ප්‍රතිසංස්කරණවාදය හා විප්ලවය අතර තවත් ගැටුමක්
නව සම සමාජ පක්ෂය ජාතිවාදී, යුධවාදී ෆැසිස්ට් පන්නයේ පාලනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය සදහා එක්සත් අරගලයක නිරතව සිටින අතර එය කඩාකප්පල් කර දැමීම අරමුණු කොට, පක්ෂ සාමාජිකයන්ගේ ක්‍රියාකාරිත්වය අඩපන කිරීම සදහා පක්ෂයේ ම කණ්ඩායමක් විසින් බෙදා හරිනු ලැබූ ලියවිල්ලක එන බොරු වැලක් හෙලි කිරීම සදහා ලියැවුනු මේ ලියවිල්ලකි මේ. 2015 අප්‍රේල් මස පක්ෂය තුළ බෙදාහරින ලද මෙම ලියවිල්ල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වු නොනිමි අරගලයේ නිරත වන්නන්ගේ දෘෂ්ඨිය පුලුල් කිරීමේ දී එහි තවමත් නොඅඩුව පවතින වැදගත්කම සලකා මෙසේ පළ කරමු.
සුලුතරයේ අවනඩුව ගැන පිළිතුරක්
පක්ෂයේ සුළුතරය විසින් “නව සම සමාජ පක්ෂයේ (වාම) අභ්‍යන්තර නිවේදන පත‍්‍රිකාව” ක් බෙදා හැර තිබේ. පක්ෂයේ සම්ප‍්‍රදාය වන්නේ සියළු ලියවිලි බෙදා හැරීම් මධ්‍යගතව සිදු කිරීමයි. පක්ෂය සාමාජික ලිපින ලේඛන දෙකක් ආරක්ෂක හේතු මත පවත්වා ගන්නේ ද නැත. නමුත් ඔවුන් සතුව අයථා ලෙස ලබාගෙන ඇති පක්ෂ නාම ලේඛණයක් තිබෙන නිසා දෝ එම ප‍්‍රතිපත්ති කිසිවක් නොතකා තමන් විසින්ම ලියවිල්ල බෙදා හැර තිබේ. කෙසේ වෙතත් එය හුදු විනය ප‍්‍රශ්නයකි. දේශපාලන සුලුතරයක් සම්බන්ධයෙන් තාක්ෂණික හේතු මත විනය ප‍්‍රශ්න නැගීම පක්ෂය කරන්නේ නැත. ඒ හෙයින් එය ගැන තැකීම නොයුතුය. එහි එන “දේශපාලන වාර්තාව” ජාත්‍යන්තර හා ජාතික දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යම පංතිකයෙකුගේ පුද්ගලවාදී විකාර දෘෂ්ඨිය ප‍්‍රකට කරයි. එය ලියන ලද්දේ සුලුතරයේ න්‍යායාචාර්යවරයා වන මහාචාර්ය සුමනසිරි ලියනගේ විය යුතුය. ඔහුගේ පසුගිය පුවත්පත් ලිපි වල සාරාංශයක් ලෙස එය පවතී. ඒ ගැන යමක් කීමට තරම්වත් වැදගත් කමක් නැත්තේය.
නමුත්, “මේ අවනඩුව සාමාජිකත්වයට හා පාක්ෂිකත්වයට…….” මැයෙන් ලියා ඇති දැය විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා අනන්‍යතාවය බරපතල ලෙස විකෘති කරන නන්දෙඩවීම්වලියක් බැවින් ඒ පිළිබඳව සත්‍ය හෙලි කිරීමේ වගකීමක් අපට තිබෙන සේ සලකා යම් පැහැදිලි කිරීම් කිහිපයක් කළ යුතුව තිබේ.
මොවුන් තේමාකරගෙන ඇති ලෙසටම සුලුතරය ඉදිරිපත් කරන්නේ අවනඩුවකි. එනම් වින්දිතයාට දඩූවම් දෙන ලෙස ඉල්ලන නඩුවකි.
ඔවුන් කියන අකාරයට පක්ෂය අමුතුවෙන් සමඟි කිරීමක් අවශ්‍ය නැත. පක්ෂය සමඟියෙන් සිටී. එය අදහස් පැහැදිලි කර ගැනීම සඳහා සුපුරුදු පරිදි විවාද කරමින් න්‍යායික හා දේශපාලන අරගලයන්හි නිරතව සිටී. පක්ෂයේ ක‍්‍රියාකාරීත්වය වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාවය පවතී. ඒ සඳහා පක්ෂ ක‍්‍රියාධරයන්ගේ මාසික සභා රැස්වීමක් මධ්‍යම කාරක සභාවද සහිතව සාර්ථක ලෙස පවත්වාගෙන යයි. මණ්ඩල රැස්වෙයි. පුවත්පත් මුද්‍රණය කරයි. සතිපතා ජනමාධ්‍ය සාකච්ඡා මගින් පක්ෂයේ ස්ථාවරය ප‍්‍රකට කරයි. ප‍්‍රධාන ලේකම් සහෝදරයාගේ ලිපි ලේඛණ වෙනදාටත් වඩා පුළුල් ලෙස ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත්කර ගනිමින් තිබේ. මුදල් උද්ඝෝෂණ පැවැත්වෙයි. ඒ මගින් සුලුතරයේ ක‍්‍රියාකාරීත්වය මගින් අහිමි කර ඇති රුපියල් 20,000/- ආසන්න මාසික අරමුදල් ලැබීම් පිළිබඳ ප‍්‍රශ්නයට පිලිතුරු සොයමින් තිබේ. සුලුතරයේ සහෝදරවරු කිහිප දෙනා දැනට මේ ක‍්‍රියාකාරීත්වයේ නැත. මන්ද ඔවුන් විපක්ෂ ක‍්‍රියාකාරීන් වී සිටින හෙයිනි.
