නිර්ධන පංතියේ විශිෂ්තටම ගුරුවරයා – ඒංගල්ස් 125 වන අනුස්මරණය

බර්ලින්හි පිහිටි මාර්ක්ස් ගේ සහ ඒ්ංගල්ස් ගේ ප්‍රතිමා (සේයා අන්තර්ජාලයෙන්)

1895 අගෝස්තු 05 වැනි දා ෆෙඩ්රික් ඒංගල්ස් ලන්ඩනයේ දී මියගියේය. ඔහුගේ මිතුරා, කාල් මාක්ස් අභාවයෙන් පසු එංගල්ස්, ශිෂ්ඨ සම්පන්න ලෝකය තුළ බිහිව සිටි නවීන නිර්ධන පංතියේ මාහැගි ප්‍රාඥයා හා ඇදුරා විය. ඉරණම විසින් කාල් මාක්ස් හා එංගල්ස් එක් කළා වූ මොහොතේ සිට මේ මිතුරන් දෙදෙනා මුලුමහත් ජිවිත කාලය තුළම තමන්ගේ පොදු අභිප්‍රායන් මුල් කරගත් කාර්යභාරයන්හි නියුක්ත හිතෛශීන් වූහ. එංගල්ස් මාක්ස්ගේ ඉගැන්වීම් හි අභිප්‍රායයන් පිළිබදව ඉතා පැහැදිලි අදහසක් ඇතිව අධ්‍යතන නිර්ධන පංති ව්‍යාපාරයේ වෘධිය වෙනුවෙන් අසමසම මෙහෙයක් ඉටු කළේය.

මාර්ක්ස් හා එංගල්ස් මූලික ලෙසම පෙන්නුම් කළේ වර්තමාන ආර්ථික විධියේ විපාක වශයෙන් අවශ්‍යයෙන්ම කම්කරු පංතිය හා එහි ඉල්ලීම් මතුවන බවයි. ධනපති පංතියේ නිෂ්පාදන සැලසුම් තුළින් ඒ සමඟින්ම නිර්ධන පංති සංවිධිතභාවය ද අවේනික වූවක් ලෙසින් නිර්මාණය වූ බවයි. ඔවුන් තවදුරටත් පෙන්නුම් කළේ පුද්ගලයන්ගේ උත්තර-මනස් වල වෑයම් හේතුවෙන් උදාර සමාජයක් බිහි නොවන බවත්, සංවිධිත නිර්ධනින්ගේ පංති අරගලය තුළින් මෙකල් හි පාගා දමා ඇති මනුෂ්‍යත්වය යලි ගෙන එමින්, මේ නිරයෙන් මිනිස් සමාජය මුදවා ගන්නා බවත් ය. තමන්ගේ විද්‍යාත්මක කටයුතු තුළ දී මාක්ස් හා එංගල්ස් පැහැදිලි කළේ සමාජවාදය හුදු සිහින දකින්නන්ගේ අභිනව නිමැවුමක් හෝ සොයාගැනීමක් නොව, නවීන සමාජයේ නිෂ්පාදන බලවේගන්නේ වෘධියේ අවසාන එලය හා එහි නෙැවැලැක්විය හැකි ප්‍රතිඵලයක් වන බවයි.

මේ දක්වා ලිඛිත ඉතිහාසය වනාහී පංති අරගලයේ ඉතිහාසයක් වෙයි. ඒ හෝ මේ ජයග්‍රාහී පංතීන් අනුක්‍රමයෙන් අනෙක් පංතීන් අභිබවා පාලනය කළා වූ සංතතියක ඉතිහාසයක් වෙයි. මෙම තත්ත්වය පංති අරගලයේ පදනම මත පුද්ගලික දේපල, අරාජික සමාජීය නිෂ්පාදනය අභිබවනය කරන තෙක් දිගින් දිගටම පවතිනු ඇත්තේය. නිර්ධන පංතියේ අයිතිවාසිකම් විසින් ඉල්ලා සිටින්නේ මේ අරාජිකත්වයේ පදනම් වල විලෝපයයි. වැනසී යෑමයි. එමෙන්ම සංවිධිත කම්කරුවන්ගේ දැනුවත් පංති අරගලයන් ඔවුන්ව මේ සමාජය බිදීමට මෙහෙය වන්නේ ය.  සෑම පංති අරගලයක් ම දේශපාලන අරගලයකි.

