකාරී නොවූ හෙයිනි. මාර්තු අඟ දී මධ්‍යම කාරක සභාව (ජාතික ආරක්ෂක භටයින්ගේ) වෙනුවට කොමියුනය තේරී පත් වූ පසු ක්‍රියාත්මක පියවර ගනු ලැබීය.

ඔක්තෝම්බර් විප්ලවය හා සැසඳූ කළ, අපට එකක් පැහැදිළි වෙයි. රුසියාවේ පෙට්‍රොග්‍රෑඩය, නිර්ධන පංති ආඥාදායකත්වක් ලෙස බලය ගත් මොහොතේ සිට ක්‍රියාත්මක විය. ඇත්තවශයෙන් කම්කරුවන්, ගොවි සහයෝගයෙන් දැනුවත්වම බලයට පත්වූයේ, තමාට ඇති ඇත්ත අභියෝගයන් වටහා ගනිමිනි. ලෙනින් හා ට්‍රොට්ස්කි අත ගඟා, බල බලා සිටියේ නැත. කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළේ නමුදු, සෝවියට් ජාතික සමුළුව රැස්වන තෙක් හෝ බල බලා සිටියේ නැත. පංති බලය නියම ලෙසට යෙදූ අතර, බලහක්කාරයෙන් පාලනය තහවුරු කරන්නට විය. ඒ නිසා හරයෙන් නිර්ධන පංති ආඥාදායකත්වයක් නොවූ “කම්කරු ගොවි ආණ්ඩු” පියවරක් රුසියාවේ මතුවූයේ නැත.

“රුසියානු නිර්ධන පංතිය, රාජ්‍ය බලය ගත් වහාම, පැය කිහිපයකට පසුව පැරණි රාජ්‍ය යන්ත්‍රය දියත් කර හැරීම ප්‍රකාශ කළ අතර, සියළු බලය සෝවියට් වලට පැවරූහ. වැඩකරන්නන්ට හා සූරාකනු නොලබන්නන්ට පමණයි සෝවියට් වලට ඇතුල් විය හැක්කේ. ඕනෑම වර්ගයක සූරාකන්නන් සොවියට් වලින් තහනම් කරනු ලැබීය.”  

– ව්‍යවස්ථාදායක සභාව – ලෙනින් 1919

මේ අනුව ඔක්තෝම්බරයෙන් බිහි වූයේ “කම්කරු ගොවි ආණ්ඩුවක්” පමණක් නොවේ. එය දේශපාලන තේරුමෙන්, හරයෙන් නිර්ධන පංති ආඥාදායකත්වයක් විය. එය සමස්ථ ගොවීන්ගේ සහයෝගය ලැබූ, සමාජ ආර්ථික වශයෙන් “ප්‍රජාතන්ත්‍රවාදී” වැඩ කොටසක් ඉටු කළ බලයක් ලෙස 1918 සරත් සෘතුව වනතෙක්ම පැවතුනි. 1918 ඔක්තෝම්බර් වලදී ගමේ පංති සටන ඇවිලිනි. ඒ නිසා එයින් පසු පාලනයට මැදිහත් වූයේ නිර්ධනීන් පමණය. ප්‍රසාදජනක තේරුමෙන්, එතැන් සිට නිර්ධන පංති ආඥාදායකත්වය “කම්කරුවන්ගේ ආණ්ඩුවක්” විය. නැත්නම් කම්කරුවන්ගේ හා කුලී ගොවියාගේ ආණ්ඩුවක් විය. මෙසේ දේශපාලන රූපය තහවුරු වීමෙන් පසුව, ධනපති විරෝධී සමාජ ආර්ථික පෙරළියේ ප්‍රධාන වැඩකොටස ඇරඹුණි. එය 1919 වසර පුරාම සිදුවිය. මේ අනුව “පිරිසිදු” නිර්ධන පංති ආඥාදායකත්වයක් ද, “පිරිසිදු” කම්කරු ආණ්ඩුවක්ද අපට දක්නට ලැබෙන්නේ 1920 මුල මාසය පමණ වන විටදී ය.

