දෙමළ ජනතාවට කපන බොරුවලේ ජනපති, අගමැති වැටීමේ අවදානම

සේයා - ceylonnews.lk

උතුරේ දෙමළ ජනයාට යුක්තිය ඉටුකිරීමේ පොරොන්දු ලබා දෙමින් දස වසරක මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා බලයට පත් යහපාලන ආණ්ඩුව මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගෙවා දමා තිබේ.

බලයට පත් වහාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට හදුන්වා දෙන බවට ජනතාවට ශපත කළ සම්මුති ආණ්ඩුව වහා ක‍්‍රියාත්මක වෙමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් අවශ්‍ය යෝජනා ලබා ගැනීම සදහා රට වටේ ගොස් අදහස් ලබා ගත්තද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු මේ වන විට පවතින්නේ ඉතා මන්දගාමී ස්වරූපයකිනි.

එයට හේතුවී ඇත්තේ සම්මුති ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන එක්සත් ජාතික පක්ෂයටත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයටත් එක මතයකට පැමිණිමට හැකියාවක් ලැබී නොමැති කම බව පෙනේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ  විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා යහපාලන ආණ්ඩුවක් පිහිටුවීමට උරදුන් සිවිල් සංවිධානත්, වාමාංශික පක්ෂ නායකයන් හා මානව හිමිකම් සංවිධානත් මේ මොහොතේ රටේ ප‍්‍රමුඛතම කාර්ය විය යුත්තේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩිනම් කිරීම බව පවසමින් සිටියත්, මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට සහාය ලබා දීම වෙනුවෙන් ඔවුන්ද පෙළ ගැසෙමින් සිටිති.

සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් අතුරුදහන්වුවන් සදහා වන කාර්යාලයේ නියෝජිතයන් ජනතාව හමුවීම සදහා දිස්ත‍්‍රික් මට්ටමින් මහජන හමු පැවැත්වීම ආරම්භ කර තිබෙන නමුත් යහපාලන රජය බලයට පත්වීමේදී දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම සදහා දකුනේ මානව හිමිකම් ක‍්‍රියාධරයන්ගේ මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් බහුතරයකගේ මැදිහත්වීමේ අඩුවක්ද මේ වන විට පෙනෙන්නට තිබේ. මෙවැනි තත්වයක් තුළ අතුරුදහන්වුවන් සොයා ගැනීමේ සටන, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සටන හුදෙක් උතුරේ ජනතාවගේ හුදකලා සටනක් බවට පත් වෙමින් පවති.

මේ අතර 2015 වසරේදී ආරම්භ වු සම්මුති ආණ්ඩුව දිනෙන් දින දෙදරා යමින් පවතින අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යළි යළිත් සිංහල බෞද්ධ ජනතාව අතර තම ජනප‍්‍රියත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මහත් පරිශ‍්‍රමයක් දරණු පෙනේ.

ජනපති සිරිසේන

උතුරේ පැවැති යුද්ධය රජයේ හමුදා විසින් යුධමය වශයෙන් පරාජය කර වසර නමයක් පිරීම නිමිත්තෙන් මැයි 19 දා  පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස පැවති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කර තිබුනේ ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස විග‍්‍රහ කරන අයුරින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ යෝජනා තුළද මෙරට ආරක්ෂක හමුදාවන්ට යුද අපරාධ පිළිබඳ චෝදනා නොමැති බවයි. ඒ පිළිබඳව අද චෝදනා නගන්නේ රටින් පිට සිටින රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් පිරිස් විසින් බවට ද ඔහු චෝදනා කර තිබුණි. රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා කවුද යන්න ඇතැමුන්ට තේරුම් ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බව එහිදී පවසා තිබු ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කර තිබුනේ ඇතැම් දේශපාලනඥයන්ට මෙන්ම මුදල් පසුපස හඹායන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වලටද අද රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා අතර වෙනස අවබෝධ කරගත නොහැකිව ඇති බවයි. අද ඇතැම් රාජ්‍ය මාධ්‍යවලට ද රණවිරුවන් ඇගයීම අතපසු වී තිබෙන අතර ඇතැම් රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ද වත්මන් රජය විසින් රණවිරුවන් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ කථා නොකිරීම කනගාටුවට කරුණක් බව ද  ජනාධිපතිතුමා එහිදී පවසා තිබුණි.

ජනාධිපතිවරයා එසේ සදහන් කර තිබුනේ උතුරේ යුද්ධයේදී රජයේ ආරක්ෂක හමුදා අතින් සිවිල් වැසියන් ඝාතනය වු බවට රජයේ සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න කළ ප‍්‍රකාශයෙන් දින කිහිපයකට පසුවය.