පක්ෂ මධ්‍යම කාරක සභාව ඔවුන්ගේ මත අභ්‍යන්තර සාකච්ඡාවට ඉදිරිපත් කිරීමටත්, ඉන් ඉදිරියට යමින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඒවා පක්ෂයෙන් එලියට ගෙන යෑම සඳහා පුවත්පත් මුද්‍රණයටත්, ඒ ඔස්සේ තම අදහස් පරීක්ෂණයට ලක් කිරීමටත් සියලු අවසර ලබා දී ඇත. පක්ෂයේ ආරම්භයේ සිටම ඇති වූ විවිධ කණ්ඩායම් සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලිවෙත් කිසිම අඩුපාඩුවක් නැතිව එසේ ඉදිරියට ගෙන යමින් ඇත. එහෙත් සුලුතරය එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවසරය යොදා ගනු ලැබ ඇත්තේ පක්ෂය දියකර හැරීම සඳහා ය. නායකත්වයට අවලාද, බොරු චෝදනා එල්ල කිරීමට ය. පක්ෂයේ කීර්ති නාමය යොදා ගනිමින් දේශපාලන අපචාරයේ යෙදෙන්නට ඉඩ නොහැර ආරක්ෂා වීමට පක්ෂයට අයිතියක් තිබේ. ඒ වෙනුවෙන් පියවර ගෙන ඇත. පක්ෂය සතු එම පරම අයිතියට යටත්ව කටයුතු කිරීම ඕනෑම සුලුතරයක වගකීම බව නොදැන සිටීම සමාවට කරුණක් නොවේ. තව දුරටත් එසේ නොකරන්නේ නම් “සුලුතරය” පිටස්තර සංවිධානයක් ලෙස සැලකීමට පක්ෂයට සිදුවෙයි.
සුපුරුදු පරිදි “අවනඩුව” පක්ෂ නායකත්වයට විරුද්ධව අමූලික චෝදනා රැසක් එල්ල කරයි. ඒවා බොහොමයකට පසුගිය වසර දෙක තුන තුළදී මධ්‍යමකාරක සභා රැස්වීම් වලදීත් දේශපාලන මණ්ඩල රැස්වීම් වලදීත් පිලිතුරු ලබා දී තිබේ. තමන්ගේ මතවාදයන් වෙනුවෙන් සහාය ලබා ගැනීම සඳහා ඔවුන් පසුගිය 2013-2014 වසර වලදී ජාත්‍යන්තරයට විවිධ විකෘති වාර්තා යවා ඇත. ධනේශ්වර ආකාරගත දර්ශනවාදයේ අවිදරා ඉදිරිපත් කරනු ලැබ තිබූ මේ විවේචන වලට පෙරකී සභාවල දුන් පිළිතුරු වලට අමතරව රනත් සහෝදරයා විසින් පැහැදිලි පිලිතුරු දෙකක් ලිඛිතව ඉදිරිපත් කර ඇත. නමුත් මේ සියල්ලට අඳ ගොළු බිහිරි වෘතයක් රකින සුළුතරය නැවත නැවතත් තමන් ගිල ඇති නිර්මාක්ස්වාදී දහ ජරාවම වමාරයි. ඒවාට යලිත් පිලිතුරු සැපයීම අවශ්‍ය නොවේ. මන්ද යත් ඔබ වෙත මේ සම්බන්ධයෙන් බෙදා හැර ඇති ඔවුන්ගේ ලියවිලි හා රනත් සහෝදරයාගේ පිලිතුරු තවමත් එයාකාරවම වලංගුව පවතින නිසාය. ඒවා නැවත කියවන ලෙස ඉල්ලමු.
නමුත් මේ “අභ්‍යන්තර නිවේදනය” පරණ දැයට අමතරව අලුත් චෝදනා කිහිපයක් එල්ල කර තිබේ. ඒ අතර පක්ෂය ස්ටාලින්වාදී වීම ගැන, බොල්ෂෙවික් පක්ෂයේ කණ්ඩායම් ගැන, ලෙනින් හා ට්‍රොට්ස්කි අතර පැවැති වෙනස් මත ගැන කෙබර ඇදබෑම හා විකෘති කිරීම් කිරීම ගැන යමක් කීම සුදුසුය.
පක්ෂය ස්ටාලින්වාදී වීම
බොල්ෂෙවික් පක්ෂයේ පිරිහීමෙන් පසු ගොඩ නැගුණු ස්ටාලින්වාදී කාලපරිච්ජේදයක් ගැන මොවුන් කියයි. එවැන්නක් නැත. ස්ටාලින්වාදය බොල්ෂෙවික් පක්ෂයේ පිරිහීමේ ප‍්‍රතිඵලයක් නොව, ළදරු කම්කරු රාජ්‍ය තුළ නිලධාරී බලය වැඩීමේ ප‍්‍රකාශණයකි. නිලධාරී තන්ත‍්‍රය පැන නැගුනේ ජාත්‍යන්තර නිර්ධන පංති විප්ලවයේ පරාජය මගින් හුදකලා කරන ලද හා දරිද්‍රතාවයට පත් පසුගාමී කම්කරු රාජ්‍යයේ ප‍්‍රතිවිරෝධතා කෙරෙන්ය. එම නිලධාරී තන්ත‍්‍රය තමන්ගේ උවමනාවන් වෙනුවෙන් ස්ටාලින්ව බළල් අංඩක් ලෙස යොදා ගනු ලැබිනි. එතැන් සිට පක්ෂය අජීවී කරමින් එම තන්ත‍්‍රයේ දේශපාලන අවියක් බවට පත් කෙරිණි. එය පිරහීමක් නොව මුළුමනින්ම ප‍්‍රතිවිප්ලවයේ පක්ෂයක් බවට කණපිට පෙරලීමකි.
