1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – සිව්වන කොටස “ආණ්ඩුව යුද්ධයට සැරසෙයි”
1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් ලිපි පෙලේ පළමු ලිපිය – අසූවේ අරගලයේ අත්දැකීම්
ආණ්ඩුව යුද්ධයට සැරසෙයි
අවස්ථාවාදී නායකයින් විසින් කිසිදු වගකීමක් නැතිව සටනේ සැබෑ උවමනාවන් මඟහරිද්දී ආණ්ඩුව ඇත්තටම සැරසුනේ යුද්ධයකටය. ආණ්ඩුව පංතිය පරාජය කිරීම හා සමිති ව්‍යාපාරය බිද දැමීම මූලික අරමුණ කොටගත් අතර වැඩවර්ජනය තම ප්‍රතිපත්තිය පිස දැමීම කරා එල්ලවූවක් ලෙස නිවැරදිව හැදින්වීය. රුපියල් 300 පඩි වැඩිවීම හා රුපියල් 05 ජීවන අංක දීමනාව පිළිබද ඉල්ලීම් සංක්‍රමණීය ඉල්ලීම් ය. එනම් ඒවා ධනපති ප්‍රතිපත්ති මත පිහිටා දෙන්නට බැරි ඉල්ලීම් ය. එනිසා මේ රාමුව ඇතුළත උපාමාරුවකින් කිසිසේත් පියවිය හැකි ඉල්ලීම් නොවී ය. මේ නිසාම එම ඉල්ලීම් විසින් ආණ්ඩුවට එල්ල කෙරුනේ දේශපාලන තර්ජනයක් ය. අනෙක් අතට සමිති ව්‍යාපාරය සමඟ කිසිදු සහජීවනයකට යාමට ආණ්ඩුවට අයිතියක් නොතිබිණි. ජාත්‍යන්තර ධනපතියන්ට ඔවුන් දී තිබුණු පොරොන්දු අනුව ශක්තිමත් පංති ව්‍යාපාරයක්, වෘත්තීය සමිති ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඉඩ ඇරීම කළ නොහැක්කක් විය. එසේම සටන තුළින් යම් ආකාරයකින් ගිවිසුමක් කරා පංතිය ගමන් ගත්තේ නම් වන්නේ ඊඩත් වඩා සූදානමකින් තවත් වටයකින් සටන ටික කලකින් මෝරා ඒමයි. එනම් රුපියල් 25 කින් හෝ වැටුප් වැඩි වීමක් සමඟ රත්මලාන දුම්රිය කම්කරුවන් දොලොස් දෙනාගේ වැඩ තහනමේ ප්‍රශ්නය විසදා දමන්නට ආණ්ඩුව ගියා නම්, වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් වීමටත් ඊලඟ සටනට පදනම වැටීමත් එයින් නිරායාසයෙන්ම සිදුවෙයි. අර්බූදය ඇතුළත තැතිගෙන සිටි ධනපති පංතිය ඒ නිසා සම්පූර්ණ සූදානම ඇති කළේ යුද්ධයකට ය. මහජන පෙරමුණු ආණ්ඩුවක් මඟින් පසුගිය දශකය ඇතුළත අසරණ කර දමන ලද්දාවූ කම්කරු පංතිය නැවත ප්‍රාණවත්ව සංවිධානාත්මක වී ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරමින් ස්වාධීනව නැගී සිටීමට ඉඩ දීමට කොහෙත්ම පුළුවන්කමක් නැත.
