1983 කළු ජූලිය – දෙමළුන්ට නොව, දෙමළ ජාතියට එරෙහි සිවිල් යුද්ධයේ මොහොතක්…

Death range - between 400-3,000. 150,000 people estimated to become homeless. Around 8,000 homes & 5,000 shops were destroyed. Economic cost of the riots estimated as USD 300 mio [PC: Internet]

‘කළු ජූලිය’ නමින් කලක සිට හඳුන්වනු ලබන 1983 ජූලි මස සිදු කරන ලද දෙමළ ජනතාවගේ නිදහස් අරගලය පාගා දැමීමේ ක්‍රියාමාර්ගය, සුපුරුදු පරිදි දෙමළ ජනතාවගේ ජීවිත දේපල විනාශයන් ගෙන් සපිරි විය. එහි තවත් අර්ථ දෙකකි, එනම් ‘නුබලාට මෙහේ දකුණේ ඉඩ නෑ. ආපහු යාපනේට පලයල්ලා’ යන්නයි. එයටම බැඳුණු  දෙවැන්න ‘ඒකේ අයිතිය උඹලාටනේ’ යන්න වෙයි. මේ දෙවැන්න අවම හඬක් නැගුවත්, මේ දෙකම එක් වූ කල්හි වඩාත් යථාවාදී වූ ලෙස දකුණේ පිළිගැනීමක් පවතින්නකි.

ඒ කෙසේ වෙතත් ‘1958 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වීම නැවැත්වීම සඳහා දියත්වූ මෙවන් විනාශකාරී ක්‍රියාවන්, අනතුරුව විටින් විට සිදු කරන ලදී. සිදුවීම් රහිත වකවානු වල දී ද, දෙමළ ජීවිත හා දේපල විනාශයන් සිදුකිරීමේ තර්ජනය 1958 සිට නිරතුරුවම හොල්මන් කරමින් පවතින්නේ ය.

බ්‍රිතාන්‍යය පාලනය විසින් ලංකාව ලෝක ධනපති ක්‍රමයේ අංග ලක්ෂණයන්ට විවර කරනු ලැබීමත් සමඟ, මේ නව සමාජය තුළ තමන්ට හිමි විය යුතු සමාන අවස්ථාවන් ගැන සැම විමසිලිමත් වූ බව පැහැදිලි ය.  එය තමන් ගැන ඇති අනන්‍යතාවය – සිංහල ද දෙමළ ද යන්න අපැහැදිලි ධනපති සමාජයේ ප්‍රාරම්භක වකවානුවේ සිට ම පැවතුනා නිසැක ය.

එසේ මුත් භාෂාව/ආගම මුල් කර සිංහල බෞද්ධයා රටේ බහුතරය ලෙස පෙල ගැසෙද්දී, මේ ප්‍රශ්නය දෙමළ ජනතාවගේ හෘද සාක්ෂිය කලඹමින් මතු විය. එම වෙනස්කොට සැලකීම, නැතිනම් සමාන අවස්ථා නොතිබීම පිළිබඳ ප්‍රශ්නය රාජ්‍ය පාලනයට හවුල්වීමේ ඉඩකඩ කාරණාවේ සිට; සමාජ-ආර්ථික, භාෂා, ආගමික-සංස්කෘතික ක්ෂේත්‍රයන් කරා ද පැමිණෙමින් තිබුනි. දෙමළ ස්ව-සවිඥානකත්වය සක්‍රීය වෙමින් ව්‍යාප්ත වීමට එය සරුබිමක් වූයේ ය.