———————————————————————————-

ෆියේර් ජෝසප් පෘදොන්

1.“පෘදොන්වාදය” – සුළු ධනපති සමාජවාදයේ, අවිද්‍යාත්මක හා මනෝරාජික ප්‍රවනතාවයකි. එයට නම තබා ඇත්තේ එහි දෘෂ්ඨිවාදියා වූ ප්‍රංශ ආරාජිකවාදී ෆියේර් ජෝසප් පෘදොන්ගේ (1871 – 1865) නම අනුවය. සුළු ධනපති ස්ථාවරයක් ගත් ඔහු, ලොකු ධනපති දේපල ගැන විවේදනය කළ අතර, සුළු දේපල හිමිකම සදාකාලික කිරීම ගැන සිහින මැව්වේ ය. කම්කරුවන්ට නිෂ්පාදන මාර්ග අත්පත් කර ගෙන, හස්ථ  කාර්මිකයන් වීමට සහ ඔවුන්ගේ නිෂ්පාදිතයන් “සාධාරණ ලෙස” අලෙවි කිරිමට ආධාරෝපකාර විය හැකි මහජන සහ විනිමය බැංකු පිහිටුවන ලෙස ඔහු යෝජනා කළේ ය. පෘදොන්ට නිර්ධන පංතියේ ඓතිහාසික කාර්යභාරය ගැන අවබෝධයක් නොවීය. ඔහු පංති අරගලයට, නිර්ධන පංති විප්ලවයට සහ නිර්ධන පංති ආඥාදායකත්වයට විරුද්ධ විය. එසේම අරාජිකවාදියෙක් වූ ඔහු රාජ්‍යය යන්න මහා පරිමාන පුද්ගලික දේපලේ ආරම්භය ලෙස සැලකූ අතර, ඒ අනුව නිර්ධන පංතිය වුව රාජ්‍ය බලය අත්පත් කර ගැනීම යන්නට විරුද්ධ විය. කළ යුත්තේ රාජ්‍යය අහෝසි කිරීම යයි අවධාරණය කළේ ය.     

ලුවී ඔගස්ට් බ්ලාන්කි

2.“බ්ලාන්කිවාදය” – ප්‍රංශ ජාතික විප්ලවවාදියෙකු වූ ද, ප්‍රංශ මනෝරාජික කොමියුනිස්ට්වාදයේ සම්භාවනීය නියෝජිතයකු වූ ද, ලුවී ඔගස්ට් බ්ලාන්කි (1805 – 1881) ගේ නායකත්වයෙන් යුත්, ප්‍රංශ සමාජවාදී ව්‍යාපාරයේ එක් ප්‍රවනතාවයකි. පංති අරගලය ප්‍රතික්ෂේප කළ බ්ලාන්කිවාදීහු, නිර්ධන පංතිය ගෙන යන අරගලය තුළින් නොව, බුද්ධිමතුන්ගේ සුළු පිරිසකගේ කුමන්ත්‍රණ තුලින්ම මනුෂ්‍ය වර්ගයා වේතන වහල්භාවයෙන් මුදාලිය හැකි යයි අපේක්ෂා කළෝය. විප්ලවවාදී පක්ෂයේ මධ්‍යගත ක්‍රියාකාරීත්වය වෙනුවට, රහසිගත කුමන්ත්‍රණකාරයින් කණ්ඩායමක් කැරළි ගසා නැගී සිටිම ආදේශ කළ බ්ලාන්කිවාදීහු, ඒවා සාර්ථක වීමට අවශ්‍ය වාතාවරණය කෙවැනි ද යන්නත්, මහජනයා සමඟ සබඳතා පවත්වාගැනීම ගැනත් සැලකිල්ලට නොගත්හ.

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.