සේයා – අන්තර්ජාලයෙන්

කාල් මාර්ක්ස්ගේ මිතුරා, සගයා ලෙසින්  නිර්ධන පංතියේ මහා ප්‍රාඥයා හා ඇදුරා බවට පත් වූ එංගල්ස් කළ විශිෂ්ඨතම මෙහෙයක් වන්නේ මාක්ස්වාදයේ මූලධර්ම සංයුක්තව පැහැදිලි කරන්නා වූ පොත්පත් ලියවිලි මහත් රාශියක් නිර්ධන පංති ව්‍යාපාරයට දායාද කිරීමයි. දර්ශනවාදය, ශුධ විද්‍යා, ආර්ථික හා සමාජ විද්‍යා, සමාජ හා සත්ත්ව සන්තතියේ ඉතිහාසය පිලිබද තත්ත්කාලීන දැනුම ගැඹුරට හදාරමින් ඒ දැනුම පරිහරනය කරමින් රචිත මේ ලියවිලි අතර, සමාජවාදය-මනෝරාජ්‍යයෙන් විද්‍යාවට, පවුල-පෞද්ගලික දේපල හා රජය බිහිවීම, ප්‍රාග්ධනය ගැන, සොබාදහමේ අපෝහකය, ලුඩ්විග් ෆොයර්බච් හා සම්භාව්‍ය දර්ශනවාදයේ අවසානය සහ ආගම් පිලිබද ලියවිලි ප්‍රධාන වෙයි.

ප්‍රෂියානු රාජ්‍යයේ රයින් ප්‍රාන්තයේ බර්මන් හි 1820 දී ඒංගල්ස් උපත ලැබුවේ කර්මාන්තකරුවකුගේ පුතෙකු හැටියටය. 1838 දී සිය උසස් අධ්‍යාපන කටයුතු අතරමඟ නවතමින් ලිපිකරුවෙකු සේ රැකියාවකට ඇතුල් වීමට ඔහුට සිදුවිය. නමුත් එය විද්‍යාත්මක හා දේශපාලනික අධ්‍යාපනය සොයා යෑමෙන් ඔහුව වැළැක්වූයේ නැත. ඔහු උසස් අධ්‍යාපනය ලබමින් සිටියදීම ඒකාධිපතීත්වය සහ නිලධාරිවාදයේ ක්‍රෑරභාවයට වෛර කරන්නට පටන් ගත්තේය. දර්ශනය පිළිබඳව හැදෑරීම එය තවත් තීව්‍ර කළේය. ඒ වකවානුවේදී හෙගල් ගේ ඉගැන්වීම් ජර්මන් දර්ශවාදයේ ප්‍රමුඛත්වය අත්පත් කරගෙන තිබුනු අතර ඒංගල්ස් ඔහුගේ අනුගාමිකයෙකු බවට පත්විය. ඒකාධිපතිවාදී ප්‍රශියානු රාජ්‍යයේ අනුග්‍රාහකයෙකු වුවද, බර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කළ හෙගල්ගේ ඉගැන්වීම් විප්ලවකාරී විය. මනුෂ්‍ය හේතූන් සහ එහි අයිතීන් ද විශ්වයම නොනවතින වෙනස්වීමේ සහ වර්ධනය වීමේ ක්‍රියාවලියක් තුළින් ගමන් කරන බවට වූ මූලික හෙගලියානු දාර්ශනික න්‍යාය ද බොහෝ බර්ලින් දාර්ශනිකයන්, පවත්නා නරකට විරුද්ධව සටන් කිරීමත් මේ සදාතනික වර්ධනය පිළිබද විශ්ව නීතිය තුළ ගැබ්ව ඇතිය යන අදහසට ලඟා කරවන ලදී.

21 වියැති ඒ්ංගල්ස් – 1842 දී (සේයා අන්තර්ජාලයෙන්)

එංගලන්තයට පැමිණෙන තෙක්ම ඒංගල්ස් සමාජවාදියෙකු නොවීය. මැන්චෙස්ටර් හි දී එංගලන්ත කම්කරු ව්‍යාපාරයේ සාමාජිකයන් සමඟ සබඳතා ගොඩනගා ගත් ඔහු ඉංග්‍රීසි සමාජවාදී ප්‍රකාශන වලට ලිවීම ආරම්භ කළේය. 1844 දී ඔහු ජර්මනියට ආපසු එන අතරතුර පැරීසියේදී ඔහු ඒ වන විටත් ලිපි හුවමාරුකර තිබූ මාර්ක්ස් ව හමුවිය. පැරීසියේදී, ප්‍රංශ සමාජවාදීන් හා ප්‍රංශ ජීවිතයේ බලපෑම යටතේ මාර්ක්ස් ද සමාජවාදියෙකු බවට පත්වී සිටියේය. මෙහිදී මෙම මිතුරන් දෙදෙනා එක්ව “ශුද්ධ වූ පවුල, නැතිනම් විවේචනාත්මක විවේචනයේ විවේචනය” (The Holy Family, or Critique of Critical Critique) පොත රචනා කළේය.