මෙහි දී වැදගත් කරුණක් වන්නේ සිංහල බෞද්ධවාදීන්ගේ ග්‍රහණයට පත් ලංකා ජාතික සංගමය විසින්, එහි සභාපතිව සිටි පොන්නම්බලම් අරුණාචලම් “ඔහුගේ වැදගත්කම පිළිබඳ අතිශයෝක්තියෙන් සිතන; දේශපාලනයේ දී අන්තවාදියෙකු වූ ස්වාර්ථවාදියෙක්” ලෙසට ප්‍රකාශ කරමින් (F.R.සේනානායක), ප්‍රාදේශීය නියෝජනය (Territorial representation) පිළිබදව ඒ වන විට ජාතික සංගමයේ පැවැති එකඟතාවය පාවා දෙනු ලැබීමයි. එය ලංකා ජාතික සංගමයෙන් වෙන් වී ලංකා දෙමළ ලීගය (Ceylon Tamil League) සංවිධානය වීමට හේතු විය. (1920)

මෙහි විස්තර කිරිමට ඉඩකඩ නැති තවත් බොහෝ ඝර්ෂණයන් මාලාවක් ලංකාවේ ප්‍රධාන ජන කණ්ඩායම් අතර පැවැති යේ ය. එය වඩාත් ප්‍රතිපත්තියානුකූල අයුරින් ඉදිරිපත් කරනු ලැබුවේ යාපනය සංගමය විසිනි. එම සංගමය විසින් 1935 ජුනි මාසයේ දී බ්‍රිතාන්‍යයේ යටත් විජිත රාජ්‍ය ලේකම්වරයා වෙත යවන ලද සවිස්තරාත්මක ලිපියක් මගින් මූලික නිගමන තුනක් ඉදිරිපත් කර තිබුණි. 

එනම්, ලාංකිකයන් අතරින් එක් කොටසක් අනෙක් අය කෙරෙහි ආධිපත්‍යය දැරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය; – සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා දැනට පවතින ආරක්‍ෂාවන්ට මැදහත් වීමට නම්, ඔවුන් වෙනුවෙන් වන්දි ආරක්ෂණ විධිවිධාන ආදේශ කිරීමේ අවශ්‍යතාවය; සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව දේශපාලන බලපෑම්වලින් නිදහස්ව තබා ගැනීමේ අවශ්‍යතාවය යන තුන යි.

1938 ජූලි මස දී  සමස්ථ ලංකා ස්වදේශික පදිංචිකරුවන්ගේ (දෙමළ) සංගමය  (All Ceylon Aboriginal Inhabitants (Tamil) Association) මගින්  බ්‍රිතාන්‍යයේ යටත් විජිත රාජ්‍ය ලේකම්වරයා වෙත යවන ලද ලංකාව සඳහා ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිලිබද කෙටුම්පත (A Federal Constitution for Ceylon) හා ලාංකික ජනකොටස් අතර ඇති වෙනස් කොට සැලකීම් පිලිබද ප්‍රශ්න පිලිබඳ ලිපි ගණනාවක් තුලින් දක්නට ලැබෙන අසහනකාරී තත්ත්වයන්ගේ ගුණාත්මක වෙනසක් 1972 ව්‍යවස්ථාව දක්වාම දක්නට නැත. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මගින් ස්වපාලන පදනමක් මත, සමාජය තුළ සම පාර්ශවකරුවන් ලෙස ඉදිරියට යෑමේ බලාපොරොත්තුව ඒවායින් ප්‍රකාශ විනි. එම ගමනේ කූඨප්‍රාප්තීන් වන බණ්ඩාරනායක හා ඩඩ්ලි සේනානායක සමඟ චෙල්වනායගම් ඇතිකරගත් එකඟතාවයන් ඒ සඳහා උදාහරණයන් ය.

වෙනස් වූයේ සිද්ධි වල මතුපිට ස්වාභාවයන් හා ඒවායේ ප්‍රමාණයන් පමණි. තමන් මුහුන දී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් දෙමළ ජනතාව අතර පොදු පැහැදිලිකමක් හා ඒකමතියක් එදා මෙදා තුර පැවැතිනි. වෙනස්කම්, මේ ප්‍රශ්න වලට විසඳුම් වෙනුවෙන් කළ යුතු මැදහත්වීම්, අරගල පිලිබඳව හා තම නිදහසේ අරගලය සඳහා වැදගත් වන මිතුරන් කවරහුද යන්න ගැනත් ලෙසින් දෙමළ සංවිධාන අතර විවිධත්වයන් වූ අතර, එය අද දක්වාත් පවතී.