15 වැනිදා උක්ත දොළොස් දෙනාගේ ප්‍රශ්නය වෙනම ගෙන සාකච්ඡා කරන්නට ආණ්ඩුව එක්තරා සූදානමක් පෙන්වූයේ සටන බරපතල වීම වලක්වා ගැනීමේ උපායක් ලෙසටය. එහෙත් ඒ වන විටත් සටන දුම්රියෙන් එළියට ගලා ගොස් අවසන්ය. මුද්‍රණාලයේ හා අනෙක් තැන්වල එම ස්ථාන වල මර්ධනයන්ට විරුද්ධව ස්වාධීනව සටන් තත්ත්වය වර්ධනය වෙමින් පැවතිනි. අනෙක් අතට වැඩබිම් වලින් සටන්කාමීන් ඉවත දැමීමේ වැඩපිළිවෙල ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් මිස, යම් නිලධාරීන්ගේ අත් වැරැද්දක් නොවී ය. 12 දෙනා ගැන බොරු සහන කතාවකින් වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටු නායකයින් දපනය කර තබා වැඩබිම් මර්ධනය ඉදිරියට ගෙන යාම ආණ්ඩුවේ උපාය විය. එය සාර්ථක වූවා නම් කිසිදු සටනකුත් නැතිව ක්‍රමක්‍රමයෙන් සිය ගණනින් තැනින් තැන දොට්ට දමමින් දහස් ගණනක් සටන්කාමීන් එළවා දැමීමක් දියත් වන්නේ ය. විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂය උත්සාහ ගත් ලෙසට කෘතිම ලෙස සටන කල්දැමීමට හා වෘත්තීය සමිති මට්ටමෙන් සටන රදවා ගැනීමට යත්න දැරීම පූර්ණ ලෙස සාර්ථක වූවත් සිදුවන්නේ කිසිදු සටනකුත් නැතිව දහස් ගණනක් කම්කරුවන් එලියට වැටීමය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති, අඩු වශයෙන් හෝ ඉක්මවා යන්නට පංතියට හැකි වූ හෙයින් සටනක් හරහා යමින් ආණ්ඩුවට බරපතල පහරක් එල්ල කිරීමේ ඉඩකඩ පංතියට ලැබුණි.
වෘ.ස.එ.ක්‍රි. කමිටුව මහා වැඩ වර්ජනයක් සදහා තීන්දුව ගනිත්ම ආණ්ඩුව හදිසි නීතිය ප්‍රකාශ කළේය. එම තත්ත්වය යොදා ගනිමින් ආණ්ඩුව, රැස්වීම් තහනම් කිරීම්, අදහස් ප්‍රකාශ කිරීම, එක්රැස්වී සාකච්ඡා කිරීම ආදිය තහනම් කළ අතර පුවත්පත් මුකවාඩම ද දියත් කළේ ය. 18 වෙනිදා වන විට සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරන ලද අතර රජය සතු සියළු ප්‍රචාරක මාධ්‍යයන් කම්කරුවන් බිය වැද්දීම උදෙසා යොදා ගන්නා ලදී. වෘත්තීය සමිති කාර්යාල සීල් තබන ලද අතර වැඩබිම් මට්ටමේ සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම ආරම්භ විය. 18 වැනිදා සිටම වැඩට නොපැමිණි සියළු දෙනාම රැකියා අත්හැර ගියවුන් ලෙස සළකන ලදී. ඒ අතර අලුත් සේවකයින් බදවා ගන්නා බවට විශාල ප්‍රචාරකවාදී වැඩපිළිවෙලක් දියත් කරන ලදී. සෑම විශාල පිටිටනියකම තරුණ තරුණියන් දහස් ගණන් රොක් කර ගනිමින් ඔවුන් මගින් විවිධ පුරප්පාඩු පුරවන බව ප්‍රකාශ කරන ලදී. දින කිහිපයක් ඇතුළතදී වෘත්තීය සමිති සම්මේලනවල ගිණුම් තහනම දියත් විය. එම තහනමට හසු නූනේ බාලා තම්පෝගේ වෘත්තීය සමිතිය පමණි. ඇත්ත වශයෙන් වතු සේවා සංගමය, බැංකු සේවක සංගමය වැනි සටනට සම්බන්ධ නූනාවූ සමිති වල පවා මෙලෙසට බැංකු ගිණුම් තහනම් කරන ලදී. මන්ත්‍රීවරු හා විවිධාකාර බලවතුන් නොයෙක් කම්කරුවන්ගේ ගෙවල් වලට පවා කඩා වදිමින් තර්ජනය එල්ල කරන්නට විය. මැරවරයින් යොදා තවත් විවිධ තැන්වල දී කම්කරුවන්ට බලපෑම් කරන්නට විය. ආණ්ඩුව මෙලෙසට ගත්තා වූ යුද්ධමය ක්‍රියා කලාපය පිළිබද වට්ටෝරුව දිගින් දිගටම දිය හැක්කේ ය.