මේ සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි මෙසේ කියයි. “….මින් ඉහත බහු ජනතාව අතර ප‍්‍රකටව නොසිටි ස්ටාලින් හිටිවනම අංග සම්පූර්ණ මූලෝපායාත්මක සැලැස්මකින් මනාව සන්නද්ධව මතු වූයේ යැයි පරිකල්පනය කිරීම බොළද ක‍්‍රියාමාර්ගයක් වනු ඇත. ඇත්තෙන්ම නැත. ඔහු තමන්ගේම ක‍්‍රියාමාර්ගයක් ගැන සැලකිල්ලෙන් විමර්ශනය කිරීමට කලින් නිලධාරී තන්ත‍්‍රය ස්ටාලින් ගැනම සැලකිල්ලෙන් විමර්ශනය කළේය. ඔහු එයට අවශ්‍ය සියළු ඇපකර ගෙන ආයේ ය. පැරණි බොල්ෂෙවික්වාදියෙකුගේ කීර්තිය, ශක්තිමත් චරිතයක්, පටු දැක්මක් හා සිය අනුහසේ එකම මූලාශ‍්‍රය ලෙස දේශපාලන තන්ත‍්‍රය සමඟ වූ සමීප බැඳීම ඊට අයත් විය….. සුහද පිළිගැනීමට ලක්වූ නව පාලක කල්ලිය පැරණි මූලධර්මවලින් හා සාමාන්‍ය ජනතාවගේ පාලනයෙන් නිදහස් විමට වෑයම් කරමින් සිටි අතර එහි අභ්‍යන්තර කටයුතු වලදී විශ්වාසී සමථ කරුවෙකුගේ අවශ්‍යතාවයෙන් පසු විය. සාමාන්‍ය ජනතාව ඉදිරියේ හා විප්ලවයේ සිදුවීම් තුළ ද්වීතීයික ගණයේ පුද්ගලයෙක්ව සිටි ස්ටාලින්, තර්මිඩොරියානු නිලධාරි තන්ත‍්‍රයේ නිසැක නායකයා – එහි පළමු වැන්නා – ලෙස තෙමේම අනාවරණය කර ගත්තේ ය…..” මේ නිලධාරී තන්ත‍්‍රයේ නැගීමට මුහුණ දීම සඳහා ලෙනින් ඇරඹු සටන ට්‍රොට්ස්කි ඉදිරියට ගෙන ගියේ වාම විරුද්ධ පාර්ශවය සංවිධානය කරමිනි. නමුත් එම අරගලයේ අරුත වටහා ගැනීමට තම පටු අනුභූතිවාදය, දෛනික සිදුවීම් වඩා ගැඹුරු සමාජීය ක‍්‍රියාදාමයන්ට සම්බන්ධිතව විශ්ලේෂණය කිරීමට හෝ එසේ නැතහොත් පන්ති බලවේගයන්ගේ ගමන් මග අධ්‍යයනය කිරීමට තමාට තිබූ නොහැකියාව නිසා ස්ටාලින් සමත් නොවී ය. ඒ අනුව වාම විරුද්ධ පාර්ශවයට එරෙහි නිලධාරී තන්ත‍්‍රයේ නායකයා බවට පත් වීමට ඔහුට ඉඩ සැලසුනි.
ස්ටාලින්වාදය ගැන මෙවන් වූ ගැඹුරු විශ්ලේෂණයක් සුලුතරයට අකැපය. ඔවුන් ද ජිවත් වන්නේ අනුභූතිවාදී, දෛනික සිදුවීම් වන්දනාවේ යෙදෙමින් ගෙම්බන් මෙන් එකකින් එකකට පනිමිනි. ඒ අනුව ස්ටාලින්වාදයට වග කිය යුත්තේ බොල්ෂෙවික් පක්ෂය යයි ඔවුන් සිතයි. ඔවුන් තමන්ගේ අදහස් දැක්වීම් මගින් ”අපගේ සහෝදවරුන්ගේ දේශපාලන දැනුම හා අවබෝධය දියුණු තියුණු” කරන්නේ එසේය. අදෝමැයි!
කණ්ඩායම් හැදීම හරිද?
කණ්ඩායම් හැදීම හරිද? යි මේ නිවේදනය ප‍්‍රශ්න කරයි. එය අසාගත යුත්තේ තමාගෙන්ම ය. තමන් කණ්ඩායම් ගතවීමේ “වරද” පක්ෂයට පටවන්නට තතනන්නේ කුමන අද්භූත උවමනාවකින්ද? පක්ෂය තමන් තුළ කණ්ඩායම් බිහිවීම හරිද වැරදිද කියා නොසිතයි. පක්ෂය ජිවත්වන්නේ ධනේශ්වර දෘෂ්ඨිය ආධිපත්‍යය දරණ සමාජයකය. එම දෘෂ්ඨියේ බලපෑමට පක්ෂ සාමාජියන් නිරන්තරව ලක් වෙයි. විශේෂයෙන් ධනපති සමාජයේ ආයතන තුළ ක‍්‍රියාත්මක වන්නවුන් එම බලපෑමට නිරන්තරව ලක්වෙයි. සුබසාධන ව්‍යාපාර හා වෘත්තීය සමිතිද එම ඝණයට වැටෙයි. ඒවායේ ක‍්‍රියාත්මක වන සහෝදරවරු හරහා ප‍්‍රතිසංස්කරණවාදය පක්ෂය තුළට ගලා එයි. එයට විරුද්ධව නිරන්තරව අපෝහකවාදය වෙනුවෙන් අරගලයක් කළ යුතුය. ලෙනින් තම “කළ යුත්තේ කුමක්ද?” කෘතිය තුළින් විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අරගලයේ නාභිය ලෙස න්‍යායික අරගය අවධාරණය කළේ ඒ නිසා ය. ඒ අනුව අප පක්ෂයේ ඉතිහාසය අඛණ්ඩ න්‍යායික අරගලයක ඉතිහාසයකි. මාක්ස්වාදයේ අඛන්ඩත්වය ප‍්‍රකාශ වන්නේ ඒ තුළිනි.