ලංකාවේ සමාජ ආර්ථික දියුණුව සඳහා, දෙමළ ජනතාවගේ මුලික දේශපාලන සමාජ-ආර්ථික; භාෂා; ආගමික-සංස්කෘතික ප්‍රශ්න වලට විසඳුම් දෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය පුළුල් කිරීමේ අවශ්‍යතාවය සිංහල පාලකයන්ගේ ද දුර දිග දක්නවුන් අතර පොදු පිලිගැනීමක් ද විය. හුදු දේශපාලන වාසි තකා ජාතිවාදය යොදා ගත්තද, අනතුරුව එකඟත්වයක් සඳහා දෙපාර්ශවය අතරේම වැර දැරීමක් ද විය.

ඒ සෑම අවස්ථාවක්ම සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ වර්ගවාදී ප්‍රහාරයන්ට ලක් විණි. ඒ මගින් එක්කෝ එකඟත්වයන් මුළුමනින්ම විනාශ කළ අතර, සමහර ඒවායේ ශක්තිය බාල්දු කිරීම සිදුවිය. එමෙන්ම ඒ ඒ ප්‍රතිසංස්කරණයන් දෙමළ ජනතාවගේ බලය ඉදිරියට ඒමක් ලෙස සලකා, එම බලය තලා දමා යටපත් කර තැබීම ද මේ ප්‍රහාරයන්ගේ අපේක්ෂාව විය.

1972 ව්‍යවස්ථාව හා ඒ දක්වා වූ ගමන් මාර්ගය ප්‍රතිසංස්කරණ මගින් සම අවස්ථා සලසා ගැනීමේ බලාපොරොත්තුව නිමා කළ හැරවුම් ලක්ෂයක ස්වාභාවය ගත්තේ ය. ස්වපාලන ඉල්ලීම් ව්‍යවස්ථා සම්පාදන සාකච්ඡා වලදී නින්දාවට ලක් කෙරුණු අතර, දෙමළ නායකයන්ට මේ සාකච්ඡා වලින් ඉවත් වීමට සිදුව තිබුණි. ප්‍රතිසංස්කරණ පිළිබඳ බලාපොරොත්තු තීරණාත්මක ලෙස කඩ වීමක් සනිටුහන් වූ අතර, 1974 දී උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් නියෝජනය කරන සියලුම ප්‍රධාන දෙමළ පක්ෂ එක් සංසදයකට එකතු විය. එය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ – TULF ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එය දෙමළ ජනතාවගේ නිදහස් ආත්ම ගෞරවය හා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඇති කර ගන්නා ලද ව්‍යාපාරයක් බව ද ඔවුන් ප‍්‍රකාශ කළේය. මේ දෙමළ තරුණ පෙළ, දේශපාලන තීන්දු ගැනීම සඳහා පෙරමුණට පැමිණෙමින් සිටි යුගය ලෙස දැකිය හැකිය. එහි ඊලග වර්ධනය වූයේ 1976 දෙමළ දේශපාලන නායකයන් එක් වී තම වඩුක්කොඩෙයි සමුළුවේදී දෙමළ ඊලාමය පිලිබඳ යෝජනාව ප්‍රකාශය ප්‍රකාශයට පත් කිරීමයි.

මෙහි, එනම් වඩුක්කොඩෙයි සමුළුවේ අරුත කුමක් ද? දෙමළ ජනතාව තමන් ජාතියක් බවත්, එහි ඉරණම විසඳා ගැනීමේ අයිතිය තමන් සතු බවත් ප්‍රකාශයට පත් කිරිමයි.