මහමැති විග්නේශ්වරන්

ජනාධිපතිවරයා එසේ පැවසීමට පෙර දින දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති නමවැනි මුල්ලිවයික්කාල් සමරුවේදී මහ ඇමැති සී. වී. විග්නේස්වරන් ප‍්‍රකාශ කර තිබුනේ නම අවුරුද්දකට ඉහතදී ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් තිරසාර විසඳුම් ලබා නොදී වෙනත් යෝජනා කිරීම, යුක්තිය ඉල්ලා සටන් කරන ජනතාව මන්දෝත්සාහී කිරීමට දරන තැතක් ලෙසිනි.

මහ ඇමැති සී. වී. විග්නේස්වරන් විසින් එය හඳුන්වන ලද්දේ බාගෙට තැම්බූ විසඳුමකට දෙමළ ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට දරන උත්සාහයක් ලෙසයි. (යුද්ධයේ අවසාන දින කීපයේදී රජය විසින් යුද මුක්ත කලාපයක් ලෙස හඳුන්වා දීමෙන් අනතුරුව කොටුවී සිටි නිරායුද දහස් ගණනක් බර අවි ප‍්‍රහාරයෙන් මියගියේ මුල්ලිවයික්කාලේදී බව උතුරේ ජනයා මෙන්ම මානව හිමිකම් සංවිධාන ද දිගින් දිගටම කියා තිබේ.) එදින සමරු දෙසුම පවත්වමින් උතුරේ මහ ඇමති සී. වී. විග්නේස්වරන් විසින් වැඩි දුරටත් පවසා තිබුනේ සෑම අවුරුද්දකම මැයි 18 දා දෙමළ වර්ග සංහාරක දිනය ලෙස සිහිපත් කළ යුතු බවයි. රුවන්ඩාවේ සහ බොස්නියාවේ වර්ග සංහාර සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට දශක ගණනාවක්  කල් ගත වූ බව පවසන අය බාගෙට තැම්බූ විසඳුම් වලට දෙමළ ජනතාව එකග කරවා ගැනීමට වීරිය කරන්නන් ලෙසින් මහ ඇමතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වී තිබුණි.

ඉතිහාසයේ කලකට ඉහතදී සිදුවූ එවැනි වර්ග සංහාර වලින් මේ වන විට පාඩම් ඉගෙන තිබෙන ජාත්‍යන්තර ප‍්‍රජාව මුල්ලිවයික්කාලේ සිදුවූ ආකාරයේ විනාශ වළක්වාලන්නට සමත් විය යුතු බව ද ඔහු පෙන්වා දී තිබුණි. යමෙක් අපරාධ කරුවකු බවට තීන්දු කිරීමේදී එම තැනැත්තා අයත් වන ජාතිය කවරක් ද යන්න ශ‍්‍රී ලංකාවේදී සලකා බැලෙන බවට චෝදනා කළ මහ ඇමැති විග්නේස්වරන් යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුවට කල් දීම ගැනද තම විරෝධය පළ කළේය. මෙහි දී මාධ්‍යවේදීන් හට සිංහලෙන් ප‍්‍රකාශයක් කළ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන් රට තුළ යුක්තිය ඉටු වීම ගැන පළ කළේ බලවත් අවිශ්වාසයකි. දෙමළ ජනතාවට යුක්තිය ලබා දීමට එක්වන ලෙස මෙතෙමේ සිංහල ජනතාවට ආයාචනයක්ද කළේය.

මුල්ලිවයික්කාල් ප‍්‍රධාන සමරුවට සහභාගි වීම  සඳහා යන වාහන අතරමග  නැවතූ ශ‍්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ඒවායේ ගමන් ගන්නා අයට සිසිල් පැන් දන්සැලක් පවත්වනු දැක ගන්නට ලැබිනි.

අතුරුදහන් කරවපු අය

යුද්ධය අවසන් වීමත් සමග යුද හමුදාවට භාර දීමෙන් පසු වසර නමයකට වැඩි කාලයක් ආගිය අතක් නැති සිය සමීපතමයන් බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට ඥාතීන් දිගටම කරන චෝදනාව සත්‍යයක් බව අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) ප‍්‍රධානියා පසුගියදා පිළිගත්තේය. ‘‘….අතුරුදහන් වූවන් කිව්වට අතුරුදහන් කරවපු අය තමයි බහුතරයක් ඉන්නේ,….’’ යි OMP සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප‍්‍රකාශ කර තිබුනේ ඔහුගේ ප‍්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ රැස්වීම වර්ජනය කරමින් ඒ ඉදිරිපිට විරෝධතාවක යෙදී සිටි ඥාතීන් සිය ගණනක් හමුවට පැමිණෙමිනි.

