දෙමළ සම සමාජ කාරයෙකුට යැවූ ලිපි – 01

සේයා - අන්තර්ජාලයෙන්

1983 ජූලි මාසය වෙනත් වසර වල ජූලි මාසයෙන් වෙන් කර හදුන්වා ගැනිම සදහා බහුජන සංවිධාන විසින් කළු ජූලිය ලෙස නම් කරන ලද්දේ ය. ලොවම කම්පාවට පත් කළ මේ කළු ජූලියේ සිදුවූ ජාතිවාදී දෙමළ ජන ඝාතන ජාත්‍යන්තර ප්‍රවෘත්ති බවට පත් වෙමින් ලොවම කම්පාවට  පත් කළේය. සිංහල පාලකයන්ගේ අරටු සුන් පොරොන්දුත්, ඒ හා සමග ඇති දෙමළ ධනපති පංතියේ එකගතාවයන් ගේ දිරාපත් වීමත් දරා සිටීමේ සීමා ඉක්මවා ගොස් ඇති බවත්; එ් නිසා දෙමළ විමුක්තිය ලගා කර ගැනීමේ වගකීම කරට ගත් තමන්, වෙනත් තීරණාත්මක මගක් තෝරාගෙන ඇති බවත්; රජයේ හමුදා භට කාණ්ඩයකට එල්ල කළ දරුණු ප්‍රහාරයක් මගින් දෙමළ තරුණයන් ප්‍රකාශ කළේ ද මේ තැන්හි දී ම ය.

ලංකාවේ බාහිර පාරිසරික සුන්දරත්වයත්, තේ කුඩු රසයත් ගැන දැනසිටි ලෝ වැසි පොදු මහජනයා වෙතට ගලාගිය මේ සිද්ධි වාචකය, මෙහි වැසි මිනිසුන් අතර පවත්නා දරුණු සමාජ-දේශපාලන බෙදීම් ගැන විවරණයක් වූයේ ය.

ජූලි ගිනිමැලය එයට ද වඩා කාරියක් කළේය. එනම් ලංකාවේ ජාතික ප්‍රශ්ණය හා පිලිතුරු පිළිබදව, නිතර සේවනය කිරීමෙන් පිලුනු වූ දේශපාලන ස්ථාවරයන් හා සූත්‍ර කිහිපයක් හරඹ කරමින් සිටි ලිබරල් හා වාමාංශිකයන් ගේ කල්පනා ලෝකයට ගිනි දැල්වීම ය. 1977 වඩුක්කොට්ටෙයි සම්මේලනයේ තීරණ ප්‍රකාරව 1977 මැතිවරණයේ දී ද්‍රවිඪ එක්සත් විමුක්ති පෙරමුණ විසින් දෙමළ ස්වයං තීරණ රාජ්‍යයක් බිහි කිරීමට ඡන්දය ඉල්ලා ලත් ජය මේ පිරිස් වල ඇගට දැනුනේ නැත. ”ඡන්ද පොරොන්දු ඉටු කරන්නේ කව්ද අප්පා?” නමුත් ජූලි සිදුවීම්වලිය මෙතුමන්ලා ඉදිරියේ වෙනම දෙමළ රාජ්‍යයක් ප්‍රාධූර්භූත කළා සේ පෙනුනා නිසැකය.

ඒ අනුව දෙමළ තරුණයන්ගේ මේ මුල පිරීම හා එම මග දියුණු කරගනිමින් ඉදිරියට යෑමට පෙන් වූ අභිලාෂය පිළිබදව ලංකාවේ දේශ සීමා ඉක්මවා ගිය ජාත්‍යන්තර පරිමාණ ලිබරල් හා වාමාංශික යන දෙවර්ගය අතර සාකච්ඡාවටත්, විවාදයටත් ලක් වන්නට විය. එම විවාදය විශේෂයෙන් දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් සටන් කළ නව සම සමාජ පක්ෂය තුළට ගලා ඒම ද විය යුතුම වූවකි.

