රතන සූත්‍රය පතන සමාජ සුවය

Buddha
සේයා - අන්තර්ජාලයෙන්

රතන සූත්‍රයේ සිංහල තේරුම මට ලැබුනේ කිහිප දෙනෙකුගේ පිහිටෙන්. එහෙම උදව් කළ අයට පින්. බුදු බනේ හැටියට ඒව පින් වැඩ. ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්න යන එක මහත් පින් අතේ වැඩක්. පින් කියන එකට හොද තේරුමක් තියෙනවා. එය අද්භූත බලයක් නෙවෙයි. මිනිස් හිත තුළින් එන බලයක්. වැඩි දෙනෙකුට පිහිට වීම තුළින් යම් බලයක් සමාජය තුළ ඇති වෙන්න පුළුවන් කියන එක සත්‍ය කතාවක්. දැන් රතන සූත්‍රයේ සිංහල අදහස දැක්කම මට හිතුන මේකත් පන්සිල් ගන්නව වගේ වැඩක් බවට පත්විය යුතුයි. පාලි භාෂාවෙන් ගීයක් ලෙසට ගයන එක ප්‍රශ්නයක් නෙමෙයි සිංහල තේරුම තියෙනව නම්. ගීත තාලය සමග ශබ්ද වලත් බලයක් තියෙනව කියල හිතනව නම් ඒව එලෙසම ගයන්න පුළුවන්. හැබැයි තේරුම ඇතුව. අපි පන්සිල් ගන්නව නම් එය කරන්නේ හොද තේරුමක් ඇතිව. මොකක්ද කියන්නේ කියල දැනගෙන.

රතන සූත්‍රයේ පළවෙනි දෙවැනි කොටස් දෙකෙන් කරන්නේ ආරාධනාව නිසා ඒ ගැන ප්‍රශ්නයක් නෑ. තුන් වැනියට කියන්නේ බුදුන් ලෝකය තුළ ඇත්ත ඇති සැටියෙන් දැනගත් තැනැත්තා ලෝකෙටම උතුම් වෙනවා. ඒක ලෝකය තුළ බලයක්, ඉහලම බලයක්, ආනුභාවයක් ඒ අනුග්‍රහයෙන් ලෝකයම සුවපත් වෙනවා. එයින් පතනවා ලෝකයේ සියලු රත්නයන්ට වඩා බලවත් ඒ බලයෙන් සුවපත් වේවි. ඊලගට බුදුන් රාග, ද්වේශ, මෝහ ආදී දුසිරිතෙන් තොර ලෝකෝත්තර නිවන් සිතට වඩා කිසිම දෙයක් වටින්නේ නැත. එම නිර්වාණය සත්‍යයකි. ඒ පරම ඇත්තේ බලයෙන් සුවපත් වේවා. ඇත්තේ බලයෙන් සුවපත් වේවා. ලෝභයෙන් මිදුන, වෛරයෙන් මිදුන, මෝහයෙන් මිදුන නිවනට සම කළ හැකි දෙයක් නැත. එය වටහා ගැනීමෙන් ලැබෙන බලයේ අනුහසින් බලයට සමකළ හැකි බලයක් නැත. ඒ අනුහසින් සුවපත් වේවා.

ඊලගට කියනවා ආර්ය මාර්ගයෙන් පරම සමාධියක් ඇති බවත්, එයින් ජනතාවට සාමූහිකව බලය ලැබෙන බවත්, ඉන් සුවපත් වීම ගලා එන බවත්. මිනිසා ලෝභය, වෛරය, මුලාව පාගා ඉවත් කර එකිනෙකාට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා හැටියට බැදෙමින් යනව නම් සමාජවාදී ලෝකයක් මිස වෙන දෙයක් ඇති වෙන්න අමාරුයි. මෙවැනි බලයක් වැඩෙනව නම් රෝග බිය, මරණ බිය ඇතුළු සියලු බිය දුරුකරන්න පුලුවන් වෙන එක ලෝකයේ ඇත්තකි. මේ කොරෝනා වසංගතය නිසා මහ එවුන්ට පවා සම සමාජ ක්‍රමයට වැඩ කරන්න පටන් ගන්න සිද්ධ වුනා. තාවකාලිකව හෝ හැමෝම සම සමාජ කාරයො වුනොත් රෝග බිය, මර බිය, ආහාර නැතිවෙයි කියන බිය ආදී සෑම බියක්ම නවත්වන්න පුළුවන් බව දැං ලෝකයේම කථා බහට වැටිල ඉවරයි. රතන සූත්‍රය ඉවර වෙන්නේ මෙහෙමයි. “මෙහි රැස්වුනා වූ මිනිස් දේව ආදීන් විසින් පුදන ලද ආත්මාර්ථයෙන් ඉවත් වූවන්ගේ බලයෙන් සත්වයින් සුව වේවා” කියලයි.