ඒ අරගලය මගින් පක්ෂය උපයාගත් න්‍යායික සම්පත් සියල්ල පසකට වීසි කිරීමටත්, විශේෂයෙන් ජාතික ප‍්‍රශ්නය සම්බන්ධ ස්ථාවරය බාල්දු කිරීමටත් මේ සුලුතරය දැරූ වැයම් මගින් හෙලිදරව් වූයේ ඔවුන්, අපරයුධ කාලයේ කම්කරු පංතියේ ඉරියව්ව තීන්දු කළ ශ‍්‍රීලනිපයේ ෆැසිස්ට් පන්නයේ ප‍්‍රවනතාවයේත්, රැඩිකල් සුළුධනේශ්වරයේත් පීඩනය නිරූපනය කරන බවයි.
ඒ අනුව පක්ෂයේ ස්ථාවරයන් හා ඔවුන් අතර ප‍්‍රබල භේදයක් වර්ධනය වීම ඒ හෝ මේ සදාචාර ගුනදම් පිරීමෙන් විසඳිය හැක්කක් නොවීය. කණ්ඩායමක් හැඩ වැඩ ගැසීම අනිවාර්ය විය. පක්ෂය එම තත්ත්වය පිළිගත්තේය. පෙර කීවා සේ, නැවත පක්ෂයේ ස්ථාවරයන් කරා ඒමට හැකි වන පරිදි ඔවුන්ට ඔවුන්ගේ අදහස් විමසා බැලීමට පක්ෂය අවස්ථාව සලසා දී තිබේ. එම ඉඩ නිසි පරිදි යොදාගන්නවා වෙනුවට තව තවත් අයාලේ යෑමට පාවිච්චි කරන්නේ නම් පක්ෂයට ඒ ගැන වගකීමට නොහැකිය.
ඊලඟට ඔවුන් කියන බොල්ෂෙවික් පක්ෂය තුළ පැවැති කණ්ඩායම් ගැන බලමු. ඔවුන්ට අනුව එසේ කණ්ඩායාම් හැදූ අය අතර, ට්‍රොට්ස්කි, කොලොන්තායි, බුකාරින් හා සිනොවියෙව් සිටී. ට්‍රොට්ස්කි කවදාවත් බොල්ෂෙවික් පක්ෂය තුළ කණ්ඩායම් හැදුවේ නැත. ඒ කණ්ඩායම් විරෝධී වීම නිසා නොව 1917 විප්ලවය මධ්‍යයේ රුසියාවට පැමිණෙන තෙක්ම ඔහු බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයෙක් නොවීම නිසා ය. පක්ෂයක සාමාජිකයෙක් නොවී එතුල කණ්ඩායම් හැදීමට බැරි බව පැහැදිලි කරුණකි. කොලොන්තායි සහෝදරිය 1903 (රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සම්මේලනය තුළ) බොල්ෂෙවික් මෙන්ෂෙවික් මථභේධයේදී පාර්ෂවයක් නොගත් අතර ඇය බොල්ෂෙවික් පක්ෂයට බැඳුනේ 1915 දී ය. විප්ලවයෙන් පසු සමාජ සුබසාධනය පිලිබඳ කොමිසාර්වරිය ලෙස කටයුතු ඇරඹූ ඇය, ෂියැප්නිකොව් හා මෙඩ්විඩෙව් විසින් සංවිධානය කළ “කම්කරු විරුද්ධ පාර්ශවය”ට සම්බන්ධ වෙමින් එහි නායිකාවක් වූවා ය. එය විසින් ඉල්ලා සිටියේ කර්මාන්තශාලා පාලනය වෘත්තීය සමිති වලට එනම් ඒ ඒ කම්හල් වල කම්කරුවන්ගේ පාලනයට නතු කළ යුතු බවයි. කොමියුනිට් පක්ෂයේ නිර්ධන පංතිමය නොවන්නවුන් ඉවත් කිරීමටත්, රජයේ පරිපාලන තනතුරු වලින් නිර්ධන පංති නොවන අය ඉවත් කිරීමටත්, ඔවුන් ඉල්ලා සිටින ලදී. මේ සම්බන්ධයෙන් ලෙනින් පෙන්වා දුන්නේ දහයෙන් නමයක් පක්ෂ සාමාජිකයන් නොවන වෘත්තීය සමිති සාමාජිකත්වයක් ඇති වෘත්තිය සමිති වලට කම්හල් පරිපාලනය ලබා දෙන්නේ නම් පක්ෂයක් තිබෙන්නේ කුමට ද කියායි. එමෙන්ම කම්කරු පංතියේ වගකීම වන්නේ හුදු ෆැක්ටරි පාලනය නොව මුලු රටේම දේශපාලන ආධිපත්‍යය දැරීම බවද ලෙනින් අවධාරණය කළේය. නිලධාරි තත්ත‍්‍රයේ නැගීමට ප‍්‍රතික‍්‍රියාවක් වූ මේ කම්කරු විරුද්ධ පාර්ෂවයේ බොහෝ පිරිස් පසුව ට්‍රොට්ස්කි නායකත්වය දුන් වාම විරුද්ධ පාර්ශවයේ සගයන් බවට පත් වූහ. ස්ටාලින් විසින් මේ වාම විරුද්ධ පාර්ෂවයේ නායකයන් පිටුවහල් කරමින්, මරා දමමින් ගෙන ගිය භීෂණයෙන් ගැලවුනේ කොලොන්තායි සහෝදරිය පමණි.
සිනොවියෙව් – කමනෙව් සමඟ එක්වී කණ්ඩායමක් හැදුවේ ය. ඒ 1917 අප්‍රේල් මස විප්ලවය සම්බන්ධයෙන් ලෙනින් ගත් ස්ථාවරය ට එරෙහිව ය. එසේ වුවත් කමනෙව් නිරන්තරවම පක්ෂයේ බොහෝ ප‍්‍රායෝගික තීරණ සමඟ ක‍්‍රියාත්මක විය. විප්ලවයේ ජයග‍්‍රහණය මේ ඊනියා කණ්ඩායම නිමා කළේය. විප්ලවයට පෙර බුකාරින් කණ්ඩායමක් හැදූ බවක් පැහැදිලි නැත. විප්ලවයෙන් පසුව දක්ෂිණාංශික ස්ථාවරයන් ගත් හෙතෙමේ ස්ටාලින්ගේ කිට්ටු සගයෙක් වීය. එය කණ්ඩායමක් ලෙස සුලුතරය දකින්නේ දැයි නොදනිමු.