දෙමළ නිදහසට අදාල රාජ්‍ය බලය සදහා වන විමුක්ති කොටි සංවිධානයේ  මූලෝපායයන් හා මාක්ස්වාදී මූලෝපායයන් පිළිබදව; එකල්හි රාජ්‍ය දඩයමට ඉලක්ක නොවීමට සැගව සිටි නව සම සමාජ නායකයන් අතර ඇරඹි මේ සාකච්ඡාව අනතුරුව පක්ෂයත්, එය සම්බන්ධ වී සිටි හතරවන ජාත්‍යන්තරයේ ‘MILITANT’ ප්‍රවණතාවය ඔස්සේ ලොව වටාත් පැතිර ගියේ ය. 1985 න.ස.ස.ප. පක්ෂ සම්මේලනයේ ප්‍රමුඛ සාකච්ඡාවක් බවට ද මෙය පත් විය.

එකී සාකච්ඡාවේ මූලික ලියවිල්ලක් වන නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් සැගවී සිටිමින්, එවකට ඉංදියාවට සැගවී පලා ගොස් සිටි පක්ෂයේ ජාතික ප්‍රශ්නය පිළිබද ලේකම් A. K. අන්නාමලේ සහෝදරයා වෙත 25 නොවැම්බර් 1983 දාතමින් ලියූ ”Letters to a Tamil Sama Samajist”  නමැති ලියවිල්ලේ සිංහල පරිවර්තනය පහතින් දක්වමු.

මෙම ලියවිල්ල පදනම් වන සාකච්ඡාව ඉතිහාසය මූලාරම්භයේ සිට පැවතුනාක් මෙන්ම වත්මන විනිවිද, ඉතිහාසයේ කෙලවර දක්වාත් ගලායනු ඇත්තේ ය. “හරය” ඔබ ඉදිරියේ තබන මේ ලේඛණය ආරම්භයක් පමණි. එය අනුව යමින් එන මීලග ලේඛණය ගැන සෝදිසියෙන් සිටින්න.

25 නොවැම්බර් 1983

කොළඹ දී.

දයාබර සහෝදරය,

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය පිළිබදව න්‍යායාත්මක ලිපියක් සකස් කරමින් සිටියදී, යාපනය සහෝදරවරුන් සමහරෙක් නගා ඇති ප්‍රශ්න කිහිපයක් මගේ අවධානයට යොමු වුන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක්, සැකවින් හෝ කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස කල්පනා කළෙමි.

පැහැදිළිවම කියනවා නම් අප විසින් කැප්පෙටිපොළ හෝ පුරන් අප්පු, නොඑසේම වඩාත් පැහැදිළිව කියනවා නම්, පන්ඩාර වන්නියම් හෝ සන්කිලි, ත්‍රස්තවාදීන් ලෙස හදුන්වන්නේ නැත. ඒ ඇයි? ඒ ඔවුන් මර්ධනයට හෝ යටපත් කිරීමට විරුද්ධව සටන් කළ නිසාද? නැත, ඊට හාත්පසින්ම පටහැනිව, අප විසින් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වනු නොලබන්නේ මන්දයත්, සරළවම ඔවුන් ත්‍රස්තවාදීන් නොවන නිසා යි. ඒ කෙසේ වෙතත් 19 වන සියවසේ මහනුවර පුදේශයේ විසූ මංපැහැරීමේ යෙදුනු සරදියෙල්, ඔහුගේම ක්‍රමයකට යටත් විජිත හා වැඩවසම් පීඩනයට විරුද්ධව සටන් කළේය යන සාධකය එසේ තිබියදී ම, අප විසින් ඔහුව ත්‍රස්තවාදියෙකු ලෙස හදුන්වනනෙමු. ඒ ඇයි? මන්ද යත් ඔහු ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදියෙකු වූ නිසා ය.

මාක්ස්දීන් සෑම විටම මිනිසුන් හා ප්‍රපංචයන් ඔවුන්ගේ නිවැරදි නාමයෙන් හදුනා ගන්නවා. ඇත්ත වශයෙන්ම එයයි අපගේ කාර්යභාරය. අප වැර දරන්නේ දේශපාලනය තුළ මතුවන සියලු ලක්ෂණයන් හා ප්‍රකාශනයන් නිවැරදිව වර්ගීකරණය කර, වැඩ කරන ජනයා හට ඒවා සම්බන්ධයෙන් නිවැරදි අධ්‍යාපනයක් ලබා දීමට යි. මොන දේ ආවත් අප විසින් මෙම කාර්යභාරයෙන් බැහැර නොවිය යුතුය.

