ලෙනින්ගේ උප්පත්තියෙන් වසර 150 ක්

සේයා - අන්තර්ජාලයෙන්

රුසියාව තුළ කොරෝනා වෛරස තහංචි පනවා තිබියදී, පසුගිය 22 දින ජනයා රතු චතුරස්‍රයට පැමිණියේය. ඔවුහු රතු චතුරස්‍රයේ පිහිටි ලෙනින් සමාධිය ඉදිරිපිට මල් තබා ආචාර කළහ. බොල්ෂෙවික් විප්ලවයේ නියමුවාගේ 150 වන උපන්දිනය සැමරීමටයි ඒ.

අප්‍රේල් 22 දිනය, දින දර්ශනයේ සාමාන්‍ය දිනයක් ලෙස සටහන් වුවද එය ලෝ වාසී වැඩ කරන ජනතාවටත්,  පීඩිත ජාතීන්ට හා ජනතාවන්ට සුවිශේෂී දිනයකි. ඒ මීට වසර 150 කට පෙර එනම් 1870 වර්ශයේදී රුසියාවේ වොල්ගා නදිය අසල ‘සිම්බර්ස්ක්’ නගරයේදී ‘ව්ලැදිමීර් ඉල්යිඩ් උල්යානොව්’ නොහොත් වී. අයි. ලෙනින් ගේ උපත සිදුවීමයි. ඊට වසර 47 කට පසුව, එනම් 1917 ඔක්තෝම්බර් 26 දින; 20 වෙනි ශත වර්ෂයේ විශිෂ්ටතම සිදුවීම සනිටුහන් කරන වදන් වැල ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. “…දැන් අපි සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනැගීමට ඉදිරියට යන්නෙමු….” ඔහුගේ උපතේ සිට මරණය දක්වා රුසියානු සමාජය තුළ සිදුවූ සමාජ අරගල, ගැටුණු දේශපාලන මතවාද, සංකල්ප මෙවැනි  කෙටි සටහනකට සීමා කිරීම දැවැන්ත ජල කඳක් දෝතින් ගැනීමට දරන ප්‍රත්නයක් මෙනි. මෙම කාල පරිච්ඡේදයේදී රුසියාවේ සිදුවු සෑම විශේෂිත සිදුවීමකම ඔහුගේ නම සනිටුහන් විය. රුසියාවේ සාර්වාදයටත්, අනතුරුව ඇතිවූ ධනේශ්වර පාලනයටත් විරුද්ධව සමාජවාදී සමාජයක් ඇති කිරීමේ දැවැන්ත අරගලයේ නියමුවා ඔහුය.

ඔහුගේ දේශපාලන දිවියේ ආරම්භය 1889 ලෙස හැඳින්විය හැක. අරගලකාරී දේශපාලනයට සම්බන්ධවීමෙන් කසාන් නගරයේ නීති විද්‍යාලයේ පරීක්ෂණයට බාහිර සිසුවකු වශයෙන් ඉදිරිපත්වීමට ඔහුට සිදුවේ. එවක පැවති විවිධ අදහස් උදහස්  අතර මාක්ස්වාදී හැදෑරීමකට අවශ්‍ය පරිසරය ඉන් ඔහු වෙත විවර වේ. ජී.වී.ප්ලෙහනෙව්ගේ කෘති මහත් උනන්දුවෙන් හැදෑරීමට පෙළඹීම තුලින් මාර්ක්ස්වාදී දේශපාලන දැනුම වර්ධනය කරගනී. මේ අවදියේ රුසියාවේ සමාජ ආර්ථික පසුබිම අතිශයින්ම ව්‍යාකූල වූවකි. විවිධාකාර දේශපාලන මතවාද ගණනාවකි. මේ අතර ඒ වන විටත් වර්ධනය වෙමින් සිටි  නාගරික කර්මාන්ත කම්කරු පංති ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සමාජ ක්‍රමයේ ඓතිහාසික ඉරණම විසදීමට සමත්වන බව ග්‍රහණය කර ගැනීමට ලෙනින් සමත්විය. පැවති තත්ත්වයන් යටතේ ඔහු එම කාර්යභාරයේ වගකීම සාර්ථකව ඉදිරියට ගත්තේය.