කෙසේ වෙතත් කණ්ඩායමක් පිළිබඳව පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රායෝගික ලෙසම නිරවුල්ව පවතිද්දී බොල්ෂෙවික් පක්ෂයේ කණ්ඩායම් ගැන වල්පල් දොඩවන්නේ කුමක් ඔප්පු කිරීමට දැයි නොපැහැදිලිය.
ලෙනින් ට එදිරිව ට්‍රොට්ස්කි – මුසාව
ලෙනින්ට එරෙහිව ට්‍රොට්ස්කි දීර්ග කාලයක් සටන් කළ බවත්, ලෙනින් ද ට්‍රොට්ස්කිට විරුද්ධව දැවැන්ත අරගලයක් කළ බවත්, වරෙක ඔහු ට්‍රොට්ස්කිව ජුදාස්ට සම කළ බවත් මේ අභ්‍යන්තර නිවේදනය කියයි. තවදුරටත් එය කියන්නේ තියුණු දේශපාලන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස 1917 අප්‍රේල් වන විට ලෙනින්, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය නිවැරදි බව පිලිගත් බවත්, ලෙනින් අප්‍රේල් තීසීසය නැමැති මාහැඟි කෘතිය රචනා කළේ ඒ මත පදනම්ව බවත් කියයි. මේ කතා ලංවන්නේ විකෘති කිරීම් වලට වඩා මුසාවාද වලටය.
රුසියානු විප්ලවයේ ගමන් මග පිළිබඳව ලෙනින් හා ට්‍රොට්ස්කි සිටියේ එකම අදහසක ය. වෙනස පැවැතියේ විප්ලවයෙන් බිහිවන ආණ්ඩුවේ ස්වාභාවය පිළිබඳව පවණි. එය ගැමි ගොවි අරගලය මගින් ගොවීන්ට තමන්ගේ ම පක්ෂයක් සාදාගත හැකිද යන කරුණ පදනම් වූවකි. ට්‍රොට්ස්කි එවැනි පක්ෂයක් ඇතිවීමේ ඉඩක් නැතැයි තක්සේරු කළේ ය. ලෙනින් කාරණාව බොහෝ දුරට විවෘතව තැබීය.
විප්ලවය එහි ගමන් මග ඔස්සේ ධනපති සීමා බිඳගෙන නොනැවතී ඉදිරියට යෑම පිළිබඳව දෙදෙනා අතර කිසි කළෙක මතභේධයක් නොවීය. ඒ ගැනද මතභේධයක් තිබිනැයි යන්න ස්ටාලින්වාදීන්ගේ කෙබරයකි. අවදි දෙකේ විප්ලව න්‍යාය සඳහා පදනම දමා ගැනීමට මේ කෙබරය අවශ්‍ය විය. (රනත් ගේ පෙරකී පිලිතුරේ “නොනවතින විප්ලවය” පිලිබඳ කොටස බලන්න) සුලුතරය තවමත් කරගසා සිටින්නේ එයටය.
ලෙනින්ව කොපි කාරයෙක් කිරීම
ලෙනින් අප්‍රේල් තීසීසය ලියන ලද්දේ මොවුන් කියන පරිදි නොනවතින විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ පොත කොපි කිරීමෙන් නොව 1917 පෙබරවාරි විප්ලයෙන් ඇරඹුන විප්ලව සන්තතිය විමසීමෙනි. ඒ අනුව නොනවතින ට්‍රොට්ස්කිගේ පොත තිබුනත් නැතත් අප්‍රේල් තීසීසය ඒ අයුරින්ම පැමිණෙයි. පෙබරවාරි විප්ලවයේ ඵලය ලෙස පක්ෂයේ පැරණි සටන් පාඨය වූ කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය බිහිවී අවසාන බව ලෙනින් ඒ මගින් පක්ෂයට පෙන්වා දුන්නේ ය. නමුත් කුමක් ලෙසටද? ඒ ධනපති ආඥාදායක්වයක් ලෙසට බව ලෙනින් පෙන්වා දෙයි. නමුත් විප්ලවය ඒ සීමා තුළ කෙලවර විනැයි ජයපැන් බීම පක්ෂයේ කටයුත්ත නොවේ. විප්ලවය ඒ සීමාවෙන් ඉදිරියට ගෙන යා යුතුය. බිහිවී ඇති ධනපති ආඥාදායකත්වය විප්ලවයේ පරමාර්ථයන් ඉටු කරන්නට අසමත්ය. ඒ නිසා එය ජනතා ජයග‍්‍රහනයක් නොව සැබෑ ජයග‍්‍රහනය වළකන ප‍්‍රතිවිප්ලවකාරී බාධකයකි. එය ඉක්මවා කම්කරු පංතියේ ආඥාදායකත්වය අත්පත් කරගත යුතුය. ජයග‍්‍රහණය ඇත්තේ එතැනයි. ලෙනින් අප්‍රේල් තීසීසයෙන් පැහැදිලි කළේ එයයි. අප්‍රේල් තිසීසය මතුපිටින් බලා එය ට්‍රොට්ස්කිවාදය යයි කීවෝ සමහර බොල්ෂෙවික් මධ්‍යමකාරක සභිකයින් ය. අප්‍රේල් තිසීසය මගින් ලෙනින් ට්‍රොට්ස්කිවාදියෙක් වීම ගැන සිනොවියෙව්-කමනෙව්ලාට පිලිතුරු දෙමින් ට්‍රොට්ස්කි මෙය මනාව පැහැදිලි කර ඇත. නමුත් අදත් සුලුතරය පෙලගැසී සිටින්නේ ඔවුන් සමඟ ය.