මෙයින් පෙන්නුම් කළේ අප ඉදිරිපත් කළ ඉදිරි මාවතේ නිවැරදි කමයි. සටන කුමණ ලෙසකින් ඇරඹුවත් අපට ඇත්ත වශයෙන් මුහුණ දෙන්නට සිදුවන්නේ ආණ්ඩුව විසින් එල්ල කරන්නාවූ දේශපාලන ප්‍රහාරයට බව අපි පුනපුනා පැහැදිලි කළෙමු. එයට හසු නොවී, එය මඟහැර වෙනත් ලෙසකින් ක්‍රියා කිරීමට අවකාශ සැපයී තිබුණේ නැත. 12 දෙනාගේ ප්‍රශ්නයෙන් සටන කෙලවර කිරීමට කල්පනා කළ අය අතීසාරයට අමුඩ ගැසුවා යයි අපි කියන්නේ ඒ නිසයි. එසේම ඒ අවස්ථාවේ දී කළ යුතුව තිබුණේ මහා වැඩ වර්ජනය නොව දිනක සංකේතයක් යයි අද වනවිට සමහරු පවසති. සටන තුළ අන්තිම ද්‍රෝහිකම් කළ පාදඩ සුළු ධනේශ්වර නරුමයන් අද, සටනේ තුවාල ලැබුවන්ගේ ඇදන් අද්දර රිංගා කිඹුල් කදුළු හෙලමින් දොඩන්නේ සටන් කිරීමේ පාපකර්මය ගැනයි. සටන් වදින්නට පංතිය ඉදිරියට ඇදෙද්දී ඒ සමඟ ඉදිරියට දුවන අයගේ කකුල් වෙට්ටු මාට්ටු දමා සටන අවුල් කර, ධනපති පංතියට නිරවුල් ලෙස සේවය කළ ද්‍රෝහී සුළු ධනේශ්වර කල්ලි විසින් කියන්නේ ආණ්ඩුවේ දේශපාලන අභියෝගයට මුහුණ නොදී සටන් කිරීමේ මාවතක් තිබුණ බවය. එනම් සංකේත වර්ජනයක් කිරීමය. මෙය කොමියුනිස්ට් පක්ෂ අදහසට ගැලපෙන්නේ ය. සටනට එකඟ වී එක පෙරමුණකට අත්සන් තබා තම වගකීම අත්හැර පලාගිය කොටස් සටන සාර්ථක කර ගැනීම උදෙසා වැඩ නොකිරීම හා නිවැරදි ඉදිරි දර්ශණය නොසැපයීම වෙනුවට අද කියන්නේ සටන් නොකළා නම් හොඳ බවයි. සංකේත වර්ජනයක් කළා නම් ආණ්ඩුවේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? අනෙක් අතට පහලින් ගලා යන්නාවූ මහා වැඩවර්ජන ධාරාව සංකේතයක සීමාවන් තුළ රදවන්නට අවශ්‍ය කුමකට ද? ආණ්ඩුව 1978 අගෝස්තුවේ දී සංකේත වර්ජනයකට දින නියම කළ වහාම අසිපත අතට ගත්තේ ය. දේශපාලන සටනකට සූදානම් වුනේ ය. මෙදා එය වඩාත් තියුණු වන බව නිසැක වූ අතර සංකේතයක් වුව නිකම්ම මහා වැඩවැරුමකට තල්ලු වන්නේ ය.
උගුරට හොරා බෙහෙත් කන්නට බැරිය. ගිලින්නට බැරිය. අද සටන අරඹනවා නම් යන්න තිබුණේ එකම මාවතකය. ඒ අප ගමන්ගත් මාවතයි. එය ජය නොගත්තේ අප සමග සටනට එකඟ වූ හෝ එකඟ බව පෙන්වූ තක්කඩියන්, කම්කරුවන් අවුල් කර සටන ඉදිරියට ගෙන යැම වැලැක්වූ නිසා ය. මේ සත්‍යය කිසිදු ප්‍රෝඩාවකින් වසන් කළ නොහැක. සටනින් පලා ගියවුන් පෙන්වා ඇග බේරා ගැන්ම වැඩක් නැත.