‘‘….මෙතන ඉන්න අයට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි බාර වෙච්ච අයට මොකක්ද උනේ කියන එක. අපි 100% ක් පිලිගන්නවා, මේ අතුරුදහන් වීම් සහ කරවීම් වල ප‍්‍රධාන ප‍්‍රශ්නේ තමයි මේ භාර වෙච්චි අය පිළිබඳව තියෙන පැමිණිලි. මට  ඕගොල්ලන්ට පොරොන්දුවක් දෙන්න පුළුවන් මේ බාර වෙච්චි අයගේ කාරනාවට විශේෂ ප‍්‍රමුඛතාවක් දෙනවයි කියන එක පැහැදිලිව කියන්න පුළුවන්….. ඒ ගැන ආයි දෙකක් නෑ,…’’ යි සහතික වූ OMP ප‍්‍රධානියා වන ජනාධිපති නීතිඥ සාලිය පිරීස් ඒ සඳහා තමන්ට උදව් වන ලෙස ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට  සිය සමීපතමයන් සොයා දෙන ලෙස බල කරමින් මුලතිව්හි අතුරුදහන් පවුල් වල  ඥාතීන් විසින් සිදු කරන විරෝධතාවයට දින 450 ක් සම්පුර්ණ වී තිබේ.

සියදිවි හානි

පසුගිය වසරේ කොළඹ දී පැවැති උත්සවයක් අමතමින් සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හිටපු අමාත්‍ය එස්.බී දිසානායක ප‍්‍රකාශ කර තිබුනේ සිය දිවි නසා ගැනීම් වැඩි ප‍්‍රමාණයක් උතුරෙන් වාර්තා වන බවයි. යුද්ධය අවසන් වු පසුගිය අවුරුදු කිහිපය තුළ 700 ක පමණ ප‍්‍රමාණයක් සියදිවි නසාගැනීමට උත්සාහ දරා ඇති අතර ඉන් 400 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහු එහිදී පවසා තිබුණි. යුද්ධයෙන් අහිමි වුවන් පිළිබදව සිත් තැවුලෙන් ඔවුන් සිය දිවි නසා ගැනීමට උත්සාහ දරනු ඇති බවට විශ්වාසය පල කළ හිටපු අමාත්‍යවරයා ‘‘…සමහර විට ආර්ථික කාරණයක් නිසා වෙන්න පුලූවන්, සමහර විට හුදකලා වීම නිසා වෙන්න පුලූවන්, සමහර විට ගෙයක් දොරක් නැති කම වෙන්න පුලූවන්, සමහර විට තමන්ගේ දරුවන් නැති වීම නිසා දැඩි වේදනාවෙන් වෙන්න පුලූවන්,…’’ යැයි සදහන් කර තිබුණි.

රජයේ හමුදා විසින් උතුර් දියත් කළ යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කර නව වසරක් ගතවීමෙන් පසුවත් රජය විසින් විසඳුම් ලබා දීමට අසමත්ව ඇති උතුරේ ජනයාගේ ප‍්‍රශ්න සියල්ල නොවුනත් ඉන් කිහිපයක්ම අමාත්‍යවරයාගේ එම කතාවෙන් අනාවරණය කර ගත හැකිය.

ජීවිතයේ ප‍්‍රශ්න දරාගත නොහැකිව සිය දිවි තොර කරගැනීම කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ හැකි දෙයක් නොවුනත් පුදුමය වන්නේ යුද්ධය අවසන්ව දශකයකට ආසන්න කාලයක් ලඟා වෙමින් පැවැතියත් සිය සමීපතමයන්ට සිදුවු දෙයක් දැන ගන්නට නොහැකිව තිබියදී  ඔවුන් එසේ සිදු නොකර ගතහොතිනි. ඊටත් වඩා විශ්මය දනවන කරුණ වන්නේ ඒ යුද්ධය මෙහෙයවූ ආණ්ඩුවේ හිටපු ප‍්‍රබල ඇමැතියකු වූ එස්. බී. දිසානායකට දෙමළ ජනතාවගේ  ගැටළු වල අසීමිත බව තේරුම් ගැනීමට දිවි හානි කරගැනීම් සිය ගණනක්  සිදුවීම අවශ්‍යව තිබීමයි.