පක්ෂය තම ඉතිහාසය තුළ ගෙන ගියාවූ දැවැන්ත න්‍යායික හා දේශපාලනික අරගලයන් ඔස්සේ වර්ධනය කෙරුණු මාර්ක්ස්වාදී ස්ථාවරයන්ට පස්ස හරවා මේ සුළුතරය කියන, සාමූහික චින්තනක් ගොඩ නගා ගැනීම, රැවටිලිකාර ප‍්‍රකාශයක් පමණි. අපි ගොඩනගන්නේ පණ්ඩිතමානී මධ්‍යම පාංතික සදාචාරවාදීන්ගේ ඊනියා “සාමූහික චින්තන” නොවේ. ලොව වටහාගැනීමට අදාල අපෝහකවාදී දෘෂ්ඨියයි.
ජුදාස් කව්ද?
ට්‍රොට්ස්කිගේ යම් යම් මත සම්බන්ධයෙන් ලෙනින් දැඩිසේ විවේචනය කළ අවස්ථා දැකිය හැකිය. මෙහි දී මතක තබාගත යුත්තේ ජනතා අරගලයේ ප‍්‍රාතමික බව ගැන ඔවුන් අතර කවදාවත් වැදගත් මතභේද නොවූ බවයි.
විශේෂයෙන් 1912 කාලයේ පක්ෂය දියකර හරින්නන් (ලික්විඬේටර්වරු) සමඟ බොල්ෂෙවික් පක්ෂය එක් කිරීමට ගත් ප‍්‍රයත්නයන්ට විරුද්ධවත්, ප‍්‍රතිපත්ති රහිත ලික්ඬේටර්වරුන්ගේ සමඟිය නියම සමඟියක් නොවන බව ඔප්පු කිරීම සඳහාත්, එහි දී සමඟිය ගැන ට්‍රොට්ස්කිගේ තර්ක වල පුහු බව සනාථ කිරීම සඳහාත්, ලෙනින් තියුණු ලෙස ප‍්‍රහාර එල්ල කර තිබේ. කෙසේ වෙතත් වැදගත් දේ ඒවා නොවේ. අත්දැකීම් තුළින් වරද තේරුම් ගත් ට්‍රොට්ස්කි මෙන්ම ඔහුගේ දේශපාලන සගයෝත් එම වරද යලි යලිත් කරන්නන් සමඟ නිර්ධය ලෙස සටන් වැදීමට ක‍්‍රියා කිරීමයි. එහි දී ස්ටාලින්, බර්න්හැම්, ෂැට්මන් ආදීන්ට එරෙහි අරගලය ප‍්‍රධාන තැනක් ගනියි.
“………..සියල්ල පරදුවට තබා හෝ සමඟිය ඇති කිරීමට උත්සාහ කිරීම මගින්, මම නොදැනුවත්වම සහ ගැලවීමට නොහැකි ලෙස මෙන්ෂෙවික්වාදය තුළ පැවැති මාධ්‍යමික* හැඩ ගැසීම් හුවා දැක්වූයෙමි. එසේම මවිසින් තෙවරක්ම නොකඩවා දරණ ලද තාවකාලික උත්සාහයන් යටපත් කරමින් මෙන්ෂෙවික්වරුන් සමඟ පොදු ස්ථාවරයක් කරා මම නොපැමිණියෙමි. එය කරා පැමිණීමට මට නොහැකි විය. ඒ හා සමඟම බොල්ෂෙවික්වාදය සමඟ වඩාත් දරුණු ගැටුමක් කරා සමඟි කිරීමේ පිළිවෙත විසින් මා ගෙන යන ලදී. මන්ද යත් මෙන්ෂෙවික්වරුන්ට පටහැනි ලෙස, ලෙනින් විසින් සමඟි කිරීමේ පිළිවෙත තදින්ම ප‍්‍රතික්ෂේප කිරීම නිසාය….. සමඟි කිරීමේ පිළිවෙත මත කිසිම කණ්ඩායමක් ගොඩ නැගිය නොහැකි බව පැහැදිලිය……….” (නොනවතින විප්ලවය – 49-50 පිටු)
(*විප්ලවය හා ප්‍රතිසංස්කරණවාදය අතර වැනෙමින් සිටීම.)
ඔහු එකී තම පිළිවෙතේ වරද තේරුම් ගනිමින් තවදුරටත් මෙසේ ලියයි. “…..නියම විප්ලවවාදී පක්ෂයෙහි අභ්‍යන්තරය පන්නරය ගැන්වීමේ සහ පණ පෙවීමේ අරමුණු ඇතිව, සමහන් කළ නොහැකි ලෙස සංකල්පවාදීව බෙදීමේ සහ අවශ්‍ය වුවහොත් කැඩී වෙන්වී යෑමේ ලෙනින්ගේ ප‍්‍රතිපත්තියෙහි වූ ඓයිතිහාසික වැදගත්කම මට ඒ කාලයෙහි දී නොපැහැදිලි විය……”
1937 ඩූවි කොමිසම ඉදිරියේ දී ට්‍රොට්ස්කි මෙසේ කීවේ ය. “…..1904 සිට 1917 දක්වා මා කණ්ඩායම් දෙකෙන්ම ඈත්වී සිටි බව සම්පූර්ණයෙන්ම ඇත්ත ය. මෙන්ෂෙවික්වරුන්ගේ වැඩි කොටස විප්ලවවාදී මාවතට තල්ලු කිරීමේ හැකියාවක්, එක්සත් වීම විසින් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. මෙන්ෂෙවික්වරුන් සමඟ එක්සත් වීමට විරුද්ධ වීමේදී ලෙනින් සම්පූර්ණයෙන්ම නිවැරදිය. අවස්ථාවාදය ජාතිවාදය බවටත්, අධිරාජ්‍යවාදය බවටත් පත් වූ යුද්ධ කාලයේ දී මම මගේ වරද තේරුම් ගතිමි……” (The Case of Leon Trotsky)
“……අශික්ෂිත සමඟියේ පරමාර්ථය වෙනුවෙන් දේශපාලන පිළිවෙතක් කඩා දැමීමට හෝ දුර්වල කිරීමට හෝ කිසිඳු අවසරයක් දිය නොහැක. එය මරණීය පහරක් වනු ඇත. මාධ්‍යමිකවාදය වමට කරනම් ගැසූ විට, එය ලස්සන කර දැක්වීමට අවසර දිය නොහැක. නන්නත්තාරේ යන මාධ්‍යමිකවාදීන් ලුහුබැඳ යාමේ දී සමාන අදහස් දරණ විප්ලවවාදී සම චින්තකයන් (Co-thinkers) සමඟ ඇති අදහස් වල වෙනස්කම් අතිශයෝක්තියෙන් දැක්වීමට හෝ පුම්බා දැක්වීමට ඉඩ නැත. ට්‍රොට්ස්කිගේ නියම වැරදි වල නියම පාඩම් මේවාය…….” (නොනවතින විප්ලවය – පිට 50)