මෙරට ධනපති ක්‍රමය ඇතිවූ දා සිට ජාතීන්ගේ වර්ධනය ආරම්භ වූයේ ය. එය අදවත් සම්පූර්ණ වී ඇත්ද නැත්ද යන්න වෙනම කථාවකි. නමුත් සිංහල ජාතියට සාපේක්ෂව සම අයිතියක් ඇති ජාතියක් ලෙස, වඩුක්කොඩෙයි සමුළුව මගින් දෙමළ ජාතිය ඉදිරිපත්ව ප්‍රකාශයටට පත් වූයේ ය. එය ලාංකීය දෙමළුන් ජාතියක් ලෙස ගොඩ නැගීමේ ඉතිහාසයේ ගුණාත්මක වර්ධනයකි.

එතැන් සිට දෙමළා පිලිබඳව සිංහල බෞද්ධයාගේ පැවැත්මේ ද ගුණය වෙනස් විය. දැන් සටන ඇත්තේ වෙනත් තලයකය. ඒ දෙමළා සමඟ නොව දෙමළ ජාතිය සමගයි.

1983 කළු ජූලිය යනු එම සටනේ වර්ධනය ප්‍රකාශිත එක් අවස්ථාවක් විය.

මෙහි දී 1977 දී ශ්‍රී ලංකාවේ පැවති දෙමළ විරෝධී සංහාරය මතකට නගා ගැනීම මෙහිදී වැදගත් වෙයි. 1977 මහ මැතිවරණයෙන් දෙමළ ඊලාමය පිළිබද සටන් පාඨය මත දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද කොට්ඨාශ සියල්ල ජයග්‍රහණය කළේ ය.

1977 මැතිවරණය පැවැත්වූයේ 1977 ජූලි 21 වැනිදාය. දෙමළ දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම ඡන්දය දුන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට (TULF) යි. ඒ කුමන සටන් පාඨයක් මතද? රටේ දෙමළ ප්‍රදේශයන් සඳහා වෙනම පාලනයක් ඇති කර, දෙමළාට යුක්තිය-සාධාරණය සලසා ගැනීමට දොරක් විවර කර ගැනීම සඳහා ය.

මේ අතර වසර ගණනාවක් තිස්සේ යාපනයේ කලාපය තුළ හමුදා සහ පොලිස් මර්දනයන් දිගින් දිගටම පැවැති අතර, එයට ප්‍රතිප්‍රහාර ද එල්ල විය. කොළඹ ආණ්ඩුව සමග සබඳකම් දැරූ දෙමළ දේශපාලනඥයන්ටද ප්‍රහාර වලට මුහුණ දීමට සිදුවී තිබුණි. සටන්කාමී දෙමළ තරුණ කණ්ඩායම් ගණනාවක් යෝජිත ඊලාමය ප්‍රචණ්ඩකාරී මාර්ගයෙන් ලබා ගැනීමේ උපාමාර්ග අනුගමනය කළ අතර, ඒවා ඒ වෙනුවෙන් පෙනී සිටින සීමිත සාමාජිකයින් පිරිසකගෙන් සමන්විත වී ද යන්න අතරතුර කාරණාවකි.

1977 උතුර-නැගෙනහිර ප්‍රදේශවල දී දෙමළ දේශපාලනය ලද දැවැන්ත ජයග්‍රහණය නව අගමැති ජූනියස් රිචඩ් ජයවර්ධනට ඒත්තු ගොස් තිබුනේ, TULF ය සහ මේ තරුණ සටන්කාමීන් අතර පැවැති ඒකත්වය තුළින් අත්පත් කරගත්තක් ලෙසයි. එසේ වූ කලිහි, ඔහුට අනුව ද්‍රවිඩ ඊලාමය දිය කර හැරීම‍ සඳහා, මේ දෙකම යටපත් කිරීමට අවශ්‍ය විය.