එසේ නම් ත්‍රස්තවාදියෙකු යනු කවරෙක්ද? ත්‍රස්තවාදියෙකු යනු තමන්ගේ එකම හෝ මූලික දේශපාලන ක්‍රියාමාර්ග සංවිධානයේ ස්වරූපය වශයෙන් හුදකලා පුද්ගල ත්‍රස්තවාදය යොදා ගන්නා තැනැත්තා ය. ත්‍රස්තවාදය යනු දේශපාලන විධික්‍රමයකි. එය පීඩකයා හා පීඩිතයා යන දෙදෙනා විසින්ම උපයෝගී කරගනු ලැබේ. ඒ දෙදෙනාගෙන් කිසිවෙකු හුදෙක් ත්‍රස්තවාදය භාවිත කිරීම නිසා පමණක්ම ත්‍රස්තවාදියෙකු වන්නේ නැත. කෙසේ නමුත් විමුක්ති සටන්කරුවෙකු වුවද, ඔහුගේ මූලික දේශපාලන ක්‍රමවේදය ත්‍රස්තවාදය වේ නම් ඔහු ත්‍රස්තවාදියෙකු බවට පත් වේ.

අපි නිරපේක්ෂ අයුරින් ත්‍රස්තවාදය පිළිකුල් කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැත. එසේම ත්‍රස්තය යොදා ගැනීම සම්බන්ධයෙන් අපි කිසිදු සදාචාරාත්මක විනිශ්චයන් කරන්නේ ද නැත. නිසැකවම නැත. සියලුම විප්ලවවාදීන් මතුවන අවශ්‍යතාවයන් පරිදි එක් වරෙක හෝ තවත් වරෙක ත්‍රස්තය යොදාගනු ඇත. කෙසේ නමුත්, විප්ලවවාදියෙකු හෝ අඩු තරමේ කැරළිකරුවෙකු හා ත්‍රස්තවාදියෙකු අතර ඇති වෙනස වන්නේ පළමුව සදහන් කළවුන් තමන්ගේ මූලික අරගල මාධ්‍ය ලෙස බහුජන අරගලය මත පදනම් වන අතර, දෙවැන්නෝ තමන්ව ත්‍රස්ත ක්‍රියාවන්ට සීමා කරගන්නා අතර ජනතා අරගලය වෙනුවට එවැනි සංවිධානාත්මක ප්‍රහාර අදේශ කරති. මහ වැඩ වර්ජනයක් සහ හර්තාලයක් අතරතුර වුවද ත්‍රස්තය යොදාගන්නා අවස්ථාවන් තිබිය හැකිය. ෆැසිස්ට් කල්ලියකට ප්‍රතිප්‍රහාර වශයෙන් කම්කරුවන් කණ්ඩායකමක් සිදුකරන අනුකම්පා විරහිත ත්‍රස්තය මුදා හැරීමක් සම්බන්ධයෙන් කෙනෙකුට කල්පනා කළ හැකිය. නමුත්, මහ වැඩ වර්ජනයට හෝ බහුජන කැරැල්ලට සාපේක්ෂව ගත් කල්හි එය තව දුරටත් අතරතුර හෝ දෙවනපෙල ක්‍රියාමාර්ගයක් වනු ඇත.  

හුදෙක් විමුක්ති සටන්කරුවෙකුට ත්‍රස්තවාදියෙකු යැයි ඇමතීම තුළ පරිභවයක් හෝ හෙලාදැකීමක් අදහස් නොවේ. පීඩකයා යම් වචනයක් භාවිත කළ පමණින්, එය පරිභවයක් හෝ නින්දා සහගත වචනයක් බවට පත් නොවේ. එය එසේ වන්නේ නම්, අපි කිසිවෙකුව මාර්ක්ස්වාදියෙකු හෝ විප්ලවවාදියෙකු ලෙස ඇමතීමෙන් වැළකිය යුතු වෙමු. මන්දයත් ජේ.ආර්. සහ තවත් එවැන්නෝ සෑමවිටම පාහේ අනෙක් පිරිස් හෙලා දැකීම සදහා මෙම වචන භාවිත කර තිබෙන හෙයිනි.