දරුවන් නැති අම්මාලා

යුද සමයේ අතුරුදහන් වු සහ විශේෂයෙන් යුද්ධයෙන් පසු තමන් විසින් රැගෙන ගොස් රජයේ ආරක්ෂක හමුදා වෙත බාර කළ තම සමීපතමයන් සොයා දෙන ලෙස රජයට බල කරමින් උතුරේ ස්ථාන කිහිපයකම මේ විට සත්‍යග‍්‍රහ ව්‍යාපාර ක‍්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය කාලය තුළ  තම දරුවන් සොයා ගැනීමට හෝ ඔවුන්ට අත්වූ ඉරණම  දැන ගැනීමට නොහැකිව සිත් තැවුලෙන් මිය ගිය අම්මාවරුන්ගේ ගණන 7 කි. තම ආදරණීයයන් බොහොමයක් දෙනා එදා පැවැති එල්ටීටීඊ පාලන ප‍්‍රදේශයෙන් පිටතට එද්දී සියතින්ම යුද හමුදාවට භාර දුන් බව කිසිදු සැකයකට ඉඩක් නොතබාම සහතික කරන මාපිය නෑසියන් උතුරේ ගමක් ගමක් පාසා සිටී.

ලෝකෙන් දෙවැනි තැන

අතුරුදහන් වීම් පිලිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුවට 1980 සිට ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවී තිබෙන නොවිසඳුණු අතුරුදහන් වීම් සංඛ්‍යාව 5750 කි. එය දෙවැනි වන්නේ ඉරාකයට පමණයි. නොවැම්බරයේ ශ‍්‍රී ලංකාවට පැමිණි එම කමිටුවේ විශේෂඥ මණ්ඩලයට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ක‍්‍රියාධරයන් වාර්තා කළ පරිදි ආගිය අතක් නොමැති පුද්ගලයන් 22,000 කට වැඩි දෙනකුගේ  තොරතුරු දේශීය වශයෙන් ලේඛණ ගතවී ඇත.

පසුගිය සමයේදී පුද්ගල අතුරුදහන් වීම් 65,000ක් පමණ සිදුව ඇති බවට අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ (OMP) කෙටුම්පත අනුමත කරමින් ශ‍්‍රී ලංකාවේ රජය විසින් පිළිගෙන තිබුනි.

කෙසේ නමුත්, උතුරේ ජනයාගේ ප‍්‍රශ්න රටේ ප‍්‍රශ්න ලෙස පිළිගන්නට දකුණේ සිංහල බෞද්ධ බහුතරයක් තවමත් සුදානම් නැත. පසුගිය නව වසර තුළ මෙරට සිංහල ජනමාධ්‍ය බොහොමයක් විසින් සියලූ ද්‍රවිඩ ජනතාව එල්.ටී.ටී.ඊ කාරයන් ලෙස හුවා දැක්වීමත් ජනඝාතක යුද්ධයට මානුෂීය  මුහුණුවරක් දී උතුරේ සිදුවු සියලූ ඝාතන හා පැහැරගැනීම් හා මානව හිමිකම් කඩවීම් දේශද්‍රෝහීන්ට දිය යුතු දඬුවම් ලෙසින් යුක්ති සහගත කරන්නට පෙළඹීමත් එයට හේතු වන්නට පුලූවන.

රණවිරු දඩයම

උතුරේ ජනයාට යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව සැරසෙද්දී රණ විරු දඩයමකට සුදානම් වන බවටත්, හිටපු පාලකයන් විදුලි පුටුවේ හින්දවීමට යන වගටත්, රට දෙකඩ කරන බවටත් රටේ මහනායක හිමිවරුන් ඉදිරියේ මුසාබස් පවසමින් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් තවදුරටත්  ඉදිරිපත් කරන කෙස් පැලෙන තර්ක ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ගමනට බාධා ගෙන දෙනවා විය හැකිය. කෙසේ වෙතත් උතුරේ ජනයාගේ දැවෙන ප‍්‍රශ්න වලට පොරොන්දුවූ විසදුම් ලබා නොදී සංහිදියාව කඩිනමින් ඉල්ලා සිටිනවුන් අන්තවාදීන් ලෙස අර්ථකථනය කරමින් දකුණේ සිංහල ජනතාව මුලා කරන ජාතිවාදී බලවේග වලට යටත්වීමෙන් දිගටම බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවත් සිතා සිටිනවා නම් එය මුලාවකි. එය උතුරේ ජනයා රැවටීමක් පමණක් නොව මේ පාලනය බලයට ගෙන ආ දකුණේ ප‍්‍රජාතන්ත්‍රීය බලවේග විහිළුවට ගැනීමකි.

මේ නම් දෙමළුන්ට කපන වලටම තමනුත් ඇද වැටීමෙන් කෙලවරවන සෙල්ලමක් බව වත්මන්  පාලකයන් විසින් තේරුම් ගත යුතු කාලයයි.

චතුරංග රත්නමලල

2018.07.25

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.