1977 නව රජය බලයට පත්වී මසක් වැනි කෙටිකාලයක් තුලදී යාපනයෙන් ඇරඹී රට පුරා පැතිර ගිය දෙමළ ජනතාවට එරෙහි කැරැල්ල ආරම්භ වූ ආකාරය පිළිබඳ ප්‍රකාශිත අත්දැකීම් විවිධ ලෙස තිබුණි. සමහරු විශ්වාස කරන්නේ ඒවා ආරම්භ වූයේ ටිකට් නොමැතිව සැණකෙළියකට ඇතුළු වූ වීමට ගිය පිරිසක් නිසා බවය. ඉන් පෙනෙන විදිහට පොලිස් නිලධාරීන් මත්පැන් පානය කර ටිකට් පත් ඉල්ලූ අයට පහර දීමට පටන් ගත්හ.

ගැටුම උත්සන්න වී පොලිස් නිලධාරීන්ට මහජනතාව විසින් පහර දීම නිසා ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් පොලිසිය ජනයාට වෙඩි තබා තිබේ.

නමුත් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ සැණකෙළි සිද්ධිය කඩතුරාවක් පමණක් බවයි. ඒ වෙනුවට එය පූර්ව වශයෙන් කල් තබා සැලසුම් කළ ප්‍රහාරයක් බවයි. කෙසේ වෙතත් පොලිස් වෙඩි පහරින් සාමාන්‍ය වැසියන් සිව් දෙනෙක් මිය ගියහ.

කැරලි කෝලාහල වේගයෙන් දකුණට පැතිර ගියේය. අත්අඩංගුවට ගත් 1,500 පමණ දෙනා අතර දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා උසිගැන්වූ බවට චෝදනා ලැබූ ප්‍රසිද්ධ සිංහල අන්තවාදීන් කිහිප දෙනෙක් ද වූහ.

මෙම සිදුවීම ප්‍රවේශමෙන් විමසූ කල පෙනීයන්නේ, පෙර අවස්ථා වලදී සිදුවූ සිංහල – දෙමළ කෝලාහල මෙන් නොව, මෙය සැලසුම් ගත දෙමළ විරෝධී සංහාරයක් වූ බවයි. දෙමළ ජනතාව අතර බෙදුම්වාදී ව්‍යාපාරයක් බිහිවීමට එරෙහි වියරු ප්‍රතික්‍රියාවයක් බවයි. 

නිල තක්සේරුවකට අනුව රට පුරා පැතිරගිය කැරල්ලේ දී පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒ ජනවාර්ගික වශයෙන්, ද්‍රවිඩ 97 ක්, සිංහල 24 ක්, මුස්ලිම් 1 ක් සහ ජාතික වශයෙන් හඳුනා නොගත් තිදෙනෙකි.

1977 දී සිදු වූ සංහාරයේදී කාන්තාවන් 200 ක් පමණ දූෂණය කළ බවට, අමීර්තලිංගම් සිංහල බෞද්ධ දාමරිකයන් වෙත චෝදනා එල්ල කළේය. 1977 ජන සංහාරයේදී සිදු වූ මෙම ස්ත්‍රී දූෂණ පිලිබද සටහන් කරන අමිර්තලිංගම් ගේ බිරිඳ “දෙමළ කාන්තාවන්ට රාත්‍රි කාලයේ ආරක්ෂිතව වීදිවල ඇවිදීමට නොහැකි විය” යනුවෙන් පවසා ඇත.

තමන් බලයට පත් වහාම ඇති වූ මේ සිදුවීම නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ මහත් වූ අප්‍රසාදයට ලක්වීමේ අවදානම් සහගත තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන්, දේශපාලන වශයෙන් දෙමළ නායකයන් නව එකගත්වයකට ගැනීමට ජයවර්ධන පාලනය විසින් පිලියම් යෝජනා කළේ ය. දිස්ත්‍රික් සංවර්ධන සභා ගෙන ආවේ ඒ සදහා ය. දෙමළ ජනතාවගේ ස්වපාලන අපේක්ෂාවන් මුදුන් පත් කිරීම සඳහා යැයි පවසමින් ගෙන ආ මේ සංවර්ධන සභා පනත සම්මත කර, 1981 ජූලි මස දී එය බලාත්මක කිරීම සඳහා අදාල මැතිවරණයන් ප්‍රකාශයට පත් කෙරිණි.

