කොවිඩ් 19ට යටවෙන ප්‍රජාතන්ත්‍රවාදය

සේයා - අන්තර්ජාලයෙන්

කොවිඩ් 19 වෛරසයේ තර්ජනය ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත එල්ලවෙන ඡායාව පසුගිය මාර්තු 11 වෙනි දින මතුවිය. සංචාරක මඟ පෙන්වන්නෙකු කොරෝනා ආසාදනයට ගොදුරුවීමෙන් එය පෙන්නුම් කෙරුණි. වෛරසය පැතිරීමේ ස්වභාවය හා වේගවත් බව පිළිබඳව මෙරට බලධාරීන් හා සෞඛ්‍ය අංශ දැනුවත්ය. ඒ වන විටද චීනය, ස්පාඤ්ඤය හා ඉතාලිය බරපතල තත්ත්වයකට මුහුණ දී සිටියේය. රෝගීන් හා ආසාදිතයැයි සැක සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වන පසුබිමක විරුද්ධ පක්ෂයේ මතය වූයේ, මහ මැතිවරණය කල් දැමිය  යුතු බවයි. නමුත් මැතිවරණය කල්දැමීමේ කිසිදු හේතුවක් නොමැති බව රජය අවධාරණයෙන් කියා සිටියේය. 

පාසැල් වසා දැමීම, නිරෝධායන කටයුතු, ගුවන් ගමන් සීමා කිරීම් මාර්තු 16 වෙනි දින තෙක් ප්‍රමාද විය. ජාතිය අමතා ජනාධිපතිවරයා කළ කථාවෙන් පැහැදිලි වූයේද, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී ද සමාජය වෙතින් විරෝධතාවයක් මතු වූ බවයි. ‘රෝයල් තෝමියන්’ ක්‍රිකට් තරඟය පැවැත්විය යුතුම යැයි සංවිධායකයින් කී නිසා ක්‍රිකට් තරඟය පැවැත්වුණි. ශ්‍රී පාද වන්දනා චාරිකා ද එලෙසම සිදුවිය. මැතිවරණ උණුසුමේද වෙනසක් නොවුණි. පාලනයේ නිශ්චිතම ඉලක්කය මහා මැතිවරණය දෙසට යොමුව තිබුණි.                                 

මාර්තු 19 වෙනි දින නාම යෝජනා භාරගැනීම අවසන් විය. නාම යෝජනා භාරගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරෙන බලතල අනුව මහා මැතිවරණය කල්දැමූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශකරන ලදි. එතෙක් අප්‍රේල් මස නියමිත දිනයේදී මහා මැතිවරණය පැවැත්වීමේ යෝජිත ක්‍රියාන්විතය දියත් ව තිබුණි. දැනට නාම යෝජනා භාරදී ඇති සැකැස්ම තුළ ඉදිරි දිනකදී මහා මැතිවරණය පැවැත්වෙනු ඇත.

නාම යෝජනා භාරදුන් කාල සීමාවේදී පැවති දේශපාලන ස්වභාවය වත්මන් පාලනයේ ජයග්‍රාහී මාවතට ප්‍රවේශයක් බව රජයේ අදහසයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ක්‍රියාත්මක විපක්ෂ බලවේගයේ බෙදී යාම ප්‍රමුඛ කරුණකි. එමෙන්ම ජනපතිවරණයේ ජයග්‍රාහී බලවේගය තවදුරටත් රජය සතු බව පාලකයින් විශ්වාස කිරීමද මෙම පසුබිම නිර්මාණය කළේය. පරිසරය තුළ කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ පූර්ව සූදානම පසුපසට ඇද වැටුණි. රජයේ ඉලක්කගත ක්‍රියාන්විතය වූයේ මහා මැතිවරණ ජයග්‍රහණයයි. එයද 2/3ක ජයග්‍රහණයකි. එකී ජයග්‍රහණ යේ අභිලාෂය වන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමයි. මේ පිළිබඳව වත්මන් පාලනය නිරන්තර අවධාරණය කරයි. රජයේ සංවර්ධන වැඩ පිළිවෙලට ප්‍රධානම බාධකය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බව වත්මන් පාලනයේ දැඩි විශ්වාසය වී ඇත. ඉන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රීය පිළිබිඹුව කිසිදු ඇගයීමකට ලක් නොකරයි.

කෙසේවුවද රජයේ දේශපාලන න්‍යාය පත්‍රය අභිමත පරිදි දිග හැරීමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බාධකයක්ව ඇති බව නිසැකය. ප්‍රජාතන්ත්‍රවාදය මඟ හැරයාමේ අවදානම් සහගත සේයා දැනටමත් සමාජ තලය මත විහිදී ඇති බව පැහැදිලිය. මේ ස්වභාවය මානුෂික ව්‍යාපෘති තුළට කාන්දුවීම කණගාටුදායකය.   

කොරෝනා මර්දන වැඩසටහන් හා ආපදා කළමනාකරණ ක්‍රියාන්විතය රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයෙන් බැහැරවී ඇති බවට විවේචන එල්ලවේ. ආපදා කළමනාකරණය තුළ ද සිවිල් ජන අයිතිය පසුපසට ඇද වැටී ඇත. ඒ තුළද දේශපාලන බල අධිකාරිය විහිදී ඇත. අඩු ආදායම් ලාභීන් වෙත සහන සැපයීමේදී ඔවුන් පත්ව සිටින දරිද්‍රතා පසුබිම දෙස විමසිලිමත්වීම අනිවාර්යය. එය අතිශය මානුෂික කරුණකි.  

ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් එකිනෙක බිඳී යන මොහොතක, සමස්ත දේශයම වෛරස් රෝගකාරක තැතිගැන්මකට මුහුණ දී සිටින අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම පුරවැසි අයිතියයි.

ප්‍රියන්ත සිල්වා 

සබැදි ලිපි

You may also like...

2 Responses

  1. 2020-04-25

    […] කොවිඩ් 19ට යටවෙන ප්‍රජාතන්ත්‍රවාදය (2020) […]

  2. 2020-10-18

    […] කොවිඩ් 19ට යටවෙන ප්‍රජාතන්ත්‍රවාදය (2020) […]

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.