ඇත්තටම රතන සූත්‍රය සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනටම පරිවර්තනය කරල හරියට ඇත්ත කරුණු එලිවන ලෙසට බෙදා හැරීම රජය කළ යුතුම දෙයක්. එය සම සමාජ ධර්මට ඉදිරියට ගෙන යාමක් කියල කෑ ගහන්න දෙයක් නෑ. මොකද ලෝභය, වෛරය හා මුලාව ඉවත් කරන්න යමෙක් ගමන් කළොත් සම සමාජයට වැටෙන එක අහන්න දෙයක් නෑ. මේ වගේ අර්බූදය තුළම පෙනෙනවා ආත්මාර්ථකාමී උදවිය ලෙඩදුක් වැඩි කරමින්, ප්‍රශ්න උග්‍ර කර ගනිමින් විනාශය කරා ගමන් කරනවා. ඇමරිකාවේ ලෙඩ වේගයෙන් ගලා යාම සිදු වුනේ අනෙකා ගැන බැලීමට උනන්දු කරන සමාජයක් හැටියට ගොඩ නැගුනෙ නැති නිසා කියල සමාජ විචාරකයන් පෙන්වා දී තිබෙනවා. මාර්ක්ස් Das Capital එකේ කියල තිබුන ඉන්දියාව යට කළත් වෙනස් කරන්න බැරි ගම් මට්ටමේ තිබෙන සාමූහික බලය නිසා කියල. මොන රජා උඩ හිටියත් පහල ගම්වල පැවැත්ම ශක්තිමත් කියල ඔහු කිව්වා. දැන් මෙදාත් ඉන්දියාවේ මුහුණ දුන් ආකාරය පුදුමාකාරයි. එය ලංකාවටත් බලපෑව කියන්න පුළුවන්. එන ආත්මයට වඩා මේ ආත්මයේදීම යහපත සොයන අය ආත්මාර්ථකමින් මිදෙනව කියලයි බුදුබන කියවා දන්න අය කියන්නේ. ඒ අනුව එන ආත්මය ගැන හිතපු අය කලින් එලොවට යන්න බලාගෙන වැඩ කරන්න පුළුවන් කිව්වත්. එය ඒකම නෙමෙයි කියලයි රතන සූත්‍රය අපට කියන්නේ. නිවනට ඇතුලු වුන, එන ආත්මයක් ගැන නොසිතන අය වඩා සමාජයේ යහපත කල්පනා කරනව කියලයි එහි සදහන් වෙන්නේ. තෘෂ්නාව අඩු අය හෙට දවස ගැන බැදිල නැහැ කියන තර්කයයි මෙතැන තිබෙන්නේ. කොහොමටත් එන ආත්මය ‘ආත්ම වාදී’ දැක්මක් සමග බැදිල තිබෙනවා. බුදු බන තුළ එවැනි ආත්මගත ගමනක් දක්වා නැහැ. සමහර බොදු යතිවරුන් පවා බුදුන්ගේ යථාවාදයත්, ආත්මය ගැන ඇති හින්දු දැනුමත් අතර අතරමං වුනා කියල සමහරු කියනවා.

කොහොමටත් රතන සූත්‍රය සිංහලට දැමීම සමග එහි අරුත ගැන කථාවක් ඇති විය යුතුයි. විශාලා මහනුවර දුකට පත්වුනේ ඔවුන් අතර ලිච්ඡවී සමූහවාදය ඇතුලතින් බිද වැටුන නිසයි කියල මේ රතන සූත්‍රය කියවන විටත් පෙනී යනවා. රතන සූත්‍රය තුළින් පුණරුක්තියෙන් අවධාරණය වෙන්නේ සංඝ කියන පදය අනුව සම සමාජ අදහස එලියට ඇද දැමීමක්. විශාලා මහනුවර තුළ බිද වැටීම ඔවුන්ගේ සමූහිකය හැටියට යොදා ගත් වැඩ අවුල් කරගැන්මය කියල එහි ගාථා තුළම ඇතුල් වෙලා තියෙනවා. මේ ඇදුන සාකච්ඡාව දිගට යන්නට නම් උගත් සංඝයාවහන්සේලාත් මෙයට ඇද ගන්න ඕනා. එයට ඉඩකඩ ලබා දීමට මහ බොදු නායකයො ඉඩ දෙයිද දන්නේ නෑ.

2020.04.12

සබැදි ලිපි

You may also like...

7 Responses

  1. 2020-04-25

    […] රතන සූත්‍රය පතන සමාජ සුවය (2020) […]

  2. 2020-04-25

    […] රතන සූත්‍රය පතන සමාජ සුවය (2020) […]

  3. 2020-04-25

    […] රතන සූත්‍රය පතන සමාජ සුවය (2020) […]

  4. 2020-05-07

    […] රතන සූත්‍රය පතන සමාජ සුවය […]

  5. 2020-05-09

    […] රතන සූත්‍රය පතන සමාජ සුවය […]

  6. 2020-05-24

    […] රතන සූත්‍රය පතන සමාජ සුවය […]

  7. 2020-06-08

    […] රතන සූත්‍රය පතන සමාජ සුවය […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.