ආණ්ඩුවේ අභියෝගය නොතකා කම්කරුවන් සටනට ඇතුල් වූහ. එහෙත් පංතිය පෙන්නුවා වූ එම උනන්දුව ඉදිරියට ගෙනයාම සදහා උවමනාවක් කම්කරුවන්ට උඩින් සිටින්නාවූ නායකත්වයෙන් වැඩි කොටසකට නොතිබීම සටනේ විශාල බාධාව විය. සටන ගෙන යා යුතු වූයේ හා ගෙන යා හැක්කේ දේශපාලන අරගලයක් ලෙස පුළුල් කිරීමෙන් බව 18 වැනිදා වන විටම ඉතා හොදින් පැහැදිලි වෙමින් තිබුණි. 18 වැනිදා සටනේ තත්ත්වය හෙලි කරදීම උදෙසා හයිඩ් පාක් රැස්වීමක් සංවිධානය කර තිබුණි. එය අහෝසි කිරීමට ආණ්ඩුව සූදානම් බව 16 වෙනිදා සිටම පැහැදිලි විය. එහෙත් ක්‍රියාකාරී කමිටුවේ නයකත්වය දිගින් දිගටම මේ ඇත්ත ප්‍රශ්නයට මුහුණ නොදී ක්‍රියා කළේ ප්‍රයෝග හා උපාමාරු වලින් රැස්වීමට අවසරයක් ලබා ගැනීමට ය. සටනේ ඇත්ත අභියෝගයන්ට මුහුණ නොදී සටන තුළ සිටීම ද අපරාධයකි. අද පංතියට බුක්ති විදින්නට වී ඇත්තේ මේ නායකයින්ගේ එම අපරාධකාරී පිළිවෙතේ ප්‍රතිඵලයට යි.
18 වෙනිදා රැස්වීම නොපැවැත්වීම පංතිය ලැබූ හෙණ පහරක් විය. ආණ්ඩුව ගහන්නාවූ ප්‍රහාරයට නිසි ලෙස මුහුණ නොදී සටන් කිරීමට නොහැකි බව පංතිය තුළට කිදා බසින්නට විය. එසේම එයට දැඩි ලෙස මුහුණ දී සටන ඉදිරියට ගෙන යාමට නායකයින්ගේ ප්‍රධාන කොටස සූදානම් නැති බව පෙනෙදේදී එයට හවුල් වීමේ අනතුර ගැන ද හැමටම දැනෙන්නට විය. එදා රැස්වීම වෙනුවට රජයේ ලිපිකරු සංගම් කාර්යාලයේ මහා ශාලාවේ තිබූ රැස්වීම යම් දිරි ගැන්වීමක් වුවත් එය පළල් වශයෙන් පසුබෑම කැඩීමට ප්‍රමාණවත් නොවී ය. සටනේ ආරම්භයේ සිටම මෙලෙසට පැවතුනේ සටනේ ආත්මය රැක ගැනීමේ ප්‍රශ්නයයි.
පංතිය ඉදිරියේ ප්‍රධාන ගැටළුවක් පැවතුණි. එනම් ආණ්ඩුව ගසන්නාවූ පහරට මුහුණ දී ඉදිරියට යනවාද නැත්නම් සටනට හවුල් නොවී සිටිනවාද ද? පැහැදිලි ඉදිරි මාවතක් නොමැතිව සටනකට යාම බරපතල බව සිතන සාමාන්‍ය කම්කරුවෙක් එසේ ප්‍රශ්න කිරීම ස්වාභාවික ය. එය පවතින යථාර්තයයි. නව සම සමාජය මුල සිටම සටන් වැදුනේ මේ සාමාන්‍ය අදහසට විරුද්ධව පංතියේ සැබෑ ශක්තිය ඉස්මතු කරලීම උදෙසා යි.
සටන ආරම්භයේ සිටම ඉතාම නිරවුල්ව ඉස්මතු වූයේ එහි බැරෑරුම් බවයි. එය නිකම් බලපැමක් නොවී ය. ඉල්ලීම් උදෙසා ආණ්ඩුවට එල්ල කළා වූ හුදු බලපෑම් දැමීමක් ලෙසට එයට කිසිදු අනාගතයක් නැත. සෝබන පෙනුමෙන් ආණ්ඩුව තැති ගන්වා වට මේස සාකච්ඡාවකට ඇද ගැනීමේ බලාපොරොත්තුවට ආණ්ඩුව නිසි පිළිතුරු දුන්නේ තම යුධ සූදානම තර කිරීම තුළිනි. ආණ්ඩුව හැම පැත්තෙන්ම පංතිය වට කරන්නට සූදානම් විය. ඇත්ත වශයෙන් ඔවුන් ක්‍රියා කළේ ද මරු විකල්ලෙන් මෙනි. පංතිය පැත්තෙන් ගොඩ නැගී එන බලවේගය සුළුවෙන් සලකන්නට ඔවුන් සූදානම් නොවී ය. එසේ සුළුවන් සළකා සාකච්ඡා මේසයට යාම වුවද වටයෙන් වටය සටන වර්ධනය කිරීමට ඉඩදීමක් ලෙස ඔවුන් නිවැරදිව වටහා ගත්හ. එනිසාම තම සතුරාට බලවත් පහරක් එල්ල කර මැඬ පැවැත්වීමට ඔවුන් සූදානම් වූහ. ඕනෑම දෙයක් කරන්නටත් ඕනෑම තුවාලයක් විද දරා ගනිමින් ක්‍රියා කිරීමටත් ඔවුන් සූදානම් වූහ. හදිසි නීතිය යටතේ හයිඩි පිටියේ වර්ජන රැලිය තහනම් කර දැමූ නමුත් ආණ්ඩුව වර්ජන විරෝධී රැළි මාලාවක් සූදානම් කර ගත්තේ ය. 18 වෙනිදා රත්මලානෙන් අරඹුණු එම රැළි වලදී ආණ්ඩුවේ සියළු කථිකයන් කථා කළේ දේශපාලන සිවිල් යුද්ධයකට සූදානම් වූ විලාසයකිනි.