ඔහු විසින් දෙමළ තරුණයන්, මාර්ක්ස්වාදීන් හා විප්ලවවාදීන් ලෙස හදුන්වා දී තිබීම සත්‍යයකි. නමුත්  වචනයේ සෑම අර්ථයකින්ම ගත් කල වුව, විශේෂයෙන්ම මාර්ක්ස්වාදීන් යන යෙදුම භාවිතයේදී ඔහු වැරදි බව සත්‍යයකි. සටන්කාමී තරුණයන් හදුන්වාදීමට අප විසින් එම යෙදුම් යොදා නොගන්නේ ඔහු විසින් ඔවුන්ව එ් වචන වලින් හදුන්වන නිසා නොවේ. නැත, ඇත්ත වශයෙන්ම නැත. අප මේ යෙදුම ඔවුන් සදහා භාවිත නොකරන්නේ සරළවම ඔවුන් හැදින්වීම සදහා එම වචන භාවිතය වැරදි හෙයිනි. මෙම සුලු ධනේශ්වර සටන්කරුවන් මාර්ක්ස්වාදීන් නොවන්නා සේම  විප්ලවවාදීන් ද නොවේ.

එක දෙයක් හොදින්ම පැහැදිළි විය යුතුයි. එනම්, ත්‍රස්තවාදියෙකු විමුක්ති සටන් කරුවෙකු වන විට, ඔහුට ත්‍රස්තවාදියෙකු යැයි ඇමතීමට නොහැකි වන මේ මධ්‍යම පාන්තික වියවුලෙන් අපි මිදිය යුතු වෙමු. මෙවන් තැනක දී ලජ්ජාවක් මතු වන්නේ යමෙකුට විමුක්ති අරගලයේ තමන්ගේ කාර්යභාරය ගැන විශ්වාසයක් නැති විටය. ඔබ විප්ලවවාදී විධික්‍රමය, එනම් බහුජන ක්‍රියාවන් යොදා ගනිමින් විමුක්ති අරගලයේ පෙරමුණ ගෙන නැත්නම්, ඇත්ත වශයෙන්ම එවිට අඩු තරමින් අරගලයේ දී ත්‍රස්ත උපායන් භාවිතා කරන්නාවූ තරුණ විමුක්ති සටන් කරුවෙකුව, ත්‍රස්තවාදියෙකු නැති නම් ප්‍රමාණවත් නොවන සටන් කරුවෙකු ලෙස හැදින්වීමේ දී අති විශාල වරදකාරී හැගීමක් ඔබ තුළ ඇති වනු ඇත.

යාපනයේදී අපගේ කාර්යභාරය වන්නේ ඉදිරියට පැමිණ, තරුණ විමුක්ති සටන්කරුවන්ගේ ත්‍රස්තවාදය අරගලයේ හානිකර ක්‍රමවේදයක් ලෙස නිර්භයව විවේචනය කිරීමයි. කොටින්ම, උමා මහේෂ්වරන් පවා ප්‍රභාකරන්ගේ පිස්සු ත්‍රස්ත උපායයන් ප්‍රතික්ෂේප කිරීමේ තැනට තල්ලු වී තිබේ. මට පෙනෙන හැටියට උමා ත්‍රස්තවාදයට පක්ෂව කථා කරන්නේ නැත. අඩු ගනනේ දැනට නැත. ඔහු යෝජනා කරන්නේ  ග්‍රාමීය ගරිල්ලාවාදය යි. එය වුවද මහ වැඩවර්ජනයක් මැදිකරගත් හර්තාලයක් සමග සංසන්ධනය කිරීමේදී සීමා සහිත වේ. තවමත් ඔහුව ත්‍රස්තවාදියෙකු ලෙස දැඩි ලෙස ප්‍රකාශ කළ නොහැක.

ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකුය යන්න සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත. ඔහු කැපවුන, ජාතික විමුක්ති සටන් කරුවෙකු විය හැකිය. නමුත් ඔහුගේ විධික්‍රමය ත්‍රස්තවාදය වන අතර මතවාදය සුළු ධනේශ්වර ජාතිකවාදය වේ. මා විසින් මෙය ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීම මාගේ ජීවිතයට තර්ජනයක්ද විය හැකිය. නමුත් එය අලුත් දෙයක් නොවේ. දකුණේදී අපි නිරන්තරයෙන්, ජාතිවාදී-ෆැසිස්ට් කල්ලි වල තර්ජනයට ලක් වන්නෙමු. 1971 දී මම ජ.වි.පෙ. ය, සිංහල ජාතිවාදී ලක්ෂණ සහිත නරොඩ්නික්වරුන් ලෙස පෙන්වා දුන් අතර එම විවේචනය හේතුවෙන් ප්‍රචණ්ඩ තර්ජනයන්ට ලක් වූවෙමි. අප විසින් තර්ජන වලට බිය වී සත්‍ය අතහැර දමන්නේ නම් අපි විප්ලවකාරී පක්ෂයද අකුළාගත යුතු වෙමු. එසේ හෙයින්, ප්‍රභාකරන්ගේ විධික්‍රමය ත්‍රස්තවාදය බව අප විසින් ප්‍රකාශ කළ යුතුය. ඔහු විසින් හුදකලා පුද්ගල ත්‍රස්තවාදය, පීඩකයාට විරුද්ධව පමණක් නොව, එම පොදු සතුරාට විරුද්ධව සටන් කරන සියලු අනෙක් සටන්කරුවන්ට එරෙහිව ද වෙනසකින් තොරව භාවිත කර තිබේ. එය අපට විරුද්ධව භාවිත කරන්නටද ඔහු පසුබට වූයේ නැත. අප එකට එක කිරීමට නොගියේ අපට ත්‍රස්තය භාවිත කිරීමේ නොහැකියාවක් නිසා නොවේ. කිසිවෙකුටත් එවැනි අදහසක් දැරීමට අනුබල නොදිය යුතුය. අප ත්‍රස්තය යොදා ගනිමින් ප්‍රතිප්‍රහාර නොදුන්නේ, මතගැටුමක් විසදා ගැනීම සදහා තවත් නිදහස් සටන්කාමීන් පිරිසකට විරුද්ධව ත්‍රස්තය භාවිත කිරීම වැරදි නිසාය. එය එසේ උවද ඔවුන්ගේ ක්‍රමවේදය සිහිවිකල් ත්‍රස්තවාදය මැයි. අප විසින් නිවැරදිව, ගැටළුව ජනතාව වෙතට ගෙන ගිය අතර ඔවුන්ට එරෙහිව බහුජන මතයක් ගොඩනගන ලදී. අපි එය එසේ දිගටම කළ යුතු වෙමු.

ඇත්ත වශයෙන්ම අප විසින් ධනපති ප්‍රචාරණය සමග එකතු වී නිදහසේ සටන්කරුවන්ගේ ත්‍රස්ථවාදය හෙලා දකින්නේ නැත. මොකද ඔවුන්ගේ ත්‍රස්තවාදය හුදෙක් පීඩනයට එරෙහි ප්‍රකාශනයක් පමණක්ම වන නිසා. සේවාදායකයා හා ඔහුගේ හෙන්චයියන් සම්බන්ධයෙන් වන ක්‍රෝධය හේතුවෙන් වැඩ අධීක්ෂකයෙකුට වෙඩි තැබිය හැකි වැඩ වර්ජකයෙකු ගැන කෙනෙකුට කල්පනා කළ හැක. අපි ඔහුව ප්‍රසිද්ධියේ හෙලා නොදකිමු. ඊට හාත්පසින්ම විරුද්ධ ලෙසට, කෲර සේවාදායකයා විසින් කම්කරුවාව එවැනි ඉච්ඡා භංගත්වයකට තල්ලු කළ ආකාරය සම්බන්ධයෙන් අපි පැහැදිළි කර දෙන්නෙමු. ඒ අතරම, ඔහුගේ ත්‍රස්ථ උපායමාර්ගයේ නිෂ්ඵලභාවය සම්බන්ධයෙන් එම කම්කරුවාට පැහැදිළි කර දී ඔහුව නිසි අරගලයට යොමු කිරීම අපගේ කාර්යභාරය යි. මෙහි ඇති සමානත්වය ඔබට පැහැදිළි විය යුතුය.