1896 දී අත් අඩංගුවට පත්ව සයිබීරියාවට පිටුවහල් කිරීමට ලක්වන ලෙනින් එහිදී ඇසුරු කිරීමට ලැබෙන විවිධ දේශපාලන මත දැරූ පුද්ගලයින් නිසා සිය දේශපාලන දැනුම වඩාත් පෝෂණය කර ගැනීමට මග පාදා ගනී. ඔහුගේ ජීවිතයේ විචිත්‍රවත් සිදුවීම මේ පිටුවහල් සමයේදී සිදු වේ. ඒ කෘප්ස්කයා නමැති යුවතිය මුණගැසීමයි. ඔහුගේ මරණය තෙක් ජීවිත ගමනේ ආත්මගත සවිය වූයේ ඇයයි.

රුසියානු විප්ලවයේ දේශපාලන මතවාදය මතු කළ ‘ඉස්ක්‍රා’ පුවත්පත ඇරඹුණේ මේ සමයේ දී ය. තවත් වසර කීපයකින් අනතුරුව රුසියාවේ දේශපාලන ක්‍රියාදාමයේ තීරණාත්මක අවස්ථා හා මතවාද දිගහැරේ. ‘ඉස්ක්‍රා’ පුවත්පත කම්කරු පංති ව්‍යාපාරය තුළට ගලා එන ප්‍රතිසංස්කරණවාදයටත්, අවස්ථාවාදයටත් විරද්ධව මෙන්ම සුළු ධනේශ්වර සංවිධාන වල ත්‍රස්තවාදී මූලෝපායන්ට එරෙහිවත් මතවාදී අරගලයේ යෙදෙමින් නිර්ධන පංතියේ බහුජන සටන් වැඩපිලිවෙල පෙරමුණට ගත්තේ ය.   සාර් රාජ්‍ය පාලනයේ ආචීර්න කල්පික වැඩවසම්වාදී මර්ධණීය තන්ත්‍රය බිද හෙලීම සදහා ධනපති ලිබරල්වාදී මතවාදය හා ගැටෙමින් ම ප්‍රජාතන්ත්‍රවාදී මතය ඉදිරියට ගෙන යාමට ක්‍රියාත්මක විය.

මෙම අවදියේදී පළමුවන ලෝක යුද්ධය, එනම් අධිරාජ්‍යවාදී රටවල් තමන් අතරේ ලෝකය බෙදාගැනීමේ යුද්ධයක නිරතව සිටියහ. මාතෘ භූමිය රැක ගැනීම සියල්ලට ප්‍රධානය යන දේශෝත්තමවාදී මතවාදය රුසියානු ජන සමාජය තුළ ප්‍රචලිතව තිබියදී, ලෙනින් මේ අධිරාජ්‍යවාදීන්ගේ යුධයට හරස්ව සිවිල් යුද්ධය යෝජනා කළේය. “පිටස්තර අධිරාජ්‍යවාදයට විරුද්ධව ලබන ජයග්‍රහණයත්, මිත්‍ර අධිරාජ්‍යයවාදය හා ඇති කරගත් සන්ධානයක් මගින් ඇති කරනු ලබන ජයග්‍රහණයන්ද මූලධර්ම වශයෙන් පිටු දකිමු….” එම අදහස ජනතාවගේ දේශපාලන දැක්ම අධිරාජ්‍ය විරෝධී දිසාවකට යොමු කළේය. යුද්ධයෙන් රැසියානු අධිරාජ්‍යවාදය පසුබසින පළමු මොහොතේ දීම වැඩ කරන ජනතාවගේ නැගිටීම් ඇරඹුණු අතර 1917 පෙබරවාරියේ දී සාර් රාජ්‍ය පාලනය බිදවැටී රුසියානු ධනපති පංතියේ ආණ්ඩුවක් පිහිටුවිනි. මෙම ක්‍රියාදාමයේ මීලග විධිමත් අවස්ථාවක් පීටර්ස්බර්ග් නගරයේ කම්කරුවන්ගේ සෝවියට් සභාව පිහිටුවීමෙන් සළකුණු කෙරුණි. එය ලෙනින්ගේ අදහසක් ඵල ගැන්වීමකි. සෝවියට් සභාවන් ධනපති ආන්ඩුවේ නියෝග ප්‍රතික්ෂේප කළේය. ධනපති ආණ්ඩුවට විකල්ප ව සංවිධානාත්මක කම්කරු පංතියේ බලය ප්‍රකාශ කළේය. 1917 ඔක්තෝම්බර් 10 දින බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාව විසින් සන්නද්ධ නැගිටීමක් කරා සෝවියට් බලය මෙහෙයවමින් සෝවියට වෙතට රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සහතික කරන ලදි. ඔක්තෝම්බර් 26 ඓතිහාසික සමාජ ප්‍රගතියේ නව ප්‍රවේශයක් සනිටුහන් කළේය. එහි මාවත ලෙනින්ගේ පිය සටහන් මත ඉදි විය.