දෙමළ විමුක්ති පෙරමුණේ නායකයන් තම පක්ෂය මෙම මැතිවරණයට සහභාගී වීමට තීන්දු කරන ලද්දේ ය.

ඒ දෙමළ ජනයාගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සලකා බලන කල, දිස්ත්‍රික් සංවර්ධන සභා වල ඇති නිෂ්ඵල භාවය පිළිබඳව යාපනය විශ්ව විද්‍යාලයේ විද්වතුන් මෙන්ම, නව සම සමාජ පක්ෂය ඇතුළු දකුණේ වාමාංශික සංවිධාන ගණනාවක් විසින් පෙන්නුම් කරනු ලැබුවා වූ තත්ත්වයන් යටතේ සැලකිය යුත්තේ. 

කෙසේ වෙතත් අවසානයේදී දිස්ත්‍රික් සංවර්ධන සභා යෝජනා ක්‍රමය අසාර්ථක වී ගියේ ය. මෙම සන්දර්භය තුළ, එක්සත් ජාතික පක්ෂ යාපනය ලැයිස්තුවේ පලමු තැන ගත් අපේක්ෂකයා වූ ත්‍යාගරාජා දෙමළ තරුණ සටන්කාමීන් මගින් ඝාතනය කරන ලදී. වෙනත් සිදුවීම් මධ්‍යයේ පොලිස් භටයන් දෙදෙනෙකුද ඝාතනයට ලක් විය. මේවාට අනුෂාංගිකව 1981 දී යාපනයේ කැරළි ගැසීම් දියත් වූ අතර ආණ්ඩුවේ මෙහෙයුම් යටතේ හමුදා ඇතුළු දකුණේ විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් නගරය පුරා ගිනිතැබීම් කරගෙන ගියේ ය.

ප්‍රහාරයන්ගේ තිරශ්චීන බව සම්බන්ධයෙන් යාපනය පුස්තකාලයට ගිනි තබා එහි තිබූ 95,000 කට අධික පොත් කාණ්ඩයන් හා අප්‍රමාණ ලේඛණ සියල්ල අලු බවට පත් කරනු ලැබීමෙන් පසු වෙනත් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.

ඔවුන් යාපනයේ දෙමළ දිනපතා පුවත් පතක් වූ ‘ඊලනාඩු’ පුවත්පත් කාර්යාලය ගිනිතබන ලද්දේ ය. යාපනය ප්‍රසිද්ධ වෙළදපල, හා තවත් දහසකට අධික නගරයේ ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කෙරිණි. යාපනයේ සිදුවූ මේ ගිනිබත් කිරීම් පිලිබද සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී, ඒවා සිදුවූ කාලවෙලාව තුළ දී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වූ සිරිල් මැතිව් හා ගාමිණී දිසානායක යන අය යාපනය නගරයේ ස්ථානගතව සිටි බව සාක්ෂි මගින් තහවුරු කළේ ය.

යාපනයේ සිදුවූ මෙම කැරළිකාරීත්වය ජාතීන් දෙක අතර මහත් ආතතියකට තුඩුදුන්නේ ය. මේ අවස්ථාවේදී දකුණේ ඇති වූ කොලාහල, දෙමළ ජනතාව වැඩි වශයෙන් ගොනු වූ ප්‍රදේශයන්ට පමණක් සීමා වී තිබුණි. මෙහිදී දෙමළ ජනයා දරුණු ලෙස පහරදීම් වලට ලක්වූ අතර, සිංහල දේශපාලනඥයින්ගේ උසිගැන්වීම ලත් දාමරිකයන් විසින් ඔවුන්ගේ ගේ දොර දේපල ගිනි තබා විනාශ කරන ලදී.