ඉහත සදහන් කළ පරිද්දෙන්, මවිසින් 1971 අවට කාලපරිඡේදය තුළදී, ජ.වි.පෙ.යේ ෆැසිස්ට් සලකුණු ද සමගින් රුසියානු නරොඩ්නික්වාදය සමග සංසන්දනය කළ ලිපි පෙළක් ලියා තිබේ. මම ඔවුන් කැරළිකරුවන් ලෙසත්,  ’71 යනු සුළු ධනේශ්වර තරුණ කැරැල්ලක් ලෙසත් සදහන් කළෙමි. මෙහි දී බොහෝ වමේ යැයි කියා ගන්නා බුද්ධිමතුන් අපේ ඇගට කඩා පැන්න අතර මෙම සදහන හේතුවෙන් ‘වාම සම සමාජය’ හෙලා දකින ලදී. ඔවුන්ගේ විවේචනය හේතු කිහිපයක් නිසා මතුවිය. පළමුව, ඔවුන් සමාජ විප්ලවය සම්බන්ධයෙන් කිසිවක් නොකරන නිසා, ඒ සම්බන්ධයෙන් කුමක් හෝ කරන තරුණයන් සමග තමන් අනන්‍යකොට හදුනාගනු ලැබීමට උවමනා විය. එය පරිත්‍යාගයකින් තොරව ලබා ගත හැකි (ගැම්මක්), තේජසක් වෙයි. දෙවනුව, ඔවුන්ගේ මධ්‍යම පාංතික සාරධර්ම වලට අනුව, කැරලි ගැසීම නොමනා වැඩක් වන අතර විප්ලවය නම්බුකාර හඩක් නංවන්නක් වේ. තෙවන සහ සියල්ලට වඩා වැදගත් හේතුව නම්, ඔවුන්ට අනුව ජ.වි.පෙ. හුදෙක් පොලිස් කෘෘරත්වයට එරෙහිව සටන් සටනක් කළා විනා බලය අල්ලා ගැනීම අරමුණු කරගත් පෙර සූදානමක් සහගත කැරලි කෝලාහලයක අදහසක් එතැන නැත. එනිසා, ඔවුන්ගේ සදාචාරයට අනුව, එය හොද දෙයකි. අපි මේ නිරර්ථක කථා වලට යට නොවූ අතර අවසානයේදී පරාජය නොවීමු.

මම හිතන්නේ ඔබ මෙයට සමාකාර අභියෝගයන්ට යාපනයේදී මුහුන දෙමින් සිටී. මූලික වශයෙන්ම, අපව මෙසේ විවේචනය කරන කිසිවෙකු දෙමළ ජාතියේ විමුක්තිය වෙනුවෙන් කිසිවක් කරන්නේ නැත. ඉදින් ඔවුන් තුළ වරදකාරී හැගීමක් ඇති අතර ‘බල තරගයේ’ යෙදී ඉන්නා මේ ‘වීක්‍රමාන්විත’ තරුණයින්ව විවේචනය කිරීමට බිය වෙයි. දෙවනුව, කොහොම නමුත් ‘ත්‍රස්තවාදය’ නරක අතර, එහෙත් ‘විප්ලවකාරී යුද්ධය’ යහපත් ය. පෙනෙන ආකාරයට නම්, මිලිටරි ප්‍රචණ්ඩත්වයේ අන්තර්ගතව නොපවතින කිසියම් නරකක් ත්‍රස්තයට උරුම වී තිබෙන්නා සේ ය. තෙවනුව යලි මෙහිදීත් වඩාත්ම වැදගත් කරුණ වන්නේ, මෙම තරුණයන් සටන් කරමින් සිටින්නේ කෲර පීඩනයට එරෙහිව විනා, දෙමළ භූමියේ පාලනය අත්පත් කර ගැනීමට නොවේ ය යන්නයි. අඩුතරමින් එය ආසන්නම අරමුණ නොවේ. ඒ අනුව පොලීසියත් සමග හොරා පොලිස් කරන කොල්ලා හොද සටන්කරුවෙකු වන අතර, බහුජන ආරක්ෂක ක්‍රියාමාර්ග යෝජනා කරමින්, ඒ හරහා මෙම ක්‍රමය පෙරළා දැමීම සදහා වූ මහා හර්තාලයක දිසාවට ගමන් කරන කම්කරුවා නරක කෙනා වේ!

ආණ්ඩුව මහජන නොසන්සුන්තාවයන් හා හර්තාලයක් කරා වූ කිසියම් වූ පෙලගැස්මකට වඩා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට වැඩි කැමැත්තක් ඇති බව පෙනී යාම විහිලුසහගත ලෙස දිස්විය හැකිය. 1983 සැප්තැම්බර් 9 වන දින, ඩේලි නිව්ස් මෙසේ වාර්තා කළේය, “(ප්‍රභාකරන් ගේ) පත්‍රිකාව උතුරේ සිටින සියලු දමිල ජනයාට අවවාද කළේ රජයේ කිසිදු නියෝගයකට අකීකරු නොවන ලෙසය. සියලු සිසුන්, ගුරුවරුන් සහ රජයේ හා වෙළද දෙඅංශයේම සේවකයන් රජයේ නියෝග අනුගමනය කළ යුතු බව එය කියා සිටියේ ය.”