මහා වැඩවර්ජනය සාර්ථක වී, සියළු වැඩ ඇණහිටියත් තමා අස් නොවන බව ජේ.ආර්. කීවේ ය. වැඩවර්ජන හෝ පොදු ජන සටනක් ඇති වුවත් තමා ඉවත් නොවී එයට මුහුණ දෙන බවත්, 12 දෙනාගේ ප්‍රශ්නය පමණක් නම් මෙය විසදීමට ඉඩ තිබුණ බවත්, දැන් එය රුපියල් 300/- හා රුපියල් 5/- ජීවන අංක ඉල්ලීම් සමඟ ඈදා ඇති හෙයින් එය විසදිය නොහැකි ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු කීවේ ය. සත්තකින්ම එම ඉල්ලීම් ධනපති රාමුව ඇතුළතදී කිසිම ලෙසකින් දෙන්නට නොහැක. එහෙයින් ඒ තේරුමෙන් ඔහු කීවේ ඇත්ත ය. ඇතුලත්මුදලි වෘත්තීය සමිති වලට සිංගප්පූරු විසදුම දෙන බව කියන විට ඔවුන්ගේ ඇත්ත උවමනාව ඉතාම නිරවුල් වී ය. සටන් බිම සූසාන භූමියක් කරන බවට ඔහු වැඩිදුරටත් තර්ජනය කළේ ය. ගාමිනී දිසානායක වැඩ වර්ජකයින්ට අන්ත පහත් ලෙස පරිභව කළේ ඔවුන් රටේ ජන කොටසක් ලෙසට තමා සලකන්නට සූදානම් නැති ලෙසට ය. වෙනත් ලෙසකින් කියනවා නම් එතෙක් ‘ජාතිය’, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වෙනුවෙන් බොරු මුහුණ පෙන්වූ මේ දේශපාලන තක්කඩි පිරිස එම අදහස් දෙකම ඉවතට තල්ලු කර තමා කුමක් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න නිරුවත් කළහ.
කම්කරු පංතිය ඉදිරියේ මේ ලෙසට මතු වූ අභියෝගය වූයේ මේ සටන හුදු විරෝධයකට එහා ගෙන යන්නේ කෙසේ ද යන්න යි. ඇත්ත වශයෙන් වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව ඉදිරියේ ඉතාම නිශ්චිත ප්‍රශ්න කිහිපයක් මතු විය.
1. සටනට එන්නාවූ කම්කරුවන් ඒකාරාශී කරමින් ඔවුන් අතර සම්බන්ධකම් පැවැත්වීම හා අදහස් බෙදා ගැනීම.
2. කම්කරුවන්ගේ සටන සමඟ අනෙක් ජන කොටස් සම්බන්ධ කර ගැනීම හා ඔවුන් සටනට ඇද ගැනීම.
3. 18 වැනිදා පසුබැසීමෙන් මතු වූ අඩුපාඩුව විසදා ගනිමින් ආණ්ඩුවේ දේශපාලන ප්‍රහාරයන්ට මුහුණ දීම.
