සමාජවාදය ප්‍රජාතන්ත්‍ර විරෝධී ද?
තමන් වම්මුන් යැයි හදුන්වා ගන්නා සමහරෙක් අද ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනාහී පසුගාමී ධනවාදී සංකල්පයක් බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් ධනපති ලිබරල්වාදය පසුපස යන්නන් බවටත් අගවමින් සිටිති. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනාහී හුදෙක් එක් ධනවාදී අවියක්ම පමණද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දිගු කාල පරිච්ඡේදයක් තිස්සේ මිනිසා ලේ වගුරවමින් දිනාගන්නා ලද අයිතීන් සමූහයකි. නැතිව, යම්කිසි ධනේෂ්වර අර්ථශාස්ත‍්‍රඥයෙක් විසින් ධනේශ්වර ක‍්‍රමයේ උන්නතිය උදෙසා ප‍්‍රදානය කළ සීනි බෝලයක් නොවේ.
ක‍්‍රි. පූ. පන්සිය ගණන් වල සිට ග‍්‍රීකයන් විසින් ආරම්භ කළා යැයි සැළකෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අද වන විට මූලික වශයෙන්ම, නිදහස් මැතිවරණයක්, දේශපාලන සහ සිවිල් කටයුතු සඳහා ජනතාවගේ සක‍්‍රීය මැදිහත් වීමක් තිබීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සියල්ලටම ඉහලින් වන නීතියේ පාලනය ආදී ප‍්‍රධාන කරුණු වටා ගොඩ නැගී තිබේ.
ධනපති ක‍්‍රමය තුළට ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ඇතුල්වීම ඉතිහාසය පුරා සිදුවූ විප්ලව ගණනක ප‍්‍රථිඵල හැටියටයි අපට ඉතිහාසය දිහා බලද්දී පෙනී යන්නේ. 1215 දී එංගලන්ත රජු සහ වංශාධිපතීන් අතර ඇති වූ ගැටුම සමථයකට පත් කිරීම සඳහා ගෙන එන ලද මැග්නා කාර්ටා, නැතිනම් මහා නිදහස් ප‍්‍රඥප්තිය ඒ අවස්ථාවේදී සාර්ථකත්වයට පත් ප‍්‍රයත්නයක් නොවූවත් පසුකාලීනව මානව අයිතීන් සම්බන්ධයෙන් ඉහළ ස්ථානයක් දරමින් එංගලන්තය තුළ ව්‍යවස්ථාපිත විය. 2012 වසරේදී ලන්ඩනය අත්පත් කරගමු (Occupy London) උද්ඝෝෂකයින් විසින් පවා තමන්ව ශාන්ත පාවුලූ දේවස්ථාන භූමියෙන් ඉවත් කිරීමට විරුද්ධව මෙම ප‍්‍රඥප්තිය යොදා ගත්තා. ඉතිහාසඥ විලියම් ස්ටබ්ස් (William Stubbs) පෙන්වා දෙනුයේ මැග්නා කාර්ටා ගෙන ඒමට මූලික වූ සටන හුදෙක් වංශාධිපතීන් රදළ පැලැන්තිය වෙනුවෙන් කළ සටනක ප‍්‍රතිඵලයක් නොව සමස්ථයක් වශයෙන් එංගලන්ත ජනතාව විසින්, පැවති ඒකාධිපති පාලනයට විරුද්ධව නැගී සිටීමේ ප‍්‍රථිඵලයක් ලෙසටයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වීම උදෙසා වූ තවත් දැවැන්ත සටනක් හැටියට ක්‍රොම්වෙල් මූලිකත්වයෙන් සිදුවූ ඉංග‍්‍රීසි සිවිල් යුද්ධය හැඳින්විය හැකිය. 1642 සිට 1651 දක්වා පැතිරුණු යුද්ධ ත‍්‍රිත්වයකින් සමන්විත මෙය අවසානයේදී