අනතුරුව 1983 සැප්තැම්බර් 18, සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කීවේ “මෙම කල්ලි (එනම් හර්තාලය කැදවූවන්), හුදෙක් හර්තාල් හා වර්ජනය කිරීම් අවශ්‍ය යැයි කියනා පාසල් හැර ගියවුන් අතලොස්සක්. විනා අන් කවරෙකුවත් නොවේ. මෙම රස්තියාදුකාරයින්ගේ ප්‍රධාන අරමුණ නම් පාසල් ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනයට බාධා කර මුළු උතුරු පලාතේම ආතතියක් ඇති කිරීමයි….., ඔහු තවදුරටත් මෙසේ සදහන් කළේ ය. “…. මේ රස්තියාදුකාර කල්ලි හට කොටි ව්‍යාපාරය හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමග කිසිදු සම්බන්ධයක් නැති අතර, මෙම කරුණ පරීක්ෂණ මගින් සනාථ කර තිබේ…..”

නිසැකවම ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී කොටස් විසින් ත්‍රස්තවාදය සහ හර්තාල් යන දෙකෙන් ඔවුන්ට වඩා අනතුරුදායක කුමක්දැයි පැහැදිළිවම දැක තිබේ. එසේම, ඉතා මෑතකදී, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, ලීම්බෘගන් (Leembruggen) මහතා කළ ප්‍රකාශය සිහියට නැගීම ප්‍රයෝජනවත් වෙයි. 1983 ඔක්තෝම්බර් 29 ඩේලි නිව්ස් මෙසේ වාර්තා කළේය, “ලීම්බෘගන් මහතා ‘සතුටින්’ ප්‍රකාශ කර සිටියේ, ”….විදේශීය ආයෝජකයන් හට, කාර්ල් මාර්ක්ස් සිතේ තියන් ඉන්න දේශපාලනඥයෙකුගේ අපේක්ෂාව තරම්, තම අතේ තුවක්කුවක් සහිත ගරිල්ලා බටයෙකු බිය ජනක නොවේ….” කියායි. ත්‍රස්තවාදය ශෘංගාරාත්මක කිරීම කාගේ වාසිය සදහා දැයි මින් ඉතා පැහැදිළි නොවන්නේ ද? ප්‍රභාකරන් පන්නයේ ත්‍රස්තවාදය හුදෙක් පරම ආකාරයක ආරක්ශක කපාටයක් (safety Valve) පමණක් වනවා සේම, එය සංස්ථාපිත පාලන තන්ත්‍රය වෙතට වූ වක්‍රාකාර පීඩන බලයක්ද වෙයි. මෙය එල්.ටී.ටී.ඊ. ය නොපිලිගන්නවා ඇත. නමුත් ඛේදජනක සත්‍ය එයයි.