මේ කරුණු වෙනුවෙන් ක්‍රියා කිරීම උදෙසා විශේෂ වැඩ සැලසුමක් අවශ්‍ය විය. එය අනිවාර්යයෙන් අප පෙන්වූ දේශපාලන ඉදිරි දර්ශනය මත වූ වැඩ සැලසුමක් විය යුතු විය. මේ ප්‍රශ්නය වෘ.ස.එ.ක්‍රි. කමිටුව ඇතුළත දී රජයේ ලිපිකරු සේවා සංගමයත්, එක්සත් කම්කරු සම්මේලනයත් මතු කරන ලද අතර, ජූලි 20 වෙනිදා එක්සත් කම්කරු සම්මේලනය මගින් සටනට වැඩ සැලැස්මක් ඉදිරිපත් කරන ලදී. එහි හරය වූයේ සටන ඒ ඒ වෘත්තීය සමිති වලින් වෙන වෙනම සංවිධාන කරමින් ගෙන යන්නාවූ තත්ත්වයට වඩා විශාල පිම්මක් ගත යුතු බවය. වැඩබිම් හා පෙදෙස්බද කම්කරු කොමිටි සෑදීම ද ඔවුන් ඒකාරාශී කරන්නාවූ එක් මධ්‍යස්ථානයක් ගොඩ නැගීම ද පණිවුඩ හුවමාරු කිරීම් ක්‍රමයක් සෑදීම හා සම්බන්ධකම් පැවැත්වීම ක්‍රමික කිරීම ද පොදු ජනතාව සම්බන්ධ කර ගැනීම ද එහි අඩංගු විය. ඇත්තවශයෙන් ආණ්ඩුවේ ප්‍රහාරය ඉදිරියේ මුහුණ දිය හැකි වන්නේ විකල්ප බල මධ්‍යස්ථානයක් හා විකල්ප බල තන්ත්‍රයක් ගොඩ නැගීමෙන් පමණි. එවැනි බල මධ්‍යස්ථානයක් මගින් සටන පළල් කර පොදු ජන සටනක් මගින් ආණ්ඩුවට මුහුණ දීමයි.
මේ ලෙසට මධ්‍යස්ථානයක් හා බල තන්ත්‍රයක් ගොඩ නගමින් සියළු බහුජන සංවිධාන හා පක්ෂ වල ආධාර ලබා ගනිමින් පොදු ජන සටනක් ලෙසට සටන ඉදිරියට ගෙන යා යුතු බව අපෙන් යෝජනා විය. ඒ සඳහා වෘ.ස.එ.ක්‍රි. කමිටුව විසින් සියළු බහුජන සංවිධාන හා විපක්ෂය කැඳවා සටනට සහයෝගතා දිනයක් සංවිධානය කිරීම මූලික වැඩ කටයුත්තක් ලෙස යෝජනා විය. එහෙත් මේ යෝජනා කමිටුවේ අනෙක් නායකයින් විසුළුවට හා අවඥාවට ලක් කරමින් ඉවත් කර දැමූහ. බැටී වීරකෝන් කීවේ තමාට සෝවියට් හදන්නට එන්නට බැරි බවය. “ඔබ කියන්නේ අපට සෝවියට් හදන්න කියලයි. අපි සූදානම් නෑ ඒවාට” ඔහු වෘ.ස.එ.ක්‍රි. කමිටු සාකච්ඡා ඇතුළත දී කීවේ ය. ඕනෑම සටනක දී කම්කරුවන්ගේ සභාවල් සෑදීම වැලැක්විය නොහැක. ඒවා බලය සඳහා යනවාද නැද්ද යන්න තීන්දු වන්නේ සටනේ ස්වාභාවය අනුවය . සෝවියට් හදන්න බෑ යන්නෙන් ඔහු අදහස් කළේ කුමක් ද? සටන තුළ කිසියම් පහළ මට්ටමේ සංවිධාන ඇති කළ යුතු නැතිය යන්න ද? වැඩපළ හා පෙදෙස් කමිටු ඇතිවීම හා ඒවා අතර සම්බන්ධය ඇතිවීම වැලැක්විය යුතු බවද? ඇත්ත වශයෙන් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළා වූ මේ සමඟ පහතින් පලවන යෝජනාව නැවත නැවතත් හැදෑරිය යුතුය.