එංගලන්තය තුළ පාර්ලිමේන්තුවේ බලය ස්ථාපිත කරවීමේ මූලික පියවර තැබීය. මෙය ධනපති විප්ලවයක් හැටියට හඳුන්වන ඉතිහාසඥ ක‍්‍රිස්ටෝපර් හිල් (Christopher Hill) පෙන්වා දෙනුයේ පල්ලිය සහ ගතානුගතික ඉඩම් හිමියන්ගේ සහය ලත් රජුගේ ඒකාධිපති පාලනයට විරුද්ධව ගෙනගිය මෙම පන්ති සටනින් පාර්ලිමේන්තුවට ජය ගැනීමට හැකි වූයේ ඔවුන්ට නගරයේ සහ ප‍්‍රාදේශීය වාණිජ සහ කර්මාන්තකරුවන්ගේ සහය ලැබුන නිසා බවයි. කෙසේ නමුත් බලයට පත්වීමෙන් පසු ඒකාධිපති හමුදා පාලනයක් ගෙන ගිය ක්‍රොම්වෙල්ගේ 1658 දී සිදුවූ මරණයෙන් පසුව, ඔහුගේ පුත් රිචඩ් සහ එවකට බෙදී පැවතුණ පාර්ලිමේන්තුව ගෙනගිය පාලනය අසාර්ථක විය. මේ සමඟම ක්‍රොම්වෙල් යටතේ ස්කොට්ලන්තයේ ආණ්ඩුකාරයාව සිටි ජෙනරාල් ජෝර්ජ් මොන්ක් විසින් 1660 දී සංවිධානය කරන ලද පාර්ලිමේන්තු සම්මේලනය මඟින් දෙවන චාර්ල්ස් රජු එංගලන්ත සිහසුනට උරුමක්කාරයා හැටියට නම් කරන ලදී. එසේ වුවත්, එය පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව සිදු වූ පත්කිරීමක් විය.
1688 දී ඉංග‍්‍රීසි පාර්ලිමේන්තුව විසින් ඕලන්දය සමඟ එක්ව එංගලන්තයේ දෙවන ජේම්ස් රජු නෙරපීම සඳහා කළ සටන තුළින් පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය එංගලන්තය තුළ ස්ථාපිත වූ අතර, ව්‍යවස්ථාපිත රාජ්‍යත්වය (රජුගේ බලතල ව්‍යවස්ථාවක් තුළ සීමා කිරීම) සහ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා යන
ගමනට එංගලන්තය යොමු කළේය. මේ සඳහා 1689 දී, රජුගේ බලතල සීමා කරමින්, නිදහස් ඡන්දය, පාර්ලිමේන්තුව තුළ භාෂණයේ නිදහස සහ ක‍්‍රමවත් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම ස්ථිර කරමින් ගෙන ආ අයිතිවාසිකම් පනත (Bill of Rights) මඟින් දරුණු සහ අසාමාන්‍ය දඩුවම් තහනම් කිරීම ආදී ලෙසින් පුද්ගල අයිතිවාසිකම් ප‍්‍රමාණයක් නීතියේ ආධිපත්‍ය යටතේ ආරක්ෂා කිරීමට අවශ්‍ය කරුණුද ප‍්‍රකාශ විය.
1765 සිට 1783 කාලය දක්වා විහිදුණු ඇමරිකාණු විප්ලවය ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මගේ තවත් එක් තීරණාත්මක අවස්ථාවක් විය. විප්ලවයේ ජයග‍්‍රහණයත් සමඟම ජනතාවගේ අයිතීන් එක්සත් ජනපද ව්‍යවස්ථාව තුළට ඇතුළත් කරන ලදී. නිදහස, පුද්ගල අයිතීන්, මනුෂ්‍යයින් අතර සමානාත්මතාවය සහ දූෂණයට එරෙහි වීම නිදහස් ජනරජවාදයේ මූලික පදනම් බවට පත්විය. මූලික වශයෙන්ම ප‍්‍රවේණිගත දේශපාලන බලය වෙනුවට පාලිතයාගේ අනුමැතිය මත ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුය යන මතය ස්ථාපිත විය.