ට්‍රොට්ස්කි එසේ තම වරද නිවැරදි කර ගත්තේය. නිවැරදි දැය වෙනුවෙන් සටන් කළේය. නමුත් තමන්ගේ දේශපාලනික නීහින කම් යුක්ති සහගත කිරීම සඳහා ඔවුන් අතර පැවැති මේ විවාදයේ දී භාවිත වූ වචන යොදාගැනීමට පක්ෂයේ සුළුතරය වෑයම් කරයි. ඒ ලෙනින් ට්‍රොට්ස්කි සම්බන්ධයෙන් කර ඇති විවේචනයන්හිදී භාවිත කළ “ජුදාස්” යන සංඥානාමය යොදා ගනිමිනි. තමන් විසින් පක්ෂයේ නායකයන්ට එරෙහිව පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දී “වමේ හඩ” පුවත්පත මගින් හා ජනමාධ්‍ය සාකච්ඡා ඔස්සේ එල්ල කරන ලද අවලාද හා නින්දා අපහාස, මේ ලෙනින්ගේ වචනය මගින් යුක්ති සහගත කිරීම ඔවුන්ගේ පරමාර්ථයයි. ඒ මගින් පක්ෂ නායකත්වය නැති කිරීමට කටයුතු කිරීම ලෙනින්වාදය හා සම බව පෙන්වීමට ඔවුන් වෑයම් කරයි.
පක්ෂ නායකයන් වික‍්‍රමබාහුගේ “ආවතේවකාරයින්” ලෙස හඳුන්වා තමන් කළ නින්දා කිරීම එසේ කළ ප‍්‍රමාණයටම ප‍්‍රසිද්ධියක් ලැබෙන අයුරු එම ස්ථානයේම පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ඉල්ලා අස්කරගෙන සමාව ඉල්ලා සිටිය යුතු බව පක්ෂය ඔවුන් වෙත දැනුම් දී තිබේ. එයට පිළිතුර පක්ෂයේ සමහර සහෝදර සහෝදරියන්ට බෙදාහැර ඇති ඔවුන්ගේ මේ ප‍්‍රතිමාක්ස්වාදී අභ්‍යන්තර නිවේදන පත‍්‍රිකාව විය හැක. ඔවුන් මෙයින් පෙන්වන්නට තතනන්නේ ලෙනින් වැන්නෙකු ට්‍රොට්ස්කි වැන්නකුව ජුදාස් ලෙස, එනම් ජේසුව පාවාදුන් තැනැත්තා ලෙස හැඳින්වූවා නම්, අපේ පක්ෂයේ නායකයන්ව වික‍්‍රමබාහුගේ ආවතේවකාරයන් ලෙස හැඳින්වීමේ ඇති වරද කුමක් ද කියාය යන්න පැහැදිලිය. ඔවුන් ආවතේවකාරයන් වන අතරේ වික‍්‍රමබාහු රදළ වංශාධිපතියා බවට ඉබේම පත් කිරීමේ වරදක් ද නැති බවය. තමන් ඉතිහාසය නොදන්නා කම හෝ වංචනික කම මෙයින් පෙනේ.
දැන් අපි මේ ජුදාස් කවුදැයි සොයා බලමු.
“Judas Trotsky’s Blush of Shame
At the Plenary Meeting Judas Trotsky made a big show of fighting liquidationism and otzovism. He vowed and swore that he was true to the Party…………. Plenary Meeting to the effect that no Party lecturer may go to the Vperyod factional school; Judas Trotsky did go and discussed a plan for a conference with the Vperyod group…………… And it is this Judas who beats his breast and loudly professes his loyalty to the Party, claiming that he did not grovel before the Vperyod group and the liquidators…………. Such is Judas Trotsky’s blush of shame.” (Lenin – 1911 දී)
ස්ටාලින්වාදීන් අපේ සුළුතරය හා පෙළට සිටිමින් මේ ලෙනින් හා ට්‍රොට්ස්කි අතර පැවැති වෙනස්කම් මහා පාවාදීම්වලියක් තුළ ඇති වූවක් ලෙස පෙන්වීමට ලෙනින්ගේ මේ ප‍්‍රකාශය දිගින් දිගටම යොදා ගන්නා ලද බැවින් 1937 පැවැති ඩූවි කොමිෂන් සභාවේ දී ට්‍රොට්ස්කිගෙන් මේ ගැන ප‍්‍රශ්න කරන ලදී. ඔවුන් ඒ සඳහා යොදා ගන්නා ලද්දේ ස්ටාලින්වාදීන්ගේ මේ චෝදනාව ඇතුලත් පොතකි. කොමිෂමේ ලා ෆොලොට් මෙසේ අසා ඇත. “……..ට්‍රොට්ස්කි ද්‍රෝහියා නම් වූ පොත් පිංචක් මා ලඟ තිබේ. එය පටන් ගන්නේ මෙසේය ………… ලෙනින් ට්‍රොට්ස්කිව හැඳින් වූයේ ජුදාස් ලෙස ය…………එය ඇත්තක් ද?…….”