1980 ජූලි 20 එල්.ඩබ්.පණ්ඩිත සහෝදරයා, කැදවුම්කරු, වෘත්තීය සමිති එකසත් ක්‍රියාකාරී කමිටුව. මහා වැඩ වර්ජනය ආරක්ෂා කර ඉදිරියට ගෙනයාම පිළිබදව වූ අපගේ යෝජනාව 1980 ජූලි 19 වන දින වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවේ රැස්වීමේ දී වැඩවර්ජනය පොදු සම්බන්ධීකරණයකින් යුතුව මෙහෙයවීම සදහා වැඩවර්ජන සටනේ නියැලී සිටින නියෝජිතයින් එක්ව රැස්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බවට අප සංගමය විසින් කරන ලද යෝජනාවට වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවේ එකඟත්වය ලැබුණි. එම යෝජනාව ක්‍රියාත්මක කරන ආකාරය ගැන නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස අපට පවරන ලද වගකීම් අනුව පහත සදහන් සැලැස්ම ඉදිරිපත් කරමු. වැඩවර්ජන සටන ආරක්ෂා කර ගැනීම හා ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන සංවිධාන ඇතුළු සෙසු බහුජන සංවිධාන හා විශේෂිත පුද්ගලයන්ගේ සහාය ලබාගත යුතුය යනුවෙන් අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද පදනම් කරගෙන සැලසුම් සකස් කර ඇත. වැඩවර්ජන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය 1. අරමුණ (අ.) අංශ හා සමිති භේදයකින් තොරව ගොඩ නැගෙන පොදු සටන මෙහෙයවීමට පොදු මධ්‍යන්ථානයක් අවශ්‍යය. (ආ.) සටනට විත් සිටින සැම ආයතනයක් වෙනුවෙන් පෙදෙස්බද සටන් මධ්‍යස්ථාන ද (වෘ.ස.එ.ක්‍රි. කමිටුව) සමඟ සම්බන්ධකම් නිසි ලෙස පවත්වා ගනිමින් සටනට නායකත්වය දිය යුතුය. 2. කාර්යාල හා රැස්වීම් ශාලාව (අ) නිතර විවිධ ආයතන හා පෙදෙස්බද නියෝජිතයින්ට පැමිණිය හැකි කාර්යාලයක් අවශ්‍යය. (ආ) වෘත්තීය සමිති එක්සත් කමිටු නායකයින් කාලය බෙදා ගනිමින් මෙම කාර්යාලයේ නැවතී සිටිය යුතුය. (ඇ) සියළු සටන් පෙරමුණු නියෝජිතයන් මෙහි සිටිය යුතුය. (ඈ) නියෝජිතයින්ට හා විවිධ පණිවුඩකරුවන්ට ගැවසීමේ ඉඩ පහසුවද කරුණු පහදාදීමේ රැස්වීම් තැබීමට ඉඩකඩ ද තිබිය යුතුය. මේ සදහා රජයේ ලිපිකරු සේවා සංගම් සම්මන්ත්‍රණ ශාලාව හෝ ගුරු මැදුර වැනි ස්ථානයක් සුදුසු ය. 3. පණිවුඩ හා පණිවුඩකරුවන් (අ) පොදු දැන්වීම් හා පණිවුඩ බෙදා හැරීමේ ප්‍රධාන වැඩ කොටස මධ්‍යස්ථානය මඟින් කළ හැක. (ආ) වැඩබිම් වලින් හා පෙදෙස් වලින් ලැබෙන පණිවුඩ හා දැන්වීම් ගොනු කොට ඒ ඒ අංශ හා සමිති වලට දැන්විය යුතුය. (ඇ) පණිවුඩකරුවන් මගින් ආයතන හා පෙදෙස් සම්බන්ධීකරණය කර ගැනීම මධ්‍යස්ථානය මගින් හැකි පමණට මධ්‍යගත කළ යුතුය. නායකයින්ගේ නිල ගමන්බිමන් ද උපරීම පුයෝජනය ලැබෙන ලෙසට මධ්‍යස්ථානයෙන් මෙහෙයවිය යුතුය. 4. සාකච්ඡා සභාව (අ) ඒ ඒ ආයතනවල සටන් පෙරමුණු නියෝජිතයින් එනම් දුම්රිය, තැපැල්, ලංගම, පළාත් පාලන ආදී මෙන්ම වෝකර්ස්, බ්‍රව්න්ස්, ලීවර්, ටුබැකෝ ආදී තැන්වල නියෝජිතයින් හා වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව එකම සාකච්ඡා සභාවක් ලෙස රැස්විය යුතුය. (ආ) මෙය කොළඹ හා අවට නියෝජිතයින්ගේ සභාවක් වන අතර පෙදෙස් බද නියෝජිතයින්ට අවශ්‍ය ලෙසට සහභාගී වීමට ඉඩ දිය යුතුය. (ඇ) සතියකට දෙතුන්වරක් රැස්වී සටනේ තත්ත්වය හා ඉදිරිය ගැන සාකච්ඡා සභාව වඩා විධිමත් කළ යුතුය. වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවට උපදෙස් දිය යුතුය. (ඈ) සටනේ වර්ධනය තුළ සාකච්ඡා සභාව වඩා ගොනු කළ හැකිය. 5. බුලටීනය (අ) වෘත්තිය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවේ අදහස් හා තොරතුරු දන්වන පොදු බුලටීනයක් මෙම මධ්‍යස්ථානය හරහා බෙදා හැරිය යුතුය (ආ) එහි බෙදා හැරීම පණිවුඩ කරුවන් මගින් ඉහත කී මධ්‍යස්ථානය මගින් කළ හැකිය. (ඇ) නිශ්චිත වැඩ කොටස් ඒ ඒ සමිති වලට භාර කළ යුතුය. 6. පෙදෙස්බද වෘත්තීය එක්සත් සභාව (අ) පෙදෙස් බද වෘත්තීය එක්සත් කමිටු කොළඹ පොදු මධ්‍යස්ථානයට සම්බන්ධීකරණය කර ගොනු කරගත යුතුය. (ආ) සැම පෙදෙසකම වෘත්තීය සමිති එක්සත් සභාවක් ගොඩ නැගිය යුතුය. (ඇ) පෙදෙස් පිළිබදව ක්‍රියාකාරීන් නිතර රැස්වන මධ්‍යස්ථානයක් තිබිය යුතුය. (ඈ) කොළඹින් එන තොරතුරු පණිවුඩ බෙදා හැරීම පෙදෙස්බද මධ්‍යස්ථානයට පැවරේ. 7. පෙදෙසබද ජනතා සහයෝගතා සභා (අ) පොදෙස්එබදව සටනට සහයෝගය දෙන සියළු සංවිධාන හා පුද්ගලයන් ගොනුකොට සහයෝගතා සභාව ගොඩනැගිය යුතුය. (ආ) සටනට විවිධ ලෙසට (මුදල්, නිතීඥ සහාය, සටන පණ ගැන්වීමට මැදිහත් විම, ආණ්ඩුවේ ප්‍රචාරයට විරුද්ධව ගෙයක් පාසා ගෙනයන සටන් සහයෝගී ප්‍රචාරය) පොදුජන සහාය ලබා ගත යුතුයි. (ඇ) බඩු හිඟය හා අරාජකත්වය නිසා පෙදෙස්බදව ඇති වන ජන අසහනය ආණ්ඩුවට හා ධනපතියන්ට විරුද්ධව හැරවීම. (ඈ) මැර බලයට විරුද්ධව ආරක්ෂාව ගොඩ නැගීම. (ඉ) ඒ ඒ ජනතා කොටස් වල ප්‍රශ්න මත ඔවුන් සටනට එකතු කර ගැනීම. 8. පෙදෙස්බදව ලබා ගත යුතු තොරතුරු (අ) ස්ට්‍රයික් තත්ත්වය - මෙහි දී සෑම අංශයක්ම ගැනම විස්තර අවශ්‍යය. වෘත්තීය සමිති එක්සත් කමිටුවේ ප්‍රධාන සහෝදරවරු ඔවුන් හමුවීමට විශේෂ ලිපිනයක් ඇත්නම් එය, (ආ) දිය යුතු පණිවිඩ - විවිධ සමිති හා පුද්ගලයන්ට දිය යුතු පණිවුට ඇත්නම් එය, (ඇ) ජන සහයෝගතා සභා - පෙදෙස් බද සියළු බහුජන සංවිධාන හා ප්‍රභූන් සමන්විත සහයෝගිතා කමිටුවක් සෑදීමද, එමගින්, i. මුදල් ii. නීති iii. පොදු ජන විරෝධය iv. බඩු හිගය ආදිය ගැන විරෝධතාවය v. ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීම, (ඈ) මර්ධනය හා ආරක්ෂාව - මර්ධනයේ ස්වාභාවය, පොලිස් හෝ මැරවර තර්ජනයන්ට මුහුණ දීමේ සැලසුම්. මෙයට - සහෝදරත්වයෙන්, ඔස්වින් ප්‍රනාන්දු, ප්‍රධාන ලේකම්, එක්සත් කම්කරු සම්මේලනය. පිටපත් - ක්‍රියාකාරී කමිටුවේ සෙසු සංවිධාන වලට
සබැදි ලිපි
3 Responses
[…] සිව්වන ලිපිය – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – සිව්වන ක… […]
[…] සිව්වන ලිපිය – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – සිව්වන ක… […]
[…] සිව්වන ලිපිය – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – සිව්වන ක… […]