‘‘නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය’’ සහ ‘‘මනුෂ්‍යයාගේ සහ පුරවැසියාගේ අයිතීන් සහතික කරන ප‍්‍රකාශනයක්’’ යන සටන් පාඨ පෙරමුණු කරගත්, 1789 සිට 1799 දක්වා වසර දහයක් පුරාවට විහිදුණු ප‍්‍රංශ විප්ලවය එරට රාජාණ්ඩුව බිඳ දමා අනාගමික, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් රට තුළ ඇති කිරීමට සමත් විය. බොනපාර්ට් යටතේ මෙය අධිකාරිවාදයකට තල්ලූවී ගියද, රදළයින්ට නතුව තිබූ තනතුරු සහ දේපළ ඔවුන්ට අහිමි කරමින් පල්ලිය සතුව තිබූ ඉඩම් ජනසතු කරමින්, විනිශ්චයකාරවරුන් ජනතාව විසින් තෝරා පත්කරගනිමින් රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල විප්ලවීය දේශපාලන සහ සමාජයීය වෙනස්කම් රාශියක් සිදු කිරීමට ප‍්‍රංශ විප්ලවය සමත් විය.
මේ ආකාරයට අපි ඉතිහාසය කියවාගෙන ගියහොත්, අද වන විට ලෝකය තුළ දිනාගෙන ඇති ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සියල්ලම පාහේ ඒ ඒ අවස්ථාවන් වල පීඩිත ජනතා සටන් තුළින්, ජීවිත පූජාවෙන් ලබා ගත් අයිතීන් මිස, කිසියම් අර්ථශාස්ත‍්‍රඥයෙකුගේ සංකල්පනාවක් උඩ පැවති රාජ්‍ය තන්ත‍්‍රයක් මගින් ලබාදුන් දෙයක් නැති බව පෙනී යයි.
එසේ නම් අද පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීමේ සටන අතහැර දමා යාමට කතා කරන සමාජවාදය කුමක්ද?
සමාජවාදය තුළ ඉහත කී පුද්ගල නිදහස නැත්ද? රාජ්‍යයේ තීරණ ගැනීම සිඳුවන්නේ පහළ සිට ඉහලට නොවේද? සමාජවාදය යනු පාලක ජුන්ටාවක් විසින් අණ කරන ආකාරයට පුද්ගලයින් ක‍්‍රියා කළ යුතු, සිතීමේ නිදහසවත් නැති ඒකාධිපතිවාදයක්ද? සමාජවාදය කියන්නේ මෙතෙක් දිනා ගත් අයිතීන් අතැර දමා ඉතිහාසයේ ආපස්සට යාමක්ද?
ඔව්, චීනය හෝ උතුරු කොරියාව යනු සමාජවාදී රටවල් යැයි සිතා සිටින්නෙකුට නම් ඒ එසේමැයි.
නමුත් සමාජවාදය යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිවාදියෙකු නොව එහි වඩාත් දියුණු ඉදිරි පියවරක්. ධනවාදය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙතරම් සුන්දර ලෙස අර්ථ ගැන්වුවද ‘‘සාමූහිකත්වය’’ කියන වචනය පසෙකට දමා ‘කල්පිත ස්වාධීන පුද්ගලයකුගේ නිදහස’ ප‍්‍රමුඛ කරගැනීම තුළ, පවතින ආර්ථික සාධක හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමා පටු වෙයි. මෙම සීමා බිඳ දැමීම ධනවාදී ක‍්‍රමයක් තුළ සිදු කළ නොහැකියි. සාමූහිකත්වය කියන වචනය ඈඳාගතහොත් සිඳුවන්නේ ප‍්‍රාග්ධන සංකල්පය බිඳ වැටීමයි. එවිට එතැන ධනවාදයක් තවදුරටත් ඉතිරි නොවේ.