1981 ඇතිවූ මේ සිදුවීම් මාලාව සමඟ දෙමළ ජනතාවගේ වාසභූමි ප්‍රදේශ වල හමුදා-පොලිස් මැදහත්වීම් තියුණු ලෙස ඉහල ගියේ ය. එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යෑමේ දී එතෙක් පැවැති නිදහස් වාතාවරණය, ඒ තුලට නිල ඇඳුම් ලාගත්තවුන් ගේ අවතීර්ණ වීම මගින් අහෝසි වී ගියා සේ ය. මංමාවත් ප්‍රසිද්ධ ස්ථාන භාවිත කරන ජනයාට, තමන් කරන කියන දැයට යොමුවූ උකුසු ඇස් පිලිබද සැකය මහත් අසහනයක් ගෙන ආවේ ය. අනාරක්ෂිත බව දැනෙන්නට විය. තමන් ආරක්ෂක වලල්ලකට මැදි වූ විවෘත සිර කඳවුරක සිටින්නා සේ ය.  

මේ අප්‍රකාශිත සිරගත කරනු ලැබීමෙන් මිදෙන්නේ කෙසේ ද? නිල ඇඳුම් ලා අවිගත් කොළඹ ආණ්ඩුවේ ආරක්ෂකයින් තම භූමියෙන් ඉවත් කිරීමෙනි. ඒ සදහා විවිධ අදහස් දැක්වීම්, විරුද්ධත්වය පෑම් පැවැතියද තත්ත්වයේ වෙනසක් වූයේ නැත. ඇහුන්කන් නොදෙන්නවුන්ට යමක් කියා දිය නොහැකිය. එසේ හෙයින් කළ යුත්තේ ඇගට දැනෙන ක්‍රියාමාර්ගයන් ගැනීම ය යන අදහසට දෙමළ තරුණ සංවිධාන එළැඹීම දක්නට ලැබෙන්නේ  මුරසංචාරයේ යෙදෙන හමුදා කාණ්ඩයකට පහර දීමෙණි.   

1983 ජූලි 23 වන දින යාපනයේදී එල්ල වූ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 13 දෙනෙකු ඝාතනයට කරනු ලැබීමට ප්‍රතිචාර වශයෙන් මෙම සංහාරය දෙමළ ජනතාව මතට මුදා හල බව ප්‍රචලිත විය. කව්රුත් දන්නා පරිදි මෙම සිරුරු භූමිදානය සදහා බොරැල්ලේ කනත්තට ගෙන එන ලද අතර, එම කටයුතු නිමාවත් සමඟ දෙමළ ජනයා මතට මහත් ප්‍රහාරයක් එල්ල කෙරිණි.

දෙමළ සුළුතරය ඉවත්කර දැමීම ඉලක්ක කළ මෙම ප්‍රහාරය හුදු හමුදා සෙබළුන් ඝාතනයට ප්‍රතික්‍රියාවක් බව පෙන්නුම් කිරීමට උත්සාහයක් පැවතුන ද, මෙම කෲර ප්‍රහාරයේ සංවිධිත ස්වාභාවය විසින් එයිට වඩා බොහෝ වැඩි සැලසුම් සහගත බවක් පෙන්නුම් කළේය.

සැලසුම් කරුවන් කොයි මොහෙතේ හෝ නිමිත්තක් එළඹෙන බව දැන සූදානම්ව සිටියා සේ ය. දෙමළ ජනතාව සතු ව්‍යාපාරික ස්ථාන, වාසස්ථාන සිනමාහල් ලැයිස්තු ගත කර, ඒවාට පහර දෙන ලද ආකාරය පිලිබද සාක්ෂි පෙන්නුම් කළේ මේ තත්ත්වයයි.