ට්‍රොට්ස්කි මෙසේ පිලිතුරු දෙයි. “………….ඔව්, එය ඇත්තකි. ඔහු එසේ ලීවේ 1911 දී යයි මම සිතමි. නමුත් ජුදාස් කියා නොවේ. එය ගෙතූ කථාවකි. එය රුසියන් නව කථාවක එන පුද්ගලයෙකි. මතබේධයකදී ඔහු (ලෙනින්) මේ පුද්ගලයාගේ නම පාවිච්චි කළේය. එය මිතුරු සාකච්ඡාවක් නොවේ. නමුත් ක‍්‍රිස්තුස්වහන්සේ පාවාදුන්නා යයි කියන ජුදාස් ට කිසිම සම්බන්ධතාවයක් නැත…..” (The Case of L.T.) දැන් අපේ සුලුතරය මෙය ට්‍රොට්ස්කිගේ බොරුවක් යයි ලා ෆොලොට් අත තිබූ ස්ටාලින්වාදීන්ගේ ප‍්‍රකාශනය සමග එක පෙළට සිටිමින් හඩ නැගුවද එය පුදුමයක් නොවේ. මන්ද ඔවුන් දැන් ලැග සිටින ගුබ්බෑයම අනුව ට්‍රොට්ස්කි බොරුකාරයෙකු යැයි කීම අරුමයක් නොවන හෙයිනි.
කෙසේ වෙතත් පක්ෂයේ සහෝදරවරුන්ගේ දැන ගැනීම සඳහා මෙය ගැන තවත් යමක් කිව යුතුය තිබේ. ලෙනින් තම Renegate Kautsky කෘතියේ දී විප්ලවයට විරුද්ධ වූ කවුට්ස්කිට ජුදාස් යයි කියා තිබේ. මේ ගැනනම් ස්ටාලින්වාදී තන්ත‍්‍රය සානුකම්පික ලෙස සංලක්ෂයක් සටහන් කර ඇත්තේ ය. එය කියන්නේ මේ ජුදාස් යනු ජුදාස් කොලොව්යෙව් නැමැති සෙල්ටිකෝව් ෂෙඩ්රින්ගේ “ගොලොව්යෙව් පවුල” නම් නව කතාවේ එන අධිෂ්ඨානයක් නැති චරිතය බවයි. දියකර හරින්නන් සමඟ සමාදානය පැතූ ට්‍රොට්ස්කිට ලෙනින් එවන් චරිතයක් ආරෝපනය කිරීම තේරුම් ගත හැක්කකි.
එසේ ලෙනින් ට්‍රොට්ස්කිට පහර ගැසුවේ ප‍්‍රතිපත්ති රහිත අවස්ථාවාදීන් විසින් ඉල්ලා සිටින, ප‍්‍රතිපත්ති රහිත සමඟිය තේරුම් නොගැනීම ගැනය. 1912 න් පසු පක්ෂයට අයත් නොවූ කොටස් සමඟ එක්වීම ගැන ලෙනින් ට්‍රොට්ස්කිට එසේ පහර දීම පුදුමයක් නොවේ. ඊලගට ට්‍රොට්ස්කි ගැන ලෙනින් මෙසේ කියයි. “…………. 1. නොයෙකුත් මාක්ස්වාදී හැඩ ගැසීම් සහ කණ්ඩායම් අතර ඇති සංකල්පවාදී මතභේද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉතිහාසයේ වර්ෂ විස්සක් තුළ දිවෙන නමුත් ඒවායේ ඇති ඓයිතිහාසික වැදගත්කම ට්‍රොට්ස්කි විස්තර නොකරන අතර ඔහුට එය අවබෝධ නොවේ. 2. කණ්ඩායම් බෙදීම් වල විශේෂ ලක්ෂණයක් නම් නමට පමණක් සමඟිය පිලිගැනීම සහ ඇත්ත වශයෙන්ම අසමගිය බව අවබෝධ කර ගැනීමට ට්‍රොට්ස්කි අසමත් වෙයි. 3. ‘කණ්ඩායම්වාදී නොවීම’ යන කඩතුරාව යටතේ ට්‍රොට්ස්කි විසින් ස්ථීර ප‍්‍රතිපත්ති නොමැති සහ රුසියන් කම්කරු පංති ව්‍යාපාරය තුළ පදනමක් නැති විදේශගත කණ්ඩායමක ඕනෑකම වෙනුවෙන් පෙනී සිටීම. 4. සමාජවාදය පාවාදුන් මධ්‍යම පංතිකයන්ගේ ප‍්‍රතිපත්තියෙන් ස්ථීර ලෙසම කැඩී වෙන්වීමේ පදනම මත, නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්ථාවරයන් පිළිගන්නාවූ කණ්ඩායම් සහ (ප‍්‍රවනතා) හැඩගැසීම් සමඟ කිට්ටු සබඳතාවක් පැවැත්වීම සහ සමඟි වීම අවශ්‍යයය ………..” (Lenin – Against Trotskyism – 108 පිට)
ඉතිහාසයෙන් උගුල්ලා ගත් යම් යම් දැය, ඒවායේ සංදර්භයෙන් හා ඓයිතිහාසික වර්ධනයෙන් වෙන්කර වර්තමානයේ තම විකෘති දේශපාලන අවශ්‍යතා සඳහා ඉදිරිපත් කිරීම නම් ජේසු චරිතයේ එන ජූදාස්ගේ පිලිවෙත හා සම කළ හැකිය. ලෙනින් හා ට්‍රොට්ස්කි අතර තිබූ මතභේද සදාකාලික සතුරුකම් ලෙස ලෙනින් සැලකී යයි පෙන්වීම මගින් තමන් හා පක්ෂ නායකත්වය අතර පවතින නොපෑහෙන මතභේද ඒවා හා සමානයයි පෙන්වීම මගින් තමන්ගේ සාපරාධී පුද්ගලික ප‍්‍රහාරයන් සාධාරණය කිරීමට වෑයම් කිරීම කොයිතරම් නම් දේශපාලන තුච්ඡ කමක් වන්නේ ද? වචන විසින් කාරණයෙහි හරය සඟවාලනු ලබන්නේ ඉඳහිටමත් නොවේ.
රනත්
2015 අප්‍රේල් 05
සබැදි ලිපි
1 Response
[…] ප්‍රතිසංස්කරණවාදය හා විප්ලවය අතර තවත… […]