සමානාත්මතාව පෙරදැරි කරගෙන, පවතින ආර්ථික විශමතා නොසළකා ජනතාවගේ අයිතීන් ස්ථාපිත කිරීම වෙනුවෙන් ජනතාව සාමූහිකව එකතු වී තීරණ අරගෙන ක‍්‍රියාත්මක වීම සමාජවාදී ආකෘතියයි. ඉතින් පෙර කී ආර්ථික බැඳීම කඩන්නට ධනවාදය තුළ හැකියාවක් නොමැත.
එමනිසා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින’ ධනපති විශාරධයන් අතින් කිසිදාක, ප‍්‍රාග්ධනය විසින් දමා ඇති සීමා බිඳ යන, සාමූහිකත්වය පදනම් වූ මේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මතය සමාජගත කෙරෙන්නේ නැත. එසේ නම් මෙහි පෙර දැක්වූ ආකාරයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මෙතෙක් ආ ගමන් මගේ උදාහරණ වලට අනුව ප‍්‍රාග්ධනයේ පුද්ගලික අයිතිය බිඳ දමා බාහිර සාධක වලින් සීමා නොවුනු පූර්ණ මානව නිදහස ලඟා කරගැනීමේ සටනත් කරන්නට සිදුවන්නේ පීඩිත ජනතාවටමය.
‘..ධනපති සංවර්ධනය ප‍්‍රමාද වූ, විශේෂයෙන්ම යටත් විජිතවාදී සහ අර්ධ යටත් විජිතවාදී රටවල් තුළ නොනවතින විප්ලව න්‍යාය අවධාරණය කරනුයේ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජාතික විමුක්තිය ලබා ගැනීමේ කර්තව්‍යය සඳහා පූර්ණ සහ අව්‍යාජ විසදුම ලබාගත හැකි වනුයේ නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් යටතේ පමණක් බවයි..’ (ට්‍රොට්ස්කි 1931 – නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය)
රුසියානු විප්ලවය සිදු වූයේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ම ය, නැතිව ඊට විරුද්ධව නොවේ. හැබැයි පසුකාලීන ස්ටැලින් පාලනය සැබෑ සමාජවාදය යැයි සිතන්නෙකුට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අරහං වීම සාධාරණය.
‘..අප සමාජවාදී විප්ලවය අතහැර දමනවා යැයි මතු කරන අරාජිකවාදී විරෝධතාවයට පිළිතුරු වශයෙන් අප කියන්නේ, අප එය අතහැර දමන්නේ නැත, ඒ වෙනුවට අප එය කරා යන පළමු පියවර හැකි එකම අයුරින්, ඇති එකම නිවැරදි මාර්ග යේ, එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් කරා යන මාර්ග යේ තබනවා. දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාර්ගයට වෙනස් වූ ආකාරයකින් සමාජවාදය කරා යාමට යමෙක් සිතනවා නම්, ඔහුට අනිවාර්යයෙන්ම ආර්ථික සහ දේශපාලන අර්ථයෙන් නිරර්ථක සහ ප‍්‍රතිගාමී නිගමනයන්ට එළබීමට සිදු වෙනවා..’ (ලෙනින් 1905 – ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උපක‍්‍රම ද්විත්වය)
ලිපිය අවසන් කිරීමට මෙම උපුටා දැක්වීම ප‍්‍රමාණවත් වේ යැයි සිතමි.
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කල්පිත සමාජවාදය විසින් ද්‍රෝහියෙකු කරන ලදුව මරා දැමුණු ට්‍රොට්ස්කි ගේ ඝාතනයට පසු ගිය අගෝස්තුවට වසර 77ක් පිරුණි.
කුෂාන්
2018.09.01