1983 ජූලි මස අවසන් සතිය පුරාවට දිවුනු මේ දෙමළ සංහාරය කෙළවර වන විට සිංහල වර්ගවාදී කණ්ඩායම් විසින් දෙමළ ජාතිකයන් 2000 ක් පමණ ඝාතනය කර තිබිනි. සමහරු පුළුස්සා දමන ලදී. දෙමළ කාන්තාවන් බොහෝමයක් සිංහල දාමරිකයන් අතින් දූෂණයට ලක්වූ අතර, දස ලක්ෂ ගණනින් මිනිය හැකි ඔවුන්ගේ දේපළ ගිනි තබා හෝ කඩා බිද දමා විනාශ කර දමන ලදී. දෙමළ ජනතාව ලක්ෂයක් පමණ අවතැන් වූ අතර, ඉන් 40,000ක් පමණ ඉන්දියාවේ සහ අනෙකුත් රටවල සරණාගත භාවය සොයා රට හැර ගියහ.

1983 ජූලි 25 වන දින වැලිකඩ බන්ධනාගාරයේ අධි ආරක්ෂිත රැඳවුම් වාට්ටු තුළදී, වෙනත් සාමාන්‍ය වාට්ටු වල සිටි සිංහල සිරකරුවන් විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස් පනාපිට, දෙමළ දේශපාලන සිරකරුවන් කපා කොටා ඝාතනය කරන ලදී. 1983 ජූලි 27 වන දින, මේ ආකාරයෙන්ම නැවත දෙවන වරටත්, තවත් දෙමළ සිරකරුවන් 18 දෙනෙකු ඝාතනය කර තිබේ.

මේ දෙමළ සිරකරුවන් විවිධ දෙමළ විමුක්ති සංවිධානයන් හි තරුණ නායකයන් හා සාමාජිකයන් ය. මේ නිරායුධ තරුණ සිරකරුවන්ව කඩු කිනිසි මන්නා වැනි තියුණු අවි වලින් කපා කොටා ඝාතනය කරනු ලැබීය.

මේ සිද්ධිය පුන පුනා යලිත් ඔප්පු කරන්නේ මේ 83’කළු ජූලිය යනු දෙමළුන්ට එරෙහි කැරැල්ලක් නොව, දෙමළ ජාතියට එරෙහි සිවිල් යුද්ධයේම ආරම්භක පියවරක් වූ බවයි.

ඒ අතර ඉතා කෙටිකාලයක් තුලදී, ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය පිලිගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කළ දිව්රුම් දීමක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ය. එසේ දිවුරුම් නොදෙන්නෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටීමට නුසුදුස්සෙකු බවට පත්වීමද මේ සංශෝධනය මගින් සිදුවිය. නමුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් එදා සිටියේ මෙවන් දිවුරුමක් දීමට හැකි දේශපාලන පරිසරයක නොවී ය. ඔවුන්ට මේ මොහොතේ එකී පියවර ගැනීමට නොහැකි බවට රට ඉදිරියේ නිසැක පැහැදිලිකමක් තිබියදී ම ය, මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ. (2/3 බලය “අන්ධ ගොලු බිහිරි” බවට පාලකයන් පත් කරන්නකි.)

එම දිව්රුම දීම ද්‍ර.එ.වි.පෙ. මන්ත්‍රීන් ප්‍රතික්ෂේප කරන ලද්දෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවි නිතැතින්ම අහෝසි වී ගියේ ය.

එහි අරුත වූයේ, ඒ වන විට මුළුමනින්ම ඇන හිට තිබූ දෙමළ-සිංහල ජනතාව අතර සබඳතාවය පවත්වා ගැනුමට තිබූ එකම ආයතනයේ දොරත් දෙමළ ජනතාවට වැසී යෑමයි.

දැන්; තම අනාගත ඉරණම සඳහා විකල්ප මගක් ගැනීම දෙමළ ජනයා හමුවේ මතුවූයේ අනිවාර්යතාවයක් ලෙසිනි.  

රණත්

You may also like...

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.