රුසියානු සමාජය ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද සවිමත් කිරීමේ කාර්යය ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික් පක්ෂයේ උර මත රැදුණි. මෙම දුෂ්කර කාල පරිච්ඡේදය අතිශයින්ම තීරණාත්මක විය. එතැන් සිට ලෙනින්ගෙ ජීවිත කාලය වසර 07කට සීමා විය. එම කෙටි කාලසීමාව තුළ රුසියාව කාර්මීකරණය කිරීමටත්, විද්‍යා තාක්ෂණයෙන් උසස් අදියරකට ගෙන ඒමටත් ඔහු වෙර දැරුවේය. උතුරුදිග මහා දුම්රිය මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමුවේය. සමස්ථ රුසියානු භූමියට විදුලිය ලබාදීමේ මූලාරම්භය ලෙනින්ගේ මග පෙන්වීම යටතේ ඇරඹුණි.

සමාජවාදී දේශපාලනය සවිමත් කිරීම සඳහා ලෙනින්ගෙන් සිදුවූ මෙහෙයන් අප්‍රමාණය. ඔහු ලියූ ග්‍රන්ථ සහ ලිපි ලේඛන වලින් නිර්ධන පංති දේශපාලනය ආලෝකමත් විය. මේ වනවිට රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපයේ සමාජවාදී යැයි නිල වශයෙන් ප්‍රකාශිත රට වල පැවති දේශපාලන ක්‍රම බිඳවැටී ඇත. බලාපොරොත්තු සහගත වූ කම්කරු පංති දේශපාලනයක් එකී රට වල ගොඩනැගුනේ නැත. ඒ ලෙනින් ඇතුළු මාක්ස්වාදීන් ගේ ලෝක විප්ලවය පිළිබද ඉදිරිදර්ශනය  දැවැන්ත පාවාදීම් වලියක් මගින් කලකට මකා දැමීම නිසා ය.

මේ ඉදිරිදර්ශනය මත ක්‍රියාකිරීම ප්‍රතික්ෂේප කිරීමේ ඵලය වූයේ නිල සමාජවාදී රටවල් පද්ධතියම එකක් ඇර එකක් ලෙසින් ඇද වැටීමයි. මේ රටවල පාපී පාලක පැලැන්තීන් ඒහි වරද ලෙනින්වාදය මත පටවා දුක් පීඩාවන්ගෙන් පෙළෙන වික්ෂිප්ත ජනතාවගේ ප්‍රචන්ඩත්වයෙන් ගැලවිමට මාන බැලී ය. වීදි බට ජනතාව විසින් ලෙනින්ගේ ප්‍රතිමා එම රටවල ප්‍රසිද්ධ ස්ථානවලින් ගලවා ඉවත් කෙරුණි. ඇතැම් කැනෙක පිළිරූ බිද දමන ලදී.

එහෙත් ඉතිහාසය යම් කලකට හරස් කිරීමේ හැකියාව යම් නායකයින් නඩයකට තිබුණ ද, ඒ බැමි පුපුරවාගෙන ඉතිහාසයේ ගමන දැන් යලි ඇරඹී තිබේ.  ඒ අනුව යලි ජාත්‍යන්තර නිර්ධන පංති  ව්‍යාපාරයේ මුදුනේ ලෙනින්ගේ ධජය ලෙලදෙන දිනය වැඩි ඈතක නොවන්නේ ය.

ප්‍රියන්ත සිල්වා

ලෙනින් සහෝදරයාගේ 150 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ලියැවුනු තවත් ලිපි ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට “හරය” අපි බලාපොරොත්තු වෙමු.

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.