1845 සිට 1847 කාලය ඒංගල්ස් බ්‍රසල්ස් සහ පැරීසියේ කම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය සමඟ විද්‍යාත්මක විශ්ලේෂන ගොනු කරමින් ගත කළ අතර මෙහිදී ඒංගල්ස් සහ මාර්ක්ස් විසින් ජර්මානු කොමියුනිස්ට් ලීගය සමඟ සම්බන්ධතා පැවැත්වීම ආරම්භ කළේය. මෙය ඔවුනට සමාජවාදය සම්බන්ධයෙන් ඔවුන් සකස් කරන ලද ප්‍රධාන මූලධර්මයන් පැහැදිළි කිරීමට අවස්තාව හෙලි කළ අතර, ඒ අනුව මාර්ක්ස් සහ ඒංගල්ස් 1848 දී ලෝක ප්‍රසිද්ධ කොමියුනිස්ට් ප්‍රකාශනය (Manifesto of the Communist Party) පළ කරන ලදී.

1848 දී ප්‍රංශයෙන් ඇරඹී බටහිර යුරෝපය පුරා පැතිර ගිය විප්ලවය විසින් මාර්ක්ස් සහ ඒංගල්ස් නැවත මව් රටට ගෙන යන ලදී. මෙහිදී ප්‍රතිගාමී බලවේගයන්ට විරුද්ධව ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම මිතුරෝ දෙදෙන නොනවත්වා සටන් කළේය. මෙහිදී ප්‍රෂියානු පුරවැසිභාවය අහිමි කරන ලද මාර්ක්ස් එරටින් පිටුවහල් කරන ලදී. ඒංගල්ස් නිදහස සදහා වූ සන්නද්ධ නැගිටීමට සහභාගි වූ අතර එහි පරාජයත් සමඟ ස්විට්සර්ලන්තය හරහා ලන්ඩනයට පැන ගියේය.

මාර්ක්ස් සහ ඒංගල්ස්, මාර්ක්ස් ගේ දියණයන් සමග 1864 ලන්ඩනයේදී
(සේයා අන්තර්ජාලයෙන්)

මාර්ක්ස් ලන්ඩනය සිය නිවස්නය කරගත් අතර ඒංගල්ස් නැවත තමන් කලින් රැකියාව කළ මැන්චෙස්ටර් කමර්ෂල් හි ලිපිකරුවකුද, පසුව කොටස් හිමියකුද බවට පත්විය. 1870 දක්වා ඒංගල්ස් මැන්චෙස්ටර් හි සිටි අතර මාර්ක්ස් ලන්ඩනයේ සිටියද ඔවුන් දිනපතාම වාගේ සිය ලියුම් ගණුදෙනු පවත්වාගෙන ගියේය. මේ අදහස් හුවමාරුව තුළින් ඔවුන් සිය දැක්ම සහ සොයාගැනීම බෙදාගනිමින් විද්‍යාත්මක සමාජවාදය ගොඩනැගීම සඳහා කටයුතු කළහ. 1870 දී ඒංගල්ස් ලන්ඩනයට පැමිණි අතර 1883 දී මාර්ක්ස්ගේ මරණය දක්වා ඔවුන් සිය හවුල් බුද්ධිමය ජීවිතය ගත කළේය.

ඉන්පසුව සිය සගයා සමඟ ගොඩනැගූ මූලධර්මයන් වඩාත් විස්තීර්ණ ලෙස පැහැදිළි කිරීම වෙනුවෙන් ඉදිරි කාලය කැප කළ නිර්ධනයින්ගේ ගුරුවරයකු හා සටන්කාමියෙකු වූ මේ ශ්‍රෙෂ්ඨ මිනිසා, ඔහුගේ මරණයෙන් 125 අවුරුදු සැමරුම ලබන අද දවසේ, ‘හරය’ ගෞරවයෙන් සිහිපත් කරයි.

සබැදි ලිපි

You may also like...

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.