මම හිතන්නේ ඔබ කෙලින් සිටගෙන සටනට එළඹිය යුතුයි. බහුජන අරගලය ප්‍රතික්ෂේප කර විශේෂයෙන්ම කුමන්ත්‍රණකාරී ත්‍රස්ත ක්‍රියාමාර්ග වලට පමණක් යොමුවන අයවලුන් වේද, ඔවුන් නිදහස් සටන් කරුවන් වන්නේ මුත්, ඔවුන් ත්‍රස්තවාදීන් බව ඔබ කිව යුතුමය. නිර්ධනයින්ගේ නායකත්වය යටතේ බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට උනන්දු නොවන කිසිවෙක් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන්දියානු උප මහද්වීපය තුළ ජාතික ප්‍රශ්නය විසදීමට කටයුතු කරන්නේ නැත. සමාජවාදී රාජ්‍ය පාලනයක් ස්තාපිත නොකිරීම පසෙකින් තිබියදීය ඒ. ඇත්ත වශයෙන්ම ත්‍රස්තය භාවිත කිරීම සම්බන්ධයෙන් අපගේ කිසි සදාචාර විරෝධයක් නැත. ඇත්ත වශයෙන්ම ෆැසිස්ට් මැරයන් අපට පහර දුනහොත්, අප විසින් ඔවුන්ගේ බලය බිද හෙලීම සදහා හැකි උපරිම ශක්තිය යොදා ප්‍රතිප්‍රහාර දිය යුතුය. එසේම, එවැනි නිරුවත් ත්‍රස්තවාදයකට සමාජවාදය ගෙන ආ හැකි නම්, එය මුලින්ම භාවිත කරන්නෝ අපි වෙමු. අවාසනාවකට වාගේ මාර්ක්ස්, ඒංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි අපට කියා දුන් දේ හැරුනුකොට මුලුමහත් නිදහස් අරගල හා සමාජ විප්ලවයන් ගේ අත්දැකීම් අපට පෙන්වා දී ඇත්තේ එය එසේ නොවන බවයි. අරගලයේ මෙවලමක් වශයෙන් එයට ඇත්තේ හුදු ද්වීතික තැනක් පමණි. ත්‍රස්තවාදයට ප්‍රමුඛස්ථානය දෙන ඕනෑම දමිළ නිදහස් සටන් කරුවෙකු, සාවද්‍ය ආගමික පක්ෂග්‍රාහිත්වයෙන් අදුරේ ගැලී ගිය පකිස්ථානය ලද අකාරයේ විපාකයන්ට වැඩි යමක් අත්පත් කර නොගනු ඇත.

ලෝකයේ මෙම ප්‍රදේශය තුළ විශාල ව්‍යසනයක් වළක්වාලමින්, ඉන්දීය උප මහද්වීපය නියමාකාර එක්සත්භාවයක් දෙසට වූ ගමනක් ගෙන යෑමේ හැකියාව ඇත්තේ අපට පමණි. සම සමාජකාරයන් වන අපට, දමිළයන් සහ සිංහලයන් යන අනන්‍යතා දෙකම ඉතා සීමා සහිත වන අතර ආසන්න වශයෙන් වුවද කළ හැකි භූමිකාව ඉතා සීමා සහිතය. එමනිසා, වහාම වුවද අපට ප්‍රවර්ධනය කළ හැකි එකම අනන්‍යතාවය ඉන්දීය අනන්‍යතාවය පමණි. නිදහස් අරගලය මේ ආකාරයෙන්, මෙහි මෙන්ම ඉන්දියාවේද, පළල් බහුජන ව්‍යාපාරයක් වෙත ගෙන ගියේ ආවේ නැතිනම්, දීර්ඝකාලීන මානුෂීය දුක්ඛිතභාවයකට මගපාදනු ඇත්තේය. දමිළ නිදහස් සටන්කාමීන්ගේ ත්‍රස්තවාදය, හුදෙක් ගැටළුව උග්‍ර කරන අතරම සිංහලයන් නොවන්නාවූ, අනෙකුත් දෙමළ නොවන ඉන්දියානු ජනතාව වෙත දමිල නිදහස පිළිබද ප්‍රශ්ණය රැගෙන යා යුතු මාවත ඉදිරියේ අති මහත් බාධකයක් නිර්මාණය කරනු ඇත. ත්‍රස්තවාදීන් සතුටු කිරීමෙන් හෝ සුළු ධනේශ්වර බුද්ධිමතුන්ගේ කිඹුල් කදුලු වලට යටත් වීමෙන් අප  කරන කිසිම හොදක් නොමැත.

දමිළ නිදහස් අරගලය සම්බන්ධයෙන් නිරවුල්ව මැදිහත් වූ එකම ජාතික පක්ෂය අපි වෙමු. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත. එම නිසා දමිළ තරුණයන් හට, ඔවුන් කොතනද වැරදි ගමනක් යන්නේ කියා පෙන්වා දීමටත්, ඔවුන්ව ප්‍රකෘති සිහියටත්, බලය සදහා වන නියම අරගලය වෙත ඇදගෙන ඒමටත් අපට අයිතියක් තිබේ. අපට මෙම කර්තව්‍යයේදී අසමර්ථයන් විය නොහැකි අතර එසේ නොවන බවට මට විශ්වාසය.

වීබීකේ

ප‍:ලි:- ඊලාම් සටන්පාඨය සම්බන්ධයෙන් පසුවට.

Letters-to-a-Tamil-Sama-Samajist

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.